කඳවුරේ පාලනය කැරැලිකරුවන් අතට


ජවිපෙ ආරම්භක සාමාජිකයකුගේ මතක සටහන්

12 වැනි කොටස

 

 

අම්බලන්ගොඩ ගුස්තික්‍ඳ්ක්‍ඳවඩු පියසිරි ගුණරත්න ජනතා විමුක්ති පෙරමුණේ ආරම්භක සාමාජිකයෙකි. ඒ ඉපැරණි මතකය සිහිපත් කරමින් ඔහු “මගේ මතක සටහන්” (ජනතා විමුක්ති පෙරමුණ සහ අප්‍රේල් කැරැල්ල) නමින් කෘතියක් පසුගියදා එළිදැක්විණි. මේ ඒ කෘතියෙන් උපුටාගත් කොටසකි.

පාලනය කිරීමට බන්ධනාගාර නිලධාරීන් නැති නිසා හමුදාව කෑම පිස ගැනීම අපට කරගන්නා ලෙස උපදෙස් දුන්නේය. අපි ඒ අනුව ශාලා හතට දින හත බෙදා දුන්නෙමු. හමුදා සෙබළු කිසිවකු කඳවුර තුළ රඳවා තිබුණේ නැත. පසු දිනයට පිසීමට වුවමනා දෑ ගෙන ඒම සඳහා එම දිනය අයත් ශාලාවේ පස් හය දෙනෙකු පමණ ගේට්ටුව ළඟට යා යුතු විය. ඔවුන් හමුදා වාහනයක රැගෙන ගොස් බඩු රැගෙන ඒමට සංවිධානය කර තිබුණි


බන්ධනාගාරයේ පාලනය තිබුණ කාලයෙහි දවසකටම ලැබුණේ පොල් ගෙඩි 125 පමණි. හමුදාවෙන් අප භාරගෙන පළමු දවසේම උදේ ආහාර වේලට පමණක් පොල් ගෙඩි 115 ක් ගෙන එන ලදී. දහවලට හා රාත්‍රියට සමග පොල් ගෙඩි 300ට කිට්ටු ප්‍රමාණයක් ලැබුණි. උදේ ආහාරයට ලැබුණු පාන්, කරවල හා එළවළු ප්‍රමාණය ද මෙසේ වැඩි විය.
ලැබුණු සියලුම පොල් ප්‍රයෝජනයට ගැනීමට අවශ්‍ය වූයේ නැත. එබැවින් පොල් ගෙඩි ඉතුරු විය. මේ නිසා අපි හමුදා නිලධාරීන්ට කියා පොල් වෙනුවට අමතර එළවළුවක් හෝ අමතර කෑමක් ලබාගැනීමට කටයුතු කළෙමු. අපේ ආහාරවලින් කෙතරම් මුදලක් බන්ධනාගාර නිලධාරීන් ගසා කන්නට ඇත්දැයි අපට තේරුම් ගන්නට ලැබුණේ යුද හමුදාව නිසයි.
අප සෑම දිනකම උදේ පාන්දර කඳවුරේ පිට්ටනියේ සියයක් එක ගොඩකට වෙන ලෙස දහයේ පේළි සැදී සිටිය යුතු විය. එවිට හමුදා නිලධාරීහු පැමිණ ගණන් ගත්තෝය. ඔවුහු ඉන්පසු කඳවුරු රෝහල් වාට්ටුවේ සිටින රෝගීන් හා කුස්සියේ සිටින අය ද ගණන් කර සියලු රැඳවුම්කරුවන් සිටින බව සහතික කර ගත්හ. සොල්දාදුවන් කඳවුරු තුළට පැමිණියේ මේ ගණන් කිරීම සඳහා පමණි. මෙම කඳවුර තුළ එක්දහස් දෙසියයක් පමණ සිටියහ.


දිනක් කඳවුර තුළ දැන්වීමක් අලවා තිබුණි. එහි තිබුණේ ගරුසිංහ නම් තැනැත්තා අල්ලාදෙන හෝ තොරතුරක් ලබාදෙන්නේ නම් ත්‍යාගයක් දෙන බවටය. මෙහි ගරුසිංහ සහෝදරයාගේ ශරීර ලක්ෂණ ලෙස සඳහන් කර තිබුණේ හරියටම මාගේ ශරීර ලක්ෂණය. එය කියවා බලා මේ ලක්ෂණ අනුව නම් කවරදාවත් ගරුසිංහ සහෝදරයා අල්ලාගත නොහැකි වන බව මම අපේ සහෝදරවරුන්ට කීවෙමි. මෙය මෙසේ සිදුවන්ට ඇත්තේ හයිඞ්පාක් රැස්වීමේ පෝස්ටර් ත්‍රිකුණාමලයෙහි අලවමින් සිටි අවස්ථාවේදී ත්‍රිකුණාමලය පොලීසිය ලියාගත් ශරීර ලක්ෂණ සටහන් මාරුවීම නිසා යැයි මම සිතුවෙමි.


මේ වන විට පිහිටුවා තිබූ මෙවැනි කඳවුරු අතර සම්බන්ධතාව පවත්වාගෙන ගිය එක් ක්‍රමයක් වූයේ කඳවුරුවල රෝගී වන අය රැගෙන ගිය අප සහෝදරයින් මගිනි. උදෑසන ගණන් කිරීමෙන් පසු අසනීප වී කඳවුරෙහි වාට්ටුවේ සිටින රෝගීන් වාට්ටුවේ වැඩ කරන අප සහෝදරයකු සමග ගේට්ටුව ළඟට යා යුතු විය. එවිට හමුදා වාහනයකින් ඔවුන් මැගසින් බන්ධනාගාරයට ගෙන යයි. මෙසේ සෑම කඳවුරකම අය බෙහෙත් ගැනීමට ගෙන ආවේ මැගසින් බන්ධනාගාරයේ රෝහලටය. සමහර අවස්ථාවල දී බොහෝ දුරබැහැර සිරගෙවල්වල සිටි සහෝදරවරුන් ද ප්‍රතිකාර කිරීම සඳහා එහි ගෙන එන ලදී. එතැන දී පණිවුඩ හුවමාරු කරගැනීමට ව්‍යාපාරයේ අය කටයුතු යොදා තිබුණි. බොහෝවිට කඳවුරු රෝහල් වාට්ටුවේ කටයුතු කළේ ව්‍යාපාරයේ විශ්වාසවන්ත සහෝදරවරුන්ය.


අප කඳවුරේ උදේ ගණන් කිරීමෙන් පසු සියලු දෙනා එකතු වී දේශාභිමානී ගී කිහිපයක් ගායනා කරන්නට අපි පුරුද්දක් ඇති කර ගත්තෙමු. මේ කාලයෙහි අනෙක් කඳවුරුවල ද මෙසේ ගී ගායනා කර ඇති බව පසුව දැන ගැනීමට ලැබුණි.


මේ අතරවාරයේ විජේවීර සහෝදරයා මට පණිවුඩයක් එවා තිබුණි. මගේ නම කියා ඉදිරිපත්වන ලෙස නිවේදනය කළහොත් ඉදිරිපත් නොවී සිටින ලෙසත් මා සම්බන්ධ වන සියලු දෑ වෙනත් සහෝදරයකුගේ නමට බැරවී තිබෙන බවත් එම පණිවිඩයෙන් දන්වා තිබුණි. මහ නඩුවට සම්බන්ධ අයගේ නම් ලැයිස්තුවක් කඳවුරේ වූ ශබ්ද විකාශන පද්ධතියෙන් කියවූයේ මේ දිනවලමය. එහි කුලරත්න බණ්ඩා නොහොත් පියසිරි ගුණරත්න ලෙස නමක් ඇතුළත් වී තිබිණි. මම ඉදිරිපත් නොවී සිටියෙමි. ව්‍යාපාරයේ ශිෂ්‍ය අංශයේ වැඩ කළ කුලරත්න බණ්ඩා හෙවත් ගුණරත්න බණ්ඩා යන අය ඔහුගේ ව්‍යාජ නම ලෙස පියසිරි ගුණරත්න ලෙස භාවිතා කර ඇති බව පසුව මට දැන ගැනීමට ලැබුණි. ඒනිසා මා සම්බන්ධ බොහෝ සිදුවීම් බැරවී ඔහු වෙත පැවරී ඇති බවත් කියැවුණි. ඒ වන විට මා ඔහු ගැන දන්නේ නැත. ඔහුද කුඩා කල අම්බලන්ගොඩ පෝරඹ ගමේ පදිංචිව සිටි බව ද දැනගන්නට ලැබුණි. මාගේ බිරියගේ ගම වූයේ ද පෝරඹයි. පෝරඹ යනු මාගේ ගම වූ කලුවඩුමුල්ලට අල්ලපු ගමය. මුල් කාලයේ අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහලේ හා පසුව කැලණියේ ඉගෙනුම ලබා ඇති මොහු මහ නඩුවේ 15 විත්තිකරු බවට පත්විය. දැන් යෝගී පියසිරි නමින් ප්‍රසිද්ධ වී ඇත්තේ මේ සහෝදරයාය.


අප්‍රේල් 05 දින උදෑසනම වාගේ පොලිස් සාජන්වරයකුට වෙඩි තබා මරා දැමූ සහෝදරයකු අප කඳවුරේ සිටියේය. මොහු ඌරගස්මංහන්දියේ පදිංචිකරුවකු වූ අතර ඔහුගේ නම රොබට් විය යුතුය. මොහු රහසිගතව කඳවුරෙන් පිට කිරීම සඳහා සැලසුමක් අපි සකස් කළෙමු. සෑම රාත්‍රියකම හමුදා මුර සේවය පැවැත්වෙන ක්‍රමය ගැන අපි දින ගණනාවක් සෝදිසියෙන් සිටියෙමු. කම්බි පොට 13ක් පමණ වූ අඩි හය හතක දුරින් පිහිටි උස කම්බි වැටවල් දෙකක් කඳවුර වටා තිබුණි. කම්බි වැට හරහා එළියට යාමට හැකියාවක් ඇති බව පසුව අපි තීරණය කළෙමු. ඒ අනුව කරුවල රැයක දී ඔහු කුණු කානුව දිගේ බඩගාගෙන කම්බි වැට හරහා කඳවුරෙන් පැන ගියේය. අප මුහුණ දුන් ඊළඟ ප්‍රශ්නය වූයේ උදේ ගණන් කිරීමේ දී මෙය වසන් කරගන්නේ කෙසේ ද යන්නයි. මේ සඳහා ඉදිරිපත් වූයේ කඳවුරු රෝහල් වාට්ටුවේ සිටි මට මතක හැටියට නම් සෙනෙවිරත්න සහෝදරයාය. මොහු මා විසින් පන්ති කරන ලද හුරුලුවැව යකල්ල ගමේ සහෝදරයෙකි. මොහු මුලින් ගණන් කරන සීයේ ගොඩවලට එකතුවී මුල් සීයේ සිට එය ගණන් කර ගිය පසු හොරෙන්ම තමාට වාට්ටුවට යා හැකි බව කියා සිටියේය. අසනීප ලෙඩුන් වාට්ටුවේ මුහුණ පවා වසා ගෙන සිටි නිසා වැරදීමකින් හෝ හඳුනා ගැනීමට ඉඩක් තිබුණේ නැත. එම උපාය අනුව කටයුතු කරමින් සුමානයක් පමණ කාලයක් ඔහුගේ පැනයාම නොදැනෙන ලෙසට තබාගැනීමට හැකි විය.


මේ කාලය වන විටම වාගේ තරුණ පිරිස් කඳවුරේ ක්‍රිකට් සෙල්ලම් කිරීම පටන් ගෙන තිබුණි. ටික දිනකට පසු සුනන්ද සහෝදරයා ද එහි සෙල්ලම් කරමින් සිටිනු මම දුටුවෙමි. ඔහුගේ නම ද මහ නඩුවට ඇතුළත් වන බව ඒ වන විට අපි දැනගෙන සිටියෙමු. ක්‍රිකට් ගහන අය කඳවුරෙන් පැන යෑම ගැන සාකච්ඡා කරන බව මට දැන ගන්නට ලැබුණි. මම සුනන්දට කතා කර කල්පනාවෙන් වැඩ කරන්න යැයි කීවෙමි. ළිඳේ වැටුන මිනිහා ළිං කටෙන්ම ගොඩ එන්න නේද ඕනේ කියාත් මම ඔහුට කීවෙමි. මට පසුව දැන ගන්නට ලැබුණේ තම මවගේ අකමැත්ත නිසා ඔහු කඳවුරෙන් පැන යාමේ අදහස අත්හැරිය බවයි.


මේ කාලේ කඳවුර වටා රාත්‍රී කාලයට යුද හමුදා බෆල් එකක් ගමන් කරමින් තිබුණි. එය සමහරදාට අප එළිමහනේ කතා කරමින් සිටි තැන ටික වේලාවක් නවතාගෙන සිටින්නට විය. මේ ගැන අප කතා කර ලක්ෂ්මන් මාදුවගේ (මහ නඩුවේ 23 වන සැකකරු) සහෝදරයා ලවා එම යුද හමුදා රථයේ අයට ඇසෙන්නට දේශන පැවැත්වීමට අපි තීරණය කළෙමු. එලෙස දේශන පටන් ගත් පසු හැම දිනකම වාගේ අප සිටි තැනට පැමිණි බෆල් රථය නවතාගෙන ඔවුහූ දේශනය අසාගෙන සිටින්නට පටන් ගත්හ. ලක්ෂ්මන් සහෝදරයා දේශනය කරමින් සිටින අතර වාරයේ ඔවුන් යන්න සූදානම් වී ඒ බව සංඥාවකින් දන්වන්නට විය. ලක්ෂ්මන් සහෝදරයා දේශනය නවත්වන්නේ එවිටය. යුද හමුදා වාහනය ආපසු රවුමක් ගොස් පෙර පරිදිම නවත්වයි. එවිට නැවත දේශනය ආරම්භ වේ.


විද්‍යෝදය සිර කඳවුර ඉවත් කර නැවත එම ගොඩනැගිලි විශ්වවිද්‍යාලයට භාරදීමට තීරණය කිරීමෙන් පසුව, එහි සිටි අය වෙනත් කඳවුරු සහ සිර ගෙවල්වලට මාරු කරන ලදී. අනුරාධපුර සිර ගෙදරින් පැමිණි අය අනුරාධපුර සේනපුර කඳවුරට ගෙන ගිය අතර ගාල්ලේ සිරගෙදරින් ගෙන එන ලද ලක්ෂ්මන්, සුනන්ද, ධනසිරි, රුවන් ඇතුළු පිරිස හම්බන්තොට රිදියගම කඳවුරට ගෙන යන ලදී. මා ගෙන යන ලද්දේ සේනපුර කඳවුරටයි.


මෙම කඳවුරෙහි ආරක්ෂාවට ද හමුදාව යොදා තිබුණි. එහි අණදෙන නිලධාරී ලෙස සිටියේ අප ගාන්ධි සර් නමින් හැඳින්වූ මා ධර්මාශෝක විදුහලේ ඉගෙන ගත් කාලයේ අපට ඉගැන් වූ ගුරු මහතෙකි. එකල ශිෂ්‍යභට කණ්ඩායම භාරව කටයුතු කළේ ද ඔහුය. ඔහු යටතේ මම ද කණිෂ්ඨ ශිෂ්‍යභට බළකායේ සිටියෙමි. මා පාසල් ගියේ රතු අම්මා (නැන්දා) ගේ ගෙදර සිටය. එම නිවසේ සිට ගාන්ධි සර්ගේ ගෙදරට තිබුණේ යාර 500ක තරම් දුරකි.


ගාන්ධි සර් වරක් අම්බලන්ගොඩ නගර සභාවට ලංකා සමසමාජ පක්ෂයෙන් තරග කළ අතර ඔහුගේ ඡන්ද ප්‍රචාරක කටයුතු සඳහා (ගෙයින් ගෙට යාම වැනි) එකල අපි සහභාගි වූයෙමු.

 

 

 

සකස් කළේ : 
ප්‍රසන්න සංජීව තෙන්නකෝන්
ඡායාරූපය : අන්තර්ජාලයෙනි.



Recommended Articles