බුදුරාජාණන් වහන්සේගේ පාද ස්පර්ශයෙන් පසු ශ්‍රී ලාංකික ජනතාව පමණක් නොව විදේශිකයින් අතරද මහත් ගෞරවාදරයට පාත්‍ර වූ පරම පූජනීය වාර්ෂික සිරිපා වන්දනා වාරය අද දිනට (11) යෙදෙන උඳුවප් පොහෝ දිනෙන් ඇරඹෙයි. 


ඓතිහාසික පැල්මඩුලු පුරාණ රජ මහා විහාරය රත්නපුර, කරංගොඩ පොත්ගුල් රජ මහා විහාරය යන උභය විහාරාධිපති ශ්‍යාමෝපාලී වංශික මහා නිකායේ මල්වතු විහාර පාර්ශ්වයේ රත්නපුර මහා දිසාවේ ප්‍රධාන සංඝ නායක ධර්මකීර්ති ශ්‍රී සුංමගල ධම්මරක්ඛිත බෙංගමුවේ ශ්‍රී ධම්මදින්න ශ්‍රී පාදස්ථානයේ නායක ස්වාමින්වහන්සේගේ අවවාද අනුශාසනා පරිදි නුවරඑළිය මහා දිසාපති එම්.බී.ආර්. පුෂ්පකුමාර මහතා, අඹගමුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, මස්කෙළිය ප්‍රාදේශීය සභාව, හැටන් පොලිස් අධිකාරි කාර්යාලය, නල්ලතන්නිය වනජීවී කාර්යාලය ඇතුළු වෙනත් රාජ්‍ය නිලධාරීන්ගේ අධීක්ෂණයෙන් වන්දනාකරුවන්ගේ ආරක්ෂාව හා සුබසෙත වෙනුවෙන් අතිවිශාල මෙහෙවරක් සිදු කෙරේ. 


අදට යෙදෙන උඳුවප් පොහොය සිට ලබන 2020 වෙසක් පොහොය දක්වා පුරා මාස 06 තුළ ලක්ෂ හැටකට අධික බැතිමතුන් පිරිසක් ශ්‍රී පාදය වන්දනාමාන කරනු ඇතැයි අපේක්ෂා කරන අතර ඔවුනගේ සියලු අවශ්‍යතා, පහසුකම් සපුරා ලීමට ශ්‍රී පාද නාහිමියන්ගේ විශේෂ අවධානය යොමු වීමද සතුටට කරුණකි. 


සිරිපා වන්දනාවේදී ඔබ දැනුම්වත්ව හෝ නොදැනුම්වත්ව කරන වැරදි මඟහැර පුදබිමේ ගෞරවය වගේම පරිසර සුන්දරත්වය ගැනත් වන්දනාකරුවන් සැලකිලිමත් විය යුතු අතර පින්බර සිරිපා කරුණාවක් සඳහා ඔබේ ආරක්ෂාවට විශේෂ උපදෙස් මාලාවක් ඔබගේ අවධානය සඳහා ඉදිරිපත් කරමු.  

දරුවන් නොදන්නා අයට දීමෙන් වළකින්න
 සිරිපා කරුණාවේදී නිතරම ඔබ සමග යන වන්දනා නඩය සමගම ගැවසීමට වගබලා ගන්න. විශේෂයෙන් ඔබ කාන්තාවක හෝ තරුණියක් නම් වැඩිහිටියන් සමග ගමන් කරන්න. ඔබ සමග කරුණා කරන කුඩා දරුවන් සහ වැඩිහිටියන් ගැන මනා අවබෝධයකින් සිටීමට ද අමතක නොකරන්න. 


කුඩා දරුවන් අතදරුවන් රැගෙන යන මවුවරුන් ද අතරමඟ දී හමුවන්නන් ගැන ප්‍රවේසම් වන්න. ඔබ ගැන අනුකම්පාවෙන් දරුවා වඩාගෙන ඉහළට ගොස් දෙන බව පවසා දරුවා වඩා ගන්නන්ගෙන් ප්‍රවේසම් වන්න. එසේ රැගෙන ගොස් දරුවන්ගේ කරාබු, මාල, පංචායුධ වැනි වටිනා දේ ගලවාගෙන දරුවා ඉහළ තැන්වල දමා ගිය අවස්ථා ද තිබෙන බැවින් දරුවන් නොහඳුනනවුනට දීමෙන් වළකින්න. 


සති අන්තවල පෝය දිනවල සේම නිවාඩු දිනවල ද බැතිමතුන් විශාල සංඛ්‍යාවක් මෙහි ඇදී එන බැවින් හැකි තරම් සතියේ දිනවල සිරිපා වන්දනාව සංවිධානය කර ගත හැකි නම් ඔබට නිවීසැනසිල්ලේ සිරිපා නැමදිය හැකි බව සිහි තබා ගන්න. 


වාහනයෙන් බැස යාමට ප්‍රථම ඔබ පැමිණි වාහනයේ අංකය, රියැදුරුතැනගේ නම සේම ඒ අය සම්බන්ධකරගත හැකි දුරකතන අංකයක් හෝ කීපයක් පිළිබඳ විස්තර ඔබගේ පසුම්බියේ තබා ගන්න. හදිසියේ ඔබ අතරමං වුවහොත් මේ විස්තර දැන සිටීම ඔබගේ නඩය සොයා ගැනීමට විශාල පහසුවක් වනු ඇත. ඔබ සිරිපා කරුණා කරන්නේ රාත්‍රී කාලයේ දී නම් හදිසි විදුලි බලය විසන්ධි වීමක දී ප්‍රයෝජනය සඳහා විදුලි පන්දමක් ද රැගෙන යා යුතුය. වැස්සෙන් සහ ශීතලෙන් ආරක්ෂා වීමට ශීතල මකා ගත හැකි කබායක් රැගෙන යන්න. අත්‍යවශ්‍ය දේවල් හැර බර ගමන් මලු ඉහළට රැගෙන යාමෙන් වළකින්න. 


ඉහළට නගින විට නිතරම පාදා තිබෙන ගමන් මාර්ගය පමණක් අනුගමනය කරන්න. බොහෝ තරුණ පිරිස් ශ්‍රී පාද මාර්ගය දෙපස ගල්කුළුවලට නගිමින් කැලෑ බද පෙදෙස් හරහා ඉහළට යන්නට උත්සාහ කරති. මෙම ගල් ලිස්සනසුළු ඒවා සේම පෙරළී විශාල හානි සිදු විය හැකි බව සිහියේ තබා ගත යුතුය. 


පොලිතින් ඇසුරුම්, ෂොපිං බෑග් වැනි නොදිරන අපද්‍රව්‍ය ගෙනයන්න එපා. 
සිරිපා කරුණා කරන විට බිස්කට් පැකට්, ප්ලාස්ටික් වතුර බෝතල්, විවිධ පොලිතින් ඇසුරුම්, ෂොපිං බෑග් වැනි නොදිරන අපද්‍රව්‍ය මේ වටිනා පරිසරයේ තැන තැන දැමීමෙන් වැළකිය යුතුය. මෙවැනි දේ ඔබ සතුව තිබේ නම් ඒවා ඔබේ ගමන් මල්ලේ තබාගෙන කසළ බඳුනක් හමු වූ විට එහි දමන්න. ඔබ හා සිරිපා වඳින්නට යන අය ද මේ පිළිබඳ කරුණාවෙන් දැනුම්වත් කරන්න. ඔබට අවශ්‍ය දෑ කුඩා රෙදි බෑග් එකක දමාගෙන එන්න. 
සිරිපා කරුණා කරන විට නොදන්නා කුඩා දියකඩිති වලින් නෑමෙන් වළකින්න. ඔබ නොදන්නා සමහර ගැඹුරු තැන් ජීවිත හානි කිරීමටද පිළිවන. එසේම හැටන් නල්ලත්නිය මාර්ගයෙන් යන විට මෝහිනී ඇල්ලෙන් හා සීත ගඟුලේ පහළ කොටසින් දිය නෑමෙන් වළකින්න. 


නිතරම ඔබගේ කණ්ඩායමේ ඔබ සමග යන කුඩා දරුවන්, වැඩිහිටි අය ගැන විමසිලිමත් වන්න. දිනකට විශාල ගණනක් අතරමං වී ගැටලු මතුවන බැවින් ඒ ගැන අවධානය යොමු කරන්න. සිරිපා අඩවියේ ආවරණයක් සහිත ජංගම දුරකතන ඔබ සමීපයේ තබා ගන්න. 

 


පොලිස් නිලධාරීන්ගේ උපදෙස් පිළිපදින්න 
ඔබ එහි යන වාහනය ගාල් කරන විට එහි රාජකාරියේ යෙදී සිටින පොලිස් නිලධාරීන්ගේ උපදෙස් පිළිපදින්න. නවතා තබන සෑම රථයකම රියදුරු, කොන්දොස්තර තැන හෝ යතුරු භාරව සිටීම අනිවාර්ය වන බව මතක තබා ගන්න. 


සංගීත භාණ්ඩ, ගුවන්විදුලි යන්ත්‍ර, කැසට් යන්ත්‍ර ඉහළට රැගෙන යාමෙන් වළකින්න. මෙය හුදු විනෝද ගමනක් නොවේ. ශ්‍රද්ධාවෙන් යුතුව එසේම අවට පරිසරයේ වෙසෙන සතුන්ට අවහිර නොවන පරිදි යා යුතු වන්දනා ගමනකි. මේවා රැගෙන ගිය හොත් සිදු වන්නේ මේවා පොලිසිය බාරයේ තබා යාමටය. මේ ආකාරයට අවවාද නොතකා රැගෙන එන සංගීත භාණ්ඩ විශාල සංඛ්‍යාවක් පොලිස් ස්ථානවල ගොඩගසා තිබේ. 
කිසිසේත්ම මත්පැන් රැගෙන යන්න එපා. ඒවා අත්අඩංගුවට ගැනීමට විශේෂ පොලිස් කණ්ඩායම් යොදවා තිබේ. එසේම බීමතින් සිරිපා වන්දනා කරන්නන්ටද සිදුවන්නේ වෙරි හිඳෙන තුරු එහි තිබෙන සිර මැදිරියක කොටුවන්නටය. 

 


ඔබගේ උදව්වට ශක්තිමත් කෙනෙකු රැගෙන යන්න 
සීතල ඔරොත්තු නොදෙන ඇදුම වැනි රෝග වලින් පෙළෙන අය හෘද රෝග තිබෙන අය සේම වයෝවෘද්ධ අයද සිරිපා කරුණා කිරීමෙන් වැළකී සිටින්න. එහි යා හැකි වැඩිහිටි කෙනෙකු වුවත් තනිව යාමෙන් වළකින්න. ඔබගේ උදව්වට ශක්තිමත් කෙනෙකු රැගෙන යන්න. 


විශේෂයෙන් ඔබ කාන්තා පක්ෂයේ කෙනෙකු නම් සිරිපා කරුණා කරන විට ඔබගේ ඇඳුම් ගැන සැලකිලිමත් වන්න. ඉහළට නගින විට සුළඟේ යන කෙටි ඇඳුම් ඇඳීමෙන් වළකින්න. නිතරම දිග කලිසමකට ඔබින දිගු බ්ලවුසයක් හැඳගෙන යන්න. අඩ නිරුවතින් ඇඳුම් ඇඳගෙන ගොස් අනුන්ගේ උසුළු විසුළු වලට ලක් වන්න එපා. 

 


ඔබගේ ඇඳුම්වල වර්ණය ගැනත් සැලකිලිමත් වන්න 
සිරිපා ගමනේ දී වටිනා රන් ආභරණ පැළඳ යාමෙන් වළකින්න. ඒවා අත් බෑග්වලට දමාගෙන යාමෙන් ද වළකින්න. වටිනා දුරකථන, වටිනා කැමරා වැනි දේ රැගෙන යන්න එපා. ඔබගේ අදාල කාර්ය කරගත හැකි අඩු වටිනාකමකින් යුතු අවශ්‍ය උපකරණ රැගෙන යන්න. විශාල ගැටකපන්නන්, සොරුන් සංඛ්‍යාවක් ද මේ සෙනඟ අතරේම ගැවසෙන බැවින් ඉතාමත් ප්‍රවේසම් වන්න. ඉහළට යන විට ගෙරවිලි වැසි සේම අකුණු සහිත කාලගුණයක් පෙනෙන්නට තිබේ නම් එළිමහනේ, තැනිතලා භූමිවල සේම කඳු මුදුන්වල රැඳී නොසිට ඉක්මණින් ආවරණයක් සහිත තැනකට යන්න. කළු පාට ඇඳුම් වලින් සැරසී එන වන්දනාකරුවන්ට මාවුස්සාකැලේ සමන් දේවාලය වැඳපුදා ගැනීමට අවස්ථාව ලැබෙන්නේ නැත. එබැවින් ඔබගේ ඇඳුම්වල වර්ණය ගැනත් සැලකිලිමත් වන්න.  

 


දකුණු පැත්තෙන් ගමන් කිරීමට කාරුණික වන්න 
සිරිපා මළුවට කරුණා කිරීමේදී විශේෂයෙන්ම ඉඳිකටුපාන, මහගිරිදඹ සිට ශ්‍රී පාද මළුවට පිවිසෙන තෙක් හා නැවත පහලට කරුණා කිරීමේදී ඉඳිකටුපාන දක්වා එන විට සෑම විමට දකුණු පැත්තෙන් ගමන් කිරීමට කාරුණික වන්න. 


සිරිපා මළුවට පිවිසෙන විට පාවහන්, හිස් වැසුම් ගලවා ජංගම දුරකථන අක්‍රිය කර සුපිරිසිදු වන්දනාවක යෙදීමට සෑම විට උත්සාහ කරන්න. විශේෂයෙන්ම හැටන් නල්ලතන්නිය මාර්ගයෙන් පිවිසෙන සියලුම රථ වාහන හිමියන්, රියදුරු මහතුන් අවදානම් බෑවුම් පටු මාර්ග, රාත්‍රී කාලයේ මීදුම ගැන වඩාත් සැලකිලිමත් වීම ඉතාම වැදගත්ය.  එසේම ඔබ සිරිපා මළුවට ගිය විට එහි හිස ගසා ගෙන ගාථා කියමින් බොහෝ කාලයක් ඒ සඳහා ගත කිරීමෙන් වළකින්න. මේ මළුවේ රැඳී සිටිය හැක්කේ සීමිත ප්‍රමාණයකට පමණි. ඔබ මෙන්ම දුර ගෙවාගෙන මෙහි එන ලක්ෂ සංඛ්‍යාත බැතිමතුන් මේ සඳහා අවස්ථාව එළැඹෙනතුරු බලා සිටින බව අමතක නොකරන්න. ඒ අයටත් වන්දනාමාන කර ගැනීමට හැකි වනසේ ඉක්මණින් ශ්‍රී පාද පද්මය වැඳපුදා ගන්න. 
 

හදිසි ඇමතුම්

 නල්ලතන්නිය පොලිසිය - 0522055500/ 0522055522 
ස්ථානාධිපති - පො.ප. ලක්සිරි ප්‍රනාන්දු මහතා 0718591122 
ගඟුලතැන්න පොලිස් මුරපොළ - 0513526660
රතුඅම්බලම පොලිස් මුරපොළ 0513526661
ඉඳිකටුපාන පොලිස් මුරපොළ 0513526662 
සිරිපාගම පොලිසිය 0453471122 
ස්ථානාධිපති පො.ප. ඩබ්ලිව්.ඒ.එස්.ආර්. පියසේන මහතා 0718592144 
කුරුවිට පොලිසිය 0452262622 
ස්ථානාධිපති පො.ප. ඒ.ඒ.පී.ඒ. කුලතුංග මයා 0718591401 
සීතගඟුල වසම ග්‍රාම නිලධාරි කේ.ජී. ගුණතිලක මයා 0713766359 
මස්කෙළිය ප්‍රාදේශීය සභාව කර්මාන්ත ක්ෂේත්‍ර පරිපාලක ඒ.ඩබ්ලිව්. හේමන්ත මයා 0725050555
මස්කෙළිය ප්‍රාදේශීය සභාව ලේකම්තුමා 0718166888 
අඹගමුව ප්‍රාදේශීය සභාව සභාපතිතුමා 0777357771 
නල්ලතන්නිය වනජීවී කාර්යාලය අඩවි ආරක්ෂක ප්‍රභාෂ් අරුණ කරුණාතිලක මයා 0714401775 
අඩවි සහකාර ඩී.ආර්.ඒ. සම්පත් කුමාර මයා 0718024216 
අඹගමුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය 0512242213 
අඹගමුව ප්‍රාදේශීය ලේකම්තුමිය 0512242284 
හැටන් පොලිස් අධිකාරි කාර්යාලය - 0512225063 
ජ්‍යෙෂ්ඨ.පො. අධිකාරි - පී.එම්.ආර්. අඹේපිටිය මයා 0718591114  
සහ පො. අධිකාරි ෂෂ ආර්.එම්.එස්.පී.ආර්.කේ. රත්නායක මයා 0718591123  
හැටන් පොලිස් ස්ථානය 0512222222
හැටන් මු.පො.ප.තුමා ප්‍ර.පො.ප. එච්.එස්.සී.සී. හේරත් මයා 0718591117 
නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලය 0522222233 
දිස්ත්‍රික් ලේකම්තුමා එම්.බී.ආර්. පුෂ්පකුමාර මහතා 0703442332 


මොරටුව “සරසි ප්‍රමෝෂන්” අධිපති කපිල බන්දුසේන

Related Posts