සමාජයේ හරස් කඩක්

සමාජවාදී කාන්තා සංගමය මැයි දින පෙළපාළියකට එක්ව සිටින අයුරු   

 

 

සමාජවාදයට කැපවුණු ජවිපෙ කාන්තාවෝ-2

මායි දරුවෝ දෙන්නයි පොලිසියෙන් අරන් ගිහින් දවසක් තියාගෙන ඉඳලා ආපහු එව්වේ සතියක් ඇතුළත ගම්පහ ප්‍රදේශයේ ජවිපෙ වැඩ කරන සියලු දෙනාගේ නාමලේඛනයක් ලබාදෙන ලෙස නියම කරලයි. ඊළඟ ඉරිද‌ා වෙනකොට ඒක දෙන්න බැරි වුණොත් ළමයි දෙන්නත් එක්කම මාව මරලා දානවා කියලා කිව්වා. අන්තිමේදි මට තීරණයක් ගන්න වුණා ලංකාවේ ඉන්නවාද නැද්ද කියලා. ඒ වෙනකොටත් පාස් පෝට් හදලා තිබුණ නිසා මම ළමයි දෙන්නා අක්කලා දෙන්නෙකුට භාර දීලා ගමෙන් පිටවෙලා මාසයක් යන්න කලින් ඕමාන් ගියා ගෘහ සේවයට. ආපහු මම ලංකාවට ආවේ 98දී. ඒත් ප්‍රසිද්ධියේ දේශපාලන කටයුතුවලට සම්බන්ධ වුණේ නැහැ. හැත්තෑඑකේ අච්චු කරපුවත් තියෙන නිසා අහුවුණොත් දඬුවම වැඩි වෙයි කියලා.   


මේ නන්දසීලී අක්කා ඇයි දේශපාලන කටයුතුවලට නැවත එන්න ප්‍රමාද වුණේ කියන කාරණයට ඇය දුන්න පිළිතුරයි.   


ආර්ථික විද්‍යා විශේෂ උපාධියක් තියාගෙන ඕමාන්වල ගෘහ සේවිකාවක් විදිහට වැඩ කරන්න වුණ එක ගැන දුකක් නැද්ද කියලා අපි නන්දසීලී අක්කාගෙන් ඇහුවේ තමන් කරපු කැපකිරීම ගැන පුංචි හෝ කණගාටුවක් තියෙනවාද කියලා දැනගන්න. ඒත් ඇය දුන්නේ අපූරු පිළිතුරක්.   


කොහෙත්ම නැහැ. දේශපාලනය කළත් නොකළත් උපාධි තියෙන කී දෙනෙක් රස්සා නැතුව දුක් විඳිනවාද? සමාජය පිළිනොගන්නා රස්සා කරනවාද? මම මේ විදිහේ රස්සාවක් කළේ සමාජය වෙනස් කිරීම වෙනුවෙන් ජීවිතය කැප කරපු නිසයි. මම ඒ කැපකිරීම කළේ මගේ කැමැත්තෙන්. කාගෙවත් බලකිරීමකට නෙවෙයි. අපි යන්න ගිය ගමන පාලකයෝ යන්න දුන්නේ නැති වුණත් කවදාහරි කවුරුහරි ඒ ගමන කෙළවර කරාවි. ඒ නිසා කරපු දේවල් ගැන හෝ ඒ නිසා විඳින්න සිදුවුණ කටුක අත්දැකීම් ගැන හෝ කිසිම පසුතැවීමක් දුකක් මා ළඟ නැහැ.   


අද ජවිපෙ සමග ඉන්න වඩාත් පැරණිම ඒ කියන්නේ මුල් පරම්පරාව නියෝජනය කරන කාගෙත් අක්කා වූ නන්දසීලී අක්කා කිව්වා වගේ තමන්ට එදා අවසන් කළ නොහැකි වූ ගමන අවසන් කරන්නට අදත් ඇය ජවිපෙ සමග සිටිනවා වගේම නවක පරපුරක්ද ජවිපෙ සමග අත්වැල් බැඳගෙන සිටිති.   


88-89 භීෂණයෙන් පසුව ජවිපෙ නිර්මාතෘ රෝහණ විජේවීරයන් ඝාතනය කර එහි දේශපාලන මණ්ඩලයේ එක් අයෙක් හැර අනෙක් සියලු දෙනා හා සාමාජිකයන් බොහෝ දෙනෙක්ද ඝාතනය කර නැත්නම් අත්අඩංගුවට ගෙන හමුදා කඳවුරුවල සිරකර “දැන් ඉතිං මැච් එක ඉවරයි” කියලා එදා හිටපු පාලකයින් කිව්වත් අලුයට ගිනි ගෙන දැවුණු ෆීනික්ස් පක්ෂියා අලුගසා දමා නැගී සිටින්නා සේ 1994න් පසු ජවිපෙ නැවත නැගී සිටියේ කිසිවෙකුත් අපේක්ෂා නොකළ පරිදිය. මේ නැගී සිටීම නොපිළිගත් ප්‍රධාන දේශපාලන පක්ෂ මැතිවරණ ව්‍යාපාරවල දී ඔවුන්ට මැර ප්‍රහාර පවා එල්ල කරනු ලැබිණ. මෙවැනි තත්ත්වයක් තුළ ඉතාමත් දුෂ්කර කොන්දේසි යටතේ ජවිපෙ සමග එක්වූ කාන්තාවෝ ද සැලකිය යුතු ප්‍රමාණයක් සිටිති. ඒ අතර සෙල්වි විශේෂ චරිතයකි. ජවිපෙ නැවත ගොඩනැගීමට සෙල්වි වැලි ගඩොල් සැපයුවේ කෙසේද?   


මම අය්යලා හය දෙනෙක් හා අක්කා කෙනෙක්ගෙන් යුත් පවුලක බාලයා. අපි වතුකරයේ ලැයිම් නිවාසවල ජීවත් වුණේ. මගේ තාත්තා වත්තේ වැඩ කරලා තමයි අපිව ජීවත් කළේ. අපිට ගොඩක් ප්‍රශ්න තිබුණා. මම පොඩි නිසා ඒ කාලේ ඒ දේවල් හොඳටම දැනුණේ නැති වුණත් අය්යලා ඒවායින් හෙම්බත් වෙලා ඉන්න ඇති. ඒ නිසා මේ සමාජය වෙනස් කරන්න ඕන කියන දැඩි අදහසක් අපේ ලොකු අය්යා තුළ තිබුණා. එයා අසූව දශකයේදී ජවිපෙ සමග සම්බන්ධ වෙලා වැඩ කළා. අනෙක් අය්යලාත් පස්සේ ජවිපෙට සම්බන්ධ වුණා. ඒත් ලොකු අය්යා තමයි ඒ අතර ප්‍රබලයා. අක්කා ඒ දවස්වල හිටියේ විද්‍යාපීඨයේ. අක්කත් මේවාට සම්බන්ධ වුණා. අන්තිමට බාලම අය්යයි මායි හැර අනෙක් සියලු දෙනා අත්අඩංගුවට පත්වුණා. ඒ දවස්වල මට අවුරුදු දහයක් එකොළහක් විතර ඇති. ලොකු අය්යා අත්අඩංගුවට ගත්තේ අසූහතේ අන්තිම වගේ. අනෙක් අය්යලා ඊට පස්සේ ගත්තේ. අක්කාත් ගත්තා. ඒ හැමෝම 95-96 -97 වගේ කාලවලදී විටින් විට නිදහස් වෙලා ආවත් ලොකු අය්යා ආපහු ආවේ නැහැ. එයා ඝාතනය කරලා කියලා අපි දැනගත්තේ 96දී විතර.   


ඒ දවස්වල අපේ ගෙදරට ආපු ගියපු ජවිපෙ සහෝදරවරුන්ගේ තිබෙන ළෙන්ගතු කමට, සහෝදරත්වයට මම ගොඩක් කැමතියි. ඒ කාලෙත් මම එයාලට ආදරෙයි. අපි දෙමළ අය. ඒත් කවදාවත් එයාලා අපි දෙමළද සිංහලද කියලා වෙනසක් කළේ නැහැ. අපේ ගෙදර ඇවිත් අපිත් එක්ක කාලා බීලා නිදාගත්තා. භීෂණය ආවට පස්සේ නම් නිතර ආවේ නැහැ. ඉතිං අය්යලා හොයාගන්න බැරි වුණාම පොලිසිය අම්මයි, තාත්තයි, පොඩි අය්යයි, මාවයි හතර දෙනාවත් අරන් යනවා. තාත්තාට පුළුවන් තරම් පහර දුන්නා. එහෙම ගෙනිහින් මහරෑට අපිව කොහේ හරි පාරක් අයිනේ දාලා යනවා. එතැන ඉඳන් පාර හොයාගෙන අපි එළිවෙද්දී තමයි ගෙදර එන්නේ.   


මේ වගේ දේවල් නිසා මගේ හිතේ පොලිසිය ගැනත් හමුදාව ගැනත් තිබුණේ ලොකු තරහක්. එතනින් එහා දේවල් හිතන්න තරම් අපිට තේරුමක් නැහැනේ. ඉතිං ඒ කාලේ අපිව කවුරුත් ප්‍රතික්ෂේප කළා. අපි මහා නරක වැඩක් කරන පවුලක් හැටියට තමයි වත්තේ හැමෝම සැලකුවේ. ඥාතියෙක් වත් අපිට පිහිටට හිටියේ නැහැ. ඒ නිසා අය්යලා නැති වුණාම අපේ ආර්ථිකය හොඳටම වැටුණා. සේරම බර තාත්තා මත පැටවුණා. ඉතිං අපි බටර් විස්කෝතුවක් කාලා ඉස්කෝලේ ගිය දවස් තියෙනවා. ඒ නිසා සාමාන්‍ය පෙළින් පස්සේ මම ඉස්කෝලේ ගියේ නැහැ.   


94 පක්ෂය නැවත වැඩ පටන් ගත්තත් අපිට පක්ෂේ කිසිකෙනෙක් හමුවුණේ නැහැ. 96දී අක්කා නිදහස් වෙලා ආවට පස්සේ එයා ගුරු විභාගයටයි ග්‍රාමසේවක විභාගෙටයි පෙනී ඉඳලා සමත් වුණා. ඒත් එයා තෝරගත්තේ ග්‍රමසේවක පත්වීම. එයා වැඩ කළේ බදුල්ලේ. එයා මාව පරිගණක පංතියකට දැම්මා. ඒක මන්ත්‍රී කෙනෙක් නොමිලේ කරපු පංතියක්. අක්කා උදේ වැඩට යද්දි මාව එක්ක යනවා. එයා හවසට එද්දි මාව එක්ක එනවා. පංතිය ඉවර වෙලා මම අක්කාගේ ඔෆිස් එකට යනවා. ඔහොම යනකොට දවසක් මට පරණ සහෝදරයෙක් හමුවුණා. එයා ඉස්සර අපේ ලොකු අය්යත් එක්ක ගෙදර ඇවිත් තිබුණා. මාව දැකලා එයා අඳුන ගත්තා. මට නම් එකපාරම අඳුරන්න බැරි වුණා. පෙනුම වෙනස් වෙලානේ. එදා එයා මාත් එක්ක කතා කරලා ජවිපෙ බදුල්ලේ කාර්යාලයට එක්ක ගියා.   


ඒක තමයි මගේ ජීවිතයේ සන්ධිස්ථානය. එතැනින් පස්සේ මම හැමදාම පංති අවසන් වෙලා ජවිපෙ කාර්යාලයට ගියා. එතන තියෙන වැඩවලට උදව් කළා. හවසට අක්කත් එක්ක ගෙදර ආවා. ඔහොම යන අතරේ දවසක් ජවිපෙ සම්මන්ත්‍රණයක් තිබුණා බදුල්ලේ. රටේ දේශපාලනය ගැන තමයි කතා කළේ. මට ඒ තේරුණ දේවල්වලින් ලොකු ආසාවක් ඇති වුණා. ඒත් සමහර දේවල් තේරුණේම නැහැ. මොකද අපිට ඒ තරම් හොඳට සිංහල බැරි නිසා. එදා රැස්වීම ඉවර වෙලා මම රාජිත කියලා එහේ හිටපු සංවිධායක සහෝදරයා එක්ක රණ්ඩු කළා.   


ඒ මොකටද? 

 
මම කිව්වා ජවිපෙ කියන්නෙත් අනෙක් පක්ෂ වගේම ජාතිවාදි එකක්. ඔයාලා දෙමළ මිනිස්සු ඉන්න ප්‍රදේශයට ඇවිත් සිංහලෙන් දේශන කරලා යනවා. කාටද මේවා තේරෙන්නේ? ඇයි දෙමළ අය ගැන හිතන්නේ නැත්තේ කියලා. ඉතිං අර සහෝදරයා හොඳට ඇහුම් කන් දීලා කිව්වා නංගී ඔයා කියන දේට අපිත් සීයට සීයක් එකඟයි. ඒත් අපේ අධ්‍යාපනය තුළ අපිට දෙමළ ඉගෙන ගන්න අවස්ථාවක් ලැබිලා නැහැ. අපේ පරිසරයෙන් එහෙම අවස්ථාවක් ලැබිලත් නැහැ. ඔයා මට බනින්නවත් සිංහල දැනගෙන හිටියට මම එහෙම දේකටවත් දෙමළ දන්නේ නැහැ. ඒ නිසා වෙන්න ඕන දෙමළ දන්න ඔයාලා අපිත් එක්ක එකතු වෙන එක. දෙමළ අයට දෙමළෙන් කියාදෙන්න ඔයාලා එන්නේ නැතිව අපිට දොස් කියලා වැඩක් නෑ නේද කියලා එයා ඇහුවා. මම එදා රෑ ගොඩාක් කල්පනා කළා. අපි 88-89 කාලයේ ලබපු අත්දැකීම් අනුව ගෙදරින් නම් මේකට කිසිම අවසරයක් ලැබෙන්නේ නැහැ. ඒත් මම ලොකු අය්යට කරන්න බැරි වුණ ඉතිරි කොටස කරන්න ඕන. අක්කාට විතරක් කියලා පක්ෂය සමග සම්බන්ධ වී වැඩ කරන්න මම එදාම තීරණය කළා.   


එතනින් පස්සේ මට ජවිපෙ අධ්‍යාපන වැඩවලට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබුණා. ඒවත් සිංහලෙන් තමයි කළේ. ඒත් අවශ්‍ය දේ තේරුම් ගන්න මට පුළුවන් වුණා. ඒ දැනුමත් ලබාගත්තාට පස්සේ මම පක්ෂයවට දෙමළ අය එකතු කරගන්න ලොකු මැදිහත්වීමක් කළා. මට තේරෙන විදිහට දෙමළෙන් මම අපේ ප්‍රශ්නය ඒ කියන්නේ දුප්පතුන් හැටියට අපි මුහුණ දෙන ප්‍රශ්න, වැඩකරන ජනතාව විදිහට මුහුණ දෙන ප්‍රශ්න ගැන ඒ අයට තේරුම් කළා. අපි කැන්වසින් කළා. කැන්වසින් වලදී නම් ලබපු අත්දැකීම් අදටත් මතක් කරනකොට අපි කොහොමද ඒවාට මුහුණ දුන්නේ කියලා අපිටම පුදුම හිතෙනවා.   


මොනවද ඒ තරම් ලබපු අත්දැකීම්?   


ගෙවල්වලට ගියාම සමහරු කතා කරන්නවත් ඉඩ දුන්නේ නැහැ බැනලා පන්න ගත්තා. සමහරු අසභ්‍ය වචන පවා කියලා බැන්නා. තවත් සමහරු ගහන්න පවා ආවා. සැතපුම් ගණන් පයින් ගියත් වතුර උගුරක් දෙන්න කෙනෙක් නැහැ. සමහර ප්‍රදේශවලට ගියාම නම් පක්ෂෙට කැමති අය හමුවෙනවා. ඒ දවසට ඉතිං අපි හැමෝටම තේ එකක් බොන්න ලැබෙනවා. නැත්නම් අපි දවසම ඇවිදලා හවසට පාන් කෑල්ලක් හකුරු කෑල්ලක් හරි ලූනු කෑල්ලක් එක්ක හරි කාලා කහට එකක් බොනවා. රෑ කොහෙන් හරි කන්න ලැබෙන කම් එච්චර තමයි අපේ ආහාරය.   


මම පූර්ණ කාලීනව ආවට පස්සේ පක්ෂේ සහෝදරවරුන්ගේ අලුතෙන් හොයාගන්න සාමාජිකයන්ගේ ගෙවල්වල නවතින්න සිදුවුණා. එක පැත්තකින් දැවැන්ත භීෂණයකට මුහුණ දීලා තිබුණ, තව පැත්තකින් පක්ෂෙට බලයක් නැති, හැමෝම වගේ ප්‍රතික්ෂේප කරන පක්ෂයකට උදව් කරන්න කැමති කවුද? සහෝදරියෝ ගොඩක් හිටියේ නැහැ. මුලින්ම හිටියේ මම විතරයි. ඊට පස්සේ තව අය ආවා. ඉතිං සමහර දවසක සහෝදරවරුන්ගේ ගෙවල්වල තමයි රෑට මම නවතින්නේ. ඉතිං තමන්ගේ තරුණ පුතා ඉන්න තැනට තරුණියක් එනවාට දෙමාපියෝ කැමති වෙන්නේ නැහැ. ගමේ කතන්දර හැදෙයි කියලා බයයි.   

 

සමාජවාදී කාන්තා සංගමය සංවිධානය කළ උද්ඝෝෂණයක්  

 


දවසක් මම රෑ හතහමාරට විතර සහෝදරයකුගේ ගෙදරට ගියාම ඒයා හිටියේ නැහැ. අම්මා විතරයි හිටියේ. අම්මා කිව්වා පුතා එන්නත් රෑ වෙයි. මමත් දැන් බණ ගෙදරක යනවා. ඔය ළමයා යන්න කියලා. ළඟ පාතක ගෙයක් නැහැ. ඇරත් පක්ෂයට සම්බන්ධ ගෙයක් හොයාගන්න එක ලේසි නැහැනේ. ඒත් මම හිතට දහිරිය අරන් එළියට බැස්සා. මට කල්පනා වුණා තවත් ගෙදරක් ගැන. එහේ හිටියේ අක්කා කෙනෙක්. එතනට යන්න මේ ගෙදර ඉඳලා පැය භාගයක පමණ දුරක් යන්න ඕන. රෑ පානේ අවුරුදු විසිතුනක විතර තරුණියක වුණ මම තනියම පාලු පාරවල් වල යනකොට මොකද හිතෙන්නේ?   


අද කාලේ තරමටම දරුණු නැතත් ඒ කාලෙත් ගෑනු අපිට පාරේ තනියම කරුවලක යන එක ලේසි වැඩක් නෙවෙයි. ඒත් මම ගියා. පාරේ හිටපු කොල්ලේ විහිළු කළා. සමහරු බය කරන්න වගේ ටික දුරක් පස්සෙන් ආවා. මම කිසිම දෙයක් ගණන් නොගෙන වගේ ගියත් හිතේ බය තිබුණා. අම්මෝ අර ගෙදරට ගියාම තමයි මගේ ඇඟට ලේ ඉනුවේ. තවත් දවසක අලුතෙන් සම්බන්ධ කරගත් සහෝදරියකගේ ගෙරදට ගියාම ඒ ගෙදර තාත්තා බැනලා පන්න ගත්තා. එදත් රෑ මම තනියම ආවා. ඒ කාලේ කාටවත් වෙච්ච දේ කියන්න ජංගම දුරකථන තිබුණේ නැහැනේ. ඔය වගේ දේවල් නම් එමටයි.   


අපිට ඒ කාලේ ආධාර කරන්න ගොඩක් අය හිටියේ නැහැ. ඒ නිසා අපි සම්මන්ත්‍රණයක් කළත් වෙනත් ප්‍රසිද්ධ වැඩසටහනක් කළත්, කාර්යාලයක් පවත්වාගෙන ගියත් ඒ හැම දේකටම මුදල් හොයාගත්තේ කැටවලට මුදල් එකතු කරලා. ඒ කාලේ ඒ දෙවල් කරන්න නගරෙට ගියාම මිනිස්සු අපිට නොයෙක් දේවල් කියලා බනිනවා. මොකද සල්ලි එකතු කරන්නේ තුවක්කු ගන්නද? තුවක්කු අරන් ආයෙත් අපිව මරලා දාන්නද? ඔය වගේ දේවල් කියලා බනිනවා. තවත් සමහරු කියනවා හිඟානොකා රස්සාවක් කරපල්ලා කියලා. එහෙම තමයි. අපි ඒ කිසිම දේකින් සැලුණේ නැහැ. ඒ නිසා වසර කීපයක් තුළදී අපිට ශක්තිමත් පක්ෂයක් ලෙස ජවිපෙ රට තුළ නැවත ගොඩනැගී ඇති බව පෙන්වන්න හැකි වුණා. 2000 මහමැතිවරණයේදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරු දහයක් ඉන්න පක්ෂයක් බවට පත් කරන්න අපිට හැකි වුණා.   


මේ දුෂ්කර ගමනේදී සෙල්වි වගේම කැපවීමෙන් වැඩ කරපු තවත් බොහොමයක් සහෝදරියෝ ජවිපෙ සමග සිටී. ඔවුන්ද විවිධාකාර අත්දැකීම් ලබමින් ජවිපෙ නැවත නැගීමට දායක වූයේ කෙසේද යන්න අපි ලබන කලාපයෙන් කතා කරමු.  

 


සටහන හා ඡායාරූප 
මුදිතා දයානන්ද