IMG-LOGO

2024 අප්‍රේල් මස 23 වන අඟහරුවාදා


කෝට්ටේ යුගයේත් බොදු වෙහෙරක් තිබුණු වත්තල හන්දිය

මීගමුව - හලාවත මාර්ගයේ හමුවන වත්තල වර්තමානයේ අතිශය ජනාකීර්ණ ප්‍රදේශයකි. මාර්කට් හන්දිය, ගාල හන්දිය, හැඳල හන්දිය, මාබෝල හන්දිය යන හන්දි හතරකින් වත්තල සමන්විතය. මේ හන්දිවලින් ප්‍රධාන නගරය ලෙස සලකනු ලබන්නේ හැඳල හන්දියයි. 

වත් + හල = වස්ත්‍ර ශාලාව යන අරුතින් වත්තල යන්න නිරුක්තිය වූ බව වත්තල පුරාණය ගැන දන්නා පැරැන්නෝ පවසති.  

සාහිත්‍යයේ ස්වර්ණමය යුගය වශයෙන් හඳුන්වනු ලබන කෝට්ටේ යුගයේ රචිත හංස සංදේශයේ ද වත්තල පිළිබඳව සඳහන්ව ඇත.   
“වත්තල වෙහෙර වැඩහුන් වාන වාසයෙහි” යන පද්‍ය පංතිය තුළින් වත්තල එදා පැවැති බෞද්ධ ආගමික මධ්‍යස්ථානයක් පිළිබඳව හංස සංදේශ කතුවරයා සඳහන් කරයි.  

වත්තල පුරාණය ගැන තොරතුරු සොයා යෑමේදී වත්තල තෙළඟපාත ශ්‍රී සුදර්මාරාමාධිපති පස්ගොඩ විජිත නාහිමියෝ ඒ අතීත සිදුවීම් මෙසේ පැවසූහ.   

 

“12 වැනි සියවසයේ මෝගල්වරු ඉන්දියාව ආක්‍රමණය කළා. මෙම ආක්‍රමණය නිසා ඉන්දියාවේ වැසියෝ විවිධ රටවල් කරා ඇදෙන්නට වුණා. විශේෂයෙන් සල්ලි පනම් අත ගැවසුණ මිනිස්සු නැව් ගාස්තු ගෙවාගෙන ආසන්න රටවල්වලට සංක්‍රමණය වන්නට පටන් ගත්තා. දකුණු ඉන්දියාවේ තෙළඟු ​ෙද්ශයේ හිටපු මලිත් කපුර් නම් ග්‍රාම නායකයා ඇතුළු පිරිසක් වත්තල ආසන්නයට සේන්දුවෙලා තියෙනවා. ඒ පිරිස පදිංචියට තෝරාගත් ප්‍රදේශය තමයි තෙළඟපාත කියලා අද හඳුන්වන්නේ. මේ අය බොහෝම දක්ෂ ආයුර්වේද වෛද්‍යවරු තමයි. ඒ අයගේ නම් “සායක්කාර”, “සංගක්කාර” නමින් හඳුන්වලා තියෙනවා. තවත් පුරා‌ණ කතාවක් තියෙනවා. දඹදෙණිය රාජධානියෙන් ආපු තරුණ ගුරුවරයෙක් කෝට්ටේ පැරකුම්බා රජතුමාගේ රජ වාසලේ රාජකීය දරුවන්ට ශිල්ප ශාස්ත්‍ර උගන්වලා තියෙනවා. ඒ ගුරුවරයාගේ පවුල්වලට ජීවත්වන්න රජ වාසලෙන් ගම් වරයක් දීලා තියෙනවා. ඒ ගම් වරය වත්තලින් තමයි දීලා තියෙන්නේ. අදටත් ගමේ ජීවත් වෙන පවුල්වල වාසගමට “ගුරුන්නාන්සේ” යන නාමය පවතිනවා. ඒ එදා ගම් වරය දුන් ගුරුන්නාන්සේගේ පරම්පරාවෙන් පැවත එන අය බව බොහෝ දෙනාගේ අදහසයි. 1884 දී ලංකාවේ වැඩ සිටි ථෙරවාදී භික්ෂූන් වහන්සේලා අතර සිවුරු පෙරවීම ගැන වාදයක් ඇති වෙලා තියෙනවා.   


මේ වාදය හැඳින්වූයේ “පාරුපනවාදය” කියලයි. ශාසන ඉතිහාසයේ වැදගත් “පාරුපනවාදය” මෙය පවත්වලා තියෙන්නේ අපේ විහාරස්ථානයේ.

  
භික්ෂුව ඒකාංශව සිවුරු දැරිය යුතු යන පාර්ශ්වය නියෝජනය කරලා එහි නායකත්වය දරලා තියෙන්නේ පෑලිය​ෙගාඩ විද්‍යාලංකාර පරිවෙණාධිපතිව වැඩ විසූ රත්මලානේ ධර්මාලෝක නායක හාමුදුරුවෝයි. භික්ෂුව උභයාංශව සිවුරු පෙරවිය යුතුයි යන පාර්ශ්ව නියෝජනය කරලා එහි නායකත්වය අරගෙන තියෙන්නේ මාලිගාකන්ද විද්‍යෝදය පිරිවෙණේ වැඩ විසූ හික්කඩුවේ සුමංගල නායක හාමුදුරුවෝයි. එම වාදය පැවැත් වූ ධර්ම ශාලාව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් අදටත් සංරක්ෂණය කරලා තමයි තියෙන්නේ.   
එ් දවස්වල මේ ප්‍රදේශ ඉතාම ගැමි ප්‍රදේශ තමයි. වී ගොවිතැන ප්‍රධාන ජීවනෝපාය කරගෙන ජීවත් වූ පිරිසක් මේ ප්‍රදේශවල වාසය කරලා තියෙනවා. ඒ කාලේ වෙළෙඳාම කළේ කරත්තවලින් තමයි. ගාල හන්දිය කියන්නේ ගැල්කරුවෝ ගොනුන්ට කන්න බොන්න දීලා රාත්‍රිය ගත කළ ස්ථානය තමයි. ඒකාලේ ජන ජීවිතය ඉතාම සරලයි.   

හැඳල විජය චිත්‍රාගාරයේ ඇතුළතදී ගායක එච්.ආර්. ජෝතිපාල, සරත් රූපසිංහ සහ පද්මසිරි කොඩිකාර සමග

 

කෑම බීම ඇඳුම් පැළඳුම්වල පවා තිබුණේ චාම් හා සරල බව තමයි. ඒ කාලේ මිනිස්සු මිය ගියාම අවසන් කටයුතු සඳහා දේහය කනත්තට රැගෙන යන්නේ කරත්තෙන් තමයි. අපේ පන්සල් වත්තේ විශාල උණ පඳුරක් තිබුණා. ඒ තැන තමයි මේ කරත්තේ නතර කරලා තිබුණේ. ගමේ කෙනෙක් මැරුණම එදාට මේ කරත්තේ අරන් යනවා. මේ කරත්තෙට කිව්වේ “කුම්බේ” කියලා තමයි.   


එ් කාලේ වත්තල මාර්කට් හන්දියෙන් කොළඹ පැත්තට වෙන්න කොප්පරා තෙල් මෝල් දෙකක් තිබුණා. ඒ තැන්වලින් යනකොට හරිම සුවඳයි තෙල් මෝල්වලින් එන පොල් තෙල් සුවඳ නිසා. ඒ එක මෝලක හිමිකරුවා වුණේ දෙමළ මහත්තයෙක්. නම සෙල්ලයියා කියලා. අනිත් තෙල් මෝල අයිති වුණේ හිටපු ඇමැතිනී දිවංගත ශිවා ඔබේසේකර මැතිනියටයි.   


වත්තල ඉඳලා පෑලියගොඩ දෙසට දැන් අධිවේගී මාර්ගය තිබෙන ප්‍රදේශය ලොකු විල්ලුවක් වශයෙන් තමයි ඒ කාලේ තිබුණේ. 1965 ඩඩ්ලි සේනානායක මහත්තයා අගමැති වූ කාලේ අධිවේගී මාර්ගයක් හදන්න මුල් ගල් තිබ්බා. මේ අධිවේගී මාර්ගයේ අවසානය වුණේ අනුරාධපුරය තමයි. ඒ විදිහට තමයි සැලැස්ම තිබුණේ.   


අපේ රටේ හිටපු ජ්‍යෙෂ්‍ඨ විද්‍යාඥයකු වූ එස්. ද එස්. කුලසිංහ මහත්තයා තමයි ඒ කටයුත්ත භාරව හිටියේ. “වැලිගොව්වා” කියලා යන්ත්‍රයකින් කැලණි ගඟෙන් වැලි අරගෙන, මේ විල්ලුවම වැලිවලින් ගොඩ කිරීම ආරම්භ කළා. එදා කැලණි ගඟෙන් ගත්ත වැලිවලින් ගොඩ කරපු තැනක තමයි අද ඉංජිනේරු සංස්ථාව හදලා තියෙන්නේ. වැලිවලින් ගොඩ කළ පාර ‘වැලි පාර’ වුණා.

  

සරත් දසනායක හැඳල චිත්‍රාගාරයේදී ගායක එච්.ආර්. ජෝතිපාල සමග

1970 සමඟි පෙරමුණු ආණ්ඩුවෙන් මේ ව්‍යාපෘතිය නතර කළා. නැත්නම් මීට පෙර අධිවේගී මාර්ගයක සිහිනය අපිට සැබෑ කර ගන්න තිබුණා. අපේ රටේ ජාතික ප්‍රතිපත්තියක් නොමැතිකම නිසා කලින් රජය කළ සංවර්ධන කටයුතු නතරකොට අලුත් සැලැස්මවල් හැදීම තුළ රට ගොඩාක් තැන්වලදී ආපස්සට ගිය බව අතීතය සිහිපත් කිරීමේදී පෙනී යනවා.   


පස්සේ අර වැලිවලින් ගොඩ කළ විල්ලුව මිනිස්සු අල්ල ගත්තා. ඒක තමයි අද වැලි පාර කියලා කියන්​ෙන්. දැන් ඒ ප්‍රදේශයේ වෙනම ගම්මානයක්” යැයි උන්වහන්සේ පැවසූහ.   


වත්තල ඉපදී වත්තල හැදී වැඩී අදටත් වත්තල ජීවත් වෙන ප්‍රවිණ චිත්‍රපට අධ්‍යක්ෂවරයකු මෙන්ම දේශපාලනඥයකු වන නීල් රූපසිංහ මහතා වත්තල ගැන පැවසුවේ මෙවන් කථාවකි.   


“සිංහල සිනමාවේ උපතට ජීවය දුන් සිනමා ගම වත්තලයි. ඒ කාලේ වත්තලට පය නොතබපු සිනමාකරුවෙක් හිටියේ නැහැ. ඕනෑම කෙනෙක් වත්තලට එනවා. එහෙම එන්නේ වත්තල හැඳල පිහිටා තිබූ “විජය” චිත්‍රාගාරය නිසයි. විජය චිත්‍රාගාරයේ හිමිකරු මෙන්ම “සිනමාස්” ආයතනයේ හිමිකරු වූයේ ද කේ. ගුණරත්නම් කියලා ද්‍රවිඩ ජාතික මහත්මයෙක් තමයි.   


ඉස්සර වත්තල පරිසරය අද තරම් ජනාකීර්ණ නැහැ. ඒ කාලේ වත්තල පොලිසිය අද තියෙන ස්ථානයේම පොඩියට තිබුණා. නගර සභා ගොඩනැගිල්ලක් කුඩාවට තිබුණා. මම පාසල් ගිය ශාන්ත අන්තෝනි විදුහලත් ශාන්ත ආනා බාලිකා විදුහලත් තිබුණා. දේවස්ථානය තිබුණා. නමුත් අද තරම් දියුණු නැහැ. මාබෝලේ මුස්ලිම් අය හිටියා. වත්තල එක දෙමළ කඩයක් තිබුණා. සියලු ජාතීන් මේ වත්තල එදා මෙන්ම අදත් ජීවත් වෙනවා. තැනින් තැන පොඩි කඩ තිබුණා.   


සෙට්ටි රූපසිංහ කියන්නේ මගේ පියා. ඔහු සතුව වත්තල සමුද්‍රා හෝටලය සහ සමුද්‍රා සිනමාශාලාව තිබුණා. නිතර නළු නිළියන් අපේ සමුද්‍රා සිනමා ශාලාවට එනවා. වි​ෙශ්ෂයෙන් නළුවෝ අපේ සිනමා ශාලාවේ තිබුණු බාර් එකට එන සිරිතක් තිබුණා. මගේ අයියා සරත් රූපසිංහත් මාත් සමග මේ අය ඉතා කුලුපහ මිතුරන් බවට පත් වුණා.   


ඔවුන් නිතර සිනමාව ගැන කථා කරනවා. ඒ කාලේ නළු නිළියන්ට තිබුණේ පුදුම පිළිගැනීමක්. මෙසේ නළු නිළියන්ගේ හමුවීම මාත් මගේ සහෝදරයාත් පසු කලකදී සිනමාකරුවන් බවට පත් වීමට හේතු වුණා. ලෙනින් මොරායස් වැනි ප්‍රවීණ චිත්‍රපටි අධ්‍යක්ෂවරු අපේ ගමේ හිටියා. මේ අය සමග ඇති වූ සංවාද තුළින් ලබා ගත් දැනුම ප්‍රායෝගික තලයට ගෙන ඒමට හැකි වුණා.   


මේ අයුරින් තමයි සිංහල සිනමාව කියන දේ ම​ගේ ඇඟට ඇතුළු වෙන්න පටන් ගත්තේ. මගේ කුලුඳුල් චිත්‍රපටය වු​ෙණ් ‘දැන් මතකද’ චිත්‍රපටයයි. මේ චිත්‍රපටය මම අධ්‍යක්ෂණය කරනකොට මගේ වයස අවුරුදු 23යි. ඒ චිත්‍රපටයේ ගීතයක් තමයි ‘හිස් ටින් එකක් වගේ මගේ ජීවිතේ’ කියන ගීතය. මේ ගීතය රචනා කළේ සිරිල් ඒ. සීලවිමල මහත්තයා. මේ ගීතය ජෝතිපාල, මිල්ටන් පෙරේරා, එම්.එස්. ප්‍රනාන්දු යන ගායකයෝ තුන් දෙනාම එකතු වෙලා ගායනා කළ ගීතයක් තමයි.   


චිත්‍රපටයේ මේ ගීතයට රංගනයෙන් දායක වෙන්නේ සේනාධීර රූපසිංහ, ඇන්තනී සී. පෙරේරා සමග බන්දු මුණසිංහයි. මේ ගීතයට රූගත කිරීම් කළේ මේ වත්තල මහ පාරෙයි. මේ ගීතයේ නිත්‍ය හිමිකරුවා මමයි. මගේ චිත්‍රපටයේ එන ගීතයක්. පසුගිය කාලේ අලුත් ගායකයෙක් මේ සිංදුව කියලා උසාවි පවා ගිහින් තිබුණා. ඒ ගායකයා මගෙන් ඉල්ලුවා නම් ශත පහක්වත් නොගෙන ඒ ගීතය ගැයීමට අවසර දෙනවා.   


“දැන් මතකද” චිත්‍රපටයේ එම්.එස්. ප්‍රනාන්දු තනියම ගායනා කරන ගීතයක් තිබෙනවා. ඒක තමයි ‘මැණිකේ මම ආයි ගෙදර එනවා’ කියන ගීතය.   


එම්.එස්. ප්‍රනාන්දු චිත්‍රපටය ප්‍රදර්ශනය කරන්න පෙර සංගීත සංදර්ශනවල මේ ගීතය ගායනා කරනවා. මම එම්.එස්. ට පණිවිඩයක් යවලා ගෙන්න ගෙන අපේ චිත්‍රපටයට ප්‍රසිද්ධියක් ගන්න පොඩි උපක්‍රමයක් යෙදුවා.   


එ්ක තමයි මම උසාවි ගිහින් මගේ චිත්‍රපටයේ ගීතයක් මහජන ප්‍රදර්ශනයට පෙර පුද්ගලයකු ගායනා කරනවා. එයින් මගේ චිත්‍රපටයට හානියක් වෙනවා කියලා උසාවියේ නඩුවක් දැම්මා. විත්තිකරු වුණේ ගායක එම්.එස්. ප්‍රනාන්දුයි.   


ඒ කාලේ පත්තරවල හෝ ගාලා මේ ගැන විස්තර යනවා. චිත්‍රපටය මහජන ප්‍රදර්ශනයට එන්න අාසන්න වෙනකොට මම නඩුව ඉල්ලා අස් කර ගත්තා. මගේ චිත්‍රපටයටත් හොඳ ඉල්ලුමක් ලැබුණා. එම්.එස්. ගායනා කළ ‘මැණිකේ මම ආයි ගෙදර එනවා’ ගීතයටත් සංගීත සංදර්ශනවල පුදුම ඉල්ලුමක් ඒ කා​ෙල් තිබුණා.   


ඒ කාලේ හැඳල විජය චිත්‍රාගාරයේ තිබුණු පහසුකම් ගැන සඳහන් කළ යුතුමයි. මම අධ්‍යක්ෂණය කළ “යකඩයා” චිත්‍රපටයට ශ්‍රේෂ්ඨාධිකරණයේ ආකෘතියක් විජය චිත්‍රාගාරයේ හැදුවා. විනිසුරු අසුන් ඇතුළු සියලු දේ චිත්‍රාගාරයේ ඇතුළේ තැනුවා. මම අධ්‍යක්ෂණය කළ ‘ආදරේ හිතෙනවා දැක්කම’ චිත්‍රපටය වත්තල හැඳල ​ෙෆ්ගාසස් හෝටලයේ පිටත දර්ශන රූගත කිරීම් කරලා හෝටලයේ ඇතුළත දර්ශන වාර සියල්ලම ඒ අයුරින් විජය චිත්‍රාගාරය තුළ හැදුවා.   


ටයිටස් තොටවත්ත මහත්තයා අධ්‍යක්ෂණය කළ “චණ්ඩියා” චිත්‍රපටයේ දර්ශන පෙළකට මරදාන නගරය විජය චිත්‍රාගාරය ඇතුලේ හැදුවා. මරදාන දුම්රිය ස්ථානය, පොලිසිය, කඩ පේළිය ඒ විදිහටම චිත්‍රාගාරය ඇතුළේ හදලා තිබුණා. මේ හේතූන් මත තමයි වත්තල ඒ කාලේ සිනමා ගම්මානයක් වුණා කියලා මම කියන්නේ.   


දිනක් මම සිනමා ශාලාවක චිත්‍රපටයක් නරඹමින් ඉන්න කොට ඒ කාලේ අලුත් නළුවෙක් හම්බ වුණා. ඔහු ඉතාම සමාජශීලී තරුණයෙක් නිසා අපි හිතවත් වුණා. ඔහුට මම අපේ හැඳල නිවසට එන්න කියලා ආරාධනා කළා. ඔහු අපේ ගෙදර ආවා. මගේ වැඩිම ආදායම් වාර්තා තැබූ ‘හතර දෙනාම සූරයෝ’ චිත්‍රපටයට ඔහුව සම්බන්ධ කර ගත්තා. ඔහු තමයි විජය කුමාරතුංග. ගාමිණි - විජය එකට රඟ පෑ චිත්‍රපටය තමයි ‘හතර දෙනාම සූරයෝ’ කියන්නේ.   


ම​ෙග් චිත්‍රපට අතර ජාත්‍යන්තර සම්මානයෙන් පිදුම් ලැබූ (ටෙහෙරාන් සිනමා උළෙල නියෝජනය කළ) “අමල් බිසෝ” චිත්‍රපටයේ කථාව සත්‍ය කතාවක්. වත්තල අපේ ප්‍රදේශයේම ජීවත් වූ පවුලක් වටා ගෙතුණු කතාවක් තමයි. මේ චිත්‍රපටයට පසුබිම් වූ කතානායක නායිකාවෝ ​ගොඩක් කල් වත්තල ප්‍රදේශයේ ජීවත් වුණා. අද නම් ඒ අය ඇත්තේ නැහැ.   


අපේ චිත්‍රපටවලට බොහෝ දුරට වත්තල ප්‍ර​ෙද්ශය තමයි තෝරා ගත්තේ. චිත්‍රපට දර්ශනවලට අවශ්‍ය පසුබිම පරිසරය හැඳල වත්තල ප්‍ර​ෙද්ශයේ තිබුණා. හැඳල උස්වැටකෙයියාව ආදී ප්‍රදේශවල මුහුද ලස්සනයි. ඒ පසුබිම් දර්ශනවලට හොඳ ඉල්ලුමක් තිබුණා. ‘ආදරේ හිතෙනව දැක්කම’ ආදී මේ චිත්‍රපටවල ප්‍රධාන නිළිය වුණේ මාලනී ​ෙෆාන්සේකා තමයි. පස්සේ මාලනී ඉතාම කාර්යබහුල නිළියක් වූ නිසා මගේ චිත්‍රපටවලට හොඳ නිළියක් අවශ්‍ය වුණා. පස්සේ මම තරුණියන් රැසක් කැඳවලා ඒ අයගෙන් තෝරා ගත් තරුණිය තමයි ගීතා කුමාරසිංහ කියන්නේ. ඇය “ලස්සන කෙල්ල” චිත්‍රපටයේ ප්‍රධාන නිළිය වුණා. මගේ චිත්‍රපටයෙන් පස්සේ ඇයට චිත්‍රපට රැසක රඟපාන්න ආරාධනා එන්න පටන් ගත්තා.   


අද දේශීය චිත්‍රපට කර්මාන්තය බිඳ වැටීමක් සිදු වුවත් එදා අ‌ෑත අතීතයේ සිට වත්තලින් දේශීය චිත්‍රපට කර්මාන්තයේ උන්තිය ​වෙනුවෙන් ඉටු කළ මෙහෙවර සද‌ා අමරණීයයි. වත්තල පුරවරයේ ජීවත් වූ කලාකරුවන් ගැන මතක් කළොත් සේනාධීර රූපසිංහ, බැප්ටිස් ප්‍රනාන්දු, මගේ අයියා සරත් රූපසිංහ, සංගීතඥ ෂෙල්ටන් ප්‍රේමරත්න, කේ. රොක්සාමි, ශාන්ති ලේඛා, ගායන ශිල්පිනී නීලා වික්‍රමසිංහ, චන්ද්‍රිකා සිරිවර්ධන, ඇන්ටන් අල්විස්, චිත්‍රපට අධ්‍යක්ෂ එච්.ඩී. ප්‍රේමරත්න, ප්‍රේම් ජයන්ත්, සංගීතඥ ෂෙල්ටන් පෙරේරා, කේ. සිවදාසන් ආදී කලාකරුවන් රැසක් මා මතකයේ ඇත. 60 දශකයේ මැද භාගයේ සිට 70 දශකයේ අවසන් කාලය දක්වා සිංහල සිනමාවේ මා දුටු ස්වර්ණමය යුගයේ අදත් සිතින් ජීවත් වෙමින් එහි රස පහස විඳීමෙන් ලබන සතුට අප්‍රමාණයි.”  යැයි නීල් රූපසිංහ මහතා ප්‍රකාශ කළේය.


වත්තල අතීතය ගැන තොරතුරු සොයද්දී හමු වූ වත්තල පදිංචි නීතිඥවරයකු වන ප්‍රේ‍ම්නාත් තලහෙවත්ත මහතා වත්තල පුරාණය ගැන පැවසුවේ මෙවැනි කතාවකි.   


හංස සංදේශයේ සඳහන් වනවාස විහාරය ඉතාමත් සමෘද්ධිමත්ව පැවැති බෞද්‌ධාගමික මධ්‍යස්ථානයක් මෙන්ම කැලණි ගඟ අසබඩ තිබූ රමණීය ආරාමයක්. මෙය පෘතුගීසීන්ගේ ආක්‍රමණවලින් විනාශ වී ගියා.   


අදටත් කැලණි ගඟ ආසන්නයේ ඇති “සිවුරු ගැටගැසූ වත්ත” භික්ෂූන් වහන්සේලා කැලණි ගඟෙන් ජලස්නානයකොට සිවුරු සෝදා වැනූ ස්ථානය මේ නමින් හඳුන්වනු ලබනවා.   


වත්තල මාර්කට් හන්දියෙන් ආරම්භ වන “ශ්‍රී වික්‍රම මාවත” කැලණි ගඟ දක්වා ගොස් කැලණි ග​ෙඟ් එගොඩින් නැවතත් මට්ටක්කුලිය දක්වා වැටී ඇත. මේ මාර්ගය ශ්‍රී වික්‍රම මාවත වශයෙන් හැඳින්වීමට හේතුව කන්ද උඩරට රාජධානියේ අවසන් රජු වූ ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමා ඉංග්‍රීසීන්ගේ ග්‍රහණයට පත්ව කොළඹ කොටුව දක්වා ​​රැගෙන ඒමේදී මේ මාර්ගය භාවිත කිරීමයි.   


ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමා මේ මාර්ගයෙන් ගමන් කරද්දී ඔහුට දැඩි පිපාසයක් හට ගෙන ඇත. ඒ මොහොතේදී අසල නිවසකට ගොස් ජලය ඉල්ලා පානයකොට ගෙන ඇත. ඒ මොහොතේදී අසල නිවසකට ගොස් ජලය ඉල්ලා පානය කොට ඇති අතර රජුට වතුර පානය කරන්න දුන් භාජනය එම නිවසේ අදත් ආරක්ෂිතව ඇත. කලක් වත්තල ජීවත් වූ මහාචාර්ය ඩී.ඊ. හෙට්ටිආරච්චි මහතා සමග මම මේ පිළිබඳ පර්​ෙ‌ය්ෂණයක් සිදු කළ නිසා මේ තොරතුරු අනාවරණය කර ගැනීමට පුළුවන් වුණා.   


ඕලන්ද යුගයේ ප්‍රවාහන පහසුකම් වැඩිදියුණුකොට හොඳ වෙළෙඳ පොළක අවශ්‍යතාව ඒ කාලේ හැටියට තිබිලා තියනවා. ඔරු පාරු බත්තල් මගින් වෙළෙඳාම් පහසු කිරීමට හැමිල්ටන් ඇළ වත්තල සිට හලාවත, පුත්තලම දක්වා සංවර්ධනය කරලා තියෙනවා. ඉංග්‍රීසි යුගයේ දුම් බෝට්ටු පවා මේ ඇළ දිගේ ගමන් කරලා තිබෙනවා.   


වත්තල ප්‍ර​ෙද්ශයෙන් ගලා යන කළු ඇළ හැමිල්ටන් ඇළට සම්බන්ධ වෙනවා. ඉස්සර මිනිස්සු මේ කළු ඇළ ස්නානය සඳහා පාවිච්ච කරලා තියෙනවා. මේ කළු ඇළ අසල තමයි වර්තමානයේ ඉතාමත් අලංකාර ලෙස ශරීර සුවතා මංතීරු දෙකක් ඉදි කරලා තියෙන්නේ.   
විශේෂයෙන් මුතුරාජවෙල පැරණි රජ දරුවන්ගේ කාලයේ සිට වී වගාව සිදුකොට අස්වැන්න ලබා ගත් සශ්‍රීක ප්‍රදේශයක් ලෙස වංශ කථාවල පවා සඳහන් වෙනවා.   


විශේෂයෙන් තෙත් කලාපීය වඟුරු බිම් රැසකට උරුමකම් කියන මුතුරාජවෙල විවිධ වර්ගයේ පක්ෂීන්ගෙන් පමණක් ​ෙනාව මාළු වර්ග ඇතුළු සතා සිවුපාවුන්ගෙන් ගහණ පාරිසරික වටිනාකමක් තිබූ ප්‍රදේශයක්.   


ඕනෑම ගමක් චිර ප්‍රසිද්ධ වීමට ඒ ප්‍රදේශයෙන් බිහි වූ යතිවරයාණන් වහන්සේ නමක් බොහෝ දුරට හේතු සාධක වෙනවා. ඒ අනුව වත්තල ප්‍රසිද්ධ වීමට කැලණි රජමහා විහාරයේ වැඩ විසූ සුමිහිරි හඬින් පරිත්‍රාණ ධර්ම දේශනා සිදු කළ අපවත් වී වදාළ පරිත්ත භාණක වත්තල සීලරතන හිමියන් ද අපට අමතක කළ නොහැකියි.   


වත්තලින් බිහි වූ ක්‍රීඩකයන් අතර චමින්ද වාස්, ඇන්ජලෝ මැතිව්ස්, සයිකල් ශූරයකු වූ බොනිපස් පෙ​ෙර්රා ආදීහු එම ක්ෂේත්‍රයේ දස්කම් පෑ අය අතර වෙති.   


හැඳල පුරාණ රජමහා විහාරය, තෙළඟපාත සුධර්මාරාමය, ශාන්ත අානා දෙව් මැඳුර, ගල්වැටිය පල්ලිය, නායකකන්ද දේවස්ථානය, මාබෝල මුස්ලිම් පල්ලිය, හේකිත්ත ස්කන්ධකුමාර කෝවිල ආදී බහුආගමික මධ්‍යස්ථාන රැසක් වත්තල ප්‍රදේශයේ පිහිටා ඇත.   
ලාදුරු රෝගීන්ට විශේෂිත වූ සුප්‍රසිද්ධ ලාදුරු රෝහල හැඳල පිහිටා ඇත. එමෙන්ම කෙලවරපිටියේ පිහිටි තාප විදුලි බලාගාරය ද වත්තලට අයත් වූවකි. වත්තල ගැන කතා කිරීමේදී ගමක තිබුණ සුන්දර දසුන් මැකී ගොස් සංවර්ධනය අප ඉදිරියට ආවත් එදා වත්තල පැවති අසිරිය අතීතයට පියමං කරද්දී සිහිපත් වන බව ප්‍රේමනාත් මහතා අවසන් වශයෙන් ප්‍රකාශ කළේය.   

 

සටහන හා ඡායාරූප   
මහින්ද ආරියවංශ   

 



අදහස් (0)

කෝට්ටේ යුගයේත් බොදු වෙහෙරක් තිබුණු වත්තල හන්දිය

ඔබේ අදහස් එවන්න

රසවිත

අනේ පොඩි නැන්දා මට හුඟක් දවස් කාමරේ ඇතුළෙ ඉන්න වෙයිද?
2022 මාර්තු මස 26 10915 0

හීන් නෝනා දියණිය දෙස බැලු‍වේ කරදර දෑසිනි. දුරකථනය හරහා ආවේ සුබ පණිවිඩයක් නොවන බැව් ඇගේ මුහුණ කියා පෑවේය. “කවුද කතා කෙරුවේ..?” හීන් නෝනා විමසුවාය. “අයිය


යෙලෝ බීට්ස් කියන්නේ කවුද ?
2022 මාර්තු මස 26 6207 0

මෙවර U Tube ලෝකය තුළින් ඉරිදා ලංකාදීපයෙන් කතාබහ කරන්න හිතුවේ සමාජ මාද්‍ය ඔස්සේ අතිශය ජනප්‍රිය Girls Voice Band එකක් පිළිබඳව. ඒ Yellow Beats කණ්ඩායම කුෂිනි ප්‍රවින්ද්‍යා, දි


පුරාණ රජ කාලේ වීදුරු හැදූ ‘පබුලුගම’
2022 මාර්තු මස 26 5924 0

ශ්‍රී ලංකාවේ පබලු භාවිතය පිළිබඳ පුරාණතම සාධක අයත් ​ෙවන්නේ ප්‍රාග් ඓතිහාසික යුගයටය. ක්‍රි.පූ. (900-600) අතර මුල් යුගයේදී ජනතාව පබලු භාවිතය සුලබව සිදුකොට ඇති


වෘන්දා වනයේ පෙම්මල් විසිරේ...
2022 මාර්තු මස 26 5240 0

හින්දු පුරාණයට අනුව විෂ්ණු දෙවි යනු ලොව සුරකින්නාය. ලෝකයේ තිර පැවැත්ම පිණිසත්, ධර්මය රැකීමටත්, අදමිටුවන් විනාශ කිරීමටත් වරින්වර විෂ්ණු ලොව පහළවන බව මහ


බිම් බෝම්බය පිපිරෙද්දී ගෙදරට පණිවිඩයක් දුන් ව්‍යාපාරිකයා
2022 මාර්තු මස 26 3231 0

මසින් ලෙයින් නිර්මිත මසැසට භෞතික ලෝකයේ බොහෝ සංසිද්ධි දැක ගත හැකි වුවත් ඉන් එහා ඇති අවිඥාණික දේ පෙනෙන්නේ නැත. භූගත පෘෂ්ඨ වංශික ඇතැම් සතුන් හැරුණු විට සෙ


නූතන ශාසන ප්‍රබෝධයේ ශාස්ත්‍රවන්තයා සිටිනාමළුවේ මහ තෙරිඳු
2022 මාර්තු මස 26 1704 0

සිත්තම්ගල ගල් ලෙන බලන්නට මී ආතා “බරින්දු” එක්ක ගෙන ගියේ ගැල් කරත්තයෙන්ය. “අපේ ‍රැහේ උන් තමයි දරුවෝ මෙතන නැණපිල පටන් ගෙන සාහිත රස බෙදුවේ.” එදා මී ආතා කී ක


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 281 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1632 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1516 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site