පානදුර නගරයේ සාමාන්‍ය වත්පොහොසත්කමින් හෙබි පවුලක් වන දමයන්තිටත් රනිල්ටත් සිටින එකම දරුවා සුපුන් ය. වයස අවුරුදු දොළහක් වන සුපුන් පානදුර පිහිටි පාසලක අධ්‍යාපනය ලබන අතර, අධ්‍යාපන කටයුතු සඳහා කිසිදු උනන්දුවක් නොදක්වයි. හැම විභාග වාරයකදීම සුපුන් පන්තියේ අවසන් දහදෙනා අතර විය. පන්තියේ ඉගෙනුම ලබන අනෙක් සිසුවෙකු සමග දබරයක් හෝ ඇති කරගන්නා සුපුන් ගුරුවරුන් කියන දේ ද අහන්නෙ නැති ළමයෙකි. ඒ නිසාම වේවැලෙන් පහරක් දෙකක් කෑම ද පුරුද්දක්ව පවතී. සතියකට වරක් හෝ දමයන්තිව කැඳවා සුපුන්ගේ ක්‍රියා සම්බන්ධයෙන් පන්තිභාර ගුරුවරයා පහදා දුන්නත් සුපුන් දෙමාපියන්ට ද කීකරු දරුවකු නොවීය. අම්මාගේත් තාත්තාගේත් වචනයකට කන් නොදෙන ඔහු නිවසේ දී තමන්ට අවශ්‍ය දෙයක් අම්මා හෝ තාත්තා ලබා නොදුනහොත් කෑ ගසයි. දබර කරයි. බඩුමුට්ටු පොළවේ ගසයි.   
“මට බයිසිකලයක් ඕනේ. අරන් දෙන්න” සුපුන් අම්මාට සැරවිය. “අනේ පුතේ ඔයාට ළඟදිනේ තාත්තා කොම්පියුටරයක් ඕනෙ කිව්වම අරන් දුන්නේ. පස්සේ අරන් දෙන්නම්කො තාත්තට කියලා බයිසිකලයක්. හොඳ ද” දමයන්ති පුතාට පිංසෙණ්ඩු විය. “මේ ඒවා හරියන්නෙ නෑ මට බයිසිකලයක් අරන් දෙනවද නැද්ද?” සුපුන්ගේ දරදඬු ස්වභාවය නිසා දමයන්තිට කිසිවක් සිතාගැනීමට නොහැකිය. “හරි තාත්තා එනකම් ඉන්නකො ටිකක්. මං තාත්තට කියලා බලන්නම්” දමයන්ති කීවාය.   


“අරන් දෙනවද නැද්ද” සුපුන් සාලයේ තිබුණ මල් පෝච්චියට පයින් පහරක් එල්ල කළේය. එය වීසි වී ගොස් බිඳී ගියේය. “මේ මොකක්ද දරුවො කරන්නෙ. ටිකක් ඉන්න කියලනේ කිව්වේ මං” දමයන්ති සුපුන්ගේ අතින් අල්ලා කීවත් සුපුන් කනකට ගත්තේ නැත. ඔහු නිවසින් එළියට බැස අසල්වැසියන්ට ද ඇසෙන සේ අශෝබන වචනයෙන් අම්මාට බැන වැදිණි. “අරන් දීපන් මට බයිසිකලයක්” සුපුන් මිදුලේ තිබුණ ගලක් නිවසට විසි කර ගැසීය. “හරි හරි එන්න එන්න ගෙදරට මං තාත්තට කෝල් කරලා කියන්නම් එනකොට ගේන්න කියලා” දමයන්ති සුපුන්ගේ වදෙන් බේරෙන්නට බැරිම තැන කීවාය. අසල්වාසීන් අම්මාත් පුතාත් අතර සිදුවෙන දේ බලා සිටියේ කම්මුල්වලට අත් තබාගෙනය. දමයන්තිට බොහෝ ලැජ්ජා සිතිණි.   


හැමදාම වාගේ අසල්වැසියන් ඉදිරියේ තම පුතා තමන්ට නරක අන්දමින් කතා කොට තමන්ට අවශ්‍ය දේවල් ඉල්ලා කෑ ගසයි. නොදුනහොත් බිම පෙරළෙමින් අඬමින් කෑ ගසමින් බඩු මුට්ටු ද පොළවේ ගසයි. පිටස්තර මිනිසුන් ඉදිරියේ තමන් අවමානයට ලක්වෙනවා නේදැයි දමයන්තිට සිතුණු වාර අපමණය. එහෙත් තම එකම දරුවාට තරවටු කළහොත් මුරණ්ඩුකමට ජීවිතයට හානියක් කරගනීවි යැයි ඇය බියවූවාය.   


කුඩාකල සිටම සුපුන් බොහෝ හිතුවක්කාර, අකීකරු දරුවෙක් වූයේය. දමයන්ති සුපුන් සමග ගමනක් යනවිට දී සාප්පුවක තිබූ දෙයක් දැක එය මිල දී ගෙන දෙන තුරුම සුපුන් දමයන්තිට අතින් පහර දුන්නේය. ඇඳුමෙන් ඇද්දේය. මිල අධික දෙයක් ඉල්ලා සිටි විට එය රැගෙන දීමට දමයන්තිට හෝ රනිල්ට මුදල් නොතිබුණහොත් සුපුන්ව මෙල්ල කරගෙන නිවසට ගෙන එන්නේ බොහෝ දුෂ්කරතාවයකිනි. නිවසට පැමිණි විටදීත් පැයක් දෙකක් යනතුරුම සුපුන් අඬමින් පසුවෙයි. කාමරයට වී දොර වසාගෙන පැය ගණනක් යන තුරුම කිසිම කෑමක් බීමක් නොගෙන කිසිවකු සමග කතා බහ නොකොට සිටියි. අවුරුදු දොළහක පිරිමි දරුවෙක් වුවද සුපුන් හැසිරුණේ අවුරුදු පහක හයක දරුවෙකු විලසිනි. යමක් අවබෝධ කරගත හැකි වයසේ පසු වුවද ඔහු කිසිවකුටවත් සවන් යොමු කළේ නැත.

   
දමයන්ති රනිල්ට දුරකථනයෙන් අමතා සුපුන් බයිසිකලයක් ඉල්ලා කෑගසන බව කීවාය. කෙසේ හෝ බයිසිකලයක් තමා රැගෙන එන බව රනිල් දමයන්තිට පැවසුවේ පුතාගේ හැටි දන්නා නිසාය. දරුවා මේ වනවිටත් දමයන්තිට බොහෝ වද දෙන්නට ඇතැයි රනිල් කල්පනා කළේය. කොම්පියුටර් එක මිලදී ගත්තේ ද ගෙවීමේ පදනම යටතේය. බයිසිකලයක් ගැනීමටත් වැඩි වියදමක් දැරිය යුතුය. රාත්‍රියේ නිවසට එනවිට රනිල් පුතාට බයිසිකලයක් රැගෙන ආවේය.   


“මොකක්ද අපි කරන්නේ මෙහෙම ගියොත් මෙයා ලොකු වෙන්න වෙන්න තවත් හිතුවක්කාර වෙයි. දැනුම් තේරුම් තියෙන නිසා තරවටු කරන්නත් බෑ කොල්ලා මොකක් හරි කරගත්තොත් අපිට ඉඳලා වැඩක් නෑනේ. මෙයාගේ මුරණ්ඩු ගති නැතිවෙන්න මොකක්ද කරන්නේ කියලා මට හිතාගන්න බැරුව ඉන්නේ. ඉස්කෝලේ ටීචර්ස්ලත් ළමයිගෙ අතේ පණිවිඩ එවනවා. ලැජ්ජාවෙ බෑ. අහල පහල ගෙවල්වල මිනිස්සුත් හිනාවෙනවා. මොකක් හරි කරන්න අනේ” දමයන්ති තම සැමියාට අඬමින් පැවසුවාය. සුපුන්ගේ හිතුවක්කාර හැසිරීම නිසා සුපුන්ව කොහේවත් ගෙන යාමට නොහැකි තත්ත්වයක් උදාවිය. සුපුන්ගේ පාසලේ විදුහල්පතිතුමා සුපුන්ගේ හිතුවක්කාර මුරණ්ඩු ගතිගුණ නිසාත් පාසලට පැමිණීමේ දුර්වලතාව නිසාත් සුපුන්ව වෙනත් පාසලකට ඇතුළත් කරන මෙන් දමයන්තිට කීවේය.   


දමයන්තිගේ ඥාතීන් පැවසුවේ සුපුන්ව පන්සලේ කපු මහතා ළඟට ගෙනගොස් සෙත් ශාන්තියක් කර දරුවාගේ අපලවලට යන්ත්‍රයක් පැළැන්දුවහොත් ඔහුගේ හැසිරීම යහපත් අතට හැරේවි කියාය. දමයන්ති සුපුන්ව කපු මහතා ළඟට ගෙනගොස් සුපුන්ගේ තත්ත්වය පැහැදිලි කළේය. ඒ මොහොතේදීත් සුපුන් බිම තිබුණු වැලි කැට, ගල් කැටවලින් ඈතට දමා ගසමින් දඟලමින් “යමු මොකටද මෙතනට ආවේ යනවා මාව එක්කගෙන මෙතනින්” කියමින් දමයන්තිගේ ඇඳුමෙන් අදින්නට පටන් ගත්තේය. “අනේ පුතේ කෝ පොඩ්ඩක් එන්නකො හොඳ පුතා වගේ මෙතන්ට මං යනකොට මොනාහරි අරන් දෙන්නම්” යැයි දමයන්ති පැවසූ විට සුපුන් අම්මා ළඟට පැමිණියේ යන ගමන් අම්මා මොනවා හෝ රැගෙන දෙන බව පැවසූ නිසාය.   


කපු මහතා තෙල් ටිකක් මතුරා සුපුන්ගේ හිසට ගා, පාට කීපයකින් ගෙතූ නූලක් සුපුන්ගේ කරට දැමීය. ඕක ඇප නූලක් විතරයි. අපලවලට සුරයක් දාන්න දින හතකින් එන්න මං හදලා තියන්නම්. දරුවාගේ නමයි, ලග්නෙයි, ඉපදුනු නැකතයි, වෙලාවයි දීලා යන්න. දරුවාට දින හතක් සෙත් කවියක් කියවන්න වෙයි. මං ඒකත් හදලා තියන්නම්. හෙට ඇවිත් සෙත් කවියත් අරගෙන මං කියපු ටික ලියාගෙන එන්න. සුරය ලෑස්ති කරනකම් සෙත් කවිය දින හතක් කියමු. සෙත් කවියට රුපියල් දාහයි. සුරයට හත්දාහක් විතර යයි. ඇප නූලට මට සල්ලි ඕනෙ නෑ සුරයට දෙන නිසා” කපු මහතා කීවේය.   


රැකියාව නිමවී නිවසට පැමිණි රනිල්ට දමයන්ති විස්තර කීවාය. “එහෙනම් ඒකවත් කරලා බලමු” රනිල් එයට එකඟ විය. මුදල් අඩුපාඩු තිබුණත් දරුවාගේ අනාගතය වෙනුවෙන් කරන දෙයක් නිසා රනිල් දමයන්තිට මුදල් ලබාදුන්නේය. පසුදින දමයන්ති කපු මහතා මුණගැසී මුදල් ලබාදුන් අතර, සවස හය පසුවූවාට පසු සුපුන්ට දෙවියන් ඉදිරියේ වැඳගෙන සිටින ලෙස පවසා කපු මහතා විසින් සෙත් කවිය කීවේය. මෙය දින හතක් එකදිගට කරගෙන ගියේය. ඒ අතර කපු මහතා සුපුන්ගේ අපලවලට සුරය ලෑස්ති කර තිබිණි. සුපුන්ව ළඟ තබාගෙන කපු මහතා දෙවියන් ඉදිරියේ මතුරමින් සිට සුපුන්ගේ කරට සුරය පැළඳවීය. මස් මාළු එහෙම මාස තුනක් කන්න දෙන්න එපා. කිලි ගෙවල්වල එක්ක යන්න එපා. කිල්ලට අහුවුණොත් බල බිඳෙනවා. කරෙන් ගලවන්න එපා. ඇඟේ තියෙන්න තියෙන්න තමයි බල වැඩිවෙන්නේ. ටික දවසක් යනකොට ඔය ගති ටිකින් ටික මගහැරිලා යයි” කපු මහතා කීවේය.   


දමයන්ති සිටියේ බොහෝ සැහැල්ලුවෙනි. දැන් නම් දරුවාගේ හැසිරීම යහපත් අතට හැරේවි යැයි ඇය සිතුවාය. දින හතක් සෙත් කවියක් කීව නිසාත් යන්ත්‍රයකුත් දැමූ නිසාත් දරුවාගේ හිතුවක්කාර ගති පහවී යනු ඇතැයි ඇය සතුටු වූවාය. “අපල නිසා වෙන්න ඇති දරුවා මුරණ්ඩු මෙච්චර” දමයන්ති සිතුවේ එලෙසය.   


දින සති ගෙවිණි. මාස එකහමාරකුත් ගතවිය. සුපුන්ගේ වෙනසක් නොවීය. දමයන්ති තවත් දේවාල ගානේ ගියේය. කපුවන් කියන කියන අයුරින් දමයන්ති කටයුතු කළේය. බලු කපුටු දාන දුන්නාය. එක් දේවාලයක කපු මහතෙක් සුපුන්ට මැතිරූ සීනි වගයක් දුන්නේ සුපුන් බොන දෙයකට දමා දෙන ලෙස පවසාය. එවිට දරුවා දමයන්තිට මෙල්ල වන බවත් කීකරුව සිටින බවත් කපු මහතා කීවේය. දමයන්ති එය ද කළේය. එක් දේවාලයක කපු මහතකු විසින් යමක් ඇඳ තිබූ තඹ තහඩුවක් මතුරා දුන් අතර, එය සුපුන් නිදාගෙන සිටින කොට්ටය යට තබන ලෙස පැවසුවේය. දේවාල ගානේ ගොස් බොහෝ මුදල් වියදම් කරන්නට දමයන්තිටත් රනිල්ටත් සිදුවුව ද සුපුන්ගේ හැසිරීමේ හා ක්‍රියාකාරකම්වල කිසිදු වෙනසක් සිදුනොවීය.   


මේ අතර සුපුන්ගේ පාසලේ විද්‍යාව උගන්වන ගුරුතුමා දමයන්ති පාසලට පැමිණි දිනෙක සුපුන්ගේ තත්ත්වය ගැන කතා කරමින් ඉන්නා විට දී සුපුන්ව මනෝ චිකිත්සක, වෛද්‍ය පී.එන්. විද්‍යාකුලපති මහතා වෙතට යොමු කරන මෙන් පැවසීය. දේවාලවල කපු මහත්වරුන්ට ඇති තරම් මුදල් වියදම් කර බොහෝ කලකිරීමෙන් සිටි සුපුන්ගේ අම්මා වැඩ නිමවී නිවසට පැමිණි සුපුන්ගේ තාත්තාට විද්‍යා ගුරුවරයා කිවූ දේ පැවසීය.   


රනිල්, දමයන්ති හා සුපුන් කැටිව විද්‍යාකුලපති මහතා වෙත පැමිණියේය. දමයන්ති සියලු විස්තර වෛද්‍යවරයා හමුවේ පැවසීය. අම්මා හා තාත්තත් එක්ක වෙන වෙනම කතා කළ වෛද්‍යවරයා සුපුන් සමග ද කතා කළේය. එහෙත් සුපුන් කිසිදු දෙයක් නෑහෙන ලෙස එහෙ මෙහෙ බලමින් වෛද්‍යවරයා අසන දේට පිළිතුරු නොදී සිටියේය. දෙවෙනි වර වෛද්‍යවරයා සුපුන්ට තදින් කතා කළේය. “අම්මා තාත්තා බය වුණාට අපි බය නෑ” කියා වෛද්‍යවරයා තම ස්වරය වෙනස් කර සැරෙන් කතා කළ විට සුපුන් යම් තරමකට මෙල්ල විය.   


සුපුන් මෙල්ල වූවාට පසු වෛද්‍යවරයා ප්‍රතිකාර ඇරඹීය. සුපුන්ට මුලින්ම සංයම අභ්‍යාස ලබාදුන්නේය. ඉන්පසු ඖෂධීය ප්‍රතිකාර සඳහා යොමු කළේය. ඒ අතරේ මනෝ ප්‍රතිකාර ද ලබාදුන්නේය. මාස තුනක කාලයක් යනවිට සුපුන් සම්පූර්ණයෙන් කීකරුභාවයට පත්විය. පාසල් වැඩකටයුතු ද ඉතා හොඳින් කළේය. දිනපතා පාසල් ගියේය. සුපුන් කීකරු දරුවකු බවට පත්විය. දමයන්තිත් රනිලුත් සිටියේ බොහෝ සතුටිනි. ඉන්පසු කිසිම දිනෙක සුපුන්ගේ පාසලේ ගුරුවන්ගෙන් සුපුන්ගේ දෙමාපියන්ට පැමිණිලි ලැබුණේ නැත.   


වෛද්‍ය විද්‍යාකුලපති මහතා මෙම තත්ත්වය මෙසේ පැහැදිලි කළේය. මේ තත්ත්වයට සම්පූර්ණයෙන්ම වැරදිකාරයෝ සුපුන්ගේ දෙමව්පියෝ. සුපුන්ගේ අකීකරු බවට වගකිව යුත්තේ දෙමව්පියෝ. කුඩා කල සිටම ඉල්ලන ඉල්ලන දේ දීලා ළමයා කියන කියන දේට අවනත වීමත් හැම සැපසම්පතක්ම ලබාදීමත් නිසා තමයි මෙය සිදු වී ඇත්තේ. දෙමව්පියෝ දෙමාපියන්ගේ භූමිකාව තියාගන්න ඕනේ. ළමයාව ළමයා ලෙස තියාගන්න ඕනේ. ළමයා වැඩිහිටියෙකුගේ භුමිකාව පාමින් තමන්ට ඕන විදියට හැසිරෙද්දි දෙමාපියන් ඔහුගේ කීමට අවනත වීම කිසිසේත්ම විය යුතු නෑ. ළමයා අකීකරු විදියට දෙයක් ඉල්ලන විට කොහෙත්ම එය ලබාදීම සුදුසු නෑ. ළමයාව කුඩාකල සිටම දෙමාපියන්ගේ වචනයට යටත් කරගත යුතුය. එහෙම නැතිනම් ළමයා විසින් අම්මා තාත්තට අත උස්සන කාලය වැඩි ඈතක නොවේ.     

 

 


සටහන හා ඡායාරූප 
හබරාදුව නිමල් අල්ගෙවත්ත