ශ්‍රීපාද කන්ද යනු හුදෙක් ලංකාව තුළ පවතින තවත් එක කන්දක් නොවෙයි. ශ්‍රීපාද කන්ද ලෙස හඳුන්වන සමනළ කන්ද යනු ලංකාවේ වයස් සීමාවකින් තොරව බැතිමතුන් බොහෝ දෙනෙකු යනෙන උතුම් වූ කඳු ගැටයකි. බුදුරජාණන් වහන්සේගේ උතුම් වූ සිරිපතුල පිහිටුවා ඇති මේ කන්ද යනු හුදෙක් කඳු නැගීමක ක්‍රියාවක් නොවේ. ශ්‍රීපාද කරුණාව ලෙස හඳුන්වන එම උතුම් කර්තව්‍යය අද අපේ ක්‍රියාදාම චාරිකා සමග බැඳෙන්නේ මිනිසුන් නොදන්නා ඉතාමත් අප්‍රකට මාර්ගයක් සමගිනි. එනම් ලංකාවේ තිබෙන දුෂ්කරතම පාගමන වන සේම, සිරිපා කරුණා කරන අතිශය දුෂ්කර හා දීර්ඝතම මාර්ගය වන මුක්කුවත්ත හපුගස්තැන්න කැලෑ මාර්ගයයි.


ඔබ සැම දන්නා පරිදි සිරිපා කරුණා කිරීමට ඇති සම්මත ප්‍රසිද්ධ මාර්ග ත්‍රිත්වයකි. එනම් හැටන් - නල්ලතන්නි මාර්ගය, කුරුවිට - එරත්න මාර්ගය හා පලාබද්දල රජ මාවතයි. නමුත් මීට අමතරව සම්මත අප්‍රසිද්ධ මාර්ග ත්‍රිත්වයක් ද පවතියි. එනම් සඳගලතැන්න - රජමාලේ මාර්ගය, දැරණියගල - උඩමාලිබොඩ මාර්ගය හා අද දවසේ කථාව වන දෙපොනකන්ද මුක්කුවත්ත මාර්ගයයි. මෙතෙක් ලංකාවේ බොහෝ පිරිසක් දැන සිටියේ මෙම දෙපොනකන්ද හැර සෙසු මාර්ග 5 පමණි. නමුත් කාලයේ වැලිතලයෙන් හා අන්තරාදායක දුෂ්කර ගමනක් සහිත දෙපොනකන්ද මාර්ගය අප භාවිත කළේ සමනළ කරුණාව කිරීමට තිබෙන තවත් එක් අරුම පුදුම හා අපූර්වතම මාර්ගයක් වන හෙයිනි. මෙහිදී තවත් එක් විශේෂ කරුණක් කිව යුතුය. එනම් මා විසින් ඉහතින් සඳහන් කළ මාර්ග සය හැරුණවිට තවත් එක් අප්‍රසිද්ධ මාර්ගයක් පවතියි. මෑතකදී සොයා ගත් එම මාර්ගය භාවිත කරමින් සිරිපා කරුණා කිරීමට තිබෙන මාර්ග හතෙන්ම අපි සිරිපා කරුණා කර ඇත්තෙමු.

 

 


● ලංකාදීප රසිකත්වයෙන් එකතුවුණ හැත්තෑ දෙකක නඩයක් සමගින්
● පුරා පැය 16ක දිවා රාත්‍රී ගමනකින් පසු උඩමළුවට ළඟා විය
● කණ්ඩායමේ කොටසක් බත්තුළු ඔය ගල්තලාවේ කූඩාරම් රහිත රැයක් ගෙවා දැමූහ.


මෙතෙක් අප පස්දෙනෙකුගේ කණ්ඩායම ලංකාවේ ගංගා, දියඇලි, කඳු හෙල්, උමං , ගුහා පීරමින් ගිය සියගණනකට අධික ක්‍රියාදාම සංචාර රටාවෙන් මඳක් ඈත්වී මෙවර ලංකාදීප මෙම විශේෂාංගය හරහා අපගේ මුහුණු පොත මගින් ඒකරාශී වුණු ලංකාවේ නන් දෙසින් පැමිණි 72ක පිරිසක් සමග අප මෙම ගමන යාමට සැලසුම් කළේ ගමන හා මඟතොට සියලුම විස්තර දැනගත් පසුවය. තවද ගමන ආරම්භ කරන අවස්ථාවේ පවා මා හැර වෙනත් කිසිවකු මෙම මාර්ගය ගැන අසා නොතිබුණු බව දැනගැනීමට ලැබුණි.


රත්නපුර සිට වේවැල්වත්ත පාරේ මල්වල හංදිය පසුකොට ගල්බොඩ ප්‍රදේශයට ළංවත්ම නුගේපොළ හන්දිය ආසන්නයේ හපුගස්තැන්න වතුයාය දක්නට ලැබේ. එතැනින් දෙපොනකන්දට දිවෙන ඉතාමත් පටු හා දැඩි වංගු සහිත කිලෝමීටර් 12ක පමණ මාර්ගයේ දෙපොනකන්දටම යායුතු විය. මාතර, හම්බන්තොට, මහනුවර, පුත්තලම, නුවරඑළිය, මාතලේ හා කොළොම්තොටෙන් පැමිණි සියලුම තරුණ තරුණියෝ කතිකා කරගත් වෙලාවට අනුව දෙපොනකන්දට පැමිණ සිටියහ. දෙපොනකන්ද ග්‍රාමයේ සිට නැවතත් කි.මී. 2ක දුරක් ගෙවමින් අප මුක්කුවත්ත නම් කොටසට පැමිණෙන විට උදෑසන 10ට පමණ විය. පසුව පැමිණ සිටියවුන් දැනුම්වත් කරමින් ඔවුන්ගේ අවශ්‍යතාවලට පිළිතුරු ලබාදී අසල පිහිටි කුඩා බුදුමැදුරෙන් ආශිර්වාද ලබාගෙන අපි ගමන ආරම්භ කළෙමු.

 


මුක්කුවත්ත කැලෑ පාරෙන් සාමාන්‍යයෙන් සිරිපා මළුවට යාමට අවම පැය 10 - 12ක් වැය වේ. නමුත් එම කාලය තවත් වැඩි විය හැකි වන්නේ මාර්ගය අප විසින්ම සකසා ගනු ලැබ යා යුතු හෙයිනි. කාලගුණය අතිශය යහපත් වූ නිසා අපට 
කූඩැල්ලන්ගෙන් කරදරයක් නොවීය. නැතහොත් මෙම මාර්ගයේ සිටින විශාල හා ක්ෂණිකව කිපෙන කූඩැල්ලන් බිලියන ගණනකට අප හසුවනු නොඅනුමානය. ආරම්භයේ පටන් රත්කන්ද හරහට තරණය කිරීමට සිදුවන අතර පසුව නැවතත් තවත් ගිරි ශිඛරයක් නැග බැසිය යුතුය. පසුව අවසානයට හමුවන බත්තුළුඔය නම් ස්ථානයේ සිට මහගිරිදඹ එලෙසින්ම තරණය කළ යුතුය. එනම් මෙම මාර්ගයේ එකදු පඩියක් හෝ සලකුණක් හෝ නොමැති නිසා මහගිරිදඹ නම් මහා පර්වත කොටස මුල සිට ඉහළටම වනදුර්ග කටුඅකුල් මැදින් යා යුතු හෙයිනි. තවත් කරුණක් නම් අතුරු මාර්ගයක් වන මෙය සිරිපා මළුවට සම්බන්ධ වනුයේ රජ මාවතේ ඇහැළ කණුව අසලිනි. එම නිසා ඍජුවම තනිවම දිවෙන අප්‍රධාන මාර්ගය මෙම මුක්කුවත්ත මාර්ගය වේ. මෙම මාර්ගය කිසිසේත්ම වැඩිහිටි, මහලු හා දරුවන්ට සේම කාන්තාවන්ට යා යුතු මාර්ගයක් නොවන බව අපට ප්‍රායෝගිකව වැටහුණි. තවද හතිය, හෘදයාබාධ වැනි රෝග සහ අමාරුකම් තිබෙන අයටත් මෙම මාර්ගය සුදුසු නොවේ. උතුම් වූ සිරිපා කරුණාව සැදැහැ සිතින් සිදු කිරීමට නඩයම පේවී සුමන සමන් දෙවි අඩවියට පිවිසුණේ රත්ගඟ තරණය කරමිනි.

 


අපි කණ්ඩායමේ පස්දෙනා ගමනේ මුල මැද සහ අග ස්ථානගත වූ අතර රත්ගඟ එගොඩ වී කඩා වැටුණු සෝමරත්නගේ පැල් කොටය පසුකොට කැලයට අවතීර්ණ වුණෙමු. කෙසේ හෝ ආරම්භයේ සිට තරමක දුරක් අපට මාර්ගය එළි කරමින් යාමට සිදුවූයේ උණ බට හා ගස් අතු මාර්ගය අහුරාගෙන සිටි හෙයිනි. එම නිසාම තවත් සගයෝ දෙදෙනෙක් මන්නා පිහි අතැතිව පෙරමුණේ ගියහ. ක්‍රමයෙන් අපි රත් කන්ද තරණය කරන්නට වීමු. මෙම කොටස ඉතාමත් වෙහෙසකර හා දුෂ්කර වන්නේ රත් කන්ද ඍජුවම නැගීමක් නොමැති හෙයිනි. කිලෝමීටර් ගණනින් දිගැති මෙම කන්ද මුක්කුවත්ත සිට හරහට නැගිය යුතු හෙයින් නැග්ම වෙහෙසකර බව වැඩිය. කෙසේ හෝ අපි රාමසර ගල පිහිටි ස්ථානයට පැමිණ මඳ විවේකයක් ගනිමින් නැවතත් ඉදිරියට ඇදුනෙමු. හිස් වතුර බෝතල් කිහිපයක් ගෙන ආවේ අතරමග හමුවන ඕනෑම දිය පහරකින් ජලය පුරවාගෙන බීමටයි. සමහරු ඍජුවම ගලායන ජලයට මුව තබා පානය කළෝය. එතරමටම මෙම ජලය පිරිසිදු විය.


හරිත වර්ණ මැද සැඟවුණු මහ රූස්ස ගස් යටින් දිවෙන මුක්කුවත්ත කැලෑ පාරේ මග සොයා ගැනීම තරමක් පහසු වන්නේ මග පැහැදිලිව දක්නට ඇති හෙයිනි. චිරි චිරියේ එහෙ මෙහෙ ගලා යන දිය උල්පත් රැසක් මේ අවට තිබෙන අතර වඳුරන් හා කුරුල්ලන්ගේ ශබ්දවල අඩුවක් අපට දක්නට නොලැබුණි. පසුව තවත් කුඩා ගුහාවක් පසු කරමින් භාතිය දොළ තරණය කර තව තවත් ඝන වනාන්තරය තුළට අපි ඇදුනෙමු. නඩය අතර කිසිදු කසු කුසුවක් නැත. සියල්ලන් තුළ 
සැදැහැ සිතින් මෙම ගමන කෙසේ හෝ බාධක මැඩ යාමට ජවයක් පවතින බව ඒ විඩාබර මුහුණුවලින් අපට පෙනුණි. කෙසේ හෝ පැය 3කට අධික කාලයක් රත්කන්ද තරණය කරමින් නඩය හැකි සෑම විටම ළඟ තබා ගනිමින් අප මීළඟට අවතීර්ණ වූයේ සමතලා බිමකටය. බැලූ බැල්මට හෝර්ටන් තැන්න වැනි පරිසර පද්ධතියක් තිබුණ ද අඩි මාර්ගය පුරා ගස් අතු වැටී සෑදී තිබූ බාධක අපමණය. එම නිසාම අපගේ ගමනට තවත් කාලය වැයවුණි.


සවස් යාමය කිට්ටුවත්ම අප අනෙකුත් කඳු වැටිය ද තරණයකොට පහළට බැස්සේ බත්තුළුඔය අසලටය. බත්තුළු ඔය යනු විටෙක මහවැලි ගඟ ලෙස ද හැඳින්විය හැක. සමනළ ගිරෙන් උපදින මෙම ජලකඳ ගලා එන්නේ අපට වම් පසිනි. වම් පසින් කිලෝමීටර් ගණනක් ඈතින් ඇත්තේ රජ මාවතය. එහිදී සීත ගඟුල ගලාගෙන එන්නේ රජ මාවතේ දකුණු පසිනි. එනම් මෙම මාර්ග දෙක අතර මෙම ජල දහරා දෙකටම අදාළ ප්‍රධාන මූලාශ්‍රය වන උල්පත තිබිය යුතුය. සිරිපා රක්ෂිතයේ ගුප්ත බව කියාපාන හොඳම නිදසුන නම් මෙම ජල පහරවල් වේ. ඒවා එකිනෙකට වෙනස් දිසාවලට ගමන් කළ ද මූලාශ්‍රය කෙලෙස කුමන ස්ථානයෙන් පටන්ගන්නේ දැයි තීරණය කළ නොහැක. සමහරවිට එය සමනළ හෝ බෑන සමනළ කන්ද විය හැකිය. කෙසේ හෝ බත්තුළු ඔය පැරඩයිස් නම් ස්ථානයට පැමිණි අප බොහෝ වේලාවක් ගිමන් හැරියේ අපට පිටුපසින් පැමිණෙන නඩය අප හා එකතු කර ගැනීමේ අදිටනින්ය. මේ වන විට අපට ඉදිරියෙන් ගිය තිස්දෙනෙකුගේ පමණ කණ්ඩායම මහ ගිරිදඹ තරණය කරමින් සිටින බව අප දැනගත්තේ දුරකථන සංඥා ලබාගැනීමට නොවිඳිනා දුකක් විඳීමෙන් පසුවය.


කෙසේ හෝ ගත වෙව්ළවන තරම් අධික ශීතලක් සහිත බත්තුළුඔයෙන් දිය නා ගත් අප අසල පිහිටි දිය ඇල්ල ද නරඹා සීතලට ගැහෙමින් සිටින විට සවස 6.30 වනවිට පිරිසක් අප සිටි ස්ථානයට පැමිණියහ. නමුත් ඔවුනට පිටුපසින් තවත් පිරිසක් දැඩි දුෂ්කරතා මැද පැමිණෙන බව අපි දැනගත්තෙමු. කෙසේ හෝ රාත්‍රී 7.30 වන විට අප බත්තුළුඔයෙන් සමුගෙන නැවත ගමන ආරම්භ කළේ කෑලි කැපෙන අඳුර මැදය. පෙර දැන්වූ පරිදි සියල්ලෝ විදුලි පන්දම් ගෙන සිටියහ. එම නිසා විදුලි පන්දමේ ආලෝකය මැද අප ගමන ආරම්භ කළේ දැඩි නැග්මක් සහිත ගමනකටය. ගස් කඳන් වැටී කොළ අතු නැවී පස ලිස්සනසුලු මාර්ගයේ අප ඉහළටම ඇදුණේ තද සීතල මැදය. එහිදී අපට අගල් 3ක් පමණ දිගැති සුදු පැහැති දළඹුවන් රාශියක් පොළොවේ එහා මෙහා යමින් හා අතුපතර මත සිටිනු දැකිය හැකි විය. සාමාන්‍යයෙන් දිවියන් බහුලව සිටින මෙම ප්‍රදේශයේ අප ගමනට උන්ගෙන් කිසිදු බාධාවක් නොවූයේ අප සියල්ලන් තුළ තිබූ ශ්‍රද්ධාව නිසා විය හැකිය.


කෙසේ හෝ අප මහගිරිදඹ නැගීමට පටන් ගන්නාවිට රාත්‍රී 10 පසුව තිබුණි. නෙලු ශාකයෙන් වැසුණු මෙම කොටස ගමනේ අතිශය දුෂ්කර කොටස විය. බොහෝ ස්ථානවල අත්දෙක තබමින් යායුතු විය. මාර්ගය අංශක 70ක පමණ ලිස්සනසුලු නැග්මකි. අපගේ අතෙන් කිසිවක් අතහැරුන ද ඒවා නැවත පහළට රූටා ගෙන යයි. එබැවින් මෙම කොටස ඉතාමත් පරිස්සමින් අපි තරණය කළෙමු.

මෙහිදී අපට දැවැන්ත දිය පහරක ශබ්දයක් ඇසුණි. ඒ කන්දේ දකුණු පසිනි. මෙය සැබැවින්ම කුළුඳුලේ පනින උල්පතක් විය යුතුමය. මන්ද මෙපමණ උසක සිට වෙනත් දුරකින් ගලා ඒමට ජල ප්‍රවාහයක් නොමැති නිසාය. කෙසේ හෝ රාත්‍රී 1 පමණ වනවිට අප ආඬියාමළතැන්නට මීටර 800ක් පමණ ඉහළින් රජ මාවතට සම්බන්ධ වූයේ පැය 16ක් ගෙවමින් කිලෝමීටර් 14ක පමණ දුෂ්කර ගමනකින් පසුවය. ගමන ආරම්භයේ කියූ පරිදි අප නවාතැන් ගතයුත්තේ ආඬියාමළතැන්න අම්බලමේය. පාන්දර 2ට අප එහි යන විට අපට පෙර ගිය කණ්ඩායමේ සගයන් මුළු ශරීරයම පොරවාගෙන සීතලට ගැහෙමින් සුව නින්දකය. අප ද එලෙසින්ම 
වෙහෙස මැද නින්දට වැටුණි.


පසුදින අප සියල්ලෝ ගමන පිළිබඳ විස්තර කතිකා කරගන්නා විට අපට දැනගන්නට ලැබුණේ පිටුපසින්ම හා සොළොස් දෙනෙකුගෙන් යුත් කණ්ඩායමට, අනපේක්ෂිත ලෙස බත්තුළුඔය අසල කූඩාරම් නොමැතිව ඝන අන්ධකාරයේ අධික සීතල මැද රාත්‍රිය ගතකරන්නට වූ බවය. අපගේ සගයකු උදෑසන අපව අමතා එම විස්තර කියූ අතර, එම පිරිස අතර සෞඛ්‍ය ගැටලු තිබූ දෙදෙනකු නිසා මෙලෙස රාත්‍රිය සිටීමට තීරණය කර තිබුණි. කෙසේ හෝ ඉතිරි කොටස තරණයට ඔවුන්ට පැය 5ක් පමණ ගත වූ අතර දහවල් 12ට පමණ ඔවුන් අප සියල්ලන්ම එකතු වූ පසු අප විසින් ඔවුන්ව හැටන් මාර්ගයෙන් බැසීමට පිටත් කරන ලදී. පිරිසක් හැටන් හා රජ මාවතෙන් ආපසු ගිය අතර, පෙර සැලසුම පරිදි ඉතිරි වූ අප තිස්දෙනකු පමණ එරත්න මාර්ගයෙන් පහළට බසින්නට වූයේ සිරිපා කරුණාවට පසුවය. ආඬියාමළතැන්නේ සිට කිසිදු විවේකයක් නොගෙන එරත්න මාර්ගයේ සීත ගඟුල අම්බලම අසලට අප ආවේ සවස 4 පමණ වන විටය. පසුව අප සතුව ඉතිරිව තිබූ ආහාරපාන අනුභවකොට නැවත ගමන පිටත්ව වර්ණගල හා ජම්බෝල ගහයට අම්බලම හරහා එරත්න ග්‍රාමයට ළඟා වනවිට වෙලාව රාත්‍රී 8 පමණ විය. කෙසේ හෝ එකිනෙකා නොහඳුනමින් ආ අප නඩය සතුටින් විසිර ගියේ නව යහළු මිත්‍ර පිරිසක් සමග මිතුදමක් ගොඩනගා ගනිමිනි.


‘ඉරිදා ලංකාදීප’ හරහා Travel in Sri Lanka-Sobasiri  මුහුණුපොත පිටුව වටා එක්රැස්වුණු විශාල පිරිසකට තම ජීවිතයේ අතිශය දුෂ්කරතම හා සදා අමතක නොවන මෙම ගමන අප අවසන් කළේ පරිසරයට කිසිදු හානියක් නොකරමිනි. මන්ද, අප පොලිතීන් වැනි අප ගෙනගිය සියලුම දිරාපත් නොවන දෑ රැගෙන ආ හෙයිනි. බොහෝ පිරිසකගේ කුළුඳුල් සිරිපා කරුණාව මෙය වූ අතර දින දෙකක් පුරා කිලෝමීටර් 25ක පමණ වනගත දුෂ්කර ගමනක අත්දැකීම් අපට එකතු වූයේ උතුම් සිරිපා 
කරුණාව අප සැදැහැ සිතින් සිදුකළ හෙයිනි. ඊළඟ සතියේ තවත් ඔබ නොදන්නා ක්‍රියාදාම චාරිකාවකින් හමුවෙමු.

සංචාරක සටහන හා ඡායාරූප
ශමින්ද රන්ශාන් ප්‍රනාන්දු