“වැන්දොත් හොඳයි සමනොල පිං පුරායේ”

ගෞතම බුදුරජාණන් වහන්සේගේ වම් සිරිපතුල් ලාංඡුනය පිහිටා ඇති ශ්‍රී පාදස්ථානය වන්දනා සමය අදින් (11) ඇරැුඹේ. උඳුවප් පෝදායින් උදාවෙන වන්දනා සමය වෙසක් පොහොයෙන් නිමාවට පත් වේ. බෞද්ධයන් පමණක් නොව විවිධ ආගම් අදහන බැතිමතුන් බොහොමයක්ම කිසිදු භේදයකින් තොරව විවිධ පිළිගැනීම් මත ඈත අතීතයේ සිටම සිරිපා කරුණා කළහ. මීටර් 2243ක් උස පූජා භූමිය වන්දනාමාන කිරීමට මාර්ග 06ක් ඇත.

කන්දක් තරණය කිරීමට එහා ගිය ගැඹුරු සංස්කෘතියක් සිරිපා වන්දනාව සමග බැඳී ඇති බව නොරහසකි. එය හුදු සමච්චලයකට ගන්නා ඇතැම් කණ්ඩායම් වන්දනාව චාරිකාවක් කොට ගනිමින් පරිසරයේ නිශ්ශබ්දතාව මෙන්ම සුන්දරත්වය විනාශ කොට දමති. එබැවින් මෙවර සිරිපා සමයේදීවත් පරිසරයේ සුන්දරත්වයට හානි සිදු නොකොට පිය සටහන් පමණක් ඉතිරි කොට ඔබ ගෙන යන සියලූ දෑ මෙන්ම ඉවතලන දෑත් රැුගෙන ඒමට කාරුණික වන මෙන් වන්දනාකරුවන්ට මතක් කර දීමට කැමැතිය.

අතීතයේ පටන් ශ්‍රී පාදය නැගීම ඉතා දුෂ්කර කටයුත්තක් වී තිබුණි. ශ්‍රී පාදය නැගීම වෙනුවට ‘කරුණා කරනවා’ යන යෙදුම සුලබ වහරක් වන අතර ඒ හා බැඳුණු සාම්ප‍්‍රදායික පිළිවෙත් රැුසක්ම පවතී. පළමුවරට ශ්‍රී පාදය කරුණා කරන්නා ‘කෝඩුකාරයා’ ලෙස හැඳින්වෙන අතර හෙතෙම ‘සීත ගඟුලේදී’ නා පිරිසුදු විය යුතුය. ‘ඉඳිකටු පහනේදී’ ඉඳිකටුවට නූල අමුණා එහි ඇති අත්වාරුව ඔස්සේ නූලෙහි අවසානය තෙක් එය රැුගෙන ගොස් අවසනදී ගැටයක් ගසා නූල එහි රැුඳවිය යුතුවේ.

ශ්‍රී පාද මළුවේදී බැතිමතුන් තමන් පැමිණි වාර ගණන සිහිපත් කරමින් ඝන්ඨාරය නාද කිරීමත් දැකිය හැකිවේ. බැතිමතුන්ගේ අරමුණ වනුයේ ඉර උදාවට ප‍්‍රථම මළුවට අවතීර්ණ වී ‘ඉර සේවය’ නැරඹීමයි. පෙරදී ලංකාවේ රජකම් කළ රජවරුන් පවා සමනොල ගිර වන්දනය කළ බව මහාවංශය, දීපවංශය, චූලවංශය, රාජාවලිය සහ සමන්ත කූට වර්ණනාවේදී පැහැදිලි කර ඇත. සංදේශ කාව්‍ය අතුරින් ප‍්‍රමුඛ සැළලිහිණි සංදේශයේදී රාහුල හිමියෝ ඉතා සිත් ගන්නා සුළු අයුරින් සමනොල ගිර වර්ණනා කොට ඇත්තේ මෙසේයි.

සුරරද සමන් සමගින් සුරඟන එවර
පැහැනද මදාරා පරසතු මල් පතර
කර පුද වඳින රැුඳි මුනි සිරිපා තඹර
සකි සඳ පෙනේ සමනොල ගල නැගෙනහිර

එසේම සමනොල කන්ද ආශ‍්‍රය කොට ගනිමින් එහි ඇති ඓතිහාසිකත්වය, පරිසරය වර්ණනා කිරීමාදී වශයෙන් බොහෝ කවි, සිරිපා වැනුම් නිර්මාණය වූහ. ඒ සෑම නිර්මාණයකම අන්තර්ගතය සමනොල ගිර පිළිබඳ උසස් හැඟීම් දේශයට ජනිත කරවන අයුරින් සිදු කොට තිබීම විශේෂිතයි.

බතට කන්න බැරි බතලේගල කන්ද
අලට කන්න බැරි අලගල්ලේ කන්ද
හූනට කන්න බැරි හුන්නස් ගිරි කන්ද
මේ කඳු තුනට නායක සමනොල කන්ද

යන්ට හොඳයි තේ වතු බල බලායේ
කන්ට හොඳයි පැණි රස අග්ගලායේ
ඉන්ට හොඳයි සීතල පිනි බබායේ
වැන්දොත් හොඳයි සමනොල පිං පුරායේ

සිරිපා වන්දනාවේදී ඊටම අදාල වදන් භාවිතයක් ඇත. වන්දනා කරන පිරිස් ‘නඩ’ ලෙස ව්‍යවහාර වන අතර එහි නායකයා ‘නඬේ ගුරා’ ලෙස හැඳින්වේ. වන්දනාවේ යාමේදී සියලූම දෙනා එකිනෙකා වෙනුවෙන් සුමන සමන් දෙවිඳුන්ගේ පිහිට ප‍්‍රාර්ථනා කිරීම සිදු කරනු ලබයි. ඊට හේතුව වන්නේ සුමන සමන් දෙවියන් ශ්‍රී පාදස්ථානයට අරක් ගෙන එය මෙන්ම තම බැතිමතුන්ද ආරක්ෂා කෙරේ යන ජන විශ්වාසයයි.

ශ්‍රී පා කරුණාවේදී අප ඉහතින් සඳහන් කළ වචනවලට අමතරව ඊට ආවේනික බොහෝ ව්‍යවහාර පවතී. ‘කෝඩු, කිරි කෝඩු, සැහැල්ලූව, පේවීම, කට වරද්දා ගැනීම, අම්බලම, සිරිපා පද්මය ආදී වදන් වන්දනාවේදී නිතර ඇහෙනු ලැබේ.

සිරිපා කරුණාවේදී ඊට ආවේනික දෑ අතර කවි සමුප‍්‍රදායද හඳුන්වා දිය හැකිය. ඒ අතර තුන් සරණේ කවි ප‍්‍රධාන වේ. ගමනේ ඇති විඩාව, මහන්සිය, කාන්සිය දුරු කිරීම සඳහා පැරැුන්ණෝ වන්දනා ගමන අතරවාරයේදීම හඩ නගා තුන් සරණේ කවි කීහ. සීතල සුළඟ බාධක මඟ හැර වන්දනා ගමන කිසිදු උවදුරකින් තොරව යා ගැනුම උදෙසා ඔවුන් ගත් උපක‍්‍රමය සාර්ථක විය.

අපේ බුදුන් අපි වඳින්ට
සිරස නමා අපි වඳින්ට
දෙදණ නමා අපි වඳින්ට
දොහොත් මුදුන් දී වඳින්ට

මලූත් පුදා අපි වැන්දා
තෙලූත් පුදා අපි වැන්දා
පෙරළි පෙරළි අපි වැන්දා
අපේ බුදුන් අපි වැන්දා

සාමාන්‍යයෙන් වන්දනා නඩයක් සිරිපා කරුණා කිරීමේදී ඒ වෙනුවෙන් සැපිරිය යුතු පූර්ව කෘත්‍ය රැුසකි. ගමනාරම්භයට පෙර පේවීම - කහ මිශ‍්‍ර දිය නා පිරිසුදු විය යුතුවේ.

පන්සිල් හෝ අට සිල් සමාදන් වීම ආරක්ෂාව පතා බුදුන් නැමැද දෙවියන්ට බාරහාර වීම විශේෂ කෑම බීම පිළියෙළ කිරීම සීතල වලකන ඇඳුම් සහ ආලේපන වර්ග කල්තියා සූදානම් කොට තැබීම කට මැත දෙඩවීමෙන් වැලකීම මෙම අවශ්‍යතා ඉටු නොවන්නේ නම් සිරිපා කරුණා කිරීම ඉතා අසීරු වන බව පැරැුන්ණෝ තරයේ විශ්වාස කරති. එසේම අන්‍යොන්‍ය සුහදතාව මෙහි කැපී පෙනෙන කාරණාවකි. හැම මොහොතකම එකිනෙකාට ආශිර්වාද කිරීම දැකිය හැකිය. දෙපිරිසක් මුහුණට මුහුණ මුණගැසීමේදී එකිනෙකාට දේවාශිර්වාදය පැතීම දැකිය හැකිය. පුරුද්දකට මෙන් එය සැවොම කරන දෙයකි.

වඳින්ඩ යන මේ නඬේට
සුමන සමන් දෙවි පිහිටයි
වැඳලා බහින මේ නඬේට
සුමන සමන් දෙවි පිහිටයි

මේ ආදී වශයෙන් වසරකට වරක් එළැඹෙන මෙම පූජනීය වන්දනා සමය ලක්වාසී සියල්ලන්ටෝම සුවිශේෂී වූවකි. එබැවින් පොලිතින්, ප්ලාස්ටික් භාවිතයෙන් තොරව ඒ සිහිලැල් පරිසරයේ සුව විඳින්ට , පින් පුරවා ගැනුමට සිරිපා අඩවියට පිවිසෙන්න. එවිට මතකය පමණක් ඔබට රැුගෙන ඒමට පහසු වනු ඇත.

Related Posts