IMG-LOGO

2024 අප්‍රේල් මස 24 වන බදාදා


සුන්දර ගමක් වූ එද‌ා ගල්කිස්ස

බස්නාහිර පළාතේ කොළඹ දිස්ත්‍රික්කයට අයත් ගල්කිස්ස ඉපැරැණි ඉතිහාසයකට උරුමකම් කියන ප්‍රදේශයකි.   


ගල්කිස්ස යන ග්‍රාම නාමය සෑදී ඇත්තේ ගලේ+කෙස්ස - ගල්කිස්ස යනුවෙනි. ගලක කෙස් වැටියක් කොටා තිබු නිසා ගල්කිස්ස වූ බව ගමේ ජීවත්වන පැරැන්නෝ පවසති. නිල් පැහැයෙන් පිරි සුන්දර මුහුදු වෙරළ සොබා දහමෙන් ගල්කිස්සට ලැබී ඇති අගනා ද‌ායාදයකි.   
බොහෝ විදේශිකයන් ගල්කිස්ස වෙරළට ආදරය කරන්නේ එහි ඇති දැකුම්කලු හා පිරිසිදු බව නිසාය.   


දෙස් විදෙස් සංචාරකයන්ගේ ආකර්ෂණය දිනාගත් ගල්කිස්ස මහ හෝටලය ගල්කිස්සට ලැබී ඇති තවත් අගනා ද‌ායාදයකි.   


බ්‍රිතාන්‍ය යටත්විජිත පාලන සමයේ යටත් විජිත භාර මහ ලේකම්වරයාට වගකියන ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිතයා මෙන්ම භාරකරුවා ද වූයේ බ්‍රිතාන්‍ය ජාතික ආණ්ඩුකාරවරයෙකි. මේ බ්‍රිතාන්‍ය ජාතික ආණ්ඩුකාරවරුන් අතර තෝමස් මේට්ලන්ඩ්ද ශ්‍රී ලංකාව පාලනය කළ ආණ්ඩුකාර වරයෙකි. ඔහු පදිංචිය සඳහා තෝරා ගත්තේද ගල්කිස්සයි.   


ආණ්ඩුකාර මේට්ලන්ඩ් ගල්කිස්සේ තැනූ නව නිල නිවෙස විවෘත කිරිමේ උළෙලක් එකල සංවිධානය කොට ඇත. ඒ උළෙල විචිත්‍රවත් කිරීමට පැමිණි නැටුම් කණ්ඩායමක සිටි අහිකුණ්ඨක යුවතියක වූ ලොවීනාට මේට්ලන්ඩ් ආණ්ඩුකාරවරයා පෙම්බැඳීම අපේ රටේ ප්‍රසිද්ධ කථා පුවතකි. පදවි තානාන්තර පසෙකලා මේට්ලන්ඩ් සිය ආදරවන්තිය වූ ලොවීනාට ආදරය කළේය.   


බ්‍රිතාන්‍ය ජාතික මේට්ලන්ඩ් ආණ්ඩුකාර වරයාගේ උච්චාරණ පහසුවට ඇයට ලැවීනියා යනුවෙන් ආමන්ත්‍රණය කළේය. ඇයව සිය නිල නිවසේම බිරිඳ වශයෙන් තබා ගත්තේය.   


මේට්ලන්ඩ් සහ ලොවිනාගේ ආදර කථාව බ්‍රිතාන්‍ය කිරීටය දක්වා ලැව් ගින්නක් සේ පැතිරයාමට වැඩි කලක් ගතවූයේ නැත. එහි ප්‍රතිඵලය වූයේ ලොවිනාට ඇය කලින් ජීවත් වූ මේට්ලන්ඩ් බංගලාව අසල තිබූ අහිකුණ්ඨක ගුබ්බෑයමට යෑමට සිදුවීමයි කෙසේ නමුත් මේට්ලන්ඩ් ආණ්ඩුකාරවරයාට ලොවීනා නැතිව සිය බංගලාවේ විසීමට නොහැකි වූ කල අභිකුණ්ඨක කුප්පෑයාම දක්වා රහස් උමඟක් තනා ඇත. මේට්ලන්ඩ් ආණ්ඩුකාරවරයාගේ නිදන කාමරයේ සිට අභිකුණ්ඨක ගුබ්බෑයම දක්වා තැනූ මේ රහස් උමඟ හරහා ලොවීනා සහ මේට්ලන්ඩ්ගේ හමුවීම පවත්වාගෙන ගොස් ඇත. මේ සිදුවීමත් වැඩි කලක් යන්නට මත්තෙන් බ්‍රිතාන්‍ය කිරීටයට රහසක් නොවීය. එහි අවසාන ප්‍රතිඵලය වූයේ මේට්ලන්ඩ් ආණ්ඩු කාරවරයාට නැව් නැඟ සිය මව්රටට යෑමට සිදුවීමයි. මේට්ලන්ඩ් ආන්ඩුකාරවරයා දිවයිනෙන් සමුගැනීමට පෙර අවසන් ඉල්ලීමක් කළේය. එනම් ‘‘මවුන්ට් ලැව්නියා’’ යන නම මේ බංගලාවට තබන ලෙසය. ඔහුගේ අවසන් ඉල්ලීම ඉටුකිරීමට වගකිවයුත්තෝ අමතක නොකළහ. එද‌ා මේට්ලන්ඩ් බංගලාව අද ගල්කිස්ස මහහෝටලය වී ඇත. ගල්කිස්ස මහ හෝටලය යනු ගල්කිස්සට ඇති සද‌ානුස්මරණිය සිහිවටනයකි.   


ගල්කිස්සේ කලක් ජීවත් වූ අය අතර මහා ගත්කරු මාර්ටින් වික්‍රමසිංහ මහතාද ගල්කිස්ස ප්‍රදේශයට ප්‍රිය කළ අයෙකි.   


කොග්ගල මුහුදු වෙරළට මෙන්ම ගල්කිස්සේ මුහුදු වෙරළටත් ඒ මහතා ප්‍රියකොට ඇත. ලේඛකයකු වශයෙන් බලාපොරොත්තු වන නිදහස් නිස්කලංක බව ඔහුට ගල්කිස්සෙන් නොමඳව ලැබී ඇත.   

සිනමා නළු ගාමිණී ​ෙෆාන්සේකා, එඩී ජයමාන්න සමග තිස්ස හේවාවිතාරණ

 

මාර්ටින් වික්‍රමසිංහ මහතා සිය ස්වයං ලිඛිත චරිතාපද‌ානය වන ‘උපන්ද‌ා සිට’’ කෘතියේ 280 වැනි පිටුවේ ගල්කිස්ස ගැන සඳහන් කර ඇත්තේ මෙලෙසය.   


‘‘විවාහ වී තුන් මසකට පමන පසු කුඩා නිවසක් කුළියට ගෙන ගල්කිස්සේ පදිංචියට ආව‌ා. දුම්රිය පළට නුදුරින් පිහිටියද ඒ ගෙයට පිවිසෙන්නේ අඩිපාරකින්. පොල්ගස්වලින් පමණක් නොව දොඹගස්, සූරිය ගස් හා වල් පඳුරු ද සහිත ඉඩමක් අසල පිහිටි ඒ ගෙය ඇති පෙදෙස ගැමි පරිසරය සිහිකර වන්නක්.’’   


ගල්කිස්සේ පුරාණය ගැන තොරතුරු සොයා යෑමේදී ගල්කිස්සේම ඉපදී ගල්කිස්සේම දිගු කලක් ජීවත් වූ ශාස්ත්‍රපති ගල්කිස්සේ ධම්මවංශ නායක හාමුදුරුවෝ සිය උපන්ගම ගැන අදහස් දැක්වූයේ මේ අයුරිනි.   

මහ ගත්කරු මාර්ටින් වික්‍රමසිංහ මහතා තිස්ස හේවාවිතාරණ සමග

දිගු ඉතිහාසයකට උරුමකම් කියන ප්‍රදේශයක් තමයි ගල්කිස්ස කියලා කියන්නේ කෝට්ටේ යුගයේ රජකම් කළ සය වැනි පැරකුම්බා රජතුමාගේ මෑණියන් වූ සුනේත්‍රා දේවියට අයිති නින්දගමක් තමයි ගල්කිස්සේ වටරප්පොළ කියලා කියන්නේ වරළන්පොළ+වටරප්පොළ වූ බව ඉතිහාසයේ සඳහන් වෙනවා. සුළුද‌ාගොඩ+හුළුදාගොඩ වෙලා තියෙනවා මේ ප්‍රදේශයේ සුළු ද‌ාගැබ් රැසක් තිබිලා තියෙනවා. 1818 ඌව වෙල්ලස්සේ කැරැල්ලේ නායකවරයෙකු වූ විල්බාවේ රටේ රාල නිවාස අඩස්සියේ තබා ඇත්තේද ගල්කිස්සේ ප්‍රදේශයේ තමයි. ගල්කිස්සේ ධර්මෝදය විදුහලට පැරණි මිනිස්සු මල්වත්තේ ඉස්කෝලේ කිව්වේ හිටපු ආණ්ඩුකාර වරයාගේ මල්වත්ත තිබුණ ස්ථානයේ තමයි ඒ ඉස්කෝලේ හදල‌ා තියෙන්නේ. ඒ ඉස්කෝලේ ආසන්නයේ පන්සලක් තිබෙනවා. ඒකට කියන්නේ රාජපුෂ්පාරාමය කියලයි. ගල්කිස්සේ විජය පාරේ කොටසක් තිබුණා ඒ කොටස පැල්පත් සහිත කොටසක් මේ ස්ථානයට කියන්නේ ‘‘සෙම්බර කොටුව’’ කියලයි ‘සෙම්බර කොටුව’’ කියන්නේ ආණ්ඩුකාරවරයාගේ ආරක්ෂක සේනාව හිටපු ප්‍රදේශය තමයි. වටරප්පොළ ඉඳලා කඳු බෑවුමක් සහිත වංගුව පසු කරද්දී විශාල වෙල් යායක් හමුවෙනවා. කවුඩාන, බෙල්ලන්විල, අත්තිඩියේ සිට කෝට්ටෙට යනකම්ම මේ වෙල්යාය විහිදිලා තිබුණා. අත්තිඩිය කියන්නේ වෙළක් නෙමෙයි විලක් කියලා තමයි ඒ කාළේ හඳුන්වන්නේ. ඒ විලේ ඕලු, මානෙල්, පිපිලා හරිම ලස්සනයි කුරුලු රෑන් පිටින් ගස් අතුවල වහලා ඉන්නවා. උන්ගේ සුමිහිරි නාදය මට තවමත් ඇහෙනවා වගෙයි. එක රවුමට කුරුල්ලෝ අත්තිඩියේ බෙල්ලන්විල වගේම අපේ ගල්කිස්සේ ගමෙත් හිටියා. පරිසරය හරිම සුන්දරයි. අපි පුංචි කොලු ගැටව් සන්ධියේ අත්තිඩියේ විලට නාන්න යනවා. පිහිනීම අපේ හොදම විනෝදාංශය තමයි ඒ කාලේ. අපේ ගෙවත්තේ පවා තිබුණේ අඹ, පිනි ජම්බු, ජම්බු, කොස් හල්මිල්ල දෙල් වැනි ගස් වර්ග තමයි. මගේ වැඩිමල් සහෝදරයා වුණේ ගුවන් විදුලි නිවේදකයෙක් වගේම පසුකාලීනව ගුවන් විදුලියේ සභාපතිවරයා වූ ලලිත් එස්. මෛත්‍රිපාලයි. අපේ නිවසෙත් මුළු ගල්කිස්ස පරිසරයෙත් තිබු ගැමිකම මගේ අයියාත් මාත් හොඳ රසවතුන් බවට පත් කිරීමට හේතු වුණා. මගේ අයියාගේ කවිකම පෝෂණය කිරීමට ගමේ ගැමි පරිසරය බෙහෙවින් බලපෑවා.   


අපේ ගෙවල් පහළ තිබු විශාල වෙල්යායේ යල මහ දෙකන්නයම හොඳට වැඩකළ කුඹුරු තිබුණා. නඟුල්වලින් තමයි ඒ කා​ෙල් සීසාන්නේ. සීසාන කාලයට ගොවියෝ කියන සීපදවලින් මුළු ගමම එකම රස ගුළෘවක් වෙනවා. මුළු ගමටම සෙත්පතා පාන්මඩු පවත්වනවා. අපේ වැඩිහියෝ පාන්මඩු ගම්මඩු බලන්න අපිව එක්කගෙන යනවා. හරිම ලස්සන රාත්‍රියක් විදුලි බුබුළුවලින් අලංකාර නොවුනට ලස්සන පහන් වැටවල්වලින් හා ගොක්කොළ හා කෙසෙල් පතුරුවලින් සරසලා පොල්තෙල් පහන් දැල්වෙන විට දකින ආලෝකය හරිම ලස්සනයි. ඒ අසිරිය අද දකින්න ඇත්තේ නැහැ. වැල්ලේ දානය දෙනවා කියලා දානයක් ඒ කාලේ වැල්ලේ දෙනවා. සිංහල අලුත් අවුරුද්ද කිව්වාම ඒ කාලේ ගල්කිස්සේ ගමක සිරිය තිබුණු නිසා ගස්වල මල්වලින් ඵලවලින් බරවෙලා පුදුම ලස්සනක් දැනෙනවා. අලුත් අවුරුද්දට මුළු ගමම සැරසෙනවා. පැරැණි ක්‍රීඩාවක් වන අං ඇදිල්ල ඒ කාලේ තිබුණා සෑම නිවසකම පාහේ ඔන්චිල්ලාවක් හදලා කොල්ලෝ කෙල්ලෝ ඔංචිලි වාරම් කියලා ඔංචිලි පදිනවා. දාදු ක්‍රීඩාව වගේම ගමේ ගෙවල්වල පැදුරු එලාගෙන පංචාකෙළියක් ඒ කාලේට තිබෙන ඉතාම ජනප්‍රිය ක්‍රීඩාවක් තමයි. ගල්කිස්ස ගමේ සිංහල අලුත් අවුරුද්ද සැමරුවේ ඔය විදිහට තමයි.   
නීතිඥ ජෝන්ද සිල්වා මහත්තයාගේ ගෝලයෙක් වන සීයා කෙනෙක් අපේ ගමේ හිටියා   
ඔහු නාට්‍ය පුරුදු කරනවා.  


‘‘සිරිසඟබෝ’’ නාට්‍යය ගල්කිස්ස මහ හෝටලයේ සුද්දෝ ඉදිරියේ ඒකාලේ රඟ දැක්කුවා ‘‘දන්නෝ බුදුන්ගේ ශ්‍රී ධර්මස්කන්ධා’’ ආදී ගීත ඇතුළත් මේ නාටකය මට තවම මතකයි.  

 

ගල්කිස්ස කියලා කියන්නේ එක පැත්තකින් ගැමිකම ගැමි සුවඳ වහනය වන ගැමි පරිසරයක් තිබෙනවා වගේම අර්ධනාගරිකරණ ගති ලක්ෂණවලින්ද සමන්විතයි. ඒ කාලේ ගමේ බයිලා සාජ්ජයක් තිබුණා. අපේ ගමේ බයිලා සනී කියලා කිව්වේ සුමනාරාම පාරේ ජීවත් වූ බයිලා චක්‍රවර්තී එම්.එස්. ප්‍රනාන්දුට තමයි ඔ​හුගේ මල්ලි වෝල්ටර් ප්‍රනාන්දුත් හිටියා. හරිශ්චන්ද්‍ර මැන්දිස් කියලා අපේ තවත් ඥාතියෙක් සමඟ තමයි රාත්‍රි බයිලා සාජ්ජේ ද‌ාන්නේ මේකටත් ගමේ මිනිස්සු එකතු වෙනවා. ඒ කාලේ විදුලිය තිබුණෙත් ගෙවල් අතළොස්සකට පමණයි අනෙක් බොහෝ ගෙවල්වල පැට්‍රල්මැක්ස් තමයි පාවිච්චි කළේ සුමනාරාම හන්දියටම තිබුණේ තට්ටු ගෙවල් දෙකක් පමණයි.  
ඒ කාලේ ළිංජලය තමයි බොන්න, නාන්න මේ හැම දෙයකටම. සෑම නිවෙසකම ළිඳක් තිබුණා. හරිම පිරිසිදු වතුර තමයි ඒ ළිංවල තිබුණේ. බාල්දි වැසිකිළි තිබුණා. මිනිසුන්ට ලෙඩ දුක් බොහෝම අඩුයි. සෑම නිවෙසකම අත් බෙහෙත් වර්ග වවලා තිබුණා. ගමේ වින්නඹු අම්මා කෙනෙක් හිටියා. ඒ කාලේ ළමයි ඉපදුණේ ඉස්පිරිතාල වල නෙවෙයි ගමේ ​ෙගවල්වල තමයි ඥ‌ානතිලක පාරේ කිරි අම්මා කෙනෙක් හිටියා. උන්දෑට ගව පට්ටියක් තිබුණා. උදේට නොවරදවාම කිරි බෝතලයක් සෑම ගෙදරකින්ම මිලදී ගන්නවා. ගල්කිස්සේ මාළු කත්කාරයොත් හිටියා නමුත් ඊට වැඩිය කාන්තාවෝ මාළු වෙළෙඳ‌ාම කළා. මාළු ජොසි අක්කා, මාළු නෝනක්කා කියලා කාන්තාවෝ දෙන්නෙක් හිටියා. ඒ අය මාළු වට්ටිය ඔළුවේ තියාගෙන ඇවිදිමින් වෙළෙඳ‌ාම් කරනවා. තවත් කාන්තාවක් හිටියා ඇය හිටියේ වටරප්පල පාරේ පළා විකිණීම කරනවා ගොටුකොළ ලිලී අක්කා කිව්වාම දන්නවා. ඒ දවස්වල ගමේ පැරණි වෙදමහත්වරු හිටියා. කවුඩානේ ගුණේරිස් වෙදමහත්තයා ගාලුපාර අයිනේම සැමී වෙදමහත්තයා සුවනාරාම පාර අසල ශ්‍රීපති වෙදමහත්තයා මේ අය නාඩි වෙදකමට හරිම දක්ෂයි. ලංකා සමසමාජ පක්ෂයේ සුවිශේෂ චරිතයක් මෙන්ම ඇන්.ඇම්ලා, කොල්වින්ලා එක්ක හිරේ පවා ගිය එඩ්මන් සමරක්කොඩි මහත්තයා ගල්කිස්සේ ‘‘සමරක්කොඩි වලව්ව’’ ඒ මහත්තයලෙගේ වලව්ව තමයි. තවත් වලව්වක් තිබුණා ‘‘වාසල වලව්ව’’ කියලා ගාලුපාරේ උසාවිය අසල තමයි ඒ වලව්ව තිබුණේ. ඒක ඩබ්ලිව්.එෆ්.ගුණවර්ධන මුදලි තුමාගේ වලව්ව තමයි. සමරක්කොඩි වලව්වේ දරුවෝ බක්කි කරත්තෙන් තමයි ගල්කිස්සේ බෞද්ධ බාලිකා විදුහලට එක්කාගෙන යන්නේ.

 ඒ දවස්වල පොඩි කඩ තමයි තිබුණේ. බෙමා ආච්චිගේ කඩේ කියලා කඩයක් තිබුණා. ආප්ප හදන්නේ දරළිපේ උඩිනුත් ගින්දර යටිනුත් ගින්දර ද‌ාලා මැද තාච්චියේ තමයි ආප්ප හදන්නේ. ආප්ප ලොකුයි එක ආප්පයක් ශත 5 යි. ඊළඟට කෝම්පිට්ටු කියලා පැණි පොල් මැදට ද‌ාලා හදන කෑමක් තිබුණා. හකුරු ආප්පත් හැදුවා. මේවා උදේට පමණයි ආහාරයට ගන්නේ. දවල්ට මෙන්ම රාත්‍රියට මිනිස්සු කන්නේ බත් තමයි.  


ඒ කාලේ ගල්කිස්සට ආවේණික වූ රසවත් කැවිලි වර්ගයක් තිබුණා ඒකට කියන්නේ ‘ගල්කිස්සේ බිබික්කම්’’ කියලා තමයි. හරිම රසයි කජු, මුද්දරප්පලම් ද‌‌ාලා තමයි හදන්නේ ‘‘මීගමුවේ අළුවා’’ වගෙයි ‘‘ගල්කිස්සේ බිබික්කම්’’ වලට හරි ඉල්ලුමක් තිබුණා.  


මම 60 දශකයේ හුළුද‌ාගොඩ පාර හරහා ටෙම්පල් පාරෙන් බොරළු පාරවල් දිගේ රබර්වතු මැදින් තමයි රත්මලාන පරම ධම්මචෙතිය පිරිවෙනට ඉගෙන ගන්න යන්නේ මෙහේම යනකොට දිනපතා සුදු ඇඳුමින් සැරසුණ සාටයක් කරේ දමාගත් මහත්තයෙක් හමුවෙනවා ඒ මහත්තයා ශාන්ත තෝමස් විදුහලේ සිංහල ගුරුවරයා මෙන්ම හෙළහවුලේ ක්‍රියාකාරිකයකු වූ අරිසෙන් අහුබුදු මහත්තයා: ඒ වියතාණන් හඳුනාගන්නට ලැබුණේ පසුදිනෙකයි.  


ඊබට් සිල්වා බස් සමාගමේ ඩබල් ඩෙකර් බස් තිබුණා. සිරිල්ද සොයිසා මහත්තයාගේ සවුත් වෙස්ටන් බස් සමාගමේ බස් පාරේ දිව්වා. කොටුවේ ඉඳලා පානදුරේ දක්වා ඩබල්ඩෙකර් යනවා. දෙහිවල ඉඳලා ගල්කිස්සට ඒ දවස්වල පාසල් ළමුන්ට ශත 3 යි වැඩිහිටියන්ට ශත 5 යි බස් ගාස්තු අය කළේ එහෙමයි. බඩු ප්‍රවාහනයට ඒ කාලේ කරත්ත තමයි තිබුණේ. දරමඩු, දරකරත්ත තිබුණා භූමිතෙල් කරත්ත තිබුණා ඕඩියන් සිනමාහල අසල භූමිතෙල් කරත්ත ගාල් කරන්න ස්ථානයක් තිබුණා. ඉස්සෙල්ලම ගමේ ටෙලි​ෙෆා්න් එකක් තිබුණේ එකම ගෙදරක පමණයි ඒ බාන්ස් ද සිල්වා කියලා මහත්තයෙක් හිටියා ඔහුගේ ගෙදර තමයි. ගල්කිස්සේ අතීතයට සිත ගමන් කරන විට ඒ දවස්වල සමාජය හරිම සරලයි. මේ තරම් අවිවේකී නැහැ. ගහකොළ වතුපිටි සතා සිවුපාවන්ගෙන් පරිසරය අලංකාර වෙලා. ඒ පරිසරය අද හොඳටම වෙනස් වෙලා යැයි අවසන් වශයෙන් ගල්කිස්සේ ධම්මවංශ නාහිමියෝ පවසති. ගල්කිස්සේ ඉපදී ගල්කිස්සේ පදිංචි වී සිටින චිත්‍ර ශිල්පියකු වන තිස්ස හේවාවිතාරණ මහතා පුවත්පත් ගණනක සේවය කළ දක්ෂ චිත්‍ර ශිල්පියෙකු වන අතර ගල්කිස්ස පිළිබඳ සිය මතකය අවදි කළේ මෙසේය.  


ඉස්සර ගල්කිස්සේ ලස්සන ගැමි පරිසරයක් තිබුණා. විශේෂයෙන් විදේශිකයෝ ලස්සන වෙරළ තීරයටත් ගල්කිස්ස මහ හෝටලයටත් කැමැත්තෙන්ම ලංකාවට එන පිරිස් ඉන්නවා.   


‘‘බ්‍රිජ් ඔන්ද රිවර් කෝ වෝයි’’   


(Bridge on The River Kuwai) කියන චිත්‍රපටයේ රූගත කිරීම් කරලා තියෙන්නෙ කිතුල්ගල ප්‍රදේශයේ තමයි නමුත් එහි අධ්‍යක්ෂවරයා වූ ඩේවිට්ලීෆ් නතරවෙලා ඉදලා තියෙන්නේ ගල්කිස්සේ මහ හෝටලයේ මට විදේශ රටකදී මේ පුද්ගලයා හමුවුණා. ඔහු මම ගල්කිස්සේ කිව්වාම ඔහු හරියට සතුටුවුණා. සතුටු වෙලා කිව්වේ මගේත් ප්‍රියතම ප්‍රදේශය ගල්කිස්ස කියලා. මෙහේම ඩේවිට්ලීෆ් කිව්වම මට දැනුණ සතුට වචනවලින් විස්තර කරන්න බැහැ. ඒ තරමට විදේශිකයෝ ගල්කිස්සට කැමැතියි. ඒ කාලේ අද වගේ කොන්ක්‍රිට් වනාන්තර නෙවෙයි ඉතාම දැකුම්කලු පරිසරයක් ගල්කිස්සේ තිබුණා.

 
මම චිත්‍ර කලාව ඉගෙන ගත්​ෙත් අපේ අල්ලපු ගෙදර හිටපු එම්.සාර්ලිස් මාස්ටර්ගේ පුතා සුසිල් ප්‍රේමරත්න මහත්තයාගෙන් තමයි. සුසිල් ප්‍රේමරත්න මාස්ටර්ට තවත් ගෝලයකු හිටියා. ඔහු තමයි මා සමඟ ගල්කිස්ස ශාන්ත තෝමස් විදුහලේ එකට ඉගෙන ගත් පසුව සිනමා සක්විති බවට පත්වුණ ගාමිණි ​ෙෆාන්සේකා. ඒ දවස්වල ශාන්ත තෝමස් විදුහලේ සීනුව නාද කරන හඬ ගල්කිස්සේ හන්දියට ඇහෙනවා. සුසිල් මාස්ටර් ගායන ශිල්පියකුද වුණා ‘කෝ අද මැණිකා කොහේද ගියේ’ ‘කළු කැලණි නදී’ ‘රූ රැසේ අදිනා ලෙසේ’ ආදී ගීත ඒ කාලේ හරිම ජනප්‍රියයි ඒ කාලේ තවත් යුවතියක් සුසිල් මාස්ටර්ගේ ගෙදරට එනවා ඇයට ඒ කාලේ රීටා ​ෙජනවිච් නමින් තමයි කථා කළේ ඉන්දියාවේ ගීත කෝකිලාවිය වූ ලතා ම​ංගේස්කාර්ගේ හඬට සමාන වූ කටහඬක් තිබූ නිසා ඇයට පසුව ‘ලතා’ යනුවෙන් සුසිල් මාස්ටර් නම තැබුවා. ඇය තමයි අද ලතා වල්පොල නමින් හඳුන්වනු ලබන ​අපේ ප්‍රසිද්ධ ගායිකාව. ශාන්ත තෝමස් විදුහලේ ප්‍රධාන ගොඩනැගිල්ල දෙවන ලෝක යුද්දෙට හමුදා රෝහලකට ගත් නිසා ඒ ගාමිණීලා අපි ඒ දවස්වල ඉගෙනගත්තේ විදුහල් භූමියේ ඉදිකළ පොල්අතු මඩුවක තමයි.  


ඉස්සර ගල්කිස්සේ මුහුදු වෙරළට රත්මලානේ කඳවල වලවුවේ හිටපු සර් ජෝන් කොතලාවල අගමැතිවරයාත් නාන්න එනවා. අපිත් එක්ක මුහුදේ නානවා. ආරක්ෂකයෝ කවුරුත් නැහැ. වර්තමාන අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ පියා එස්මන්ඩ් වික්‍රමසිංහ මහතාත් ඒ අතර ඉන්නවා. ඒ කාලේ අපේ මැතිවරණ ආසනය වුණේ වැල්ලවත්ත ගල්කිස්සයි. එකවරක් කොල්වින් ආර්.ද. සිල්වා දිනුවොත් ඊළඟ වතාවේ දිනන්නේ එස්.ද.එස්. ජයසිංහ තමයි කොල්වින් ලංකා සමසමාජ පක්ෂයේ යතුර ලකුණින් තරග කරනවා එස්.ද.එස් ජයසිංහ එක්සත් ජාතික පක්ෂයේ අලියා ලකුණින් තරග කරනවා. දිනක් කොල්වින් කරපු ලස්සන කථාවක් මට මතක් වෙනවා. තම ප්‍රතවාදී අපේක්ෂයා වූ එස්.ද.එස් ජයසිංහ මහතා හැමතැනම පෝස්ටර්වල ගහලා තියෙනවා ජයසිංහට ජය. ජයසිංහට ජය ආදී වශයෙන් තමයි පෝස්ටර් එකේ තිබුණේ. කොල්වින් ගල්කිස්ස හන්දියේ රැස්වීමක කියනවා,  


‘සහෝදරවරුනි, මම දැන් එනකොට දැක්කා ජයසිංහට ජය කියලා හැම තැනම පෝස්ටර් ගහලා තියෙනවා. නමුත් සහෝදරවරුනි මේ සටන ‘වින්’ කරන්නේ මේ ‘කොල්වින්’ බව අමතක කරන්න එපා.’ මේ විදිහට හරි ලස්සන මැතිවරණ ව්‍යාපාරයක් අපේ ආසනයේ ඒ කාලේ තිබුණා. එක මැතිවරණයකදී කොල්වින්ගේ පරාජයට තදින්ම බලපෑ සිද්ධියක් තිබුණා ඒක තමයි ප්‍රසිද්ධ ‘සතාසිවම්’ මිනීමැරුම් නඩුවේ විත්තිය ජයගැනීම. වංගෙඩිය හා මෝල්ගහ මිනිමරුවන් වූ නඩුව ජයගත් වෙලාවේ මිනිමරුවෝ බේරගත්ත බවට ප්‍රතිවාදීන් ඡන්ද සටනේ ප්‍රධාන මාතෘකාව කරගත්තා. ඒ විදිහටම ඒ සැරේ කොල්වින් පරාද වුණා. මාර්ටින් වික්‍රමසිංහ මහත්තයාගේ ‘මවුන්ට් ප්‍රෙස්’’ කියලා මුද්‍රණාලයක් ඒ කාලේ ගල්කිස්ස හන්දියේ තිබුණා. මහාචාර්ය එදිරිවීර සරත්චන්ද්‍ර මහත්තයා කලක් ලිලී ඇව්නියුවල පදිංචිවෙලා හිටියා. මහාචාර්ය විනී විතාරණ මහත්තයා අදටත් පදිංචි වෙලා ඉන්නේ සමුද්‍රාසන්න පෙදෙසේ තමයි. බද්දේගම හිටපු මන්ත්‍රි සයිමන් අබේවික්‍රම මහත්තයාත් ගල්කිස්සේ පදිංචිවෙලා හිටියා. ජාතික ගීයේ නිර්මාතෘ වරයා වූ ආනන්ද සමරකෝන් මහතාද කලක් ටෙම්පල්ස් පාරේ පදිංචිවෙලා හිටියා. කැලෑ හඳ චිත්‍රපටයේ ජෝන් ජයපාලගේ චරිතය රඟ පෑ ස්ටැන්ලි පෙරේරා, ගර්ලි ගුණවර්ධන යුවළට පමණක් නොව ඔවුන්ගේ දියණිය වූ චිත්‍රපට නිළි සබිතා පෙරේරාද ගල්කිස්සේ කාන්තාවක්. සනත් ගුණතිලක කලක් හුළුද‌ාගොඩ පාරේ නිවෙසක පදිංචිවෙලා හිටියා ගල්කිස්සේ ටෙම්පර්ල්ස් පාරේ කලාපුරයම කලාකරුවන්ගෙන් පිරුණු ගම්මානයක් තමයි ලංකාදීප පුවත්පතේ සේවය කළ මගේ ගුරුවරයකු වන ජී.එස්.ප්‍රනාන්දු චිත්‍ර ශිල්පියාත් ගල්කිස්සේ තමයි පදිංචිවෙලා හිටියේ. මේ අයුරින් කලාකරුවන් රැසක් ගල්කිස්ස ප්‍රදේශයේ අදටත් ජීවත්වෙනවා. නිහඬ නිස්කලංක පරිසරයකට උරුමකම් කියන ගල්කිස්සේ උපත ලද මා ගල්කිස්සේම මිය යායුතුයි. ගල්කිස්ස කියන්නේ අපේ අතීතයේ අභිමානයයි. ඒ මිහිරි අතීතය සිහිපත් කරන විට දැනෙන සතුට වචනවලින් විස්තර කළ නොහැකි බව අවසන් වශයෙන් තිස්ස හේවාවිතාරණ මහතා ප්‍රකාශ කළේය. ගායන ශිල්පී ෆ්‍රෙඩී සිල්වා ගායනා කළ සිරිල්.ඒ. සීලවිමල මහතා ලියූ 


‘‘ගල්කිස්සේ මුහුදු වෙරළේ
ඉරිදට ගිහින් බලන්න
ලස්සන තරුණ ළමයි
කිඳුරියෝ වාගේ
වෙරළට ගෙන එනවා


මංගල යෝගේ’’ මේ ගීතයක් ඒ කාලේ ජනප්‍රිය ගීතයක් වුණා.  


සටහන සහ ඡායාරූප  
මහින්ද ආරියවංශ  



අදහස් (0)

සුන්දර ගමක් වූ එද‌ා ගල්කිස්ස

ඔබේ අදහස් එවන්න

රසවිත

අනේ පොඩි නැන්දා මට හුඟක් දවස් කාමරේ ඇතුළෙ ඉන්න වෙයිද?
2022 මාර්තු මස 26 10916 0

හීන් නෝනා දියණිය දෙස බැලු‍වේ කරදර දෑසිනි. දුරකථනය හරහා ආවේ සුබ පණිවිඩයක් නොවන බැව් ඇගේ මුහුණ කියා පෑවේය. “කවුද කතා කෙරුවේ..?” හීන් නෝනා විමසුවාය. “අයිය


යෙලෝ බීට්ස් කියන්නේ කවුද ?
2022 මාර්තු මස 26 6207 0

මෙවර U Tube ලෝකය තුළින් ඉරිදා ලංකාදීපයෙන් කතාබහ කරන්න හිතුවේ සමාජ මාද්‍ය ඔස්සේ අතිශය ජනප්‍රිය Girls Voice Band එකක් පිළිබඳව. ඒ Yellow Beats කණ්ඩායම කුෂිනි ප්‍රවින්ද්‍යා, දි


පුරාණ රජ කාලේ වීදුරු හැදූ ‘පබුලුගම’
2022 මාර්තු මස 26 5925 0

ශ්‍රී ලංකාවේ පබලු භාවිතය පිළිබඳ පුරාණතම සාධක අයත් ​ෙවන්නේ ප්‍රාග් ඓතිහාසික යුගයටය. ක්‍රි.පූ. (900-600) අතර මුල් යුගයේදී ජනතාව පබලු භාවිතය සුලබව සිදුකොට ඇති


වෘන්දා වනයේ පෙම්මල් විසිරේ...
2022 මාර්තු මස 26 5243 0

හින්දු පුරාණයට අනුව විෂ්ණු දෙවි යනු ලොව සුරකින්නාය. ලෝකයේ තිර පැවැත්ම පිණිසත්, ධර්මය රැකීමටත්, අදමිටුවන් විනාශ කිරීමටත් වරින්වර විෂ්ණු ලොව පහළවන බව මහ


බිම් බෝම්බය පිපිරෙද්දී ගෙදරට පණිවිඩයක් දුන් ව්‍යාපාරිකයා
2022 මාර්තු මස 26 3231 0

මසින් ලෙයින් නිර්මිත මසැසට භෞතික ලෝකයේ බොහෝ සංසිද්ධි දැක ගත හැකි වුවත් ඉන් එහා ඇති අවිඥාණික දේ පෙනෙන්නේ නැත. භූගත පෘෂ්ඨ වංශික ඇතැම් සතුන් හැරුණු විට සෙ


නූතන ශාසන ප්‍රබෝධයේ ශාස්ත්‍රවන්තයා සිටිනාමළුවේ මහ තෙරිඳු
2022 මාර්තු මස 26 1705 0

සිත්තම්ගල ගල් ලෙන බලන්නට මී ආතා “බරින්දු” එක්ක ගෙන ගියේ ගැල් කරත්තයෙන්ය. “අපේ ‍රැහේ උන් තමයි දරුවෝ මෙතන නැණපිල පටන් ගෙන සාහිත රස බෙදුවේ.” එදා මී ආතා කී ක


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 294 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1665 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1524 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site