IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


විජයගේ සෙවණ ලද සීදූව

බස්නාහිර පළාතේ ගම්පහ දිස්ත්‍රික්කයට අයත් කටාන මැතිවරණ බල ප්‍රදේශයේ පිහිටි සීදුව නම් ග්‍රාමවරය ඈත අතීතයේ කෘෂිකාර්මික ජීවන රටාවකට හුරු ජනතාවක් වාසය කළ සුන්දර ගම්මානයකි. 

 
සොබා දහමේ අපූරු චමත්කාරය රැගෙන මහ මුහුදට ගලා බසින දඬුගම් ඔය සීදුව ගමට ආශිර්වාදයකි. ඈත අතීතයේ සිට දඬුගම් ඔයත් ගමේ ජන ජීවිතයත් අතර ඇත්තේ මනා සබැඳියාවකි.   


පොල්රුප්පාවන් අතර තවත් පසෙකින් සොඳුරු දසුන් මවන මීගමුව කළපුවත් සීදුව ගමට ලබාදී ඇත්තේ තවත් රමණීය බවකි.  
 
සීදුවට ‘සීදුව’ යනුවෙන් ග්‍රාම නාමය ලැබී ඇත්තේ කෙසේද යන්න සෙවීමේදී පැරැන්නෝ පැවසූ මතවාද තුනක් ඇත. එනම් සිංහ දූපත සිව් දූපත්, සහ සිරිදුව යනුවෙනි. මෙයින් සිව් දූපත් ගැන විස්තර කිරීමේදී සීදුවට ගොඩැලි හතරක් ඇත. ඒවා නම් වේන, මැද්දගොඩ, ඇතුල්ඕවිට සහ මැහැරගොඩැල්ලයි. මේවායෙන් වේන, මැද්දේගොඩ, ඇතුල්ඕවිට දඬුගම් ඔයෙන් වටවී ඇති නිසා දූපත් වශයෙන් හැඳින්වීමට පුළුවනි. එහෙත් මැහැර ගොඩැල්ල උතුරින් දකුණින් හා බස්නාහිරෙන් කුඹුරුවලින් මායිම් වුවත් නැගෙනහිරින් ගොඩබිමට සම්බන්ධවී ඇති නිසා දූපතක් වශයෙන් සැලකීමට නොහැකි බව ගම්වාසීහු පවසති. ඒ අනුව සිව් දූපත් සීදුව වූ බව පිළිගැනීමට නොහැකි බව ඔවුන්ගේම අදහසයි.   
සිරිදුව යන්නේ ඇති ‘රි’ අකුර ලොප්වී සීදුව වූ බවත් එයින් නියම නම හැදී ඇති බවත් ගමේ සිටින බොහෝදෙනා විශ්වාස කරති. 

 

 

මේ ගැන තවදුරටත් විග්‍රහ කිරීමේදී ‘ශ්‍රී හෙවත් සිරි’ යනු සශ්‍රීකත්වයයි. සැප සම්පත් වලින් පිරුණු යන අරුත ද මෙහි ඇත. එසේම සිරි යනු සොබා සෞන්දර්යෙන් අනූන යන්නයි. ඒ අනුව සියලු සම්පත්වලින් පිරුණු රමණීය ගම් පියස සිරිදුව + සීදුව වූ බව ගම්වාසී වැඩිහිටියෝ පවසති. මේ සියලු කරුණුවලින් සීදුව බත බුලතින් සරු සොබා සොඳුරු බවින් පිරී ගැමි සුවඳ මුසුවූ සිරි දුවක්ව පැවැති බවට සැක නැත.   


සීදුව පුරාණය සොයා යෑමේදී සීදුව ගමේදී හමුවූ හිටපු ගම් සභාපතිවරයකු හා සීදුව කටුනායක නගර සභාවේ පළමුවැනි නගර සභාපතිවරයා වූ පැට්‍රික් පලිහවඩන මහතා සිය අතීත මතකය අවදි කළේ මෙසේය. 

 
70 දශකයට පෙර සීදුව හැඳින්වූයේ උතුරු අලුත්කුරු කෝරළයේ දාසිය පත්තුවේ කොළඹ දිස්ත්‍රික්කයේ සීදුව යනුවෙන් තමයි. පස්සේ ඒක ගම්පහ දිස්ත්‍රික්කය වුණා.   


දැනට වසර 300 කට පෙර සීදුව වන අඩවියක් වශයෙන් තමයි තිබිලා තියෙන්නේ. පස්සේ ක්‍රමක්‍රමයෙන් ජනාවාස බවට පත්වෙලා තිබෙනවා. දකුණු සීදුවේ දුවමුල්ලේ කුඹුරුවල දක්නට ඇති ගස්වල විශාල මුල්වලින් ඒ බව සනාථ වෙනවා.   


ඊළඟට දඬුගම් ඔයේ අලි නෑ තොටුපළක් අලි ඇතුන් කඩොල් කැලේ සිට මේ ස්ථානයට ආගිය අගලෙන් කොටසක්ද අද දක්වා තිබෙනවා.   


ගැමුණු රජුගේ කඩොල් ඇතා මේ කඩොල් කැලෙන් අල්ලා ගත් බව ජනප්‍රවාදයේ තිබෙනවා. සීදුවට යාබදව ඇති මූකලන්ගමුව යන ග්‍රාම නාමයෙන්ද පැහැදිලි වන්නේ වනගහනයෙන් පිරි ජනගහනයෙන් අඩු රූස්ස කැලෑවල් වලින් පිරුණු ප්‍රදේශයක් ඒ කාලේ තිබුණ බවයි.   


මූකලන්ගමුව ආසන්නයේ ඇති කැලෑ පල්ලිය යනුවෙන් හඳුන්වන දේවස්ථානයට ඒ නම සෑදී ඇත්තේ ඒ අවට තිබූ විශාල කැලෑව නිසා බව තවදුරටත් පැහැදිලි වෙනවා. ඒ කාලේ මංමාවත් පාලම් බෝක්කු ඉදිනොවූ යුගයේ දඬුගම් ඔය හරහා පාලම් පාරුවක් සමඟ තොටුපළක් තිබුණා සීදුව තොටුපළ ළඟින් අඩි 300 ක් දිග ලී පාලමක් ඒ කාලේ තිබිලා තියෙනවා. ඒක විනාශවෙලා ගිහින්.   


පාලම් පාරුවෙන් මිනිහෙක් එගොඩ මෙගොඩ කිරීමට ශත 02 ක්ද බයිසිකලයට ශත 5 ක්ද බර බාගයකට ශත 10 ක්ද කාරයකට ශත 50 ක්ද බසයකට රුපියලක්ද වශයෙන් රේන්දකරු මිනිසුන්ගෙන් අය කරලා තිබෙනවා. මට මතක ඇති කාලේ පාලම් පාරු රේන්දය අරගෙන තිබුණේ අගෝස්තීනු අප්පුහාමි කියලා ගමේ හිටපු ප්‍රභූවරයෙක් තමයි. ඉස්සර රද්දොළුවේ හිටපු සීඩී මුදලාලිගේ බස් එකක් රාත්‍රී කාලයේ පාලම් පාරුවට නග්ගගෙන යද්දී බසයේ තිරිංග බුරුල්වී ගඟට වැටීමෙන් එහි සිටි සියලුදෙනා මරුමුවට පත්වෙලා තියෙනවා.   


පළමුවෙන්ම කොන්ක්‍රීට් පාලමක් දාලා තියෙන්නේ 1938 දී එය සර් ජෝන් කොතලාවල මහත්තයා විවෘත කරලා තියෙනවා. සීදුවේ දුම්රියපොළ 1962 ට පෙර හැඳින්වූයේ ‘සීදුව පාර’ කියලයි. කොටා රෝඩ් මඩුරෝඩ් මෙන් සීදුවට සීදුව රෝඩ් යනුවෙන් හඳුන්වලා තිබුණා. 1962 න් පසුව එය සීදුව දුම්රියපොළ වශයෙන් නම් කළා. ඒ කාලේ දුම්රිය ඇන්ජින්වලට වතුර සපයන ලද්දේ රේල් ගේට්ටුව අසල මාරකැට්ටුවේ වූ ඉඩමේ විශාල ළිඳෙන් තමයි. දුම්රිය එනතුරු බලා සිටි ගැහැනු උදවිය දුම්රිය පැමිණ ඇන්ජිම රේල් ගේට්ටුව අසල නතර කළ විට කාන්තාවෝ කළගෙඩිවලට පුරවාගත් වතුර ෆෝමන්ට දුන්නාම ෆෝමන් ඒවා ඇන්ජිමට වත්කරනවා.   

සීදුව තොටුපොළ හැරුනාම මුතුවාඩිය තොටුපළත් ඒ කාලේ ප්‍රසිද්ධ තොටුපොළක් තමයි. මුතුවාඩි තොටුපළින් කොප්පරා පටවන ලද පාරු මෙන්ම කොළඹ සිට මුතුවාඩියට කුළුබඩු සහල් ගෙන ආ පාරුවල වැඩ කළ අය කාන්සියට ගායනා කළ පාරු කවි සීපද ගායනාවලට මුසුවී දකුණු සීදුවටම රාව ප්‍රතිරාව ගෙන දෙනවා. ලොරි බහුලවීමට පෙර කොප්පරා කුරුඳු පොල්තෙල් පිරූ පීප්ප හා කොහු ආදිය එහා මෙහා ගෙන ගියේ ගොන් දෙන්නෙක් බැඳි කරත්ත වලින් තමයි. කරත්ත 10ක් 12ක් එකක් පිටුපස එකක් පරිද්දෙන් රාත්‍රී කාලයේ ලන්තෑරුම් එළියෙන් ගමන් කරනවා. අපි ළමා කාලයේ මේ දර්ශනය දැකලා තියෙනවා.   


කරත්තවල වහලේ එල්වූ සීනුවල හා හරකුන්ගේ බෙල්ලේ බැඳි ගෙජ්ජි වැල්වල සිහින් හඬට එක්වූ කරත්තකරුවන්ගේ සීපද හඬින් මුළු සීදුව ගමම එකම රස ගුලාවක් වෙනවා.   


ඒකාලේ ගමේ විසූ පොල් මුදලාලිලා කොප්පරා හා පොල්තෙල් පීප්ප හා කුරුඳු පටවන බර කරත්තේ පිටුපසින් කොළඹ ගිහින් තියෙන්නේ පයින්ම තමයි. මේ උදවිය තම ඇඳුම් කට්ටලේ හකුළාගෙන කරත්තේ තියලා තොටළඟට ගොස් උදේ කැලණි ගඟෙන් දියනා කාබී රෙදි කෝට් පනා ඇඳ පැළඳගෙන නියම මුදලාලි විදිහට ග්‍රෑන්ඩ්පාස්වලට ගිහින් තම බඩු ටික විකුණාගෙන ඊට පස්සේ නැවත ගමට ඕනැ බඩු කොළඹින් පටවාගෙන පයින්ම තමයි ගමට ඇවිල්ලා තියෙන්නේ.   


ඉස්සරම සීදුව හන්දියේ එකම හාල් කඩයක්වත් තිබිලා නැහැ. පස්සේ අල්ලිනු ගුරුන්නාන්සේගේ හාල් සිල්ලර කඩය පටන්ගෙන තිබෙනවා. දකුණු පළාතේ කරෝලිස් සිල්වා මැනේජර් මහත්තයා අද මහින්ද ස්ටෝර්ස් තියෙන තැන සුදු ගුරුන්නාන්සේගේ ගේ කුලියට අරගෙන සැලකියයුතු කඩයක් පටන්ගෙන තිබෙනවා.   


ඊටත් පස්සේ දමිළ ජාතික පාලයියා නාඩාර් තොග කඩයක්ද පටන් අරන්. ඒ කාලේ තේ කඩ, බාබර් සාප්පු, ටේලර් සාප්පු තිබිලා නැහැ. උදේට හෝ සවසට යමක් කා තේ හෝ කෝපි කෝප්පයක් බීමට තිබූ එකම තැන වෙලා තියෙන්නේ පරණ දවිසමර විදුහල ළඟ තිබූ නොන්න ආච්චිගේ කෝපි කඩය විතරයි. 1942 පලිහවඩනගේ විලියම් ප්‍රනාන්දු සීදුව හන්දියේ විලියම් බේකරිය පටන්ගෙන තිබෙනවා.   


ගමේ ආර්ථිකය ගැන කථා කිරීමේදී සෙක්කුවලින් සිඳගත් පොල්තෙල් සහ කොප්පරා වලින් සැලකිය යුතු මුදලක් උපයාගෙන තිබෙනවා. උතුරු සීදුවේ ඒ කාලේ වඩු කර්මාන්තයට ප්‍රසිද්ධයි. ලී ඉරන කපන යතුගාන වද්දන කරත්තවලට යකඩ පට්ටම් සවිකිරීම කරලා තියෙනවා. සීදුවේ බරබාග ලංකාව පුරා ඒ කාලේ ප්‍රසිද්ධවෙලා තියෙනවා. සීදුව දුම්රියපොළෙන් යාපනයට පවා ඒ බරබාග යවලා තිබෙනවා. පැදුරු කර්මාන්තයත් විශේෂයෙන් පොල්ගස් මැදීම හෙවත් රා කර්මාන්තය සීදුවේ මිනිස්සු ස්වයං රැකියාවක් වශයෙන් ඒ කාලේ කළා.   

 

 

සමහරු රේන්දකරුවන්ට පොල් ගස් බද්දට දී මුදල් අර ගත්තා. රා කර්මාන්තය ගමේ ආර්ථිකය ශක්තිමත් කිරීමට හේතුවුණා. ඊළඟට සත්ව පාලනය සීදුව ගමේ හොඳින් තිබුණා. එහිදී හරකුන් ගොවිතැන් සඳහා යොදාගත් අතර ඌරන් කුකුළන්, තාරාවන් මස් පිණිස අලෙවිකොට ආදායමක් ලැබුවා.   


සීදුව ගමේ බොහෝදෙනා පාසල් ගියේ දවිසමර විදුහලට තමයි. මගේ ළමා වියත් තරුණ වියත් අද මහලු වියත් මේ තුනම ගෙවෙන්නේ මේ සීදුවේ නිසා ගමේ අතීතය මට හොඳින් මතක තියෙනවා. ගමේ පැරණි ගෙවල් අතර පරණ උළු තිබුණ ගෙදර ලියෝ මහත්තයාගේ ගෙදර ලියෝ මහත්තයාගේ හාමිනේට කියන්නේ ලිලිනෝනා කියලා තමයි මේ නිවසේ නම ‘ලිලි කෙට්’ කියලා මේ ලිලී නෝනාගේ මල්ලී තමයි කෝවිලගේ බෙන්ජමින් සිල්වා කුමාරතුංග කියන්නේ. ඔහු ගමේ ගම්මුලාදෑනියා වුණා.   


බෙන්ජමින් රාළහාමි යනුවෙනුත් ගම්මු ඔහුව හඳුන්වනවා. ඔහුගේ එක පුතෙක් තමයි සිඩ්නි කුමාරතුංග කියන්නේ. අනික් පුතා තමයි රටේම ජනාදරයට පාත්‍රවූ විජය කුමාරතුංග කියලා කියන්නේ. ගමේ ලොකු කුඩා සෑම කෙනෙක් එක්කම සමාජශීලීව ජීවත්වුණ කෙනෙක්. සීදුව ගමෙන් බිහිවූ සදානුස්මරණීය චරිතය තමයි විජය කුමාරතුංග කියන්නේ.   


මම විජය ගැන ගොඩාක් දේවල් මේ මොහොතේ කතා කරන්න යන්නේ නැහැ. මම 1964 වසරේදී ආඬිඅම්බලම ගම් සභාවට ස්වාධීන අපේක්ෂකයකු වශයෙන් තරග කළා. ඒ වෙලාවෙදි අපේ මිතුරු කණ්ඩායම මගේ ඡන්ද ව්‍යාපාරයට බැස්සා. එතැනදී මා මිතුරු විජය කුමාරතුංගත් විශේෂ කෙනෙක්. විජය මා සමඟ ගමේ සෑම ගෙදරකම කැන්වසින් ගියා. විජයට තරුණියන්ගේ ආකර්ශනය වැඩියි. ඉතින් තරුණියන්ට විජය කිව්වේ මෙහෙමයි.   


‘මම ඡන්ද ඉල්ලුවේ නැතිවුණාට මේ පැට්‍රික් මහත්තයාට ඡන්දේ දෙන්න’ ඇත්තෙන්ම විජය කියන්නේ කිසිම කුහක කමක් ඇති මිනිහෙක් නෙවෙයිනේ. ඒ ඉල්ලීම කරන්නේ මුළු හදවතින්ම තමයි. ඒවගේම ඒ ඡන්දේදී ස්වාධීනව ඉල්ලලාත් මම දිනුවා.   


1970 මුලින්ම සීදුව කටුනායක නගර සභාවක් බවට පත්වුණු වෙලාවේ පැවැත්වූ මැතිවරණයෙන්ද මම ජයගෙන සීදුව කටුනායක නගර සභාවේ සභාපති ධුරයට පත්වුණා. මේ දවස්වල විජය හිටියේ කොළඹ. නමුත් මගේ ජයග්‍රහණය සමරන්න මගෙ ගෙදරට ආවා. සවස මගේ නිවසේදී ඒ සතුට මධුවිත සමඟ සැමරූ ආකාරයත් එහිදී විජය මට දුන් අවවාදයක් මට කිසිදිනෙක අමතක වෙන්නේ නැහැ. විජේ එදා මට මෙහෙමයි කිව්වේ. 

 

‘මචං පැට්‍රික්, මම උඹට මේ මොහොතේ දෙන එකම අවවාදය තමයි, උඹ පගාවක් නම් ගන්න එපා. මචං උඹ හිතන් ඉන්න පුළුවන් ඒක රහස් ගනුදෙනුවක් කියලා නමුත් පගාව දීපු එකා අනිවාර්යෙන්ම උගේ ගෑනිට කියනවා. ඒ ගෑනි ඒ ගෑනිගේ නංගිට කියනවා. චෙයාමන් මහත්තයා මේ වගේ දෙයක් සල්ලිවලට කරලා දුන්නා කියලා. එතකොට උඹත් ඉවරයි. උඹේ චෙයාමන් කමත් ඉවරයි’ මට අද වගේ ඒ කියූ සියල්ල මතකයේ තිබෙන බව අවසන් වශයෙන් හිටපු නගර සභාපති පැට්‍රික් පලිහවඩන මහතා ප්‍රකාශ කළේය.   


හිටපු විදුහල්පතිවරයෙකු වන ඩබ්.ඩී. ස්ටීවන් මහතා සීදුව ගම ගැන අදහස් දැක්වූයේ මෙසේය. 

 
ඒ කාලේ සීදුවේ හිටපු ජනගහනය මෙන්ම තිබූ ගෙවල් ගණනද ඉතා සුළු ප්‍රමාණයක්. එයින් ස්වල්පයක් ගඩොලින් බැඳ සිංහල උළු සෙවිලි කළ ඒවා තමයි. සමහරක් වරිච්චි බැඳ මැටි තබා පොල් අතු සෙවිලි කළ ඒවා වුණා. වැඩිපුරම ගමේ තිබුණේ පොල් අතු ගෙවල් තමයි. ඉතින් මේ ගෙවල්වල වහලේ පොල් අතු දිරලා වැස්සට තෙමෙන්න ගත්තම ගෙදර ගෘහමූලිකයා දිරලා තියෙන පොල් අතු වහලෙන් ඉවත් කරලා වහල උඩ ඉඳගෙන මුළු ගමටම ඇහෙන්න හූ දෙක තුනක් කියනවා. එතකොට ගමේ කවුරුත් දුවගෙන ඇවිත් වහලේ පොල් අතු බඳින්න උදව්වෙනවා.  


මේ පොල් අතු බැඳිල්ලේදී විජය කුමාරතුංග, මම, පැට්‍රික්, දයානන්ද ඇතුළු අපේ මිතුරු සමාජයේ දායකත්වය උපරිම අයුරින් ඒ කටයුත්තට ලබා දෙනවා. වහලේ පොල් අතු සෙවිලි කිරීම නොදැන කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. විජය මේ වැඩවලට හරිම රුසියා. පොල් අතු සෙවිලි කළා වගේම හරියට වහලේ ගැටය හොඳට ගැහුවේ නැතිවුණොත් එතැනින් තෙමෙන්න ගන්නවා. නමුත් අපේ මිතුරන්ට මේ කටයුත්ත හොඳින් කරන්න පුළුවන් බව ස්ටීවන් මහතා පැවසුවේ සිය මිතුරා වූ විජය කුමාරතුංගයන්ද සිහිපත් කරමිනුයි.  


සීදුව ගමේ පුරාණය ගැන කතා කළ හිටපු විදුහල්පති දයානන්ද ආරියප්පෙරුම මහතා. 

 
දවිසමරේ තමයි ගමේ බොහෝදෙනෙක් මූලික අධ්‍යාපනය ලැබුවේ. මගේ වයසේ පාසලේ එකට පන්තියේ ඉගෙනගත් මිතුරන් අතර විජය කුමාරතුංග මගේ කුළුපගම මිතුරා වුණා. අපේ ඉස්කෝලේට ඉස්සරහා ගෙදර හිටියේ විජයගේ අයියා සිඩ්නි කුමාරතුංග. ඔහුගේ පුතෙක් තමයි ජීවන් කුමාරතුංග. විජයව ඒ කාලේ ඉස්කෝලේට එක්කගෙන ආවේ මේරි අක්කා කියලා කෙනෙක්. පස්වැනි පංතිය දක්වා විජය දවිසමරේ ඉගෙනගත්තා. ඒ කාලේ ‘ගස් සුද්දන්ගේ’ ක්‍රීඩාවට විජේ හිටියා විජේ ඒ ක්‍රීඩාවට කැමැතියි.   


එයා සරඹ කණ්ඩායමෙත් හිටියා.  


ඒ කාලේ විජයලාගේ ගෙදර තිබුණේ උතුරු සීදුවේ. විජයලාගේ ගෙදර අසල වෙළ අයිනේ කජු පුහුලන් පිරිලා තියෙනවා අපි ඉස්කෝලේ අැරිලා ඒ පැත්තේ රවුමක් ගහනවා. ඒ කාලේ අපි එල්ලේ ගහනවා. පාපන්දුත් සෙල්ලම් කරනවා. විලියම් බේකරියෙන් රෝස්පාන් අරගෙන අපේ ලොකු අම්මා රෝස ආච්චි කියලා කියන්නේ උන්දෑගෙන් හොදි ඉල්ලගෙන අපි කොල්ලෝ විනෝදයෙන් රෝස් පාන් කනවා.   


ඒ කාලේ විජයට රාත්‍රී 7 හෝ 8 වනතුරා ඔහුව අපේ මිතුරු සමාගමේ තියාගන්න ඕනැ නම් අනිවාර්යෙන්ම ගෙදරට අපි ඇරලවීම කරන්න ඕනැ. මොකද විජේලාගේ ගෙදරට යන්න ඕනැ මිනී පිට්ටනි දෙකක් පහුකරලා. මිනිහා තනියම යන්න බයයි අපි බයිසිකලෙන් ඇරලවලා ගෙදරට යනකම් බයිසිකලේ ඩයිනමෝව දාලා පස්සේ රෝදේ කරකවමින් විජයට යන්න පාර පෙන්වනවා.  


ගෙදරට ගිහින් විජේ ‘අම්මේ.... අම්මේ.....’ කියලා දොර ඇරගත්තට පස්සේ ‘හරි මචං හරි’ කියලා කෑගැහුවාම අපි යහළුවෝ නැවත එනවා.  


ඉස්සර විජේලා අපි මීගමු කළපුවට කෙසෙල් කොටන් කරගහගෙන උල්කරගත් ලීත් අරගෙන ගිහින් කෙසෙල් කොටන් තෙප්පම හදාගන්නවා. ඊට පස්සේ තෙප්පමේ නැගලා කළපුවේ සෙල්ලම් කරනවා. කළපුවේ මැද ලස්සන දූපතක් තියෙනවා. මේකටත් අපි යනවා. සර්පයෝ රිලවු කුරුලු වර්ග මේ දූපතේ ඉන්නවා. මේ සුන්දර ළමාවිය ඇත්තෙන්ම හරිම රසවත්. මුලින්ම විජේලා අපි දික්වෙළ ඇළේ පිහිනන්න පුරුදු වුණේ පුහුපොල් අරගෙන තමයි.   
විජයට මම හැරුණු කළ වෝල්ටර්, වින්සන්, කැලිස්ටර්, නෝබට්, ජෝශප් කියලා මිතුරෝ හිටියා. අපි එහෙම පිහිනීම කරලා ඊළඟට බය නැතුව දඬුගම් ඔයේ එගොඩ මෙගොඩ පීනන්න පුරුදු වුණා. ඊට පස්සේ ගඟ මැද්දෙන් පීනාගෙන ගඟට නැමිච්ච අඹ, කුරුම්බා ආදී පලතුරුවල රස බලමින් පහළට පිහිනාගෙන යනවා. මේ කණ්ඩායමටත් විජේ ඉන්නවා. රේල් පාලම ළඟට ගිහින් නැවතත් ඉහළට එනවා. මේ සුන්දර මතකය ගමත් එක්ක හරිම මිහිරියි.  
ඒ කාලේ වෙල් මාළු වලින් අඩුවක් නැහැ. ලූලා, මගුරා කාවයියා, පෙතියා කහ කොරළි, කරාඩි කියලා ඉස්සෝ වර්ගයක්ද හිටියා. ඒ අතර ආඳත් ඉන්නවා. වතුර වැඩි කාලෙට ​මෝදා කියන මිරිදියේ ඉන්න රසම මාළුවන් එළියට එනවා. දවසක් විජේගෙ බිළි කොක්කේ ඇමිණිලා හිටිය අන්කුට්ටෙක් ගලවන්න ගිහින් අන්කුට්ටා අතේ ඇනිලා වේදනාවෙන් කෑගැහුවා. වීකුරුල්ලෝ ඇල්ලීමත් ඒ කාලේ රසවත් සෙල්ලමක්.  

 

වී කුරුල්ලෝ අල්ලන්න ගමේ දක්ෂයෝ දෙන්නෙක් හිටියා. ඒ ගබිරියෙල් හා ස්ටීවන් තමයි. මේ වැඩේට හීලෑ වී කුරුල්ලෙක්ද ඕනැ. හීලෑ කුරුල්ලවත් තියලා ඒ සමග කොහොල්ලා ගුලි තුන හතරක් තැනින් තැන තියෙනවා. වී කුරුල්ලා විදිහට සිවුරම් බාන කොට (හඬ දෙනවිට) වී කුරුල්ලෝ ඇවිත් වහන්නේ අර කොහොල්ලා ගොඩවල තමයි. එතකොට පියාඹන්න බැරිවුණාම අල්ල ගන්නවා. විජේත් මාත් කරන්නෙ එහෙම රැවටිලා වී කුරුල්ලෝ එනකොට විසිල් ගහනවා. එතකොට පළාතකවත් නොඉඳ වී කුරුල්ලෝ පියඹලා යනවා. ඔය වගේ සුන්දර වැඩ තමයි අපි ඒ කාලේ කළේ යැයි ආරියප්පෙරුම මහතා අවසන් වශයෙන් ප්‍රකාශ කළේය.  


ඊළඟට හමුවූයේ සීදූවේම උපත ලද අමාත්‍යවරයකු හා ප්‍රවීණ සිනමා රංගධරයකු වන ජීවන් කුමාරතුංගයන් ය. ඔහු තමා උපන් ගම ගැන දන්නා අතීතය සිහිකළේ මේ අයුරින්ය.  


මම සීදුව හන්දිය ගැන දන්නා කාලේ රාත්‍රී ගම ඇතුළේ ඉන්න මිනිස්සු පාරට ආවේ පොල් අත්තෙන් හුළු අතු බැඳගෙන පත්තු කරගෙනයි. සීදුව හන්දියට ඇවිත් හුළුඅත්ත නිවා දානවා. මම පොඩි කාලේ මේ සිදුවීම් දැකලා තියෙනවා. විදුලිය තිබුණේ ප්‍රධාන පාරේ පමණයි. අතුරු පාරවල්වල විදුලිය තිබුණේ නැහැ. සීදුව හන්දිය මට මතක තියෙන්නේ පරණ කව්බෝයි ෆිල්ම් එකක දර්ශන වගේ තමයි  


ඇලප්පු මුදලාලිගේ තේ කඩේ දෙමළ කඩේ විලියම් බේකරියෙ සොල්දරයක් සමඟ තිබුණා මතකයි. ඇත්තටම අපිට ගෙදරයි හන්දියයි කියලා වෙනසක් තිබුණේ නැහැ. මුළු හන්දියේම එකතු වෙන්නෙත් අපේ ගෙදරට එන්නෙත් එකම පිරිසක්. එයාලා අපේ ගමේ ඥාති හිතෛෂී අය තමයි. අපි කුඩා කාලයේ ගමේ ඉංග්‍රීසි කියවන ඉංග්‍රීසි දන්න කීපදෙනෙක් විතරයි හිටියේ. මගේ පියා සිඩ්නි කුමාරතුංග හමුවෙලා ඉංග්‍රීසි පත්තරේ තිබෙන තොරතුරු දැනගන්න හත්අට දෙනෙක් බොහෝ දිනවල අපේ ගෙදරට එනවා.  


තාත්තා ඉදිරියේ වාඩිවෙලා ඒ අය ඉංග්‍රීසි පත්තරේ විස්තර දැනගන්නවා මට මතකයි. ඒ කාලේ ගමේ කාන්තාවෝ කීපදෙනෙක් හිටියා. මේ අය පොළොස් ලියන මාළු විකුණන එළවළු විකුණන කාන්තාවෝ තමයි.  


පොළොස් ලියන්නේ ඇලිස් සහ සිසී අක්කා, තෙරේසා මාළු විකුණනවා. මේරි අක්කා එළවළු පොළොස් විකුණනවා. ඒ කාලේ සීදුවේ ජනප්‍රිය සැලුන් එකක් තිබුණා. බාබර්ගේ නම සුචිත් කියලා.  


දැලි පිහිය ආදිය එතැන තියෙනවා. ඒ කාලේ කොල්ලෝ කොණ්ඩේ ක්‍රේල් කරනවා. කටු ගහනවා. ඔය වගේ දේවල් එතැනින් කර ගන්නවා. චාලි අයියා සපත්තුවක් මැහුවොත් මැහුවම තමයි. අපේ දරුවන්ටත් දාන්න පුළුවන්. ඒ කාලේ සමුපකාරේ තිබුණා බයිසිකල් වින්කලේ තිබුණා. පොඩි කියන අයියයි මේරි අක්කා තමයි වින්කලේ කළේ. බබා අන්කල්ගේ අරක්කු තැබෑරුම තිබුණා.  


සීදුව පල්ලිය ඊළඟට දවිසමර විදුහල තිබුණා. ගමේ පොල් අතු ගෙවල් මැටි ගෙවල් තිබුණා. ගමේ මැම්බර් මහත්තයා විලියොන් මැම්බර් මහත්තයා ඉන්නවා. ගමේ මිනිස්සු එක්ක දුක සැප බෙදාගෙන හිටපු විලියම් මහත්තයා හැමදාම මැම්බර් වෙනවා.  


ඒ කාලේ මම දන්න පමණින් ගමේ වාහන තිබුණේ අතළොස්සකට පමණයි. ඒ අතර මගේ පියාත් හිටියා. ම​ගේ පියාට බග්ෆියට් වර්ගයේ මෝටර් රථයක් තිබුණා. හන්දියේ හයරින් කාර් දෙකක් තිබුණා. එකක් ජෝසප්පුවාගේ අනෙක සුවාරිස් අයියාගේ.  


ඒ කාලේ ගම ඇතුළේ එදා එයාර් සිලෝන් එක වශයෙන් හැඳින්වූ කටුනායක ගුවන්තොටුපළේ විශාල වැටවල් තිබුණේ නැහැ. අපි රණවේ එක මැදින් මීගමුව කළපුවට නාන්නත් යනවා. රණවේ එකේ හරක් පවා ඉන්නවා. ප්ලේන් එකක් බානකොට හරක් එළවලා ප්ලේන් එක බානවා. අද වගේ නිතර ප්ලේන් එන්නේ නැහැ. අපි කළපුවෙන් නාලා එ් ළඟ වත්තකට ගිහින් කුරුම්බා ගෙඩියකුත් බීලා එනවා.  


ඒ වතුවල මිනිස්සු මොනවත් කියන්නේ නැහැ. ඒ තරම් සරල සමාජයක් තමයි, ඒ කාලේ ගමේ තිබුණේ. ගමේ කුඹුරු යායක් තිබුණා දඬුගම් ඔය අයිනේ තමයි මේ කුඹුරු තිබුණේ. එවැනි ගොවි ආර්ථිකයක් සීදුව ගමේ මම දන්න කාලෙත් තිබුණා. සමුපකාරයට රෙදි එනවා පෝලිමේ ඉඳලා තමයි රෙදි ගන්න ඕනැ.  


පල්ලියවත්තේ අපි සෙල්ලම් කරනවා. වොලිබෝල් ගහනවා. පොල්කොට පුවක්කොට තියලා නාට්‍ය පෙන්වනවා. මගේ සීයා වන බෙන්ජමින් රාළහාමි ගජරියස් විදානේ ආරච්චිත් ඒ කාලේ ගමේ නාට්‍යවල රඟපාලා තියෙනවා.  
අපේ ගමේ පල්ලියේ කොඩිගහ උස්සන දවසට පල්ලියේ මංගල්‍යයට බෞද්ධ අය උදව් කරනවා. වෙසක් පෝයට අපි ගමේ තරුණ පිරිස එකතුවෙලා දඬුගම් ඔයේ සිදුහත් කුමාරයාගේ අභිනිෂ්ක්‍රමණය ලස්සනට ලයිට්වලින් හා චිත්‍ර වලින් නිර්මාණය කළා. කන්ථක අශ්වයා නේරංජනා ගඟෙන් පනිනවා. ලයිට් වලින් පෙන්නුවා. දඬුගම් ඔයට තමයි පනින්නේ හරිම ලස්සනයි. ඒවගේම පොසොන් එකට දඬුගම් ඔයේ මිහින්තලාව හදනවා.  


මේ විදිහට ගමේ ආගමික සහජීවනය කියන දේ ඒ කාලෙත් සීදුව ග​මේ තිබුණා. ඒ කාලේ ගමේ ජීවත්වූ අපේ දින චර්යාවේ එක අංගයක් තමයි දඬුගම් ඔයේ එගොඩ මෙගොඩ පීනලා නාන එක. දහවල් 11, 12 වෙනකොට මේ වැඩේට බහිනවා.  


හන්දියේ බේබි අක්කා සහ ආටි අයියා කියලා දෙන්නෙක් හිටියා. බේබි අක්කා රසට කැවුම් හදනවා. අපි කොලුකමට සමහර දවසට බේබි අක්කාගේ කැවුම් හොරෙන් පවා අරන් කනවා. ආටි අයියාගේ තබ්ලාව හා සර්පිනාව තියෙනවා. හැන්දෑවට කොල්ලෝ එකතුවෙලා මධුවිතත් භුක්ති විඳින ගමන් ආටි අයියා ඇතුළු ගමේ මිතුරන්ගේම සංගීතයට එක්වෙනවා.  


ගමේ මිතුරෝ ලස්සනට සිංදු කියනවා. ඒ කාලේ හරිම රසවත් වගේම හරිම සුන්දරයි. මට මතකයි හෙන්රි කල්දේරා ජනප්‍රිය නැති කාලේ අපි සමඟ මධුවිතෙන් සප්පායම් වෙලා එතැන සිංදු කියනවා. ඒ කාලේ අඳ ගොළු බිහිරි පාසලත් සීදුව ගමත් එක්ක හරිම සම්බන්ධයි.  


ගමේ පොළ තිබුණේ ඉරිද බ්‍රහස්පතින්දා තමයි. අපි ගමේ කොල්ලෝ එකතුවෙන තැනත් තමයි සීදුව පොළ. 

 
එදාට ගමේ තරුණියෝ මාල වළලු ගන්න පොළට එනවා. විශේෂයෙන් ගමේ තරුණයෝ ගමේ තරුණියන්ව හමුවෙන ස්ථානයක් තමයි ගමේ පොළ. එහෙම හමුවෙලා පුංචි අහිංසක සතුටක් ලබනවා.  


ඒ කාලේ යෞවනයේ හැටි ඔහෝම තමයි. සීදුවේ ‘සමරැස්’ ක්‍රීඩා සමාජය ඒ කාලේ හරි ප්‍රසිද්ධයි. එල්ලේ ක්‍රීඩාවට පිට පළාත්වලට ගිහින් අපේ විජය බාප්පලා සෙල්ලම් කරනවා. අපිත් ඒවා බලන්න. කොල්ලෝ විදිහට වාහනවලින් යනවා.  


සිරිදුව වොලිබෝල් ක්‍රීඩා සමාජයත් ඒ කාලේ තිබුණා. මල්ලවපොර ක්‍රීඩාවද ඒ කාලේ ගමේ තිබුණ තවත් ජනප්‍රිය ක්‍රීඩාවක් තමයි. මේ අයුරින් සුන්දර ළමා වියත් වගේම ආස්වාදජනක තරුණ අවදියත් සමඟ සීදුව ගමත් අපේ ජීවිතත් එකට බැඳී හිටියා. දුකේදී සැපේදී ගමේ මිනිස්සු සාමූහිකව ජීවත්වුණ ජීවන රටාවක් අපේ සීදුව ගමේ තිබුණ බව කියන්න පුළුවන් යැයි අවසන් වශයෙන් ජීවන් කුමාරතුංගයන් ප්‍රකාශ කළේය.  

 

 

 

 


සටහන හා ඡායාරූප  
මහින්ද ආරියවංශ  



අදහස් (0)

විජයගේ සෙවණ ලද සීදූව

ඔබේ අදහස් එවන්න

රසවිත

අනේ පොඩි නැන්දා මට හුඟක් දවස් කාමරේ ඇතුළෙ ඉන්න වෙයිද?
2022 මාර්තු මස 26 10919 0

හීන් නෝනා දියණිය දෙස බැලු‍වේ කරදර දෑසිනි. දුරකථනය හරහා ආවේ සුබ පණිවිඩයක් නොවන බැව් ඇගේ මුහුණ කියා පෑවේය. “කවුද කතා කෙරුවේ..?” හීන් නෝනා විමසුවාය. “අයිය


යෙලෝ බීට්ස් කියන්නේ කවුද ?
2022 මාර්තු මස 26 6210 0

මෙවර U Tube ලෝකය තුළින් ඉරිදා ලංකාදීපයෙන් කතාබහ කරන්න හිතුවේ සමාජ මාද්‍ය ඔස්සේ අතිශය ජනප්‍රිය Girls Voice Band එකක් පිළිබඳව. ඒ Yellow Beats කණ්ඩායම කුෂිනි ප්‍රවින්ද්‍යා, දි


පුරාණ රජ කාලේ වීදුරු හැදූ ‘පබුලුගම’
2022 මාර්තු මස 26 5928 0

ශ්‍රී ලංකාවේ පබලු භාවිතය පිළිබඳ පුරාණතම සාධක අයත් ​ෙවන්නේ ප්‍රාග් ඓතිහාසික යුගයටය. ක්‍රි.පූ. (900-600) අතර මුල් යුගයේදී ජනතාව පබලු භාවිතය සුලබව සිදුකොට ඇති


වෘන්දා වනයේ පෙම්මල් විසිරේ...
2022 මාර්තු මස 26 5248 0

හින්දු පුරාණයට අනුව විෂ්ණු දෙවි යනු ලොව සුරකින්නාය. ලෝකයේ තිර පැවැත්ම පිණිසත්, ධර්මය රැකීමටත්, අදමිටුවන් විනාශ කිරීමටත් වරින්වර විෂ්ණු ලොව පහළවන බව මහ


බිම් බෝම්බය පිපිරෙද්දී ගෙදරට පණිවිඩයක් දුන් ව්‍යාපාරිකයා
2022 මාර්තු මස 26 3238 0

මසින් ලෙයින් නිර්මිත මසැසට භෞතික ලෝකයේ බොහෝ සංසිද්ධි දැක ගත හැකි වුවත් ඉන් එහා ඇති අවිඥාණික දේ පෙනෙන්නේ නැත. භූගත පෘෂ්ඨ වංශික ඇතැම් සතුන් හැරුණු විට සෙ


නූතන ශාසන ප්‍රබෝධයේ ශාස්ත්‍රවන්තයා සිටිනාමළුවේ මහ තෙරිඳු
2022 මාර්තු මස 26 1707 0

සිත්තම්ගල ගල් ලෙන බලන්නට මී ආතා “බරින්දු” එක්ක ගෙන ගියේ ගැල් කරත්තයෙන්ය. “අපේ ‍රැහේ උන් තමයි දරුවෝ මෙතන නැණපිල පටන් ගෙන සාහිත රස බෙදුවේ.” එදා මී ආතා කී ක


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 317 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1704 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1547 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site