IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


පියාඹන පීරිසි ගැන අලුත් හෙළිදරව්වක්

පෙනෙන විධියට නම්, ඇමෙරිකාව රහස් රැසක් සඟවාගෙන සිටින රටකි. ඉකුත්දා ඇමෙරිකා හමුදාවේ හිටපු මෙරීන් සොල්දාදුවෙක් තවත් එවැනි රහසක් ලොවට හෙළි කළේය. ඒ, හඳුනා නොගත් ආකාශ වස්තූන්, පිටසක්වළ යානා එසේත් නැතිනම් පියාඹන පීරිසි ඇමෙරිකාවේ පාලනය යටතේ ඇති ‘ග්වන්තනාමෝ බේ’ සිරකඳවුර සම්බන්ධයෙනි. 
‘ග්වන්තනාමෝ බේ’ යනු කියුබාවේ ග්වන්තනාමෝ බොක්කේ පිහිටුවා ඇති සිරකඳවුරකි. ඇමෙරිකාවට තර්ජනයක් වන ත‍්‍රස්තවාදී සැකකරුවන් රඳවා තැබෙන්නේ මෙම බන්ධනාගාරයේය. එම රැඳවියන් අමානුෂික ආකාරයට වධ බන්ධනයන්ට ලක් කෙරෙන අතර, මෙම සිරකඳවුර මිහිපිට අපායකි. ඇමෙරිකානු හමුදාවේ විශ‍්‍රාමික මෙරීන් සොල්දාදුවා අනාවරණය කර ඇත්තේ, මෙම සිර කඳවුර අසල මුහුද යට පියාඹන පීරිසි රඳවා ඇති රහස් ගුවන් කඳවුරක් ඇති බවටය. 

ගතවුණු පනස් වසර තිස්සේ මෙම රහස් කඳවුර පැවැති බවත්, එය ඇමෙරිකාවේ පිටසක්වළ රහස් සඟවා ඇති ‘ඒරියා 51’ කලාපය සේම ලොවට රහසක් බවත් නම හෙළි නොකරන එම සොල්දාදුවා වැඩිදුරටත් කියා සිටී. 


සොල්දාදුවා මෙම තොරතුරු ලබාදී ඇත්තේ ‘ඉන්ක්විස්ටර්’ සඟරාව සමඟ සම්මුඛ සාකච්ඡාවක් ලබාදෙමිණි. මෙම සොල්දාදුවා ‘ග්වන්තනාමෝ බේ’ සිර කඳවුර අසල ඇමෙරිකන් හමුදා කඳවුරේ සේවයේ යෙදී ඇත. ඒ, 1968 සහ 69 කාලයේය. මෙම කාලයේ ඔහුගේ සගයන්ටත් පිටසක්වළ යානා (හඳුනා නොගත් ආකාශ වස්තූන්) රැසක් මුහුදෙන් මතුවනු සහ යළි මුහුදු පතුළට යනු දකින්න ලැබී ඇතැයි ද පැවැසෙයි. 

 

 

මෙම විස්තර රහසක් ලෙස තබා ගන්නැයි තමාගේ ප‍්‍රධානීන් තමන්ට දන්වා තිබුණු බවද නම සඳහන් කිරීමට අකමැති එම සොල්දාදුවා වැඩිදුරටත් පවසා ඇත. ‘අපි හැමෝම ඒවා දැකලා පුදුම වුණා. ඒවායේ ආලෝකයෙන් රාත්‍රී අහස වර්ණ ගැන්වෙනවා එදා අපට දකින්න ලැබුණා’ යැයි සොල්දාදුවා කියා සිටී. එයින් එක් ආකාශ වස්තුවක් අඩි 100 ක් විශාල බවත්, එහි රතු පැහැති බල්බවලින් අලංකාර වී තිබුණු බවත් සොල්දාදුවා විස්තර කර ඇත. 


පියාඹන පිරීසි, පිටසක්වළ ජීවීන් පෘථිවියට පැමිණෙන බව අතීතයේ පටන් නොයෙක් නොයෙක් අවස්ථාවලදී අසන්න ලැබිණි. තවමත් එවැනි සිදුවීම් ගැන අපට අසන්න ලැබේ. පුරාණ මිනිස් ශිෂ්ටාචාර බිහිවූයේත්, මිනිසා කෙමෙන් කෙමෙන් තාක්ෂණික දියුණුවක් ලැබුවේත් පිටසක්වළින් පැමිණි දියුණු බුද්ධිමත් ජීවින්ගේ මඟ පෙන්වීමෙන් යැයි ඇතැම්හු පවසති. ඇතැම් විද්‍යාඥයන් ද පවසන්නේ විශ්වයේ ඈත කොහේ හෝ මන්දාකිණියක අපට වඩා බුද්ධිමත් ජීවීන් සිටිය හැකි බවය. අප සඳට ගියා මෙන්, එම පිටසක්වළයන් ඔවුන්ගේ ලෝකයේ සිට අප පෘථිවියට පැමිණෙනු ඇතැයි ඔවුහු පෙන්වා දෙති. 


ඉකුත් වසරේ ඇමෙරිකන් රජය, එරට ගුවන් හමුදාව විසින් එක් රැස් කරගත් රහස් වාර්තා, ඡායාරූප සහ වීඩියෝ 12,000 ක් ප‍්‍රසිද්ධියට පත් කළේය. ඒ, අන්තර් ජාලය ඔස්සේ ය. 1947 සිට 1969 තෙක් කාලයේ දකින්න ලැබුණු ‘හඳුනා නොගත් ආකාශ වස්තු’ ගැන විස්තර මෙම රහස් වාර්තාවලට ඇතුළත් වෙයි. හඳුනා නොගත් ආකාශ වස්තු, පියාඹන පීරිසි සහ පිටසක්වළ ජීවීන් ගැන උනන්දුවක් දක්වන බොහෝ දෙනා මවිතයට පත් කිරීමට මෙම විස්තර සහ ඡායාරූප සමත් වී ඇතැයි ද පැවැසෙයි. 


අන්තර් ජාලයට එක් කෙරුණු මෙම විස්තර සහ ඡායාරූපවලින් බොහොමයක් ඇමෙරිකන් රජයේ සහ ගුවන් හමුදාවේ රහස් ඇතුළත් වන ‘බ්ලූ බුක්’ හෙවත් ‘නිල් පොත’ ට අයත් ඒවාය. අතීතයේ රහසක් වූ මේ විස්තර දැන් ඕනෑම කෙනකුට අන්තර් ජාලය හරහා නැරැඹිය හැකිය. 


හඳුනා නොගත් ආකාශ වස්තූන් සම්බන්ධයෙන් ඇමෙරිකන් රජය සහ එරට ගුවන් හමුදාව උනන්දුවක් දැක්වීමට පටන් ගෙන ඇත්තේ 1945 වසරේදීය. 1947 දී සහ 1949 දී හඳුනා නොගත් ආකාශ වස්තූන් ගැන සොයා බැලීම සම්බන්ධයෙන් ව්‍යාපෘති දෙකක් ක්‍රියාවට නැංවිණි. ඒ, ‘සයින්’ සහ ‘ග‍්‍රජ්’ නමැති ව්‍යාපෘතිය. මේ ව්‍යාපෘති අවසන් වීමෙන් පසු ‘බ්ලූ බුක්’ ඇරැඹිණි ඒ, 1952 දීය. 


‘බ්ලූ බුක්’ ව්‍යාපෘතිය නිමාවට පත් කිරීමට අණ කෙරුණේ 1969 දීය. එය මුළුමනින්ම අවසන් වූයේ 1970 දීය. බ්ලූ බුක් ව්‍යාපෘතියේ ප‍්‍රධාන අරමුණු දෙකක් තිබුණි. ඉන් පළමු වැන්න නම්, හඳුනා නොගත් ආකාශ වස්තූන් ජාතික ආරක්ෂාවට තර්ජනයක් ද නැද්ද යන්න සෙවීමය. දෙවැනි අරමුණ, හඳුනා නොගත් ආකාශ වස්තූන් සම්බන්ධ දත්ත විද්‍යාත්මක විශ්ලේෂණය කිරීමය. ඒ අනුව, ඇමෙරිකාවේ නන්දෙසින් හඳුනා නොගත් ආකාශ වස්තූන් සම්බන්ධයෙන් විස්තර, ඡායාරූප සහ වීඩියෝ දසුන් දස දහස් ගණනක් එක් රැස් කෙරුණි. එයින් බොහොමයක් සාමාන්‍ය වැසියන් ඡායාරූප ගත කළ ඒවාය. ඇමෙරිකන් ගුවන් හමුදා නියමුවන් කිහිප දෙනකුට ද අවස්ථා ගණනකදී හඳුනා නොගත් ආකාශ වස්තූන් හමුවුණු බව වාර්තා වී ඇත. 


1968 දී, බ්ලූ බුක් ව්‍යාපෘතිය සම්බන්ධ රහස් මාධ්‍ය හරහා ප‍්‍රසිද්ධියට පත් විය. එදා එනම් 60 දශකයේ වඩාත් ප‍්‍රබල සන්නිවේදන මාධ්‍ය වූයේ රූපවාහිනිය, පුවත්පත් සහ ගුවන් විදුලියයි. අද මෙන් විශ්ව ගම්මානයකට අප යා කරන අන්තර් ජාලයක් නොතිබුණි. බ්ලූ බුක් ව්‍යාපෘතියේ රහස් අනාවරණය වූයේ ‘කොන්ඩොන්’ නමැති වාර්තාව ඔස්සේය. 1969 දී බ්ලූ බුක් තහනම් කිරීමට හේතු වූයේ එම හෙළිදරව්වය. 


ඒ අනුව, බ්ලූබුක් ව්‍යාපෘතිය තහනම් කරමින්, ඇමෙරිකන් ගුවන් හමුදාව මෙසේ නිගමනයන් ද ඉදිරිපත් කළේය. ගුවන් හමුදාව පරීක්ෂාවට ලක් කළ කිසිදු හඳුනා නොගත් ආකාශ වස්තුවක් රටේ ආරක්ෂාවට එසේත් නැතිනම් ජාතික ආරක්ෂාවට තර්ජනයක් නොවේ. හඳුනා නොගත් ආකාශ වස්තූන් යැයි කී බොහොමයක් නව තාක්ෂණයෙන් නිපදවූ ආකාශ යානා වන අතර, නූතන විද්‍යා පරයා ගිය දෙයක් නොවේ. හඳුනා නොගත් ආකාශ වස්තූන් පිටසක්වළින් පැමිණෙන යානා නොවේ. බ්ලූ බුක් ව්‍යාපෘතිය අවසන් වෙද්දී හඳුනා නොගත් ආකාශ වස්තූන් පිළිබඳ වාර්තා 12,618 ඊට ඇතුළත් විය. හඳුනා නොගත් ආකාශ වස්තූන් යැයි කී බොහෝ දේ අසාමාන්‍ය කාලගුණ විපර්යාස බව අනාවරණය විය. (උදාහරණයක් ලෙස සඳ තරු වැනි) 


බ්ලූ බුක් වාර්තා අතරට එක් වී ඇති ‘ලුබ්බොක් එළි’ සිද්ධිය ඉතා ප‍්‍රසිද්ධය. එය සිදුවූයේ 1951 වසරේ අගෝස්තු 30 වැනිදා ය. සිද්ධිය වාර්තා වන්නේ ටෙක්සාස් ජනපදයෙනි. සිද්ධිය දුටුවේ මහාචාර්යවරුන් තිදෙනෙකි. සැන්දෑවේ 7 ට පමණ එම මහාචාර්යවරු තිදෙනා යහළුවකුගේ නිවසේ ගෙවත්තේ අසුන් ගෙන සතුටු සාමීචියේ යෙදෙන්න වූහ. සීතල සුළඟකින් ඔවුන්ගේ සිරුරු කිළිපොළා යද්දී ඈත අහසේ විදුලි ආලෝක 20ක් හෝ 30 ක් දිස්විණි. එක් මහාචාර්යවරයකු පවසා ඇත්තේ, පීරිසියක් තරමට ලොකු එළි කිහිපයක් තමන්ට ඉහළින් පියඹා ගිය බවය. කොළ මිශ‍්‍ර නිල් පැහැයක් එම එළියේ දකින්න ලැබුණු බවත් එම නිල් පැහැය ඉතා දීප්තිමත් නිල් පැහැයක් බවත් මහාචාර්යවරයා පැවැසීය. 

 

‘ඒ වෙලාවේ හොඳට සඳ පායා තිබුණා. අපට දීප්තිමක් එළි 15 ක් පමණ පැහැදිලිව දකින්න ලැබුණා. ඒවා හරියටම වෘත්තාකාරයි. ඒවා අපට ඉහළින් ඇදී යද්දී මගේ කොඳු ඇට පෙළ සීතල වුණා’ යැයි ඔහු පවසා ඇත. මෙම එළි සම්බන්ධයෙන් ඇමෙරිකන් ගුවන් හමුදාව කළ පරීක්ෂණ සහ විමර්ෂණ අවසන් වූයේ අපූරු නිගමනයක් ද සමඟය. එනම්, එසේ දීප්තිමත්ව පෙනෙන්න ඇත්තේ ප්ලෝවර්ස් නමැති කුරුල්ලන් යැයි ගුවන් හමුදාව පවසා ඇත. එම අවස්ථාවේදී සඳ රැස් හොඳින් වැටී තිබුණු හෙයින් කුරුල්ලන්ගේ දීප්තිමත් නිල් සහ කොළ වර්ණ දකින්න ලැබෙන්න ඇතැයි ද ඇමෙරිකන් ගුවන් හමුදාව වැඩි දුරටත් කියා සිටියේය. 


බ්ලූ බුක් වාර්තා අතරට ‘වින්ටර් 1951’ යනුවෙන් නම් කළ ඡායාරූපයක් ද ඇතුළත්ය. එහි දිස්වන්නේ පියාඹන පීරිසියක් යැයි කියමින් ඡායාරූප ශිල්පියකු ලබා ගත් ඡායාරූපයකි. එම ඡායාරූපයට පැහැදිලි කිරීමක් එක් කරමින් විද්‍යාඥයන් පවසන්නේ එය අසාමාන්‍ය හැඩයෙන් යුත් වළාකුළක් කියාය. උෂ්ණත්වයේ වෙනස්වීම් සහ වායු පීඩනයේ වෙනස් වීම් හේතුවෙන් විවිධාකාරයේ හැඩයන්ගෙන් යුත් වළාකුළු නිර්මාණය වන බව විද්‍යාඥයන් පැහැදිලි කර ඇත. සැඩ සුළං පවතිද්දී මෙම වළාකුළු ගමන් ගනී. එවිට එය ආකාශ වස්තුවක් බව යැයි සිතෙන බව ද ඔවුහු පැහැදිලි කරති. 


බ්ලූ බුක් තහනම් කිරීමෙන් පසු, 1974 වසරේදී රොස්වෙල්හි සිදුවූ කිසියම් ආකාශ වස්තුවක් අනතුරට පත්වී කඩා වැටුණි. කඩා වැටුණේ පිටසක්වළ යානයක් එසේත් නැතිනම් පියාඹන පීරිසියක් යැයි පැවැසෙයි. එහෙත් ඒ බව මෙතෙක් තහවුරු වී නැත. බ්ලූ බුක් ව්‍යාපෘතියට සම්බන්ධ සහ ඊට පසු සිදුවුණු රහස් තොරතුරු එක් කර ගැනීම් පවා අපට වාර්තා වී ඇත. මීට වසර කිහිපයකට පෙර, ජුලියන් ඇසෙන්ජ් පරිගණකකරුගේ ‘විකිලීක්ස්’ වෙබ් අඩවිය හරහා ඇමෙරිකාවේ රාජ්‍ය රහස් ලොවට හෙළි විය. ඇමෙරිකාවේ එම රහස් අතර පිටසක්වළ ජීවීන් සහ පියාඹන පීරිසි සම්බන්ධ රහස් ද ඇතුළත් විය. ඇමෙරිකාවේ නිව් මෙක්සිකෝ ජනපදයේ රොස්වෙල්, පිටසක්වළ ජීවීන් නිසා මේ වනවිට සංචාරක ආකර්ෂණයක් වී හමාරය. එපමණක් නොව, ඇමෙරිකාවේ නෙවාඩා කාන්තාරය මැද ඇතැයි පැවැසෙන ‘ඒරියා 51’ නමැති කලාපය ද අබිරහසකි. අබිරහසක් යැයි කීවත් ‘ඒරියා 51’ අධි ආරක්ෂක කලාපයේ ඇත්තේ ඇමෙරිකන් ගුවන් හමුදා කඳවුරකි. පියාඹන පීරිසි සහ පිටසක්වළ ජීවීන් මෙම කලාපයේ රඳවාගෙන සිටිනවා යැයි පැවැසෙන කටකතා ඔප්පු කිරීමට තවමත් කිසිවකුට හැකියාව ලැබී නැහැ. එම ‘කටකතා’ උලුප්පා දක්වන්නේ විද්‍යා ප‍්‍රබන්ධ කතා නිර්මාණකරුවන් සහ සිනමාකරුවන් පමණි. 


ඇමෙරිකා ගුවන් හමුදාව ඔවුන්ගේ අති නවීන ගුවන් යානා අත්හදා බැලීම් සිදු කරන්නේ මෙම ස්ථානයේය. එය රහසක් නොවේ. කෙසේ නමුත් සිදුවන කටයුතු රහසකි. ඇමෙරිකානු රජයට අයිති මේ භූමිය දෙවැනි ලෝක යුද සමයේදී බෝම්බ අත්හදා බැලීම් සඳහා යොදා ගැණින. එම බෝම්බ අත්හදා බැලීම් සිදු කෙරුණේ ‘පරමාණුක බලශක්ති කොමිසම’ යටතේය. 


1955 දී ඇමෙරිකාවේ මධ්‍යම බුද්ධි අංශය එසේත් නැතිනම් සී.අයි.ඒ. සංවිධානය ‘ඒරියා 51’ කලාපයේ ගුවන් පථයක් ඉදි කළේය. ඒ, ගුවන් යානා අත්හදා බැලීමේ පර්යේෂණ කටයුතුවලටය. උඩු ගුවනේ ඔත්තු බලන ‘යූ2’ රහස් ඔත්තු ගුවන් යානා පරීක්ෂණ කටයුතු සිදු කර ඇත්තේ ද මෙම ස්ථානයේදීය. ඇමෙරිකාවේ යුද කටයුතු හා සම්බන්ධ කොන්ත‍්‍රාත්කරුවකු වන ‘ලොක්හීඩ්’ සමාගම ඔවුන්ගේ යානා අත්හදා බැලීම් කටයුතු කළේත් මේ කඳවුරේය. මෙම යානා මොන වගේ ද කුමන හැඩැති ද යන්න අද අප හොඳින් දැන සිටියත් 60 දශකයේ ඒවා ගැන අප දැන සිටියේ නැත. 


පිටසක්වළ යානා දකින්න ලැබුණු බව බොහෝ දෙනා කීවේත් ඡායාරූප ප‍්‍රසිද්ධියට පත් වූයේත් මෙම රහස් ගුවන් යානා අත්හදා බැලීම් සිදුවූ කාලයේදීය. නොයෙක් නොයෙක් විධියේ ගුවන් යානා නොයෙක් නොයෙක් ආකාරයෙන් අත්හදා බැලීම්වලට යෙදවුණා. ඒ නිසා ඒවා පියාඹන පීරිසි හැටියට දැක්කා යැයි කෙනකු කීවා නම්, එය පුදුමයට කරුණක් නොවේ යැයි ද පැවැසෙයි. වර්තමානයේ, ඇෆ්ගනිස්තානයේ සහ ඉරාකයේ සිදු කෙරෙන ඇමෙරිකානු හමුදා මෙහෙයුම්වලදී භාවිත කෙරෙන නියමුවන් රහිත ඩ්‍රෝන යානා අත්හදා බැලීම් සිදු කෙරෙන්නේ ද මේ ඒරියා 51 කලාපයේය. එපමණක් නොව, නිරවි යුද සමයේදී සතුරු රටක්ව පැවැති සෝවියට් රුසියානුවන්ගෙන් අල්ලා ගන්නා ගුවන් යානා අත්හදා බැලීම් සිදු කළේ ද මේ ස්ථානයේදී යැයි රහස් වාර්තාවල දැක්වෙයි. 

 

 

 

 

ලුසිත ජයමාන්න 
ඩේලිමේල් ඇසුරිනි 



අදහස් (0)

පියාඹන පීරිසි ගැන අලුත් හෙළිදරව්වක්

ඔබේ අදහස් එවන්න

රසවිත

අනේ පොඩි නැන්දා මට හුඟක් දවස් කාමරේ ඇතුළෙ ඉන්න වෙයිද?
2022 මාර්තු මස 26 10919 0

හීන් නෝනා දියණිය දෙස බැලු‍වේ කරදර දෑසිනි. දුරකථනය හරහා ආවේ සුබ පණිවිඩයක් නොවන බැව් ඇගේ මුහුණ කියා පෑවේය. “කවුද කතා කෙරුවේ..?” හීන් නෝනා විමසුවාය. “අයිය


යෙලෝ බීට්ස් කියන්නේ කවුද ?
2022 මාර්තු මස 26 6210 0

මෙවර U Tube ලෝකය තුළින් ඉරිදා ලංකාදීපයෙන් කතාබහ කරන්න හිතුවේ සමාජ මාද්‍ය ඔස්සේ අතිශය ජනප්‍රිය Girls Voice Band එකක් පිළිබඳව. ඒ Yellow Beats කණ්ඩායම කුෂිනි ප්‍රවින්ද්‍යා, දි


පුරාණ රජ කාලේ වීදුරු හැදූ ‘පබුලුගම’
2022 මාර්තු මස 26 5928 0

ශ්‍රී ලංකාවේ පබලු භාවිතය පිළිබඳ පුරාණතම සාධක අයත් ​ෙවන්නේ ප්‍රාග් ඓතිහාසික යුගයටය. ක්‍රි.පූ. (900-600) අතර මුල් යුගයේදී ජනතාව පබලු භාවිතය සුලබව සිදුකොට ඇති


වෘන්දා වනයේ පෙම්මල් විසිරේ...
2022 මාර්තු මස 26 5248 0

හින්දු පුරාණයට අනුව විෂ්ණු දෙවි යනු ලොව සුරකින්නාය. ලෝකයේ තිර පැවැත්ම පිණිසත්, ධර්මය රැකීමටත්, අදමිටුවන් විනාශ කිරීමටත් වරින්වර විෂ්ණු ලොව පහළවන බව මහ


බිම් බෝම්බය පිපිරෙද්දී ගෙදරට පණිවිඩයක් දුන් ව්‍යාපාරිකයා
2022 මාර්තු මස 26 3237 0

මසින් ලෙයින් නිර්මිත මසැසට භෞතික ලෝකයේ බොහෝ සංසිද්ධි දැක ගත හැකි වුවත් ඉන් එහා ඇති අවිඥාණික දේ පෙනෙන්නේ නැත. භූගත පෘෂ්ඨ වංශික ඇතැම් සතුන් හැරුණු විට සෙ


නූතන ශාසන ප්‍රබෝධයේ ශාස්ත්‍රවන්තයා සිටිනාමළුවේ මහ තෙරිඳු
2022 මාර්තු මස 26 1705 0

සිත්තම්ගල ගල් ලෙන බලන්නට මී ආතා “බරින්දු” එක්ක ගෙන ගියේ ගැල් කරත්තයෙන්ය. “අපේ ‍රැහේ උන් තමයි දරුවෝ මෙතන නැණපිල පටන් ගෙන සාහිත රස බෙදුවේ.” එදා මී ආතා කී ක


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 317 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1701 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1546 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site