ජනවාරි විප්ලවයේ ඇසින් දුටු සාක්‍ෂි


 

“ජයග්‍රහණයට පියවරු දහසකි. එහෙත් පරාජය අවජාතක දරුවකු” යැයි කියමනකි. 2015 ජනවාරි 8 වැනිදා මෙරට සිදුවූ බල පෙරැළියට එම කියමන අපූරුවට ගලපාගත හැකිය. සැබැවින්ම එම බල පෙරැළියට පියවරු දහසකි. 


විමතියට පත්විය යුතු නැත. එය සිදුවිය හැක්කකි. මන්දයත් 2015 ජනවාරි 8 බල පෙරැළිය එක් දේශපාලන කඳවුරක මෙහෙයුමක් නොව දේශපාලන පෙරමුණු ගණනාවක මෙහෙයුමක් වන හෙයිනි. පාර්ලිමේන්තු මන්ත්‍රී මලිත් ජයතිලක යනු එම බල පෙරැළියේ එක් දේශපාලන කඳවුරක සක්‍රීය චරිතයකි. මෙතැන් සිට පෙළ ගැසෙන්නේ ඒ බල පෙරැළියේ ඔහු අත්විඳි ඇසින් දුටු අත්දැකීම්ය.
මට මතක ආකාරයට දිනය 2014 නොවැම්බර 13 වැනිදාය. උදෑසනම මෛත්‍රී ඇමතිතුමාගෙන් දුරකථන ඇමතුමක් ලැබුණි.

සාමාන්‍යයෙන් දුරකථනය සම්බන්ධ කරන්නේ පොලිස් පරීක්‍ෂක රංජිත් හෝ චූලාය. එහිදී මෛත්‍රී ඇමැතිතුමා මට කියා සිටියේ දවල් 11ට විතර අමාත්‍යංශයේදී මුණගැසීමට අවශ්‍ය බවයි. ඊට අනුව සෞඛ්‍ය අමාත්‍යංශයට මම ගියෙමි. එතුමාගේ නිල කාමරයේ සියලුදෙනා ඉවත්ව ගිය පසු මා හිඳගෙන සිටි පුටු සැටියට පැමිණ එතුමාද හිඳගත්තේය. “මලිත් තාම කවුරුවත් දන්නේ නෑ. පොදු අපේක්‍ෂකයා වශයෙන් තරග කරන්න මට කථා කරනවා. මම අකමැත්තක් දැක්වූයේ නෑ” යනුවෙන් පැවසීය. ඒ අතරම ඇමැතිතුමා කියා සිටියේ මෙම තොරතුර තවදුරටත් රහසක් වශයෙන්ම තබාගන්නා ලෙසය. 


2015 ජනාධිපතිවරණය සඳහා සුදුසු පොදු අපේක්‍ෂකයකු සොයාගැනීම යන සංසිද්ධිය හුදු හුදෙකලා අහඹු එමෙන්ම හදිසියේ සිදුවූ සිදුවීමක් ලෙස අයෙකුට පෙනී යා හැකි වුවද, ඒ පිළිබඳ කෙරෙන පුළුල් විග්‍රහයකදී ඊට වඩා ගැඹුරු සමාජ යථාර්ථයක් ඒ තුළ අන්තර්ගතය. සැබවින්ම එය එක් පුද්ගලයකු, පුද්ගල කණ්ඩායමක් හෝ යම් සංවිධානයක බලපෑම හා කැපවීම මතම සිදුවූ තනි සංසිද්ධියක්ද නොවන බව මෙම පරිච්ඡේදය සාක්‍ෂි දරනු ඇත. 


තවද, 2015 ජනාධිපතිවරණය සඳහා වන පොදු අපේක්‍ෂක කථිකාව ක්‍රමිකව ජාතික අවශ්‍යතාවයක් බඳු මහා සමාජ ව්‍යාපාරයක් බවට ගොඩනැගෙන්නේම 2010න් පසු මහින්ද රාජපක්‍ෂ පාලනය විසින් එකක් මත එකක් ලෙස නිර්මාණය කළ සමාජ ආර්ථික හා දේශපාලන දුර්විපාක ගණනාවකට එරෙහිව ඍජු ප්‍රතිචාර ලෙසය. එහිදී අවසානයේ එම ජනාධිපතිවරණය සඳහා නොවැම්බර් 21 වැනි දින මෙම ශ්‍රී ලංකා දේශපාලන භූමියේ ඒ වනවිට සිටි සුදුසුම, නැතහොත් පරමාදර්ශීම පොදු අපේක්‍ෂකයා ජාතිය හමුවේ පෙනී සිටින්නේ දේශපාලනය පිළිබඳ සංවේදී හා සවිඥාණික පුද්ගලයන්, පුද්ගල කණ්ඩායම් හා සංවිධාන ගණනාවක්ම තනි තනිවද, විවිධ ස්ථානවල කණ්ඩායම් වශයෙන් සිදුකළ මහා කැප කිරීමක සාමූහික ප්‍රතිඵලයක් වශයෙන්. ඒ සියල්ලම සමඟ එක්වූ ස්වභාවධර්මයේ නීතියද, රීතියද ඒ තුළ අන්තර්ගත වූවා නිසැකය.


විශේෂයෙන්ම පොදු අපේක්‍ෂක කථිකාව පිළිබඳ කෙරෙහි ඕනෑම විග්‍රහයකදී පළමුව සිහිගැන්වෙන නාමය ‘සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරය’ යි. සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරය පිළිබඳ සැලකීමේදී නිතැතින්ම මතකයට නැගෙන්නේ පූජ්‍ය මාදුළුවාව් සෝභිත ස්වාමීන් වහන්සේය. උන්වහන්සේ මෙම ව්‍යාපාරය ජනතාව අතරට ගෙනයාමත් සමගම මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිතුමාටත් එතුමාගේ ආණ්ඩුවටත් මහත් අභියෝගයකට මුහුණදීමට සිදුවිය. විශේෂයෙන්ම සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරය පිළිබඳ සැලකීමේදී එහි ආරම්භක අවස්ථාව තරමක් අප්‍රකටය. එනම්, එ.ජා.ප. යේ රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව සජිත් ප්‍රේමදාස හෝ කරු ජයසූරිය පක්‍ෂ නායකත්වයට ගෙන ආ යුතු බවට පක්‍ෂ අභ්‍යන්තරයේ අරගලයක නිරතව පසුව වික්‍රමසිංහ මහතාගේ උදහසට ලක්වූ එ.ජා.ප. ක්‍රියාකාරීන් පිරිසකගේ මූලිකත්වයෙන් ගොඩනගාගත් සිවිල් සමාජ සංවිධානයක් ලෙස එය අර්ථකථනය කිරීම වඩාත් සාධාරණය. 


ඒ අනුව ශිරාල් ලක්තිලක, මෛත්‍රී ගුණරත්න, පූජ්‍ය උලපනේ සුමංගල හිමි මෙන්ම ජනිත් විපුලගුණ, රවී ජයවර්ධන, පාලිත ලිහිණියකුමාර වැනි පිරිසක් මෙහි ආරම්භක සාමාජිකයෝ වූහ. මෙම පිරිස ශිරාන් ලක්තිලකගේ රාජගිරිය කාර්යාලයේදී රැස්වී නව සමාජ බලවේගයක අවශ්‍යතාව පිළිබඳ මූලික සාකච්ඡාවක් පැවැත්වූහ. එහිදී ප්‍රශ්න පැනනැගුණේ එවන් නව ව්‍යාපාරයකට නායකත්වය දීමට හැකි සිවිල් නායකයකු නොසිටීමය. යන්තමින් හෝ සිටියේ කරු ජයසූරිය මහතා පමණි. මේ 2012 වසරය.

මේවනවිට සරත් ෆොන්සේකා මහතාද සිරගතව සිටියේය. පෙර අත්දැකීම් මත, මෙම පිරිස සජිත් ප්‍රේමදාස මහතාට වඩා වැඩි විශ්වාසයක් කරු ජයසූරිය මහතා වෙත තැබීය. එහෙත් මෙම ව්‍යාපාරයේ නායකයා මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිතුමාත් රනිල් වික්‍රමසිංහ විපක්‍ෂ නායකතුමාත් සමඟ එකවිට ගැටුමකට යා හැකි ප්‍රබල සමාජ දේශපාලන පෞරුෂයකින් හෙබි අයකුද විය යුතුය. ඒ සමගම ඊට මූලිකත්වය දුන් පිරිසගේ ඊළඟ තර්කය වූයේ මෙම ව්‍යාපාරයේ පදනම ලෙස ගොඩනගා ගත යුතු සටන් පාඨය කුමක්ද යන්නය. එහිදී 18 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින් ඒකාධිපති ස්වරූපයකට ගෙනයමින් තිබූ විධායක ජනාධිපතිධුරය අහෝසි කිරීම යන සටන් පාඨය වෙත ඔවුහු නිතැතින්ම ඇදී ගියහ. 


මේ වනවිට එ.ජා.ප. යේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්වන දයාසිරි ජයසේකර, තලතා අතුකෝරල, රෝසි සේනානායක, අශෝක් අබේසිංහ හා පාලිත රංගෙ බණ්ඩාර වැනි පිරිසක් ද ඉහත ශිරාල් ලක්තිලක ඇතුළු පිරිසකගේ කණ්ඩායම තුළ සිටි අතර ඔවුන් සියලු දෙනාම එක්ව නාරාහේන්පිට පිහිටි උලපනේ සුමංගල හිමියන්ගේ විහාරස්ථානයේදී සාකච්ඡාවකටද සහභාගී වූහ. මේ අතර 2012 වසරේ මැයි 29 වැනි දින බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැති පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමියන්ගේ 70 වැනි ජන්මදින උත්සවයේදී උන්වහන්සේ ප්‍රකාශ කර තිබුණේ තම ජීවිතයේ ඉතිරි කෙටි කාලය මේ රටේ විධායක ජනාධිපතිධුරය අහෝසි කිරීම වෙනුවෙන් කැපවී සටන්කරන බවකි. විශේෂයෙන්ම මේ වනවිට භාරත ලක්‍ෂමන් ඝාතනයද සිදුව තිබීම හේතුවෙන් ආණ්ඩුවට එරෙහිව සතර දෙසින්ම විවේචන එල්ලවීම ආරම්භ වූ යුගයකි මෙය. 


මෙවන් දේශපාලන පසුබිමක රැස්වූ ශිරාල් ලක්තිලක, පූජ්‍ය උලපනේ සුමංගල හිමි, මෛත්‍රී ගුණරත්න, අශෝක් අබේසිංහ, පාලිත රංගෙ බණ්ඩාර හා රවී ජයවර්ධන ඇතුළු පිරිසක් එක්ව කෝට්ටේ නාග විහාරයට ගොස් පූජ්‍ය මාදුළුවාවේ සෝභි හිමියන් මුණගැසී සමාජ වෙනසකට මුලපුරන දේශපාලන ව්‍යාපාරයක් ගොඩනැගිය යුතු බවට ඉල්ලා සිටියහ. එහෙත් සෝභිත හිමියන්ගේ ආරම්භක ප්‍රතිචාරය එතරම් යහපත් නොවීය. “මේ රටේ මිනිස්සුත් එක්කයි, නායකයො එක්කයි දේශපාලනය කරන්න බෑ මහත්තයො. මොනව කියල බලයට ආවත් අවසානයේ සියල්ල අමතකකර දමනවා” යනුවෙන් උන්වහන්සේ පැවසූහ. කෙසේ වෙතත් අවසානයේ දී මේ සියලුදෙනාගේම දැඩි ඉල්ලීම හමුවේ මෙම කණ්ඩායමත් සමග සහයෝගයෙන් ඉදිරියට කටයුතු කිරීමට සෝභිත හිමියන් එකඟවූහ. 


සෝභිත හිමියන් මුණගැසීමෙන් පසුව නැවත නාරාහේන්පිට සුමංගල හිමියන්ගේ විහාරස්ථානයේදී සාකච්ඡාවක් පැවැත්විණි. ඊට කරු ජයසූරිය මහතාද සහභාගී වූ අතර සජිත් ප්‍රේමදාස මහතා පැමිණෙන බවට පොරොන්දු වී සිටියත් අවසානයේදී ඔහු නොපැමිණියේය. විශේෂයෙන්ම මේ රැස්වීමේ මූඛ්‍ය අරමුණ වූයේ සජිත්, කරු හා සරත් ෆොන්සේකා මහතා එකම වේදිකාවකට ගෙනඒමට ඇති හැකියාවද සොයා බැලීමය. මේ 2013 වසරේ මුල් භාගයයි. තවද, එම රැස්වීමේදී ඊට සහභාගී වූ සියලුදෙනාම මෙම නව සංවිධානයට සුදුසු නමක් යෝජනා කිරීමටද උත්සුකවූහ. ඒ අනුව එහි සිටි දයාසිරි ජයසේකර ඇතුළු සියලුදෙනාම ඉතා උනන්දුවෙන් විවිධ නම් ඊට යෝජනා කළහ. ඒ සියලුදෙනාගේම අදහස් හා යෝජනා එක් කරමින් “සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරය” යන නම අවසානයේදී යෝජනා විය.


ඉන් අනතුරුව මෙම නව සංවිධානයේ පළමු මාධ්‍ය හමුව 2013 ජනවාරි මාසයේදී ජාතික පුස්තකාල සේවා මණ්ඩල ශ්‍රවණාගාරයේදී පැවැත්විණි. මෙම මාධ්‍ය සාකච්ඡාවෙහි අරමුණ වූයේ ඒ වනවිට ජයවර්ධන කේන්ද්‍රයේ සූදානම් කර තිබූ මෙම සංවිධානයේ පළමු මාධ්‍ය රැස්වීම පිළිබඳ රට දැනුම්වත් කිරීමය. ඒ අනුව මෙම මාධ්‍ය හමුව සඳහා පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමියන්, පූජ්‍ය උලපනේ සුමංගල හිමියන්, දයාසිරි ජයසේකර, එම්. ඒ. සුමන්තිරන්, මනෝ ගනේෂන්, රවී ජයවර්ධන හා ශිරාල් ලක්තිලක සහභාගී වූහ. මෙහි ඇති විශේෂත්වය වූයේ මම මාධ්‍ය සාකච්ඡාව අවසන් වූ පුස්තකාල සේවා භූමියේ ප්‍රධාන ගේට්ටුවෙන් පිටවීමටත් පෙර රනිල් වික්‍රමසිංහ මහතාගෙන් රවී ජයවර්ධනයට දුරකථන ඇමතුමක් ලැබීමය. 


එමගින් කියැවුණේ මින් ඉදිරියට මෙම නව සංවිධානයේ සාමාජිකත්වයද නොඑසේ නම් හොරණ එ.ජා.ප. සංවිධායකධුරයද වැදගත් යන්න හැකි ඉක්මණින් තීරණය කර තමන් වෙත දන්වන ලෙසය. ඒ සමගම තමාව වහාම මුණගැසෙන ලෙසද වික්‍රමසිංහ මහතා රවී ජයවර්ධනට දැන්වීය. මෙම මාධ්‍ය සාකච්ඡාවෙන් පසුව එදින රාත්‍රියේ ශිරාල් ලක්තිලකගේ නිවසේදී රාත්‍රී භෝජන සංග්‍රයක්ද සූදානම් වූ අතර ඊට අනෝමා ෆොන්සේකා මහත්මිය ඇතුළු 40ක පමණ සිවිල් ක්‍රියාකාරීහු පිරිසක්ද සහභාගී වූහ. මේ අතර රනිල් වික්‍රමසිංහ මහතාගේ දුරකථන ඇමතුමට අනුව එතුමා මුණගැසීමෙන් පසුව රවී ජයවර්ධන තීරණය වූයේ හොරණ එ.ජා.ප. සංවිධායක ධුරය අතහැර සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරයේ සාමාජිකත්වය ලබාගැනීම සුදුසු බවය. ඉහත ප්‍රවෘත්ති සාකච්ඡාවට සමගාමී සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරයේ මංගල රැස්වීම ජයවර්ධන කේන්ද්‍රයේදී පැවැති අතර එම රැස්වීමේදී මූලික යෝජනා 12 ක් ඉදිරිපත් විය. මෙම රැස්වීම සඳහා සජිත් ප්‍රේමදාස මහතාටද ආරාධනය කරතිබූ නමුත් සෝභිත හාමුදුරුවන්ගේ අදහස වූයේ මෙහිදී දේශපාලනඥයින් සහභාගිකයන් පමණක් වශයෙන් සිටිය යුතු බවය. ඒ අනුව එම රැස්වීමේදී සජිත් ප්‍රේමදාස මහතාට කථාවක් හිමි නොවීය. මෙම තත්ත්වය තුළ එතුමා රැස්වීමට සහභාගී වූයේ නැත. සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරය මෙලෙස ඉදිරියට යද්දී විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම හා එළැඹෙන ජනාධිපතිවරණයකදී විපක්‍ෂයේ පොදු අපේක්‍ෂකයකුගේ අවශ්‍යතාව අවධාරණය කරන්නට විය. ඒ සම්බන්ධයෙන් මෙම සංවිධානයේ නායකත්ව චරිතය ලෙස ඉදිරියට පැමිණි සෝභිත හිමියන්ය. උන්වහන්සේගේ දේශපාලන පෞරුෂය හා ප්‍රභාවත් හඬ පෞරුෂය විසින් සියල්ල යුද ජයග්‍රහණය ඉදිරියේ දණගස්වා තිබූ සමාජයකට යළි සිතීමට අවැසි නව දෘෂ්ටියක් හා චින්තනයක් ලබාදුන්නා වැනිය. තවද, මින් ඉදිරියට මෙම ව්‍යාපාරය පුළුල් සමාජ බලවේගයක් බවට දිනෙන් දිනම පත්වෙද්දී සාධාර සමාජයක් සඳහා වූ මෙම ව්‍යාපාරය ප්‍රධාන ධාරා 2ක් ඔස්සේ ක්‍රියාත්මකවීමට අවශ්‍ය උපක්‍රමික පසුබිමක් පිළිබඳ අදහසක්ද ඇති විය. ඒ අනුව සෝභිත හිමියන් සිවිල් සමාජය සමගත් ඊට සම්බන්ධ දේශපාලනඥයන් දේශපාලන ව්‍යාපාරයක් ලෙසත් කටයුතු කිරීමට තීරණය කළහ. එහෙත් අවශ්‍ය සෑමවිටකදීම මෙම ධාරාවන් දෙක එකම වේදිකාවක් මතට පැමිණිය යුතුවිය.


මේ අතර මෙම ව්‍යාපාරයේ තවත් ප්‍රධාන රැස්වීමක් හයිඞ් පිටියේදී සංවිධානය විය. එහෙත් රැස්වීමට දින දෙකක් තිබියදී මෙම රැස්වීම එ.ජා.ප. පාක්‍ෂිකයන්ට තහනම් විය. ඒ සමගම සජිත් ප්‍රේමදාස මහතා ඉන් ඉවත් විය. රැස්වීමට පෙරදින කරු ජයසූරිය මහතාද දන්වා සිටියේ තමන්ටද ඊට සහභාගීවීමට නොහැකි බවයි. ඒ අනුව රැස්වීමේ වේදිකාවට අවසානයේ ගොඩවූයේ පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමියන්, සරත් ෆොන්සේකා, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන අශෝක් අබේසිංහ, පාලිත රංගේ බණ්ඩාර, පාලිත තෙවරප්පෙරුම, ශිරාල් ලක්තිලක හා මෛත්‍රී ගුණරත්න වැනි පිරිසකි. 2013 වසරේ මැද භාගයේදී පැවති මෙම රැස්වීමෙහි ප්‍රධාන සටන් පාඨය වූයේ “විධායකය අහෝසි කරමු. පොදු අපේක්‍ෂකයකු තුළින් මහින්ද රාජපක්‍ෂ පරදවමු” යන්නයි. මෙම හයිඞ්පිටියේ රැලිය අවස්ථාව වනවිට මෙම සංවිධානය පිටුපස සිටි බොහෝ දෙනාගේ අවශ්‍යතාව වූයේ ඉදිරි ජනාධිපතිවරණය සඳහා පොදු අපේක්‍ෂකයා ලෙස කරු ජයසූරිය නම්කිරීමය. ඒ සමගම මෙම සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරය අනාගතයේදී තමාට දැඩි අභියෝගයක් විය හැකි බවට අනෙක් අතින් රනිල් වික්‍රමසිංහ මහතා වටහාගෙන සිටියේය.


සෝභිත හිමියන් මේවනවිට ගොඩනගමින් සිටි සමාජ කථිකාව ඔස්සේ යමින් මෙම ව්‍යාපාරයේ තවත් රැස්වීමක් කොළඹ මහජන පුස්තකාලයේදී පැවැත්විණි. මේ සඳහා ආචාර්ය ජයම්පති වික්‍රමරත්න මෙන්ම ජේ.සී. වැලිඅමුණද ප්‍රථමවරට ඊට සහභාගී වූහ. විශේෂයෙන්ම ආචාරය ජයම්පති මේ වනවිට චන්ද්‍රිකා මැතිනිය සමග එක්ව කටයුතු කරමින් සිටියේය. තවද, චන්ද්‍රිකා මැතිනිය හා සෝභිත හිමියන් අතර අවශ්‍යවිටදී පණිවුඩ හුවමාරුවද සිදුවූයේ ආචාර්ය ජයම්පති සහ සෝභිත හිමියන්ගේ හා චන්ද්‍රිකා මැතිනියගේ හිතවතකු වූ ආචාර්ය රංජිත් කබ්රාල් මහතා මගිනි. සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරය පිළිබඳ තවදුරටත් සැලකීමේදී පෙර සඳහන් කළ පරිදිම එය පැහැදිලිවම රනිල් වික්‍රමසිංහ මහතාග් උදහසට ලක්වූ එ.ජා.ප. ක්‍රියාකාරීන්ගේ එකතුවක් විය. ආරම්භයේ සිට මෙම ව්‍යාපාරයට අවශ්‍ය මූල්‍යමය දායකත්වය ප්‍රධාන වශයෙන්ම ලබාදුන්නේ කරු ජයසූරිය මහතාය. විශේෂයෙන්ම සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරය හා මාදුළුවාවේ සෝභිත හිමියන් හමුවෙහි ආචාර්ය රංජිත් කබ්රාල් මහතා ද යම් සුවිශේෂී චරිතයකි. ඔහු වයසින්ද සෝභිත හාමුදුරවන්ට සමකාලීන විය. උන්වහන්සේ හා කබ්රාල් මහතා අතර මිත්‍රත්වයද දශක ගණනාවක් පුරාවට දිවයයි. ඒ සමගම ඔහු හා කරු ජයසූරිය මහතා අතරද මිත්‍රත්වය පාසල් සමය දක්වා දිවයන අතර ඔවුන් දෙදෙනාම ආදි ආනන්දීයයන්ය.


කෙසේ වෙතත් රනිල් වික්‍රමසිංහ මහතාගේ උදහසට ලක්වූ පිරිසක් ලෙස හඳුනාගත හැකි පූජ්‍ය උලපනේ සුමංගල හිමි, ශිරාල් ලක්තිලක, මෛත්‍රී ගුණරත්න, රවී ජයවර්ධන, පාලිත ලිහිණියකුමාර වැනි පිරිසක් මූලිකත්වය ගෙන සෝභිත හිමියන් වටා ගොඩනඟන මෙම ව්‍යාපාරයදෙස රංජිත් කබ්රාල් මහතා බැලුවේ එතරම් සුබවාදී දෘෂ්ටියකින් නොවේ. දේශපාලනය පිළිබඳ දැඩි උනන්දුවක් නොදැක්වූ ඔහු බොහෝ විට සෝභිත හිමියන්ට, මෙම සංවිධානයට මූලිකත්වය දෙන පිරිසකගේ ඇති දේශපාලන යටි අරමුණ පිළිබඳ තම කනස්සල්ල පළ කළේය. එය එසේ වුවත් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම මූලික සටන්පාඨය කරගත් මෙම ව්‍යාපාරයෙන් සෝභිත හිමියන් ඉවත්කර ගැනීමට රංජිත් කබ්රාල් මහතාට අවශ්‍ය නොවීය. ඒ අතරම සෝභිත හිමියන් ද කබ්රාල් මහතාගෙන් ඉල්ලා සිටියේ තමා පිටුපසින් සිට සියලු දේ නිරීක්‍ෂණය කරන ලෙසයි.



Recommended Articles