එදා නඩු පොතෙන් පිටුවක්   

 

 

  • කිතුල් ගසට අලාභ කළාට රුපියල් දොළහයි ශත පනහක වන්දියක්   

 

 

වැටේ පැළවුන කිතුල් පැළයේ මුල් අල්ලපු ඉඩමට ඇදී යයි. අල්ලපු ඉඩමේ සාරවත් පස උකහා ගනිමින් කිතුල් ගස සාරවත් ලෙස හැදෙයි. ගසේ විශාල මලක් පූදියි. සෙන්දුහාමි කිතුල් පැණි සඳහා කිතුල් මල තලයි. එසේ කිරීමට ඔහුට අයිතියක් ඇත්ද? අගවිනිසුරු ලසෙල්ස් මැතිඳු ආරවුල විසඳයි.   
අධිනීතිඥ විමලසේන ගන්ගේ ලියයි.   


අද මෙන් නොව එදා බොහෝ මිනිසුන් ජීවත්වූයේ ප්‍රමාණයෙන් විශාල ඉඩම්වල නිවසක් තනා ගැනීමෙනි. එදා ජනගහනය අද මෙන් නොව සංඛ්‍යාවෙන් ඉතා අඩුය. බොහෝ විට ස්වකීය ආරක්ෂාව උදෙසා මෙන්ම වෙනත් කරුණු හේතුවෙන් විශාල ඉඩමේ පදිංචිකරු ඉඩම වටා පැළ ඉනි වැටක් නැතහොත් තාප්පයක් ඉදිකරගනු ලබයි. දැනට වසර පනහක පමණ අතීතයේ ජීවත්වූ එම පවුල එකී වසර පනහ ගෙවා නූතන කාලය වන විට පරම්පරා තුනක් පමණ වන තෙක් වර්ධනය වේ. එසේ වූවිට නූතන කාලය වන විට එකී විශාල ඉඩමෙන් එක් උරුමක්කරුවකුට පොළවෙන් හිමිවන බිම් ප්‍රමාණය ඉතා කුඩාය.   


බොහෝ විට තුන්වෙනි පරම්පරාවේ එක් උරුමක්කරුවකුට හිමිවන බිම් කොටස ප්‍රමාණයෙන් පර්චස් දහයක් පමණ වේ. එවන් අවස්ථාවක ඔහුගේ ආරක්ෂාව සඳහා පැළ ඉනි වැටක් සිටුවා ගැනීම සාමාන්‍ය සිරිත වේ. ඉන් පසුව එකී පොළවේ සිටුවා ගත් පැළ ඉනි වැටෙන් ඇතිවන විවිධ ආරවුල් ආදිය විවිධාකාරී වේ. නූතන කාලයේ අධිකරණවල කටයුතු කරන නීතිඥ මහත්වරු එවැනි ආරවුල් විසඳීමට නොයෙක් ආකාරයෙන් අධිකරණවල පෙනී සිටිති. මේ අනුව නූතන පරපුරේ නීතිඥ මහතුන් එසේ ඇතිවන ආරවුල් නිරවුල් කිරීමට අධිකරණයේ පෙනී සිට ලබා ඇති පළපුරුද්ද ඉමහත්ය. ඒවා කැටිකොට දැනට ලියා ඇති පොත් පත් සංඛ්‍යාව බොහෝය.   


මෙසේ ආරක්ෂාවට මායිමේ ඉදිකර ගනු ලබන වැටක ඇතිවන අතුරු පල ඉඩමේ මායිම් පිටත අල්ලපු ඉඩමේ අයිතිකරු සමග ඇති සමගිය පවත්වාගෙන යාමටද අතිශයින් බාධාවක් වේ. වැට දෙපස සිට හුවමාරු කරගන්නා කලහකාරී බස් දෙඩවිලි බොහෝ විට කෙළවර වන්නේ ගුටි බැට හුවමාරුවී අතිශය කලහකාරී ස්වභාවයෙන්. එක්තරා අවධියක ලංකාවේ දකුණුබද පෙදෙස්වල මිනීමැරුම් ආදී වශයෙන් වූ භයානක ආරවුල්වලට මූලික හේතුවී ඇත්තේ ඉඩම් ආශ්‍රිතව හට ගන්නා ආරවුල් බව පර්යේෂණයක් මත සොයා ගනු ලැබ ඇත. ඉඩමක මායිමේ වැටක් ඉදිකළ වහාම පොදු මායිමේ පිටතින් යාබදව පිහිටි ඉඩමේ අයිතිකරු විසින් පොදු මායිමේ නිරවද්‍යතාවය ආරවුල් කරනු ලබයි. ආරවුල දුරදිග ගිය විට සාමය සොයා පළාතේ සමගි මණ්ඩලයට යයි. එහිදී ආරවුල විසඳීමට මිනින්දෝරු මහතකු ලවා ඉඩමේ මායිම් මැන පෙන්වීමට එකඟ වෙති.   


මැනුමෙන් අවාසිය පෙනෙන පාර්ශ්වකරු මැනුම පිළිනොගන්නා විට ආරවුල සාම නිලධාරීන් මගින් විසඳා ගැනීමට තැත් කරති. ඉන් පසු ආරවුල කර පින්නාගෙන යන ඔවුන්ට අධිකරණයේ මායිම් ශුද්ධ කරවා ගැනීමට සිවිල් අධිකරණයේ නඩුවක් පවරන ලෙසට උපදෙස් ලැබේ. එහිදී අධිකරණය මගින් නඩුව අසා නිමවන තුරු වැටේ කටයුතු තවදුරටත් නොකරන ලෙසට අතුරු තහනම් නියෝගයක් ලබාගන්නා ලෙසට ලැබෙන  උපදෙස් නිසා ඉන් පසුව දෙපාර්ශ්වය විශාල ඉඩම් නඩුවක පැටලී දිසා අධිකරණයෙත් අභියාචනා අධිකරණයේත් නඩු කියා අවසන් වන විට වසර ගණනාවක් ගතවෙයි. විවිධ ගාස්තු සහ නොයෙකුත් වියදම් සඳහා විශාල මුදලක් දෙපාර්ශ්වය වියදම් කරයි. වැටේ ප්‍රශ්නය අතිශයින් දුරදිග යාමෙන් ඇතිවන දුර්විපාකවලින් කොටසක් මෙය වේ. මෙහි වෙනත් විවිධ ප්‍රතිවිපාක බොහෝය.   


පසුගියදා මා විසින් ඉරිදා ලංකාදීප පත්‍රයට ලියන ලද ලිපියක් මගින් යාපන අර්ධද්වීපයේ ඉඩම්වල මායිම් වැටවල් බොහෝ විට ආරවුල්වලින් තොරව විසඳා ගන්නා අයුරු විස්තර කොට දැක්වූයෙමි. එහි ප්‍රචලිතව පවත්නා ක්‍රමවේදය වන්නේ ඔවුන් අතර පවත්නා චාරිත්‍ර අනුගමනය කිරීමය. පොදු මායිමේ තල් වැටක් ඉදිකර ගැනීමට යාබද ඉඩමට ඇතුල්වීමට මෙන්ම තල් වැට දිරාපත්වූ විට එය අලුත්වැඩියා කර ගැනීමට අල්ලපු ඉඩමට ප්‍රවේශවීමට බලපවත්නා නීතික ක්‍රමවේදය වන්නේ අර්ධද්වීපයේ පවත්නා චාරිත්‍රාවලියයි. එකී චාරිත්‍රාවලියට නැතහොත් සිරිත් විරිත්වලට නීතික බලය ඇත. ඒ හේතුවෙන් යාපන වාසි ජනයාට තල්වැට ඉදිකිරීමට මෙන්ම අලුත්වැඩියා කිරීමට අල්ලපු ඉඩමට ඇතුළත්වීමට සිරිත් අනුව සංස්ථාපනය වූ නීතික අයිතියක් ඇත. එබැවින් ඔවුන් අතර ඒ කටයුතු සම්බන්ධයෙන් ආරවුල් ඇතිවීම ඉතා අඩුය.   


ඉහත සඳහන් කරුණු මා විසින් මෙසේ ලියා දක්වන ලද්දේ එදා නඩු පොතේ සඳහන් එක් නඩුවක් විසඳනු ආකාරය පෙන්වීමටය. එකී නඩුව බදුල්ලේ ඉල්ලීම් උසාවියේ 1912 වසරේ මූලිකව විභාග වූ නඩුවකි. විසඳීමට භාජනය වූ ආරවුල මෙසේ විය. වැටක මායිමට සිටවූ පැළ ඉනි අතර කිතුල් පැළයක්ද විය. කලක් ගතවන අතරතුර එකී කිතුල් පැළය හැදී වැඩී එකී කිතුල් ගසේ මුල් ක්‍රමයෙන් අල්ලපු ඉඩමේ පස් අතරින් ගොස් එකී අල්ලපු ඉඩමේ පස්වල සාරය උකහා ගනිමින් කිතුල් ගස ක්‍රමයෙන් හැදී වැඩුනි. 

 
කලක් ගතවීමේදී කිතුල් ගසේ විශාල මලක් හට ගැනුනි. කිතුල් ගස හටගන්නේ ඉහත සඳහන් කළ අයුරු වැටේ සිටවූ කිතුල් ගසේ වූ අතර යාබද ඉඩමේ අයිතිකරු එල්බ ගෙන සිටි මතය වූයේ කිතුල් පැළය හැදුනේ වැඩුනේ වැටෙන් පිට පිහිටි ඉඩමේ පස ආශ්‍රිතව සාරය උකහාගනිමින් බවය. කිතුල් ගස පිහිටි ඉඩම නඩුවේදී හෙළිවූ අයුරු පැමිණිලිකරුවන් වූ සොලමන් සහ තවත් කිහිපදෙනෙකුට අයිතිවිය. කානුවක් ආශ්‍රිතව පිහිටි යාබද ඉඩම හිමිවූයේ ජෝර්ජ් මෙන්ඩිස් නමැත්තෙකුටය. කිතුල් ගසේ හටගත් කිතුල් මල බිම දෙසට බරිතව සැලෙමින් උදාර මෙන්ම අලංකාර ලෙස දිස්විය.   


කිතුල් මල දුටු විත්තිකාර සෙන්දුහාමි කිතුල් පැණි ලබාගැනීමේ ආසාවෙන් මඩිනු ලැබ කිතුල් මල කැපුවේය. එසේ කිතුල් මල තලා පැණි ලබාගැනීම පිණිස වහා කටයුතු සලසා ගත්තේය. මේ අසාධාරණ ක්‍රියාව දුටු කිතුල් ගස පිහිටි ඉඩමේ අයිතිකරුවන් වූ සොලමන් සහ තවත් හවුල්කරුවන් කිහිපදෙනෙක් එකී ක්‍රියාව නවතන ලෙස සේන්දුහාමිගෙන් ඉල්ලා සිටියේය. ඔහු එයට අවනත නොවූ හෙයින් කිතුල් මල තලා විනාශ කිරීමෙන් අලාභයක් සිදු කළ හෙයින්, සේන්දුහාමිට එදිරිව රුපියල් විසි පහක අලාභයක් ඉල්ලා බදුල්ලේ ඉල්ලීම් උසාවියේ නඩුවක් පැවරුවේය. ඔවුන් පැමිණිල්ලේ අවධාරණය කොට පවසා සිටියේ කිතුල් ගස පැමිණිලිකරුවන්ට හිමි බවත් කිතුල් මල තලා විනාශ කිරීමෙන් විත්තිකාර සෙන්දහාමි ඔවුන්ට රුපියල් විසි පහක අලාභයක් සිදුකළ බවය.   


නඩුව ඉල්ලීම් උසාවියේ විභාග කළ කොමසාරිස්තුමා ඔහුගේ නිගමනය සඳහා එල්බ ගත් ස්ථාවරය වූයේ ආරවුල් කිතුල් ගස දෙපාර්ශ්වයටම හිමි පොදු ගසක් බවය යන පදනම මතය. කොමසාරිස්තුමා ස්වකීය තීන්දුවේ කරුණු දක්වමින් පැහැදිලි කරන ලද්​ෙද් එකී කිතුල් ගස පැමිණිලිකරුවන්ගේ ඉඩමේ පිහිටා තිබුණ මුත් එහි වැඩීම පිණිස සරු පස උකහා ගෙන ඇත්තේ එකී ගසේ මුල් ඇදී ගොස් තිබුන පැමිණිලිකරුවන්ගේ ඉඩම පිටස්තරව පිහිටි ජෝර්ජ් මැන්දිස් නමැත්තෙකුට අයත් ඉඩමෙන් සහ එහි ඇති කානුවෙනි.   
කිතුල් ගසේ මුල් එසේ පැමිණිලිකරුවන්ගේ ඉඩමෙන් බාහිර පෙදෙසට ඇදී ගොස් ගසේ වැඩීම සඳහා සාරවත් පස සහ පොහොර ලබාගෙන ඇත්තේ ජෝර්ජ් මෙන්ඩිස්ට හිමි ඉඩමෙන් සහ එහි බෑවුම් පෙදෙසේ පිහිටි කානුවෙනි. මේ අනුව කොමසාරිස් මහතාගේ මතය මෙන්ම එල්බ ගත් මතයද වූයේ ගස වැඩුනේ ජෝර්ජ් මෙන්ඩිස් මහතාගේ ඉඩමෙන් සහ එකී පාමුලේ පිහිටි කානුව තුළ පිහිටි සාරවත් පස හේතුවෙනි.   


මේ අනුව නඩුවේ කරුණු විග්‍රහ කොට කිතුල් ගස පොදු අයිතියක් ඇති ගසක් ලෙස සලකා විත්තිකරුට ගසේ මල තැලීමට අයිතියක් ඇති බවට අභියාචනා පෙත්සම විභාග කළ අගවිනිසුරුතුමා නිගමනය කළේය. එසේ වුවද, අග විනිසුරුතුමා තවදුරටත් කරුණු විග්‍රහ කරමින් ඉදිරිපත්වී ඇති සාක්ෂි අනුව ගසේ මුල් ඇදී ගොස් ඇත්තේ විත්තිකරුට අයත් ඉඩමක් තුළට නොවේ. අල්ලපු ඉඩමේ අයිතිකරු නඩුවට පාර්ශ්වකරුවකු නොවූ මෙන්ඩිස් නමැත්තෙකි. ජෝර්ජ් මෙන්ඩිස් ට වුවද අයිතිය හිමිවන්නේ ඔහුගේ ඉඩම තුළට ගස සම්බන්ධවීම ඇළට ඇදී ගොස් ඇති ගසේ මුල් වලටය. ගසේ මුල් වෙනත් ඉඩමකට ඇදී ගොස් ඇති බැවින් එකී වෙනත් ඉඩමට අයිතිය ඇති එනම් ජෝර්ජ් මෙන්ඩිස්ට එකී මුල කපා ඉවත්කර ගත හැකිය. ගසට හෝ මුල් වලට හානියක් කළ නොහැකිය. එබැවින් ගසේ කිතුල්වලට හානියක් කළ විත්තිකරු වරදක් සිදු කොට ඇති බව අගවිනිසුරුතුමා නිගමනය කළේය. අගවිනිසුරුතුමාගේ අවසන් තීන්දුව මෙසේ විය.  


ගසක මුල් වෙනත් කෙනෙකුගේ ඉඩමට ඇදී ගිය අවස්ථාවක එකී වෙනත් අයට ගසේ අයිතියක් නැත. ඔහුට අවශ්‍ය නම් ඔහුගේ ඉඩමට ඇදී ගිය ගසේ මුල් ඔහුට ඉවත් කළ හැකිය යන්නය.  


එබැවින් පැමිණිලිකරුවන්ට ඉහත දැක්වූ පරිදි හිමිවන්නේ ගසේ භාගයක් පමණක් වන බැවින් එකී මුදලින් දෙකෙන් කොටසක් ඔවුන්ට ලබාගත හැකි බවත් නිගමනය කළේය. එබැවින් පැමිණිලිකරුවන්ට කිතුල් ගසේ මල තලා අලාභ හානියක් සිදු කිරීමට හේතුවක්වූ විත්තිකරු විසින් රුපියල් 12.50 ක මුදලක් ගෙවන ලෙසට නිගමනය කළේය. කොමසාරිස්වරයාගේ තීන්දුව ඉවත් කළ අගවිනිසුරුතුමා අලාභ වශයෙන් විත්තිකරු පැමිණිලිකරුවන්ට රුපියල් 12.50 ක් ගෙවන ලෙසටත් උසාවියේ පවත්වන ලද නඩු විභාගයේ නඩු ගාස්තු විත්තිකරු විසින් පැමිණිලිකරුවන්ට ගෙවන ලෙසත් එසේම ආයාචනා ගාස්තුව ද විත්තිකරු විසින් පැමිණිලිකරුවන්ට ගෙවන ලෙසද නියම කොට කොමසාරිස්තුමාගේ නඩු තීන්දුව ඉවත දැම්මේය.  

 

 


අධිනීතිඥ 
විමලසේන ගන්ගේ ලියයි