ඉතිහාසයෙන් සැඟවුණු පිටුවක්

යසෝමැණිකේ ජීවත් වූ මහගෙදර 

 

කා.පො.කො. යසෝමැණිකේ මරා දමා තිබූ ස්ථානය. (පඩිපෙළ තිබූ ස්ථානය වර්තමානයේ වල්බිහිවී ඇති අයුරු) 

 

 

 

මැරෙන බව බොහෝ දෙනෙකුට මතක් වෙන්නේ මළ ගෙදරක දීය. එහෙත් එතැනින් නික්ම ගිය පසු යළිත් පෙර පරිදි ජීවිතය ගත කරන්නේ මැරෙන අයෙකු බව අමතක කරමිනි. තවත් කෙනෙකුගේ ජීවිතය නැති කිරීමට පෙර අපිත් මැරෙන මිනිසුන් බව ඒ හිත් පිත් නැති තරුණයන් එදා සිතුවා නම්, ඇය තවමත් ජීවතුන් අතර ය. මේ කතාව ඒ ආකාරයෙන් මැරෙන බව නොසිතූ තරුණයන් කැලක ගේ ම්ලෙච්ඡත්වය කියාපාන එක් සිදුවීමකි. අදටත් මියගිය පවුල්වල සාමාජිකයෝ ඒ අමිහිරි අත්දැකීම මතක් කරන්නේ වේදනාවෙනි. 


අපි මෙරට අමිහිරි කාලපරිච්ඡේ ද කිහිපයක් පසු කළ ජාතියක් වෙමු. ඉන් එක් විශේෂ කාලපරිච්ඡේදයන් තුළ මිය ගිය අය ගැන ඇති මතකයන් කිසිසේත් අමතක කළ නොහැකිය. එනම් 88, 89 භීෂණ සමයයි. ඒ සමයේ නාඳුනන පිරිසකගේ වෙඩි පහරකින් මාරස්සන, කාන්තා පොලිස් කොස්තාපල් (244) ගන්නිලේ හේරත් මුදියන්සේලාගේ යසෝමැණිකේ (33) මිය ගියාය. පොලිස් සේවයේ යෙදී සිටිය දී, මරණයට පත්වූ ප්‍රථම කාන්තා පොලිස් නිලධාරිනිය ලෙස, ඇයගේ නම ඉතිහාසගත වී අවසන්ය. 


මෙරට තුවක්කු, කඩු සහිත විවිධ කල්ලි, සංවිධාන බිහි වී තිබෙන අතර, එම සංවිධාන සමාජයේ නිදහසේ ජීවත් වන මිනිසුන් ඉලක්ක කරගෙන ප්‍රහාරයන් එල්ල කළේ එවකට පැවති රජයන් ද අපහසුතාවට පත් කරමිනි. 1983, 1988, 1989 යන වර්ෂ ඉන් ප්‍රධානය. 


මහනුවර දිස්ත්‍රික්කයේ මාරස්සන, තලාතුඔය පොලිස් වසමට අයත් ඉතා සුන්දර ප්‍රදේශයකි. ඉංග්‍රීසින් සෙංකඩගල පුරවරය අල්ලා ගැනීමට උත්සාහ කරද්දී, ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමා පලා ගොස් සැඟ වී ඇති එක් ප්‍රදේශයක් වන්නේ මාරස්සනය. ඒ ආකාරයෙන් රජතුමා ආරක්ෂා කළ බැවින්, මා ආරක්ෂා කළ ගම “මාරස්සන” වූවා යැයි ව්‍යවහාරයේ පවතින බව, එම ප්‍රදේශයේ වැඩිහිටියෙක් මා සමග පැවසුවේය. 


මාරස්සන, ගන්නිලේ හේරත් මුදියන්සේලාගේ ටිකිරිබණ්ඩාට සහ දිසානායක රාජපක්ෂ කරුණාවාසල මුදියන්සේලාගේ සෝමාවතී මැණිකේ යන මවුපියවරුන්ට පිරිමි දරුවන් පස් දෙනෙක් සහ ගැහැනු දරුවන් තිදෙනෙකි. ඔවුන් සතුව ඉඩකඩම් ද බොහොමයකි. ඒ නිසාම ඔවුහු ප්‍රදේශයේ ජනප්‍රිය නාමයක් හිමිකර ගත් ගොවි පවුලක් වශයෙන් ජීවත් වූහ. ඔවුන්ගේ නිවස පිහිටා තිබුණේ මාරස්සන රජයේ රෝහල ඉදිරියෙන් පිහිටා ඇති කටුගොඩ මාර්ගයේ මීටර් කිහිපයක් දුරිනි. ටිකිරි බණ්ඩා පියා තම ගොවිතැන් කටයුතුවලට අමතරව කුඩා ව්‍යාපාරයක් ද කර ගෙන ගියේය. එය පිහිටා තිබුණේ නිවෙස අසල සිට යාර කිහිපයක් දුරිනි. 


මෙම පවුලේ වැඩිමහල් දරුවා ගැහැනු ළමයෙකි. ප්‍රථම දරුවා ගැහැනු ළමයෙකු වීම වාසනාවක් යැයි ගැමි සමාජයේ පවතින මතයකි. ඒ අනුව ඒ මවුපියවරු අලුතින් උපන් බිළිඳියට යසෝමැණිකේ යන නම තැබුවාය. ඒ අනුව ඇය පවුලේ වැඩිමහල් සහෝදරිය වූවාය. ඇයට බාල සහෝදර සහෝදරියන් හත් දෙනෙකි. රත්නමැණිකා (62) එම පවුලේ දෙවැන්නියයි. ඇය තම වැඩිමහල් සහෝදරිය වෙනුවෙන් එදා හඬා වැටෙනවා හැර කිසිවක් කිරීමට ඉතිරිව තිබුණේ නැත. අද ද ඇය, ඒ පිළිබඳව කතා කරන්නේ වේදනාවෙනි. ඒ බිහිසුණු අත්දැකීමට මුහුණ දුන් ඇය, අතීතය ආවර්ජනය කළේ මෙලෙසිනි. 


“අක්කා හරිම අහිංසක තැනැත්තියක්. පාසල් යන වයසට පැමිණීමත් සමගම, ඇය මාරස්සන ප්‍රාථමික විද්‍යාලයට ඇතුළත් කළා. ඉන්පසු අ.පො.ස. (උ.පෙ.) අධ්‍යාපනය මාරස්සන ජාතික පාසලෙන් ලබා ගන්නවා. ඉගෙන ගැනීමට පමණක් නොව ක්‍රීඩාවටත් දක්ෂයි. දක්ෂ නෙට්බෝල් ක්‍රීඩිකාවක්. අ.පො.ස. (උ.පෙ.) විභාගයෙන් සමත්ව විශ්වවිද්‍යාලයට ඇතුළත් වීමට තරම් සුදුසුකම් ලබා ගත්තත්, අපි වෙනුවෙන් ඇය තම අධ්‍යාපනය පවා කැප කර රැකියාවක් කිරීමට තීරණය කරනවා. අක්කා ආසාවෙන් හිටියේ ගුරුවරියක වීමටයි. 
ඉඩකඩම්, වතුපිටි පමණක් නොව කුඩා කඩයක් පවා අපට තිබුණත්, වතුපිටිවලින් විශාල ආදායමක් ලැබුණේ නැහැ. පවුලේ සාමාජික සමාජිකාවන් අට දෙනෙක් සිටි නිසා පියා ගේ ආදායම මදි අපට උගන්වන්න. ඒ නිසයි අක්කා කාන්තා පොලිස් කොස්තාපල් වරියක් ලෙස 1977 වසරේ දී පොලිස් සේවයට බැඳුණේ. හේවාහැට ආසනයෙන් පොලිසියට බැඳුණු පළමුවෙනි කාන්තාවත් ඇයයි. වසර දෙකක පමණ කාලයක් කළුතර පොලිස් අභ්‍යාස විද්‍යාලයේ පුහුණුව ලබා, පළමුවෙන් රාජකාරි කළේ කොළඹයි. 1989 වසරේ මහනුවරට පැමිණ උඩුගම්පොළ මහතාගේ විශේෂ අපරාධ විමර්ශන අංශයේ සේවය කළා. ඇය නිවාඩු ගන්නේ නැහැ. දවස් හතම වැඩට යනවා. ඒ තරම් රාජකාරියට ආදරය කළා. 
ඒ දවස් වල රටේ පැවතියේ කළබලකාරී තත්ත්වයක් බව අපි කවුරුත් දන්නවා. දහවල් කාලයේ දී මිනිසුන් පාර තෝටේ ගැවසුණත්, හවස් වෙද්දි ගෙදර යනවා. රෑ වෙනකම් ඉන්නේ නැහැ. බස් ගමනාගමනය නිසි වේලාවට සිදු වුණේ නැහැ. හවසට බස් නැහැ. මිනිසුන් බියෙන් ගත කළ කාලයක්. යුද්ධ හමුදාවේ, පොලීසියේ රාජකාරි කළ අයට එයින් ඉවත් වන ලෙසට බලකරමින් තුණ්ඩු කෑලි දැමූ යුගයක්. ඒවා කවුරු කරනව ද කියලවත් අපි දන්නේ නැහැ. එවන් වාතාවරණයක් පැවති කාලයක තමයි අක්කා මහනුවර පොලීසියට සේවයට පැමිණියේ. 


සුපුරුදු පරිදි උදෙන්ම රාජකාරිය සඳහා පිටත්ව යන අක්කා නිවසට පැමිණෙන්නේ හවස් වෙලයි. මට හොඳට මතකයි 1989 ජුලි මස 16 දින ය. එදා ඉරිදා නිවාඩු දවසක් වුණත් සුපුරුදු පරිදි අක්කා සේවයට ගියා. මහනුවර සිට මාරස්සනට කිලෝ මිටර් විස්සක පමණ දුරක් තිබෙනවා. එදින වරුවක් වැඩ කර, දහවල් කාලයේ දී නිවසට පැමිණියා. බස් එකක් නැතිව දසනායක බාප්පා සමග පොල් අතු ලොරියක පැමිණ තිබුණේ. එවකට බාප්පත් සේවය කළේ මහනුවර පොලිසියේ. පොල්අතු වාහනයෙන් බැස ගැනීමෙන් පසු බාප්පා නිවසට යාමට පෙර මෙසේ පවසා තිබෙනවා. 


“මේ දවස්වල රටේ තත්ත්වය බොහොම නරකයි. මෙහේ වාතාවරණයත් හොඳ නැහැ. ඒ නිසා ලොකු දුව අපේ ගෙදර ඇවිත් නතර වුණොත් නරකද?” 


“අනේ බාප්පේ... අපේ අප්පච්චට හොඳටම උණ... අප්පච්චි බලන්න ඕනෑ... ඒනිසා මම ගෙදර යන්නම ඕනැ...” කියා නිවසට පැමිණ තිබෙනවා. 


ඒ වෙන කොට ඇය අවිවාහකයි. මම විවාහ වෙලා හිටියේ. දරුවන් දෙදෙනෙක් අපට සිටියා. 


මට මතකයි එදා අක්කා කීවා “අනේ නංගී... ඔයාලා ගැන මට බයයි. සංවිධානයෙන් තුණ්ඩුවක් ලැබුණා මට පොලිසියෙන් අයින් වෙන්න, නැතිනම් මරනවා කියා. පසුගිය සතියේ දිසානායක අයියගෙයි, අක්කගෙයි කොණ්ඩය කපලා ටවුමේ බැඳලා හිටියා. ඒ වගේ සිද්ධීන් නිසා මට බියක් දැනෙනවා. දරුවෝ දෙන්නත් සමග මෙහෙ නවතින්න. අපි බල්ලෝ බළල්ලු විදියට මරල දමන්න පුළුවන්” යැයි පැවසුවා. එහෙම කතා කර කර ඉඳලා රාත්‍රි ආහාර ලබා ගැනීමෙන් පසු අපි සියලුම දෙනා නින්දට ගියා. 


ඒ දවස්වල රාත්‍රියට බල්ලෝ තරගයට වගේ හරි හරියට බුරනවා. ඒ කවුරුන් හෝ එළියේ පාර දිගේ ඇවිද ගෙන යන නිසයි. ඒ නිසා අපි රාත්‍රියට දොර අරින්නේ නැහැ. හදිසියේම දොරට තට්ටු කරන ශබ්දයක් ඇහිල මට ඇහැරුණා. ඉන්පසු නැගිට ස්විචය දැමුවත්, බල්බය පත්තු වුණේ නැහැ. වේලාව බැලුවා. දහයයි හතළිස් පහයි. ඒ සමගම කවුදෝ කතා කරනවා වගේ ඇහුණා.. 


“පුංචිඅම්මේ දොර අරින්නකෝ...”


ඒ අපේ ඥාති පුත්‍රයෙකුගේ කටහඬක්. ඔහුගේ කටහඬ හොඳට හුරුයි. මම ඔහුව අඳුනා ගත්තා. එහෙත් දොර ඇරියේ නැහැ. 


එතකොට නිවසේ හිටියේ අම්මයි, මමයි, අක්කයි, නංගියි, මගේ දරුවෝ දෙන්නයි විතරයි. අප්පච්චි අප නිවසට තරමක් දුරින් පිහිටි ඉඩමේ ගොවිතැන් කරමින් සිල්ලර කඩයක් කළා. ඔහු මල්ලිගේ ගෙදර නැවතී සිටියේ එහේ රාත්‍රියට කවුරුවත් නැති නිසයි. ලොකු දුවට අවුරුදු හයයි, චූටි දුවට අවුරුදු තුනයි. මගේ ස්වාමිපුරුෂයා දෙහිඅත්තකණ්ඩියේ සේවය සඳහා ගොස් සිටියා. බාලම සහෝදරිය රැකියාවක් කළේ නැහැ. වැඩිමහල් සහෝදරයා යුද්ධ හමුදාවේ සේවය කරමින් සිටිය දී බිම් බෝම්බයකට හසුව මිය ගොස් සිටියේ. අනෙක් සහෝදරයෝ දෙදෙනා පොලිසියේ සේවය කළේ. ඔවුන් දෙදෙනාත් නිවසේ සිටියේ නැහැ. 


අපි දොර අරින්නේ නැති බව දැන ගත් ඔවුන්ගෙන් කවුරු හෝ දොරට හරි තදෙන් ගැහුවා. ඒ සමගම දොර කැඩුණා. පහළොස් දෙනෙක් පමණ ඇතුළට ආවා. විදුලිය නැහැ. 
පසුව දැන ගත්තා ඔවුන් විදුලිය විසන්ධි කර පැමිණ තිබෙන බව. මැද සාලේ පුටු සැටියේ අපිට වාඩි වෙන්න කීවා. ඔවුන් අවුරුදු 25ට අඩු තරුණයන් පිරිසක්. ඒ අතරේ මාරස්සන ගමේ හත් දෙනෙක් හිටියා. එහි ප්‍රධානියා අපේ ඥාති පුතෙක්. කළුවර පරිසරයක සිටියත් යම්තම් වගේ පැවති එළියෙන් මම ඔවුන්ව අඳුනා ගත්තා. 


“ඇයි මල්ලි මේ අවේලාවේ නැවත ඇවිත් අපට කරදර කරන්නේ.. ඔය ගොල්ලන්ගේ සංගමයට පනස් දාහක් ඉල්ලුවා. අපි ඒක දුන්නා. පසුගිය සතියේ හැඳුනුම්පත් ඉල්ලුවා ඒකත් දුන්නා. මේ විදියට නැවත ආවේ ඇයි...” මා කීවා. 


එතකොට එතැන සිටිය නායකයා කීවා “සෝමා ජයවර්ධන ගේ ගෙදරට යන පාර දන්නේ නැහැ. මල්ලිට කියන්න ඇවිත් පාර පෙන්නන්න කියා...” 


“මල්ලි නැහැ.. ගැහැනු අපි ටික දෙනා පමණයි ගෙදර ඉන්නේ... මම ඇවිත් පාර පෙන්නන්නම්...” කියා පවසා දොරකඩින් එළියට පිටත් වෙන්න හදනකොටම අම්මා අඬන්න පටන් ගත්තා. 


“අම්මා අඬන්න එපා... ආපසු එනවනේ...” කියා මම කීවා. 


අම්මා අඬන සද්දේ ඇහිලා අක්කා නින්දෙන් අවදි වී එළියට ඇවිත් පිරිසක් ඉන්නවා දැක “ඇයි මල්ලි මොකද?” කියා විමසා සිටියා. එතකොටම එතැන සිටිය නායකයා 
“ඔයා තමයි අපි හෙව්වේ. අක්කා කොහෙද වැඩ කරන්නේ?” කියා විමසා සිටියා. 


අක්කා කතා කිරීමට පෙර මම හඬ අවදි කළා. “මයිලපිටිය ඉස්කෝලේ වැඩ කරන්නේ මමයි” කියා මම කීවා. ඇත්තෙන්ම එතකොට මයිලපිටිය පාසලේ විද්‍යාගාර සහායකවරියක ලෙස සේවය කරමින් හිටියේ මමයි. 


“අපට බොරු කියන්න එපා අක්කනේ පාසලේ වැඩ කරන්නේ. යසෝමැණිකේ අක්කා වැඩ කරන්නේ පොලීසියේ නේ. යසෝමැණිකේ අක්කා ඇවිත් අපට පාර පෙන්නන්න” කියා කණ්ඩායමේ නායකයා කීවා. 


අක්කා පොලිසියේ හිටියට රාත්‍රියේ යන්න බයයි. මම බය නෑ. මම එන්නම් කීවත්. ඔවුන් ඒක ගණන් ගන්නේ නැතිව අක්කා රැගෙන ගියා. අක්කා පිටත් වෙන්න පෙර මට කීවා “අනේ නංගී උඩුගම්පොළ මහත්තයාගේ කාර්යාලයේ යතුරු සහ ලියකියවිලි වගයක් මගේ බෑගයේ තිබෙනවා. මට එන්න බැරි වුණොත් ඒවා ගිහින් දෙන්න” කියා අක්කට තේරෙන්න ඇති ඇය යන්නේ අවසන් ගමන කියා. ඒ වෙනකොට රාත්‍රී දොළහට ආසන්න වෙමින් පැවතියා. 


ඊට පස්සේ අපට නින්ද ගියේ නැහැ. රාත්‍රි එකයි කාලට විතර වෙඩි සද්දයක් ඇහුණා. අපි දන්නේ නෑ ඒ කාට වෙඩි තිබ්බාද කියා. ඒ වෙඩි පහර අක්කට නෙවෙයි කියා අපි හිත හදා ගත්තා. 


හතර හමාර වෙනකම් බලාගෙන සිටියත් අක්කා ආවේ නැහැ. මේ බව අප්පච්චිට පැවසීමට නංගි සමග මම, මල්ලිගේ නිවසට යාමට හදන කොටම නිවසේ මුරට දමා සිටි මල්ලිලා දෙන්නෙකුගෙන් එක් කෙනෙක් කීවා “පහෙන් පස්සේ යන්න” කියා 


පසුව පහෙන් පසුව ගොස් අප්පච්චි ඇතුළු පවුලේ අයට මේ පණිවුඩය ලබා දුන්නා. අපි ගමේ ඇවිදිමින් අක්කා සොයන්නට පටන් ගත්තා. එතකොට ආරංචි වුණා ගමේ හතර දෙනෙක් ගේ මළ මිනී පාර අයිනේ තිබෙනවා කියා. එක්සත් ජාතික පාක්ෂිකයෙක් වූ බෝගොඩ ගුණදාස, අපේ අක්කා, සෝමා ජයවර්ධන සහ ඇය ගේ මහත්තයා ඒ හතර දෙනයි. අක්කා මරල තිබුණේ ජාතික පාසලට ගොඩවෙන පඩි පෙළේ වාඩි කරවලයි. වම්පැත්තේ හෘදය වස්තුව කඩා ගෙන ගොස් තිබුණා. අද එම පඩිපෙළ වසාගෙන වල් සහ පඳුරු බිහි වී තිබෙනවා. 


පස්සේ මම නුවර ගිහින් උඩුගම්පොළ මහත්තයාට මේ බව දැනුම් දී, අක්කාගේ බෑගයේ තිබුණු යතුරු සහ ලියකියවිලි භාර දුන්නා. 


එදා පොලිසියේ නිලධාරින් හැත්තෑ පස් දෙනෙක් පමණ අපේ ගෙදරට පැමිණියා. මුළු ගමම සෝදිසි කළා. ඉරිදා මරපු අක්කාගේ පරීක්ෂණ අවසානයේ මෘත දේහය අපට භාර දුන්නේ සඳුද‌ා හවසයි. අනෙක් මෘත දේහයන් ඒ, ඒ නිවෙස් වෙත භාර දී තිබුණා. අඟහරුවාද‌ා පාන්දර දොර ළඟ කොළයක් තිබෙන බව දැකපු නංගි මට එය ලබා දුන්නා. එහි සඳහන්ව තිබුණේ “ආරක්ෂක අංශ සහභාගි වීමෙන් තොරව, භික්ෂූන්වහන්සේලා වඩම්මවා පාංශකූල කටයුතු සිදු නොකර, වෙඩිමුර නොතබා, පෙට්ටියෙන් අයින් කර භූමදානය කරන ලෙසයි. තවද මෘත දේහය කරේ තබා, ගෞරවාන්විතව රැගෙන නොයන ලෙසත්,” සඳහන් කර තිබුණා. 


එම සටහන රැගෙන මම මහනුවර පොලිස් ස්ථානයට ගියා උපදෙස් ලබා ගන්න. ගිහින් පොලිස් නිලධාරීන් එක්ක එන අතරතුර, ගමේ අය සමග මල්ලිලා එකතු වී අක්කාගේ භූමදාන කටයුතු සිදුකර තිබුණා. ඇය මියයන විට අවුරුදු තිස් තුනයි. 


පසුව මෘත දේහය ගොඩගෙන අවසන් කටයුතු සිදු කිරීමට කැමතිදැයි, පොලිසිය අපගෙන් විමසා සිටියා. තාත්තා ඊට කැමති වුණේ නැහැ. ඊට හේතු වුණේ ඔවුන් අපේ පවුලට කරදර කරාවි කියා හිතුණ නිසයි. හත් දවසේ දානය මහනුවර බහිරව කන්දේ විහාරස්ථානයට ලබා දුන්නා. එය පොලිසිය විසින් සංවිධානය කළා. 


ඊට පස්සේ රජයෙන් අප පවුලට මීරිගම ප්‍රදේශයෙන් නිවෙසක් ලබා දුන්නත් අපි භාර ගත්තේ නැහැ. අප්පච්චි නැවත එය පරිත්‍යාග කළා. අක්කා වෙනුවෙන් රජයෙන් අපට ගොඩාක් උදව් කළා. එවකට මුදලින් රුපියල් එක්ලක්ෂ පනස් දහසක් සහ රුපියල් හැත්තෑ පන් දහසක මිනී පෙට්ටියක් ලබා දුන්නා. අම්මාට අවුරුදු 92 වෙනකම් සහ අප්පච්චිට අවුරුදු 84 වෙනකම් අක්කාගේ වැටුප ලැබුණා. රජයෙන් විය යුතු සියලු යුතුකම් ඉටු කළා. 


සතියක් ගත වෙන්න පෙර අක්කා මරපු හත්දෙනා පොලීසියෙන් අත්අඩංගුවට ගත්තා. ඒ අයට මොනවා වුණා ද කියා අදටත් අපි දන්නේ නැහැ. තාම නායකයා ඉන්නවා. ඔහු අපේ ළඟම ඥාතියෙක්. පොලිසියෙන් කොහොම බේරුණා ද කියන්න දන්නේ නැහැ. එහෙත් පසුව ඔහුගේ තාත්තාට පිස්සු හැදුණා, අම්මා අසනීපයෙන්. පවුල් ජීවිතය අසාර්ථකයි. දිට්ඨධම්මවේදනීය කර්මයට හසුවෙලා. 


අපට කළ දේවල් මෙලොවදීම පල දෙමින් තිබෙනවා. මෙයට සම්බන්ධ තවත් කෙනෙක් පසුව මහණ වෙනවා. උන් වහන්සේ මේ ළඟදී හෘද සැත්කමකට පවා භාජනය කළා. මැරි මැරී ජීවත් වෙනවා. ජීවිතය ගත කරන්නේ ඉතාමත් දුකෙන්. අපේ ඇස් පනා පිටම ඒ අය විඳවනවා. 


ස්තුතිය - මාරස්සන නව විලාසිතා ටෙක්ස්ටයිල් ආයතනයේ ඒ.එම්.එම්. අබේසේකර මහතාට. 


සටහන සහ ඡායාරූප
සිසිර කුමාර බණ්ඩාර