බුදුන් උපන් දේශයේ අසිරිමත් පුදබ්ම්

සාංචි විහාරය

 

සමණාමයං මහා රාජ   
ධම්ම රාජස්ස සාවකා   
තමේව අනුකම්පාය   
ජම්බුදීපා ඉධා ගතා.  

 
පො​ෙසාන් පුර පසළොස්වක දා මිස්සක පවුවේ සිට එසේ වදාළේ ඉන්දියාව හෙවත් ජම්බුද්වීපයේ සිට වැඩම කළ මිහිඳු මහරහතන් වහන්සේය. එදා මිහිඳු මහරහතන් වහන්සේ වැඩම කළ මිස්සක පව්ව සේම උස් ස්ථානයක සිට ජම්බුද්වීපයෙන් ධර්ම ප්‍රචාරය සඳහා වැඩම කරවූ බව ඉතිහාසයේ සඳහන් වෙයි. විශේෂයෙන්ම සාංචිය නමින් හැඳින් වූ ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශයේ පිහිටි මෙම උස් ස්ථානය මහින්දාගමනයට සේම සංඝමිත්තාවන් ජය ශ්‍රී මහා බෝධියේ ශාඛාවක් රැගෙන මෙරටට පැමිණ වීම සඳහාත් ගමන ආරම්භක ස්ථානය වූ බව සඳහන්ව ඇත්තේය.   


ලංකාවට ඓතිහාසික වූ එම ස්ථානය තුන් වන ධර්ම සංගායනාව පවත්වන ලද ස්ථානය ද වෙයි. අග්‍රගණ්‍ය කලා නිර්මාණ සහිත පූජනීය භූමියක් වූ මෙය ඉන්දියාවේ පිහිටි පූජා භුමි වලින් පළමු වරට ලෝක උරුමයක් බවට පත් වූ ස්ථානය වීමද තවත් විශේෂත්වයකි.   


ධර්ම ප්‍රචාරක ස්ථානයක් ලෙස ද, ශාසන ශෝධන ස්ථානයක් ලෙස ද මහරහතන් වහන්සේලා වැඩ සිටි ස්ථානයක් ලෙස ද රහතන් වහන්සේලාගේ ධාතූන් වහන්සේලා තැන්පත් කළ ස්ථානයක් ලෙසද ප්‍රසිද්ධ ඓතිහාසික සාංචියේ පුරාණය මෙසේය.   


සාංචිය යනු බුද්ධ කාලයේ සිටම පැවත එන පූජා භූමියකි. සම්බුද්ධ පරිනිර්වාණයෙන් පසු මෙම ස්ථානයේ වැඩ සිටින ලද්දේ මහා කච්චායන නම් මහරහතන් වහන්සේ නමකි. ඒ හිමියෝ එහි සිටිමින් බුදු දහම ව්‍යාප්ත කිරීමේ කටයුතුවල නිරත වූහ.   

 

භික්ෂුන් වහන්සේලා වැඩ සිටි පැරණි ආරාමය

 


මෙම පූජා භූමිය අයත්ව පැවතියේ අවන්ති රාජ්‍යයටය. අවන්ති රාජ්‍යයේ

වේදිස නුවර සිටි වේදිස නම් සිටුවරයෙකු මෙම පූජා භූමිය හා නිතර සම්බන්ධ වෙමින් එහි පැවැත්මට කටයුතු කර ඇත්තේය. ඔහුට වීදිසා නම් රූමත් දියණියක සිටි අතර ඇය ද බොදු දහමට අනුව හැදුණු විනීත ගති ඇත්තියක වූවාය.   


බිංදුසාර රජු අභාවප්‍රාප්ත වීමත් සමග පාටලී පුත්‍රයේ රජ කම ලැබුණේ අශෝක කුමරුටය. ඒ වන විට අශෝක රජු වීදිසාට පෙම් බැඳ සිටියේය. වීදිසාව සිය පියඹ කරගත් අශෝක රජු ගෙනයන ලද්දේ දික්විජය ප්‍රතිපත්තියකි. එනම් ඔහු සටන් කරමින් රාජ්‍යයන් අල්ලා ගනිමින් චක්‍රවර්ති රජ කෙනෙකු වීමේ සිහින දුටුවේය. එම සටනේ අවසානය සනිටුහන් කරන ලද්දේ කාලිංගයෙනි. එය අශෝක රජුගේ රාජ්‍ය පාලනයේ පරිවර්තීය කාලය ද සනිටුහන් කළේය. එනම් කාලිංග යුද්ධයේදී සිදු වූ මිනිස් සංහාරය දුටු රජු කම්පාවට පත් විය. නිතැතින්ම ඒ ඝාතනවල දී අඳෝනා හඬ සිය හදවතෙහි දෝංකාර දෙන්නට වූවේය.

   
එම චිත්ත වික්ෂෝපයට ඔසුවක් වූයේ කුඩා නිග්‍රෝධ හිමියන්ය.   


පුංචි සාමණේරයන් වහන්සේගෙන් බුදු බණ අසා බුදු දහම වැළඳගත් අශෝක රජු දිග්විජය අතැර ධර්ම විජය වැලඳ ගත්තේය. රජුගේ මෙම පරිවර්තීය කාලය ඉන්දියාවට සුබ ලකුණක්ම විය.   


වීදිසා බිසව සිය පුතණුවන් වූ මහින්දත් දියණිය වූ සංඝමිත්තාත් ඇතිදැඩි කරන ලද්දේ බොදු දරුවන් ලෙසින්ය. ජීවිතයෙහි ඇති අනිත්‍යය පිළිබඳ ධර්මාවබෝධයෙන් සිටි ඔවුනට පියාගේ ධාර්මික පරිවර්තනය අාශිර්වාදයක්ම විය. ඔවුහුද බෞද්ධ ශාසනය ඉදිරියට පවත්වාගෙන යාමේ අරමුණෙන් උතුම් වූ සංඝ ශාසනයට ඇතුළත් වූහ.   
මේ කාලය වන විට ඉන්දියාවේ බුදු දහම පිළිබඳව ද දුර්මත පැතිර යමින් තිබිණි. එබැවින් මොග්ගලී පුත්ත තිස්ස තෙරුන්ට නැවතත් ධර්ම සංගායනාවක් කර වී​ෙම් අවශ්‍යතාව ඇති විය. එදා චේතිය ගිරිය ලෙස හැඳින් වූ වත්මන් සාංචි පුද බිමෙහි සිටි තෙරණුවෝ ඒ බව අ​ෙශා්ක රජතුමාට දැන් වූහ. රජුගේ පූර්ණ අනුග්‍රහකත්වය යටතේ මොග්ගලී පුත්තතිස්ස තෙරුන්ගේ ප්‍රධානත්වයෙන් තෙවන ධර්ම සංගායනාව පැවැත්විණි.   


එහි එක් ප්‍රතිඵලයක් වූයේ රටවල් 9 ට ධර්ම ප්‍රචාරය සඳහා ධර්ම දූත කණ්ඩායම් 9 ක් යැවීමය. එදා එම ධර්ම දූත පිරිස ඒ රටවල් නවය සඳහා පිටත් කළ ස්ථානය වූයේ මෙම සාංචි පුද බිමය.   


එලෙසින් ඓතිහාසික සිදුවීම් සනිටුහන් කළ මෙහි සැරියුත් හා මුගලන් මහරහතන් වහන්සේලාගේ ධාතූන් වහන්සේලා තැන්පත් කළ චෛත්‍යය ද නිර්මාණය කර ඇත. එසේම ජීවිතයේ යථාර්ථය අවබෝධ කරගත් සිය පවුලේ ඥාතීන් නිතර පැමිණි, ගැවසී සංචියේ ආරාම සංකීර්ණයක් ඉදිකිරීමට ද ධර්මාශෝක රජු කටයුතු කර තිබේ. මීට අමතරව අලංකාර තොරණ සතරක් සහිත විශාල ස්තූපයක් ද අශෝක ස්තම්භයක් ද මෙහි පිහිටුවා ඇත. එසේම ළිං, පොකුණු, දාන ශාලා, සංඝාවාස, රෝහ​ල් ආදී යටිතල පහසුකම් සංවර්ධනය කළ රජතුමා ධර්මයේ පැවැත්ම උදෙසා සෙල්ලිපි සහිත ස්තම්භ රාශියක් හිඳුවා ඇත.   


සාංචියේ පිහිටි ආකර්ෂණීයම ස්ථානය වන්නේ බුබ්බුලාකාර හැඩයෙන් යුතු වූ සර්වඥයන් වහන්සේලා තැන්පත් කර නිම වන ලද සාංචි මහා ස්තූපයයි.   


එහි උස අඩි 54 ක් වන අතර විෂ්කම්භය අඩි 120 කි. මළුවට ඇතුළුවීම සඳහා තොරණ හතරක් වන අතර ඒවායෙහි මිනිස් රූප, ජාතක කතා සහ දාර්ශනික විග්‍රහයන් අන්තර් ගත කර ඇත.   


උදාහරණ ලෙස බුදුන් සංකප්පයට වඩින ආකාරය, සිදුහත් කුමරු උයනට පිවිසෙන අයුරු, ජේතවනාරාම පූජාව, සත් සතිය, ආදාහන පෙරහර, විශාලා නුවර තුන් බිය දුරු කිරීමේ පිරිත් දේශනය, ධාතු පෙරහර, ශ්‍රී මහා බෝධිය ලංකාවට වැඩම කරවීම, සාම ජාතකය ආදී බොහෝ දේ චිත්‍ර හා කැටයම් ලෙස දක්නට ලැබේ.   


සාංචි මහා ස්තූපයේ දකුණු දොරටුවේ තොරණ අසල අශෝක ස්ථම්භය පිහිටා තිබේ. එහි උස අඩි 42 කි. සතර අතට මුහුණ ලා ඇති සිංහ රූප හතරක් ද දක්නට ලැබේ. සිංහ රූපවලට පහළින් හංස රූප දක්නට ලැබෙයි.   


මේ ආකාරයට විරාජ මානව පැවති පුද බිම දාහතර වැනි සියවසෙන් පසු වල් බිහි වී තිබේ. එහෙත් 1822 සහ 1919 කාලයේදී නැවතත් සාංචිය පිළිබඳ මතකය අලුත් වූ අතර ඒ ජෙනරාල් ජොන්සන්, ජෙනරාල් කනිංහැම්, කැප්ටන් වේයිඩ්‍රි, මේජර් කෝල් සහ සර් ජෝන් මාෂල්ගේ පුරාවිද්‍යා කැණීම් හේතුවෙනි.   
1851 වසරේදී සිදු කළ පුරාවිද්‍යා කැණිම් වලින් මොග්ගලී පුත්තතිස්ස තෙරුන් වහන්සේ ඇතුළු රහතන් වහන්සේලා දහ නමයකගේ ධාතු කරඬූ ගොයා ගෙන ඇති අතර පසු කැණීම් වලින් සැරියුත් මුගලන් මහ රහතන් වහන්සේලාගේ ධාතු කරඬු සොයා ගෙන ඇත්තේය. ඒ සියලු මංජුසාවල සුරක්ෂීතභාවය උදෙසා එංගලන්තයට යවන ලද්දේ ඒ පරීක්ෂණ කණ්ඩායමය.   


මේ කාලයෙන් පසු සාංචි විහාරය සඳහා මහා බෝධි සමාග​ෙම් අනුග්‍රහය ලැබුණේය. එනම් බෝපාල් මහ රජුගේ අනුග්‍රහය ලබාගත් මහා බෝධි සමාගම එහි චේතියගිරි විහාරය කරවීය.   

 

 


එනම් 1947.12.27 වැනි දින සිකන්දර් සෞලාන් ඉස්තීර් උල් මුල් නවාමි මහම්මද් හම්දුල්ලා ඛාන් බහදුර් නම් මහ රජු විසින් එම විහාරය සෑදීමට ඉඩමක් ලබා දී ඊට මුල්ගල ද තබා තිබේ. 

 
ඉන් පසු මහා බෝධි සමාගමේ අපේක්ෂා පරිදි එංගලන්තයට ගෙන ගිය සැරියුත්, මුගලන් රහතුන්ගේ ධාතු කරඬු නැවත සාංචියට ගෙන්වා ගත් අතර 1952 නොවැම්බර් 8 වැනි දින ඉන්දියා අගමැති ජවහර් ලාල් නේරුතුමාගේ අතින් ඒවා තැන්පත් කිරීම සිදුවී ඇත.   


මෙම ඓතිහාසික පූජා භූමියේ සංවර්ධනය උදෙසා ලාංකීය ජනාධිපතිවරු, අගමැතිවරු විවිධ වූ ආකාර අනුග්‍රහ දක්වා ඇති අතර සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ ආණ්ඩු කාලයේ තවත් වැදගත් සිදුවීමක් වී ඇත්තේය.   


කලක සිට ඉන්දියාව සහ ශ්‍රී ලංකාව කව්චතිව් දූපතේ අයිතිය උදෙසා යම් යම් ගැටලු ඇති කර ගෙන තිබිණි. 1972 වසරේ සිරිමාවෝ මැතිනිය ඉන්දිරා ගාන්ධි මහත්මියත් සමග සාකච්ඡා කර එය විසඳා ගත් අතර කව්චතිව් අයිතිය ලංකාවට හිමි විය.   


එ් පිළිබඳ පළමු වරට ලාංකිකයන් උදෙස​ා දැනුම්වත් කරන ලද්දේ ඉන්දියාවේ සංචි පුද බිමේ සිටියදීය. එදා මැතිනිය සිංහලෙන් කළ කතාව හින්දි බසට පරිවර්තනය කරන ලද්දේ සාංචියේ වත්මන් විහාරාධිපති වන බානගල උපතිස්ස හිමියන්ය.   


මීළඟට අතීතයේ සිටම ධර්ම ප්‍රචාරක මධ්‍යස්ථානයක්ව පැවති සංචියේ ධර්ම අධ්‍යාපනයේ උන්නතිය සඳහා ඉන්දියන් රජයේ අනුග්‍රහයෙන් පිහිටු වූ බෞද්ධ විශ්වවිද්‍යාලයට මුල්ගල තබන ලද්දේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාය.   


මීට අමතරව මෙම ස්ථානය වන්දනා කිරීමට එන ශ්‍රී ලාංකිකයන්ට අවශ්‍ය පහසුකම් සලසා දීම සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් සියලු පහසුකම් සපිරි අලංකාර තෙමහල් ගොඩනැගිල්ලක් සාදවා දී තිබේ. මේ සඳහා පූජා භූමි සංවර්ධන අමාත්‍යාංශය මගින් රුපියල් ලක්ෂ 40 ක් වැය කර ඇත.   


ඓතිහාසික නටබුන් රාශියක් සහිත වූ මෙම පුද බිමේ සංඝමිත්තා තෙරණිය ඇතුළු භික්ෂුණීන් වහන්සේලා වැඩ සිටි ආරාමය ද ජය ශ්‍රී මහා බෝධියේ ශාඛාව ලංකාවට ​ෙගනෙන තෙක​් තැන්පත් කර තිබූ ​ෙ​ෙශලමය පාත්‍රය ද දැක ගත හැකිය.   


මීට අමතරව මෙහි සාරානාත් බුදුරුවට සමාන බුදු පිළිමයක්, අගසව්  දෙනමගේ ප්‍රතිමා, මිහිඳු හිමිගේ ප්‍රතිමාව සහ සංඝමිත්තා මෙහෙණියගේ ප්‍රතිමාවක් දැක ගත හැකිය.   
නවදිල්ලියේ සිට සැතපුම් 465 ක් දුරින් බෝපාල් නගරය පිහිටා ඇති අතර එහි සිට කිලෝ මීටර් 46 දුරකින් සාංචිය පිහිටා ඇත්තේය. මැවිවි, කනකහේරා, කලාන්, කච්චිකානා, කේරා, නගෝරි, ක්වාන්ගෝන් යන ගම්මාන වලින් වට වූ මධ්‍ය ප්‍රදේශයේ පිහිටි මෙම ඓතිහාසික පුද බිමට යා හැකි පහසුම මඟ වන්නේ දිල්ලියේ සිට බෝපාල් හෝ බොම්බායේ සිට සාංචියට ගුවනින් යාමය. මේ සඳහා දෛනික ගුවන් පහසුකම් ඇත. මීට අමතරව මදුරාසියේ සිට දිල්ලියට හෝ චෙන්නායි සිට දිල්ලියට යන ප්‍රධාන දුම්රිය මාර්ගය වැටී ඇත්තේ ද බෝපාල් හරහාය.   


ඉන්දියාවේ හරි මැද පිහිටි මෙම පුණ්‍ය භූමිය අද ලෝක උරුමයක් බවට පත්ව ඇති අතර මෙහි උන්නතිය සඳහා ආරම්භක විහාරාධිපති හැඩිගල්ලේ  සද්ධාතිස්ස හිමි සමග, වත්මන් විහාරාධිපති බානගල උපතිස්ස හිමි ද කර ඇත්තේ සහ අනුපමේය සේවාවකි.   

 

 

 


සටහන කුමාරි හේරත්
ඡායාරූප - අන්තර් ජාලයෙනි