IMG-LOGO

2024 අප්‍රේල් මස 24 වන බදාදා


පාකිස්තානයෙන් බිහි වූ සුපිරි තරුව ඉම්රාන් ඛාන්

මතකයෙන් නොමැකෙන තරු

පාකිස්තානු ක්‍රිකට් ක්‍රීඩාවේ මහත් සාර්ථකත්වයට පත් ක්‍රීඩකයා ලෙස අවිවාදයෙන් පිළිගැනෙන ක්‍රීඩා තරුව වන්නේ ඉම්රාන් ඛාන් නියාසිය.  ක්‍රිකට් ක්‍රීඩාවෙන් විශ්‍රාම යන විට ටෙස්ට් ලකුණු 3806ක් සහ කඩුලු 362ක් ඔහුගේ ගිණුමට බැර වී තිබිණි. ටෙස්ට් තරගවලදී ‘ඕල් රවුන්ඩර්ස් ට්‍රිපල්‘ තත්ත්වය හිමිකරගත් ක්‍රීඩකයන් අට දෙනා අතුරින් අයකු වන්නේද ඔහුය.

1952 පන්ජාබයේ ලාහෝර් නුවරදී උපත ලද ඉම්රාන් ඛාන්ගේ පියා ඉංජිනේරුවකු වූ ඉක්රමුල්ලා ඛාන් නියාසි වූ අතර මව ෂවුකට් ඛානුම් වූවාය. බුර්කි ගෝත්‍රයට අයත් ඔහුගේ මවු පරපුරේ සාමාජිකයෝ පාකිස්තාන ක්‍රිකට් ක්‍රීඩාවේ නොමැකෙන නමක් සටහන් කළ පුද්ගලයෝ වූහ. ඒ අතර ජාවඩ් බුක්රි, මජීඩ් ඛාන් විශේෂිතය. ළමා වියේ ලජ්ජාශීලී, නිහඬ දරුවකු වූ ඉම්රාන් සහෝදරියන් සිවු දෙනකුගේ එකම සොහොයුරා විය. 


කුඩා ඉම්රාන් ක්‍රිකට් ක්‍රීඩාවට යොමු වූයේ 12 හැවිරිදි දරුවකු ලෙසිනි. ලාහෝරයේ අයිචිසන් මහා විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලද ඔහු පාසල් ක්‍රිකට් කණ්ඩායමේ සාමාජිකයකු විය. පසුව එංගලන්තයේ වුස්ටර් රාජකීය භාෂා පාසලට ඇතුළත් වූ ඔහු 1972 දී ඔක්ෆර්ඩ්හි කීබල් විද්‍යාලයේ ශිෂ්‍යයකු විය. එම විද්‍යාලයෙන් දර්ශනවාදය, දේශපාලනය හා ආර්ථිකවිද්‍යාව හැදැරූ ඉම්රාන් 1975දී පළමු පන්තියේ සාමාර්ථයක් සමඟ උපාධිය හිමිකර ගත්තේය.


ඔහු පළමු පන්තියේ ක්‍රිකට් ක්‍රීඩාවට සම්බන්ධ වූයේ වයස අවුරුදු 16දීය. 1970දී ඔහු  ලාහෝර් ඒ, බී හා ලාහෝර්  ග්‍රීන් යන කණ්ඩායම්වල සාමාජිකයකු විය. 1971 සිට 1976 දක්වා කාලයේ වූස්ටර්ෂර් කණ්ඩායමේ සාමාජිකයකු ලෙස ප්‍රාන්ත ක්‍රිකට් තරග සඳහා එක් වූ ඉම්රාන්, 1973-75 ක්‍රීඩා වාරයන්හි ඔක්ස්ෆර්ඞ් විශ්වවිද්‍යාලයේ බ්ලූස් ක්‍රිකට් සඳහා තරග කළේය. මේ කාලයේ ඉම්රාන් වැඩි දක්ෂතා පෙන්වූයේ මඳවේග පන්දු යවන්නකු ලෙසිනි.


ඉම්රාන් සහභාගි වූ පළමු ටෙස්ට් තරගය 1971දී එංගලන්තය සමඟ පැවැති තරගයයි. ඉන් වසර තුනකට පසු ඔහු පෲඩෙන්ෂල් කුසලානය සඳහා එංගලන්තය සමඟ පැවැති තරගය සඳහා එක්දින වරම් දිනා ගන්නට සමත් විය. එංගලන්ත අධ්‍යාපනය නිම කළ ඉම්රාන් 1976දී යළි පාකිස්තානයට පැමිණි අතර ජාතික කණ්ඩායමට එක් වී එහි නිත්‍ය ස්ථානයක් හිමි කර ගැනීමට සමත් විය.


1976 - 77 ක්‍රීඩා වාරයේ ඔස්‌ට්‍රේලියාවේ හා නවසීලන්තයේ සංචාරය කළ පාකිස්තානු ක්‍රිකට් කණ්ඩායම ඉන්පසු බටහිර ඉන්දීය කොදෙව්හි සංචාරයක නිරත වූහ. එම සංචාර ඉම්රාන්ගේ පළමු විදේශ සංචාර විය. 1978දී ඕස්ට්‍රේලියාවේ පර්ත්හි පැවැති වේග පන්දු තරගාවලියකදී ඉම්රාන් තමා ලොව සිටින වේගවත්ම පන්දු යවන්නන්ගෙන් එකෙකැයි සනාථ කළේය. පැයට කිලෝමීටර 139.7 වේගයෙන් පන්දු යැවූ ඔහු වේගපන්දු යවන්නන් අතර තුන් වැනි ස්ථානය දිනා ගත්තේය. පළමු ස්ථානය ජෙෆ් තොම්සන්ටද දෙවැනි ස්ථානය මයිකල් හෝල්ඩිංටද හිමි විය. එවක නම් දැරූ වේග පන්දු යවන්නන් වූ ඩෙනිස් ලිලී, ගැරත් ල රූක්ස්, ඇන්ඩි රොබට්ස් වැනි ක්‍රීඩකයන් පරාජය කිරීමට ඉම්රාන් සමත් විය.


වේග පන්දු යවන්නකු ලෙස ඉම්රාන් වඩාත් සාර්ථක වූයේ 1982දීය. එම වසරේ ටෙස්ට් තරග 9 කදී කඩුලු 62ක් දවා ගැනීමට ඔහුට හැකි විය. එක් ක්‍රීඩා වාරයක් තුළ අවම සාමාන්‍යයක් රඳවමින් කඩුලු 50ක් හෝ ඊට වැඩි ප්‍රමාණයක් ලබා ගන්නා ලද පන්දු යවන්නා වශයෙන් ඉම්රාන් ඉතිහාසයට එක් විය. ඔහුගේ සාමාන්‍යය සටහන් වූයේ එක් තරගයකට ලකුණු 13.29ක් ලෙසිනි. 1983දී ඉන්දියානු සංචාරයට සහභාගී වූ ඉම්රාන් ටෙස්ට් පන්දු යවන්නකු ලෙස ලකුණු 922ක් ලබා ගැනීමට සමත් විය.(එවක අයිසීසී ශ්‍රේණි ගතකිරිම් හඳුන්වා දී නොතිබිණි). ඉම්රාන්ගේ මෙම දක්ෂතාවට පසුකාලීන අයිසීසී සර්වකාලීන ශ්‍රේණි ගතකිරිම් අතර තෙවැනි ස්ථානය හිමි විය.
ඉම්රාන් ‘ඕල්රවුන්ඩර්ස් ට්‍රිපල්’ තත්ත්වයට ළඟා වූයේ  ටෙස්ට් තරග 75කිනි. (ටෙස්ට් ලකුණු 3000ක් සහ කඩුලු 300 සීමාව පසු කළ) එය 1972 ඉයන් බොතම්ගේ වාර්තාවට පමණක් දෙවැනි විය. පිතිකරුවකු ලෙස 6 වැනි කඩුල්ල සඳහා දෙවැනියට වැඩිම සර්වකාලීන සාමාන්‍යයක් වාර්තා කළ ක්‍රීඩකයා ලෙසද ඔහු ඉතිහාසයට එක් විය. එම ස්ථානයේ ඔහුගේ පිතිකරණ සාමාන්‍යය 61.86ක් විය.


ඉම්රාන් අවසන් වරට ටෙස්ට් තරගයකට සහභාගී වූයේ 1992 ජනවාරියේ ෆයිසලාබාද්හී ශ්‍රී ලංකාව සමඟ පැවැති තරගයටය. 1992 ලෝක කුසලාන අවසන් මහා තරගයෙන් පසු ඔහු සීමිත ඕවර ක්‍රිකට් තරගවලින්ද සමු ගත්තේය. ටෙස්ට් තරග 88 කදී ඉනිම 126ක් ක්‍රීඩා කළ ඔහු රැස්කරන ලද සමස්ත ටෙස්ට් ලකුණු සංඛ්‍යාව 3807ක් වූ අතර සාමාන්‍යය 37.69ක් විය. එයට ශතක 6ක් සහ අර්ධ ශතක 18ක් ඇතුළත් විය. ඔහු රැස් කරන ලද වැඩිම ලකුණු සංඛ්‍යාව 136ක් විය. පන්දු යවන්නකු ලෙස ඔහු ටෙස්ට් කඩුලු 362ක් ලබා රැගත් අතර එම කඩුලු සංඛ්‍යාව ලබාගත් පළමු පාකිස්තානුවා හා ලෝකයේ සිව් වැනි පන්දු යවන්නා විය.


එක්දින තරග 175කට ක්‍රීඩා කළ ඉම්රාන් ලකුණු 3709ක් රැස් කළේය. එහි සාමාන්‍යය 33.41කි. එක් දින තරගයක ඔහු රැස්කරන ලද වැඩිම ලකුණු සංඛ්‍යාව නොදැවී 102කි. හොඳම පන්දු යැවීම ලකුණු 14කට කඩුලු 6කි. එය තවමත් නොබිඳි වාර්තාවකි.


1982දී 30 හැවිරිදි ඉම්රාන් ඛාන් පාකිස්තානු ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වයට පත් විය. ඔහුගේ නායකත්වය යටතේ ටෙස්ට් තරග 48ක් ක්‍රීඩා කළ අතර ඉන් 14ක් ජයගැනීමට හැකි විය. 8ක් පරාජය වූ අතර 26ක් ජය පරාජයෙන් තොර විය. එක් දින තරග 139ක් මෙහෙය වූ ඔහු ඉන් තරග 77ක ජය පාකිස්තානුවන්ට දිනා දුන්නේය. 57ක් පරාජය වූ අතර එක් තරගයක  ලකුණු සම විය. 


ඉම්රාන්ගේ නායකත්වය යටතේ පැවැති දෙවැනි ටෙස්ට් තරගය පැවැත්වූයේ එංගලන්තය සමඟ ලෝඩ්ස් පිටියේය. වසර 28කට පසු ලෝඩ්ස්හිදී ටෙස්ට් තරගයක් ජය ගැනීමට පාකිස්තානුවෝ සමත් වූහ. නායකයකු වශයෙන් කටයුතු කළ පළමු වසරේදීම ඔහු තුන් ඉරියව්වෙන්ම දක්ෂතා පෙන්වන්නට විය. ඉන්දීය කණ්ඩායම සමඟ පැවැති ටෙස්ට් තරග 6කදී කඩුලු 40ක් ලබා ගත් ඉම්රාන් නායකයකු ලෙස එක් තරග වාරයක් තුළ ටෙස්ට් තරග 13කට සහභාගී වී කඩුලු 88ක් බිඳහෙළා තිබිණි. 


මෙම අවධියේ ඉම්රාන් දැඩි ආතතියකට පත් වී සිටි බැව් පැවසේ. එහි ප්‍රතිඵලයක් ලෙස ඔහුට වසර දෙකක කාලයක් ක්‍රිකට් පිටියෙන් ඈත්ව සිටින්නට සිදු විය. පාකිස්තානු රජය මෙම ක්‍රීඩකයාගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳ දැඩි අවධානයක් යොමු කළ අතර ඔහුට  ඉහළම ප්‍රතිකාර ලබා දෙන්නට පියවර ගත්තේය. 1984දී ඔහු යළි ක්‍රීඩාවට අවතීර්ණ විය.


1987දී ඉන්දියාව සමඟ පැවැති ටෙස්ට් තරගාවලිය ජයගත් පාකිස්තානු කණ්ඩායම සිය ප්‍රථම ටෙස්ට් තරගාවලි ජය වාර්තා කළේය. එම වසරේම එංගලන්තයට එරෙහි ප්‍රථම ටෙස්ට් තරගාවලි ජය වාර්තා කිරීමටද ඉම්රාන් ඇතුළු කණ්ඩායමට හැකි විය. 1988දී ක්‍රිකට් ක්‍රීඩාවට සමුදුන් ඉම්රාන් ඛාන්හට යළි නායකත්වය භාර ගන්නා ලෙස එවක  පාකිස්තානු ජනාධිපතිවරයා වූ සියා උල් හක් කළ ඉල්ලීම පිළිගත් ඉම්රාන් යළි තම කණ්ඩායමේ නායකත්වය භාර ගත්තේය. ඔහුගේ නායකත්වය යටතේ බටහිර ඉන්දීය කොදෙවු කණ්ඩායම සමඟ පැවැති ටෙස්ට් තරගාවලිය ජය ගැනීමට පාකිස්තානයට හැකි විය. තමා අවසන් වරට හොඳම පන්දු යැවීමක නිරත වූයේ එම තරගාවලියේදී යැයි ඉම්රාන් පසු කලෙක පවසා තිබිණි. 


ටෙස්ට් තරග 3කදී කඩුලුු 23ක් ලබා ගැනීමට ඉම්රාන්ට හැකි වූ අතර තරගාවලියේ වීරයා වූයේද ඔහුය. නායකයකු, පිතිකරුවකු හා පන්දු යවන්නකු වශයෙන් ඉම්රාන් වඩාත්ම කැපී පෙනුණේ 1992 ලෝක ක්‍රිකට් කුසලානය පාකිස්තානයට හිමිකර දීමෙනි. අවසන් තරගයේදී පිතිකරුවකු ලෙස තම ස්ථානය ඉහළට දමාගත් ඔහු ජාවෙඞ් මියැන්ඩාඞ් සමඟ පන්දුවට පහර දීමට පිටියට පිවිසියේය. එම තරගයේදී දක්ෂ ලෙස පන්දු යැවූ ඔහු  තරගයේ අවසාන කඩුල්ල බිඳ දැමුවේ පාකිස්තානයට ලෝක කුසලානය අත්කර දෙමිනි. එවිට ඔහුගේ වයස අවුරුදු 39ක් විය. එය ඔහුගේ ක්‍රීඩා ජීවිතයේ ලබා ගන්නා ලද අවසන් කඩුල්ලද විය.


ඇතැම් අවස්ථාවල වැඩි ඉපිලීමක් ලබා ගැනීම සඳහා  පන්දුව පලුදු කළ බවට ඔහුට චෝදනා එල්ල විය. එංගලන්ත ක්‍රීඩකයන් වූ ඉයන් බොතම් සහ ඇලන් ලෑම්බ්  මේ පිළිබඳව ඔහුට ප්‍රසිද්ධියේ චෝදනා කළහ.  එහෙත් එම චෝදනාවලින් නිදහස් වන්නට ඉම්රාන්ට හැකි විය. ක්‍රීඩාවෙන් විශ්‍රාම ගත් ඉම්රාන් එක් වරක් තමා පන්දුව පලුදු කළ බැව් පිළිගෙන තිබිණි. “එක් අවස්ථාවක මා කාසියක් වැනි දෙයක් උපයෝගී කර ගනිමින් පන්දුව පලුදු කළා. ඒ සසෙක්ස් ප්‍රාන්තයට ක්‍රීඩා කළ කාලයේ. ඉන්පසු මා එවැනි ක්‍රියාවක නිරත වී නැහැ.” යනුවෙන් ඔහු කියා තිබිණි. නායකයකු වශයෙන් වැඩිම කඩුලු ප්‍රමාණයක් ලබා ගත් ක්‍රීඩකයා සහ හොඳම පන්දු යැවීමේ සාමාන්‍යය යන වාර්තාවලට හිමිකම් කියනුයේ ඉම්රාන් ඛාන්ය.


ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගත් ඉම්රාන් බ්‍රිතාන්‍ය හා ආසියානු පුවත්පත්වලට ක්‍රිකට් ක්‍රීඩාව පිළිබඳ තීරු ලිපි ලිවීය. බොහෝ ලිපි පාකිස්තානු ක්‍රිකට් කණ්ඩායම සම්බන්ධවය. ඒ හැර බීබීසීයේ හා ටෙන් ස්පෝර්ට්ස් නාළිකාවේ ක්‍රීඩා විස්තර විචාරකයකු ලෙසින් තරග විස්තර ගෙන ඒමට කටයුතු කළේය.


1990දී කාලයේ යුනිසෙෆ් ආයතනය ඔහු  ක්‍රීඩා හා  සෞඛ්‍ය පිළිබඳ විශේෂ නියෝජිතයකු වශයෙන් පත් කළේය. බංග්ලාදේශය, පාකිස්තානය, ශ්‍රී ලංකාව සහ තායිලන්තයේ ප්‍රතිශක්තිකරණ වැඩ පිළිවෙළ සඳහා ඔහුගේ සහය හිමි විය. 2005දී ඔහු බ්‍රැඩ්ෆෝඩ් විශ්වවිද්‍යාලයේ කුලපතිවරයා වශයෙන් පත් කෙරිණි. 2014දී ඔහු ඉන් ඉවත් විය. පාකිස්ථානයේ පළමු සහ එකම පිළිකා රෝහල ස්ථාපනය කරන ලද්දේ ඉම්රාන් විසිනි. ඒ සඳහා ඔහුට ලොව පුරා සිටින ක්‍රීඩා ලෝලීන්ගෙන් හා පරිත්‍යාගශීලීන්ගෙන් ඩොලර් මිලියන 25ක පරිත්‍යාග හිමි විය.


1996දී ඉම්රාන් පාකිස්තාන් තෙරීක් ඉන්සාෆ් නමින් තමන්ගේම දේශපාලන පක්ෂයක් පිහිටුවා ගත්තේය. 1997දී පැවැති මැතිවරණයට තරග කළද පරාජයට පත් විය. 1999දි ජනරාල් පර්වේස් මුෂාරෆ්ගේ හමුදා කුමන්ත්‍රණයට ඉම්රාන් සහය පළ කළේ මුෂාරෆ් දූෂණය හා දේශපාලන මාෆියාව පිටුදකිනු ඇතැයි යන විශ්වාසයෙනි. 2002දී අගමැති පදවිය භාරගන්නා ලෙස මුෂාරෆ් ඉම්රාන්ගෙන් ඉල්ලා සිටියද තමා එය ප්‍රතික්ෂේප කළ බැව් ඉම්රාන් පවසා තිබිණි. 2002දී පැවැති මැතිවරණයෙන් මියන්වාලි ප්‍රදේශය සඳහා ඉම්රාන් තේරී පත් විය.


2012දි ඉම්රාන් සතු සමස්ත වත්කම ඇමෙරිකානු ඩොලර් 220,000ක් වූ අතර 2014දී එය ඩොලර් 320,000 දක්වා වර්ධනය විය. 2017දී එය ඇමෙරිකානු ඩොලර් මිලියන 13ක් විය. ඉම්රාන් ඛාන්ගේ පළමු බිරිය වූයේ ජෙම්මාය. 1995දි විවාහ වූ ඔවුහු වසර නවයකට පසු දික්කසාද වූහ. ඔහුගේ දෙවැනි විවාහය රූපවාහිනී නිවේදිකාවක වූ රෙහාම් සමඟ සිදු කෙරුණු අතර එම විවාහය පැවතියේ මාස දහයක් වැනි කෙටි කලක් පමණි. 65 හැවිරිදි ඉම්රාන් පසුගියදා තෙවැනි වරටත් විවාහ වූ අතර මෙවර ඔහුගේ මනාලිය වී ඇත්තේ ඔහුගේ ආධ්‍යාත්මික උපදේශිකාව වන 40 හැවිරිදි බුෂ්රා වටූය.


ක්‍රිකට් ක්‍රීඩාව උදෙසා කරන ලද මෙහෙය වෙනුවෙන් සම්මාන රැසකින් පිදුම් ලද ඉම්රාන් ඛාන් පාකිස්ථානයෙන් බිහි වූ ශ්‍රේෂ්ඨ ක්‍රීකඩකයන් කිහිප දෙනා අතුරින් එක් අයකු ලෙස පිළිගැනෙයි.

 

 

 


ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා

 



අදහස් (0)

පාකිස්තානයෙන් බිහි වූ සුපිරි තරුව ඉම්රාන් ඛාන්

ඔබේ අදහස් එවන්න

රසවිත

අනේ පොඩි නැන්දා මට හුඟක් දවස් කාමරේ ඇතුළෙ ඉන්න වෙයිද?
2022 මාර්තු මස 26 10915 0

හීන් නෝනා දියණිය දෙස බැලු‍වේ කරදර දෑසිනි. දුරකථනය හරහා ආවේ සුබ පණිවිඩයක් නොවන බැව් ඇගේ මුහුණ කියා පෑවේය. “කවුද කතා කෙරුවේ..?” හීන් නෝනා විමසුවාය. “අයිය


යෙලෝ බීට්ස් කියන්නේ කවුද ?
2022 මාර්තු මස 26 6207 0

මෙවර U Tube ලෝකය තුළින් ඉරිදා ලංකාදීපයෙන් කතාබහ කරන්න හිතුවේ සමාජ මාද්‍ය ඔස්සේ අතිශය ජනප්‍රිය Girls Voice Band එකක් පිළිබඳව. ඒ Yellow Beats කණ්ඩායම කුෂිනි ප්‍රවින්ද්‍යා, දි


පුරාණ රජ කාලේ වීදුරු හැදූ ‘පබුලුගම’
2022 මාර්තු මස 26 5924 0

ශ්‍රී ලංකාවේ පබලු භාවිතය පිළිබඳ පුරාණතම සාධක අයත් ​ෙවන්නේ ප්‍රාග් ඓතිහාසික යුගයටය. ක්‍රි.පූ. (900-600) අතර මුල් යුගයේදී ජනතාව පබලු භාවිතය සුලබව සිදුකොට ඇති


වෘන්දා වනයේ පෙම්මල් විසිරේ...
2022 මාර්තු මස 26 5240 0

හින්දු පුරාණයට අනුව විෂ්ණු දෙවි යනු ලොව සුරකින්නාය. ලෝකයේ තිර පැවැත්ම පිණිසත්, ධර්මය රැකීමටත්, අදමිටුවන් විනාශ කිරීමටත් වරින්වර විෂ්ණු ලොව පහළවන බව මහ


බිම් බෝම්බය පිපිරෙද්දී ගෙදරට පණිවිඩයක් දුන් ව්‍යාපාරිකයා
2022 මාර්තු මස 26 3231 0

මසින් ලෙයින් නිර්මිත මසැසට භෞතික ලෝකයේ බොහෝ සංසිද්ධි දැක ගත හැකි වුවත් ඉන් එහා ඇති අවිඥාණික දේ පෙනෙන්නේ නැත. භූගත පෘෂ්ඨ වංශික ඇතැම් සතුන් හැරුණු විට සෙ


නූතන ශාසන ප්‍රබෝධයේ ශාස්ත්‍රවන්තයා සිටිනාමළුවේ මහ තෙරිඳු
2022 මාර්තු මස 26 1704 0

සිත්තම්ගල ගල් ලෙන බලන්නට මී ආතා “බරින්දු” එක්ක ගෙන ගියේ ගැල් කරත්තයෙන්ය. “අපේ ‍රැහේ උන් තමයි දරුවෝ මෙතන නැණපිල පටන් ගෙන සාහිත රස බෙදුවේ.” එදා මී ආතා කී ක


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 282 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1637 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1517 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site