IMG-LOGO

2024 අප්‍රේල් මස 24 වන බදාදා


ඕලන්දයේදී එල්ලා මැරූ ලංකාවේ සිටි ඕලන්ද ආණ්ඩුකාරයා

සිහිවටනයක 
    පසුබිම් කතාව

 

 

 

පසුගිය සතියේ කුමාර වීදියේ ලන්දේසි ආණ්ඩුකාරයාගේ නිල නිවස ගැන අප කරුණු සොයන්නට වූයේ කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට ඇති මල්වත්ත පාර හරහා ගොස්ය. මල්වත්ත පාර දිගේ යන විට වගුරට හැරුණු තැනක පාරේ නුදුටු දසුනක් දැක ගත හැකි විය. එහි වූයේ රේල්පීල්ලකට සමාන පීල්ලකි. එහි සිටි වයෝවෘද්ධ පුද්ගලයකුගෙන් ඒ ගැන ඇසූවිට ඔහු පවසා සිටියේ එද‌ා ට්‍රෑම් කාර් ගමන් කළේ ඒ මග බවය.
   
කොළඹ නගරයේ ඉපැරණි මාර්ගවල කරන කැණීම්වලදී ඓතිහාසික තොරතුරු අනාවරණය කරගත හැකිය. මල්වත්ත පාරේ මේ ඉතිහාසය සොයා ලේඛන පිරික්සන විට අප සොයන මේ ඉතිහාස තොරතුරු ගැන හරබර නිර්වචනයක්ද හමුවිය. ‘ඉතිහාසය යනු අතීතයටම සීමාකොට වළලා දැමිය හැක්කක් නොවේ. එය අනාගතයේදී එක් මොහොතකට හෝ යළි උපදී. එය එක්තරා විදිහක පුනරුත්පත්තියක් විය හැකිය’’   
ඓතිහාසික ලේඛන පිරික්සීමේදී පෙනීයන්නේ දශකයෙන් දශකය කොළඹ නගරයේ වීදි - ​ගොඩනැගිලි සීග්‍රයෙන් වෙනස් වූ බවය. විවිධ අවශ්‍යතා මත පාරවල් මෙන්ම ගොඩනැගිලිද කැඩී මහා මාර්ගවල නම් ගම්ද පුදුමාකාර ලෙස වෙනස් වේ. මේ වෙනස්වීම් ගැන කදිම සටහන් තැබූ පුද්ගලයකු නම් එගිදියස් ඩාල්මාන්ස් ඔහු බෙල්ජියම් ජාතික දොස්තරවරයෙකි. මේ ගවේෂණ සටහන් අපට සොයාගත හැකි වූයේ ජයවර්ධන කේන්ද්‍රයේ ජේ.ආර්. ජයවර්ධනගේ පොත් එකතුවෙනි. (එදා නම් සමීප බව හැඟෙන්නට කිව්වේ ‘හූ හඬක’ දුරින් වැනි යෙදුම්ය. FB ලෝකයේ ඒවාද සංශෝධනය වී තිබේ) ජේ.ආර්. ජයවර්ධන උන්නාන්සේ කේන්ද්‍රයක් අටවා එහි තම පප්පාගේ සිට පරිහරණය කළ පොත් සුරැකිව පුස්තකාලයක් ඇරඹීමේ එක් අරමුණක් වූයේ පාර්ලිමේන්තු පුස්තකාලය අබිබවන පුස්තකාලයක් එහි ආරම්භ කිරීමය. යූ.ඇන්.පී. මන්ත්‍රීන්ට පාර්ලිමේන්තු කතා පැවැත්වීමට අවශ්‍ය කරුණු සොයාගැනීමට උපකාරී වීම එහි අරමුණ විය. එහෙත් යූ.ඇන්.පී. මන්ත්‍රීන් වැස්සකටවත් අද මෙම පුස්තකාලයට ගොඩ නොවන්නේ ප්‍රතිපත්ති ගරුකවය.   


මල්වත්ත පාරේ, ට්‍රැම්කාර් ඉතිහාසය සොයන්නට ගොස් ඊට වඩා රසවත් සිදුවීමක් සොයා ගත හැකි වුණේ බේලී වීදිය ගැනය. බේලි වීදියේ 1723 ලන්දේසි පාලන යුගයේ ​ෙසල්ලිපියක් ගැන අසා තිබුණත් ශත වර්ෂ ගණනාවකට පෙර ගත් ඡායාරූපයක් දැක තිබුණේ නැත. බේලි වීදියේ මේ සෙල්ලිපියේ එදා ගත් ඡායාරූපයක කොපියක් සොයගත් පසු ඊළඟ අරමුණ වූයේ බෙලී වීදිය සොයාගෙන යාමය.   


බේලි වීදිය කිව්වාට පාඨක ඔබ අන්දමන්ද විය යුතු නැත. ඔය කියන්නේ ජනාධිපති මන්දිරය ළඟ ඇති කාලයක් කොටි යුගයේ කටුකම්බි ගසාගෙන වසා සිටි ‘මුදලිගේ මාවත’ ගැනය. මුදලිගේ මාවතේ දෙතුන් වතාවක් ගමන් කළද එහි සිටි කිසිදු පොලිසියේ හෝ හමුද‌ාවේ නිලධාරියකු වසර 300 කට ආසන්න ඉතිහාසයක් ඇති සෙල්ලිපියක් ගැන ‘තමන් නොදන්නා බව’ කිව්වේ තේරෙන භාෂාවෙන් කිවහොත් නක්කලයට මෙනි.   


පොද වැස්සක් වැටුණු විට පඩි කීපයක් නගින්නට තිබුණ බැංකු ගොඩනැගිල්ලකට ගොඩවීමි. ඉදිරිපස පොලිස් බැරැක්කයක් ඇති ගොඩනැගිලිද දෙස බලන විට දැක පුරුදු අකුරු සැට් එකක් දැකගත හැකි විය. ජයවර්ධන කේන්ද්‍රයේදී උඩු සාක්කුවට දමාගත් ප්‍රින්ට් අවුට් එක වැහි වතුරට තෙමී තෙතබරිත වී තිබුණි. එය දිග හැර බලන විට මේ ලන්දේසි යුගයේ ගොඩනැගිල්ල බව තහවුරු විය.   


"Door Gewelt Geveli   


Door Trect Herstelt'' යනුවෙන් ගොඩනැගිල්ලේ සෙල්ලිපිය එද‌ා තිබූ පරිද්දෙන්ම තිබුණි. ගොඩනැගිල්ලේ ගා තිබුණු පාට දුඹුරු පාටට හුරු රතු සායම්ය. එහි පහළ සිටි පොලිස් භටයින් හා ගොඩනැගිල්ල ඇතුළේ සෙල්ලම් කරමින් ව්‍යායාම කරමින් සිටි නිලධාරීන් පැවසුවේ තමන් මේ ගැන නොදන්නා බවය. ලන්දේසීන්ගේ අද පරපුරේ ඇත්තකු තම මුතුන්මිත්තන්ගේ මේ සෙල්ලිපිය ගැන ඇහුවොත් ඉතිං දෙයියන්ගේම පිහිටය. මෙවැනි ඓතිහාසික සිහිවටන ගැන සංචාරක අමාත්‍යංශයටවත් ලෝක පූජිත භාෂා කිපයකින් හැඳින්වීමක් කරන පුවරුවක් සවිකරන්නේ නම් දේශීය මෙන්ම විදේශීය සංචාරකයින්ටද ඉතා ප්‍රයෝජනවත් වනු නියතය.   
මෙයින් වසර 417 කට පෙර 1601 මැයි 05 වැනිද‌ා ඕලන්ද ජාතිකයින් ලංකාවට ඒමට නැව් නැග්ග බව රුවන් හරිස්චන්ද්‍ර මහතා සටහන්කොට ඇත. ලංකාවේ ප්‍රථම ලන්දේසි තානාපතිවරයා ජොරිස් වෑන් ස්පිල්බර්ජන්ය. ඔහු ලංකාවට පැමිණි ආකාරය දින සටහන් එකතුවක් රුවන් හරිස්චන්ද්‍රයන් හෙළ බසට නගා ඇත. සුමාත්‍රා දූපත් අසලට මෙම කණ්ඩායමට එන්නට අවුරුදු දෙකකුත් මාස 10 කුත් දින 19 ක් ගත වී ඇත. ඒ වන විට ලංකාව ගැන තොරතුරු දැන සිටි ස්පිල්බර්ජන් පවසා ඇත්තේ එම සුන්දර දිවයිනට යාම තම ජීවිතයේ පෙර නොවූ වීරු භාග්‍යයක් වනු ඇති බවය. 

 
ස්පිල්බර්ජන් ලංකාවට පැමිණ වසර 122 කට පසු 1723 දී ලන්දේසි පාලනය යටතේ අලුත් ආණ්ඩුකාරයකු ලෙස පත්ව ආවේ ප්‍රභූ පවුලක පුද්ගලයෙකි. ඔහු නමින් පේත්‍රස් වුයිස්ට්ය. ඕලන්දයේ ඇමිස්ටර්ඩෑම් නුවර ඔහුගේ ගම් පළාත විය. මෙතෙක් පත්ව ආ ආණ්ඩුකාරවරුන්ට වඩා පේත්‍රස් සුවිශේෂ චරිතයක් විය. ඔහු විනෝදකාමී අවිවාහකයකු විය.   

 

 

ඉතිහාසගත කරුණු පිරිස්සීමේදී පෙනීයන්නේ නව ආණ්ඩුකාරයා ලංකාවේ ජනතාව ගැන වැරදි අවබෝධයකින් සිටි බවකි. පේත්‍රස් කුඩා කල සිටම හිතුවක්කාරයකු මෙන්ම අහංකාරයකුද විය. ලංකාවේ ජනතාව ගැන ​ෙප්‍ත්‍රස් වැරදි අවබෝධයක් ඇතිකර ගැනීමට හේතු වී ඇත්තේ ලංකාව සම්බන්ධයෙන් ලන්දේසි ලේඛකයින් විසින් වැරදි සහගත ලෙස සටහන් තැබූ නිසා විය යුතුය. සිංහලයා යනු අපරදිග විදේශිකයකු ගන්නා ආහාරයක් හඳුනාගන්නටවත් හැකියාවක් නැති බුද්ධි හීන ජාතියක් ලෙස පේත්‍රස් සිතා සිටින්නට ඇත්තේ සුප්‍රසිද්ධ ‘සුදුගල්කා ලේ බිව්’ හැටි කියන පෘතුගීසීන් ලංකාවට ආ විට කියූ කියමන අසා විය යුතුයි. එහෙත් රතු පැහැති වයින් ලේ ලෙස පටලවා ගැනීමට සිංහලයින් මෝඩයින් නොවන බවත් පේත්‍රස්ට සිංහලයන් ලංකාවේදී ඉගැන් වූ බව ඉතිහාසය නිරීක්ෂණයේදී පෙනීයයි. පෘතුගීසීන්ගේ වයින්වලට කටගැස්ම වී ඇත්තේ ‘‘විස්කිරිඤ්ඤය’’   
පේත්‍රස් වුයිස්ට් නම් වූ තම ලන්දේසි ආණ්ඩුකාරයා ලංකාවට ගොඩබසින්නේ ක්‍රිව 1723 දීය. පේත්‍රස් ආණ්ඩුකාරයා ලංකාවට ගොඩබසින්නේ කොළොම්තොටින් නොව ගාලු වරායෙනි. මාස ගණනාවක නැව් ගමනින් විඩාවට පත්වී සිටි ඔහු වයින් බෝතල් දුසිම් ගණනාවක් හිස්කර තිබුණේ විස්කිරිඤ්ඤා බර තොගයක් සමගය. නව ආණ්ඩුකාරයා දුටු බොහෝ දෙනා සිතුවේ ඔහු එකැස් අන්ධයකු කියාය. ආණ්ඩුකාරතුමා තම වම් ඇස කළු පැහැති සම්පටියකින් ආවරණය කරගෙන සිටීම මීට හේතු විය.   


පේත්‍රස් වුයිස්ට් නව ආණ්ඩුකාරයා ලංකාවේ ජනතාව ගැන සිතා සිටියේ වැරදි ආකාරයට බව එතුමන් සමග කතා බහේ යෙදුණ බොහෝ දෙනාට මුල් දිනයේදීම අවබෝධ විය. ආණ්ඩුකාර නිවසේ දිනක් ලන්දේසි ලේඛන කීපයක් ආණ්ඩුකාරවරයා කියවමින් සිටියේ ඇසේ තිබූ සම් ආවරණය ඉවත් කරමිනි. එහි සිටි පරිවර්තකයකු නව ආණ්ඩුකාරතුමාගෙන් මේ ගැන අසන්නට අමතක කළේ නැත.   


මේ වගේ මෝඩයො ඉන්න රටක් පාලනයට ඇස් දෙකක් මොටද? ලංකාවේ වගේ මෝඩ ජනතාවක් ඉන්න රටක් පාලනය කරන්න එක ඇහැක් මදෑ. ඇස් දෙකක් කොහෙත්ම අවශ්‍ය නැහැ.   


ලංකාවේ වැඩ පටන්ගත් පේත්‍රස් මුලින්ම කළේ තමන්ගේ හැම වැඩකටම ආවඩන එහෙයියන් පිරිසක් බිහි කරගැන්මය. කැපුණු තුවාලයකින් නිකුත්වන, ගලායන රුධිර දැකීමට ඔහු දැක්වූයේ පුදුමාකාර ආශාවකි. මිනිසුන් මරහඬ දී කෑගැසීම ඇසීමට ​ෙප්‍ත්‍රස් මහත් ප්‍රියතාවක් දැක්වූයේ අන් අය කන්වලට ඇඟිලි ගසාගෙන වේදනාවෙන් සිටින විටය. කොටින්ම මිනිසුන්ට මෙන්ම සතුන්ට පවා වදහිංසා දෙමින් පේත්‍රස් ආණ්ඩුකාරයා දැක්වූයේ පුදුමාකාර ආශාවකි. ආණ්ඩුකාර නිවසේ සවස පාටිවලදී මරාදමන ලද සතුන් වෙනුවට ගැට ගැසූ වසු පැටවුන්, තරාවුන්, ගිනි මැලයට දමමින් ඔවුන් කෑගසමින් ‘රෝස්’ වෙන සැටි බලා ආණ්ඩුකාරයා ලැබුවේ තිරිසන් ආශාවකි. මේ ඔහුගේ විකෘති ලිංගික ආශාවන්ට අමතරවය. කෙසේ නමුත් ටික කලකින්ම ආණ්ඩුකාර නිවසේ ඇත්තන්ට පේත්‍රස් වුයිස්ට් විකෘති ආශාවන්ට ඇබ්බැහි වූ අසාමාන්‍ය පුද්ගලයකු බව ඒත්තු ගොස් හමාරය.   
ලන්දේසි යුගයේ වරදකරුවන් ප්‍රසිද්ධියේ එල්ලා මැරුවේ ගෝල්​ෙෆ්ස් පිට්ටනියේය. එම එල්ලා මරන්නට නියම වූවන් නරඹන්නට රැස්වුන පුද්ගලයින්ද එකල සුලභ දසුනක් විය. මරා එල්ලනලද පුද්ගලයන් භූමදානය කරන ලද්දේ ද එම ගෝල්​ෙප්ස් පිටියේදීය. පෝරකය තනා තිබී ඇත්තේ ලීයෙනි. මිහිදන් කළ දේහයන් පසුදින බල්ලන් සහ නරින්ගේ ගොදුරු බවට පත්ව අත්පා වෙන් වෙන්ව කැඩීගොස් කුණු වී ඕජස් ගලා මුළු පළාතම ගඳ ගසන්නට විය.   


ගෝල්පේස් ඝාතකයන්ගේ දුර්ගන්ධය ගැන ඇසූ ආණ්ඩුකාර පේත්‍රස් මරණ දණ්ඩනයට නියමවූවන් හමුද‌ා බැරැක්ක වෙත ගෙන ඒමට නියෝගයක් නිකුත් කළේය. එහිදී තම විකෘති මානසිකත්වය සනසවා ගන්නට ඔහු මරණයට කැපවූවන්ට විවිධාකාර වදහිංසා දුන්නේය. නීතියෙන් පමුණුවන සුළු දඬුවම් පවා තමන්ට රිසි සේ තම විකෘති අාශාවන් සතපවා ගන්නට ආණ්ඩුකාරයා පියවර ගන්නා බවට ඕලන්දයට කෙමෙන් පැමිණිලි ලැබෙන්නට විය.   


පසු කලෙක ඕලන්දගේ වූ නඩු ඇසීමකදී ආණ්ඩුකාරයාගේ පැටිකිරිය ඉදිරියට ආවේ අධිකරණයේදීය. එක් මරණයට කැපවූවකු හමුද‌ා බැරැක්කයට ගෙනා ආණ්ඩුකාරයා නිරුවතින් උඩබැලි අතට මරණ දඬුවම හිමි වූ තැනැත්තා නිදිකරවන්නට විය. වදකයකු මෙන් කඩුවක් ගෙන එතැනට ආ ආණ්ඩුකාරයා දුටු බොහෝ දෙනා සිතුවේ ආණ්ඩුකාරයා හිස ගසා දමන්නට සූදානම් වන බවකි. එහෙත් සිදු වී තිබුණේ බලන්නට ජුගුප්සාජනක සිදුවීමකි. ආණ්ඩුකාරයා එම පුද්ගලයාගේ ගුදය හරහා කඩුව බඩ තුළට යවා කැරකවීම නිසා මරණ දඬුවමට ලක් වූ පුද්ගලයා මරළතෝනි දී මරණයට පත් වී තිබුණේ තම පපු ප්‍රදේශයෙන් කඩුවෙහි අනෙක් කොන එළියට ආ පසුය. මරළතෝනි දෙන පුද්ගලයා දෙස බලා ආණ්ඩුකාරතුමා ලැබුවේ පුදුමාකාර විකෘති ආශාවකි.   


පේත්‍රස්ගේ විකෘති ලිංගික ආශාවන් ඕලන්දයේ අධිකරණයේදී එළියට ආ තවත් ජුගුප්සාජනක කතා වැලකි. අතිරූමත් කෙල්ලන්ට මත් පැන් පොවා ඔවුන්ගේ ඇඟේ ලේ එනතුරු වද හිංසා පමුණුවමින් ආණ්ඩුකාරයා තම විකෘති අාශාවන් සන්තර්පනය කර ගත්තේය. බීමත් ළඳුන්ව බීමත් සොල්ද‌ාදුවන් ලවා විවිධ අසම්මත අකාරයේ ලිංගික වදහිංසා පැමිණ වීම ආණ්ඩුකාරයාගේ ප්‍රියතම විකෘති විනෝද‌ාස්වාදී අංගය විය. රූමතියන්ට ආණ්ඩුකාරයාගේද බේරුමක් නොවීය.   


ටික කලක් යන විට පේත්‍රස් ආණ්ඩුකාරයා ගැන පැමිණිලි ඕලන්ද ආණ්ඩුවට ලැබෙන ප්‍රමාණය එන්න එන්නම වැඩි විය. රූමත් ළඳුන් කිහිප දෙනෙකු අතුරුදන් වීම, වරදකරුවන් කීපදෙනෙකු අභිරහස් ලෙස මියයාම ගැන රාවය රට පුරා පැතිරෙන්නට විය. මේ ගැන ප්‍රශ්න කළ හමුද‌ා නිලධාරීන් කිහිප දෙනෙකුට හිටි අඩියේ උසස්වීම් ලැබුණු අතර පේත්‍රස් ආණ්ඩුකාරයාගේ විකෘති කාමාශාවන්ට අවශ්‍ය නොඉඳුල් නෑම්බියන් සැපයූ හමුද‌ා නිලධාරීන්ද උසස් නිලවලට පත් වූ අය අතර විය. ආණ්ඩුකාරයාගෙන් ලද වරප්‍රසාද හමුවේ ඇතැම් නෑම්බියන් නම් ඊට එරෙහි වූයේ නැති බැව් ඕලන්ද අධිකරණයේදී සනාථ වූ කරුණු අතර විය. නුසුදුස්සන්ට ‘ප්‍රොමෝෂන්’ දීම නිසා සුදුස්සන් පේත්‍රස් ආණ්ඩුකාරයාගේ විකෘති කාමාශාවන් ගැන ඕලන්ද ආණ්ඩුවට ගතු කේලම් කියනවා එන්න එන්නම වැඩිවිය.   


‘තම කටයුතු හොර රහසේ කරගන්නට පේත්‍රස් ආණ්ඩුකාරයා කළේ බේලි වීදියේ දෙමහල් ගොඩනැගිල්ලක් වහාම අත්‍යවශ්‍ය සේවා සඳහා යැයි රජයට පවරා ගැනීමය. එහි වූයේ පුද්ගලික බෙහෙත් ශාලාවකි. අයිතිකරු වූයේ ජේන් කවුගේ නමැති පුද්ගලයෙකි. ගොඩනැගිල්ල අයිතිකරුට කිසිදු වන්දියක් හිමි නොවීය. ඉන් කිපුණ කවුගේ විසින් ආණ්ඩුකාරයාගේ කෘෘර පාලනයෙන් බැට කෑ දහස් ගණනකගේ පෙත්සමක් ඕලන්දයට භාර දෙන්නට කටයුතු යෙදීය. පෙත්සම දැක ඕලන්ද ආණ්ඩුව වහාම පේත්‍රස් වුයිස්ට් අත්අඩංගුවට ගෙන තම මව් රටට රැගෙන ඒමට තීරණය කරන ලදී. මේ බැව් අසා කිපුණ ආණ්ඩුකාරයා තමන් පවරාගත් බේලි වීදියේ නොහොත් අද මුදලිගේ මාවතේ දෙමහල් ගොඩනැගිල්ල බිමට සමතලා කළේ කෝපයෙන් දත්මිටි කමිනි.   


‘ඕලන්ද අධිකරණය දීර්ඝ නඩු විභාගයකින් පසු පේත්‍රස් ආණ්ඩුකාරයා මිනීමැරුම් නඩු ගණනාවකට වැරදිකරු කර එල්ලා මරා දැමීමට තීන්දු කරන ලදී. ඔහුගේ දේහය දවා අළුවත් ​ඕලන්දයේ නොතබා ගැඹුරු මුහුදට විසිකිරීම අධිකරණ තීන්දුව විය.   


පේත්‍රස්ගේ මරණයෙන් පසු ගොඩනැගිල්ලේ හිමිකරුට එම භූමිය ලන්දේසීන් විසින් නැවත ලබා දෙන ලදී. නැවත ගොඩනැගිලිද ගොඩනැඟූ එහි හිමිකරු ජෑන් කවුගේ මේ ඓතිහාසික සිදුවීම සිහිවන්නට එහි පේත්‍රස්ගේ කුරිරු පාලනයට එරෙහිව සටන් වැදීම වෙනුවෙන් සෙල්ලිපියක් කොටා තැබීය. ඕලන්ද බසින් අදත් ඇති එහි තේරුම මෙයයි.   


‘‘අයුක්තිය විසින් කඩා දැමුවද   


යුක්තිය විසින් නැවත ගොඩනගන ලදී’’   


මුදලිගේ මාවතේ ඔබත් යන විට මේ තැන සොයාගත නොහැකි වුවහොත් ‘පරණ ග්ලොබ් හෝටලය’ තිබුණේ කොහේදැයි අහන්න. ඔබට නිසැකවම එය දැකගත හැකි වනු නියතය.   

 

 

 

 


වජිර ලියනගේ



අදහස් (0)

ඕලන්දයේදී එල්ලා මැරූ ලංකාවේ සිටි ඕලන්ද ආණ්ඩුකාරයා

ඔබේ අදහස් එවන්න

රසවිත

අනේ පොඩි නැන්දා මට හුඟක් දවස් කාමරේ ඇතුළෙ ඉන්න වෙයිද?
2022 මාර්තු මස 26 10915 0

හීන් නෝනා දියණිය දෙස බැලු‍වේ කරදර දෑසිනි. දුරකථනය හරහා ආවේ සුබ පණිවිඩයක් නොවන බැව් ඇගේ මුහුණ කියා පෑවේය. “කවුද කතා කෙරුවේ..?” හීන් නෝනා විමසුවාය. “අයිය


යෙලෝ බීට්ස් කියන්නේ කවුද ?
2022 මාර්තු මස 26 6207 0

මෙවර U Tube ලෝකය තුළින් ඉරිදා ලංකාදීපයෙන් කතාබහ කරන්න හිතුවේ සමාජ මාද්‍ය ඔස්සේ අතිශය ජනප්‍රිය Girls Voice Band එකක් පිළිබඳව. ඒ Yellow Beats කණ්ඩායම කුෂිනි ප්‍රවින්ද්‍යා, දි


පුරාණ රජ කාලේ වීදුරු හැදූ ‘පබුලුගම’
2022 මාර්තු මස 26 5925 0

ශ්‍රී ලංකාවේ පබලු භාවිතය පිළිබඳ පුරාණතම සාධක අයත් ​ෙවන්නේ ප්‍රාග් ඓතිහාසික යුගයටය. ක්‍රි.පූ. (900-600) අතර මුල් යුගයේදී ජනතාව පබලු භාවිතය සුලබව සිදුකොට ඇති


වෘන්දා වනයේ පෙම්මල් විසිරේ...
2022 මාර්තු මස 26 5242 0

හින්දු පුරාණයට අනුව විෂ්ණු දෙවි යනු ලොව සුරකින්නාය. ලෝකයේ තිර පැවැත්ම පිණිසත්, ධර්මය රැකීමටත්, අදමිටුවන් විනාශ කිරීමටත් වරින්වර විෂ්ණු ලොව පහළවන බව මහ


බිම් බෝම්බය පිපිරෙද්දී ගෙදරට පණිවිඩයක් දුන් ව්‍යාපාරිකයා
2022 මාර්තු මස 26 3231 0

මසින් ලෙයින් නිර්මිත මසැසට භෞතික ලෝකයේ බොහෝ සංසිද්ධි දැක ගත හැකි වුවත් ඉන් එහා ඇති අවිඥාණික දේ පෙනෙන්නේ නැත. භූගත පෘෂ්ඨ වංශික ඇතැම් සතුන් හැරුණු විට සෙ


නූතන ශාසන ප්‍රබෝධයේ ශාස්ත්‍රවන්තයා සිටිනාමළුවේ මහ තෙරිඳු
2022 මාර්තු මස 26 1704 0

සිත්තම්ගල ගල් ලෙන බලන්නට මී ආතා “බරින්දු” එක්ක ගෙන ගියේ ගැල් කරත්තයෙන්ය. “අපේ ‍රැහේ උන් තමයි දරුවෝ මෙතන නැණපිල පටන් ගෙන සාහිත රස බෙදුවේ.” එදා මී ආතා කී ක


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 293 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1661 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1523 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site