සක් දෙවිඳුන්ගේ රියැදුරු මාතලී නම් වෙයි. අපේ රටේ රියැදුරන්ටත් “මාතලී” යන නම පටබැඳී ඇත්තේ ඒ නිසා විය යුතුය. බෞද්ධ සාහිත්‍යයේ සඳහන් ඒ මාතලී පරපුරෙන් පැවත එන පරණ රියැදුරු මහතෙකු සොයා මම පසුගිය දිනක ගල්ගමුව, පලුකන්දෑව ප්‍රදේශයට ගියෙමි. ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ බස්රථ රියැදුරෙකු ලෙස 1965 වර්ෂයේදී සේවයට එක් වී ඇති හෙතෙම ඊටත් පෙර කුලී රථ රියැදුරෙකු ලෙස ද කටයුතු කොට ඇත.


අසූපස් වැනි වියේ පසුවන ඔහු නමින් ඩබ්ලිව්.ජී. හීන් අප්පු ය. “ගැමිරසවිත” වෙනුවෙන් අද මා දොඩම්මළු වූයේ හීන් අප්පු මහතා සමගය.


“ඉස්කෝලෙන් අයින් වුණාට පස්සේ මං රන්රිදී බඩු හදන වැඩපොළක වැඩ කරන්න ගියා. වැඩි කාලයක් ඒ රස්සාව කළේ නෑ. ඊළඟට අපේ මාමණ්ඩිගේ පට්ටලයක් (ගරාජයක්) තිබුණා. ඒකේ වැඩට ගියා. දුනු කොළ හැඩගැසීම (වාහනවල) වාගේ දේවල් තමයි කළේ. ඔය අතරවාරයේ මං වාහන එළවන්නත් තනියම පුරුදු වුණා. 1956 අවුරුද්දේ බරවාහන පදවන්නත් හැකි විදිහට ලයිසන් (රියැදුරු බලපත්‍රය) ගත්තා. වේයන්ගොඩින් තමයි ලයිසන් ගත්තේ.


ඊට අවුරුද්දකට විතර පස්සේ මං කාරයක් මිලදී ගත්තා. අපේ ඥාතියකුගෙන් තමයි ඒක ගත්තේ. පාවිච්චි කරපු කාරයක් රුපියල් 750ට තමයි ඒක මිලදී ගත්තේ. ෆෝර්ඞ් සී.වයි. මොඩලයේ කාරයක්. ඉලක්කම් තුනේ අංකයක් තිබුණේ. කාරය ගන්ඩ අපේ අප්පච්චි මට රුපියල් 100ක් දුන්නා. ඉතිරි මුදල මං හොයා ගත්තා.


ඔය කාරය ගල්ගමුව ටවුමේ තියාගෙන මං කුලී හයර් දිව්වා. ඔය කියන්නේ 1958 අවුරුද්දේ විතර. එදා සැතැපුමකට කුලිය වශයෙන් ගත්තේ ශත පනහයි. ගල්ගමුවේ සිට ඇහැටුවැවට අය කළේ රුපියල් හතරයි. කුරුණෑගලට රුපියල් විස්සයි. ඔය ඇල්ල පාරේ අද තියෙන දැදුරුඔය පාලම එදා තිබුණේ නෑ. ඉතිං ඔය ගලන දවස්වලට ඒ පාරෙන් කුරුණෑගලට යන්න බෑ. නිකවැරටිය හරහා තමයි යන්නේ. නිකවැරටිය හරහා කුරුණෑගලට ගියොත් රුපියල් විසි පහක් හයර් එකට ගන්නවා.” යි සිය ජීවන අත්දැකීම් ආවර්ජනය කරමින් හීන් අප්පු මහතා දොඩමළු වන්නට විය.


මම ඔහුගේ කථාවට හරස් කපා ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ බස් රථ රියැදුරෙකු ලෙස බැඳුණු අයුරු ගැන වංහුං ඇසුවෙමි.
“1965 අවුරුද්දේ ආණ්ඩු වෙනස්වීමත් සමග සී.ටී.බී. එකට රියදුරන් ගන්නවා කියලා ඉල්ලුම්පත්‍ර කැඳවලා තිබුණා. මාත් නිකමට ඉල්ලුම් පත්‍රයක් දැම්මා. ඒත් විශ්වාසයක් තිබුණේ නෑ. මොකද මං වාමාංශික දේශපාලනය කළේ. බලයට පත්වෙලා හිටියේ යූ.එන්.පී. ආණ්ඩුවක්. කොහොම නමුත් සම්මුඛ පරීක්ෂණයට කැඳවලා තිබුණා. මාවත් බඳවා ගත්තා. අපට මාස තුනක පුහුණුවක් වේරහැරදී දුන්නා.


මට මුලින්ම පත්වීම ලැබුණේ බොරැල්ල ඩිපෝවට. මූලික වැටුප මාසයකට රුපියල් 180යි. මං වැඩ කළේ මාර්ග අංක 53, නුගේගොඩ - වරාය දක්වා මාර්ගයේ. තට්ටු දෙකේ බස්වල තමයි මං වැඩ කළේ. 


ඒ කාලේ ලංගම රියැදුරන්ට කහ පාට කාඞ් එකක් දෙනවා. ඒක නැතිව බස් රථ එළවන්න බෑ. ඒ කාඞ් එකේ ඒ, බී, සී කියලා කාණ්ඩ තුනක් තිබුණා. ‘ඒ’ කාණ්ඩය තියෙන අයට තට්ටු දෙකේ බස් එළවන්න පුළුවන්. ‘බී’ කාණ්ඩයට දොරවල් දෙකේ බස් හා ‘සී’ කාණ්ඩයේ අයට තනි දොරේ බස් රථ තමයි ධාවනය කරන්න දෙන්නේ. කොළඹ ඉන්නකම් මං වැඩ කළේ තට්ටු දෙකේ බස් රථවල.
බොරැල්ල ඩිපෝවෙන් මං කුරුණෑගල දකුණ ඩිපෝවට මාරුවීමක් හදාගෙන ආවා. ඒ කාලේ මහව හෝ ගල්ගමුවේ ඩිපෝ තිබුණේ නෑ. මහව පොඩි ශාඛාවක් වගේ එකක් තිබුණා. ඊළඟට මට කුරුණෑගල උතුරු ඩිපෝවට මාරුවීමක් ලැබුණා. මහව ඩිපෝව හැදුවට පස්සේ ඒකට මාරුවීමක් හදාගෙන ආවා.


ඒකාලේ සී.ටී.බී. එකේ අයටත් නිල ඇඳුමක් තිබුණා. අපට ඒ සඳහා රෙදි නොමිලයේ දුන්නා. කෝට් එක මහගන්න කුලියත් දෙනවා. අපි උදේට වැඩට ගිහින් බස් එක පරීක්ෂා කරන්න ඕනෑ. ඩීසල්, වතුර තියෙනවාද බලන්න ඕනෑ. ටයර්වලට ගලකින් හරි ගහලා බලන්න ඕනෑ. දස පනත කියලා එකක් තිබුණා. ඒ පොතේ රියැදුරන්ට, කොන්දොස්තරලාට කරන්න ඕනෑ දේවල් සඳහන් කරලා තියෙනවා. බස් රථය පාරේ ධාවනය කරද්දී හෝල්ට්වල විතරයි නතර කරන්න ඕනෑ. මගීන් පස් දෙනකුට වැඩිය ඉන්නවානම් කොන්දොස්තර බිමට බැහැලා ටිකට් කඩන්න ඕනෑ. හවස බස් එක ඩිපෝවට ගෙනපුවාම හෝදන්න ඕනෑ, අඩුපාඩු තියෙනවා නම් හදන්න ඕනෑ. අද මේ මොකුත් නෑ.


ගල්ගමුව ඩිපෝව පටන් ගත්තට පස්සේ මං ඒකට ආවා. අන්තිම කාලයේ මට වැඩට යන්න බැරි වුණා. ඒ අසනීප තත්ත්වයක් නිසා. අන්තිමට මගේ වැඩ තහනම් කළා. මං කම්කරු උසාවියේ නඩු දැම්මා. මාව නැවත සේවයේ පිහිටුවා කැබිතිගොල්ලෑව ඩිපෝවට මාරු කළා. මං අර්ථසාධකය අරන් 1981 අවුරුද්දේ විශ්‍රාම ගියා.”

 


ඔබ රියැදුරෙකු ලෙස කටයුතු කරපු කාලයේ සිදුවූ අමතක නොවන සිදුවීම් එහෙමත් ඇති නේද?” මම හීන් අප්පු මහතාගෙන් ඇසුවෙමි.


“මං කුලී හයර් යන කාලේ සිද්ධ වෙච්ච කථාවක් දෙකක් කියන්නම්කෝ. මීගලෑව පැත්තේ හිටියා ඉස්කෝලේ මහත්තයෙක්. එයා මං හොඳට අඳුනනවා. මගෙත් එක්ක තමයි ගමන් යන්නේ. ඒ මහත්තයා දවසක් ගල්ගමුවට ඇවිත් මට කතා කළා කුරුණෑගල ගිහින් එන්ඩ යන් කියලා. එයාගේ පුතෙක් හිටියා යන්තම්පලාවේ. එහාට යන්න තමයි කථා කළේ. ඔය මහත්තයා බොනවා. එදා ටිකක් වැඩියෙන් බීලා හිටියා.


මහත්තයා තුවක්කුවකුත් අරන් තමයි ආවේ. කොහොම හරි මං ගමන ගියා. යම්තම්පලාවට කිට්ටු වෙද්දි මහත්තයා මට කීවා කාරය නතර කරන්න කියලා. මට කීවා ඔතන ඉන්න. මං පුතාගේ ගෙදර ගිහින් එන්නම් කියලා. මහත්තයා තුවක්කුවයි, පතරොම් ටිකයි අතට ගත්තා. මහත්තයාගේ හැසිරීම අනුව මට සැක හිතුණා. මං මහත්තයාට කීවා තුවක්කුව කාරෙකේ තියලා මහත්තයා ගිහින් එන්න කියලා. ඒත් තුවක්කුව අරන් යන්නමයි ලෑස්තිය. අන්තිමට බලකරලා තුවක්කුව කාරකේ තියා ගත්තා. මහත්තයා බැහැලා ඒ ගෙදරට යන්ඩ ගියා.


මං කාරෙක විගහට ආපහු හරවාගෙන ආවා. තිත්තවැල්ල වැව ළඟට ඇවිත් තුවක්කුව කඩලා සීට් එක අස්සට දාගෙන ගල්ගමුවට ආවා. මහත්තයා එක්ක ආවේ නෑ. ඔය මහත්තයා හොඳට දන්න, ගනුදෙනු කරන දෙමළ මුදලාලි කෙනෙකු හිටියා ගල්ගමුවේ. මං ඒ කඬේට ඇවිත් මුදලාලිට කථාව කියලා තුවක්කුව එයාට දුන්නා. මහත්තයා ආපුවාම තුවක්කුව දෙන්න කියලා කීවා. පස්සේ දවසක මං කඬේට ගියාම මුදලාලි මට කීවා එදා අර මහත්තයා තුවක්කුව අරන් ගිහින් තියෙන්නේ එයාගේ නෝනට වෙඩි තියන්න කියලා. නෝනා ඉඳලා තියෙන්නේ අර පුතාගේ ගෙදර. මං අර වැඬේ නොකළා නම් හරි නස්පැත්තියක් එදා වෙන්න තිබුණා කියලා මුදලාලි කීවා. 


දවසක් මං කාරෙක තියාගෙන ගල්ගමුව ටවුමේ ඉන්න කොට කොල්ලෝ දෙන්නෙක් ඇවිත් අමුණුකොළේට හයර් එකක් යමුද කියලා ඇහුවා. මං ඇහුවා ඇයි යන්නේ කියලා. එකෙක් කීවා අමුණුකොළේ දෙතුන් දෙනෙක් ඉන්නවා ඒ අයත් එක්ක වාරියපොළට ගිහින් එන්ඩ කියලා. මං ඒ තරුණයන් දැකලා නෑ. කොහොම හරි මං ඒ දෙන්නා දාගෙන අමුණුකොළේට යන්න ගියා. මගට යද්දි තමයි උන් මට සිද්ධිය කීවේ. අමුණුකොළේ ගමේ කෙල්ලෙක් ඉන්නවා මේ කොල්ලෙකුත් එක්ක යාළු වෙලා. ඒකි උස්සන්න තමයි මේ යන්නේ. මං ඒ වාගේ වැඩට කැමති නෑ. ඒත් දැන් කරන්න දෙයක් නෑ. මගටත් ඇවිත්නේ. 


කාර් එක ඒ කෙල්ලගේ ගේ ඉස්සරහ නතර කළා. උන් කීවා හෝන් එක ගහන්න කියලා. මං කීවා හෝන් එක ගහන්න බෑ, ගිහින් එක්ක එන්න කියලා. එතකොටම කෙල්ල එළියට ආවා. කොල්ලො දෙන්නා ගිහින් කෙල්ලව එක්ක ඇවිත් කාරයට දාගත්තා. මං ආපහු කාරය හරවාගෙන ගල්ගමුව ටවුමට ආවා. අපේ අයියාගේ පුතා ටවුමේ හිටියා. මං පුතාට කතාව කියලා එයත් දාගෙන වාරියපොළට ගියා.


වාරියපොළ ටවුමේ තුන් දෙනා බැස්සුවා. ඒ අය අපට කඬේකින් තේ එහෙමත් අරන් දීලා හොඳට සැලකුවා. හයර් එකට රුපියල් විසි පහක්ම දුන්නා. වාරියපොළට යන්ඩ ඒ කාලේ ගත්තේ රුපියල් 15-20ක්. “මඟුල් හයර්” එකක් නේ ඒ නිසා වැඩිපුර ගෙවන්න ඇති.
දවසක් රෑ මං ගල්ගමුව ටවුමේ කාර් එක තියාගෙන හිටියා. අලුත්හේරත්ගම මං හඳුනන කට්ටියක් ඇවිත් කීවා ලෙඩෙක් අරන් යන්න තියෙනවා කියලා. ඒ කාලේ ගල්ගමුව රෝහලක් තිබුණේ නෑ. මහව රෝහලට තමයි ලෙඩා අරන් ගියේ. කැත්තපහුව හරියෙදි ලෙඩා ගොරවනවා වාගේ ශබ්දයක් මට ඇහුණා. මං කට්ටියට කීවා ලෙඩාට කථා කරලා බලන්න කියලා. ලෙඩා ශබ්දයක් නෑ. එයා මැරිලා. දැන් මොකද කරන්නේ කෝකටත් රෝහලටම අරන් ගියා. දොස්තර මහත්තයත් බලලා කීවා ලෙඩා මියගිහින් කියලා. රෝහලේ තිබ්බොත් කොරනෙල් විභාගයක් (හදිසි මරණ පරීක්ෂණයක්) තියන්න වෙනවා කීවා.


මේ ලෙඩා වයසක අයෙක්. ගොඩාක් කාලයක් අසනීපව සිටිය කෙනෙක්. දැන් මිනිය ගෙනියන්න විදිහක් නෑ, ඒ කාලේ හර්ස් මෙහේ නෑනේ. පස්සේ මං කීවා මිනිය කාර් එකේ අරන් යමු කියලා. ඒ කාලේ කාර්වලින් කවුරුවත් මිනී අදින්නේ නෑ. ඒක අසුබ දෙයක් විදිහට තමයි සැලකුවේ. මං ගිය කට්ටියට කීවා මගදි පොලිසිය කාරය නතර කරන්න පුළුවන්. ඒ නිසා මිනිය ඔලුවේ සිට රෙද්දක් පොරවලා අරන් යමු කියලා. ඔය විදිහට ඒ මිනිය මගේ කාර් එකෙන් ගල්ගමුවට ගෙනාවා”


“ලංගම රියැදුරෙකු ලෙස කටයුතු කරද්දිත් ඔය වාගේ අත්දැකීම් ඇති නේද?” මම ඇසුවෙමි.


“ඒ කාලේ පාරවල් මේ තරම් හොඳ තත්ත්වයේ තිබුණේ නෑනේ. ඇතුළට තියෙන පාරවල් බොරළු දාපුවා. වළගොඩැලි. අද ඔය ඇල්ලේ පාරේ තියෙන දැදුරුඔය, කලාඔය වාගේ පාලම් එදා තිබුණේ නෑ. ගල්ගමුව ඩිපෝවේ වැඩ කරන කාලේ දවසක් අනුරාධපුරයට යන්න ගියා. කලා ඔය ගලලා. සපත්තු පාලමක් වගේ එකක් තිබුණේ. මං බස් එක පාලම උඩින් අරන් යන්න බැලුවා. පාලම උඩින් වතුර දානවා. බස් එක ගහගෙන යන්න වාගේ ගියා. පස්සේ ගමේ අයගෙත් උදව් ඇතිව ආපහු බස් එක පස්සට ගත්තා. ඒ අරන් ආපහු එනකොට ලීකොළවැව හරියෙදි අලි රංචුවක් පාර මැද. ඒ කාලේ කලාතුරකින් තමයි අලි පාරවල්වල ඉන්නේ. බස් එකේ ශබ්දයට උන් මාරුවෙලා ගියා. ආයේ දවසක් රෑ වෙලා එද්දි මැදගම හරියෙදී බෝක්කුවක් උඩ කොටියෙක් හිටියා. ඇන්ජිම රේස් කරන කොට ඌ පැනලා දිව්වා. ඒ හරියේ එදා හරියට වල් සත්තු හිටියා.


අසූතුනේ (1983) ජූලි කලබල කාලයේ මං බස් එක අරන් ගල්ගමුවට ආවා. ගල්ගමුව වරාවැව පාරේ තමයි වැඩ කළේ. ගල්ගමුව නගරයට එනකොට සෙනග පිරිලා. ගල්ගමුවේ දෙමළ මනුස්සයන්ගේ කඩ කඩනවා. තල ගෝනි පවා හොරකම් කළා. එක මිනිහෙක් තල මිටි ටිකක් අරන් ඇවිත් බස් එකට දැම්මා. මාත් සද්ද නැතිව හිටියා. මොකුත් කියන්නත් බෑනේ. ඒ වෙලාවේ උන් හරි දරුණුයිනේ. කොහොම හරි මං බස් එක පණ ගන්වාගෙන පිටත් වුණා. මහගල්කඩවලදී වෙන මිනිහෙක් අර තල මිටියක් බාගන්න හැදුවා. මං ඉඩ දුන්නේ නෑ. කඩ කඩලා හොරෙන් ගත් බඩු තවත් හොරෙක් හොරකම් කරන්න හදනවා.


ගුරුළුපිටිගම බස් එකේ වැඩ කරන කාලේ වරාවැව හන්දියේ තමයි බස් එක නයිට් පාර්ක් කරන්නේ. කළු මුදලාලි කියලා කෙනෙක් හිටියා. එයාගේ කඬේ ලඟ තමයි පාර්ක් කරන්නේ. අවසාන ගමන් වාරේ එනකොට හැමදාම අපේ බස් එකේ එන මනුස්සයෙක් හිටියා මිනිහා හොඳටම බීලා එන්නේ. මිනිහා කියන තැන බස් එක නතර කරන්න ඕනෑ. මං කවදාවත් අරක්කු බීලා නෑ. බොන අයට කැමතිත් නෑ. ඔන්න දවසක් මනුස්සයා බස් එකේ එද්දි මිනිහගේ ගේ ළඟ නතර කරන්න කීවා. මං නතර කළේ නෑ. බස් එක පාර්ක් කරන තැන ඉඳලා මිනිහාගේ ගෙදරට අඩි දහයක් දොළහක් විතර දුර ඇති ඒ ටික පයින් යන්නේ නැතිව ගේ ඉස්සරහම බස්වන්න ඕනෑ. මං බස් එක නතර කළේ නැති නිසා ඌ මට ගහන්න ආවා. මට හොඳටම කේන්ති ගියා. මං ගියර් පොල්ල ගලවාගෙන ඌට ගහන්ඩ ගියා. කළු මුදලාලි පැනලා මාව අල්ලා ගත්තා. නැත්නම් එදා මහ කරදරයක් වෙන්ඩ තිබ්බා.


“දැන් ඔය බස්රථවල ගමන් කරන මගීන්ගේ ගමන් මලු, මුදල් පසුම්බි, බඩු පෙට්ටි වාගේ දේවල් අමතක වෙලා දාලා යනවනේ. ඒවාට මොකද කරන්නේ” මම හීන් අප්පු මහතාගේ අවාධානය වෙනත් පැත්තකට යොමු කළෙමි.


“ඒ වාගේ දේවල් දවස් දෙක තුනක් බස් එකේම තියාගෙන අපි ඒවා එහාට මෙහාට අරන් යනවා. සමහර අය බසය හොයාගෙන ඇවිත් කාරණය කියලා අරන් යනවා. හැබැයි ඒ අපට ලැබුණොත් තමයි. වෙනත් අයෙකු අරන් ගියොත් ලැබෙන්නේ නෑනේ. 
මං කුරුණෑගල ඩිපෝවේ වැඩ කරන කාලේ නිකවැරටිය හරහා තමයි ගල්ගමුවට බසය ධාවනය කරවන්න ලැබුණේ. මගීන් ඔක්කොම බැස්සට පස්සේ මං දැක්කා දිග පර්ස් එකක් සීට් එකක තියෙනවා. ඇරලා බලද්දී රිදී කාසි ගොඩාක් තිබුණා. මං හිතන්නේ රුපියල් 250ක් විතර තියෙන්න ඇති. ඒ පර්ස් එක මං ළඟ තියා ගත්තා. පහුවදා මහත්තයෙක් බස් එක හොයාගෙන ආවා. කාරණය කීවාට පස්සේ මං ඒ මුදල් පසුම්බිය ඒ මහත්තයාට දුන්නා.


ආයි දවසක බස් එකේ ලොකු බඩු පෙට්ටියක් අමතක වෙලා දමා ගිහින් තිබුණා. ඒකත් අර විදිහට දවස් දෙක තුනක් බස් එකේ තියාගෙන තිබුණා. අයිතිකාරයෙක් ආවේ නෑ. පස්සේ වරාවැව දී මං ඒ පෙට්ටිය ලිහලා බැලුවා. කරවල, හාල්, පොල්, දෑකැති පහක් වාගේ දේවල් තිබුණා. දෑකැති පහ මං තියාගෙන ඉතිරි බඩු වරාවැව බස් එක නතර කරන තැන ගෙදරකට දුන්නා. අර දෑකැතිවලින් කීපයක් අදත් අපේ ගෙදර තියෙනවා.”


“රැකියාව කරන කාලයේ ඔබේ අතින් අනතුරු එහෙමත් වෙලා ඇති නේද?” මම ඇසුවෙමි. 


“ඒ කාලේ ලංගම රියැදුරන් කියන්නේ හරි විනීත පිරිසක්. තරගයක් නෑනේ. ඒ නිසා අනතුරුවීම ඉතාම අඩුයි. මගේ අතින් එකම අනතුරක් වෙලා තියෙනවා. ඒකත් මගේ වරදින් නෙමෙයි. අලුත් අවුරුදු දවසක මං කලාඔයේ සිට කුරුණෑගලට යන්න බස් එක අරන් ආවා. කැලේගම හන්දිය ළඟට එනකොට මං දැක්කා ඉස්සරහින් බයිසිකල් කාරයින් දෙන්නෙක් එනවා. එකෙක් පාර පුරාම වැනි වැනී බයිසිකලේ පදිනවා. එකපාරටම බයිසිකලේ බස් එකේ වැදිලා මිනිහා පාර මැද වැටුණා. අනිකා පැනලා දිව්වා.
මං බිම වැටී සිටි මිනිහා බස් එකට දාගෙන පොලිසියට ගෙනත් පැමිණිල්ලක් දැම්මා. පොලිසියෙන් ඔහුව දොස්තර ළඟට දාලා බීලා ඉන්න විත්තිය තහවුරු කරගත්තා. ඕක තමයි මගේ ජීවිතයට සිදුවූ එකම අනතුර.


“මාර්ග නීති උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් ඔබට විරුද්ධව නඩු එහෙමත් පවරා ඇති නේද?” මම හීන් අප්පු මහතාගෙන් ඇසුවෙමි.


එකම එක වතාවක් මං උසාවි ගිහින් තියෙනවා. ඒ ලංගම රියැදුරෙකු ලෙස නෙමෙයි. මං කාර් එකෙන් හයර් එකක් ගියා පොළොන්නරුවට. මට මතක හැටියට හයර් එකට අය කළේ රුපියල් තිස් පහක් හෝ හතළිහක් විතර. කදුරුවෙලින් වාහනය පරීක්ෂා කළා. වාර්ෂික බලපත්‍රය නෑ කියලා පොලිසියෙන් මට නඩු දැම්මා. පොළොන්නරුව උසාවියේ තමයි නඩුව තිබුණේ. 1968 අවුරුද්දේ මාර්තු මාසේ දහනව වැනිදා තමයි නඩුව කතා කළේ. වාර්ෂික ආදායම් බලපත්‍රයක් නැතිව රිය පැදවීමේ චෝදනාවට මං වරදකරු වීමෙන් පසු රුපියල් පහක (5) දඩයක් මට ගැහුවා. ඒ කාලේ උසාවියෙන් දඩ ගැහුවාම ඒ තොරතුරු ලියන්නේ ලයිෂන් එකේ. (රියදුරු බලපත්‍රයේ) අදත් ඒ දඩ මුදල සටහන් කරපු ලයිෂන් එක මං ළඟ තියෙනවා.


මගමරුවෙකු නොවී විනීත රියැදුරෙකු ලෙස සේවය කොට වෘත්තීය ජීවිතයෙන් විශ්‍රාම ලබා දැනට ජීවිතයේ සැඳෑ සමය ගත කරන හීන් අප්පු මහතාට චිරං ජයතු පතා මම ඔහුගෙන් සමු ගත්තෙමි.

ගල්ගමුව - නිහාල් ජයවීර