IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


දරු ඵල නැති අයට තනිකම් දෝෂයට නටන තොවිලෙ මෙන්න...

යක්‍ෂයින්ගේ බැල්ම නිසා ලෙඩ වෙන බොහෝ දෙනාට එකල පිහිට වූයේ තොවිලයක් නැටීම බව පැරැණ්නෝ පවසති. යකුන්ගේ බැල්මක් යනු යක්‍ෂයෙකුගේ හෝ යක්‍ෂණියකගේ හෝ බන්ධනයක් බව පරගහකැලේ අප්පුහාමි ගුරුන්නාන්සේ සඳහන් කළේ යක්‍ෂ බන්ධනයන් ගැන තවදුරටත් අවධාරණය කරමිණි.  


යක්‍ෂ බන්ධනයන්ගෙන් ගැලවෙන්නට නම් පිදේනි කාරි තොවිලයක් නටන හැටි පසුගිය සතියේ අනාවරණය කෙරිණි. යක්‍ෂ බන්ධනයකින් ගැලවෙන්නටත් දරු ඵල නැති අයට දරු ඵල ලබා ගන්නටත් කටිනා රූප රීරී යක් බලි තොවිලය නටන සැටි මෙවර අනාවරණය කෙරේ.   


මේ පිළිබඳව වැඩිදුරටත් අදහස් දැක් වූ දිගාමඩුල්ලේ උතුරු වැව් ගම්පත්තුවේ පරගහකැලේ අප්පුහාමි ගුරුන්නාන්සේ (80) මෙසේ ද සඳහන් කළේය.  


“යක්‍ෂ බන්ධනයන් නිසා ඇති වෙන තනිකන් දෝෂ සඳහාත් දරු ඵල නැති අය සඳහාත් තමා මේ තොවිලේ නටන්නේ. මේ තොවිලේ නටන එක හරිම අමාරු වැඩක්. මේ සඳහා සෑහෙන්න මහන්සි වෙන්න ඕනෑ. මේ තනිකන් දෝෂ වැඩි වශයෙන් ඇති වෙන්නේ වැඩිවියට පත්වෙන තරුණියන්ට. වැඩිවියට පත් වීමක් කියන්නේ රුධිරය පිට වීමක්. යක්‍ෂයින් ලේ සහ මස්වලට හරිම පෙරේතයි. උන් නිතරම බැල්ම දාගෙන ඉන්නේ මේ වගේ අවස්ථාවන් එනකම්. දැරියක් වැඩිවියට පත් වෙන ඇතැම් අවස්ථාවලදී ඒ මොහොතේ එයා ළඟ කවුරු හරි නොහිටියා නම් ඒ තරුණියට රීරී යකා බැල්ම දාලා බන්ධනය කර ගන්නවා. එතැන ඉඳලා මේ තරුණියට නොයෙක් ලෙඩ හැදෙනවා. අනිත් යකුන්ගේ බැල්මවල් වගේ නෙවෙයි මේ බැල්ම. මේක හරිම තද බැල්මක්. තද බන්ධනයක්. මේ බැල්ම නිසා මුලින්ම ටික ටික ඔළුව රිදෙන්න පටන් ගන්නවා. තද උණ නැතිව සාමාන්‍ය උණ ගන්නවා. ඇ​ෙඟ් වේදනාව නිතරම දැනෙනවා. කෑම අරුචිය ඇති වෙනවා. වැඩිය කතා බහක් නෑ. කවුරු හරි කතා කළොත් රුස්සන්නේ නෑ. ඒ තුළින් දැඩි මානසික ආතතියකුත් ඇති වෙනවා. දැන් ඉතින් දෙමව්පියන් යනවා ගුරුන්නාන්සේ කෙනෙක් හොයාගෙන. ගුරුන්නාන්සේ ගෙදරට ඇවිත් මේ තරුණියගේ හෝ කාන්තාවගෙන් විස්තර අහනවා.  


එහෙම ඇහුවම හුඟක් දෙනෙක් ඉහත කියපු ලෙඩ වගේම තවත් බොහෝ කාරණා කියනවා. රාත්‍රියේ දී තමන් හොඳට ආහාර ගන්නා බව, නමුත් ඇහැරුණාට පස්සේ කාපු කෑමක් නෑ. ඒ සියල්ල මේ ලෙඩා හීනෙන් දැකපු දේවල්. හීනෙන් හොඳට බත් කනවා. මස්, මාළු, බත් ආදිය කනවා. නමුත් සිද්ධ වෙලා තියෙන්නේ කෙළ ගිලීමක් පමණයි. දිගින් දිගටම මේ විදිහට කෙළ ගිලුනහම බඩේ ලොකු ගුලියක් හැදිලා ඒක බඩේ වම් පැත්තේ හෝ දකුණු පැත්තේ දීර්ඝ කාලයක් තියෙනවා. ලෙඩාට දිගටම උදරාබාධය තියෙනවා. මේ බඩේ ගෙඩිය නිතරම එහාට මෙහාට යනවා වගේ දැනෙනවා කියලා ලෙඩා කියනවා. නිතරම උඟුරට එන බවත් සඳහන් කරනවා. අන්තිමට බඩේ අජීර්ණය ඇති වෙලා තත්ත්වය තවත් උත්සන්න වෙනවා.  

අප්පුහාමි ගුරුන්නාන්සේ


ඒ විතරක් නෙවෙයි. හීනෙන් නිතරම විකාර රූපී හීන පේන බව මේ වගේ ලෙඩ්ඩු අපට සඳහන් කරලා තියෙනවා. කළුම කළු මිනිස්සු, සුදුම සුදු මිනිස්සු තමන් හමුවට ඇවිත් බියට පත් කරන බවත් රතු පාට බල්ලෝ, කළු පාට බල්ලෝ, වන අලි, ඌරෝ, කොටි වැනි සත්තු තමන් පස්සෙන් එන බවත් කියනවා.  


මේකට ගුරුන්නාන්සේලා ළඟ තියෙන සාමාන්‍ය ප‍්‍රතිකාරය තමයි මිරිස් හොදි මතුරලා බොන්න දීමත්, දෙහි මතුරලා බොන්න දීමත් සිදු කිරීම. ඉන් පසුව සතියකින් පසුව සනීපයක් නොලැබුණොත් පස් ඇඹුල් මතුරලා බොන්න දීලා ඒ සමගම නූලක් මතුරලා ඉණේ බඳිනවා. දෙහි, දොඩම්, නාරං, කාමරංගා, ගැට අන්නාසි තමා පස් ඇඹුල්වලට ගන්නේ. මේවයෙන් ස්වල්පය ගානේ අරගෙන සාමාන්‍ය පීරිසි කොප්පයක් අරගෙන ඒකෙන් බාගයක් විතර ඇඹුලෙන් පුරවනවා. කහ කෑල්ලක් හරි තරමක් ඝනට අඹරා ගත්ත කහ ටිකකුත් මේකට දානවා. එහෙම දාලා ඉවර වෙලා නූලක් අරගෙන ඒක හත්පොටකට නමලා ඒකෙත් කහ ගාලා තරමක් බුරුල් ගැට හතක් ගහලා අර පීරිසි කෝප්පය උඩින් තියනවා. මේ වැඩේට පොඩි පොඩි පිදේනි තටුවකුත් හදන්න ඕනෑ. එ්ක උඩ තමයි අර පීරිසි කෝප්පය තියන්නේ. ඒ කාලේ නම් පොඩි කාඩ්බෝඩ් පෙට්ටියක් අනිත් පැත්ත ගහලා ඒක උඩට සුදු රෙද්දක් තියලා ඒක උඩ කෙසෙල් කොළයකුත් තියලා ඒ මත තමා පිදේනි තටුව හදන්නේ. ඒ තටුවට බුලත් කොළ පහක් හෝ හයක් රවුම් හැඩේට තියනවා. පුවක් කෑලි ටිකකුත් තියනවා. අර බුලත් කොළයක හුණු ටිකකුත් තවරනවා. පඬුරු වශයෙන් කාසියකුත් තියන්න ඕනෑ අර පීරිසිය වටේට නොවරදවාම සුදු මල් ටිකකුත් තියන්නම ඕනෑ. ඊට පස්සේ අර ලෙඩාගේ අජීරණයට මතුරනවා.”  


මැතිරීම ආරම්භ කරන්නේ මෙවැනි මන්ත‍්‍රයකින් බව අප්පුහාමි ගුරුන්නාන්සේ සඳහන් කළේය.  


“ඕං රීං නාමා හස්තු-කයිරේ පේසුන්  
සුර වෙට්ටු අසුර මේල  
ඉගිල වා වා වා - ආකාසේ තරු ඉගිල වා වා  
බූ මස්තු බූමියෙන් - විනෙයි  
ඉගිල වා වා වා  
ඕ රාට්ට ඕං රූං මෙකුංගේ   
සරුවාංගේ ගැවසී තිබෙන යක්‍ෂ අජීරණ  
අංගුලි මාල අනින් වා වා වා  
බත් අජීරණ ඊෂ්වර අනින් ඉගිල වා වා වා  
බුලත් අජීරණේ විෂ්ණු දෙවියන් ඉගිල වා වා වා  
මස් අජීරණ බහිරව දෙවියන් ඉගිල වා වා වා  
කිරි අජීරණ කෙලක් මහ රහතුන් අනින් ඉගිල වා වා වා......”  


මෙලෙස ආරම්භ කරන මැතීරීම පැය දෙක තුනක් තිස්සේ සිදු කෙරෙන බවත් ඒ සඳහා භාවිතා වෙන්නේ මන්ත‍්‍ර තුන හතරක් පමණක් බවත් අප්පුහාමි ගුරුන්නාන්සේ පවසයි.  


මැතීරීම් කටයුතු අවසන් වීමෙන් පසුව පීරිසි කෝප්පයේ ඇඹුල් ටික ලෙඩාට බොන්නට දෙන අතර කෝප්පය මත තැබූ නූල් සත් පොට ගෙන එහි බුරුලට ගැසූ ගැට හත තද කිරීම සිදු කරනු ලබන බවත් එසේ සිදු කරනු ලබන්නේ තරුණියට හෝ කාන්තාවට බන්ධනය වූ යක්‍ෂයාට රිදවා ඔහු ඇගේ සිරුරෙන් පලවා හැරීමට බව ද ගුරුන්නාන්සේ සඳහන් කළේය. මතුරන්නට පෙර පිදේනිය මත තැබූ පොල් තෙල් ස්වල්පයක් ගෙන ගුරුන්නාන්සේ විසින්ම ලෙඩාගේ හිසේ සහ හන්දිපත්වල ගානු ලබන බවත් ඉතිරිය නිවසට ගෙන ගොස් රෝගියාටම වරින් වර ගා ගන්නා ලෙසට උපදෙස් දෙන බවද හෙතෙම සඳහන් කළේය.  


මෙම කටයුත්තෙන් කෙම්මුර තුනක් එනම් සති තුනක් ගිය තැන ලෙඩා සුව වූයේ නැත්නම් කටිනා ඍරූප රීරී යක් බලි තොවිලය නටන්න සූදානම් කරනවා.  


ඉන් පසුව සිදු වෙන දෑ පිළිබඳව අප්පුහාමි ගුරුන්නාන්සේ සඳහන් කළේ මෙසේය.  


“මේ තොවිලය නටන්න බලි රූප දෙකක් අඹනවා. තොවිලය නටන දවසට කලින් දවසේ තමා මේ බලි රූප අඹන්නේ. ඒවා අඹන්නේ සාමාන්‍ය මැටියෙන්. තොවිලයේ ප‍්‍රධාන ගුරුන්නාන්සේ තමා ඒ කටයුත්තත් සිද්ධ කරන්නේ. පළමුවෙන්ම කටිනා රූප බලිය හදනවා. ඒකට හොඳ ප‍්‍රවීණත්වයක් තියෙන්න ඕනෑ. එහෙම නැතිව බලියක් හදන්න බෑ. කටිනා රූප බලිය අඹන්නේ වාඩිවෙලා ඉන්න විදිහට. මුලින්ම ඒකට ලී දඬු අරගෙන පුටුවක් හදා ගන්නවා. ගෙදර පාවිච්චි කරන පුටු මේ සඳහා භාවිතා කරන්නේ නෑ. ඊට පස්සේ කටිනා රූපය අඹනවා. මේ අඹන්නේ කුවේණියගේ රූපය. විජය කුමාරයා ලංකාවට එනකොට කුවේණිය කපු කටිමින් ඉඳලා තියෙනවා. කුවේණිය යක්‍ෂ ගෝත‍්‍රික කාන්තාවක්. මෙන්න මේ කුවේණිය කියන යක්‍ෂණියට තමා මේ තොවිලයේ දොළ සහ පුළුටු පුදන්නේ. ඒ අනුහසින් යක්‍ෂ බන්ධනයට ලක් වුණ කාන්තාවගේ ලෙඩ සුව වෙනවා. දරු ඵල නැත්නම් දරු ඵල ලැබෙනවා. කුවේණියගේ රූපය අඹනකොට ඇය අසුන්ගෙන කපු කටිමින් ඉන්න විදිහට තමා ඇඹීම සිද්ධ කරන්නේ. දකුණු අත දකුණු කකුල පැත්තට බරවත් වම් කකුල වම් උරහිසටත් වඩා ටිකක් ඉහළට ඔසොවාගෙන ඉන්න විදිහත් නිරූපණය කරනවා. බලිය හැදුවම සාමාන්‍ය කාන්තා රූපයක් විදිහට තමා පේන්නේ. හැට්ටයක් ඇඳගෙන චීත්තයක් ඇඳගෙන ඉන්න විදිහට හදන මේ රූපය ඉතා ලස්සනට පාට කරනවා. හැබැයි ඒකේ ලස්සන බවක් නෑ. මොකද මේක බලි රූපයක්නේ. මේ බලියේ කකුල් දෙකට පිදෙන්නක් හදනවා. ඒ පිදෙන්නේ තට්ටුව උඩ තමා කකුල් දෙක තියාගෙන ඉන්නේ. පිදේනි තටුවට අවශ්‍ය අඩුම කුඩුම දාලා පා දෙක ළඟම කිරිබත් ගුලි දෙකකුත් තියලා තියෙනවා. දොළ කැවිලි පුළුටු සියල්ලෙන්ගෙන්ම මේ පිදෙන්න සම්පූර්ණ කරනවා. බලියේ අත් දෙකට නූලක් සම්බන්ධ කරනවා. ඒ නූල දිගටම අරගෙන ගිහිල්ලා ආතුරයගේ අතට තමයි දෙන්නේ.  


කටිනා රූප බලිය හැදුවට පස්සේ රීරී යක් බලිය හදන්න පටන් ගන්නවා. ඒ බලිය හදන්නේ කෝටුවලින් හදපු මැස්සක් උඩ. මේ බලි දෙකම සාමාන්‍ය මිනිස් සහ කාන්තා සිරුරුවලට තරමක් ආසන්න ප‍්‍රමාණයට තමයි හදන්නේ. ඒක හදන විදිහත් මෙන්න මෙහෙම කවියෙන් කියනවා.”  


“සත් වියත් දිග මැස්ස බඳිමින්   
 තුන් වියත් පළලින් ද ගන්නේ  
 ගත් එරන් පෑ සළුව බරණින්   
 ගොක් හෙලා සිව් කොණ තබන්නේ”  


“ඔය විදිහට කිව්වට පරිමාව තරමක් වැඩිවෙනවා. මැස්ස හදලා ඒ මැස්ස පොළෙවේ තමා තියෙන්නේ. ඒ මැස්ස උඩ තමා බලිය අඹන්නේ. මේක රීරී යක්‍ෂයාගේ බලිය. මිනිස් රූපයක හැඩයට සමානව ඔළුව හදලා ඒකේ මූණ යක්‍ෂයෙකුගේ විලාසයට හදනවා. ඇස් ගෙඩි දෙක එළියට පැනලා, දත් විළිස්සගෙන තව දත් දෙකක් දළ වගේ දෙපැත්තෙන් එළියට ඇවිත් තියෙනවා. මේවටත් එක එක පාට ගානවා. කලින් වගේම මේ බලිය අඹන්නත් ගුරුන්නාන්සේලා දෙතුන් දෙනෙක් මේ වැඩේට මහන්සි වෙනවා. යක්‍ෂයාගේ බඩ මැදින් පොඩි වළක් වගේ හාරලා ඒකට ලේ පුරවනවා. සාමාන්‍යයෙන් ලේ ලීටර් කාලකටත් අඩු ප‍්‍රමාණයක් තමා දාන්නේ. වඳුරු ලේ, මුව ලේ, ගෝන ලේ, ගිරා ලේ වැනි ලේ තමා මේ වැඩේට ගන්නේ. රීරී යක්‍ෂයා නිතරම බලාපොරොත්තු වෙන්නේ මිනිසුන්ගේ ලේ සහ මස්. එ් නිසා තමයි හැම දේකටම ලේ ගන්න සිද්ධ වෙන්නේ. ඒ දොළ පිදේනි හරියට නොදුන්නොත් යක්‍ෂයා ආතුරයගෙන් ගලවා ගන්න හරි අමාරුයි. මේ බලියේ එක අතක කඩුවකුත් තවත් අතක කුකුළෙකුත් අඹනවා. ඒ දෙකත් අවශ්‍ය විදිහට පාට කරනවා. දැන් මේ බලිය සිටගෙන ඉන්නේ එළුවෙකුගේ පිට උඩ. ඒ නිසා එළුවෙක් අඹලා ඒක උඩ යක් බලිය හිටගෙන ඉන්න විදිහට තමා හදන්නේ. ඒ අසලම ලේ ගොටු, කිරි ගොටු, මස් ගොටු ආදී සියලු දොළ අඩංගු පිදෙන්නකුත් හදනවා (පිදේනි තටුවක්). මේ සේරම වැඩ අවසන් කරලා හොඳට බලිය වේළෙන්න අරින්න ඕනෑ. ඊට පස්සේ කීප දෙනෙක් එක්ක එකතු වෙලා බොහෝම පරිස්සමට මේ බලිය පොඩි ආනතියක් ඇතිව කෙළින් කරලා කලින් සකස් කර ගත් අාධාරක සහිත ලීයක් මතින් තියනවා. මේක මුළුමනින්ම කෙළින් කරන්නේ නෑ. මේ වැඩ කටයුතුවලට මුළු ගමම සම්බන්ධ වෙනවා. හවස් වෙනකොට සෙනඟත් පිරෙනවා. ඒ අයට පුරුදු පරිදි කැවිලි පෙවිලිවලින් සංග‍්‍රහ කරනවා. ගුරුන්නාන්සේලා ඇතුළු ආවතේවකරුවන්ටත් රාත‍්‍රී ආහාරය සපයනවා. දැන් කටිනා රූප රීරී යක් බලි තොවිලය නටන්න සියල්ල සූදානම්.   


ඉතිරිය ලබන සතියට...  
දිගාමඩුල්ලේ  සමන් දිසානායක 



අදහස් (0)

දරු ඵල නැති අයට තනිකම් දෝෂයට නටන තොවිලෙ මෙන්න...

ඔබේ අදහස් එවන්න

රසවිත

අනේ පොඩි නැන්දා මට හුඟක් දවස් කාමරේ ඇතුළෙ ඉන්න වෙයිද?
2022 මාර්තු මස 26 10905 0

හීන් නෝනා දියණිය දෙස බැලු‍වේ කරදර දෑසිනි. දුරකථනය හරහා ආවේ සුබ පණිවිඩයක් නොවන බැව් ඇගේ මුහුණ කියා පෑවේය. “කවුද කතා කෙරුවේ..?” හීන් නෝනා විමසුවාය. “අයිය


යෙලෝ බීට්ස් කියන්නේ කවුද ?
2022 මාර්තු මස 26 6203 0

මෙවර U Tube ලෝකය තුළින් ඉරිදා ලංකාදීපයෙන් කතාබහ කරන්න හිතුවේ සමාජ මාද්‍ය ඔස්සේ අතිශය ජනප්‍රිය Girls Voice Band එකක් පිළිබඳව. ඒ Yellow Beats කණ්ඩායම කුෂිනි ප්‍රවින්ද්‍යා, දි


පුරාණ රජ කාලේ වීදුරු හැදූ ‘පබුලුගම’
2022 මාර්තු මස 26 5917 0

ශ්‍රී ලංකාවේ පබලු භාවිතය පිළිබඳ පුරාණතම සාධක අයත් ​ෙවන්නේ ප්‍රාග් ඓතිහාසික යුගයටය. ක්‍රි.පූ. (900-600) අතර මුල් යුගයේදී ජනතාව පබලු භාවිතය සුලබව සිදුකොට ඇති


වෘන්දා වනයේ පෙම්මල් විසිරේ...
2022 මාර්තු මස 26 5225 0

හින්දු පුරාණයට අනුව විෂ්ණු දෙවි යනු ලොව සුරකින්නාය. ලෝකයේ තිර පැවැත්ම පිණිසත්, ධර්මය රැකීමටත්, අදමිටුවන් විනාශ කිරීමටත් වරින්වර විෂ්ණු ලොව පහළවන බව මහ


බිම් බෝම්බය පිපිරෙද්දී ගෙදරට පණිවිඩයක් දුන් ව්‍යාපාරිකයා
2022 මාර්තු මස 26 3227 0

මසින් ලෙයින් නිර්මිත මසැසට භෞතික ලෝකයේ බොහෝ සංසිද්ධි දැක ගත හැකි වුවත් ඉන් එහා ඇති අවිඥාණික දේ පෙනෙන්නේ නැත. භූගත පෘෂ්ඨ වංශික ඇතැම් සතුන් හැරුණු විට සෙ


නූතන ශාසන ප්‍රබෝධයේ ශාස්ත්‍රවන්තයා සිටිනාමළුවේ මහ තෙරිඳු
2022 මාර්තු මස 26 1702 0

සිත්තම්ගල ගල් ලෙන බලන්නට මී ආතා “බරින්දු” එක්ක ගෙන ගියේ ගැල් කරත්තයෙන්ය. “අපේ ‍රැහේ උන් තමයි දරුවෝ මෙතන නැණපිල පටන් ගෙන සාහිත රස බෙදුවේ.” එදා මී ආතා කී ක


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 223 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1538 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1433 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site