ඉස්සර කාලයේ ඌව වෙල්ලස්ස ගම්මානයක ගොවි පවුල් විස්සක් තිහක් තිබුනලු. ඒත් මේ ගමේ එකම එක කුඹුරු බිමක්වත් තිබුණෙ නැතිලු. ගමේ ඇත්තන් බඩවියත රැකගත්තා කියන්නේ හේන් වගාවෙන්ලු. ඇල් වී හේනක්වත් කරගන්න තරම් දිය කඳුරු තියෙන ඇල්ලාරං තිබුණෙ නැති නිසා පැටාබෑටුන්ටවත් කැඳ උගුරක් හදා දෙන්ට විදිහක් නැතුව ගමේ ඇත්තන් බොහෝම දුක් ගින්දරෙන් තමයි උන්නෙ. මේ ගමේ ඇත්තන්ගෙ දුකේදීත් සැපේදීත් කරඅරින්නෙ නැතුං හිටිය මහ සකියා තමයි ගමරාල. ගමරාල තමයි ගමේ යමක් කමක් තියෙන ගං ඇත්තා.

ඉතිං උන්දෑ හිතුවා මගේ ගමේ ඉන්නේ එකම සනුහරේ උන් දැන් සාගින්නේ තියන්න නාකයි. ඒ නිසාවෙන් ගමේ පහළ කලාව පුළුන් කියලා. එහෙම හිතලා හැමෝටම පයිංඩෙ කෙරුවා කැති, උදලු ඇන්න වරෙල්ලා පිටිය බිඳලා කුඹුරක් අස්සද්දන්ට කියලා. ගමේ ඇත්තනුත් ඇවිල්ලා වැඩ කෙළා. ඉස්සරෝම කෙළේ දිය කඳුරක් හරස් කේලා අමුණක් බැඳපු එක. සමෝගෙම ගමේ ඇත්තන් ඇවිදුන් වැඩ කේද්දිත් ගමේ ඇත්තියන් ඇවිදුන් කෑම බීම උයා පිහා දුන්නා. අඩුම කුඩුම ඔක්කොම ගමරාල උන්දැගේ ගෙදරින්. ඔයි විදිහට ඇළ කඳුරු හරස්කෙරල ඉවර වෙනකොට ගමරාල උන්දැගෙ අටුකොටුත් ටිකෙන් ටික හිස් වුණා.

ගමේ ඇත්තන්ගෙ ගෙවල්වල අඩුපාඩුත් වැඩිවුණා. මොකද පිරිමි ඇත්තන් ඇළ අමුණු බඳින්ට එනවා. බවලත් ඇත්තියන් උන්ට කොටාබාන්ට උයා පිහා දෙන්ට එනවා. හේන්පිටිවලට රුක්මක් බැල්මක් නැති කොට වල් ඌරන් වැටකඩොලුවලට උඩින් මලක්කන් අල්ලලා හේන් බිම් අසානාසි කෙළා. ගමේ ඇත්තන්ගේ නැතිබැරිකම් ඉහවහා ගියාම උන් කුඹුරු අස්සද්දන වැඩෙන් මග ඇරියා.

අන්තිමට ගමරාල විතරයි ඉතුරු උනේ. කොහොමහරි ගමරාල අමුණෙයි ඇළෙයි වැඩ අහවරකෙරලා කල්පනා කෙළා මට ඉතරක් වී පෑලක හමාරක කුඹුරක් අස්සද්දාගෙන මොනාට ගමේ උන්ගේ පැටුං බැටංට කොහෙන් කන්නෙ? එතකොට කමයි ගමරාල උන්දැට මතක් වුණේ මංතර සෑත්තර ගැන හැබෑට බොල මෙතෙක් කල් මේ වැඬේ සිහිපරාද විලානෙ උන්නෙ. කියල පෙට්ටගම ඇරල අප්පුච්චගෙ පුස්කොළ පොත් ගොන්න ඇදගෙන යක්කුන්ගෙන් වැඩ ගත්තු හැටි බලා කියා ගත්තා. ගමරාලඋන්දැ මංතර සාස්තර වෙදහෙදකම් ටිකක් ටිකක් ප්‍රශ්න කරලයි හිටියෙ. උන්දෑ අප්පච්චිගෙ උරුම් වාසියෙන් එන මංතර ගුරුකම් සියල්ලම වගේ බලා කියාගෙන කෙම්මුර දවසක වැඬේ ආරම්භ කෙළේ ගමේ එවුන්ට තුන්වේලම බත්කන්ඩ දෙන්ට හිතාගෙනයි. ගමරාල සිතුවා වගේම වැඬේ හරි ගියා. ගමරාල උන්දෑ බොහොම බලගතු මංතර බන්ධනේකින් ශක්ති සම්පන්න යකෙක් බන්දා ගත්තා. දැන් යකාත් එක්ක දෙන්න කුඹුර අස්සද්දන්ට ගත්තා. පෝය දෙකක් ගතවෙද්දී යකා ඉසිබිසි නැතුං වැඩ කෙළා. ඒත් යකාට මේ වැඬේ තනියෙන්ම කේගන්ට බෑ. තාම ලියදි තුන හතරයි හදාගන්ට පුළුවන් වුණේ. එදා ගමරාල යකාට ආඩපාලි කියන්නට ගත්තා.

යකෝ මොනා බං තාමත් බැරි වුනානේ උඹට මේ වැඬේ නිමකේන්ට කියලා. යකාට ගමරාලගේ කතාවෙන් වුණේ මදිපුංචිකමක්නේ. ඉතිං යකා කේපු වැඬේ රෑ හදිසියේ නිදි පැදුරෙන් නැගිටලා හත් ගව්වක් ඈත කැලේට වැදිලා කැලේ උන්න යක්ෂ සේනාවම කැටුව ඇවිත් අරෙයි කැලෑ බිම්කඩම කුඹුරුයායක් බවට පත් කෙළා. පහුන්දා උදෑහැනැක් ගමරාල ගිහින් බැලුවම මුලින් දා තිබූ ඇබිත්තින් වෙල බෝ වෙලා. බොහෝ ලොකු වෙල් යායක් වෙලා.

ගමරාල උන්දැට ඉහේ මලක් පිපිච්ච ගානට සන්තෝසයි. උන්දෑ මහ හයියෙන් හූ තුනක් තිබ්බා ම ගමේ උන් ඔක්කෝමලාම දුවගෙන දුවගෙන ආවා. මේං බලාපල්ලා වෙල බෝ වෙලා දැන් ඉතිං උඹලා හැමෝම වෙල් යාය බෙදාගෙන ආරෝවක් නැතිව වැඩ කරපල්ලා කියලා හැමෝටම කුඹුරු බෙදා දුන්නා. මංතර බන්ධනෙන් බැඳගෙන හිටිය යකාටත් නිදහස දුන්නා. ගමේ උන් බොහෝම සතුටෙන් බෝ වෙච්ච වෙල් යායට දියවර ඇරගෙන බෝවෙලා වැපුරුවා. ටික කාලයක් යනකොට මේ ගම්මානයට බෝවෙල කියන නම පටබැඳුනා විතරක් නෙමෙයි හැමෝගෙම ගෙවල්වල වී අටුකොටුත් පිරුණා.

ටික කාලයක් ගතවෙද්දී ගමරාල ගෙනා ආයුෂ ඉවර වෙලා මියැදුනාම දේව ආත්මයක් ලැබිලා බෝවෙල දෙවියන් බවට පත්වෙලා හාස්කම් දක්වන්න පටන් ගත්තා. ගම්වැසියන් බෝවෙල මැද්දේ බෝවෙල දෙවියන් උදෙසා දෙවොලක් හදලා පුද පූජා පවත්වන්ට ගත්තා. අදටත් ඌව වෙල්ලස්ස පුරාම බෝවෙල දෙවියන්ට පුද පූජා පවත්වන්නේ වෙල්යායක් කරවූ පිංවතාට කෘත ගුණ දැක්වීමටයි.

ඌව වෙල්ලස්සේ කාරි යායේ දී මෙන්ම කම්බ කණුව ගිනිහම්වල නැටීම ආදී යාඥා කර්මවලදී බෝවෙල දෙවියන් උදෙසා පිදවිලි දීම සිදු කරන්නේ

බෝවෙල බෝවෙලා බල ඇති දෙවියෝ
ඊටත් වැඩියෙන් ගිනිමල් දෙවියෝ
කයෙන් පැමිණි රෝ දුක් දුර හැරියෝ
යාදිනි කියනා බෝවෙල දෙවියෝ

මෙවැනි කෝල්මුර කවි ගායනා කරමිනි. එදා මෙරට විසූ ජන ප්‍රධානීන් රටට බත සදන්නට වැව් අමුණු බැඳ වෙල් අස්වද්දා දීමෙන් දේවත්වයට පත්වූයේ පරම්පරාවෙන් පරම්පරාවට ජන හදවත් තුළ නොමියෙන සටහන් තබමිනි.

සඳරුවන් ලොකුහේවා නිල්ලඹ, මහ ඔය.