කොටින්ට ජය එකතු කළ ජය සිකුරු මෙහෙයුම


යුද ඉතිහාසයේ අලිමංකඩ පරාජයේ බියකරු මතකයෙන්

07 වැනි කොටස

 

අනෙක් අතට හුදකලාව පිහිටි පුනරීන් කඳවුර පිළිබඳව ද මේජර් ජනරාල් කොබ්බෑකඩුව සහ බි්‍රගේඩියර් විමලරත්න දැරුවේද එවැනිම අදහසකි. ඒ අනුව එම පුනරීන් කඳවුර ශ්‍රී ලංකා හමුදාව සතුව පැවතීම මගින් අර්ධද්වීපයත් වන්නි ප්‍රදේශයත් අතර පිහිටි ප්‍රධාන LTTE සැපයුම් මාර්ගයට නිරන්තරයෙන් ම බාධා පැමිණෙන අතර කෙදිනක හෝ අර්ධද්වීපය LTTE යෙන් නිදහස් කර ගැනීම සඳහා දියත් කරන මෙහෙයුමකදී උපක්‍රමික හා ක්‍රියාකාරී කාර්යය භාරයක් එම කඳවුරට කළ හැකි වනු ඇතැයි ඔවුහු බලාපොරොත්තු වූහ.


කෙසේ වෙතත් මෙම හමුදා නිලධාරීන් දෙදෙනා අනාගතය පිළිබඳ බලාපොරොත්තුවෙන් ගොඩනැගූ මෙම කඳවුරු දෙකම නොමැතිව ආරම්භ කළ ජයසිකුරු යුද සැලසුම එසේ වුවත්, එම සියලු ඉලක්කයන් මිරිඟුවක් බවට පත්කරවමින් විශාල බැලුමක් හුළං ගසා පුම්බන ආකාරයෙන් ශ්‍රී ලංකා හමුදාව A9 මාර්ගය ඔස්සේ වන්නි කැලය තවදුරටත් ආක්‍රමණය කරද්දී යුද ශක්තියෙන් හීන වී වන්නි කැලයට සීමා වී සිටි ඛඔඔෑ සංවිධානයට එම ජයසිකුරු ක්‍රියාන්විතය ද තවත් වෙස් වළාගත් ආශිර්වාදයක්ම විය. 


‘නොනවතින රැල්ල ' (UNCEASING WAVES I - Oyatha Alaigal - I)  මගින් සාර්ථක ලෙස මුලතිව් හමුදා කඳවුර අත්කර ගැනීමෙන් පසු ව වන්නි කැලයේ හොඳින් කල් කල් බලමින් සිටි ප්‍රභාකරන් මේ අනුව නොනවතින රැල්ල »» අදියර 1998 සැප්තැම්බර් මාසයේ දී ආරම්භ කළ අතර ආරම්භයේ දී ම කිලිනොච්චිය තම පාලනයට යළිත් හසුකර ගත්තේ ය. එහි ප්‍රතිඵලයක් ලෙස එම ප්‍රදේශයේ සිටි 54 සේනාංකය අලිමංකඩ දක්වා පසු බැස ගිය අතර, වන්නි පසුබැසීමේ ආරම්භය එයයි. ඒ සමගම ජයසිකුරු ක්‍රියාන්විතය මගින් A9 මාර්ගයේ විශාල දුරස් හා සමස්ත වන්නි ප්‍රදේශයෙන් 40%ක් නිදහස් කර ගනු ලැබූවත් එය අසාර්ථක වී අතරමග නතර කරන අවස්ථාව හෙවත් 1999 නොවැම්බර් 2 වැනිදා වන්නි පසු බැසීම (Vanni Debacle)  සිදුවන අවස්ථාව වන විට ශ්‍රී ලංකා හමුදාවේ සෙබළුන් 5000 කට වඩා වැඩි පිරිසක් මියගොස් හෝ අතුරුදන්ව සිටි අතර එවැනි ම පිරිසක් තුවාල ලැබූහ. ඒ අතරම එම  ක්‍රියාන්විතයේ දී අත්විඳි කටුක බව නිසා ම තවත් දහස් ගණනක සෙබළ පිරිසක් හමුදාවෙන් පැන ගියහ. 


මාස 18 ක් පුරා වන්නි කැලයේ A9 මාර්ගය ඔස්සේ 65නප ක සිහිනයක් සැබෑ කර ගැනීම සඳහා සිදු කළ මෙම ජයසිකුරු ක්‍රියාන්විතයේ ප්‍රහාරක බළ ඇණි සඳහා කැඳවා තිබුණේ ශ්‍රී ලංකා හමුදාවේ වඩාත්ම පරිණත සහ යුද්ධයෙහි දක්ෂ සෙබළ කණ්ඩායම්ය. වන්නි පසු බැසීම ඇරඹීමට සති කිහිපයක සිටම ශ්‍රී ලංකා හමුදාවේ භෞතික සහ මානව සම්පත් විශාල වශයෙන් විනාශවීම ඇරඹී තිබුණ අතර වන්නි පසුබැසීම සිදුවෙද්දී අතහැර දමා ආ අවි ආයුධ හා වෙනත් භෞතික සම්පත් අතර 152පප අවි සඳහා යොදන වෙඩි උණ්ඩ 4000 ක් පමණ කනගරායන්කුලම්හි දී ඛඔඔෑ ය සතුවිය. 


මේ අතර වන්නි පසුබැසීමට සතියකට පෙර LTTE ශ්‍රී ලංකා හමුදාව උපක්‍රමික නොමඟ යැවීමකට පත් කළේය. ඊට අනුව ටැමිල් නෙට් වෙබ් අඩවිය දෙස් විදෙස් මානව හිමිකම් සංවිධාන වෙත ඉල්ලීමක් කරමින් ශ්‍රී ලංකා හමුදාව නුදුරේදී එල්ල කරන්නට සැලසුම් කරන මහා පරිමාණ ප්‍රහාරයක් මගින් වන්නියේ සිවිල් ජනතාව ඉතා දුෂ්කර තත්ත්වයක පත්විය හැකි බැවින් ඒ පිළිබඳ ජාත්‍යන්තර ප්‍රජාව දැනුවත් කර එවැනි ප්‍රහාරයක් එල්ල කිරීමට ඇති ඉඩකඩ අහුරා දමන ලෙස ඉල්ලා සිටියේය. එසේ කියා සතියකින් LTTE ය ප්‍රහාර එල්ල කරත්ම ශ්‍රී ලංකා හමුදාව තමන් මාස 18ක් පුරා නොතිත් වෙහෙසකින් හා කැපවීමෙන් අත්පත් කරගත් ප්‍රදේශ දමා පැන දිවූහ. විශේෂයෙන්ම වන්නි පරාජය වැනි හමුදා ඛේදවාචකයක් සිදුවීම පිටුපස වූ ප්‍රධානතම සාධක කිහිපය අතරින් ත්‍රිවිධ හමුදාව අතර මනා සම්බන්ධීකරණයක් නොතිබිම ද කැපී පෙනේ. උදාහරණයක් ලෙස ජයසිකුරු සඳහා උද්ගත වූ සෙබළ හිඟය මග හැරවීමට නාවික හමුදාව ද වන්නි කැලයට කැඳවුවත් රටේ ප්‍රධාන නාවික මධ්‍යස්ථානය වූ ත්‍රිකුණාමලය නගරයේ ආරක්ෂක කටයුතුවල ශ්‍රී ලංකා හමුදාව තවදුරටත් නිරත විය. 


වන්නි කැලය තුළ LTTE ය ඉදිරියෙහි මෙතරම් වූ නීරස සහ අභියෝගාත්මක ක්‍රියාන්විතයට ඊට සම්බන්ධ වූ හමුදා සෙබළු හා විවිධ නිලයන්ට අයත් නිලධාරීන් මුහුණපාද්දී අනෙක් අතට හමුදාවේ සමහර ඉහළ නිලධාරීහු රිසි සේ දේශපාලනීකරණයට ලක්වෙමින් සිටියහ. මෙම තත්ත්වය විශේෂයෙන්ම සටන් බිමේ සිටි විවිධ මට්ටමේ නිලධාරීහු ද යම් යම් මාර්ගවලින් තේරුම් ගෙන සිටියහ. තවද මෙම කාලය තුළදී ක්‍රියාත්මක වූ සමහර ජනමාධ්‍යවේදීහු ඉහත සිද්ධීන් දෙගුණ තෙගුණ කර සාමාන්‍ය සමාජයට ගෙන ගියහ. ඒ අනුව මෙම සිදුවීම් හමුදාවේ ඉහළ හා පහළ නිලධාරීන් අතර ආකල්පමය බෙදීමකටද හේතුවූ අතර මෙවැනි පුවත් සම්බන්ධ ලිපි ලේඛන කියවූ හමුදා සාමාජිකයන් පමණක් නොව සාමාන්‍ය ජනතාව ශ්‍රී ලංකා හමුදාවේ ඉහළ නායකත්වයට වෛර කරන්නට වූහ. මෙම තත්ත්වය මත එක් අතකින් හමුදාවේ චිත්ත ධෛර්යය බිඳ වැටෙද්දී අනෙකුත් අතින් ඇතිවෙමින් පැවති තත්ත්වය ප්‍රභාකරන් විසින් හොඳින් තේරුම් ගනිමින් සිටියේ ය. ඛඔඔෑ ය විසින් ජයසිකුරු ක්‍රියාන්විතය උඩු යටිකුරු කළ ඔඞ්ඩුසුඩාන් ප්‍රහාරය එල්ල කළේ මෙවැනි පරිසරයකය. සැබවින් ම මුලතිව් සිද්ධිය හා අනුක්‍රමික වන්නි පසුබැසීමෙන් පසුව ශ්‍රී ලංකා හමුදාව පැහැදිලි දිශානතියක් හෝ අරමුණක් නොමැතිව තම රාජකාරිය ඛඔඔෑ ය සමග සටන් කිරීම පමණකි වැනි බිඳුණු මානසිකත්වයකින් කල් ගෙවීය. ඒ අතරම තමන් කොළඹ දේශපාලන රඟමඬලේ බළල් අත බවට (Catspaw) පත් ව ඇති ආකාරයක් ද ඔවුන්ට වැටහිණි. සෑම අතින් ම දක්නට ලැබුණේ තම සොයුරු සෙබළුන්ගේ මරණයන්, තුවාල ලැබීම් හා හමුදාව අතහැර පලා යාම්ය. අනෙක් අතට රජය මෙන් ම විපක්ෂයත් පුන පුනා කියා සිටියේ LTTE යත් සමග සාකච්ඡා කර විසඳුමකට පැමිණීමට තමන් අපේක්ෂා කරන බවකි. මෙමඟින් නිවැරදි යුද මානසිකත්වයකින් තොරව සටන් බිමේ සිටි බොහෝ හමුදා නිලධාරීන්ට සහ සෙබළුන්ට හැඟුණේ රජය LTTE යට යම් කිසිවක් දීමට සූදානම් බව ය. එතැන් සිට එම පිරිසේ චිත්ත ධෛර්යය තවදුරටත් පහළ වැටිණි.


වන්නි පරාජයේ ප්‍රතිඵලයක් ලෙස යුද්ධය පිළිබඳ ඇති විශ්වාසය සහ උනන්දුව පිරිහී ගියේ හමුදාව තුළ පමණක් නොව, සමස්ත ශ්‍රී ලංකා සමාජය තුළම එය එක ලෙස සිදුවිය. වන්නි පසුබෑමෙන් පසුව නවක සෙබළුන් 15,000 ක් ශ්‍රී ලංකා හමුදාවට බඳවා ගැනීම සඳහා දීප ව්‍යාප්ත මට්ටමින් ප්‍රචාරක වැඩසටහන් සිදු වුවත් 2000 වසරේ මාර්තුවේ අවසන් වූ බඳවා ගැනීමේ කාලසීමාව තුළ දී හමුදාවට නවකයින් ලෙස බැඳුණේ 1400 දෙනෙකු පමණි. 

 

විශේෂයෙන්ම රිවිරැසෙන් පසුව රටම යුද ජයග්‍රාහී මානසිකත්වයක සිටියදී ඉදිරි මෙහෙයුම්වලට පෙර නවක සෙබළු 50,000 ක් වත් බඳවා ගත යුතු යැයි හමුදාවේ සමහර තරුණ නිලධාරීන් අදහස් ඉදිරිපත් කළත් එය නිසියාකාරයෙන් කළමනාකරණය කර ගැනීමට රජය මෙන්ම හමුදා නායකත්වය ද අසමත් විය. 


මෙම වන්නි පසුබෑම හා ඊට පෙර මුලතිව් පරාජය, රිවිරැස මෙහෙයුමේ සිට ජයසිකුරු මෙහෙයුම දක්වා චන්ද්‍රිකා රජය ගෙන ගිය “සාමය සඳහා යුද්ධය” නමැති යුදමය ක්‍රියාවලිය බිඳ දැමීමට සමත් වූ අතර ඉන් ඉදිරියට සියල්ල LTTE යෙහි යහපත සඳහා ම සිදුවිය. වන්නි පසු බැසීමේ දී ශ්‍රී ලංකා යුද හමුදාවේ සුප්‍රසිද්ධ ප්‍රහාරක සේනාංකයක් වූ මේජර් ජනරාල් සිසිර විජේසූරියගේ නායකත්වයෙන් යුත් 53 සේනාංකය ද මෙහෙයුමට සහභාගී වූ අනෙකුත් සේනාංකයන් සමග පරාජිත මානසිකත්වයකින් වව්නියාව දක්වා පසුබැස ගිය අතර එතැන් සිට ශ්‍රී ලංකා හමුදාවේ නව උපාය මාර්ගය වූයේ ප්‍රහාර එල්ල වන විට ක්ෂණිකව පසුබැසීම යි. (ගහන විට දිවීම) විශේෂයෙන් ම යුද්ධය සඳහා ම විශේෂිත වූ 53 වැනි සේනාංකය සමග එහි විශේෂ බළකාය  (SF) කොමාන්ඩෝ බළකාය හා ගුවන් සංක්‍රමණික බළකාය (Air Mobile Unit)  මෙලෙස LTTE ය ඉදිරියෙහි පසු බැසීම සමස්තයක් ලෙස ශ්‍රී ලංකා යුද හමුදාව ලත් මහා පරිමාණ මනෝ විද්‍යාත්මක පරාජයක් විය. විශේෂයෙන්ම නියෝජ්‍ය ආරක්ෂක ඇමති රත්වත්ත හට හමුදාව තුළ මෙන් ම සාමාන්‍ය සමාජය තුළ ද ගොඩ නැගී තිබුණ ගෞරවය හා ජනප්‍රියතාව ශීඝ්‍රයෙන් හීනවන්නට මෙම තත්ත්වය ද හේතු විය. 


ශ්‍රී ලංකා යුද ඉතිහාසයේ දරුණුතම පරාජයක් වශයෙන් සැලකෙන වන්නි පසු බැසීමට අදාළ ජය සිකුරු ක්‍රියාන්විතය වව්නියාව පදනම් කරගත් වන්නි ආරක්ෂක සේනා මූලස්ථානයේ මෙහෙයවීම යටතේ සිදු විය. 


මාස 18 කට අධික කාලයක් ක්‍රියාවට නැංවුණු එම මෙහෙයුම සඳහා ගුවන් හා නාවික හමුදාවේ සෙබළු දහස් ගණනක්ද සමග යුද හමුදාවේ යුද්ධය සඳහා ම විශේෂිත වූ 53 වැනි සේනාංකයට අමතරව 55, 56 හා 21 යන සේනාංක ද සහභාගී වූහ. විශේෂයෙන් ම මෙහිදී මේජර් ජෙනරාල් ශාන්ත කෝට්ටෙගොඩ මෙහෙය වූ 21 සේනාංකය මන්නාරම හා වව්නියා ප්‍රදේශයේ ආරක්ෂක කටයුතුවල නියුතු වූ අතර බි්‍රගේඩියර් ගාමිණී හෙට්ටිආරච්චි මෙහෙය වූ 53 සේනාංකය, බි්‍රගේඩියර් කුම්බන් බොහොරාන්ගේ නායකත්වයෙන් යුත් 55 සේනාංකය හා මේජර් ජෙනරාල් ගාමිණී ගුණසේකර මෙහෙය වූ 56 සේනාංකය ජයසිකුරු ක්‍රියාන්විතයට ක්‍රියාකාරී ලෙස දායක විය. ජයසිකුරු මෙහෙයුම සිදුවන අවස්ථාවේදී වන්නි ආරක්ෂක සේනා මූලස්ථානයේ ප්‍රධානියා ලෙස කටයුතු කරන ලද්දේ මේජර් ජනරාල් වසන්ත පෙරේරා ය. ඔහු ඊට පෙර 54 සේනාංකයේ ද පසුව 53 වැනි සේනාංකයේ ද ප්‍රධානියා ලෙස කටයුතු කළේය.

 

 


සකස් කළේ : 
ප්‍රසන්න සංජීව තෙන්නකෝන්
ඡායාරූපය : අන්තර්ජාලයෙනි.



Recommended Articles