IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


කලාකරුවන්ට තෝතැන්නක්වූ තුංමං හන්දිය

සියනෑ කෝරළයට අයත් රද‌ාවාන අදටත් ගැමිකම රජකරන සුන්දර ප්‍රදේශයකි. කිරිඳිවැලට මෙන්ම කොළඹට හා ගම්පහට බෙදීයන පාරවල් තුනක් පිහිටා තිබීම නිසා තුංමං හන්දිය නමින් රද‌ාවාන හන්දිය ප්‍රකට වී ඇත.  


පෙර රජ දවස රජ කෙනෙකු ‘‘වානක්’’ හැදූ නිසා රජා තැනූ වාන පසුව රද‌ාවාන වූ බව ගමේ ජීවත් වෙන පැරැන්නෝ පවසති.   

 

 

විජයබා කොල්ලයෙන් පසු කෝට්ටේ සීතාවක හා රයිගම යනුවෙන් රාජ්‍ය තුනකට බෙදීගිය යුගයේ රචිත හටන් කාව්‍ය අතර ‘‘සීතාවක හටන’’ නම් කර්තෘ අඥ‌ාත හටන් කාව්‍යයේ රද‌ාවාන ගැන සඳහන්ව ඇත්තේ මේ අයුරිනි.


  
තැන තැන සල්පොල් පුවඟුද එවනා
වන පලතුරු ලෙස දෙපෙළෙහි තිබෙනා
යන දන දකිමින් තුටු කර සොබනා
එදින බැසපු රද‌ාවානේට ගොසිනා.   


මේ අනුව පැහැදිලි වන්නේ ඈත අතීතයේ සිටම රද‌ාවාන ඉතාම සශ්‍රීක ප්‍රදේශයක් වශයෙන් පැවැති බවයි.  


ඩබ්ලිව්.ඩී. අමරදේව නම් වූ මහා ගාන්ධර්වයා ගායනා කළ  


ඈත කඳුකර හිමව් අරණේ  
සීත චන්දන ළපලු ​ෙහවණේ  
සුළං රැල්ලේ පාව එන්නේ 

ඔහුගෙ නාමය වේ.  


මේ මියුරු ගීතය මගේ මතකයට ආවේ තුංමං හන්දියේ පුංචි බිම් තීරුවක නිද‌ා සිටින ශ්‍රේෂ්ඨ කලාකරු මහගම සේකරයන් සිහිපත් වීමෙනි. තුංමං හන්දියෙන් හමා එන සුළං රැලි පවා ඒ නාමය සිහිපත් කරයි.  


දශක ගණනකට පෙර සේකරයන් අතින් ලියැවුණු ‘‘ගම අමතකයි’’ යන පද්‍ය පංතිය අද කෙතරම් සමාජ විවරණයක් කරනවාද යන්න ‘‘ගමක කතාව’’ ලියන්න තුංමං හන්දියට ගියකළ මට සිහිපත් විය.  


සිද‌ාදියට එන්නට මට  
බුද්ධිය උඹ තමයි එද‌ා  
පාර කියා දුන්නේ  
ග​ෙමන් උරුම වූ වස්තුව  
පොදියක් බැඳ කර තියාන  
උඹේ බහට රැවටීලයි සිද‌ාදියට ආවේ  
ඒ එනකොට ගෙන ආ දෙය  
විය පැහැදම් කළා මිසක  
මෙහිදී අලුතින් ඉපයූ දෙයක් නැත්තේ  
ඉස බර කළ පුහු නම්බුව විතරයි මට ඇත්තේ   
සිද‌ාදියෙන් ආපසු මගෙ  
ගමට යන්න ආසයි මට  
ඒත් ගමට යන්නට දැන්  
පාර මතක නැත්තේ  
ඉතිරිව ඇති සුළු වස්තුව  
රැකගෙන ආපසු එන්නට  
ඈත ඉඳන් අත වනලා  
අම්මේ මට ගමට එන්න  
පාර කියා පන්නේ  


වර්තමාන සමාජයට මේ කවිය ළං වන්නේ තම තමන්ගේ හෘද සාක්‍ෂියටය.   


එද‌ා සේකරයන් දුටු තුංමං හන්දියේ බස් නැවතුම ළඟ තිබූ අතුපතර විහිදී ගිය විශාල සුන්දර ගස අද දක්නට නැත. එද‌ා තුංමං හන්දියේ තිබුණ පැරණි අම්බලම අද අතුරුදන්ව ගොස්ය. පොල් අතු කඩ පේළියත් වෙනස් වී ගොස් ඒ කඩ අද උළු සෙවිලි කළ කඩ බවට පරිවර්තනය වී ඇත. ගමේ වැඩිහිටියන් එද‌ා පුරුද්දට මෙන් අදත් හන්දියේ ඇවිදීම අත්හැර දමා නොමැත.


තුංමං හන්දියේ දී හමුවූ පී.ඒ. සුසිරිපාල මහතා අදටත් ගමේ ජීවත්වෙන ගැමියෙකි. රද‌ාවානේ පුරාණය ගැන සුසිරිපාල මහතා සිය මතකය අවදි කළේ මෙසේය.  


‘‘මම ඒ කාලේ ඉඳලා ගමේ කරත්තකරුවෙක් වශයෙන් තමයි ප්‍රසිද්ධ වෙලා හිටියේ. තුංමං හන්දියේ ඉස්සර කරත්ත පිරිලා තිබුණා. ඒ කාලේ කරත්තවලට හරි ඉල්ලුමක් තිබුණා. කුඹුරු වැඩ කාලෙට ඉවරයක් ඇත්තෙම නැහැ. වී අදිනවා, පොල් අදිනවා, පොල් අතු අදිනවා.  


මේවා තමයි ඒ කාලේ කරත්තවලින් කරන්නේ. තල්දූව මීතිරිගල අත්තනගල්ල ආදී ප්‍රදේශවල ඉඳන් පොල් අතු පටවාගත් කරත්තකරුවෝ ඇවිත් රාත්‍රී කාලයේ නවාතැන් ගන්නේ තුංමංහන්දියේ තමයි. විශාල අම්බලමේ රැය පහන් කරන්න පුළුවන්. පිරිසිදු වතුර පිරුණු ළිඳ අම්බලම ළඟම තිබුණා. ගොන්නුන්ව ලිහලා උන්ට හොඳට කෑම බීම දෙන්නත් තුංමං හන්දියේදී පුළුවන් කම තිබුණා. විශාල සුන්දර ගහ මුළු තුංමංහන්දියම වසාගෙන හිටියා. රාත්‍රි කාලයේ අඳුර පලවා හරින්නට හුළු අත්ත වගේම ලන්තෑරුම පොල් කට්ටේ ගැසූ ඉටිපන්දම ඒකාලේ මිනිස්සු පාවිච්චි කළා.  


මුලින්ම පාසල තිබිලා තියෙන්නේ වෙලේ තිබෙන කමතේ තමයි. කමතේ තිබෙන සුදුවැල්ලේ තමයි අකුරු ලියලා තියෙන්නේ. කඩ පෙළ පිටිපස්සේ දෙවට අයිනෙන් තමයි ඉස්කෝලෙට යන්නේ. පසුව දැන් තියෙන තැනට ඉස්කෝලේ ගෙනැත් තිබෙනවා.   


මුලින්ම ගැහැනු පිරිමි වෙන වෙනම විදුහලේ ඉගෙන ගත්තා. වහලයට පොල් අතු තමයි ද‌ාලා තිබුණේ. හිටපු මන්ත්‍රී සරත් කීර්තිරත්න මහත්තයාගේ පියා සහ මව අපේ ඉස්කෝලේ ගුරුවරු දෙපළක් වුණා. මේ ගුරු ජෝඩුව ඉස්කෝලෙට එන්නේ බක්කි කරත්තෙන් තමයි. බක්කියෙන් ගොනා ලිහලා ඌට කන්න බොන්න දෙන්නේ මම තමයි. පාසලේ ඉගෙන ගන්න අවදියේම කරත්ත වැඩවලට හුරුවීම නිසා පසුව මම කරත්ත රස්සාව තෝරාගත්තා. රද‌ාවාන වෙල්යාය කිරිඳිවැල දක්වාම විශාල වෙල් යායක්. හන්දියේ තිබුණ කඩ අතර පොල් අතුකඩේ විට කඩේ හන්දියේ තිබුණා. හරක් බැඳීමත් ගොවිතැන් කිරීමත් කරත්ත රස්සාවට අමතරව කළා. ඒ කාලේ අද කිරිඳිවැල පොලිසිය තියෙන හරියට කිවුවේ පද්ද‌ාවෙල කියලා තමයි. ඒ කාලේ මිනිස්සු හද‌ාගත්තු වැව් තිබුණා. ඒ නිසා කුඹුරු වැඩ කරන්න වතුර හිඟයක් තිබුණේ නැහැ.   


ඒ කාලේ ලයිට් ඇත්තේ නැහැ. රාත්‍රි කාලයේ ලන්තෑරුම් හා පැට්ට්‍රල් මැක්ස් ද‌ාගෙන එළිවෙනකම් ගොයම් පාගන්නේ හරක්ගෙන් තමයි. දවල් කාලයේ කුඹුරු වැඩ කරමින් ඉන්න වෙලාවට කවුරු හරි කෙනෙක් කුඩයක් එහෙම ඉහළ ගෙන කුඹුර පැත්තේ ආවොත් අනිවාර්​ෙ‌යන්ම හූ කියනවා. නැත්නම් මඩ ගහනවා. උදේ ගහගත්ත අමුඩේ රෑ තමයි නැවත ගලවන්නේ. ඒ තරමටම වැඩ තමයි ඒ කාලේ.  
රද‌ාවානේ ඉස්කෝලේ සමඟ බැදි අතීතිය නැවත සිහිපත් කළොත් ඉස්කෝලේවත්තේ වැළ වරකා ගස්වලට නැගලා ඒ දවස්වල ඇති වෙන්න වැළ වරකා කනවා. වෙරළු කජු පුහුලන්, කරකොළ මේවා ඒ කාලේ හරිම රසයි. සල්මල් ගහක් වගේම ඉස්කෝලේ නාගසක්ද තිබුණා. ඉස්කෝලේ පරිසරයත් හරිම සුන්දරයි. කොර්නේලිස් මුදලාලි​ෙග කඩයේ පොල්දුම පැත්තේ ඇවිද කොප්පර කෑල්ලක් දෙකක් සාක්කුවේ දමාගෙන කෑවත්   


ඒ කාලේ අපේ පුරුද්දක් තමයි. රද‌ාවාන හන්දියේ කඩවල් ඔක්කොම එ් කාලේ පොල් අතුකඩ තමයි. සයිමන් මුදලාලි, ජෝර්ජ් ගෝමස්, කොන්ඩේ බැඳපු එළියස් අප්පුහාමි, රුයිතන් සිං​ෙඤා් ඒ කාලේ හන්දියේ කඩ හිමියන්ගේ නම් තමයි.

 
ගමේ ඒ කාලේ තිබුණ ගොඩක් ගෙවල් වරිච්චි බටලී මැටිවලින් හදපු ගෙවල් තමයි තිබුණේ. සිංහල අලුත් අවුරුද්ද කියන්නේ මුළු රද‌ාවානටම තිබුණ මහ සැණකෙළි සිරිගත් උත්සවයක් තමයි. සිංහල අලුත් අවුරුද්ද අපේ රද‌ාවාන ගමේ හරියට සරුයි. චාරිත්‍ර වාරිත්‍ර අකුරටම ඉටුකරනවා. කමතේ චාරිත්‍ර වගේම අලුත් අවුරුදු චාරිත්‍රත් ඉතා ඉහළින් සලකනවා. බීංරංග ගැසීම, උණ වෙඩි ගැසීම මුළු ගමටම ඇහෙන්න රතිඤ්ඤා වලට වඩා සද්දේ තියෙන උණ බටයට භූමිතෙල් පුරවා පිඹීමත් සමග මහා ශබ්දයක් නිකුත් වෙනවා. ඒ සද්දේ මුළු ගමටම ඇහෙනවා. ඊළඟට ගැහැනු පිරිමි තරගෙට ඔන්චිලි වාරන් කියමින් ඔන්චිලි පැදීම හරිම රසවත් අත්දැකීමක් තමයි. හිසතෙල් ගෑමත් රද‌ාවානේ මහා පංසලේ ඉතා ඉහළින් සිදු කරනවා. ඊළඟට අවුරුදු උත්සව රද‌ාවාන ඇතුළු අසල්වැසි සෑම ගමකම ඒ කාලයේ හොඳින් තිබුණා.   


ඒ කාලේ ගමේ මිනිස්සු කුඹුරු වැඩ කරලා ඇ​ෙඟ් පතේ අමාරුවට හවසට හොඳ කිතුල්‍ රා ටිකක් බොනවා. ගමේ වැඩිපුරම තිබුණේ කිතුල් රා තමයි. කිතුල් රා බෝතලයක් ශත 20යි. ඒ කාලේ රද‌ාවානේ ඉඳලා කිරිඳිවැලට ශත 3යි. කොණ්ඩෙ කපන්න රුපියල් 2යි. ඒ කාලේ ආප්පයක් ශතයයි. කහට තේ එකක් සමඟ හකුරු කෑල්ලක් දෙනවා. එකක් ශත 2යි. ඉස්කෝලේට පොඩ්ඩක් එහාට පොල් මෝලයි කොහු මෝලයි දෙකක් තිබුණා. මේ දෙකේම හිමිකරුවා වුණේ ආඬිඅම්බලමේ ලැම්බට් සිල්වා කියලා මහත්තයෙක්. තව අක්කර 50ක පොල් ඉඩමක් තිබුණා. ඒකෙත් අයිතිකරු ලැම්බට් සිල්වම තමයි.  


මහගම සේකර මහත්තයාගේ පියාවත් මට මතකයි. අපි ජෝන් අයියා කියලා තමයි කියන්නේ කළු මහත කෙනෙක්. මට තවම මතකයි මහගම සේකර මහත්තයා 1976 මැරුණට පස්සේ ජෝන් අයියා කියූ කථාවක්.  


‘‘මම දන්නේ නැහැ මගේ පුතාට මේ තරම් මිනිස්සු සලකන බව, ගරු කරන බව. එදා ආද‌ාහනය වෙලාවේ තුංමංහන්දියට ආ ජනකායෙන් තමයි මම දැනගත්තේ මගේ පුතා මේ තරම් මිනිහෙක් කියලා’’ මේ විදිහට තමයි සේකර මහත්තයාගේ මරණෙන් පස්සේ ජෝන් අයියා මට ඒ කථාව කිව්වේ. අපිත් ඒ කා​ෙල් දන්නේ නැහැ සේකර මහත්තයාට මේ රටේ මිනිස්සු මේ තරම් ගරු කරන සලකන කෙනෙක් වග.  


ඉස්සර දොම්පේ අත්තනගල්ල එක ආසනයක්. ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ අවසන් රැලිය පවත්වන්නේ රද‌ාවානේ තුංමංහන්දියේ තමයි. ඒ රැස්වීමට අනිවාර්​ෙ‌යන්ම එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක මහත්තයා එනවාමයි. 

 
ඉස්සර රද‌ාවානේ ඩිස්පැන්සරිය තිබුණ තැන තමයි අද රද‌ාවාන රෝහල ඉදිකරලා තියෙන්නේ. සිකුරාද‌ා පොළ ඒ දවස්වල තිබුණේ මණ්ඩාවලට හැරෙන හන්දියේ තමයි. ඊළඟට ඊට පොඩ්ඩවක් මෙහාට වෙන්න තැපැල් කන්තෝරුව තිබුණා. අදත් රද‌ාවාන තුංමංහන්දිය ගොඩාක්ම ජනාකීර්ණ වෙලා නැහැ. ඉස්සර සේකර මහත්තයා ගම්පහ ශ්‍රී බෝධි පාරේ තමයි පදිංචිවෙලා හිටියේ. නමුත් මළගෙයක් මඟුල් ගෙයක් වුණොත් නොවරදවාම ඔහු ගමට එනවා. සේකර මහත්තයා තුංමංහන්දිය චිත්‍රපටිය රූගත කළේ මේ තුංමංහන්දියේම තමයි. සිනමා නළු ජෝ අබේවික්‍රම මහත්තයා බයිසිකලයක් පැදගෙන එන දර්ශනයක් හන්දියේ ගත්තා මට මතකයි. ඊළඟට ඉස්කෝලේ මහත්තයාගේ චරිතය රඟ පෑ නළුවා කොළඹ යන්න බස් එකට නගිනවා. ඒ බස් එක මට හොඳට මතකයි. ඒ බස් එකේ නොම්බරය 810 තමයි.   


අඹගස්පිටියේ සයිමන් අයියා තමයි ඒ බස් එක එලවගෙන එන්නේ. අනවශ්‍ය දර්ශන ඇතුළත් නොවන්න ඊයම් බෝඩ් ගහලා තමයි රූගත කිරීම් තුංමංහන්දියේ කළේ. ඉස්සර මහගමසේකර මහත්තයයි අමරදේව මහත්තයයි දෙන්නා තුංමංහන්දියට එනවා. ඉස්කෝලේ පිටි පස්සේ අමරදේව මහත්තයාගේ ඥ‌ාතීන් පිරිසකුත් හිටියා. හන්දියේ පොල් අතු කඩෙන් තේ එකක් එහෙම බීලා සේකර මහත්තයයි අමරදේව මහත්තයයි කථා කර කර ඉන්නවා මම දැකලා තියෙනවා. හැබැයි අපේ ගම ප්‍රසිද්ධ වුණේ සේකර මහත්තයයි, කේ. ජයතිලක මහත්තයයි නිසා’’  


අවසන් වශයෙන් සුසිරිපාල මහතා ප්‍රකාශ කළේය.  


තුංමංහන්දියේ සිය අතීත මතකයන් ගැන කථා කළ රද‌ාවාන මණ්ඩාවල පාරේ පදිංචි නන්ද‌ා පතිරණ මහත්මිය.   


‘‘මම ඉස්කෝලේ ගියේ රද‌ාවාන විදුහලට තමයි. අපේ සීයා එ් කාලේ කුරක්කන්, කොල්ලු වගේ දේවල් හිටවලා තිබුණා. ඒ කාලේ ගමේ හිටියා ජයමන් සිංඤ්ඤෝ කියලා මුදලාලි කෙනෙක්. ඔහුගේ කඩේ තමයි ‘‘වෙළේ මැද්දේ කඩේ’’ කියන්නේ. කේ. ජයතිලක මහත්තයාගේ ‘‘චරිත තුනක්’’ කථාවේ මේ කඩය ගැන කියවෙනවා. ඒ දවස්වල කරත්ත වතුපාර වලට ප්‍රසිද්ධ මුදුන්පිට කන්ද කියලා තමයි ඒ කන්දට කියන්නේ.  


ඒ කරත්ත වැඩ පළේ හිමිකරුවා වුණේ සුද්දප්පු මුදලාලි කියලා කෙනෙක්. තවද සුද්දප්පු මුදලාලිට කොප්පරා මඩුවකුත් තිබුණා.

මුදුන්පිට කන්දේ ඉඳලා කරත්තවලින් කොප්පරා මහපාර ළගට ඇදලා ඊට පස්සේ ලොරිවලට පටවනවා. රෝබෝ සිංඤෝ කියලා ගෙඩි වෙදකමට වෙදකම් කළ හොඳ වෙදමහත්තයෙක් ගමේ හිටියා. බරපතළ රෝගවලට පවා මේ වෙදමහත්තයා හොඳට වෙදකම් කරලා සුවපත් වුණ මිනිස්සු ගමේ වගේම පිට පළාත්වල හිටියා. ඒ කාලේ නැකැත් හදන කේන්දර බලන සොමිච්චෝහාමි කියලා කාන්තාවක් ගමේ හිටියා. ඇදුරු වැඩවලට දෙහිසීටින්, දෙහි සමනේරිස් වගේම කිරිස්තියන් බාස්ද ප්‍රසිද්ධයි. රබන් ගහන්න ප්‍රසිද්ධ කෙනෙක් හිටියා. ඔහුට කියන්නේ රබන් ජේමිස් අයියා කියලා තමයි.   


ඉස්කෝලේ ඇරිලා එනකොට පොල් මෝලේ පොල් පැලපී කන්න අපි යනවා. ඊට පස්සේ කටු අන්නාසි හරිම රසයි. හිඹුටු, මාදං පේරවලින් කිසිම අඩුවක් ඇත්තේ නැහැ. මේවායේ රසබලමින් තමයි ඉස්කෝලේ ඇරිලා අපි ගෙදරට එන්නේ. ගෙදර ඇවිත් සවස් වරුවේ අපි වී කොටනවා. ඒ කාලේ වී කොටන්න මෝල් තිබුණේ නැහැ. ගෙදර වංගෙඩියේ ද‌ාලා කාන්තාවෝ වටේට මෝල් ගස් තියාගෙන වංගෙඩිය වටේට කැරකෙමින් වී කොටනවා. හරි මහන්සියි. නමුත් පස්සේ ඇඟපතට සනීපයි. පොල් අතු විවීම මඤ්ඤොක්කා වගාව අපි කාන්තාවෝ වුණාට ඒ කාලේ ඉඳලා කරනවා. අවුරුදු කාලේට කැවුම් කොකිස් අග්ගලා ආදි දේවල් ජයටම ගමේ ඉන්න කාන්තාවෝ හදනවා. ඒ අතීතය හරිම රසවත්. කිසිම දවසක අමතක වෙන්නේ නැහැ.’’ 

 
නන්ද‌ා පතිරණ මහත්මිය අවසන් වශයෙන් ප්‍රකාශ කළාය. 

 
නන්දසේන පතිරණ රද‌ාවාන ගමේ අතීතය ගැන සිය මතකය අවදි කළේ මෙසේය.  


රද‌ාවාන ගමේ තිබෙන සුන්දරත්වය නිසා ගමෙන් හොඳ නිර්මාණකරුවන් බිහිවුණා. සේකර මහත්තයාගේ පියා හොඳ කලාකරුවෙක්. ඒ කාලේ ඔහුගේ අතින් නිම නොවුණු කලා සැරසිල්ලක් නැති තරම්. සෑම මඟුල් ගෙදරකම මඟුල් පෝරුවේ ලස්සන කැටයම් ඔහුගේ අතින් තමයි නිමවෙන්නේ.   


ඊළඟට රේස් කරත්තවල බොස්ගෙඩිය කපලා එකේ අඩුපාඩුවක් නැතුව රේස් කරත්තෙ හදන්න පුළුවන් කම ඔහුට තිබුණා. ඉංග්‍රීසියෙන් ‘‘මේඩ් ඉන් රද‌ාවාන’’ කියල කෙටූ රේස් කරත්ත ඒ කාලේ නිදපවලා තිබෙනවා. ජෝන් මාමාගේ වැඩිමහල් සහෝදරයාගේ නම මර්තේලිස් කියලා. ගමේ ටීටර් මඩුවක් සෑම පොහෝ දිනකම ගමේ පංසලේ තිබෙනවා. ඒකේ නායකයාගේ නම මාටින් ප්‍රේරා කියලා තමයි කියන්නේ. සංගීත වාදනයටත් ඔහු දක්‍ෂයි. ෂෙල්ටන් ප්‍රේරා සහ ද‌ාවිත් ජයරත්න කියලා තවත් සංගීත කාරයෝ දෙන්නෙක් හිටියා. පංසලේ සල්පිලෙන් පස්සේ අනිවාර්යෙන් ටීටර් මඩුව පටන් ගන්නවා. ‘‘සීගිරි කාශ්‍යප’’ වගේ නාට්‍යයක් නම් ෂුවර්ම තමයි. තුත්තිරි කනත්ත, ඇල්හේන් කනත්ත දත් කනත්ත, කටු කනත්ත, ගමේ ඉඩම්වලට කියූ නම් තමයි.   


ඒ දවස්වල පලන්චි ද‌ාගෙන ලී ඉරණ එකත් ගමේ හොඳ රැකියාවක් තමයි. ඉස්සර අද වගේ දරුවෝ බිහිකරන්න ඉස්පිරිතාලවලට යන්නේ නැහැ. ඊළඟට ඉස්පිරිතාලයක් තියෙන්නේ ගොඩක් ඈත. ගමේ වින්නඹුකම් කරන අම්මා කෙනෙක් ඉන්නවා. අලුතින් ඉපදෙන දරුවා බිහිවන්නේ හොඳ පිරිසිදු කොළ පතක තමයි. ඒ කාලේ ගමේ කතාවක් තියනවා ගමේ ඉන්නේ කොළපත් දරුවෝ කියලා.   


ස්වභාව ධර්මයේ ආශිර්වාදයෙන් ඒ දරුවෝ ඉහෙන් බහින ලෙඩක් නැතුව නිරෝගීව බිහිවුණා වගේම ගමේ කැලෑ කොළ කාලා හොඳ නිරෝගී දරුවන් වශයෙන් වැඩුණා. ගමේ ක්‍රීඩා අතර චග්ගුඩු ගැහිල්ල, තාච්චි පැනින්ල, ගුඩුවිදිල්ල, වළ කජු ගැසීම ඒ කාලේ තිබුණා.   
ඉස්සර මට මතකයි මහගම සේකර මහත්තයා ඇල්හේන් කනත්තේ සිංඤෝ මාමලාගේ ගෙදරට එනවා. ලණුවලින් වියන ලද හාන්සි පුටුවේ ඉඳගන්නවා. ඒක වෙල පැත්තට හරවා ගන්නවා. එතකොට ඇඟට සනීපෙට දැනෙන හුළං පාරක් වෙල පැත්තෙන් එනවා. මේ හාන්සි පුටුවේ දිගාවෙලා වෙල පැත්ත බලාගෙන සිගරැට් පැකැට්ටුව ගලවල ඒ සිගරැට් පැකැට්ටුවේ මොනවද ලියනවා. ඊට පස්සේ සිගරැට් පත්තු කරගන්නවා. කල්පනා කරනවා. වැරදුන එකක් වෙන්න ඕන එක විසී කරනවා. වැඩි කථා බහක් නැහැ. ‘මාමේ මම යන්නම් කියලා’ සිංඤෝ මාමට කියලා යන්න යනවා.  


ඊළඟට තුවාය කරේ ද‌ාගෙන සේතන් මාමාගේ කඩෙන් සන්ලයිට් කෑල්ලක් අරගන්නවා. ඒක හතරට කපලා කෑල්ලක් අරගන්නවා. බ්ලේඩ් තලයක් අරගෙන එ්කත් දෙකට කඩාගෙන එයින් එක කෑල්ලක් අතට ගන්නවා. ඒ මොහොත වෙනකොට මුහුණේ දහදිය ද‌ාලා තියෙන්නේ. දහදිය පිරුණු මුහුණේ අර සන්ලයිට් කෑගල්ල අතුල්ලලා අර බ්ලේඩ් තල කෑල්ලෙන් රැවුළ කපමින් තමයි වානට නාන්න යන්නේ. සේකර මහත්තයාගේ මේ දිනචරියාව මට හොඳට මතකයි. රද‌ාවාන ගමේ අදටත් ගැමිකම රැඳී පැවතීම අපිට ආඩම්බරයක්’’ නන්දසේන පතිරණ මහතා අවසන් වශයෙන් ප්‍රකාශ කළේය.  

 

 

රද‌ාවාන ගමේ පුරාණය ගැන කථා කිරීමේදී එහි ඇති ඓතිහාසික බව සඳහන් කළ රුහුණු සරසවියේ හිටපු කථිකාචාර්යවරයකු වන මංජුල රුවන් සිරිසේන මහතා.  


රද‌ාවාන පුරාණ විහාරස්ථානයේ සෙල්ලිපියක් තිබෙනවා. ඒකෙ තියෙනවා හත් පෙරුම වලව්වේ කෙනෙකුගේ පූජාවක් ගැන සඳහන් වෙනවා. එහි තියෙන්නේ රජාවාන කියලා කෑරගල, මණ්ඩාවිල, මාලිගාතැන්න, වාරණ, උරුවල, පිළිකුත්තුව, මැද්දේගම ආදි රජවරු සිදුකළ වෙහෙර විහාර තියෙනවා. මණ්ඩාවිල කියන්නේ ‘‘මණ්ඩ’’ කියන්නේ ආහාර ගන්න භාජන රජකුමාරිකාවන් පිරිසක් සතුරු සේනාවලට අසුවෙයි කියන බියෙන් පලායද්දී තමන් ආහාර ගත් භාජන විලකට දැමූ බවත් එය මණ්ඩාවිල වූ බවත් පසුව එය මණ්ඩාවල වූ බවත් සඳහන් වෙනවා. ඒ බව සනාථ කිරීමට අදත් මණ්ඩාවල මාලිගාව කියලා ඉඩමක් තිබෙනවා. ඊළඟට රද‌ාවානේ පුරාණ විහාරස්ථානය අභියස වේල්ලක් ඉදිකොට ජලය ලබාගත් බවට සාධක එහි ගල් කුටිවල ඔළිඳ පුවරු කොටා තිබූ බවත් මේ ස්ථානය රාජ කුමාරිකාවන් ජලස්නානය කළ බවත් ඔවුන් නොයෙක් ක්‍රීඩා කරමින් මුළු දවසම ගත කළ බවත් සඳහන් වෙනවා.’’ මංජුල රුවන් සිරි​සේන මහතා අවසන් වශයෙන් ප්‍රකාශ කළේය.   


රද‌ාවාන පරිසරයේ සුන්දර බව විඳගනිද්දී සේකරයන් ලියූ අමරදේවයන් ගැයූ “වක්කඩ ළඟ දිය වැටෙන කාලයට තිත්ත පැටව් උඩ පැන නැටුවා.’’ යන ගීතය සිහිපත් විණ. එහෙත් අද වක්කඩ ළඟ තිත්ත පැටව් උඩ පනින අයුරු සිතින් මවා ගනු මිසක වක්කඩ ළග අද තිත්ත පැටව් බෙහෙතකට සොයන්නට බැරි තරමට වඳ වී ගොස් තිබේ. කුඹුරුවලට ඉසිනලද කෘෂි රසායන වර්ග ඒ තිත්ත පැටව් වක්කඩයෙන් අහිමි කර තිබේ. 

 
වක්කඩ ළඟ අද කොන්ක්‍රීට් දැමූ ඇනිකට් එකකි. මේ සියලු දේ බලා ගනිමින් නැවත මම සවස් යාමයේ තුංමංහන්දියට පැමිණියෙමි.

තුංමංහන්දියේ සේකරයන්ගේ සොහොන් කොත අබියස ලියා ඇති පදවැල මම නැවත වරක් කියවූයෙමි.  


‘‘මා මළ පසු සොහොන් කොතේ
 දුක් ගීයක් ලියනු මැනවි
 නන්නාඳුනනා ඔබගේ


 අත් අකුරින් ලියනු මැනවි’’ මේ වදන් වැල සමඟ මා මතකයට ආවේ ‘‘මළ හිරු බැසයන සැන්දෑ යාමේ ඔබගෙන් සමුගන්නම්’’ යන අමරදේව සූරීන් ගැයූ සංවේදී ගීතයයි.  


කිරිඳිවැල සිට කොළඹ දෙසට පැමිණි බස් රථයට මා ගොඩවූයේ සේකරයන්ගෙන්ද තුංමංහන්දියෙන්ද සමු ගනිමිනි.  

 

 

 

 

 

 

 

 


සටහන හා ඡායාරූප
මහින්ද ආරියවංශ 



අදහස් (0)

කලාකරුවන්ට තෝතැන්නක්වූ තුංමං හන්දිය

ඔබේ අදහස් එවන්න

රසවිත

අනේ පොඩි නැන්දා මට හුඟක් දවස් කාමරේ ඇතුළෙ ඉන්න වෙයිද?
2022 මාර්තු මස 26 10916 0

හීන් නෝනා දියණිය දෙස බැලු‍වේ කරදර දෑසිනි. දුරකථනය හරහා ආවේ සුබ පණිවිඩයක් නොවන බැව් ඇගේ මුහුණ කියා පෑවේය. “කවුද කතා කෙරුවේ..?” හීන් නෝනා විමසුවාය. “අයිය


යෙලෝ බීට්ස් කියන්නේ කවුද ?
2022 මාර්තු මස 26 6207 0

මෙවර U Tube ලෝකය තුළින් ඉරිදා ලංකාදීපයෙන් කතාබහ කරන්න හිතුවේ සමාජ මාද්‍ය ඔස්සේ අතිශය ජනප්‍රිය Girls Voice Band එකක් පිළිබඳව. ඒ Yellow Beats කණ්ඩායම කුෂිනි ප්‍රවින්ද්‍යා, දි


පුරාණ රජ කාලේ වීදුරු හැදූ ‘පබුලුගම’
2022 මාර්තු මස 26 5926 0

ශ්‍රී ලංකාවේ පබලු භාවිතය පිළිබඳ පුරාණතම සාධක අයත් ​ෙවන්නේ ප්‍රාග් ඓතිහාසික යුගයටය. ක්‍රි.පූ. (900-600) අතර මුල් යුගයේදී ජනතාව පබලු භාවිතය සුලබව සිදුකොට ඇති


වෘන්දා වනයේ පෙම්මල් විසිරේ...
2022 මාර්තු මස 26 5247 0

හින්දු පුරාණයට අනුව විෂ්ණු දෙවි යනු ලොව සුරකින්නාය. ලෝකයේ තිර පැවැත්ම පිණිසත්, ධර්මය රැකීමටත්, අදමිටුවන් විනාශ කිරීමටත් වරින්වර විෂ්ණු ලොව පහළවන බව මහ


බිම් බෝම්බය පිපිරෙද්දී ගෙදරට පණිවිඩයක් දුන් ව්‍යාපාරිකයා
2022 මාර්තු මස 26 3231 0

මසින් ලෙයින් නිර්මිත මසැසට භෞතික ලෝකයේ බොහෝ සංසිද්ධි දැක ගත හැකි වුවත් ඉන් එහා ඇති අවිඥාණික දේ පෙනෙන්නේ නැත. භූගත පෘෂ්ඨ වංශික ඇතැම් සතුන් හැරුණු විට සෙ


නූතන ශාසන ප්‍රබෝධයේ ශාස්ත්‍රවන්තයා සිටිනාමළුවේ මහ තෙරිඳු
2022 මාර්තු මස 26 1705 0

සිත්තම්ගල ගල් ලෙන බලන්නට මී ආතා “බරින්දු” එක්ක ගෙන ගියේ ගැල් කරත්තයෙන්ය. “අපේ ‍රැහේ උන් තමයි දරුවෝ මෙතන නැණපිල පටන් ගෙන සාහිත රස බෙදුවේ.” එදා මී ආතා කී ක


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 303 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1673 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1533 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site