මහනුවර සිට හැටන් බලා විහිදෙන බස් මාර්ගයේ අඹගමුව නුවරඑළිය දිස්ත්‍රික් මායිමයි. ගිනිගත්හේන කඩමණ්ඩිය සිට ගිනිගත්හේන මධ්‍ය මහා විද්‍යාලය පසුකරන විට දියනිල්ල නමැති යෝධ දිය බුබුලක් පොළොව යටින් මතු වෙයි. මෙම දියනිල්ල දිය බුබුල ගැන කෙටි පාරිසරික වාර්තාවක් මෙම ලිපියෙන් දැක්වෙයි.

 
 
මහවැලි ගඟ ආරම්භය  


මහවැලි ගඟ නිර්මාණය වනුයේ ශ්‍රී පාද අඩවිය ආශ්‍රිත හැටන් සිංගිමලේ ජලාශය ආශ්‍රිතව උතුරා යන ජල උල්පත් හැටන් ගඟ ලෙස ඉතා කුඩා දිය දහරක් නිර්මාණය වීමෙනි. හැටන් නගරය කෙළවර මල්ලිඅප්පු හෙවත් පෲට්හිල් සීමාවේ ප්‍රින්සස් සිනමා හල අසල ගල්තලාවෙන් අඩියක් තරම මහතට ඉතා කුඩා දියදහරාවක් පහළට ගලා එනු පළමුවරට අපට දැකිය හැකිය. ඉතා පිරිසිදු සීතල කුඩා මේ දියපාර හැටන් වටවල අඹගමුව ගිනිගත්හේන දෙසට හැටන් ගඟ ලෙස ඉදිරියට ගලා එයි.  


කොත්මලේ ඔය ආරම්භය  


දිය දහරා පහක් එකතුවී සෑදෙන කොත්මලා ඔය හැදුණු වැව වටද්දර තිස්පහේ හරහා ගලා අවුත් කොත්මලේ සීමාවේ කෙළවර ඇති පොල්වතුර ගමේදී හැටන් ගඟට එකතු වෙයි. නාවලපිටිය නුදුරු පොල්වතුරේදී හැටන් ගඟ හා කොත්මලා ඔය එකතු වී මහවැලි ගඟ නිර්මාණය වෙයි.


කැලණි ගඟට මුල්වන මස්කෙළි ඔය  


ගවරවිල අප්කොට් හෙවත් සාමිමලේ යන නම් තුනෙන් හඳුන්වන කුඩා කඩමණ්‍ඩියේ සිට තවත් සැතපුම් පහක් අෑතින් පිහිටි ස්ට්‍රෙස්පි වතුයායේ ළඳු කැලෑවකින් මතුවන උල්පතකින් මස්කෙළිය ඔය මුලින්ම නිර්මාණය වෙයි. ස්ට්‍රෙස්පි අප්කොට් මස්කෙළිය හරහා ගලා එන මස්කෙළි ඔයට නල්ලතන්නියේදී ශ්‍රී පාද කඳුවැටියෙන් ගල එන මහා සීත ගඟුල හා කුඩා සීත ගඟුල එකතු වෙයි. ඒ හැර ඊට පෙර ගාට්මෝර් හා මරේ යන දියඇල්ලේ ජලයද මස්කෙළි ඔයට වැටෙයි. ඉදිරියට ඇදෙන මස්කළිඔය ලක්ෂපාන පසුකොට දීගල හන්දිය හරහා ගිනිගත්හේන දෙසට ගලයි. කැලණි ගඟ නිර්මාණය වීමට එකතුවන ප්‍රධාන ජලධාරා දෙකකි.  


කලණි ගඟට මුල්වන කෙහෙල්ගමු ඔය  


කැලණි ගඟ නිර්මාණය වීමට මුල්වන දෙවැනි ජලදහර කෙහෙල්ගමු ඔය හෝර්ටන් තැන්නෙන් ඇරඹෙයි. ශ්‍රීපාද කඳුවැටිය කෙළවරකින් තේ වතු මැදින් මැණික් ඉල්ලම් සෝදාගෙන බගවන්තලාව ඔය නමින් එය පහළට ගලා බසියි. නෝර්වුඩ් කඩමණ්‍ඩිය පසුකොට කාසල්රි ජලාශය පුරවමින් සප්ත කන්‍යා (ආංචිමලෙයි හෙවත් සෙවන් වර්ජින්ස්) කඳුවැටිය හරහා කෙහෙල්ගමු ඔය ඉදිරියට ගලයි.  


කැලණි ගඟ නිර්මාණය වීම  


මස්කෙළිය ඔය හා කෙහෙල්ගමු ඔය ගිනිගත්හේන පසුකොට කළුගඟට ගලනවිට මේ දියදාරා දෙක එකතුවී කැලණි ගඟ නිර්මාණය වෙයි.  


දීගල කඳුවැටිය දෙපැත්තෙන් ගලන හැටන් ගඟ හා කෙහෙල්ගමු ඔය ,හැටන් ගඟ මහවැලි ගඟේ මුල් දිය දහරා දෙකෙන් එකකි. අඹගමුව පසු කොට දීගල හන්දිය දීගල කඳුවැටිය හරහා සීඝ්‍ර බෑවුම් ඔස්සේ හැටන් ගඟ ගිනිගත්හේන දෙසට ගලා එයි. මේ අතර කැලණි ගඟ සෑදීමට මුල්වන දියදහරා දෙකෙන් එකක් වූ කෙහෙල්ගමු ඔය සප්ත කන්‍යා කඳු පසු කොට දීගල කඳුවැටිය ඔස්සේ ඉදිරියට ගලයි.  


දීගල හන්දිය දීගල කඳුවැටිය ඔස්සේ එකම කඳුගැටයේ මීටර සියයකට කිට්ටු කෙටි දුරකින් කඳුගැටයේ බෑවුම් දෙක ඔස්සේ හැටන් ගඟ හා කෙහෙල්ගමු ඔය එකිනෙකට සමාන්තරව ගලයි. ගිනිගත්හේනේ තිබී වසා දැමූ කුඩ කම්හල කිට්ටු වන විට මේ ජලධාරා දෙකේ පරතරය බෙහෙවින් කිට්ටු වෙයි. දීගල කඳුවැටිය පටුය. පරතරය ඉතා පටුය. බිම නිතර නායයයි. මේ නාය යන අස්ථාවර බිමේ අලගල ගිනියගල්ල ගමේ දියණිල්ල උල්පත පිහිටා ඇත.


දියණිල්ල උල්පත  


පළමුවරට මේ උල්පත ක්‍රි.ව. 1947 ගංවතුරෙන් පසු මතුවී ඇත. බෑවුම් බිමක නාය යන ප්‍රදේශයක පොලොව යටින් විශාල ජල උල්පතක් මතුවෙයි. එය දියනිල්ල නමින් හඳුන්වයි. දැඩි වර්ෂාව ගංවතුර කාලවල උල්පතට කිට්ටු වීම ඉතා අසීරුය. බිම මඩ සහිත බැවින් එරෙයි. ජලය වැඩිවී උල්පත විශාල වෙයි. නායයාම් වැඩිවෙයි. ගිනිගත්හේන ​පොලිසියේ එක් පියස්සක ජලය මහවැලි ගඟටද අනෙක් පියස්සේ ජලය කැලණි ගඟටද වැටෙන බවට ප්‍රකට කියමනක් ඇත. ගිනිගත්හේන කඩමණ්‍ඩිය පවා පුපුරා ගිලා බැසීමේ අවදානමක ලකුණු ඇත.


දියණිල්ලෙන් මතුවන්නේ හැටන් ගඟේ ජලයයි  


හැටන් ගඟ ජලයට වර්ණ යොදා කළ පරීක්ෂණ අනුව දියනිල්ල උල්පතෙන් මතුවන්නේ හැටන් ගඟේ ජලය බව තහවුරු විය. ඒ අනුව ඉතා අස්ථාවර පටුබිම් තීරුවක හැටන් ගඟේ ජලය දියනිල්ල උල්පත ලෙස මතුවීමෙන් ඉදිරියේ සිදුවිය හැකි ආපදා වැඩිය.  


ග්‍රීෂ්‍ම කාලවල දියනිල්ල උලපතේ ජලය අඩුය. එවිට දියනිල්ලේ වැඩි උතුරා වැඩි වතුර ගලා යන ජලය හීනිගලකදුර දිගේ කෙහෙල්ගමු ඔයේ හොරකඩ තොටුපල දෙසට ගලාගෙන ගොස් කෙහෙල්ගමුව ඔයට එකතු වෙයි. වර්ෂා කාලවල උල්පතේ ජලය වැඩිය. නායයාම ද ඒ කාලයේ වැඩිවෙයි. එහිදී හැටන් ගඟ හා කෙහෙල්ගමු ඔය අතර ඇති මුළු දුර මීටර් සියයක් තරම පටුවෙයි.  


උල්පතේ ජලය විශාල ලෙස ගලා ඒම බිමේ අති අස්ථාවර බව දැඩි නායයාම නිසා හැටන් ගඟේ ජලය උල්පත කැඩී විශාල වී ගොස් හැටන් ගඟේ ජලය මුළුමනින් කැලනි ගඟ සෑදීමට මුල්වන කෙහෙල්ගමු ඔයට එකතුවීමේ අවදානම ඇත.  


විශේෂයෙන් කඳුකරයේ නිරන්තර භූමිකම්පා සිදුවෙයි. මේ භූමි කම්පාවකදී වුව එම අවදානම මතුවිය හැක.

  
එසේ වුවහොත් මහවැලි ගඟේ මුල්ම අතු ගංගාවෝ හැටන් ඔය මහවැලි ගඟෙන් ගිලිහී කැලණි ගඟට එකතුවීමේ ඉඩකඩ වැඩිය. 

 
මහාචාර්ය කුලරත්නම්ගේ අදහසට අනුව අද කැලනි ගඟට ගලා යන මස්කෙළිය ඔය අතීතයේ මහවැලි ගඟට ගලාගිය ජලධාරාවක් විය. මධ්‍ය කඳුකරයේ වූ භූ විපර්යාසයක් නිසා මස්කෙළි ඔය මහවැලියෙන් කැඩී කැලණි ගඟට එකතුවී ඇත. එවැනිම අනතුරක් දියනිල්ල උල්පත නිසා හැටන් ගඟට අැති විය හැක. එයද හැටන් ගඟෙන් ගිලිහී කැලණි ගඟට එකතුවීමේ අවදානම ඇත.  

 

 

 

 


වත්තේගම හිටපු කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ 
එස්.කේ. ජයවර්ධන