තමන් ඉදිරියේ වූ පරිගණක තිරය මත දිස්වන එම කඩවසම් තරුණ රුව දෙස බැලු මහාචාර්ය සු බ්ලැක්ට සිහි එළවා ගැනීම මඳක් අසීරු විය. රැළි ගැසුණු දිගු හිස කෙසින්ද, දුටුවන් ආකර්ශණය කර ගැනීමේ දීප්තිමත් නෙත් සඟලින්ද යුතු, තුරුණු බවේ පිරිපුන් බව වෑහෙන එම හැඩකාර තරුණයා මෙතරම් කුරිරු ලෙසත්, ම්ලේච්ඡ ලෙසත් ඝාතනයට ලක්වීමට තරම් ඔහු කළ වරද කුමක්ද? නොදියුණු ප්රාථමිකත්වයේ ලකුණකුදු එම කුලුණුබර සොඳුරු රුවෙහි සටහන්ව නොතිබිම ඇගේ විශ්මයට හේතුවිය. ඔහුගේ බැල්ම විනිවිදින සුලු විය. කොටින්ම මේ තමා දකින්නේ මිට වසර එක්දහස් හාරසියයකට පෙර ස්කොට්ලන්තයේ විසු ගෝත්‍රික තරුණයෙකු බව විශ්වාසයට ගැනීමට ස්කොට්ලන්තයේ ඇබර්ඩීන් විශ්ව විද්‍යාලයේ අධිකරණවිද්යා මානව විද්‍යාඥයෙකු වන මහාචාර්ය සූ බ්ලැක්ගේ සිත ඉඩ දුන්නේම නැත. අද ජීවත්ව සිටියා නම් රුවෙන් නූතන මානවයින් අභිබවා යෑමේ හැකියාවකින් මෙම ආදිවාසි ‘පික්ටිෂ්‘ ගෝත්‍රික තරුණා පරිපූර්ණ බව, ඔහුගේ ෆොසිලමය අස්ථි ඇසුරින් පරිගණක ඩිජිටල් තාක්ෂණයේ ආධාරයෙන් නිර්මාණය කෙරුණු ත්‍රිමාණ ප්‍රතිනිර්මාණය කියා පෑවේය. මහාචාර්ය බ්ලැක්ව පුදුමයට පත්කළ අනෙක් කාරණය වුයේ මෙතරම් කාලයක් මෙම අස්ථි සැකිල්ල ස්වභාවික ලෙස සංරක්ෂණයට ලක්ව තිබුණු ආකාරයයි.
ස්කොට්ලන්තයේ ‘බ්ලැක් අයිල්‘ වෙරළ තීරයේ පිහිටි ස්වභාවික ගල්ලෙන්වල පුරාවිද්‍යාත්මක වැදගත්කම පිළිබඳ හදාරමින් ඒවායේ කැණීම් කටයුතුවල නියැලෙන ස්වෙච්ඡා කණ්ඩායමක් වන ‘රෝස්මාර්කි ලෙන් ව්‍යාපාතියේ‘ සාමාජිකයින්ට මෙම සැකිල්ල හමුවුයේ අනපේක්ෂිත ලෙසයි. මෙම ලෙන්වල ජනාවාස පැවති අවධිය හෙළිකර ගැනීමේ අරමුණින් ඒවායේ කැණීම් කටයුතු කළ පිරිසට ස්කොට්ලන්තයේ ‘පික්ටිෂ්‘ අවධිය ලෙස හැඳින්වෙන ක්‍රි.ව 270 - 900ත් අතර කාලයේදි මෙම ලෙන ලෝකුරු කර්මාන්තය සඳහා වෙසෙසින් යොදාගෙන ඇති බව සනාථ කෙරෙන සාක්ෂි රැසක් සොයා ගැනිමට ලැබිණි. ලෝකුරු කර්මාන්තයට යොදා ගන්නා විශේෂිත ගිනිඋදුන් මෙන්ම යකඩ නිෂ්පාදනවල සුන්බුන්ද බහුලවු මෙම ලෙනට වෙනස්ම ආකාරයේ අර්ථකතනයක් ලැබුණේ පික්ටිෂ් ගෝත්‍රික ඇටසැකිල්ල හමුවීමත් සමඟයි.
පුරාවිද්‍යාත්මක කැණීම් සම්බන්ධයෙන් වසර ගණනාවක අත්දැකීම්වලින් සන්නද්ධ ‘රෝස්මාර්කි‘ ව්‍යාපෘති නායක ‘ස්ටීවන් බර්ච්‘ පවසන ආකාරයට මෙම හමුවිම සුවිශේෂි වන්නේත්, විස්මිත වන්නේත් එය මිනිස් අවශේෂ තිබේයැයි බලාපොරොත්තු නුවු ස්ථානයකින් හමුවිමත්, එම සැකිල්ලේ හිමිකරු බිහිසුණු ලෙස ඝාතනයට ලක්වු බවත් කියාපාන ලකුණුවලින් එම ඇටසැකිල්ල ගහණ වු නිසාත් පමණක්ම නොව එය ලෙන තුළ තැන්පත්කොට තිබු සුවිශේෂි ආකාරයත් නිසාය. ස්ටීවන් පවසන ආකාරයට මෙම ආදි පික්ටිෂ් ගෝත්රිකයාව සිතාමතාම ම්ලේච්ඡ ලෙසත්, කෘර ලෙසත් පහරදී මරා දැමුණද, ඔහුගේ සිරුර ලෙන තුළවු අඳුරු කුහරයක මහත් සැලකිල්ලෙන් යුක්තව තැන්පත් කොට තිබුණේ සිරුරේ දෙපා කතිරයක් මෙන් පිහිටුවා ඒ මත ඊට ඔබ්බෙහිවු වෙරළෙන් සොයාගත් බරැති ගල් පිළිවෙලකට ඇතිරීමෙන් පසුය. මේ නිසා මෙම ඝාතනය ගැටුමක ප්රතිඵලයකටත් වඩා කිසියම් පුරාණ චාරිත්රවිධියකට අයත් ජීවිත පුජාවක ප්‍රතිඵලයක් විමේ වැඩි සම්භාවිතාවක් පවතින බව ස්ටීවන්ගේ මෙන්ම මහාචාර්ය බ්ලැක්ගේද විශ්වාසයයි.
ස්ටිවන් බර්ච් ප්රමුඛ ඔහුගේ කැණීම් කණ්ඩායම විසින් මතුකරගත් පික්ටිෂ් ගෝත්‍රිකයාගේ මනාව සංරක්ෂණයවු ඇටසැකිල්ල ඇබර්ඩීන් විශ්වවිද්‍යාලයේ මහාචාර්ය සූ බ්ලැක් වෙත යැවෙන්නේ මෙම ආදිවාසියාගේ වැළලිගිය අතීතය හෙළිකර ගැනීමටයි. කාබන් දිනයුම් ( carbon dating )පරික්ෂාවට ලක්කිරිමෙන් මෙම පික්ටිෂ් ගෝත්‍රිකයා ක්‍රි. ව. 430- 630ත් අතර කාලයේදි මියගිය බව අනාවරණය කරගත් මහාචාර්ය බ්ලැක් ඇතුලු ඇගේ අධිකරණ විද්‍යා මානවවිද්‍යාඥ කණ්ඩායම මිළඟට උත්සහ ගත්තේ ඔහු මියගිය ආකාරය පිළිබඳ විස්තරාත්මක අර්ථකතනයක් ලබාදීමටයි. කැඩීබිඳ ගිය හිස්කබලේ ස්වරූපය අනුව මෙය කිසිසේත්ම ස්වාභාවික මරණයක් විය නොහැකිබව තේරුම් ගැනීමට මහාචාර්ය බ්ලැක්ට අසීරු වුයේ නැත. අමු අමුවේ සිදුවු ඝාතනයක ම්ලේච්ඡත්වයේ ලකුණු වසර එක්දහස්හාරසියයකට පසුව වුවද එම ඇට සැකිල්ලෙන් මකා දැමීමට සොබාදහම පවා අසමත් වු හැඩය. ඒ අනුව වැළලීගිය කුරිරු ඝාතනයක නිහඬ සාක්ෂිවලින් වසර එක්දහස් හාරසියයකට පසුව හෙළිවුයේ ගත කිළිපොලන කතාවකි.
මධ්‍යාකාලීන යුගය කියාත් පශ්චාත් අයස් සමය කියාත් හැඳින්වෙන ක්‍රි. ව 270 – 900 ත් අතර කාලයේදි ස්කොට්ලන්තයේ උතුරු හා නැඟෙනහිර පෙදෙස්වල බලය අත්පත් කරගෙන සිටියේ පික්ටිෂ් ගෝත්‍රිකයන් විසිනුයි. ලේ වැගීරීම්වලටත් ම්ලේච්ඡ ලෙස සිදුකළ මිනිස් ඝාතනවලටත් නමගිය පිකිටිෂ් ගෝත්රිකයින්ගේ ජිවිත අරමුණ වුයේ එකම එක් දෙයකි. ඒ තම පරම සතුරන් ලෙස සැලකුණු බ්‍රිතාන්‍ය ජාතිකයින් හා රෝමානුවන් තම නතුබිම්වලින් පලවා හැර තම ආධිපත්‍යය වඩාත් පුළුල් ප්‍රදේශයක් පුරා ව්‍යාප්ත කර ගැනීමයි.
මුලුමනින්ම නිරුවත්ව සිටි පික්ටිෂ්වරුන්ට රෝමානුවන් විසින් එනම ලබාදී තිබුණේ ‘පාට කළ සිරුරු ඇත්තවුන්‘ යන අර්ථය ඇතිවයි. ඒ ඔවුන්ගේ ම්ලේච්ඡත්වයට නොදෙවනි ලෙස ඔවුන්ගේ සිරුරු ඒවායේ සැඟවුණු කෘරත්වය කියාපාන අයුරින් රතු නිල් වැනි දීප්තිමත් තද පැහැ වර්ණයන්ගෙන් වර්ණ ගන්වා තිබීම නිසයි. ස්වභාවයෙන්ම ලේ වැගිරීම්වලට ප්‍රියකළ පික්ටිෂ්වරුන්ට තම සතුරන් මරා දැමීම කජු කනවාටත් වඩා ලෙහෙසි විය. මුලුමනින්ම නිරුවත්ව සටන් කළ පික්ටිෂ්වරුන්ට ස්කොට්ලන්තයට ස්වභාවයෙන්ම ආවේණික වු ශීතල දේශගුණය වුවද බාධාවක්වුයේ නැත. අප කතා නායකයාත් එකල තම සගයන් සමඟ එකතුව රෝමානුවන්ට එරෙහිව හරි හරියට සටන් කරන්නට ඇත. එම මධ්‍යකාලින යුගයේදි කඩු හරඹයෙන් නම ගිය රෝමානුවන්ට පවා පික්ටිෂ්වරුන්ගේ බිහිසුණු සටන් හමුවේ පසුබැසීමට සිදුවු වාර අනන්තය. කොටින්ම ස්කොට්ලන්තයේ ‘ෆෝර්ත් හි ෆර්ත්‘ ප්‍රදේශයම මධ්‍යකාලීන යුගය පුරාවටම තම අණසක යටතේ තබා ගැනීමට පික්ටිෂ්වරු සමත්වුයේ ඔවුන්ගේ රණශුරත්වයත්, කිසිවෙකුට නොදෙවෙනිවු බිහිසුණු සටන් ක්‍රම නිසාත් බවට විවාදයක් නැත.ක්‍රි.ව. 900දී පමණ අනාගතයට අබිරහසක් ඉතිරි කරමින් ඉතිහාස මතක පොතේ සලකුණකුදු ඉතිරි නොකරම අතුරුදන් වන තුරුම ස්කොට්ලන්තයේ පික්ටිෂ්වරුන්ට අභියෝග කිරිමට සමත් බලකායක් මිහිපිට සිටියේ නැත.
රණශුරත්වය අතින් එවන් කීර්තිමත් ගෝත්‍රයකට උපත ලැබුවත් අප කතානායකයාට අත්වුයේ අවාසනාවන්ත ඉරණමකි. දන්නා තරමින් තම සමකාලීන ගෝත්‍රික ප්‍රජාව අතර ඔහුට සතුරන් සිටියේද නැත. කොටින්ම තමාව එලෙස ඝාතනයට ලක්වන තුරුම තමාට එවැන්නක් කිරිමට තරම් සතුරෙකු සිටිය හැකි බවක් ඔහු විශ්වාස කළේ නැත. නමුත් එය එසේ සිදුවිය යුතු බව ඔහුගේ දෛවයේ ලියැවී තිබෙන්නට ඇත. සතුරු ප්‍රහාරයට ඔහු ගොදුරුවුයේ එවැන්කට සුදානම්ව නොසිටි නොසිතු මොහොතකයි. වක්රාකාර මොට අවියකින් එල්ලවු පළමු පහරින් ඔහුගේ දකුණුපස වු දත්කැඩී ගියේය. ශක්තිවන්තයෙකුවු ඔහු ඉන් හටගත් වේදනාව මැඬ ගනිමින් ප්‍රහාරය එල්ල කළ තැනැත්තා පිළිබඳ විපරම් කිරිමට සිතද්දීම අසුරු සැණකින් වම් පසටද එල්ලවු ප්‍රබල පහරකින් ඔහුගේ හනුවේ වම්පස මුලුමනින්ම සුනුවිසුණුව ගියේය. තවදුරටත් ඔහුට සෘජුව සිටිමට හැකිවුයේ නැත. දරාගත නොහැකි වේදනාවෙන් දෙනෙත් නිලංකාර වි ඔහු කෙතරම් වේගයෙන් ගල් සහිත පොළවට පතිත වුවාද යත්, ඔහුගේ හිසේ පිටුපස එහි බලපෑමෙන් පොඩිපට්ටම් විය. පියවි සිහිය පළාගිය ඔහුට තවදුරටත් වේදනාවක් දැණුනේ නැතිවා විය හැක. නමුත් තම ප්‍රතිවාදියා එලෙස බිම දැමීමෙන් සෑහිමට පත් නොවු සතුරු පිරිසට ඔහු ස්ථිර ලෙසම මියගිය බව සැකයකින් තොරව තහවුරු කරගැනීම අවශ්‍යවිය. පණ ගැහෙමින් තිබු සිරුරේ හිස්කබල පසාරු කරමින් තෙවන වරටත් එක් පසෙකින් ඇතුලුවු එම මොට අවිය අනෙක් පසින් මතුවත්දි අප කතානායකයා මරුතුරුලට ගොස් අවසන්ය. නමුත් කුමන හෝ හේතුවකට සතුරු පිරිස මළ සිරුරේ හිස්කබල මුදුනද සිදුරු කරන්නට පෙළඹි තිබේ. ඒ සඳහා භාවිතා කර ඇත්තේද වෙනත් අවියක් බව කියන මහාචාර්ය බ්ලැක්ට, මෙම සිව්වන පහර කුමන අරමුණකින් එල්ල වුවාද යන්නට ඇත්තේ ගැටලුවකි.
අස්ථි පරික්ෂාවට ලක් කිරිමෙන් මෙම පික්ටිෂ් ආදිවාසියාගේ මරණය සිදුවු ආකාරය පිළිබඳව මිස ඔහුගේ ජීවිතය පිළිබඳව තොරතුරක් ලබා ගැනීමට නොහැකිවු කළ මහාචාර්ය බ්ලැක් ඇතුලු ඇගේ කණ්ඩායමේ මීළඟ ප්රයත්නය වුයේ බිඳීගිය අස්ථි ඇසුරෙන් ඔහුගේ රුව නිර්මාණය කිරිමයි. එය නවීන ඩිජිටල් පරිගණක තාක්ෂණයත්, මානව විද්‍යාත්මක පර්යේෂණයන්ගෙන් එළැඹි නිගමනත්, ඓතිහාසික මුලාශ්‍රත් යන සියල්ල එකට කැටිකර ගත් සංකීර්ණ එමෙන්ම කුතුහලය දනවන ක්‍රියාවලියක් විය.
කැඩිබිඳි ගිය හිසකබලේ අස්ථි කොටස් සියල්ල ත්‍රිමාණ පරිලෝකන තාක්ෂණය ආධාරයෙන් (Scanning) පරිගණකගත කළ විද්‍යඥයින් වසර එක්දහස්හාරසියයකට පෙර මෙම මහපොලව මත සැරිසුරූ ආදිවාසියාගේ රුව නිර්මාණය කිරිම ඇරඹූහ. ඒ සඳහා ඔවුන් යොදාගත්තේ එවැනි ත්‍රිමාණ රූප නිර්මාණය සඳහාම සකසා ඇති විශේෂිත පරිගණක මෘදුකාංග වැඩසටහනකි. එබදු වයසක සිටින්නෙකුගේ මෘදුපටකවල ඝණකම හා සසඳමින් අස්ථි හා සම අතර නියමිත ස්ථානවල මාංශපේශි හා පටක ස්ථානගත කිරිමට මෙම වැඩසටහනට ඇත්තේ පුදුමාකාර හැකියාවකි. ඉන් අනතුරුව එය කෘතිම සමකින් ආවරණය කෙරුණු අතර මෙමඟින් මියගිය තැනැත්තාගේ මුහුණේ අංග ලක්ෂණ හා සැසඳෙන ත්‍රිමාණ ඩිජිටල් රුවක් මහාචාර්ය බ්ලැක්ගේ කණ්ඩායමට ලැබිණි. ඉන් අනතුරුව ඔවුන්ගේ පිහිටට ආවේ ඓතිහාසික මුලාශ්රවලින් පික්ටිෂ් ගෝත්‍රිකයින් පිළිබඳව අනාවරණයවු කරුණුය. වයිකිංවරුන්ගේ මෙන් දිගු එහෙත් රත්පැහැති කෙස්වැටියක් හා දිගු රැවුලක් අප කතා නායකයාට ලැබුණේ ඓතිහාසික දත්ත නුතන විද්‍යාව හා සමායෝජනය කිරිමේ ප්‍රතිඵලයක් ලෙසයි.
ආදිවාසි ගෝත්‍රිකයෙකු ලෙස ම්ලේච්ඡ අයුරින් ඝාතනයට ලක්වුවත් මෙම කඩවසම් තරුණයාගේ මතකය පසට යටවි වැළලී යන්නට සොබාදහම් මාතාව ඉඩ දුන්නේ නැත. පෙනුමින් මෙතරම් ප්‍රසන්න පුද්ගලයෙකු පරිණත වියට එළැඹෙන්නටත් පෙර කුරිරු ලෙස ඝාතනය කොට සිරුර සුරක්ෂිත ලෙස ලෙනක තැන්පත් කළේ කුමන අරමුණකින්ද ? එය පලිගැනිමේ චේතනාවෙන් සිදුකරන ලද්දක්ද නැතහොත් කිසියම් ජීවිත යාගයක ප්‍රතිඵලයක්ද ? මේ වර්තමානය හමුවේ මෙම ආදිවාසියා ඉතිරි කර ඇති පිළිතුරු රහිත පැනයන්ය.
රුක්ලන්ති පෙරේරා
හීන් නෝනා දියණිය දෙස බැලුවේ කරදර දෑසිනි. දුරකථනය හරහා ආවේ සුබ පණිවිඩයක් නොවන බැව් ඇගේ මුහුණ කියා පෑවේය. “කවුද කතා කෙරුවේ..?” හීන් නෝනා විමසුවාය. “අයිය
මෙවර U Tube ලෝකය තුළින් ඉරිදා ලංකාදීපයෙන් කතාබහ කරන්න හිතුවේ සමාජ මාද්‍ය ඔස්සේ අතිශය ජනප්‍රිය Girls Voice Band එකක් පිළිබඳව. ඒ Yellow Beats කණ්ඩායම කුෂිනි ප්‍රවින්ද්‍යා, දි
ශ්‍රී ලංකාවේ පබලු භාවිතය පිළිබඳ පුරාණතම සාධක අයත් ෙවන්නේ ප්රාග් ඓතිහාසික යුගයටය. ක්‍රි.පූ. (900-600) අතර මුල් යුගයේදී ජනතාව පබලු භාවිතය සුලබව සිදුකොට ඇති
හින්දු පුරාණයට අනුව විෂ්ණු දෙවි යනු ලොව සුරකින්නාය. ලෝකයේ තිර පැවැත්ම පිණිසත්, ධර්මය රැකීමටත්, අදමිටුවන් විනාශ කිරීමටත් වරින්වර විෂ්ණු ලොව පහළවන බව මහ
මසින් ලෙයින් නිර්මිත මසැසට භෞතික ලෝකයේ බොහෝ සංසිද්ධි දැක ගත හැකි වුවත් ඉන් එහා ඇති අවිඥාණික දේ පෙනෙන්නේ නැත. භූගත පෘෂ්ඨ වංශික ඇතැම් සතුන් හැරුණු විට සෙ
සිත්තම්ගල ගල් ලෙන බලන්නට මී ආතා “බරින්දු” එක්ක ගෙන ගියේ ගැල් කරත්තයෙන්ය. “අපේ රැහේ උන් තමයි දරුවෝ මෙතන නැණපිල පටන් ගෙන සාහිත රස බෙදුවේ.” එදා මී ආතා කී ක
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
වසර 1400 ක් පරණ ඇටසැකිල්ල කියන ‘රහස’