IMG-LOGO

2024 අප්‍රේල් මස 24 වන බදාදා


කුමාරි මට මුලින්ම හමුවුණේ කජු ගහක් උඩ ඉඳලා

ඔහු අංශ ගණනක් ඔස්සේ තම දක්ෂතා ඉදිරිපත් කළ අපේ කාලයේ නිර්මාණශීලි සුන්දර මිනිසෙකි. ඔහුගේ හසළ දැනුම සහ එය භාවිත කරන රටාව නිසා ප්‍රේක්ෂකයන්ගේ ආකර්ෂණය දිනාගැනීමට සමත් වී තිබේ. විශේෂයෙන් කාන්තා පරපුර ඔහුගේ ඒ ආකර්ෂණයේ ඉහළ තැන සිටී. ඔහු සැබැවින්ම ලාලසාවෙන් යුත්, සෞන්දර්වාදියෙකි. ඔහු පිළිබඳ බොහෝ දේ ලිවිය හැකිය. ඒ හැඳින්වීම සඳහාය. එතරම් විවිධ අංශ කෙරෙහි ඔහු තම දැනුම, දක්ෂතාව පතුරුවා තිබේ. ඔහු නමින් ජැක්සන් ඇන්තනිය. 
  
ජැක්සන්ට ‘ආදරය, ප්‍රේමය සහ විවාහය’ ගැන කතා කරමුද යන්න මා ඇසූ විටදී ඔහු එයට පිළිතුරු දුන්නේ ‘ඔබ ලියනවානම් පමණක් උත්තර දෙන්නම්’ කියාය. ඒ ඔහු මා පිළිබඳව තැබූ විශ්වාසය නිසාය. ඉතිං ඒ විශ්වාසය ඉදිරියටත් තබාගෙන ඔහුගේ පරිච්ඡේදය ලියන්න අදහස් කරද්දීම ඔහු ඊට ඌනපූර්ණයක් එකතු කළේ එය වඩාත් සිත් ඇදගන්නා අයුරින් ලිවීම වෙනුවෙනි.   


‘‘මට විශාල අත්දැකීම් රැසක් තිබෙනවා. කුඩා කාලයේ සිටම ඔය කියන සංවේදනාව, ඔය කියන ලාලසාව, මානව සම්බන්ධය, අාධ්‍යාත්මික හා ශාරීරික සම්බන්ධය ගැන මම හුඟාක් අවදියෙන් හිටපු කෙනෙක්. මම ඉතාම ආවර්ජනය ප්‍රිය කරන කෙනෙක්. මෙතෙක් මා ජීවත් වූ සමාජය තුළ ඔය ප්‍රේමය, ආදරය, අනුරාගය වැනි කාරණා හරහා මම ලැබූ දැනුම හා අත්දැකීම, වින්දනය අනුව ආදරය කියන්නේ කුමක්ද යන්න ගැන සිතුවිල්ලක් මා තුළ තිබෙනවා. මම මේ සිතිවිල්ල මුලින් ඔබට පැවසුවොත් ඒ සිතිවිල්ලට බලපෑ අතීත කාරණා පිළිබඳව ඔබට මගෙන් ප්‍රශ්න කරන්න පුළුවන්’’.   


හරි එහෙමනම් ආදරය, ප්‍රේමය කියන ඒ සිතිවිල්ල ඔබට දැනුණු අයුරු කියන්න බලන්න. 

 
ප්‍රේමය වනාහි කැඩපතකි. තමාට තමාවම පෙනෙන කැඩපතකි. මගේ හිතේ ආදරයක් තිබුණොත් තමයි මගේ පිළිබිඹුව මට ආදරය කරන්නේ. මාගේ හිතේ කපටිකමක්, කෝපයක් තිබුණොත් මගේ පිළිබිඹුව පෙන්වන්නේ එයයි. කවරදාවත් මම කපටියෙක් වුණොත් මගේ පිළිබිඹුව ආදරවන්තයෙක් වෙන්නේ නෑ. එ් නිසා මම හිතන්නේ ප්‍රේමය නමැති කැඩපතෙහි මට පෙනෙන්නේ මගේ පෙම්වතියයි. මම ඇයට ආදරේ නම් තමයි ඇය මට ආදරේ. මම ඇයට බොරුවක් කරනවානම් ඇය මට බොරුවක් කරනවා. ඒ වගේම තමයි ඇයගේ කැඩපත මම නමැති පෙම්වතා වෙන්නේ.   
ආදරය හරි ද්වන්ධාත්මකයි. තනි අතකින් අත්පුඩි ගහපු ආදරයක් මට හම්බවෙලා නෑ. ඒක හරිම ආධ්‍යාත්මිකයි. ඒ වගේම ආධ්‍යාත්මය බලාගත් සංවේදනාවලින් යුක්තයි. එ් නිසාම තමයි මේකට ලාලසාව කියන්නේ. වෙනස් නොවන එකම දේ ලොවෙහි තිබෙන සියලුම දේ වෙනස්වුණා නේද? හැබැයි ප්‍රේමය වෙනස් වුණේ නෑ. අර ගෝත්‍රික යුගයේදී ගෝත්‍රිකයා, තවත් ස්ත්‍රියක් කෙරෙහි ඇති කරගත් ප්‍රේමයම නේද මේ විද්‍යුත් යුගයේදී අපටත් ඇතිවන්නේ. ඒ ලාලසාව කැඩපතක්. ඒ නිසා පරෙස්සම්වන්න ආදරයට බොරු කරන්න බැහැ. ඕක තමයි මගේ ආදරය, ප්‍රේමය ගැන තිබෙන මතය.   


එවැනි ආදරයක ප්‍රේමයක මුල්ම බීජය ඔබ සිත තුළ හට ගත්තේ කොයි කාලයේද?   


ඕකට කියන්න තිබෙන්නේ මේ වගේ කාරණයක්. මගේ නම බටහිර නමක්. හැබැයි මම හැදුණේ හද්ද පිටිසර ගමකයි, සිංහල, කතෝලික පිටිසර නොදියුණු ගමක් ඒක. රාගම පොඩිවී කුඹුර තමයි ඒ ගම. මගේ ළමා කාලය ගතකළ යුගයට වඩා මහා ලොකු වෙනසක් ඒ ගමට තවම වෙලා නෑ. ඒ හින්දා ඒ ගැමි තරුණයකුට ගැමි යෞවනයකුට මේ ප්‍රේමය නමැති ආවේගය මුලින්ම දැනේනේ ප්‍රේම සිතක් විදිහට නොවෙයි. ඒක මේ අනුරාගී සිතක් විදිහටයි එන්නේ. ඒක ප්‍රේමයක් බවට පත්වෙන්නේ පස්සේ. අපි ගමේ නිකම් හිටියේ නෑ. දඩයම් කළා. හොර ​පොල් කැඩුවා. අපි හරි දඟයි. ව්‍යායාමිකයි. එහෙම ව්‍යායාමික කොල්ලන්ගේ ශරීරය තුළ මේ හෝමෝන ක්‍රියාකාරීත්වයත් ඉක්මන් වෙනවා. එතකොට ඒ අයට අනුරාගී සිත් පහළ වෙනවා.   


 ඒ කියන්නේ ඔබටත් එවැනි අනුරාගී සිත් පහළ වුණා නේද?   


ඔව්. ගමක එහෙම අනුරාගී සිත් ඇති වූ විට ඒවා මුදාහරින්න අවශ්‍ය පරිසරය ගමක තිබෙනවා. ගම්වල බඩවැටි තිබෙනවා. වන වදුළු තිබෙනවා. පාළු ගෙවල්, රබර් වතු, පොල් වතු, අන්නාසි වතු තිබෙනවා. ඔය කට්ට දවාලක, බෝදිලිමා හඬන වෙලාවක ඒ ගම්වල කොල්ලෝ, කෙල්ලෝ තමන්ගේ ශක්තිය, තමන්ගේ හෝමෝන ශක්තිය අහිංසක ලෙස මුදා හරිනවා. ඒක අපි කාට කාටත් පොදුයි. එබඳු අත්දැකීම් විශාල ප්‍රමාණයක් මගේ ගැමි ජීවිතය තුළ තිබෙනවා. ඒක අපිට ප්‍රේමය කියලා හඳුන්වන්න බැහැ. ප්‍රේමය ශාරීරිකත්වය ඉක්මවා ගිය එකක්. අනුරාගී හැඟීම් ගැමි ජීවිතය තුළ මට වඩා වැඩිමල් අය එක්කත්, බාල අය එක්කත් මුදාහරින්න අවස්ථා ලැබුණා.   

එතකොට ඔබගේ පෙම් සිත අවදි කළේ මොන කාලයේද? පාසල් අවධියේදී ඔබට පෙම් සිතක් ඇතිවුණේම නැද්ද?   


ඇයි නැත්තේ. මගේ සිතේ පෙම් සිතක්, එහෙමත් නැත්නම් පපුව රිදෙන පපුවට යමක් දැනෙන, හදවත වේගයෙන් ගැහෙන, ඇඟ උණුසුම් වන ප්‍රේම සිතක් මට පහළ වුණේ මම පාසල් අවධියේ 6, 7 පන්තියේ සිටින කාලයේදී. මට මතකයි 6 පන්තියේ ඉගෙනුම ලබද්දී ඒ දුප්පත් පාසලට කළුපාට සූට්කේස් එකක් අරගෙන අලුතෙන් ආවා ගැහැනු ළමයෙක්. ඒ ගැහැනු ළමයාව දුටුවාම මට යම්කිසි, මීට පෙර ගමේ ඇති වූ ආදර සිතිවිලිවලට වඩා වෙනස්, බොහොම සංවේදී විනයානුකූල සිතක් පහළ වෙනවා. එතකොට මම ඒ සිතිවිල්ලට හරි කැමතියි. මට හැමවෙලේම ඒ ළමයාව පෙනෙන​්නේ ඇයි? අැයි ඒ ළමයා මගේ වෙන්නේ කියන තැන තමයි ආධ්‍යාත්මික ප්‍රේමයේ ආරම්භය. අපි ඔය ප්‍රථම ප්‍රේමය කියන්නේ ඒකටයි. 

 
ඊට පස්සේ මට ඒ ළමයා නැඹුරු කර ගන්න බැරිවෙනවා. ඒ ළමයා අධ්‍යාපනය සහ ගෙදර දොරේ ගැටලු නිසා ඇයට වැඩි බරක් දරන්න සිදුවෙනවා. මොකද ඒ ළමයාගේ පියා මියයනවා. මගේ ඒ ප්‍රේම ආරාධනාවට අනුගතවෙන්න එයාට අවස්ථාවක් වෙලාවක් පෑදෙන්නේ නෑ. ඒනිසා එය කාලයට ඉඩදෙනවා. මම නැවත මගේ ගැමි විවෘත ජීවිතයට ප්‍රවිශ්ට වෙනවා. ප්‍රේම වේදනාවෙන් මිදෙන්න තමයි මම යළි ගැමි ජීවිත සොයා ගියේ. එහෙම අවස්ථා තිබුණා. අපි මූදුකරයට ආසන්න කතෝලික ගමකනේ හිටියේ. ඉතිං හොඳට කන බොන මස් මාංශ බුදින පිරිස් අපි. ඒනිසා අපේ ගමට පිටගම්කාරයෝ එනවා. ඔවුන් අපේ චර්යාවලට වඩා විවෘතයි. එතනදී තවත් හැඟීම් මුදාහරින්න මට අවස්ථා උදා වෙනවා.   


ඊට පස්සේ ප්‍රේමයක් ඔබ තුළ ඇතිවුණේ නැද්ද?   


තිබෙනවා. මම පාසලේ කීර්තිමත්ම ශිෂ්‍යයෙක්. නාට්‍ය, චිත්‍ර, ගායනය යන සියලුම දේවල් අධ්‍යාපනයට වඩා ඉහළින් මම කළා. සා.පෙළ පාස් වුණේ නූලෙන්. ලොකුවට අධ්‍යාපනය තිබුණු කෙනෙක් නොවෙයි මම. සංවේදනාවන්ට තමයි මම ප්‍රිය කළේ. සාහිත්‍ය වින්දනය කළ කෙනෙක්. මගේ පළමු පෙම් හසුන මම ලියන්නේ කොටුරූල් කොළයක රතුපාට බෝල්ට් පොයින්ට් පෑනකින්. 6 වැනි පන්තියේ සිටිය මගේ ආදරවන්තියට. ඒවා ඒ කාලයේ ලොකු සාහිත්‍ය නිර්මාණ. මගේ හැඟීම් ලියා දමන්නයි උත්සාහ කළේ. අද ළමයින්ට sms ඇවිත් ඒ සාහිත්‍ය නැතිවෙලා ගිහින්.   


පුළුවන් තරම් කාව්‍යාත්මකව තමයි මම ඇයට පෙම් හසුන ලිව්වේ. ඇයගේ හිතේ මා තුළ විශාල ආදරයක්, කැමැත්තක් අැති වෙනවා. නමුත් ප්‍රායෝගිකත්වය එයට යළිත් හරස්වෙනවා. ඇය මට වඩා ඉහළින් සා.පෙළ සමත් වුණත් ඇයට උසස්පෙළ සඳහා වරම් නැති වෙනවා. ගෙදර නැවතිලා රැකියාවකට යන්න සිද්ධ වෙනවා. ඇය ගුරු වෘත්තිය තෝරා ගන්නවා. ඇය ගුරුවරියක් බවට පත් වෙනවා. මම ගලහිටියාව මැදි විදුහලට උසස්පෙළ කරන්න යනවා. ඔතනින් මගේ ජීවිතයේ කරණමක් ගහනවා.   


 

 ඒ කියන්නේ ඔබ ප්‍රේමයෙන් ආතුරව දෙන්නෙක්ට ආදරය කරන්න ගියා කියන එක නේද?  


ඔව්. ඔබ හරි. මම ඒ පාසලට එනවිට මට පෙම්වතියක් ඉන්නවා. බොහොම ආධ්‍යාත්මිකව පෙම්වතියක් ඉන්නේ. නිතර හමුවන්න, ඇවිදින්න ගමේ කොල්ලන්ට කෙල්ලන්ට වගේ අවස්ථාව උදාවෙලා නෑ. ලාලසාව, ප්‍රථම ප්‍රේමය නැත්නම් සංවේදනාව ඒවා ආධ්‍යාත්මිකව විඳගන්න පෙම්වතෙක් තමයි ගලහිටියාව මැදි විදුහලට යන්නේ. එහේදී මගේ ජීවිතය එහෙම පිටින්ම වෙනස් වෙනවා. මගේ එකම එල්ලය කලාකරුවෙක් වීමයි. ගුරුවරු මාව යොමුකළේ ඒකටයි. මට ගලහිටියාවේදී සංගීත කාමරය. නැටුම් කාමරය, සාහිත්‍ය ගුරුවරයා හමුවෙනවා. මම ටිකක් පැහෙනවා. එතනදී නාට්‍ය හා ගීත වෙනුවෙන් අපේ කණ්ඩායමක් හිටියා.   


ඒ කණ්ඩායමේ ඉතා ශූර, දක්ෂ ශිල්පිනියක් තමයි කුමාරි මුණසිංහ කියලා මට හමුවෙන්නේ හොඳ මිතුරියක්. අපට බජාර් එකක් තිබුණා. පන්සල් ගානේ අපි නාට්‍ය පෙන්නුවා. අපේ ගෙදර නිතර කුමාරි එනවා. මම ඒගොල්ලන්ගේ ගෙදර යනවා. ඒ වනවිට කුමාරිට ගෙවල්වලින්ම යෝජනා කළ සම්බන්ධතාවක් තිබුණා. මටත් තිබුණා. මගේ පෙම්වතිය එයා හඳුනනවා. එයාගේ පෙම්වතා මම හඳුනනවා. කිසි ගැටලුවක් නෑ. එහෙම ආදර සබඳතාවක් තිබුණේ නෑ. අපි මේ මචංලා. මට ඔය ‘ජැකා’ කියන වචනය දාන්නෙන් කුමාරියි. එතනින් පස්සේ තමයි හැමෝම මට ජැකා කිව්වේ. හරි යාළු කණ්ඩායමක් හිටියා. උපතිස්ස බාලසූරිය, තිලක් සේනසිංහ වැනි ගොඩාක් දෙනා අපේ බජාර් එකේ හිටියා. විනො​්දෙන් ගත කළා. 

 
මම 1976දී නාට්‍යයක් කරනවා. එහි ප්‍රධාන චරිතයට කුමාරිව ගන්නවා. නාට්‍යයේ නම ‘මේ කොයි යන්නේ’ පොඩ්ඩ පොඩ්ඩ අපි දෙන්නාගේ කලා හැකියා, එකට හිතන විදිහ එකතුවෙන්න ගත්තා. ඊට පස්සේ උසස් පෙළ අවසාන අවධියේ නෙවිල් ඩයස් සුබසිංහ ‘වාරුවෙන් යන’ නාට්‍ය හැදුවා. එහිත් කුමාරිත් මමත් රඟපෑවා. ලංකාව පුරා යනවා. අපි එකට ළංවෙලා ඉන්නවා. ඒ සමීපවීම හෙමින් හෙමින් ප්‍රේම සම්බන්ධයක් බවට පත්වුණා. දැන් මට පෙම්වතියන් දෙන්නයි. ඔන්න වර්තමාන කොල්ලෝ දිවි නසාගන්න කාරණාවට එනවා.   


එතනදී ඔබගේ බිරිඳ බවට පත් කරන්නේ කුමාරි. කොහොමද අනෙක් පෙම්වතියගෙන් ඔබ සමුගත්තේ?  


මම දැඩි චිත්ත පීඩාවකට මේ නිසා පත්වෙලා හිටියා. මේ දෙන්නම අහිංසකයි. දෙන්නම මට ආදරෙයි. මාත් දෙන්නටම ආදරෙයි. මට මේ දෙන්නවම ඕනෑ. ඔහොම ​වෙලා වර්තමාන කොල්ලෝ බෙල්ලේ වැල දාගන්නවානේ. නමුත් අපට සංවේදනා තේරුම් ගැනීමේ ස්වරූපයක් තිබුණා. ඒනිසා අපි ඒ කාලයේ ‘මළගිය ඇත්තෝ, මළවුන්ගේ අවුරුදුදා, විරාගය’ වැනි පොත් කියවනවා. කරුණාසේන ජයලත්ගේ පොත් කියනවා. ඒවයින් අපේ මේ හිත්වල තිබෙන තෙරපුම මුදාහරින්න පුළුවන් වෙනවා.   


මට මතකයි අවසාන තීන්දුව ගත්ත දවසේ මම මිනී කනත්තක බුදිය ගත්තා. ඒ තරම් මට මෙය දරාගන්න බැරිවුණා. මම මිනී කනත්තක වැටුණා. කොල්ලෝ මාව වත්තන් කරන් ඇවිත් කොහොම හරි මගේ තීන්දුව ප්‍රකාශ කළා. ප්‍රථම ප්‍රේමයට මම දැනුම් දීලා මම ඇයගෙන් සමු ගත්තා. සමු අරගෙන කුමාරි හා මම පෙම්වතුන් වුණා. කුමාරිගේ පෙම්වතාටත් සිදුවුණේ මට වූ දේමයි. කවදා ද අපි දෙන්නා ආදරවන්තයන් වුණේ කියලා ප්‍රශ්නයක් ඇසුවොත්, මට දෙන්න උත්තරයක් නෑ. ඒක මමවත් දන්නේ නෑ. හෙමින් හෙමින් සිද්ධ වූ දෙයක්. කලා කටයුතු එකට හිතනකම, ප්‍රේමය සමඟ ආධ්‍යාත්මික සාකච්ඡාව, ආවර්ජනය මේවා අපේ ප්‍රේමයට හේතුවන්න ඇති. මම හරි කතාකාරයෙක්. ඒ වගේම හරියට ලියනවා. පෙම් හසුන් ලියනවා, ඩයරි ලියනවා. කවි ලියනවා ඒ දවස්වල. ඔහොම ඔහොම අපි දෙන්නා දැඩි පෙම්වතුන් බවට පත්වුණා.   


එතකොට විවාහ වෙන්න තීරණය කළේ ඔබද? ඇයද? පළමු පෙම්වතිය ඔබට මුණ ගැසුණේ නැද්ද?   


මෙතනදී බන්දුල නානායක්කාරවසම් ලියූ අපූරු හයිකු කවියක් මට මතක්වෙනවා. ඒක මගේ ජීවිතයට ලොකුවට බලපානවා. කවියේ නම ‘ප්‍රථම ප්‍රේමය’. කවිය තමයි,   


‘වීසි කළෙමි   


නෙල්ලි ගෙඩිය 

 
තිත්ත රස දැනී 

 
පැණි රස දැනෙන්නට පෙර’  


ඒකනේ ප්‍රථම ප්‍රේමය වීසි කළාට පස්සේ පැණි රස අපට දැනෙන්නේ. ඒ හින්දයි අපි ප්‍රථම ප්‍රේමය සංකල්පය හදාගෙන තිබෙන්නේ. මිනිසකුට තිබෙන්නේ එකම ප්‍රේමය නම් ඔහුට සංවේදනා නැහැනේ. එකකට වැඩිය තිබුණාම තමයි ප්‍රථම ප්‍රේමයේ වටිනාකම වැඩිවෙන්නේ. තවමත් ඇය මට මුණගැසෙනවා. අපි බොහොම අවබෝධයෙන් අමාරුවෙන් විඳදරාගෙන තේරුම් අරගෙන තමයි ගමන ගියේ. අපේ ගෙවල්වලින් කුමාරිටයි මටයි ගැටලු මතුවෙනවා. සංස්කෘතික ප්‍රශ්න, ආගමික ප්‍රශ්න බලපානවා. අපේ අය ඒ අයට කැමතියි. ඒ අය අපේ අයට අකමැතියි.   


ඊට වඩා ලොකු කාරණාවක් තිබුණා නේද කුමාරිට අකමැතිවෙන්න. ඔබගේ අම්මා විරුද්ධ වුණා නේද කුමාරිව ලේලි කරගන්න එක් ප්‍රශ්නයක් ​හින්දා?   


ඔව්. ඔබ කොහොමද ඒක දන්නේ. ප්‍රශ්නයක් නෑ. කුමාරි ඊට පෙර යාළුවෙක් විදිහට අපේ ගෙදරට එනවා යනවා. එතකොට අපේ අම්මාගේත් හොඳම යාළුවා. හරි ආදරෙයි. හැබැයි මෙයා දඟමල්ල. වැඩිහරියක් ඉන්නේ ගස් උඩ. කුමාරිව මට ඉස්සෙල්ලා හමුවෙන්නෙ කජු ගහක් උඩ ඉඳලා. යාළුවෙකුගේ ගෙදර නාට්‍යයක් පුහුණු වෙන්න ගිහිල්ලා කවුද එකෙක් උඩ ඉඳලා කජු පුහුලමකින් ගැහුවා. උඩ බලනකොට කුමාරි උඩ හිටියේ. එයා ගස් නගින, බයිසිකල් පදින, පොළව කොටන, ගොවිතැන් බත් කරන කාන්තාවක්. එහෙම චරිතයක්. යාළුවෙක් විදිහට අපේ ගෙදර දුව පැන හිටපු එහෙම දඟකාර, ගස් නගින කෙනෙක්ව ලේලි කරගන්නවාද කියන ප්‍රශ්නය අපේ අම්මාට තිබුණා. මුලදී ඔය ආගමික කාරණාවට වඩා බලපෑවේ ඔය කාරණාවයි. ඒකත් සමහන් කරගන්න අපට පුළුවන් වුණා. කුමාරිගේ පවුලේ අය මට ආදරය කරන්න පටන් ගන්නවා. දෙගොල්ලන්ගේම කැමැත්තෙන් අපි 1985 දී විවාහ වෙන්නේ. විවාහවෙලා අපි ප්‍රසිද්ධ ජීවිතයට ඇතුළු වෙනවා. එතනින් පස්සේ තමයි හැමදේම සිද්ධ වෙන්නේ.  


විවාහ දිවියට එළැඹුණාට පස්සේ ඔබට විවාහය ගැන මොකද සිතෙන්නේ?  


මම කුමාරිව දකින්නේ 1975දී. නමුත් අපි පෙම්වතුන් බවට පත්වන්නේ 1980දී විතර. අවුරුදු 10ක දැන හැඳුනුම්කමක් මත තමයි අපි විවාහ වෙන්නේ. විවාහය බන්ධනයක් වෙනවා. ඒක කුටුම්බයක්, පවුලක් වෙනවා. ඒක එහෙම නොවුණොත් මේ සිවිල් ජීවිතය ගත කරන්න බැහැ. පවුල කියන ඒකකය ඉතාම වැදගත්. මෙතනදී අපි දෙන්නාටත් සිද්ධ වෙනවා ඒකට එකඟ වෙන්න. කිසිම සම්බන්ධයක් නැති දෙන්නෙක් මේ එකතු වෙන්නේ. මේ ජාන දෙක වැඩෙන්නේ වෙනම. එහෙම ජීවිත දෙකක් එක ගෙදරක් බවට පත්වෙන විට ඕනෑම කෙනකුට මුහුණ දෙන්න සිදුවෙනවා බරපතළ ගැටලුවකට. එතනදී කවරදාවත් ස්ත්‍රිය වෙනුවෙන් පුරුෂයාවත් පුරුෂයා වෙනුවෙන් ස්ත්‍රියවත් වෙනස් කරන්න බෑ. අපි ඒ වනවිට ජීවිතයේ හැඩය හදාගෙන ඉවරයි. ඒ හැඩය ඇයටවත් මටවත් වෙනස් කරන්න බැහැ. විවාහය යනු පරිත්‍යාගයයි කියන්නේ අපේ හිත් මෙයට හදවා ගන්නයි.   


අපේ අම්මාගේ පරම්පරාව වඩු වැඩ කරන අය. මේ වඩුබාස්ලා ලී දෙකක් පුරුද්දනවානේ ගස් දෙකකින් ලී දෙක පුරුද්දන්නේ කොහොමද? මම හොඳට බලාගෙන ඉඳලා තිබෙනවා. එක ලීයකින් තවුවක් කපනවා. අනෙක් ලීයෙනුත් කැල්ලක් කපනවා. ඒ තව් දෙක එකට හිරවෙන්න අමුණනවා. එතකොට ලී දෙකෙන්ම කෑලි දෙකක් ගිහින්. ලී දෙකට හාවෙන්න බැහැ. ලී දෙකෙන් අයින් කරපු කෑලිවලින් තමයි ලී පුරුද්දන්නේ. මම හිතන්නේ විවාහයත් ඒ වගේ. කිසියම් කොටසක්, ස්වාමියාට තම ජීවිතයෙන් ඉවත් කරන්න සිදුවෙනවා. ස්ත්‍රියටත් තම ජීවිතයෙන් කිසියම් කොටසක් ඉවත් කරන්න වෙනවා. ඒ ඉවත් කළ කොටස් තමයි මේ හා වෙන්නේ. එහෙම නොවුණොත් විවාහය අසාර්ථක වෙනවා. මේ වෙනස්කම් එක මිතියකට ගන්න සෑහෙන කාලයක් යනවා. ඒ සඳහා බලපාන ප්‍රධානම සාධකය තමයි දරුවන්. ඔය දෙන්නා එකතුවෙන බැම්මේ ප්‍රධාන සාධකය වන්නේ දරුවන්. මට 1988 දී දරුවෝ හම්බෙන්න පටන් ගන්නවා. එතනින් එහාට දරුවෝ එක්ක බැඳෙන්නේ ලේ බැම්මක්. ඒ පුදුමය තමයි පවුල කියන කුටුම්බය ඉදිරියට ඇදගෙන යන්නේ. 


නමුත් ඔබ ප්‍රසිද්ධ ජීවිතයට එනවිට විවිධ අයගේ ඇල්ම බැල්ම වැටෙනවා නේද? මේවාට කොහොමද ඔබ මුහුණ දුන්නේ?   


ඕනෑම හැකියා සම්පන්න කෙනෙක් ක්ෂේත්‍රයේ ඉදිරියට එද්දී එයා පිළිබඳ පේන්න පටන් ගන්නවානේ. මම රංග කාර්යයයේ නියැළී සිටින්නෙක්. මම කියවන්නෙක්. මම ලියන්නෙක්. හිතන්නෙක්. අාවර්ජනය කරන්නෙක්. මම ඒ වනවිට සිංහල විශේෂවේදී ගෞරව උපාධියක් අරගෙනයි මේ ඇවිත් ඉන්නේ. මගේ ආධ්‍යාත්මයේ සාහිත්‍ය ගොන්නක් පුරවාගෙන ආවේ. මම ගීත ගෝවින්දය, කාම සූත්‍රය වැනි සියලු දේ කියවාගෙන එන කෙනෙක්. මට ලැබෙන අලුත් මිත්‍ර සන්ධාන එක්ක මේවා බෙදා හදා ගන්නවා. එතකොට මම හරි බුහුටි තරුණයෙක් බවට පත්වෙනවා. මට හුඟ දෙනෙකුගේ කැමැත්ත ඇතිවෙනවා. ඒ නිසා බොහෝ විට මේ ප්‍රේමය පිළිබඳව ලාලසාව පිළිබඳ අනුරාගය පිළිබඳ, මම කතාකරන්න පටන් ගන්නවා. ඒවා අහන්න බොහෝ විට කාන්තා පාර්ශ්වය ප්‍රිය වෙනවා. අපට නිදහස තිබෙනවා.   


මාත් එක්ක දක්ෂ, ලස්සන ජනප්‍රිය නිළියෝ එකට රඟපානවා. ඒ අය මට ළං වෙන්න ප්‍රධානම හේතුව මගේ මේ තිබෙන සුරුබුහුටිකම, මගේ මේ කතා විලාසය. අපි හුඟාක් ඒ විදිහට ළංවෙනවා. මාත් එක්ක රඟපෑ ගොඩාක් දෙනා මට හරි ළංවෙනවා. අාධ්‍යාත්මික යාළුවෝ බවට පත්වෙනවා. සමහරුන්ට මේක අයථා සම්බන්ධයක් කියලා පෙනෙන්න පුළුවන්. ඒවා අයථා සම්බන්ධ විදිහට විග්‍රහ කරන්න පුළුවන්. අපි එහෙම ලියමු. ඒ ගණයට මේවා වැටෙන්න පුළුවන්. අපි හරි ආදරෙයි. අනුරාගීයි එහෙම සම්බන්ධතා මගේ ජීවිතය තුළ සිද්ධ වෙලා තිබුණා.   

 

 
 

 

ඔබගේ හොඳටම හිත ගිය නිළියක් හිටියද?  


එහෙම මට කියන්න අමාරුයි. මොකද එහෙම කිලිටු සම්බන්ධතා තිබුණම, ඒ කිලුට්ට පේන්න ගත්තාම ජන්මාන්තර වෛරක්කාරයෝ බවට පත්වෙනවානේ. නම කියනවාටත් අකමැති අය හමුවෙලා තිබෙනවානේ. මට එහෙම එකක් නෑ. මාත් එක්ක කිසි කෙනෙක් තරහා නෑ. මට හරි සමීප වෙලා, හරි ආධ්‍යාත්මිකව සබඳතා පැවැත් වූ අය තාමත් මාත් එක්ක මිත්‍රයි. හරි සම්බන්ධතා තවමත් පවත්වනවා. අපි දැන් වයසට ගිහින් දරුවෝ ලොකු මහත්වෙලා ඉන්න මිනිස්සු. හැබැයි මම ජීවිතයේ කැමතිම දේ ආවර්ජනය කරන්නයි. ඒ නිසා ඒ ආවර්ජනය ‘චිහ්’ කියන්න මා කැමැති නෑ. ඒ නිසා එහෙම හිතන්න කැමති නැති චරිතත් එක්ක මම ඉන්නෙත් නෑ. චිත්‍රපට තෝරා ගන්නවා වගේ තමයි ඒකත්. මම ජීවිතයේම පනින්න පෙර සිතා බලනවා.   


නිළියෝ විතරක් නොවෙයි විවිධ ක​්ෂේත්‍රවල කාන්තාවෝ මට ඇල්මක් දැක්වුවා. කුඩාකාලයේ සිටම මා කෙරෙහි ස්ත්‍රීන් හරි ප්‍රියයි. මම පුංචිම කාලයේ හිටියේ බණ්ඩාරවෙල. මොන්ටිසෝරි කාලයේ ඉඳලම ස්ත්‍රීන් මාත් එක්ක හරියට සම්බන්ධ වෙනවා. එදා සිට අද දක්වාම මට ළංවෙන මම ඇසුරු කරන්න කැමති මාත් එක්ක සමීපව දොඩමලු වෙන්න කැමති බොහෝ පිරිස් ඉන්නවා. ඒක කවදාවත් අඩුවෙලා නෑ. හරිම පරිස්සමෙන් ඔවුන් එක්ක ගනුදෙනු කරන්නේ. මගේ පවුලට බිරිඳට හානියක් නොවන විදිහට තමයි මේ ගනුදෙනු ගෙනියන්නේ. මට මගේ මිත්‍රයෝ කියන්නේ ‘ගොපල්ලා’ කියලා. ඒ මම පවුලේ අය එක්කගෙන එන හින්දා. ඔවුන් කියන්නේ හරක් පට්ටිය දක්කගෙන තමයි ඕනෑ තැනක එන්නේ කියලා. මම හරි කැමැතියි පවුල කියන ඒකකයට. අද මගේ දුව ලොකු වුණත් පෙම්වතියක් වගේ මට සමීපයි. දරුවෝ හැම දෙයක්ම මට කියනවා. මම ඒ තරම් විවෘත වෙලා ඉන්නේ.   


නමුත් පසුගිය වකවානුවල ඔබගේ පවුල්වල ගැටුම් ගැන ප්‍රචාරය වුණා. එයට ඔබගේ සහායිකාවගේ නමත් ඈඳාගෙන තිබුණා නේද?   


මා සමඟ වසර 20ක් පු​රා මගේ පර්යේෂණ සහායිකාව, මගේ සහාය ශිල්පිනිය, මගේ වෘත්තීය ජීවිතය මුළුමනින්ම බලා කියා ගන්නේ ඔබ කියන සහායිකාවයි. අද වනතුරුත් මගේ වෘත්තීය ජීවිතය තුළ සහායිකාව වන්නේ ඇයයි. ඒ අවුරුදු 20 තුළ මගේ හැකියාවන් තේරුම් අරන් මාව මෙහෙයවන්න හැකියාවක් වෙන කාටවත් නෑ. ඒ බව මගේ ඉතා සමීපතමයෝ දන්නවා. මගේ බිරිඳ මගේ දරුවන් මේ සම්බන්ධතාවයේ ඓක්‍යය කොතනටද එකතුවෙන්නේ කියලා. ලෝකය ඊට වඩා වෙනස්. ලෝකය මේ හැම දෙයක්ම දකින්නේ ඕපාදූපයක් හැටියට. ඕපාදූප ඇසින් මේක බැලුවාම කාටහරි ඒක සිතන්න පුළුවන්. ඒකට මට කරන්න දෙයක් නෑ. එහෙම කියලා මගේ ජීවන පැවැත්ම වෙනස් කරන්න ඕනේ නෑ.   


මම 2000දී ඇය රැකියාවට සම්බන්ධ කර ගත්තේ. මහනුවර පුෂ්පදාන විද්‍යාලයේ දක්ෂ ශූර ශිෂ්‍ය නායිකාවක්. එයා විද්‍යා විෂයයන් කර තිබුණේ. එයාගේ පරිගණක භාවිතය ඉංග්‍රීසි භාවිතාව, විද්‍යා ඥානය හා සුදුසුකම් මත තමයි මම 2000 වසරේ මගේ ‘ඇසිස්ටන්ට්’ හැටියට ස්වර්ණවාහිනියේදී තෝරා ගත්තේ. එතනින් පස්සේ මා කළ සියලුම කටයුතුවල පසුපසින් හිටියේ ඇයයි. අදටත් මම වාහනයක යනවිට ඇය මා ළඟින් යන්නේ. ඒ ගමන යනතුරුත් මට ඇහෙන ලෙස පොතක් කියවනවා. නැතිනම් මට පොත් කියවන්න වෙලාවක් නැහැනේ. නමුත් පොත් කියවීමේ පිපාස​ෙයන් මම පෙළෙනවානේ. එතකොට මා වෙනුවෙන් ඇයට පුළුවන් හොඳට තේරුම් යන ලෙස වේගයෙන් කියවන්න. ඇය හොඳ ප්‍රසන්ටර් කෙනෙක්. මේ සියලු දේ අදටත් ඇය මා වෙනුවෙන් කරනවා. ඒක මගේ ජීවිතය. ඕපාදූපයකට හැකියාවක් නෑ මගේ ජීවිතය වෙනස් කරන්න.   


එහෙමනම් මොකක්ද මේ ඕපාදූපය ඔබට අනුරාගී සිතක් පහළවෙලා නැද්ද?  


‘‘ගැහැනු කවුරුද වරදේ නොබැඳෙන’’ කියලා කතාවක් තිබෙනවානේ. ඒ කතාව බොරු. රාහුල හාමුදුරුවෝ එහෙම ලියලා නෑ. ඒක බොරුවක්. කොහොම වුණත් අපේ මතයක් තිබෙනවානේ ඒ ගැන. ස්ත්‍රියත් පුරුෂයත් එක්වෙලා කටයුත්තක් කළාම ඒක ඕපාදූපයක් බවට පත්වෙනවාමයි. අනෙක් රටවල එහෙම නෑ. අපට විශාල ඕපාදූප හැදෙනවා. මම ඉබාගාතේ ගිය මිනිහෙක් නොවෙයි. මේක ප්‍රශ්නයක් වී තිබෙන්නේ ඕපාදූප කාරයන්ටයි. මගේ ගෙදර අයයි මාව හොඳට දන්නේ. මගේ බිරිඳට මගේ දරුවන්ට මේවා ගැන කිසිදු ගැටලුවක් නෑ. ඒ අපට ප්‍රත්‍යක්ෂයි මේක වෘත්තීය සම්බන්ධතාවක් කියලා. මගේ සහායිකාවගේ ස්වාමිපුරුෂයාත් මාව හොඳට දන්නවා. ඔවුන් ඉතා හොඳ පවුල් ජීවිත ගතකරන අය. ඒ දෙදෙනාම මට හොඳ භක්තියකින් කටයුතු කරන්නේ. සමහරුන්ට මෙහෙම වුණාම පවුල් පන්සල් දෙදරලා යනවානේ. ඒවා ඕනෑතරම් අපි දැකලා තිබෙනවානේ. නමුත් අපේ සම්බන්ධය ඊට වඩා ශක්තිමත්. 

 
මම සෞන්දර්යවාදියෙක්. ඒ සෞන්දර්යවාදියාට රති කියන කාරණාව අයිති නෑ. ඔහුට අයිති ශෘංගාරයයි. රති කියන්නේ විනාශකාරී භාවයක්. හැබැයි රති තුළින් උපදින ශෘංගාරය සෞන්දර්යාත්මකයි. ඒ නිසා මම රතිය අතහැර ශෘංගාරය විශ්වාස කරන ආදරය ප්‍රේමය රාගය පිරි සෞන්දර්යවාදියෙක්. ප්‍රේමයෙන් තොර වුණාම රාගය නිකම්ම නිකම් බහිස්ස්‍රාවයක් බවට පත්වෙනවා. හරියට මල මුත්‍රා බහිස්ස්‍රාවය වගේ. ඒක හරියට නිකම් ශාරීරික විධාරණයක් බවට පත්වෙනවා. ඒ විධාරණය නිසා තමයි මානව සංහතිය පවතින්නේ. එය ප්‍රේමයෙන් තොරවුණාම කොහොමද මානව සංහතියක් වෙන්නේ. ඒ හින්දා මහාචාර්ය සුනිල් ආරියරත්නගේ ‘ප්‍රේමය නම් රාගයෙන් තොර සඳ එළිය සේ අචින්තයි’ කියන ගීතයට මා එකඟ නෑ. ඒක මානව සංහතියට හානිකර සංකල්පයක්. ප්‍රේමය සහ අනුරාගය ආධ්‍යාත්මිකයි. මේ දෙකෙහිම ආත්මය එකයි. ඒවා ආත්මීයව වින්දනය කළ යුතුයි. අතීත ආවර්ජනය කළ යුතුයි. ඒ තැන තමයි මම ඉන්නේ.   


ඔහු කියාගෙන යන්නට විය. ඒ පිළිබඳව දවස් ගණනක් වුවද ඔහු සමඟ කතාබහ කළ හැකිය. පිටු ගණන් ලිවිය හැකිය. ඒත් විරාමය තැබීමට මට අවශ්‍යය. ජැක්සන් කියූ බොහෝ දේ තුළ යටි අරුතක් ඇති බව පමණක් මම ඔබට කියන්නෙමි. ඒ යටි අරුත සොයා ගැනීම ඔබට භාරකරමින් මේ පරිච්ඡේදය ලියා නිම කරන්නෙමි.   

 

 

 

 

 

 

 

 

 

 

 

 


කතාබහ කළේ   
සමන්ත යහම්පත්  

 



අදහස් (0)

කුමාරි මට මුලින්ම හමුවුණේ කජු ගහක් උඩ ඉඳලා

ඔබේ අදහස් එවන්න

රසවිත

අනේ පොඩි නැන්දා මට හුඟක් දවස් කාමරේ ඇතුළෙ ඉන්න වෙයිද?
2022 මාර්තු මස 26 10915 0

හීන් නෝනා දියණිය දෙස බැලු‍වේ කරදර දෑසිනි. දුරකථනය හරහා ආවේ සුබ පණිවිඩයක් නොවන බැව් ඇගේ මුහුණ කියා පෑවේය. “කවුද කතා කෙරුවේ..?” හීන් නෝනා විමසුවාය. “අයිය


යෙලෝ බීට්ස් කියන්නේ කවුද ?
2022 මාර්තු මස 26 6207 0

මෙවර U Tube ලෝකය තුළින් ඉරිදා ලංකාදීපයෙන් කතාබහ කරන්න හිතුවේ සමාජ මාද්‍ය ඔස්සේ අතිශය ජනප්‍රිය Girls Voice Band එකක් පිළිබඳව. ඒ Yellow Beats කණ්ඩායම කුෂිනි ප්‍රවින්ද්‍යා, දි


පුරාණ රජ කාලේ වීදුරු හැදූ ‘පබුලුගම’
2022 මාර්තු මස 26 5924 0

ශ්‍රී ලංකාවේ පබලු භාවිතය පිළිබඳ පුරාණතම සාධක අයත් ​ෙවන්නේ ප්‍රාග් ඓතිහාසික යුගයටය. ක්‍රි.පූ. (900-600) අතර මුල් යුගයේදී ජනතාව පබලු භාවිතය සුලබව සිදුකොට ඇති


වෘන්දා වනයේ පෙම්මල් විසිරේ...
2022 මාර්තු මස 26 5241 0

හින්දු පුරාණයට අනුව විෂ්ණු දෙවි යනු ලොව සුරකින්නාය. ලෝකයේ තිර පැවැත්ම පිණිසත්, ධර්මය රැකීමටත්, අදමිටුවන් විනාශ කිරීමටත් වරින්වර විෂ්ණු ලොව පහළවන බව මහ


බිම් බෝම්බය පිපිරෙද්දී ගෙදරට පණිවිඩයක් දුන් ව්‍යාපාරිකයා
2022 මාර්තු මස 26 3231 0

මසින් ලෙයින් නිර්මිත මසැසට භෞතික ලෝකයේ බොහෝ සංසිද්ධි දැක ගත හැකි වුවත් ඉන් එහා ඇති අවිඥාණික දේ පෙනෙන්නේ නැත. භූගත පෘෂ්ඨ වංශික ඇතැම් සතුන් හැරුණු විට සෙ


නූතන ශාසන ප්‍රබෝධයේ ශාස්ත්‍රවන්තයා සිටිනාමළුවේ මහ තෙරිඳු
2022 මාර්තු මස 26 1704 0

සිත්තම්ගල ගල් ලෙන බලන්නට මී ආතා “බරින්දු” එක්ක ගෙන ගියේ ගැල් කරත්තයෙන්ය. “අපේ ‍රැහේ උන් තමයි දරුවෝ මෙතන නැණපිල පටන් ගෙන සාහිත රස බෙදුවේ.” එදා මී ආතා කී ක


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 283 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1644 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1517 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site