IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


කැලණි ගඟ උපදින්නේ සමනල කන්දෙන් නොවේ

කැලණි ගඟේ උපත සොයා ගඟ දිගේ ගමනක්-12

ගඟේ උපත සමනල රක්‍ෂිතයේ

 

කැලණි ගඟේ මුල් දියවර 
(සමනල කන්ද පසුපසින් දිස්වෙයි)

 

 

සමනල කැලේ උත්පත්තියේ ඇත්ත නැත්ත සොයා යන සෞන්දර්යාත්මක ගවේෂණ චාරිකාවේ අප පුරා කොටස් එකොළහක් මුළුල්ලේ මෝදර සිට කැලණි ගඟට සමාන්තරව දුර ගෙවා ගෙන පැමිණියේ විවිධ ජීවන රටා සහ කැලණි ගඟේ අපූර්වත්වය කැටි කළ දායාද සමගිනි. අද අප සොයාගෙන යන්නේ මස්කෙළිය ඔය නිර්මාණය කරන මාඋස්සා කැලේ ජලාශය පෝෂණය කරන මාර්ග පිළිබඳවය. එනම් සමනල රක්ෂිතයේ දියවරින් මාඋස්සාව පෝෂණය වන ආකාරය සොයාගෙනය. 


මාඋස්ස ග්‍රාමයේ මංසන්ධියෙන් දකුණට හරවා නල්ලතන්නිය යන මග පුරාවටත් එතැන් සිට මුල්ගම ඔස්සේ රජමාලේ වතුයාය පසුකරගෙන ෆිෂිං හට් (Fishing Hut) වෙත යනතුරුත් අනෙක් පසින් මාඋස්සා හන්දියේ සිට මස්කෙළියට ගොස් එතැනින් අප්කොට් මාර්ගයේ හැරී ෆොග්මෝර් සහ ගාට්මෝර් වතුයායවල්වල කෙළවර වනතුරු දක්නට ලැබෙන්නේ සුන්දර මාඋස්සා කැලේ ජලාශයයි. විටෙක නිල් පැහැයෙන් දිදුලන දියවරක්ද තවත් විටෙක කොළ පැහැයෙන් දිදුලන දියවරක්ද ලෙස දැකිය හැකි මෙහි සමස්ත ජලකඳ පිහිටි වපසරිය වර්ග කිලෝමීටර ගණනක් පුරාවට විහිදී ඇත. 


ජලාශය අතරමැද කුඩා දූපත් වැනි විශාල පස් කඳු පිහිටා ඇති අතර ජලාශය ජලයෙන් පිරෙන විට බොහෝමයක් කුඩා දූපත් වැනි කොටස් වැසී යයි. තවද කොපමණ විශාලත්වයක් තිබුණද සෑම වසරකම පෙබරවාරි, මාර්තු වැනි කාලයේ ජලාශයේ හරි අඩක් පමණ ජලය සිඳී පතුල මතුවන තරමටම පෙනෙයි. එවිට මෙම ජලාශය නිර්මාණයේදී යටවුණු පැරණි මස්කෙළිය නගරයේ නටබුන් සහ බුදු මැදුරක්ද දැක ගැනීමට අවස්ථාව ලැබෙයි. අතීතයේ මෙම ලක්ෂපාන විදුලිබල සංකීර්ණය සඳහා මාඋස්සා වේල්ල සහ ජලාශය නිර්මාණය කළේ මස්කෙළිය නගරය මුළුමනින්ම යටකරගෙනය. 


මෙම වසරේ මුල් කාර්තුවේ දැඩි පෑවිල්ල හේතුවෙන් හිස්වූ මාඋස්සාකැලේ ජලාශයේ මතුවූ පැරණි මස්කෙළිය නගරය බැලීමට අපි ගියෙමු. ජලාශය පතුල දැඩි ලෙස ඉරි තැලී කුඩා මසුන් මියගොස් තිබුණි. බුදු පිළිම වහන්සේ සහ කුඩා කෝවිලක්ද පාලමක්ද අවශේෂ ගොඩනැගිල්ලක්ද නටබුන් අතර මතුව තිබුණි. ඊට අමතරව පෑවිල්ල හේතුවෙන් හිස්වූ ජලාශ පතුලේ විශේෂ මල් වර්ගයක්ද පිපී තිබුණි. කෙසේ හෝ සමන්දෙවි අඩවියේ දියවරින් පෝෂණය වන මාඋස්සාව විවිධ වකවානුවල විවිධ තර්ජන සහ ජල ගැලීම් හේතුවෙන් විටෙක ඉවුරු කඩා වැටී නිවාස හා ජන ජීවිතය පවා බිලි ගත්තේය. 


මාඋස්සාව මුළුමනින්ම පෝෂණය වන්නේ සමනල රක්ෂිතයේ ජල පෝෂකවලිනි. අතීතයේ තිබූ කවියක පරිදි සමනල කන්දෙන් කැලණි ගඟ පටන් ගන්නේ නැත. සත්‍ය වශයෙන්ම සමනල කන්දෙන් පටන් ගන්නේ කළු ගඟ පමණි. මහවැලි සහ වලවේ ගංගා දෙකම හෝර්ටන් තැන්නෙන් ආරම්භවන අතර කැලණි ගඟ පමණක් සම සමව හෝර්ටන්තැන්නෙන් හා සමනල රක්‍ෂිතයෙන් පටන් ගැනේ. මෙහිදී අප තෝරා බේරා ගත යුතු වන්නේ සමනල රක්ෂිතය හා සමනල කන්ද යනු දෙකක් යන්නයි. මන්ද මාඋස්සාව පෝෂණය වන්නේ සමනල රක්ෂිතයේ සිට ගලා හැලෙන දියවරවලිනි. එම දියවර කඳු වැටි කිහිපයකින් හටගන්නා ලද්දකි. අපි ඒ බව සොයා පසුගිය දිනවල එහි ගියෙමු. 


මාඋස්සාවට ජලය ලැබෙන ප්‍රධාන දියවර 4ක් සහ අවශේෂ දියවර 2ක් ඇත. එනම් සමස්තයක් ලෙස දිශා 6කින් ජලය මාඋස්සාකැලේ ජලාශයට එක්වේ. මින් 2ක ජල මූලාශ්‍රය පටන් ගන්නේ සමනල කන්ද අසලිනි. අනෙක් මූලාශ්‍ර 4ම පටන් ගන්නේ ගවරවිල තැන්නෙනි. මින් ගවරවිල තැන්නෙන් උපදින සිය ගණනක උල්පත් ජලය ගවරවිල කන්දේ ස්ථාන කිහිපයකින්ම වැටී ශ්‍රීපාද ඇල්ල නිර්මාණය කරමින් මාඋස්සාවට වැටෙයි. අනෙක් දියවර ලැබෙන මූලාශ්‍රය නම් සිරිපාදේ යන මුක්කුවත්ත මාර්ගය අසල සිට ගලන බත්තුළුඔය ෆිෂිං හට් පසුකර මරේඇල්ල නිර්මාණය කරමින් මාඋස්සාවට වැටෙන්නකි. 


තෙවැනි මාර්ගය නම් යකාඇඬූගල අසල සිට සීත ගඟුල නිර්මාණය කරමින් හැටන් මාර්ගයට සමාන්තරව රජමාලේ ඇල්ලද නිර්මාණය කරමින් වැටෙන දියවරයි. සිව්වැන්න නම් යකාඇඬූඇලේ සිට ගලන දියවර බල්ලාබැඳිගලේ සිට ජනනය වන දියවර සමග එකතු වී මෝහිණී ඇල්ල නිර්මාණය කරමින් මාඋස්සාවට වැටෙන දියවරයි. පස්වැනි මාර්ගය නම් මස්කෙළිය නගරය ආසන්නයේදී මාඋස්සාවට වැටෙන මහමුණිකන්ද සහ ගවරවිල කන්ද ආශ්‍රිතව ගලා යන දියවරයි. අවසානයට අප්කොට් ප්‍රදේශයේදී නැවතත් අවශේෂ දියදහරා කිහිපයක් මාඋස්සාවට එකතුවන අතර ඒවාද ගවරවිල කඳුවැටියෙන් හටගන්නා දියවර වේ. 

 

 


මෙලෙසින් මහා දියවරක් වැටෙන මාඋස්සා ජලාශය විශාල ධාරිතාවකින් යුක්තය. සමනල කන්ද, මස්කෙළිය හා නල්ලතන්නිය අවට සැරිසරන ඕනෑම කෙනෙකුට සුලභව දැකිය හැකි මෙම සුවිසල් ජලාශය ලක්ෂපාන විදුලි බලාගාර සංකීර්ණයට සපයන දායකත්වයද ඉමහත්ය. සීත ගඟුල නිර්මාණය කරමින් පැමිණෙන දියවර සහ බත්තුළුඔය හැරුනු විට මහ ජල කඳක් මාඋස්සාවට ලබාදෙන්නේ ගවරවිල තැන්නේ දියවරිනි. එනම් මාඋස්සාවේ සියයට හැටකට වැඩි ජල ධාරිතාවක් ලබාදෙන්නේ ගවරවිලතැන්න ආශ්‍රිතයෙනි. 
මාඋස්සාකැලේ ජලාශය කෙළවරක සුන්දර දියඇලි යුගලයක් පවතියි. ඉන් වම්පස ඇති ශ්‍රීපාද ඇල්ල ගවරවිල දියවරිනුත් දකුණුපස ඇති මරේ ඇල්ල බත්තුළුඔය දියවරිනුත් පෝෂණය වේ. ඒ හැරුනු විට මාඋස්සාව පෙනෙන මානයේ ඇද හැලෙන අනෙක් ඇල්ල නම් මෝහිණී ඇල්ලයි. තවද මුල්ගම දියඇලි යුගලයක්ද පවතින අතර ගවරවිල කන්දෙන් වැටෙන දියඇලි 5 ක් පමණ දැකිය හැක. මෙම පංච ඇලි සියල්ල වඩාත් සක්‍රිය වැසි සමයටයි. 


මස්කෙළිය සිට අප්කොට් ග්‍රාමය වෙත පැමිණ එතැනින් ෆොග්මෝර් (Frogmore) වතුයායේ ඉහළ කොටසට යා යුතුය. එම තේ වතුයාය අවසන්වන කෙළවරක් ආසන්නයේ යතුරුපැදි නැවතූ අපි කුඩා අඩි මාර්ගය දිගේ ඉදිරියට ගමන් කළෙමු. මාර්ගය කූඩැල්ලන්ගෙන් ගහනව තිබූ අතර ප්‍රදේශය තරමක මීදුම් ගතියකින් යුක්ත විය. හෝරාවකට ආසන්න කාලයක් වනයේ අඩි මාර්ගය දිගේ ගිය අපට දිය දහරාවක් මුණ ගැසුණි. දිය දහර ගලා යන දිශාවට ගමන් කළ අප දුටුවේ ගවරවිල පීක්ශීල්ඩ් ඇල්ල මුදුනය. එතැනට සමනල කන්ද හරි අපූරුවට දැකගත හැකි අතර වඩාත් අසලට යාම ලිස්සා යාමකට ලක්විය හැකි බැවින් අපි ප්‍රවේසම් වුණෙමු. 


පසුව අප පැමිණියේ විශාල තැන්නකටය. ගවරවිල කඳුවැටියේ පිහිටි මෙම තැන්න ගවරවිල තැන්න ලෙස හඳුන්වයි. අතීතයේ ගවරා නම් සත්වයෙකු මෙහි සිටි බව කියැවෙන අතර ගවරවිල කඳුවැටිය ප්‍රධාන වශයෙන් කඳු තුනකින් යුක්තය. ඒවා සියල්ල මීටර 1900ට වඩා උසැති කඳු වේ. ගවරවිලතැන්න නම් අර්ථයෙන්ම මෙම තැන්න ජල උල්පතකි. තැන්නේ බොහෝ ස්ථානවලින් උනන ජලය බෑවුමට ගලාගෙන ගොස් ප්‍රධාන දියවරට එකතු වේ. ඊට අමතරව අවශේෂ ස්ථානවලින් දිය පහරවල් සැදී ඒවා කන්දේ ස්ථාන කිහිපයකින්ම කඩා වැටෙයි. 


ගවරවිල කන්ද පිටුපස ඇත්තේ සමනල රක්ෂිතයේ දෙවන උසම කන්ද වන මහමුණි කන්දයි. එය මීටර 2040ක් පමණ උස් කන්දක් වන අතර ගවරවිල තැන්නේ කෙළවර දුෂ්කර ගමනකින් පසු එහි ළඟාවිය හැක. නැතහොත් ස්ත්‍රැඩිප වතුයාය ඔස්සේ මහමුණි කෝවිල අසලට පැමිණ මහමුණි කන්ද තරණය කළ හැක. අප එහි ගිය පෙබරවාරියේ අපහසුවකින් තොරව කන්ද තරණය කළ හෙයින් ඉන් උපදින දියවර අප්කොට් හරහා මාඋස්සාව දෙසට ගලාගෙන එන බව දුටුවෙමු. ගවරවිල කන්දේ කෙළවර යනු මධ්‍යම පළාතේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කයේ අවසානයයි. 


ඉන් ඔබ්බට පවතින විශාල පාතාලය හරහා දිව යනුයේ වේවැල්වත්ත සහ රාවණා කන්ද ආදී රත්නපුර නගරයන්හි ගම් ප්‍රදේශ වේ. ගවරවිල තැන්න වැසි දිනවලදී එකම විලක් බඳුය. දැඩි ලෙස එරෙනසුලු එම තැන්නේ කඳුකර කොටියා බහුලව සැරසරයි. ගවරවිල තැන්නේ සිට දික්තැන්න හරහා රත්නපුර ප්‍රදේශයේ පිහිටි දෙහෙනකන්ද ග්‍රාමයට යාමට ඉපැරණි මගක් තිබී ඇති අතර එය දෙහෙනකන්ද සිට මස්කෙළියට යාමට අතීතයේ ගම්වැසියන් භාවිතා කළද වර්තමානය වනවිට එය මුළුමනින්ම වන වැදී ඇත. 
ගවරවිල තැන්න පිහිටි සුවිසල් කඳුවැටිය කිලෝ මීටර් කිහිපයක් දුරට පැතිර ඇත. එම නිසාම එම කන්ද නිතරම මීදුමෙන් බරව වලාකුළු වනාන්තරයක් ලෙස දිස්වේ. මේ හේතුවෙන් වාතයේ පවතින ආර්ද්‍රතාවය මත ගවරවිල කඳුවැටියෙන් උපදින ජලකඳ විශාලය. එම හේතුව නිසාම දිය දහරවල් කිහිපයක් ඔස්සේ එම දියකඳ කන්දෙන් පහළට ගලාගෙන මාඋස්සාව වෙත ගලා යයි. මෙසේ යන දියවර විවිධ ස්ථානවල අලංකාර දියඇලි අටක් පමණ නිර්මාණය කර තිබේ. 


ඉන්පසු අප පිවිසියේ ෆිෂිංහට් පිහිටි ගැට්මෝර් වතුයාය දෙසටයි. ගැට්මෝර් වෙත ළඟා විය හැකි පහසුම මාර්ගය නම් නල්ලතන්නියේ සිට මුල්ගම හරහා වැටී ඇති වතු මාර්ගය ඔස්සේය. එම මාර්ගයේ එනවිට ඔබට රාජමාලේ සිට සඳගලතැන්න හරහා සිරිපා යන මාර්ගය පවා දැකගත හැකි අතර ගාට්මෝර් ඇල්ල අසලටම යා හැකිය. ගාට්මෝර් අසලින් ගලන්නේ බත්තුළු ඔයයි. මෙම ඔය ගලන්නේ ෆිෂිංහට් නම් නැවතුම්පළට පිටුපසිනි. 


සමනල කන්ද තරණය කරන ප්‍රධාන මාර්ග 3 ක් අප්‍රධාන මාර්ග 3 ක් හැරුණු විට අවදානම වැඩිම 7 වැනි මාර්ගය ලෙස සලකනුයේ මෙම බත්තුළු ඔය දිගේ සමනල ගිර තරණය කිරීමයි. බත්තුළු ඔය වනාහි සුවිසල් ඔයකි. ගල් කුට්ටි, ගල් පර්වන පිරි මෙම දියවරේ ගමන් කළ හැක්කේ හොඳින් පායන කාලයේ පමණි. නැතහොත් ක්ෂණික ගංවතුර වැනි උපද්‍රවවලට මුහුණදීමට සිදුවේ. මෙතැන් සිට ගඟ දිගේ ඉහළට යනවිට ගඟ දෙකට බෙදෙන අතර ඉන් වම්පස මාර්ගය තරමක් පහසුවන අතර එය පැරඩයිස් මාර්ගය ලෙස හඳුන්වයි. දකුණුපස මාර්ගය බොහෝ කුඩා දියඇලි පිරී ඇති හෙයින් ගමන දුෂ්කර හා දැඩි ලෙස වන අතර එය දියඇලි මාර්ගය ලෙස හඳුන්වයි. 


පැරඩයිස් මගේ ගිය විට පැරඩයිස් ඇල්ල අසලදී දෙහෙනකන්දේ සිට සිරිපාදේ යන මාර්ගය හමුවන අතර, ජල පහර ඊටත් එහා සිට ගලාගෙන එයි. මෙම දියවර බොහෝ විට බෑන සමනල සහ සමනල කන්ද අතරින් ජනනය වන්නක් බව ගූගල් සිතියම් මගින් අපි වැඩිදුර දැක ගත්තෙමු. තවද බත්තුළු ඔය දිගේ දියඇලි මාර්ගයද දෙහෙනකන්ද මාර්ගයට ප්‍රවිෂ්ට වන නමුත් එම මගේ කුඩා දිය ඇලි බොහොමයක් ඇති බැවින් ගමන් කිරීම බොහෝ අවදානම් සහිතය. සමස්තයක් ලෙස බත්තුළු ඔය දියවර ගෙන එන ජල ධාරිතාව ඉමහත්ය. ඒ සියල්ලෙන් පෝෂණය වන්නේ මාඋස්සාවයි. 

 

ගවරවිල

මාවුස්සාකැලේ

 

 


අනෙක් පසින් හැටන් පාරෙන් සිරිපාදේ යනවිට හමුවන සීත ගඟුල අම්බලම අසලින් ගලන සීත ගඟුල යනු මාඋස්සාව පෝෂණය කරන අනෙක් දියවරයි. සීත ගඟුල රජමාලේ ඇල්ල නිර්මාණය කරමින් මුල්ගම අසලින් මාඋස්සාවට එකතු වේ. යකාඇඬූගලින් උපදින සීත ගඟුල හැටන් පාරේ වම්පසින්ද යකාඇඬූ ඇල්ලෙන් ඉපිද ගලා යන දියවර හැටන් මගේ දකුණු පසින්ද ගලාගෙන ගොස් මකර තොරණ අසල පිහිටි රතු පාලම ආසන්නයේදී එකතු වේ. මෙම දියවර වැසි කාලයට ඉතා ප්‍රචණ්ඩ වන අතර බොහෝ විට අවාරයේ හැටන් මගේ පඩි පෙළ දිගේ පවා ජලය ගලාගෙන යන තරම් වේ. කෙසේ හෝ සමනල කන්දට අසල්වාසී වෙමින් ගලාගෙන යන බත්තුළු ඔය සහ සීත ගඟුල මාඋස්සාව පෝෂණය කරන්නේ කැලණි ගඟට අත්වැලක් සපයමිනි. 


පසුව මෝහිණී ඇල්ල නිර්මාණය කරන දියවර වෙත ඇදුණු අප දුටුවේ එම දියවර ගලාගෙන පැමිණෙන්නේ බල්ලන්බැඳිගල ප්‍රදේශයෙන් බවයි. හැමිල්ටන් සහ ලක්ෂපාන වතුයාය අතරින් ගලාගෙන එන දියවර නල්ලතන්නිය මාර්ගයේදී මාර්ගය අසලදීම මෝහිණී ඇල්ල නිර්මාණය කරමින් මාඋස්සාවට ඇදහැලෙයි. එම දියවරද එකතුව ජලයෙන් පිරෙන මාඋස්සා කැලේ ජලාශය ලක්ෂපාන විදුලි සංකීර්ණයේ ප්‍රයෝජනයට ගැනේ. 


මෙම ලිපිය තුළින් අප ගවේෂණයට ලක් කෙරුණු ප්‍රධාන කරුණ වූයේ කැලණි ගඟේ ආරම්භය වන්නේ සමනල කන්දෙන් නොව අර්ධයක් සමනල රක්ෂිතයෙන් බවයි. මන්ද මාඋස්සා යනු කාසල්රී ජලාශයට වඩා විශාල වූවකි. එසේම ගවරවිලතැන්න වැනි විශිෂ්ට ජල පෝෂක තුළින් ගලන දියවරින් ඇති තරම් මාඋස්සාව පෝෂණය වේ. තවද මාඋස්සාව ආශ්‍රිතව ඇත්තේ තේවතු කර්මාන්තය හා බැඳි ජන ජීවිතයයි. එලෙසම මාඋස්සාව ප්‍රධාන වශයෙන් දූෂණය වන්නේ සිරිපා වන්දනාවේ යන බැතිමතුන් ජල දහරාවලට සහ කුණු ගොඩවලට විසිකරන පොලිතින් වැනි අපද්‍රව්‍ය මගින්ය. එය කොතෙක් ද යත් මීට මාස කිහිපයකට පෙර මාඋස්සාවේ එක් ප්‍රදේශයක් දැවැන්ත පොලිතින් ප්ලාස්ටික් තොගයකින් පිරී තිබුණි. 
තව ද අධික වර්ෂා කාලවලදී ගඟේ ඉවුර ආසන්නයෙන් තනාගෙන සිටින කම්කරු නිවාස කඩා වැටීම් සහ නායයාම් සිදුවේ. පසුගිය වසරේ වැස්සට එලෙස ඉවුරු කඩා වැටුණි. ධීවර කර්මාන්තය යම්තාක් දුරකට සිදුවේ. මාඋස්සාව පිහිටි වේල්ල ආරක්ෂක අංශ මගින් නිරන්තරයෙන් නිරීක්‍ෂණය කරන අතර නිකරුණේ ගැවසීම පවා තහනම්ය. තවද බෝට්ටු සේවාව මගින් ජලාශයේ සංචාරය කිරීම සහ ශ්‍රීපාද ඇල්ලටත් ගාට්මෝර් ඇල්ලටත් ළඟා විය හැක. ඊට අමතරව තේවතු අසලින් කුඩා අඩි පාරවල් හරහා ඇලිවලට ළඟා විය හැකිය. 
කැලණි ගඟේ උපත සොයා යන ගමනේ අතීත කථා වෙනස් කරමින් අපගේ ගවේෂණය සාර්ථක කරගන්නේ සැබෑ ලෙසම අප එම ඉසව් තුළ ඇවිද ගිය හෙයිනි. කැලණි ගඟ යනු සමනල කන්දෙන් ආරම්භ වන්නක් නොවෙයි. කැලණි ගඟ යනු සමනල රක්ෂිතයෙන් භාගයක් සහ හෝර්ටන්තැන්නෙන් භාගයක් ලෙස පෝෂණය වන සුවිශේෂී ගඟකි. මේ හේතුව නිසාම ගඟේ ජල ධාරිතාව බොහෝ වැඩිය. ප්‍රදේශ දෙකෙන්ම පිරෙන කැලණි ගඟ බස්නාහිර පළාත තුළ කිසිදා හිඳීමකට ලක්ව නැත. 


සමනල රක්ෂිතයෙන් අර්ධ ජල පෝෂණයක් ලබන කැලණි ගඟේ ඉතිරි අර්ධය පෝෂණය කරන කාසල්රී ජලාශය හා කෙසෙල්ගමු ඔයේ උපත සොයා අප හෝර්ටන්තැන්නේ ගුප්ත අඳුරු අඩවියට යාමට සූදානම් ය. 


ලබන සතියේ - (අවසාන කොටස) හෝර්ටන් තැන්නේ දියවරින් උපදින කැලණි ගඟ සොයා 

 

 


සංචාරක සටහන හා ඡායාරූප 
ශමින්ද රන්ශාන් ප්‍රනාන්දු 



අදහස් (0)

කැලණි ගඟ උපදින්නේ සමනල කන්දෙන් නොවේ

ඔබේ අදහස් එවන්න

රසවිත

අනේ පොඩි නැන්දා මට හුඟක් දවස් කාමරේ ඇතුළෙ ඉන්න වෙයිද?
2022 මාර්තු මස 26 10920 0

හීන් නෝනා දියණිය දෙස බැලු‍වේ කරදර දෑසිනි. දුරකථනය හරහා ආවේ සුබ පණිවිඩයක් නොවන බැව් ඇගේ මුහුණ කියා පෑවේය. “කවුද කතා කෙරුවේ..?” හීන් නෝනා විමසුවාය. “අයිය


යෙලෝ බීට්ස් කියන්නේ කවුද ?
2022 මාර්තු මස 26 6210 0

මෙවර U Tube ලෝකය තුළින් ඉරිදා ලංකාදීපයෙන් කතාබහ කරන්න හිතුවේ සමාජ මාද්‍ය ඔස්සේ අතිශය ජනප්‍රිය Girls Voice Band එකක් පිළිබඳව. ඒ Yellow Beats කණ්ඩායම කුෂිනි ප්‍රවින්ද්‍යා, දි


පුරාණ රජ කාලේ වීදුරු හැදූ ‘පබුලුගම’
2022 මාර්තු මස 26 5929 0

ශ්‍රී ලංකාවේ පබලු භාවිතය පිළිබඳ පුරාණතම සාධක අයත් ​ෙවන්නේ ප්‍රාග් ඓතිහාසික යුගයටය. ක්‍රි.පූ. (900-600) අතර මුල් යුගයේදී ජනතාව පබලු භාවිතය සුලබව සිදුකොට ඇති


වෘන්දා වනයේ පෙම්මල් විසිරේ...
2022 මාර්තු මස 26 5250 0

හින්දු පුරාණයට අනුව විෂ්ණු දෙවි යනු ලොව සුරකින්නාය. ලෝකයේ තිර පැවැත්ම පිණිසත්, ධර්මය රැකීමටත්, අදමිටුවන් විනාශ කිරීමටත් වරින්වර විෂ්ණු ලොව පහළවන බව මහ


බිම් බෝම්බය පිපිරෙද්දී ගෙදරට පණිවිඩයක් දුන් ව්‍යාපාරිකයා
2022 මාර්තු මස 26 3238 0

මසින් ලෙයින් නිර්මිත මසැසට භෞතික ලෝකයේ බොහෝ සංසිද්ධි දැක ගත හැකි වුවත් ඉන් එහා ඇති අවිඥාණික දේ පෙනෙන්නේ නැත. භූගත පෘෂ්ඨ වංශික ඇතැම් සතුන් හැරුණු විට සෙ


නූතන ශාසන ප්‍රබෝධයේ ශාස්ත්‍රවන්තයා සිටිනාමළුවේ මහ තෙරිඳු
2022 මාර්තු මස 26 1707 0

සිත්තම්ගල ගල් ලෙන බලන්නට මී ආතා “බරින්දු” එක්ක ගෙන ගියේ ගැල් කරත්තයෙන්ය. “අපේ ‍රැහේ උන් තමයි දරුවෝ මෙතන නැණපිල පටන් ගෙන සාහිත රස බෙදුවේ.” එදා මී ආතා කී ක


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 324 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1709 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1550 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site