IMG-LOGO

2024 අප්‍රේල් මස 24 වන බදාදා


හවසට කනමදයා වගේ බීගෙන එන තාත්තා අම්මාට ගහල මරන්න හදනවා

 

හැම දරුවෙකුගෙම ලෝකයේ වීරයා තමන්ගේ තාත්තා, දුවලා අම්මෙක් වගේ සාරි ඇඳගෙන බෝනික්කෝ නළවනකොට පුතාලා තාත්තාගේ ලොකු කමිසයක් ඇඳගෙන බර අඩි තියලා ඇවිදින ගමන් හෙට දවසේ වගකීම් දරන්න අද දවසෙ හුරු වෙනවා.


කොහොම වුණත් අද උපදින දරුවා හෙට උසස් ගුණයෙන් පිරුණු පුද්ගලයෙක් කිරීමේලා දෙමව්පියන්ට පැවරෙන්නේ වැඩි වගකීමක් වගේම යුතුකමක්.


ඒත් මේ ආදරණීය යුතුකම වගකීමෙන් ඉටු කරන්නේ කීයෙන් කීදෙනාද. සමහර දෙමව්පියෝ තමන්ගේ වගකීම පැහැර ඇරලා තමනුත් අනතුරේ වැටිලා දරුවන්වත් අනතුරේ දාපු අවස්ථා අපට අහන්න ලැබෙනවා. 


ඔබට මතක නම් බීමතින් අම්මාට ගුටිබැට දුන්න තාත්තාව මරල දාපු තරුණ පුතාලා ගැන රටේ විවිධ පළාත්වලින් අපට අහන්න ලැබෙනවා.


ඒ වගේ පුවතක් ඇහුණාම ඔබට මුලින්ම මොකද හිතුණේ. කාලකන්නි කොල්ලා කන්න අඳින්න දුන්න තාන්තාව මරා දාල කියලා නේද?


ඇත්ත පියා මැරීම මෙලොවදීම පලදෙන ආනන්තරීය පාප කර්මයක්. කිසිවෙක් කිසිම හේතුවක් නිසා මනුෂ්‍ය ඝාතනයක් සිදුකිරීම අනුමත කරන්න බැහැ.


ඒත් තම මව බේරා ගන්න පියාට වෙඩි තියන තැනට තමාගේ ලෙයින් උපන් පුතාව පත්කරන්නේ කව්ද?


දවස ගානේ බීලා බීලා ගෙදර එන තාත්තා බඩගින්නට කන්න උයාපු බත් මුට්ටිය පොළොවෙ ගහල කෑ මොර දෙනකොට ඒවාට බයෙන් මුළුගැන්වෙන දරුවෝ කැතිපොලු අරගෙන අම්මාව මරන්න ගේ වටේ දුවන තාත්තාව දැක්කම ඔවුනුත් තරහෙන් වියරු වැටෙනවා.


පුංචි කාලේ තමා අත්විඳින අඳුරු වියරු මතකය එක්ක වැඩිහිටියෙකු බවට ඒ පුතා පත්වෙන්නේ දවසක අම්මා විඳින දුක නිමා කරන්න හිතාගෙන.


තමාගේ තාත්තා වගේ වීරයෙක් වෙන්න පුංචි කාලේ හිතන් හිටපු පුතා අවසානයේ අම්මා විඳින දුක ඉවර කරද්දී ඒ දුකට හේතු වුණ තාත්තව මරා දාන්න ඔහු පෙළඹෙන්නේ කව්රුවත් නොහිතන නිමේෂයක.


තමන්ගේ පුතාගේ හිතේ ඒ වෛරක්කාරී සිතුවිලි ඇති වෙන්න හේතුව මැරුම් කන තාත්තාමයි.


ජීවිතේ තරුණයෙක් විදිහට පටන් ගන්නත් කළින් තාත්තව මරලා හිරේ යන පුතා අන්තිමේදී හිරෙන් නිදහස් වෙන්නේ රටේ නමගිය පාතාලකාරයන්ගේ නායකයා වෙලා. නැවතීමක් හැරීමක් නැති ජීවිතේ ඉදිරියට යන ගමනේදී කොටු ගහල ඉරිගහලා බෙදලා වෙන් කරන්න බැරි සීමාවක සිට අම්මා තාත්තා දරුවන්ට අවවාද වගේම ආදර්ශදීමත් වැදගත් වෙන්නේ අද ගෙදරින් ඇරඹෙන ප්‍රශ්නය හෙට රටටම ප්‍රශ්නයක් වෙන නිසාමයි.


තාත්තාගේ බීමත්කම නිසා වද විඳපු පුතෙක් තමා දිමංක. අපි අහමු දිමංකගේ ජීවිතේ සිය පියාගේ බේබදුකම නිසා බිඳිලා විසිරිලා ගියේ කොහොමද කියලා. දිමංකගේ ජීවිතේ මේ දක්වා ආව ගමනෙදී ඔහු විඳපු දුක් මේ පත් ඉරු අතර දිග හරින්න බැරි තරම්. ඒත් මේ උත්සහය හෙට ඔබේ දරුවා මේ තැනට පත් නොකරන ලෙස ඔබ දැනුවත් කිරීමටයි. දුටු පමණින් සිත් ඇදගන්නා පෙනුමකින් යුතු දිමංක අද සිටින තැනට පත්වෙන්න අනේක විඳ දුක් ගැහැට විඳි තරුණයෙක්.


ඔහු අපව පිළිගත්තේ සිනහ පිරි මුවගින් යුතුව.


● දිමංකගෙ ගම කොහෙද අම්මා තාත්තා එහෙම පවුලෙ විස්තර කොහොමද?
මගේ පවුලේ අම්මයි තාත්තයි මමයි නංගිලා දෙන්නයි. මම උසස් පෙළ දක්වා ඉගෙන ගත්තා. නංගිට නම් මට තරම් ඉගෙන ගන්න බැරි වුණා.


අද මං මේ තැන ඉන්නේ මගේ අම්මා නිසයි. ඒත් අපේ තාත්තා බිබී ඇවිද්දා මිස අපට කරපු දෙයක් නෑ.


දිමංකගේ හඬෙහි ඇත්තේ සඟවාගෙන පාලනය කරගත් වේදනාත්මක ආවේගයකි. කිසියම් හෝ අමිහිරි විඳවීමක අඳුරු මතකය ඔහුගේ සිතට වද දෙනවා විය යුතුය.


නොහඬා සිටින්නට ඔහු ගන්නා උත්සහයට ඉඩදී අප ඉවසිල්ලේ බලා සිටියෙමු.


මගේ ගම බෙලිහුල්ඔය. තාත්තා හැටන්වල. අම්මගේ ගම තමයි බෙලිහුල් ඔය. ඒත් අපි පදිංචි වෙලා හිටියෙ දෙමටගොඩ.


මට තේරෙන වයසෙ ඉඳලා දෙමටගොඩ අපි පදිංචි වුණේ තාත්තාගේ රස්සාව නිසා. අපේ තාත්තා රස්සාව කළේ රේල්ලුවෙ. රටේ විවිධ පළාත්වල අපි ජීවත්වෙලා තියෙනවා. ඒත් දෙමටගොඩ තමයි අපි වැඩි කාලයක් ජීවත් වුණේ. මම ඉගෙන ගත්තෙත් කොළඹ ඉස්කෝලෙක. කොළඹ ඉස්කෝලයක් කිව්වට ඒක ජනප්‍රිය පාසලක් නම් නෙවෙයි. ඒත් අපි හොඳට ඉගෙන ගත්තා. ඒ ඉගෙනීමට තාත්තාගෙන් උදව් ලැබුනේ නෑ.

 


● ඇයි එහෙම කියන්නෙ තාත්තා ගෙදර වියදම් දැරුවෙ නැද්ද?
අපේ තාත්තා කරපු රස්සාවෙන් ලැබෙන පඩියෙන් බාගයක් වියදම් කළේ තැබෑරුම්වලට. උදේට උපාසකයෙක් වගේ ගෙදරින් පිටවෙන තාත්තා හවසට ගෙදර ආවේ ගමටම බැන අඬ ගහගෙන. එහෙව් වෙලාවට අම්මා අපි තුන්දෙනාවත් අරගෙන හැංගෙනවා. එහෙම හැංගුණාම අතට අහුවෙන බඩු කුඩු කර කර අපිව හොයනවා. තාත්තා අන්තිමට කෑ ගහලා වැඩිකමට මහන්සි වෙලා වැටුණ තැන වැටිලා නිදා ගන්නවා.


එහෙම දවසට අපි ගෙට රිංගන්නේ හොරු වගේ. අනිත් ළමයින්ට තියෙන නිදහසක් අපට තිබුණේ නෑ. ඇත්තටම හැන්දෑවට ගෙදර එනතුරු පාර බලන්න තරම් වටින ආදරයක් අපේ තාත්තා අපට දුන්නේ නෑ. හැන්දෑ වෙනකොට අපි හිටියේ ගොඩක් බයෙන්. තාත්තා බීලා ඇවිත් සමහරදාට අම්මට නොසෑහෙන්න ගහනවා. එහෙම වෙලාවට අහළ පහළ අය බේරන්නවත් එන්නේ නෑ. අපි තුන්දෙනා මර හඬින් කෑ ගැහුවත් වටපිට අය ඔලුව උස්සලා අපට මොකද වුණේ කියලා බලන්නේ නෑ. මොකද එහෙම බේරන්න ආවොත් තාත්තා ඒ අහළ පහළ උදවියටත් බනින්න විතරක් නෙවෙයි ගහන්නත් උත්සහ කරපු අවස්ථා ඕන තරම් තියෙනවා.


හැම දේකින්ම අන්තිමට වුණේ අම්මයි මමයි නංගිලා දෙන්නයි අන්ත අසරණ වුණ එක.


සමහරදාට ඉවසන්න බැරිම තැන අපේ අම්මා අපිවත් අරගෙන එයාගේ මහ ගෙදර යනවා. අම්මාගේ මහගෙවල් බෙලිහුල්ඔය. එහෙම ගියාම දවස් දෙකක්වත් අපට ඉන්න ලැබෙන්නේ නැහැ. තාත්තා එහාටත් ඇවිත් ආච්චිටයි සීයටයි බැන අඬගහනවා. රණ්ඩු කරනවා. මට මතකයි දවසක් ආච්චිලගේ වත්ත මැද්දෙ දාගෙන තාත්තා අම්මාට ගැහුවා.


බිම වැටුණ අම්මට නැගිට ගන්න බැරිවෙන්න පයින් ගහනකොට සීය ඇවිත් තාත්තාව තල්ලු කරලා දැම්මා. එදා තාත්තා ගෙදර ආවේ සීයගේ ඇඟිලි දෙකක් කඩලා.


ඇත්තටම අපේ අම්මා මහා පුදුම ගෑනියෙක්. මොනතරම් තාත්තා වද දුන්නා වුණත් අම්මා තාත්තාට ආදරේ කළා. අපිට වුණත් වචනයක් කියන්න දුන්නේ නෑ. කනමදයා වගේ බීගත්තාම කෑමොර දුන්නට මොකද උඹලෑ තාත්තා නරක මිනිහෙක් නෙවෙයි කියලයි අම්මා නිතරම කිව්වේ.


ඇත්තටම අපේ තාත්තා ළඟ අම්මා දැකපු හොඳ මොකක්ද කියලා මම අදත් හිතනවා මිස්.


එහෙමත් දවසක තාත්තා නොබී ගෙදර ආවා. එදාට ගෙදරට කන්න බොන්න විතරක් නෙවේ අපට ඕන කරන පොත්පත් පවා අරගෙන ආවා. ඇත්තටම එහෙව් දවසකට මිස අපේ අම්මා හිනාවෙලා ඉන්නවා අපි දැක්කේ හරි අඩුවෙන්.

 


● හැමදාම බිලා කෑගහන තාත්තා ගෙදර වියදම් නොදුන්නානම් ඔයාලා ජීවත් වුණේ කොහොමද?
දිමංක ඈත ඉසව්ව දෙසට නෙත් විහිදයි. ලොකු හුස්මකින් ලය සැහැල්ලු කරන ඔහු වේදනාව පාලනය කොට ගනිමින් මෙසේ පැවසුවා.


අපේ අම්මා මේ කොළඹ නෝනලා මහත්තුරුන්ගේ බේබිලා බලාගත්තා. වලං සේදුවා. ඒ ලැබෙන සල්ලිවලින් මට ඉගැන්නුව.
මගේ පවුලේ නංගිලා දෙන්නාගෙන් එක නංගි කෙනෙක් උපතින්ම ලෙඩෙක්. එයා මන්ද මානසික දරුවෙක්.


මොනතරම් ප්‍රශ්න කරදර තිබුණත් අම්මා මට කිව්වේ ඉගෙන ගන්න කියලා. ඒත් මට හැමදාම ඕන වුණේ ගෙදර නැවතිලා නංගිලවයි අම්මාවයි ජීවත් කරන්න කීයක් හරි හොයලා දෙන්න.


අම්මා අපිව ජීවත් කරන්න කොළඹ බංගලාවල වළං හෝදන්න යනකොට අසනීපෙන් ඉන්න බාල නංගිව බලාගත්තේ මට වඩා අවුරුදු දෙකක් විතර බාල ලොකු නංගි. මට මතක හැටියට මගේ වයස ඒ වෙන කොට අවුරුදු නවයයි.


ඒ ගෙවල්වල වැඩ කරලා හම්බවෙන සල්ලිවලින් අම්මා මට පොත්පත් අරං දුන්නා කන්න බොන්න දුන්නා. අපේ ලෙඩට දුකට වියදම් කළා. සමහරදාට මගේ ඉස්කෝලේ පොත් ලැයිස්තුව අරං දුන්නේ ඒ බංගලාවල නෝනලා මහත්තුරු.


බීල බීලා ඇවිත් ගමටම ගහගන්න කතා කලා මිස මට ඉගෙන ගන්න පොතක් පතක් අරං දෙන්න තාත්තට බැරි වුණා. ඇත්තමයි මම මගේ අම්මා ගැන ආඩම්බර වෙනවා. මගේ අම්මා තමයි මම මේ ලෝකේ දැකපු වටිනම අම්මා. එයාට අපි තුන්දෙනාගෙන් පිට ජීවිතයක් තිබුණේ නෑ.


මම බැහැ කියද්දී අම්මා මාව ඉස්කෝලේ ඇරියා. මුළු පවුලම ගොඩගන්න මට පුළුවන් කියන විශ්වාසය නිතරම මං තුළ ඇති කළේ මගේ අම්මා. ඇත්තටම මගේ අම්මා එක විනාඩියක් නිකන් ඉන්නවා මම දැකලා නෑ.


අපි ලොකු මහත් වුණේ අපේ අම්මගේ දුක් මහන්සියෙන්. තාත්තට අපි වෙනුවෙන් කරන්න පුළුවන් වුණ දෙයක් නෑ. 

 


● දිමංකගේ තාත්තා දිමංකලාට ආදරේ කළේම නැද්ද?
මොන පිස්සුද මිස්. මාව එක දවසක් ළඟට අරගෙන පුතේ කියලා කතා කරලා නෑ. දවසක් මට මතකයි මගේ අම්මා මගේ ඉස්කෝලෙට ඕන කරන පොත් වගයක් ගන්න ගිහින් ගෙදර එන්න රෑ වුණා. ඊට පහුවෙනිදා ඉස්කෝලේ ගෙනියන්න ඒ පොත් ඕන නිසාම අම්මා වැඩකරන තැනකින් ණයක් වෙලා තමයි ඒ පොත්ගන්න සල්ලි හොයාගෙන තිබුණේ.


ඒත් එදා අම්මා පරක්කු වෙලා ගෙදර එනකොට තාත්තා ගෙදර ඇවිත් අම්මාව හොය හොය කෑ ගහනවා. මගේ පොත් ටික අරගෙන එදා ගෙට ආව අම්මට ගෙට ඇවිත් ඒ පොත් මට දෙන්න ලැබුණේ නෑ. තාත්තා ඒ පොත් උදුරලා අරගෙන ඉරලා දැම්මා. ඔච්චර ඉගෙන ගෙන රට අල්ලන්නද ලියුමක් කියවන්න ඉගෙන ගත්තම මදිද කියලා ඇහුවා.


එදා මම ඉස්කෝලේ ගෙනිච්චෙ සෙලෝටේප් ගහලා යන්තමට අටව ගත්ත පොත් දෙකක්.


අද මම මේ කාටවත් අතනොපා දෙයියනේ කියලා ජීවත් වෙන්නේ අපේ අම්මා නිසා.


● දැන් මේ වෙනකොට නංගිලා මොකද කරන්නේ එයාලා කොහෙද?
නංගිලා දෙන්නගෙන් ලෙඩින් හිටපු නංගි මැරුණා. එයාට මන්දමානසික තත්ත්වෙට වඩා හදවත් රෝගෙකුත් තිබුණා. මට වගේ ලොකු නංගිට නම් ඉගෙන ගන්න බැරි වුණා. එයා දැන් කසාද බැඳලා කුලියාපිටියෙ මහත්තයාගේ ගෙදර ඉන්නවා.

 


● හොඳයි. ඒ තරම් වද විඳ විඳ ගෙවපු ජීවිතේට ඉන් පස්සෙ මොකද වුණේ?
මම අපොස සාමාන්‍ය පෙළ ඉහළින්ම සමත් වුණා. ඒ නිසාම උසස් පෙළත් ගොඩදාන එක මට අමාරු වුණේ නෑ. ගමේම උදවිය මට මහ ඉහළින් සැලකුවා. මට ඉගෙන ගන්න පුළුවන් වීම නිසා හැමෝම මගේ ගැන කතා කළා. ඇත්තටම කතා කරන්න ඕන මං ගැන නෙවෙයි. මාව ඒ තැනට ගේන්න වළං හෝදලා දහ දුක් විඳපු අම්ම ගැන.


උදේ පහට නැගිටලා අපට උයලා තියලා මාව ඉස්කෝලෙට ඇරලල ගෙවල්වල වළං හෝදන්න යන අම්මා ගෙදර ඇවිල්ලත් ඩිංගක් හාන්සි වෙලා ඉන්නවා මම දැක්කේ නෑ.


ඇත්තටම මගේ හිතේ නොතේරුම් කාළේ තාත්තා ගැන ආදරයක් තිබුණත් තේරුම් ගන්න පුළුවන් කාලේ ඉඳලා තාත්තා ගැන තිබුණේ ලොකු තරහක්. කන්න බොන්න හාල් ඇටයක් ගෙයි නැතත් අරක්කු බෝතලේ කිහිල්ලෙ ගහන් ගෙට ගොඩවෙන තාත්ත ගැන මගේ හිතේ තිබුණේ කලකිරීමක්.


දවසක් මට මතකයි එදා සිංහල අවුරුදු දවසක්. අපේ අම්මා අපිට කිරිබත් ටික උයලා ඇඳුම් කෑලි දෙක තුනක් අරං දුන්නෙත් හරි අමාරුවෙන්. එදත් තාත්තා අම්මා එක්ක රණ්ඩු කළා. එහෙම රණ්ඩු කළේ එයාට කිරිබත් කන්න බෑ. එදා දවසේ බතක් මාලුවක් ඉව්වේ නෑ කියලා. එදා මම දැක්ක මගේ අම්මා බිම වැටිලා විලාප දෙද්දී තාත්තා හිතක් පපුවක් නැති තිරිසනෙක් වගේ අම්මගේ බඩට පයින් ගහගෙන ගහගෙන ගියා.


දිමංක මොහොතකින් නිහඬවෙයි. සිය හිතේ රැදි වේදනාව පහකිරීමට මෙන් දෑතින් හිස වේගයෙන් පිසදමයි. නැවතත් හුස්මකින් ලය පුරවා ගනී.


ඇත්තමයි මිස් එදා තාත්තා අම්මට ගහනකොට මට පුදුම තරහක් ඇති වුණා. අතට අහුවුණ කොස්සෙන් මම අම්මගේ බඩට පයින් ගහන තාත්තගේ කකුලට දෑත බදලා ගැහුවා.


මං ගහපු පාරෙන් තාත්තා කකුල අල්ලං බිම වැටෙන කොට අපේ අම්මා අනේ මොකක්ද මගේ රත්තරන් පුතේ මේ කළේ කියලා ඇවිත් මගේ අතේ තිබුණ කොස්ස උදුරලා ගත්තා. එහෙම උදුරලා අරගෙන තමන්ගේ බඩට අරතරං ගහපු තාත්තාගේ කකුල අතගාන්න ගත්ත. ඒ සිද්ධියෙන් පස්සෙ මගෙයි තාත්තගෙයි පොඩි හරි බැඳීමක් තිබුණා නම් ඒකත් ඉවර වුණා එදායින් පස්සෙ.

තාත්තා අම්මාව නෙවෙයි මාව රණ්ඩුවට පටලව ගන්න අරඇද්ද සමහරදාට කටගොන්නක් බීගෙන තාත්තා අවේ මාව හොයාගෙන.
එදා අම්මට ගහනව බලන්න බැරිව ආවේගෙට කොස්සෙන් කකුලට පාරක් ගැහුවට මොකද දිගින් දිගටම තාත්තා එක්ක පැටලෙන්න මට උවමනාවක් තිබුණේ නෑ.


මොනවා වුණත් ඒ පුතාගේ තාත්තා. අම්මා නිතරම මට ඒක මතක් කළා. මටත් ඒවා අමතක වුණේ නැහැ. තාත්තා අම්මා එක්ක රණ්ඩු කරලා අම්මාට ගහල මරන්න හදන වෙලාවට අහල පහළ ගෙදරකින්වත් මගේ අම්මාව බේරගන්න කවුරුවත් එන්නෙත් නැත්නම් සතෙකුට වගේ තමන්ට ගහන තාත්තගෙන් බේරෙන්නත් විදිහක් අම්මට නැත්නම් මගේ අම්මාව මැරෙන්න ඇරලා මට බලන් ඉන්න පුළුවන්ද මිස්.


ඒ ගහන පහරක් නරක තැනකට වැදිලා මගේ අම්මා මැරුණා නම්. ඇත්තටම මට මගේ අම්මාව නැති කරගන්න බෑ.


ඕනාවටත් වඩා මං වෙනුවෙන් වදවින්ද මගේ අම්මා මගේ ඇස් ඉස්සරහා මැරෙනවා බලන් ඉන්න බැරිකමටයි මමත් සතෙක් වගේ එදා හැසිරුනේ. අන්තිමේදී කකුලට ගහපු පාර නිසා තාත්තා ඇවිද ගන්න බැරිව ගෙට වෙද්දී තාත්තාගේ පය පහර කාපු අම්මා අපිව පෝෂණය කරන්න අපේ බඩගින්න නිවන්න වලං හෝදන්න ගියා.


ඇත්තටම මගේ අම්මා වගේ අම්මලා උපනූපන් හැම ආත්මෙම වාසනාවක්.


උසස් පෙළ හොඳින් පාස් වුණත් මට කැම්පස් යන්න බැරි වුණා. මට ඕන වුණේ මොකක් හරි රස්සාවක් කරලා අම්මාව වැටිලා ඉන්න නරකාදියෙන් ගොඩගන්න.


සති අඟ පත්තර බල බල රස්සාවල්වලට අයදුම් කළ මට අද මේ වැඩ කරන කම්පැනි එකේ රැකියාවක් ලැබුණා.


ගෙදර විය හියදම් මම බාරගත්තා. අම්මාව වලං හෝදන්න යන්න නොදී බලාගන්න මට පුළුවන් වුණා. මගේ වයසෙ කොල්ලො කෙල්ලෝ ගැන හීන දකිද්දී මට ඕන වුණේ මගේ අම්මාව සතුටින් තියන්න.


ඒත් දවසක් මම ගෙදර එනකොට මම දකින්න අකමැති දෙයක් අම්මට වෙලා තිබුණා. නංගිගේ කෝල් එකට මම ගෙදර ආවා නෙවෙයි පියෑඹුව කියලයි මට හිතෙන්නේ. 


එදත් බීල බිලා ඇවිත් තාත්තා අම්මාට ගහලා ඒ ගහපු පහරකට මගේ අම්මා වැටුණ පාර කිසිම කතාවක් නෑ.


මම එනකනුත් එයාව ඉස්පිරිතාලේ ගෙනියන්න කව්රුවත් නෑ. නංගිට කිසිම දේක තේරුමක් නෑ.


අම්මා වැටිලා කතා කරන්නේ නෑ කියල නංගි මට කෝල් කරලා කියපු වෙලාවේ මම ගෙදර ආවේ පිස්සෙක් වගේ සිහියක් පතක් නැතිව තාත්තා ඇඳකට වැටිලා නිදි.


මම පුළුවන් තරම් ඉක්මනට අම්මාව කොළඹ ජාතික රෝහලට අරගෙන ගියා. දොස්තරලා කියපු විදිහට අම්මට හයි ෆෙෂර් එක තිබිලා. තාත්තා ගහපු පාරට බිම වැටුණ අම්මා අංශබාගේ තත්ත්වෙට පත්වෙලා.


එදා අසනීප වෙන දවසෙ මම වැඩට එන්න ලැහැස්ති වෙලා අම්මාට දන ගහල වඳිද්දී තුණුරුවන් සරණයි පරිස්සමෙන් ගිහින් එන්න කියපු අම්මාගේ කටහඬ මැරෙන තුරාවට මට අහන්න ලැබුණේ නෑ.


අසනීප වෙලා අවුරුදු හතරකට පස්සෙ මගේ අම්මා සදහටම ඇස් පියාගත්තා. එදා මගේ අම්මාගේ මිනිය වලදාන ගමන් මම තාත්තාට කිව්වේ එක දෙයයි. මම එයාට දඬුවමක් දුන්නා, ආයේ ජීවිතේ තියෙන තුරාවට මගේ කටින් එයාට මම තාත්තා කියලා කතා කරන්නේ නෑ කියල මම කිව්වා. අම්මාගේ මරණෙන් පස්සේ මම මහගෙදරින් වෙනම ගේක පදිංචියට ගියා. නංගිටත් හොඳ මනුස්සයෙක් හොයලා කසාද බන්ඳලා දුන්නා.


අවුරුදු ගාණක් ගෙවිලා ගියා. අද මමත් කසාද බැඳලා මටත් දරුවො දෙන්නෙක් ඉන්නවා. ඒත් මම අදටත් මගේ තාත්තට තාත්තා කියලා කතා කරන්නේ නෑ.


අම්මා මැරෙන තුරාවට පුතේ කියල මට කතා කරනවා අහන්න මට බැරි වුණා. ඉතින් මම මොකටද මගේ තාත්තට තාත්තා කියලා කතා කරන්නේ.

 


● ඒ කියන්නේ ඔයාගේ තාත්තා එක්ක ඔයා තරහෙන්ද ඉන්නේ තවම. එයාට සලකන්නේවත් නැද්ද?
එහෙම එකක් නෑ. මගේ නංගි වගේම මමත් එයා ආවම කන්න බොන්න වගේම වුවමනා කරන දෙයක් දෙනවා.


ලෙඩක් දුකක් හැදුනොත් හොයලා බලනවා. ඊයේ හවසත් මගේ දරු දෙන්නා බලන්න එයා ඇවිත් ගියා. ඒ මොනදේ මොන විදිහට වුණත් මම එයාට මගේ කටින් තාත්තා කියන්නේ නෑ. එහෙම කියන්න තරම් එයා අපි වෙනුවෙන් කරදර මිස වෙන මොනවත් දුන්නේ නෑ.


අද මම අපරාධකාරයෙක් නොවී මේ තත්ත්වෙන් ඉන්නේ මගේ අම්මට බුදු බව ලැබෙන්න.


අකුරු සාත්තරේ ඉගෙන ගන්න දෙන්නේ නැතුව තාත්තා මගේ පොත් ඉරද්දී අම්මා මාව ඉස්කෝලේ යන තැනට ධෛර්යමත් නොකළා නම් අද මම වෙනුවට මෙතන අපරාධකාරයෙක් ඉන්න ඉඩ තිබුණා.


මම මගේ තාත්තා වෙනුවෙන් කරන්න පුළුවන් යුතුකම් කළත් එයාට තාත්තා කියලා මගේ කටින් ආමන්ත්‍රණය කරන යුතුකම කරන්නේ නෑ.


මේ වගේ තාත්තලා විවිධ ස්වරූපයෙන් ඉන්නවා. අරක්කු බෝතලේට ගිජුවෙලා තමන්ගේ ගෙදර විනාශ කරන තාත්තලා මේ කතාව කියවද්දී ඔබට අහන්න දකින්න ලැබුණ දේ සමඟ ඔබ පිළිකුල් කළාට මොකද සමහර විට මේ චරිතය ඔබ තුළින් බිහිවෙමින් පවතිනවා විය හැකියි.


තවම පරක්කු නෑ කාලය තියෙනවා සිදුවුණ වැරදි වැරදුන තැනින් හරි මගට ගන්න.


නම්ගම් මනඃකල්පිත බව කරුණාවෙන් සලකන්න.

රේඛා තරංගනී ෆොන්සේකා



අදහස් (0)

හවසට කනමදයා වගේ බීගෙන එන තාත්තා අම්මාට ගහල මරන්න හදනවා

ඔබේ අදහස් එවන්න

රසවිත

අනේ පොඩි නැන්දා මට හුඟක් දවස් කාමරේ ඇතුළෙ ඉන්න වෙයිද?
2022 මාර්තු මස 26 10915 0

හීන් නෝනා දියණිය දෙස බැලු‍වේ කරදර දෑසිනි. දුරකථනය හරහා ආවේ සුබ පණිවිඩයක් නොවන බැව් ඇගේ මුහුණ කියා පෑවේය. “කවුද කතා කෙරුවේ..?” හීන් නෝනා විමසුවාය. “අයිය


යෙලෝ බීට්ස් කියන්නේ කවුද ?
2022 මාර්තු මස 26 6207 0

මෙවර U Tube ලෝකය තුළින් ඉරිදා ලංකාදීපයෙන් කතාබහ කරන්න හිතුවේ සමාජ මාද්‍ය ඔස්සේ අතිශය ජනප්‍රිය Girls Voice Band එකක් පිළිබඳව. ඒ Yellow Beats කණ්ඩායම කුෂිනි ප්‍රවින්ද්‍යා, දි


පුරාණ රජ කාලේ වීදුරු හැදූ ‘පබුලුගම’
2022 මාර්තු මස 26 5924 0

ශ්‍රී ලංකාවේ පබලු භාවිතය පිළිබඳ පුරාණතම සාධක අයත් ​ෙවන්නේ ප්‍රාග් ඓතිහාසික යුගයටය. ක්‍රි.පූ. (900-600) අතර මුල් යුගයේදී ජනතාව පබලු භාවිතය සුලබව සිදුකොට ඇති


වෘන්දා වනයේ පෙම්මල් විසිරේ...
2022 මාර්තු මස 26 5241 0

හින්දු පුරාණයට අනුව විෂ්ණු දෙවි යනු ලොව සුරකින්නාය. ලෝකයේ තිර පැවැත්ම පිණිසත්, ධර්මය රැකීමටත්, අදමිටුවන් විනාශ කිරීමටත් වරින්වර විෂ්ණු ලොව පහළවන බව මහ


බිම් බෝම්බය පිපිරෙද්දී ගෙදරට පණිවිඩයක් දුන් ව්‍යාපාරිකයා
2022 මාර්තු මස 26 3231 0

මසින් ලෙයින් නිර්මිත මසැසට භෞතික ලෝකයේ බොහෝ සංසිද්ධි දැක ගත හැකි වුවත් ඉන් එහා ඇති අවිඥාණික දේ පෙනෙන්නේ නැත. භූගත පෘෂ්ඨ වංශික ඇතැම් සතුන් හැරුණු විට සෙ


නූතන ශාසන ප්‍රබෝධයේ ශාස්ත්‍රවන්තයා සිටිනාමළුවේ මහ තෙරිඳු
2022 මාර්තු මස 26 1704 0

සිත්තම්ගල ගල් ලෙන බලන්නට මී ආතා “බරින්දු” එක්ක ගෙන ගියේ ගැල් කරත්තයෙන්ය. “අපේ ‍රැහේ උන් තමයි දරුවෝ මෙතන නැණපිල පටන් ගෙන සාහිත රස බෙදුවේ.” එදා මී ආතා කී ක


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 288 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1648 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1521 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site