සිරිපා පද්මය පිහිටි සමන්තකූඨ පර්වතය

සිරිපා මළුවේ සිට අළුයම අවට බලද්දී දිස්වන අසිරිය

අඹගමුව සෙල්ලිපිය පිහිටි උඩමුලන් ගම

 

තථාගත බුදුපියාණන් වහන්සේ බුද්ධත්වයෙන් අට වෙනි වර්ෂයේදී මණිඅක්ඛිත නා රජුගේ ආරාධනයෙන් කැලණියට වැඩම කළහ. ඒ උන්වහන්සේගේ තෙවන ශ්‍රී ලංකාවට වැඩම කිරීමයි. එම අවස්ථාවේදී සුමන සමන් දෙව් රජුගේ ආරාධනය පරිදි බුදුපියාණන් වහන්සේ සමන්ත කූඨ පර්වත මුදුනේ මුනි සිරිපා පා පහසින් හෙළදිව පිවිතුරු භූමියක් බවට පත්කළ සේක. 


එතැන් සිට අවුරුදු දෙදහස් ගණනක ඉතිහාසය පුරා අප ශ්‍රී ලාංකික බෞද්ධ ජනතාව මහත් බැතියෙන් සිරිපා වන්දනාවට වසරකට වතාවක් එකතු වෙති. අන්‍යාගමික බැතිමතුන්ද තම ආගමික පුණ්‍ය භූමියක් ලෙස සලකා සිරිපා වන්දනාව කරති. 


මුහුදු මට්ටමින් අඩි 7360 ක් උසින් යුතු සිරිපා පුදබිම ශ්‍රී ලාංකික බොදුනුවන්ට පමණක් නොව ලෝක වාසී බොදුනුවන්ගේ මහත් වූ ගරු බුහුමන් ලබන ආගමික ස්ථානයකි. අප දන්න තරමින් පුණ්‍ය භූමියක් කේන්ද්‍ර කරගෙන වාර්ෂිකව සය මසක් සිදු කෙරෙන වන්දනා ගමන නම් සිරිපා වන්දනා ගමන විය හැක. 


සමන්ත කූඨ පර්වතය මුදුනේ වූ මුනි සිරිපා පාද පත්මය මත නළල තබා වන්දනා කිරීමට යෑම අති දුෂ්කර ගමනකි. ඒ නිසාම මෙම උතුම් වන්දනා ගමන රාත්‍රී කාලයේ සිදු කිරීමට අපේ පැරැන්නන් කටයුතු කර ඇත. ඒ අනුව අද දක්වාම රාත්‍රී කාලයේ මේ වන්දනා ගමනට බැතිමත්හු එකතු වෙති. අද දවසේ සිරිපා වන්දනා ගමනට විවිධ වූ පහසුකම් එකතු වී ඇත. එහෙත් එදවස මේ වන්දනා ගමන අති දුෂ්කර කටයුත්තකි. අපේ පැරැන්නෝ මේ උතුම් වන්දනා ගමනට යටගියාවේ එකතු වී ඇත්තේ ගේ දොර හරකාබාන ආදී තමන් සතු සියලු වස්තූන් තම දූ දරුවන්ට පවරා දීමෙන් පසුවය. සිරිපා වන්දනා ගමන කොතෙක් දුෂ්කර එකක්ද යන්න එයින් තේරුම් ගත හැක. ඒ පිළිබඳව මනාව කියන සටහනකි නුවරඑළිය අඹගමුව සෙල්ලිපිය. 


නුවරඑළිය, අඹගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ගිනිගත්හේන නගරයේ සිට නාවලපිටිය මාර්ගයේ හය වන සැතපුම් කණුව අසලින් වම් පසට හැරී උඩබුලත් ගම තුළ යාර 400 ක් පමණ දුර ගිය තැනදී මහ කළු ගල් තලා කීපයක් අපට දිස්වේ. මෙම ගල් තලා අතර ගල් කුලුනු දෙකක මනාව ලියැවුණු සටහනක් අපට දැකගත හැකිය. 


අඟල් 4 ක් පමණ දුරින් ඉරි ගසා ලියූ සටහන් පළමු ගල තුළ පේළි 33 ක්ද දෙවන ගල මතුපිට අක්ෂර පේළි 25 ක්ද දැකගත හැකි අතර ඉතා මනාව පෙන්නුම් කරන අක්ෂර එහි දැක්වේ. 


ශ්‍රී පාද වන්දනා ගමනට අදාළ බොහෝ කරුණු මෙම අඹගමුව සෙල්ලිපිය තුළ අඩංගු වී ඇත. එම තොරතුරු විමසීම මේ සිරිපා වන්දනා සමය නිසාම වැදගත් වේ යැයි සිතේ. 

 

අඹගමුව සෙල්ලිපියේ කොටස් දෙක

 


එදවස මේ උතුම් පුදබිම වන්දනා කිරීමට මේ පුංචි ශ්‍රී ලංකාවේ සතර දිගින් බැතිමතුන් පාගමනින් පැමිණ ඇත්තේ අති දුෂ්කර ලෙස මාස ගණන් ගත කිරීමෙන් පසුවය. ඇතැම් විට එය එදා වට වන්දනාවටද අැතුළත් වන්නට ඇති බව සිතිය හැක. 


අවුරුදු දහස් ගණනකට පෙර පළමු විජයබාහු රජ දවස 1055-1110 අතර කාලයේදී ඇතිවූ ආගමික ප්‍රබෝධය හේතුකොටගෙන පළමු විජයබාහු රජතුමා විසින් මෙම සෙල්ලිපිය පිහිටුවා සිරිපා වන්දනා ගමනට පූර්ණ රාජ්‍ය අනුග්‍රහය ලබාදුන් බව මෙම අඹගමුව සෙල්ලිපිය කරුණු කියයි. සිරිපා පුණ්‍ය භූමිය වන්දනා මාන කරන පිළිවෙත් හා ඒ වෙනුවෙන් පැවරූ නින්දගම් පිළිබඳව මෙම සෙල්ලිපිය සාක්ෂි දරයි. 


ඈත දුරබැහැර සිට සිරිපා වන්දනාවට පැමිණෙන වන්දනාකරුවන්ට ගමනේ දුෂ්කරතාවය මත ගිමන් හැර මනා සෞඛ්‍ය තත්ත්වයකින් සිරිපා කරුණා කිරීමට අවැසි කායික ශක්තිය ලබාදීම අරමුණු කරගෙන පළමු විජයබාහු රජු සිරිපා පුදබිමේ සිට ගව් පහක් දුරට ගව්වෙන් ගව්වට ගිමන්හල් ඉදිකොට බෙහෙත් හල් සකසා දින ගණනාවක් වන්දනා කරන්නන්ට විවේක ගන්නට අවකාශ සලසා ඇත. ඒ සමගම ඔවුන්ට බත බුලතින් සංග්‍රහ කළ යුතු බවත් ඔවුන්ට ආවතේව කළ යුතු බවත් එම හැම කටයුත්තක්ම තමා වෙනුවෙන් ඉටුකළ යුතු බවට රජු විසින් නියෝගයක් ලෙස මෙම සෙල්ලිපියේ කරුණු දක්වා ඇතැයි පැවසේ. 


පළමු විජයබාහු රජු තම අවුරුදු 55 ක රාජ්‍ය කාලය තුළදී රටට එල්ල වී තිබුණු සොළීන්ගේ තර්ජනයෙන් මුදවාගෙන යහ පාලනයකට නතු කර ඇත. ඒ යටතේ රට තුළ වූ වෙහෙර විහාර ප්‍රතිසංස්කරණය කරමින් ආගමික ප්‍රබෝධයට පියවර ගත්තේය. ඒ පිළිබඳව මහා වංශයේ මෙසේ සඳහන් කර ඇත. 


සමන් කූඨ පව්වෙහි පිහිටි මුණි රජහුගේ පා සටහන වඳනා පිණිස දුක සේ යායුතු මග යන්නා වූ මනුෂ්‍යයෝ සියල්ලෝම නොපෙළෙන්ව යි දන් වැටුප් පිණිස හැල්කෙත් ආදියෙන් සමෘධ වූ ගිලීමලය නම් ගම දෙව්. කෙසෙල්ගම් මගද එසේම ඌවරට මගද වෙන් වශයෙන් ගම් දී සලාද කරව්. රජතෙමේ අනාගත කාලයෙහි රජදරුවෝ ඒ ගම් නොගණින් වයි අකුරු කොටවා ගල්ටැම්ද පිහිටවීය. 

 

අඹගමුව සෙල්ලිපියේ අක්ෂර ඉතා පැහැදිලිව

 

 

සිරිපා වන්දනා කරන මහා සංඝයා වහන්සේලාට වන්දනාකරුවන්ට ආහාර පාන බෙහෙත් හේත් දීම හා සියලු රැකවරණය දීමට එකතු වන රාජකාරි කරන අයට වැටුප් ගෙවීම සඳහා භවභෝගවලින් යුතු ගම්මානද සිරිපාද පුදබිමට පවරා තිබුණු බව මහාවංශයේ තවදුරටත් සඳහන්ව ඇත. 


එපමණක් නොව ශ්‍රී පාද පත්මය වන්දනා කිරීමේ ක්‍රමවේදයක්ද පුද පූජා පැවැත්වීම සුදුසු අය උඩමළුවට ඇතුළු විය යුතු බවත් අනෙක් අවශේෂ කොටස් පහත මළුවේ සිට සිරිපා පත්මය වන්දනා කළ යුතු බව මෙම අඹගමුවේ සෙල්ලිපියේ සටහන්ව ඇති බව පැවසේ. 


මහාවංශය අනුව ක්‍රි.ව. 1187 දී නිශ්ශංකමල්ල රජු සිව් රඟ සේනා සමග සමන්ත කූඨ පර්වතයට ගොස් සිරිපා වැඳ පුදා ගත් බවට තොරතුරු අනාවරණය කරයි. 


අවුරුදු දහස් ගණනාවක් අප හෙළ රාජාවලියේ මහ රජවරු මේ පුණ්‍ය භූමියට මහත් බැතියෙන් තම ගෞරවය පුද කරමින් අද දවසේ අප වෙත උරුම කර ඇත. උඳුවප් පොහොය දින සිට වෙසක් පුන් පොහොය දින දක්වා දින 147ක් අප ශ්‍රී ලාංකික බෞද්ධ ජනතාව මේ සිරිපා වන්දනාවට එක්වෙති. 


ශ්‍රී ලංකාවේ දකුණු කොනේ සිටත් උතුරු මැද උෟව වෙල්ලස්ස දිගාමඩුල්ල ඈත දුරබැහැර සිට එක් අරමුණක් තුළ වන්දනා නඩ සිරිපා කරුණා කිරීමට ආව ගියේ මහත් වූ බැති බරවය. 

 

 


මේ සිරිපා වන්දනාව උප සංස්කෘතියක් තුළ ක්‍රියාත්මක වූ කාර්යයකි. ඉතා දුර බැහැර සිට යෙදෙන අති දුෂ්කර වන්දනා ගමනක් බැවින් ඒ සඳහාම භාවිතා කිරීමට වෙන් වූ වචන මාලාවක් සිරිපා වන්දනාවට එකතු විය. ලොකු කුඩා කවුරු වුවද පළමු වතාවට සිරිපා වන්දනාවට යෙදෙන්නේ නම් ඔවුන් හඳුන්වනු ලබන්නේ කිරිකෝඩු මහකෝඩු වශයෙනි. තම උරහිසෙහි රැඳුනු ගමන් මල්ලට සැහැල්ලුද නඟින බහින වචන වෙනුවට “කරුණා කරන්න” ඉතා ළබැඳි ආමන්ත්‍රණයකි. මෙවැනි දේ අද සිරිපා කරුණා කරන අය අතර ඇත්නම් ඒ කෙනෙක් දෙදෙනකු අතර විය හැක. 


අද සිරිපා වන්දනා ගමන වන්දනා ගමනක්ද විනෝද ගමනක්ද යන්න පවා තේරුම් කරගත නොහැකි තැනකට පත්ව ඇත. අප දැන හෝ නොදැන මේ උදාර වන්දනා ගමන වාණිජකරණයට ලක්ව ඇත. සිරිපා කරුණා කරන බැතිමතුන් අති බහුතරයක් ගමන් ගන්නා වූ නල්ලතන්නියේ සිට උඩමළුව දක්වාම සිත සනසන දේට වඩා සිත පාරන දේ නෙත ගැටීම අරුමයක් නොවේ. එදා සිරිපා වනපෙතෙහි කාගේත් සිත සැනසූ තුන්සරණයේ කවියක් අද ඇසේ නම් ඒ කලාතුරකිනි. ඒ වෙනුවට ඇසෙන්නේ උසුළු විසුළු පමණකි. සිරිපා වන්දනාව සම්බන්ධ උප සංස්කෘතියක් පිළිබඳ වෙනම සාකච්ඡා කළ යුතු තැනකට පත්ව ඇත. 


කෙසේ වුවත් මේ සිරිපා වන්දනා සමය නිසා එදා පුරාණයේදී පළමු විජයබාහු රජු අඹගමු සෙල්ලිපියේ අකුරු කර අපට කියාදුන් පාඩම එක වරක් නොව දහස් වරක් කියවිය යුතු පාඩමකි. ඒ අපේ පෞඩ අතීතයට ගෞරවය පුද කිරීමටය. 

 


ඡායාරූප හා සටහන 
නුවරඑළිය ෂෙල්ටන් හෙට්ටිආරච්චි