IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


චන්ද්‍රිකා සහ රත්වත්තේ ඝාතනය කරන්න ආ සිංහල කොටි නායකයා කියන කතාව

රට හෙල්ලූ සිදුවීමක 
අඩි සලකුණු දිගේ...

මව මිය යාමෙන් පසු තාත්තා කැන්දාගෙන ආ කුඩම්මාගෙන් සිදුවූ හිරිහැර හිංසා පීඩා ඉවසා සිටීමට නොහැකිව අවුරුදු 11දී එල්ටීටීඊ සංවිධානයට ළමා සොල්දාදුවකු වශයෙන් බැඳුණු ඔහු අවසානයේ නැවතුණේ එම සංවිධානයේ බුද්ධි අංශයේ නායකයකු ලෙසය.  
සිංහල ජාතික පියකුට දාව දමිළ ජාතික මවකට උපන් නිසා ඔහු සිංහල ජාතිකයෙක් විය.   


උප්පැන්න සහතිකයේ අදටත් ඇත්තේ සිංහල නමය.   


සිංහල ජාතිකයකු වූ නිසාම ඔහුට හොඳින් සිංහල භාෂාව හැසිරවීමට හැකියාව ඇති ඒ වාගේම දමිළ භාෂාව ද හැසිරවීමට පුළුවන.   
එහෙත් ඔහු එල්ටීටීඊ සංවිධානයට එක්වූ පසු සිංහලකම එහෙමම තිබියදී තවත් නමක් ලබාදී ඇත.  

 


ඒ නම එල්ටීටීඊය විසින් ලබාදුන් එකකි. 

 
සිංහල නමට මෙන්ම දමිල නමට ද ඔහුට ජාතික හැඳුනුම්පත් දෙකක්ම ලබාදීමට මැදිහත්ව ඇත්තේ එල්ටීටීඊයට හිතවත් නියෝජිතයකු​ෙග් මාර්ගයෙනි.  


සිංහල පෙනුමක් තිබූ නිසාම මෙන්ම සිංහල භාෂාව හොඳින් කතා කිරීමට තිබූ හැකියාවද සැලකිල්ලට ගනිමින් එල්ටීටීඊ බුද්ධි අංශයේ නායකයාව සිටි පොට්ටු අම්මන් විසින් ඔහුව බුද්ධි අංශයට බඳවා ගනු ලැබ තිබේ.   


අවුරුදු 11ක පමණ වයසේ පසුවෙද්දී එල්ටීටීඊයට බැඳුණු ඔහු නුවරඑළිය බුද්ධි අංශයේ නායකයා ලෙස අභිෂේක ලබා පැමිණෙන්නේ ඔහුට වගකීම් රැසක් පැවරීමෙන් පසුවය.   


වන්නියේ සිට නුවරඑළියට පැමිණෙද්දී ඔහු පසුවුයේ තරුණ වයසේය.   


මෙතැන් සිට අප ඔහුව ඔබට හඳුන්වා දෙන්නේ සිංහල නමින් නොව දෙමළ නමින්ය.   


ඔහුගේ දෙමළ නම වනුයේ කන්දයියා සුරේෂ් කුමාරය.   


සුරේෂ් කුමාර පදිංචිව සිටින්නේ නුවරඑළිය දිස්ත්‍රික්කයේ ගම්මානයක ය.   


දැන් ඔහු හොඳ විදුලි කාර්මික ශිල්පියකු වන්නේය.   


සුරේෂ් කුමාර් පොලිස් අත්අඩංගුවට පත්වන්නේ එවකට නුවරඑළිය දිසා ආරක්ෂක සම්බන්ධීකරණ ඒකකයේ පොලිස් පරීක්ෂක සුදත් ​ෆොන්සේකා මහතාට ලැබුණු පෞද්ගලික ඔත්තුවකට අනුව ක්‍රියාත්මක වීමෙනි.   


පොලිස් පරීක්ෂක ෆොන්සේකා මේ වනවිට රාජකාරි කරන්නේ වවුනියාව සහ මන්නාරම දිසා භාර නියෝ්‍ජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා යටතේ පිහිටුවා ඇති බුද්ධි අංශයේ ස්ථානාධිපතිවරයා ලෙසය.   


නුවරඑළිය දිස්ත්‍රික්කයේ එල්ටීටීඊ බුද්ධි අංශ නායක සුරේෂ් කුමාර් පොලිස් පරීක්ෂක සුදත් ෆොන්සේකා මහතා ප්‍රධාන පොලිස් කණ්ඩායමක් විසින් අත්අඩංගුව ගනු ලැබ ඇත්තේ 1997 වසරේ අප්‍රේල් මාසයේ දිනකය.   


පොලිස් පරීක්ෂක එල්.ඒ.එම්. කරුණාසේන මහතාද සැකකරු අත්අඩංගුවට ගැනීමට ​ෆොන්සේකා මහතා සමඟ ​ෙගාස් තිබිණි.      
සුරේෂ් කුමාර් පොලිස් අත්අඩංගුවට ගත් පසු ඒ සම්බන්ධව වැඩිදුර සිදුකර ඇත්තේ මධ්‍යම පළාත් ත්‍රස්තවාදී විමර්ශන ඒකකයේ සහකාර පොලිස් අධිකාරී කේ.එම්. එච්.බෝවල මහතා මහතාය. 

 
මේ වනවිට විශ්‍රාම සුවයෙන් පසුවන බෝවල මහතා ද දැනටත් පොලිස් රාජකාරියේ නිරතව සිටින පොලිස් පරීක්ෂක ෆොන්සේකා සහ පොලිස් පරීක්ෂක කරුණාසේන මහත්වරු මධ්‍යම පළාත් කොටි ක්‍රියාකාරකම් මැඬලීම සිදුකර ඇති සුවිශේෂ මෙහෙවරක් ඉටුකර ඇති දක්ෂ පොලිස් නිලධාරීන් වෙති.   

 

 

ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිනිය සහ රාජ්‍ය ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍යවරයාව සිටි ජෙනරාල් අනුරුද්ධ රත්වත්තේ මහතා නුවරඑළිය ජනාධිපති මැදුරට පැමිණි අවස්ථාවක ඝාතනය කිරීමට සැලසුම් කිරීම, නුවරඑළිය මූලස්ථාන පොලිසියට ආසන්නයේ අධිබලැති ක්ලෙමෝ බෝම්බ අටවා පොලිස් නිලධාරීන් සිය ගණනක් එකවර ඝාතනය කිරීමට සැලසුම් කිරීම හා වවුනියාවේ ජෝශප් හමුදා කඳවුරට කාලතුවක්කු ප්‍රහාර එල්ල කිරීමට අවශ්‍ය තොරතුරු එල්ටීටීටීඊ නායකයින්ට සැපයීම සම්බන්ධයෙන් සුරේෂ් කුමාර් අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමේදී අනාවරණය වී ඇත. 

 
සුරේෂ් කුමාර් අවස්ථා දෙකකදී වේලුපිල්ලේ ප්‍රභාකරන් මුණගැසී ඔහුත් සමඟ එකට වාඩිවී දිවා හෝජන සංග්‍රහවලට පවා ගිය කොටි නායකයෙකි.   


හිටපු ජනාධිපතිනිය හා අනුරුද්ධ රත්වත්තේ මහතා ඝාතනය කිරීමට අවශ්‍ය තොරතුරු එක්රැස් කර ගැනීමේදී එවකට නුවරඑළිය මූලස්ථාන පොලිසියේ රාජකාරි කළ දෙමළ පොලිස් කොස්තාපල්වරුන් තිදෙනකුගේ සහාය සුරේෂ් කුමාරට ලැබී ඇති අතර පොලිස් කොස්තාපල්වරුන් තිදෙනා පොලිස් සේවයට එක්වීමට කලින් එල්ටීටීඊ සාමාජිකයන් ලෙස ගරිල්ලා සටන් පුහුණුව ලැබූවන් බව පොලිස් පරීක්ෂණවලින් අනාවරණය වී තිබිණි.   


මෙම පොලිස් කොස්තාපල්වරුන් තිදෙනා ද ඇතුළුව සුරේෂ් කුමාර්ට සහාය වූ කාන්තාවක් ඇතුළු 11 දෙනෙක් නුවරඑළිය ආරක්ෂක සම්බන්ධීකරණ ඒකකය මගින් 1994 වසරේදීම අත්අඩංගුවට ගනු ලැබූහ.   


අධිකරණය හමුවේ පැවතී නඩු විභාගයේදී සුරේෂ් කුමාර් ඔහුට නඟා ඇති චෝදනාවලට වරද පිළිගැනීම නිසා වසර පහක සිර දඬුවමක් නියම කර තිබේ.   


සිර දඬුවම විඳ නිදහස් වී පැමිණි ඔහු ජීවත්වීමට තෝරා ගත්තේ වඩු කාර්මික ශිල්පය වන්නේය.   


විශ්‍රාමික සහකාර පොලිස් අධිකාරී බෝවල මහතාද සමඟ පසුගිය සති අන්තයේදී නුවරඑළිය බලා ගියේ නුවරඑළිය කොටි බුද්ධි අංශ නායකයා මුණගැසී ආගිය තොරතුරු කතාබහ කිරීමටය. 

 
තද වර්ෂාපතන සහ ඝන මීදුම අතරින් පරිස්සමට සීතලෙන් ගැහෙමින් තිබූ නුවරඑළිය නගරයට අප කැඳවාගෙන ගියේ ලංකාදීප ප්‍රවාහන අංශයේ ශ්‍රීමාල් ය.   


සිංහල ජාතික කොටි බුද්ධි අංශයේ නුවරඑළිය නායකයා හා අප අතර හමුවීම සිදුවූයේ නුවරඑළියේ පිහිටි නිවාඩු නිකේතනයේදීය.   
කොටි බුද්ධි අංශ නායකයා කියන කතාව මෙතැන් සිට කියවමු.   


මගේ තාත්තා රියැදුරෙක්. ඒවගේම සිංහල ජාතිකයෙක් තාත්තාගේ උපන් ගම වැලිමඩයි. රැකියාවට ත්‍රිකුණාමලයට ගියා. එහිදී දැන හඳුනාගත් ද්‍රවිඩ කාන්තාවක වන මගේ අම්මා එක්ක විවාහ වෙලා තිබෙනවා. මම පවුලේ වැඩිමලා. මට මල්ලිලා තුන් දෙනෙක් ඉන්නවා. නංගි කෙනෙකුත් ඉන්නවා. මගේ අම්මා මියගියාට පස්සේ තාත්ත තවත් විවාහයක් කර ගත්තා. ඒ වෙන කවුරුවත් නොවේ අම්මාගේ නංගී. අපිට ආදරයෙන් රැක බලා ගන්නා බලාපොරොත්තුව මත තබා තාත්තා ඇය විවාහ කරගෙන තිබෙන්නේ. කුඩම්මාට දරුවකු ලැබුණට පස්සේ අපිට හරියට වෙනස්කම් කරන්න පටන් ගත්තා. කුඩම්මාට දෙවැනි දරුවා ලැබුණට පස්සේ ඒ වෙනස්කම් තවත් වැඩිවුණා. නිතරම අපට හිරිහැර කරදර කරනවා පහර දෙනවා. මම ඒ වෙනකොට මුතුර් සෙන් ඇන්තනි විද්‍යාලයේ තෙවැනි වසරේ ඉගෙන ගන්නවා. මට කුඩම්මාගේ කරදර හිරිහැර නිසා මට ගෙදර ඉන්න එක එපා වෙලා තිබුණේ. කුඩම්මා බොහොම සැර පරුෂ ගැහැනියක්. මගේ අම්මා මිය ගියේ බාලම මල්ලි හම්බ වෙන්න ගිහින්. ඒක මට කියන්න අමතක වුණා.   


කුඩම්මා එක්ක රණ්ඩුවෙනවා කියා තාත්තා මට දවසක් හොඳටම ගැහැව්වා. තාත්තා බෞද්ධාගමේ වුණාට අපිට ආගම දහම ගැන කියා දුන්නේ නැහැ. අම්මා හින්දු අම්මා වුණත් එයාගේ ආගම දහම ගැන කියා දුන​්නේ නැහැ. සමහරවිට ආගම දහම ගැන කියා දුන්නානම් මම එල්ටීටීඊයට නොයන්න ඉඩ තිබුණා. හොඳට ඉගෙන ගෙන හොඳ රස්සාවක් කරන්නත් ඉඩ තිබුණා. මම එල්ටිටීඊ එකට බැඳුණේ කුඩම්මාගේ කරදර නිසා. මට ගෙදර ඉන්න එක එපාවෙලා තිබුණ නිසයි. තාත්තා වුණත් අපි ගැන එච්චර සොයා බැලුවේ නැහැ. ඒ නිසා එල්ටීටීඊයට බැඳෙන්න තීරණය කළා.   


සුරේෂ් කුමාර් එල්ටීටීඊයට බැඳීමට හේතුවූ කරුණු කාරණා ගැන අපිත් එක්ක කිව්වේ එහෙමය.   


 

එල්ටීටීඊ සංවිධානයට බැඳෙන්න ගිය හැටි ගැන සුරේෂ් කුමාර් අපිත් එක්ක තොරතුරු දක්වමින් කිව්වේ මෙවැනි කතාවකි. 

 
අපි දැන් ඒ කතාවට සවන්​ දෙමු.   


‘මගේ මතකයේ හැටියට 1988 වසරේ මා ඉගෙන ගත්තේ හතේ පන්තියේ. අපේ ඉස්කෝලේම සලීම් කියා යහළුවෙක් හිටියා. එයා ඒ වෙනකොට හිටියේ 10 වැනි පන්තියේ. සලීම් කියන මේ මුස්ලිම් මිතුරා අපේ පන්තියට විවේක වේලාවට ආවා. එල්ටීටීඊ යට බැඳෙන්න උඹලා කැමතිද කියා අපෙන් ඇහුව. එල්ටීටීඊයට බැ​ඳුණොත් හොඳට සල්ලි හොයන්න පුළුවන් කියා සලිම් අපට කිව්වා. ගෙදර එපාවෙලා හිටිය නිසා මම එක පාරටම කැමතියි කියා අත් දෙකම ඔසවා කිව්වා අද වගේ මතකයි. මගේ පන්තියේ හිටිය තවත් ළමයින් හතර දෙනෙක් එල්ටීටීටීඊයට බැඳෙන්න කැමැත්ත පළ කළා එක ළමයකුගේ තාත්තා කෝවිලක පූසාරි කෙනෙක්.   


සලිම් අපිට එල්ටීටීටීඊයට බැඳෙන්න කතා කරලා දවස් තුනකට විතර පස්සේ ඉස්කෝලේ ඉවර වෙලා අපි හය දෙනා ගෙවල්වලට හොරෙන් ඉස්කෝල ඇඳුම පිටින්ම මුතූර්වල ඉඳලා වෙරුගල්වලට බස් එකක නැගලා ගියා. ඒ මමයි සලීම් කරුණාමුර්ති ජෙගන් සුදත් හා ශංකර් කියන ම​ෙග් පන්තියේ යහළුවන් තමා එල්ටීටීඊයට බැඳෙන්න ගියේ. වෙරුගල්වලට අපි හයදෙනා යද්දී රැවෙලා තිබුණා. තේ කඩයක් ළඟට වෙලා ඉන්න වෙලාවේ එල්ටීටීටීඊ එකේ කට්ටියක් ට්‍රැක්ටරයකින් කඩේ ළඟට ආවා. ඒක ලොකු ට්‍රැක්ටරයක් ඔවුන් කළුපාට ඇඳුම් ඇඳගෙන හිටියේ. ඒ කට්ටිය එතන හිටිය කෙනෙක් පෙන්නලා කිව්වා මේ ඉන්නේ ඊච්චලන්පත්තුව කොටි නායකයා කියා. ඔහුගේ නම මේජර් බර්නාඩ් කියා පසුව දැන ගත්තා. අපි කිව්වා අපි අාවේ ඔයගොල්ලන්ගේ සංවිධානයට බැඳෙන්න කියා. කකුල් අතපය එහෙම කැඩිලා ආබාධ වෙච්ච අය ඉන්නවද කියා කොටි මේජර් අපෙන් ඇහව්වා. අපි නැහැ කියා කිව්වාම අපිට ට්‍රැක්ටරයට ගොඩවෙයල්ලා කියා අණ කළා. අපි ට්‍රැක්ටරයට ගොඩවුණාට පස්සේ ඇස් රෙදි පටිවලින් බැන්දා. 

 
ඊට පස්සේ මොකද වුණේ  


ඒ ප්‍රශ්නයටත් පිළිතුරු අපි සුරේෂ් කුමාර්ගෙන්ම අසා දැන ගනිමු.   


ඇස්වලට බැඳ තිබූ රෙදි පටි ගලවා ගනිල්ලා අපිත් එක්ක හිටිය කොටියෙක් කිව්වාට පස්සේ අපි රෙදි පටි ගලවා ගත්තා. එතකොට අපි හිටියේ එල්ටීටීටීඊ කෑම්ප් එකක අපේ කොණ්ඩය කොටවෙන්නම කැපුවා. ඒ කෑම්ප් එකේ කලින් පුහුණුවූ කොටි 200ක් විතර හිටියා. පොඩි ළමයින්ද ඒ අතර හිටියා. අලුතින් බැඳුණු අයත් 75 ක් විතර හිටියා. මට මතකයි කොට කලිසමක් ඇඳගත්ත අපි සේරම දුන්නා. උඹලා එකෙක්වත් පැනලා යන්න හදන්න එපා. පැනලා ගිහින් අහුවුනොත් ගහලා මරනවා, වෙඩි තියනවා කියා කිව්වා. කැලේ ඇතුලේ බෝම්බ අටවා තියෙනවා. පැනලා ගියොත් ඒ බෝම්බ පෑගිලා පුපුරා ගිහින් උඹලා මැරෙන්න පුළුවනි කියා කොටි මේජර් බර්නාඩ් නමැත්තා කිව්වා. පුහුණුවෙන අතරවාරයේ කෑම්ප් එකෙන් පැනලා ගිය පොඩි ළමයි කිහිප දෙනෙක්ම කැලේ අටවා තිබුණ බෝම්බ පුපුරා මිය ගියා. පැනලා යද්දී අල්ලාගෙන ආපු ළමයින්ට අතපය කැඩෙනකම් ​ෙපාලුවලින් ගසා අඳුරු කාමරවලට දානවා. අනික් අයට පේන්නත් එක්කමයි. ගහන්නේ කිසිම සමාවක් නැහැ.   


පුහුණුවීම් ලබාදෙන ආකාරය ගැන සුරේෂ් කුමාර් කිව්වෙ මෙහෙම කතාවකි:   


අපට පුහුණුවීම් ලබා දුන්නේ අරුල් බේස් කියන කොටි කඳවුරේ. පුහුණුවෙන කාලය තුළ හැමදාම උදේ 6.00 වෙනකොට දුවන්න ඕනෑ. දුවන ගමන් එක්සයිස් කරන්නත් ඕනා. උදේ 9.30ට තමා නතර කරන්නේ. ඊට පස්සේ කැම හා​ තේ දෙනවා. අයෙත් දහවල් 12.30ට දහවල් කෑම දෙනවා. එතකම් පංති පවත්වනවා. එලියන් හා ඉලං​ෙගා්වන් කියන කොටි නායකයන් දෙදෙනා තමා පංති පවත්වන්නේ. අපි ආයුධ පුහුණුවීම් ලබා දෙන්නෙත් ඒ දෙන්නා අපේ කණ්ඩායමේ සිංහල ළමයි හත්අට දෙනකුත් පුහුණුවීම් ලබා ගත්තා. මේ ළමයින්ගේ අම්මා සිංහල තාත්තා දෙමළ එහෙමත් නැතිනම් අම්මා දෙමළ තාත්තා සිංහල මාස තුනක් මේ විදිහට අපි පුහුණුවීම් කළා.    
පුහුණුවීම් වලින් පස්සේ අපේ කණ්ඩායමේ හිටිය 75 දෙනාගෙන් 10 ​ෙදනෙක් තෝරාගෙන යාපනය චුන්නාකම්වලට අරගෙන ගියා. අපිව කළු පාට ජිප් එකක දමාගෙන අරගෙන ගියේ. අපිව අරගෙන ගියේ ගෙදරකට. ඒ ගෙදර අයිතිකාරයා නඩරාජ් කියා කෙනෙක්. ඔහු වවුනියාව ලංකා බැංකුවේ ලිපිකරුවෙක් බව දැන ගත්තා. මාව විතරක් ඒ ගෙදර නැවැත්තුවා. කපිල් අම්මාන් කියන්නේ කොටි බුද්ධි අංශයේ නියෝජ්‍ය නායකයා. ඔහු මට සිංහල හා දෙමළ පොත්පත් කියවන්න ගෙනත් දුන්නා. වියට්නාම යුද්දේ ගැන ලියවුණු පොත් පවා ඒ අතර තිබුණා. දවසක් කපිල් අම්මාන් මට ලොකු පොතක් ගෙනත් දුන්නා. එක දෙමළෙන් ලියවුණු පොතක්. රහසිගතව ඔත්තු සොයන ආකාරය තමා ඒ පොත ලියා තිබුණේ. ඔත්තු බලා සිතියම් අඳින ආකාරය ගැනත් ඒ පො​ෙත් විස්තර වී  ලියවී තිබුණා. මා ඒ පොත කිහිපවරක්ම කියවා හොඳ දැනුමක් ලබා ගත්තා. මාව කොටි බුද්ධි අංශ සාමාජිකයෙක් ලෙස බඳවා ගත්තේ සිංහල තරුණයෙක් නිසයි. ඒ වගේම දෙමළත් හොඳට පුළුවන් නිසයි.   


අවුරුදු 4 1/2ක කාලයක් බුද්ධි අංශයේ සාමාජිකයෙක් විදිහට වැඩ පුහුණුවක් ලබාගෙන තිබෙනවා.   


සුරේෂ් කුමාර් වවුනියාවට කැඳවාගෙන පැමිණි නඩරාජ් ඔහුට වෑල්ඩිං වැඩ හා ශීතකරණ අලුත් වැඩියාව සම්බන්ධයෙන් පුහුණු කිරීමට පියවර ගෙන ඇත්තේ කපිල් අම්මාන්ගේ උපදෙස් මතය.  


මම වවුනියාවේ වැඩ පලකින් ප්‍රිජ් හදන්නත් වෑල්ඩිං වැඩත් හොඳට ඉගෙන ගත්තා. ඊට පස්සේ මාව නඩරාජ් සිංහල අයකුගේ කඩයක වැඩට යැව්වා. මම මගේ නියම සිංහල නමින් තමා පෙනී සිටියේ. ඒ කඩේ අයිතිකරු සිංහල කෙනෙක්. සිංහල ජාතිකයාට අයිති ඉලෙක්ට්‍රික් බඩු කඩේට මාව වැඩට දැම්මේ බැංකුවේ නඩරාජා කියන මහත්තයා. කඩේ අයිතිකරු මම කොටි බුද්ධි අංශයේ කෙනෙක් කියා දැනගෙන හිටියේ නැහැ. නඩරාජා මහත්තයාගේ හැඳුනුම්කම් නිසයි මාව ඔහුගේ කඩේ වැඩට ගත්තේ යැයි පැවසු සුරේෂ් කුමාර් වවුනියාවේ  ඒකාබද්ධ මෙහෙයුම් මූලස්ථාන ජෝශප් කැම් කඳවුරට ප්‍රහාරයක් එල්ල කිරීමට අවශ්‍ය තොරතුරු සොයා බලා සැලසුම් කළ ආකාරය සම්බන්ධයෙන් අප සමග තොරතුරු හෙළි කළේ මෙසේය.   


 සිංහල ජාතිකයාට අයිති ඉලෙක්ට්‍රික් බඩු කඩේ මම වැඩ කළා. කඩේ මුදලාලි මට හරිම ආදරෙයි. වවුනියාව ජොශප් හමුදා කඳවුරේ වතුර මෝටර් කැඩුනාම ප්‍රිජ් කැඩුණාම ඒවා හදන්න යන්නේ මම. ඒ හින්දා හමුදාවේ මහත්වරු සේරම වගේ මාව ​හොඳට හඳුනනවා. මම කෑම්ප් එකට ගියාම චෝපර් ලෑන්ඩ් කරන තැන් අවි ගබඩා තියන තැන් බලාගෙන ඇවිත් රෑට කාටත් හොරෙන් ඒ තියන තැන්වල රූප සටහන් අඳිනවා. ඒ හමුදා කෑම්ප් එකේ පිහිටීම අපි ආයුධ ගබඩාකර තියෙන තැන් හෙලිකොප්ටර් ලෑන්ඩ් කරන සිතියම් ගත කරලා ඒවා බැංකුවේ මහත්තයාගේ මාර්ගයෙන් පොට්ටු අම්මාන්ට යැව්වා. මම දුන් ප්ලෑන් වලට අනුව එල්ටීටිඊ එකෙන් ජෝශප් හමුදා කඳවුරට කාලතුවක්කු ප්‍රහාර එල්ල කර තිබුණා. හැබැයි ඒ වෙනකොට මම නුවරඑළිය දිස්ත්‍රික්කයේ කොටි බුද්ධි අංශ නායකයා වෙලා ඇවිත් හිටියේ. වවුනියාව පොලිසියේ හා ඒ ප්‍රදේශයේ තියන පොලිස් මුර පොළවල් ගැන පවා මම ඔත්තු බලා සිතියම ඇඳ එ් වෙනකොට පොට්ටු අම්මාන් අතට පත් කරලා තිබුණා.   


වවුනියා​ෙව් ජංගම කඳවුරු ගැනත් මම ඔත්තු බලා සිතියමක් ඇඳ පොට්ටු අම්මාන්ට යවා තිබුණා. වවුනියාව ප්ලොට් කඳවුරට ප්‍රහාරයක් එල්ල කළෙත් මගේ ප්ලෑන් එකට අනුව යැයි ද සුරේෂ් කුමාර් පවසයි.   


වවුනියාව හමුදා කඳවුර සංකීර්ණය හා වවුනියාව ප්ලොට් කාර්යාලයට ප්‍රහාර එල්ල කළ දින වකවානු කියන්නට ඔහුට දැන් මතකයක් නොමැත. 

 
ඒ වනවිට ඔහු නුවරඑළිය දිසාවේ බුද්ධි අංශ නායකයා ලෙස පත්කර එවා තිබුණි.  


කොටි බුද්ධි අංශ නායකයා පොට්ටු අම්මාන් කැඳවීමක් අනුව යාපනයට ගිය සුරේෂ් කුමාර්ට එහිදී පොට්ටු අම්මාන් හා කපිල් අම්මාන් ලොකු වගකීමක් පවරා ඇත.   


ඒ එසේ මෙසේ වගකීමක් නොව නුවරඑළිය ජනාධිපති මැදුරට නිතර යන එන එවකට ජනාධිපතිනිය සිටි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිනිය හා ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍යවරයා සිටි ජෙනරාල් අනුරුද්ධ රත්වත්ත මහතා ඝාතනය කිරීමට අවශ්‍ය ඔත්තු බලා සැලසුමක් සකස් කිරීමට කොටි බුද්ධි අංශ නායකයන් දෙදෙනාට පවරා ඇති වගකීම වන්නේය.   


ඊට අමතරව වසන්ත සමයේ නුවරඑළියේ විශේෂ රාජකාරී සඳහා පිට පළාත්වලින් විශේෂ සේවා පොලිස් කණ්ඩායම් නුවරඑළිය මූලස්ථාන පොලිසියට පැමිණෙන නිසා එවැනි අවස්ථාවක් බලා ක්ලේමෝ බෝම්බ අටවා ඒවා පුපුරවා හැර එක්වර පොලිස් නිලධාරින් සිය ගණනක් ඝාතනය කිරීමට ඇතුළු ප්‍රභූ ඝාතන කිරීමට අවශ්‍ය තොරතුරු එක්රැස් කර කොටි බුද්ධි අංශ නායකයන් දෙදෙනා අතට පත් කිරීමට ද සුරේෂ් කුමාර්ට පවරා ඇති අනෙකුත් වගකීම් විය.   


ජනාධිපති චන්ද්‍රිකා මැතිනිය හා ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය ජෙනරාල් අනුරුද්ධ රත්වත්තේ මහතා ඝාතනය කිරීමට අවශ්‍ය සැලසුම් කිරීමට ද්‍රවිඩ උප සේවා කොස්තාපල්වරුන් තිදෙනකුගේ සහාය ලබාගත් අන්දම ගැනත් අවස්ථා දෙකක දී ප්‍රභාකරන් හමුවවීමට යාම ගැනත් තොරතුරු ඊළඟට කියවමු. 

 
මේ සඳහා සහායකරගත්තේ පොලිස් නිලධාරීන් තිදෙනා පොලිසියට බැඳිමට කලින් එල්ටීටීඊ ගරිල්ලා සටන් පුහුණුව ලබාගත් අයවන අතර ඔවුන් තිදෙනා පොලිසියට බැඳී ඇත්තේ ද පොට්ටු අම්මාන්ගේ උපදෙස් මතය.

 

 


(මතු සම්බන්ධයි)

 

 

 

 

 


සටහන - ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය   
ඡායාරූප - මාදම්පේ ලක්ෂ්මන් හෙට්ටිතන්ත්‍රී   



අදහස් (0)

චන්ද්‍රිකා සහ රත්වත්තේ ඝාතනය කරන්න ආ සිංහල කොටි නායකයා කියන කතාව

ඔබේ අදහස් එවන්න

රසවිත

අනේ පොඩි නැන්දා මට හුඟක් දවස් කාමරේ ඇතුළෙ ඉන්න වෙයිද?
2022 මාර්තු මස 26 10908 0

හීන් නෝනා දියණිය දෙස බැලු‍වේ කරදර දෑසිනි. දුරකථනය හරහා ආවේ සුබ පණිවිඩයක් නොවන බැව් ඇගේ මුහුණ කියා පෑවේය. “කවුද කතා කෙරුවේ..?” හීන් නෝනා විමසුවාය. “අයිය


යෙලෝ බීට්ස් කියන්නේ කවුද ?
2022 මාර්තු මස 26 6205 0

මෙවර U Tube ලෝකය තුළින් ඉරිදා ලංකාදීපයෙන් කතාබහ කරන්න හිතුවේ සමාජ මාද්‍ය ඔස්සේ අතිශය ජනප්‍රිය Girls Voice Band එකක් පිළිබඳව. ඒ Yellow Beats කණ්ඩායම කුෂිනි ප්‍රවින්ද්‍යා, දි


පුරාණ රජ කාලේ වීදුරු හැදූ ‘පබුලුගම’
2022 මාර්තු මස 26 5918 0

ශ්‍රී ලංකාවේ පබලු භාවිතය පිළිබඳ පුරාණතම සාධක අයත් ​ෙවන්නේ ප්‍රාග් ඓතිහාසික යුගයටය. ක්‍රි.පූ. (900-600) අතර මුල් යුගයේදී ජනතාව පබලු භාවිතය සුලබව සිදුකොට ඇති


වෘන්දා වනයේ පෙම්මල් විසිරේ...
2022 මාර්තු මස 26 5231 0

හින්දු පුරාණයට අනුව විෂ්ණු දෙවි යනු ලොව සුරකින්නාය. ලෝකයේ තිර පැවැත්ම පිණිසත්, ධර්මය රැකීමටත්, අදමිටුවන් විනාශ කිරීමටත් වරින්වර විෂ්ණු ලොව පහළවන බව මහ


බිම් බෝම්බය පිපිරෙද්දී ගෙදරට පණිවිඩයක් දුන් ව්‍යාපාරිකයා
2022 මාර්තු මස 26 3227 0

මසින් ලෙයින් නිර්මිත මසැසට භෞතික ලෝකයේ බොහෝ සංසිද්ධි දැක ගත හැකි වුවත් ඉන් එහා ඇති අවිඥාණික දේ පෙනෙන්නේ නැත. භූගත පෘෂ්ඨ වංශික ඇතැම් සතුන් හැරුණු විට සෙ


නූතන ශාසන ප්‍රබෝධයේ ශාස්ත්‍රවන්තයා සිටිනාමළුවේ මහ තෙරිඳු
2022 මාර්තු මස 26 1702 0

සිත්තම්ගල ගල් ලෙන බලන්නට මී ආතා “බරින්දු” එක්ක ගෙන ගියේ ගැල් කරත්තයෙන්ය. “අපේ ‍රැහේ උන් තමයි දරුවෝ මෙතන නැණපිල පටන් ගෙන සාහිත රස බෙදුවේ.” එදා මී ආතා කී ක


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 235 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1550 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1453 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site