සුමිත්‍රා නම් වන ඇය වයස අවුරුදු 20 දී සමීර සමඟ විවාහ වූ අතර, ඉතාමත් දිළිඳු පවුල් ජීවිතයක් ඔවුහු ගත කළහ. සමීර කුලී රක්‍ෂාවක් කර එදිනෙදා ජීවනෝපාය සරි කර ගත්තේය. සමීර සමඟ විවාහ දිවියට එළඹුණ සුමිත්‍රා අවිවාහකව සිටින විටදීද වේලක් හෝ දෙකක් සප්පායම් වන තරම් දරිද්‍රතාවයෙන් හෙබි පවුලක එකම දියණිය වූවාය. තම දියණියගේ කුස පිරවීමට තරම්වත් ඇයගේ දෙමාපියන්ට වත්කමක් නොවීය. ඒ නිසාම දියණිය විවාහ කරදීම එකම පිළියම ලෙස ඔවුහු සිතූහ. විවාහ දිවියට එළඹ ජීවත් වුවත් වේල් තුන පමණක් පිරිමහ ගැනීමට ඔවුන්ට හැකි විය. සුමිත්‍රා ද දෑතේ කර්මාන්තයක් දැන සිටියේ නැත. 


විවාහ වී මාස කීපයක් ගත වන විට කුළියක් මලියක් කරගෙන නිවසට රැගෙන එන මුදලින් අතරමඟ තැබෑරුමට ගොස් මත්පැන් ටිකක් තොලගා ගෙන පැමිණෙන සමීර නිවසට ගොඩවන්නේ අසල්වැසියන්ට ද ඔහු පැමිණි බව දැන්වීමට සේ මහා හයියෙන් කෑ ගසමින්ය. උදේ රක්‍ෂාවට යන සමීර මහ රෑ නිවසට ගොඩවන්නේ මෙලෙසය. එය ඔහුගේ දෛනික පුරුද්දක් විය. සුමිත්‍රාට පමණක් නොව අසල්වාසීන්ට ද සමීරගේ කෑ ගැසීම පුරුද්දකට ගොස් තිබිණ. 


මේ අතරතුරදී සුමිත්‍රා ගැබ් ගත්තාය. සමීර ටික දිනක් නොබී නිවසට පැමිණියේය. සුමිත්‍රා සිතුවේ දරුවකු ලැබෙන සතුටින් ඔහු මත්පැන් බීම අත්හැර ඇති බවයි. දරුවා ලැබුණාට පසු සමීරගේ මෙම පුරුද්ද සම්පූර්ණයෙන්ම නතර වේයැයි කියා සිතමින් ඇය සතුටු වූවාය. නමුත් කීප දිනකින් නැවත සමීර බීමතින් පැමිණ කෑ කෝ ගැසීමට පටන් ගත්තේය. ගැබ දරාගෙන සමීර සමඟ කටුක ජීවිතයක් ගත කරන සුමිත්‍රා මේ සියලු විස්තර ඇයගේ දෙමාපියන්ට සැළකර සිටියාය. නමුත් ඔවුන් කීවේ ඉවසන ලෙසය. 


ටික කලෙකින් ඇය දියණියක බිහි කළාය. සමීර සතියක් දෙකක් යනතුරු බීමතින් නිවසට පැමිණියේ නැත. නමුත් පරණ පුරුද්ද පටන් ගත් සමීරගේ වෙනසක් සිදු නොවීය. දියණිය ද කෙමෙන් කෙමෙන් වැඩුණත් වසර හතක කාලයක්ම සමීර මෙලෙස බීගෙන පැමිණි අතර, දැන් දැන් සුමිත්‍රාට ගුටි බැට දෙන්නට ද පටන් ගත්තේය. සුමිත්‍රාගේ දෙමාපියන් කොතරම් ඇයව සැනසුවද සමීර හොඳ කෙනෙකු වේයැයි කියා එය සිහිනයක්ම විය. දරුවකු සිටින පියකු වීද කිසිඳු වගකීමක් නැත්තෙකු සේ සමීර හැසිරෙන අන්දමින් සුමිත්‍රාත් ඇයගේ දෙමාපියෝ ද කලකිරීමට පත්වූහ. තවදුරටත් තම දියණිය දුක් විඳිනවා බලා සිටිය නොහැකි වූ ඔවුන් ඇයවත් ඇගේ දියණියවත් තම නිවසට ගෙන්වා ගත්හ. 


තමන් වේලක් හැර වේලක් කෑවත් නම්බුකාරව ජීවත් වන බවත් තම නිවසට පැමිණ බේබද්දකු සේ හැසිරෙන්නට ගතහොත් අසල්වාසීන්ගෙන් ඔහුට ගුටි බැට කෑමට සිදුවන බවත් සුමිත්‍රාගේ පියා සමීරට පෙරනිමිති කීවේය. ඒ නිසා සමීර සුමිත්‍රා හෝ තම දියණිය බැලීමට ඔවුන්ගේ නිවසට නොගියේය. තම විවාහ ජීවිතය මෙලෙස අඳුරු වේයැයි සුමිත්‍රා කෙදිනකවත් නොසිතුවාය. 


දියණියට අවුරුදු හතක් වීද තවමත් පාසලකට ඇතුළත් කර නැත. ඇයගේ අනාගතය ගැන සිතූ සුමිත්‍රා රෙදි කම්හලක රැකියාවකට ගියේ දියණිය දෙමාපියන් භාරයේ තබාය. මෙලෙස ජීවන සටනේ යෙදුන සුමිත්‍රා දියණියව පාසලකට ඇතුළත් කළාය. දියණියගේ ඉගැන්වීම් කටයුතුවලටත් දෛනික ආහාර වේල් පිරිමහා ගැනීමටත් ඇය උපයන මුදල ප්‍රමාණවත් විණි. නමුත් එයින් එහාට නව ජීවිතයක් ගැන සිතීමට නොහැකිය. 


සුමිත්‍රා උදේම නැගිට ආහාර පිස දියණියවද රැගෙන පාසල වෙත ගොස් ඇයව දමා තම රක්‍ෂාවට පිටත් වන අතර, දහවල දියණිය රැගෙන එන්නේ සුමිත්‍රාගේ මව හෝ පියා විසිනි. රාත්‍රී හත වනතෙක් රක්‍ෂාව කර මහන්සි වී නිවසට පැමිණෙන විට රාත්‍රී අටහමාරද පසුවී ඇත. කා බී නින්දට යන ඇය නැවත පුරුදු පරිදි උදේම අවදි වී පුරුදු රාජකාරියෙහි යෙදෙයි. 


මේ අයුරින් කාලය ගෙවී යන දැන් සුමිත්‍රාගේ වයස තිස් පහකට ආසන්නය. නමුත් ඇය විඳින දුක් ගැහැට නිසාත් රක්‍ෂාව කර නිවසට පැමිණ මුළු රෑ තිස්සේම නිදි නොලබා කල්පනා කරන නිසාත් ඇය බොහෝ වියපත් කාන්තාවක සේ දිස්විය. බලාපොරොත්තු කඩවීම නිසා සතුට අහිමි වූ ඇය නිතරම පසුවූයේ කලකිරීමෙනි. දුකිනි. ඒ නිසාම ඇය ඉක්මනින්ම කෝපයට ද පත්වූවාය. රෑට හොඳ නින්දක් ද ඇය නොලබන්නීය. 
‘‘අනේ දෙවියනේ මම ගිය ආත්මේ ලොකු පවක් කරල ඇති. ඒකයි මගේ ජීවිතේ මේ විදියට අඳුරු වුණේ. මට කිසිම සතුටක් නෑ. මගේ ජීවිතේ හැමදාම දුක විතරයි තිබුණේ” නිතරම කියමින් සිතමින් ඇය දුකින් පසුවූවාය. තමාට දියණියගේ අනාගතය වෙනුවෙන් යමක් කළ හැකි වේදෝයි යන ගැටලුවෙන්ද ඇය නිරන්තරයෙන්ම පීඩා වින්දාය. 


මේ අතරතුර සුමිත්‍රා වරින් වර අසනීප වන්නට වූවාය. ඇය මෙලෙස නිරන්තයෙන්ම අසනීප වන නිසා සුමිත්‍රාගේ දෙමාපියන් ඇය වෛද්‍යවරුන් කරා ගෙන ගියත් ඔවුන් පැවසුවේ ඇයට කිසිඳු අසනීපයක් නොමැති බවය. නමුත් තමාට අසනීපයක් ඇති බව තරයේම විශ්වාස කළ ඇය වෛද්‍යවරුන්ගේ මතය පිළිගැනීමට මැළිවූවාය. 


මෙයට හොඳම වෛද්‍යවරයකු තමා දන්නේ යැයි කියූ සුමිත්‍රාගේ දෙමාපියන්ගේ නිවසට යාබද නිවසේ වාසය කරන අයිරින් නැන්දා සුමිත්‍රා කැටුව අපූරු කපු මහතකු කරා ගෙන ගියාය. දේවාලය කරා ගිය සුමිත්‍රාට දැක ගත හැකි වූයේ ගුප්ත බවකි. මුළු දේවාලය පුරාම හඳුන්කූරු සුවඳ පැතිර ඇත. මහතදෙහෙත කපු මහතා සුදු සරමකින් සැරසී ඉණ වටා රතුපාට පටියක් බැඳ සිටියේය. උඩුකය නිරුවත්ය. බෙල්ලේ මාල කීපයක් දමා ඇත. 
කපු මහතා සුමිත්‍රාගේ සියලු විස්තර දැනගෙන ඇය දේවාලය ඇතුළට ගත්තේය. මහා හයියෙන් සීනුව නාද කළ කපු මහතා දේව මන්තර කියමින් හිස වනමින් එහෙට මෙහෙට පැද්දෙයි. හිස පද්දමින් සීනුව නාද කරමින් අසල තිබූ දෙහි ගෙඩි අතුරින් දෙහි ගෙඩි තුනක් ගෙන ඇයගේ හිසට තබා මන්තර කියමින් දෙහි ගෙඩිය බැගින් කැපුවේය. පුදුමයකි කැපූ දෙහි ගෙඩි දෙකකින් රුධිරය වෑහෙයි. අනික් දෙහි ගෙඩිය ද කැපුවේය. එයින් රුධිරය වෑහුනේ නැත. දෙහි පලුවල රුධිරය ඇත. මෙය නම් මහා පුදුමයකි. 


අයිරින් නැන්දා හා සුමිත්‍රා බොහෝ බියට පත්විය. මෙය මෙසේ වූයේ ඇයි දැයි ප්‍රශ්නයකි. කපු මහතා බැරෑරුම් ස්වරූපයක් මවා ගනිමින් දෙහි පලු කිහිපය සුමිත්‍රාගේ අත්ල මත තැබීය. ‘‘දෑහින්ම දැක්කා නේද තමුන්ට කොතරම් ලොකු අපලයක් ද තිබුණෙ කියලා. ඒත් තුන්වෙනි දෙහි ගෙඩියෙන් රුධිරය ආවේ නැත්තේ දෙහි කපද්දි කෙමෙන් කෙමෙන් තමුන්ගේ අපලය ගෙවී ගිය නිසයි” කපු මහතා තේරුම් කරදෙමින් පැවසීය. දෙහි ගෙඩි ගිරයෙන් කපද්දී එයින් රුධිරය ගැලූ නිසා තමන්ගේ රෝගය සුව වූවා යැයි ද දෙහි කපා අවසන් වූ පසු රෝග නිවාරණය වූවා යැයි ද කපු මහතා පැවසීය. 


සත්තකින්ම, වින කැපුම් සඳහා යොදා ගන්නා ද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් තිබේ. බොහෝ විට ඇදුරු පරම්පරාව, ප්‍රදේශය වැනි දේ මත මේවා වෙනස් වන බවට අපට නිරීක්ෂණය කළ හැක. නමුත් එක නැට්ටේ දෙහි, දෙහි, යකි නාරං, එක ඉත්තේ යකි නාරං, පුහුල්, අන්නාසි, අළු කෙසෙල්, තැඹිලි, හබරල අලවලින් සාදා ගත් රූප, හොඬල, බිත්තර, නියඟලා අලවලින් සාදා ගත් රූප, කැහිපිත්තන්, ඉරමුසු, සස්සඳ, මිනී ඔළු, ඉටි රූප ආදිය බහුලව යොදා ගන්නා බව දැකිය හැකිය. 


කෙසේ වෙතත් කැපීම සිදුකිරීමට පෙර ආතුරයාට අයත් රෝග පීඩාව, අවශ්‍යතාව පිළිබඳ හොඳින් සොයා බැලිය යුතුය. මන්ද යත් නිවැරදි ලෙස කැපීමේ පිළිවෙත් අනුගමනය නොකළහොත් අහිතකර ප්‍රතිඵල අත්විය හැක. ඊට හොඳම නිදසුනක් වන්නේ දරුණු කොඩිවිනයක් නොමැති අවස්ථාවක එසේ ඇතැයි වරදවා වටහාගෙන කොඩිවිනය නියමාකාරව කැපීම සිදු කළොත් තමාටම වූවද ජීවිතයෙන් වන්දි ගෙවීමට සිදු වීමයි. 


මනුෂ්‍යයාට බොහෝ විට ලෙඩ රෝග ඇති වන්නේ තුන් දොස් කිපීමෙනි. වා, පිත්, සෙම් යන තුන් දොස් සමනය කිරීම සඳහා කැපීමේ ශාන්තිකර්ම බහුලව භාවිත කෙරේ. එලෙස ඉතා ජනප්‍රිය ශාන්තිකර්මය වන්නේ දෙහි කැපීමේ ශාන්තිකර්මයයි. තමාට ඇති ඇස්වහ කටවහ දෝෂ ඉවත් කර ගැනීමටත් වා, පිත්, සෙම් දෝෂ නිවාරණය කර ගැනීමටත් දෙහි කැපීමේ ශාන්ති කර්මය නිතරම යොදා ගන්නා බව දැකිය හැකි වේ. ඒවාට පමණක් නොව වන, පිළිකා, භූත භය, සිහිවිකල, ගුප්ත රෝග, අධ්‍යාපන ගැටලු, ව්‍යාපාර රැකීරක්ෂා ගැටලු, පවුල් ජීවිතයේ ගැටලු ආදී බොහෝ ගැටලුවලට මෙම ශාන්ති කර්මය මඟින් හොඳ ප්‍රතිඵල ළඟා කර ගත හැකිය. ‘‘සාමාන්‍යයෙන් පුද්ගලයෙක් මාස 3 කට වරක්වත් දෙහි කපා ගත යුතුය’’ යන්න කපු මහතාගේ නිගමනයයි. 


දේවාලයේ කටයුතු නිම වූ පසු සුමිත්‍රා අයිරින් නැන්දා සමඟ නිවසට ආවේ කපු මහතාගේ අපූරු හාස්කම නිසා තමන්ගේ ලෙඩේ ටිකින් ටික අඩු වන බව තමන්ට දැනුණු අයුරු තමන්ට හමුවන ගමේ සෑම අයෙකුටම විස්තර කරමිනි. 


මේ බව ඇසූ ගමේ බොහෝ පිරිස් කපු මහතා හමුවීමට ගියෝය. කැවිලි පෙවිලි පලතුරු ද ගෙනයාමට කිසිවකුත් අමතක නොකළහ. සියල්ලෝම මවිතයට පත් කරමින් පැමිණි සියලු දෙනාගේම රෝගාබාධයෝ දෙහි කැපිල්ලෙන්ම කපු මහතා විසින් සුවපත් භාවයට පත් කරන ලදී. එය සියල්ලන්ගේ ඇස් ඉදිරියේදීම සිදු කිරීම අපූරු කපු මහතාගේ දේව කාර්යය විය. 


මෙසේ මාස ගණනාවක් ගත විය. මේ අතරතුර සුමිත්‍රා යළිත් අසනීප වූවාය. මෙවර කපු මහතා කරා නොගිය සුමිත්‍රා දන්නා හඳුනන කෙනෙකු මාර්ගයෙන් මනෝ චිකිත්සක, වෛද්‍ය පී.එන්. විද්‍යාකුලපති මහතා හමුවට ගියාය. 


යමකු දිගින් දිගටම සුළු මානසික ගැටලු ඇති වීම නිසා මානසික රෝගියකු විය හැකියි. සුමිත්‍රාටද සිදුවී ඇත්තේ එවැන්නකි. ඇයට ‘ක්ලමථය’ නමැති සුළු මානසික රෝගය වැළඳී ඇති බව වෛද්‍ය පී.එන්. විද්‍යාකුලපති මහතා තේරුම් ගත්තේය. නින්ද නොයාම, ආහාර අරුචිය, ඇඟපත වේදනාව, අමතක වීම, සතුට අඩු බව, කලකිරීම, දුක, අසුභවාදී සිතුවිලි ඒම, එපාවීම, අලස බව, මිථ්‍යා විශ්වාස මේ රෝගීන්ගෙන් පෙන්නුම් කරයි. වෛද්‍ය පී.එන්. විද්‍යාකුලපති මහතා සුමිත්‍රාට ප්‍රතිකාර කිරීමෙන් අනතුරුව ඇය සම්පූර්ණයෙන්ම සුවය ලැබුවාය. 


එසේ නම් කපු මහතාගේ විස්මිත දෙහි කැපිල්ල කුමක්ද? 


වෛද්‍ය පී.එන්. විද්‍යාකුලපති මහතා ප්‍රමුඛ විදුල අධි මනෝවිද්‍යා පර්යේෂණ සංගමය මෙම අපූරු කපු මහතා සොයා ගියෝය. ඒ අනුව අපූරු කපු මහතා හමු වූ ඔවුන් තමන්ගේ අපලවලට සහනයක් ලබා දෙන මෙන් ඉල්ලමින් කපු මහතා අසල ඉඳගත්හ. පෙර කතිකා කරගත් පරිදි තම නිරීක්ෂණ, අධීක්‍ෂණ සහ සුවිශේෂී ක්‍රමවේදයන් අනුගමනය කරමින් දෙහිවලින් ලේ ගලන අපූරු බොරුව ඔවුහු වහා අවබෝධ කරගත්හ. කපු මහතා දෙහි කැපීමට ගන්නා ගිරය දෙස ද හොඳින් බලා සිටියෝය. කපු මහතා පළමුවර දෙහි කැපීමට ගන්නා ගිරය දෙවැනි දෙහි ගෙඩිය කැපීමට නොගත්තේය. ඒ අනුව දෙහි කපමින් මැජික් පෙන්වන කපුවා කපෝති කරවන අපූරු සූත්‍රය වෛද්‍ය පී.එන්. විද්‍යාකුලපති මහතා ප්‍රමුඛ විදුල අධි මනෝවිද්‍යා සංගමයේ පිරිස අවබෝධ කොට ගත්හ. 


‘‘හොඳයි.... මේ මගේ මිතුරාගේ ගෙදර ප්‍රශ්නයක්, ඉඩමේ ප්‍රශ්නයක් තිබෙනවා. ඒකටත් සහනයක් සලසා දෙන්න. හැබැයි ඔබ අපි දෙන දෙහි කපන්න ඕනේ. අපි දෙන මේ ගිරය විතරයි පාවිච්චි කරන්න ඕනේ’’ 
කපුවා එම අභියෝගය භාර ගනිමින් දෙහි කැපුවේය. දෙහිවලින් රුධිරය වෑස්සෙන සෙයක් දක්නට නොලැබුණි. කපු මහතා දෙහිවලින් රුධිරය නොගලන නිසා ‘‘ඔබලාට කිසිම විපතක් නෑ” යනුවෙන් කියා දෙහි කැපීම අහවර කළේය. 


‘‘නමුත් අපටත් පුළුවන් කපු මහත්තයාගේ දෝෂ ඉවත් කරන්න” යැයි කියූ වෛද්‍ය පී.එන්. විද්‍යාකුලපති මහතා දෙහි කිහිපයක් අතට ගෙන කපු මහතාගේ ගිරයෙන් කපු මහතාගේ හිසට තබා දෙහි කපන්නට පටන් ගත්තේය. පුදුමයකි. වෛද්‍ය පී.එන්. විද්‍යාකුලපති මහතා විසින් කපු මහතාගේ හිසට තබා කපන දෙහිවලින් රුධිරය ගලයි. ඒ අනුව කපුවාගේ බොරුව ඔහුට පෙන්නූ වෛද්‍ය පී.එන්. විද්‍යාකුලපති මහතා ඇතුළු පිරිස එතැනින් සමුගත්හ. අද වනවිට එම කපු මහතා සාස්තර කීම අත්හැර දමා ගාල්ල අක්මීමන ප්‍රදේශයේ මේ අපූරුතම දෙහි කැපිල්ල සිදුකරමින් ජනතාව මුලා කරවමින් සිටින බව සැලය. මහල් පහක දැවැන්ත ගොඩනැගිල්ලක් ද මේ කපු මහතා මේ වනවිට ඉදිකරමින් පවතී. මැති ඇමැතිවරු ඉහළ රාජ්‍ය නිලධාරීහු මෙන්ම මහා ධනපතියෝ ද දිනකට මෙම ස්ථානයට එති. හමුවීමේ ගාස්තුව රුපියල් 30,000 කි. තවත් ජනතාව රවටමින් දෙහි කපුවා යහතින් කල්ගෙවන්නේ අපේ ජනතාවගේ නොදැනීම නිසාය. එය තේරුම්ගන්නට ජනතාවටම පවරමු. 


යන්ත්‍ර මන්ත්‍ර ගුරුහරුකම්, ශාන්තිකර්ම, කොඩිවින කැපීම ආදී කටයුතු කිරීමේදී දෙහි කපමින් දෝෂ පහ කරවීමට උපයෝගී කරගන්නා ආයුධයක් ලෙස ගිරය සමාජ සංස්කෘතිය තුළ භාවිත වේ. තනිකම් දෝෂ, කළු කුමාර දෝෂ වැනි දේ වැළැක්වීම සඳහා ගැහැනු දරුවන්ගේ ඉඟ පැළඳීමට තැනූ ගිරය ‘වැලකුම් ගිර’ ලෙස හඳුන්වයි. අපේ කතාන්දරයේ කපුවා භාවිතයට ගන්නේ මේ ගිර වර්ගයයි. 


එසේම ඇදුරෙකු විසින් ආතුරයෙකුගේ හිසේ සිට දෙපතුල දක්වා ගෙන ගොස් විසි කර දමන ගිරය භූමියෙහි පතිත වන දිශාව අනුව නිමිති ශාස්‌ත්‍ර කීමද, එකල ජන සමාජය තුළ දැකගත හැකි වූ ගිරය හා බැඳි විශේෂ අංගයක් විය. 


කපුවාගේ එම දෙවොලේ ගිර කිහිපයක් ඇත. කපුවා විසින් ගිරයේ තලය ජලයේ දියවන රතු වර්ණයක් හෝ පොකුරු වදමල් කොටා ජලයේ දියකොට ගිරයේ ආලේප කිරීම සිදුකරයි. ඉන්පසු ගිරය වියළි ස්ථානයක තබනු ලබයි. මේ ආකාරයට කීපවරක්ම සිදුකළ විට වියළන ලද එම ගිරයෙන් දෙහි නැත්නම් බිළිං කැපුවද රක්ත වර්ණය දෙහි පලු දෙකෙහි දැකීමට හැකිය. එක ගිරයකින් දෙහි ගෙඩි කීපයක් කපන විට එම වර්ණය අඩුවෙයි. එවිට එම කටයුත්ත නිසි පරිදි දේව ගැත්තන් ඉදිරියේ මෙම කපු මහතා ද සිදුකර ඇති බව ඔබ සැමටම වැටහෙනු ඇත. මෙම අපූරු සෙල්ලම ඔබටත් කළ හැකිය. මෙහි දෙවියෙකු, ප්‍රේතයෙකු, භූතයෙකු නොමැති බව ඔබට නිසැකයෙන්ම වැටහෙනු ඇත. 


(මෙහිදී නම් ගම් පමණක් රෝගියාගේ ආරක්‍ෂාව හා පෞද්ගලිකත්වය වෙනුවෙන් වෙනස් කර ඇති අතර, සත්‍ය සිදුවීමකි) 


සටහන 
හබරාදුව නිමල් අල්ගෙවත්ත