අම්පාර දිස්ත්‍රික්කයේ එක්තරා ග්‍රාමයක ජීවත් වන ලලිතා අහිංසක ගතිගුණවලින් හෙබි කාන්තාවකි. උසස් පෙළ හදාරන අතරතුර දී ඇය ගමේම තරුණයෙකු වන පියදාස සමග විවාහ වූයේ පෙම් සබඳතාවකිනි. ලලිතාගේ පවුලේ සහෝදරියෝම පස්දෙනෙකි. ලලිතා පවුලේ බඩපිස්සී එනම් බාල දියණිය වූවාය. වැඩිමල් සහෝදරියෝ පස්දෙනාම විවාහකය. ලලිතාගේ වයස දැන් හතළිස් දෙකකි. ඇයට එක් දියණියක හා පුතෙක් සිටිති. ලලිතාගේ අම්මාගේ වයස මේ වනවිට හැත්තෑ තුනකි. තාත්තාට හැත්තෑ පහකි. 


නිතර නිතර හැදෙන හන්දි වේදනාවෙන් පීඩා විඳි ලලිතාගේ අම්මා හිටිහැටියේම එක්තැන් වූවාය. සාත්තු සප්පායම් කොතෙක් කළ ද නා නා විධියේ ප්‍රතිකාර කළ ද සුවයක් නොවීය. හන්දි වේදනාවන්ගෙන් පීඩා වින්ද ද ඇය කෙදිනකවත් වැඩක් පළක් නොකර සිටි අයෙකු නොවූවාය. අමාරුවෙන් හෝ නිවසේ වත්ත පිටියේ කුමක් හෝ වැඩක යෙදීම ලලිතාගේ අම්මාගේත් තාත්තාගේත් පුරුද්ද වුණි. ඇඳටම වැටුණු ඇය කිහිප දිනක් යත්ම අවසන් ගමන් ගියේ දරුවන් සැවොම දුකට පත්කරමිනි. මරණ වැඩකටයුතු ලලිතාත් සහෝදරියනුත් එක්ව හොඳින් අවසන් කරත්ම ලලිතාගේ පියාට හදිසියේම ඇති වූ හෘදයාබාධයෙන් ඔහු මියගියේ සියල්ලන්ම අන්දුන් කුන්දුන් කරමිනි. 


“මේ කුමක් වීද!” සියල්ලටන්ටම ප්‍රශ්නයකි. අම්මා මිය ගිහින් හත් දිනක් ගතවත්ම තාත්තා ද මියගියේය. සතියක් ඇතුළත මරණ දෙකකි. මෙය කවුරුන් හෝ පවුලට කළ විනයක් නිසා සිදුවූවක් බව යමෙක් පවසයි. මෙය ඔවුන් දෙදෙනාගේ ගෙනාපු ආයුෂ අවසන් වීම නිසා සිදුවූ බව තවත් අයෙක් පවසයි. ඒක වෙලාව බව තවත් කෙනෙක් පවසති. නා නා ප්‍රකාර දේවල් ඇසෙන්නට වූයේ කියන්නට වූයේ මවගේ හත් දවසේ දානය දාම පියා ද මරණයට පත්වීම නිසාය. කෙසේ හෝ ඥාතීන්ගේ ද උදව් උපකාර ඇතිව තාත්තාගේ ද මරණ වැඩකටයුතු අවසන් කෙරුණි. 


ලලිතාගේ මාපියන් මියගොස් තුන් මාසේ දානය ද ආසන්නය. ලලිතාගේ දියණිය උදෑසනම අම්මාට කතා කළාය. “අම්මේ මං ආච්චි අම්මාව හීනෙන් දැක්කා. ආච්චි පිං ඉල්ලනවා අපෙන්” ලලිතාගේ දියණිය පැවසුවාය. ආච්චි අම්මාත් සීයා තාත්තාත් එක්වරම මැරුණේ එහා ගෙදර කුසුමා නැන්දා කරපු කොඩිවිනයක් නිසා බව ද ආච්චි අම්මා හීනෙන් ඇවිත් කියූ බව දියණිය ලලිතාට කීවාය.  


“ඕවා හීනෙන් පෙනෙන විකාර දූ... ඕවා ගැන හිතන් නැතුව ඉන්නකො” ලලිතා දියණිය අස්වසා කාමරයෙන් පිටත් වූයේ සැමියා සොයාගෙනය. දියණිය පැවසූ සියල්ලම සැමියාට පැවසූ විට ඔහු ද කීවේ “මනස්ගාතනෙ. ඒකයි හීනෙන් පේන්නෙ” යනුවෙනි. 


අම්මාගේත් තාත්තාගේත් තුන්මාසේ දානය දිනය ද උදාවිය. තුන් මාසේ දානය හොඳින් කරන්නට ලලිතා ඇතුළු සහෝදර සහෝදරියෝ කටයුතු කළෝය. දානය දී අවසන් වීමත් සමග ලලිතාගේ දියණියට ආච්චි අම්මා හීනෙන් පෙනුණේ නැත. එහෙත් ඊට හාත්පසින්ම වෙනස් දෙයක් සිදුවිය. ලලිතාට අම්මාවත් තාත්තාවත් හීනෙන් පෙනෙන්නට පටන් ගත්තේය. ඇයගේ කකුලෙන් අදින්නටත් බිම ඇද දමන්නටත් බය කරන්නටත් ඇඳට තබා තද කරගෙන සිටින්නටත් විය. ලලිතා කොතෙක් කෑගැසුව ද ඇයගේ කටහඬ පිටතට ඇසුණේ නැත. මියගිය අම්මාත් තාත්තාත් ඇයගේ උගුර හිරවන සේ බෙල්ල තදකරගෙන සිටී. කිසිවක්ම කතා නොකරන ඔවුහු ඇයට හිංසා පමණක් පමුණුවති. 
ලලිතා මේ බව සැමියාටත් සොයුරියන්ටත් පැවසුව ද ඔවුන් ඒවා පිළිගත්තේ නැත. “මනස්ගාත” ඔවුන් කීවේ එලෙසය. ඥාතීන්ට පැවසූ විට අයෙක් කියන්නේ පිං මදි නිසා පහත් ආත්මවල ඉපදී මෙසේ කරන බවයි.  


“මේ වගේ දේවල්වලට කරන්න තියෙන්නෙ එක්කො මළවුන් ගෙන්වන තැනකට යන්න ඕනෙ, එහෙම නැත්තම් සාස්තරයක් ඇසීමට යන්න ඕනේ” සමහරෙකුගේ මතයක් ප්‍රකාශ විය. ලලිතාගේ තත්ත්වය එන්න එන්නම අසතුටුදායක වන හෙයින් නිවැසියන් සිතුවේ එය හොඳ බවයි. 


ලලිතාට මුළු රාත්‍රි කාලය පුරාම නින්දක් නොලැබීම නිසාත් නිතරම භයින් බිරාන්තව සිටින නිසාත් නිවසේ කිසිවකුටවත් සතුටක් නොවීය. දරුවන්ගේ අධ්‍යාපන කටයුතු ද අඩාල වන්නට විය. දහවල් කාලයේ දී ද පුටුවකට හාන්සි වී සිටියත් නින්ද යාගෙනම එනවිට ඇය බියපත් වේ. මුළු ශරීරය පුරාම දහඩියෙන් තෙමී ඇත. දරුවන්ගේ කටයුතු ද ඇයගෙන් අතපසු විණි. ගෙදර වැඩපළක නිරත වීම තියා ඇයගේ පවිත්‍රතාවන්වත් කරගැනීමට මානසිකත්වයක් නැති විය. ඇය නිතරම සිටියේ බියෙනි. මෙය තවදුරටත් බලාගෙන සිටීමට නොහැකි නිසා ඇයව කැටුව සහෝදරියන් ගියේ ගමේ පන්සලේ සිටින පේන කියන කපු මහතා මුණගැසීමටයි. තාත්තාත් අම්මාත් ප්‍රේත ආත්මවල ඉපදී සිටීම නිසා මෙසේ කරදර කරන බව ඔහු පැවසීය. තමන් කියන වත් පිළිවෙත් ඒ ආකාරයට කිරීමෙන් එම තත්ත්වය දුරුවන බව ඔහු පැවසීය. ඉන් මිදීමට අවශ්‍ය නිසා ලලිතාගේ සහෝදරියෝ එම පූජාවන් හා ආරක්ෂාවන් කළෝය. එහෙත් විසඳුමක් නොලැබුණි. ලලිතා නින්දට ගියවිට ඇය හීනෙන් බියපත් වේ. මේ නිසාම ඇය නින්දක් ලබන්නේ පැයක් හෝ දෙකක් පමණි. නින්ද යාගෙනම එනවිට කකුලෙන් අදියි. බිමට ඇද දමයි. බෙල්ල හිරකරයි. ලලිතා මුළු රාත්‍රි කාලයම ගත කරන්නේ බියෙනි. 


මේ අතරතුර දී මළවුන් ගෙන්වන විස්මයජනක අපූරු කපු මහතකු පිළිබඳව මොවුන්ට දැනගැනීමට ලැබුණි. 


පියදාස ලලිතාව රැගෙන යන්නේ එම කපු මහතා හමුවටය. කපු මහතා ඕනෑම මළගිය අයෙකු ගෙන්වන බවට පියදාසට දැනගැනීමට ලැබුණේ අසල්වැසියෙකුගෙනි. බිරිඳ කෙසේ හෝ සුවපත් කරගැනීමට තිබුණු ඕනකම නිසා ඔහු ඇය මළවුන් ගෙන්වන කපු මහතා හමුවට රැගෙන ගියේ සහනයක් ලබාගැනීමටය. 


අප සමාජයේ කොතරම් තාක්ෂණය හා විද්‍යාවේ දියුණුව ගැන කොතෙකුත් උදම් ඇනුවද මිථ්‍යා මත පසුපස යාම තවමත් මිනිසා අත්හැර නැත. 


සත්තකින්ම පවුලක සමීපතම පුද්ගලයෙකු මියගිය විට “මළවුන් ගෙන්වන ස්ථාන” ලෙස නම්කර ඇති ඇතැම් ස්ථානවලට ගොස් එවන් පුද්ගලයන් සමග නැවත කතා කරන්නට ඇතැම්හු පෙළඹෙති. තම මියගිය සමීපතමයන් ටික දිනකට පසු ඇතැමුන්ගේ ශරීරයට ආරූඪ වී ඇති බවක් ද ඇතැම් විට අසන්නට ලැබේ. එමෙන්ම ලෙඩ රෝග, ආර්ථික ගැටලු ආදියේ දී ඊට හේතුව අමනුෂ්‍ය දෝෂවල බලපෑම යැයි සිතති. 


අප දන්නා පරිදි අමනුෂ්‍ය යන පාලි වචනය සෑදෙන්නේ “න+මනුෂ්‍ය - අමනුෂ්‍ය” වශයෙන් සමාස වීමෙනි. එහි තේරුම මනුෂ්‍ය නොවන යන්නයි. ඒ අනුව මනුෂ්‍ය නොවන සියල්ලෝ අමනුෂ්‍යයෝ වෙති. එම අර්ථයෙන් ගත් කල, සත්ත්ව කොට්ඨාස ද අමනුෂ්‍ය ගණයට අයත් වෙති. අමනුස්ස දෝෂ යනු අමනුස්සයන්ගෙන් වන දෝෂයි. සතුන් නිසා ඇතිවන රෝගාබාධ, අපිරිසිදුකම නිසා ඇති වන ක්ෂුද්‍ර ජීවී වර්ධනය ආදිය මගින් ඇතිවන රෝගාබාධ සියල්ලම අමනුස්ස දෝෂ නිසා ඇතිවන දේවල් බව මෙහිදී සඳහන් කළ හැකිය. 
මියගිය අයගේ මාර්ගයෙන් කොඩි විනයක් හෝ වෙනත් භූත දෝෂයක් නිසා තම පවුල මේ තත්ත්වයට පත්ව, හීනෙන් මළගිය උන් පෙනීම, පිං ඉල්ලීම, හා විවිධ දේ ඉල්ලීම් ආදිය මෙහිදී මළගිය අය ඉල්ලන බව කියයි. මේ නිසා ඊට අදාළ යාතු කර්ම ආදියට මේ දේවාලයේ අපූරුතම භූත ලෑල්ල මගින් පෙන්වාදී සුවපත් කරයි. 


අපේ කතාන්දරයේ කපු මහතා කියන පරිදි, භූත ලෑල්ලේ ක්‍රමය සත්තකින්ම බියජනකයි. මෙහිදී භූත ලෑල්ලේ ප්‍රේතයකු බැඳගැනීමක් සිදුවන අතර ශාස්ත්‍ර ඇසීමේදී අසන පුද්ගලයාගේ අත එම ලෑල්ලේ තබාගත යුතුය. එවිට ඔහුගේ ද ආකර්ෂණය මත ඔහු අසනා දෙය භූත ලෑල්ලේ තබන කොළවල එහි රඳවා ඇති පෑනෙන් හෝ පැන්සලයෙන් හෝ ලියවෙනු ඇත. මෙය ද ප්‍රේත බලයකින් වැඩ ගැනීමකි. මන්ත්‍ර බලයක් ද මෙයට අවශ්‍ය වේ.


 මෙසේ භූත ලෑල්ලකින් ශාස්ත්‍රය කපු මහතා ට හිමිව ඇත්තේ පරම්පරාවෙනි. ආතුරයා අසන ලද සියලු ප්‍රශ්නවලට පිළිතුරු භූත ලෑල්ලේ සටහන් වී ඇත. එහිදී ශාස්ත්‍ර ඇසීමට එන තැනැත්තාගේ ඥාති ප්‍රේතයකු විසින් මෙසේ ශාස්ත්‍රය ලියා දක්වන බව පිළිගැනේ. තමන්ගේ ඥති ප්‍රේතයාගේ හැකියාව මත අනාගත වාක්‍යවල සත්‍යය තීරණය වනු ඇත. එමෙන්ම මේ සඳහා තමන්ට ඥාතිත්වය ලැබූ අයෙකු ප්‍රේතභවයක උපත ලබා සිටිය යුතු ද වන්නේය. මෙම භූත ලෑල්ලේ ක්‍රමය විශේෂයෙන්ම භාවිත කරන්නේ මියගිය ඥාතීන්ගේ පරලොව පිළිබඳව අසා දැනගැනීමටය. එහිදී භූත ලෑල්ල වෙත පැමිණෙන අදාළ ඥාතියා ලවා සත්‍ය දැනගෙන ප්‍රතිකාර කිරීම මේ කපුමහතා දේවාලයේදී සිදුකරයි. 


මේ අනුව, අපේ කතාන්දරයේ මළවුන් ගෙන්වන කපු මහතා ලලිතාට භූත ලෑල්ලේ ඇයගේ දකුණු අත තබන ලෙස කීය. භූත ලෑල්ල යනු බුලත් කොළයේ හැඩයට තැනූ ප්ලාස්ටික් හෝ ලී තහඩුවකි. එහි යටි පැත්තේ එක් එක් පැත්තට කැරකෙන සේ තැනූ රෝද සවිකර ඇත. භූත ලෑල්ලේ මැදින් පෑනක් සවිකර ඇත. දැන් ලෑල්ලට අත තැබූ පසු රෝද කැරකීම නිසා ලෑල්ල එක් එක් පැත්තට ගමන් කරයි. ඊට සම්බන්ධ කර ඇති පෑන මගින් ලෑල්ල එහා මෙහා යනවිට ඒ ආකාරයට ලියවේ. ලලිතා භූත ලෑල්ලට තමන්ගේ දකුණු අත තබාගෙන සිටී. කපු මහතා මතුරයි. එලෙස ක්‍රමයෙන් මතුරන ගමන් ලලිතාගේ අතට මියගිය ආත්මයක් පැමිණෙන්න යයි කපු මහතා මන්තර කියන තාලයටම කියයි. 


ඉන්පසු ලලිතාගේ අත ක්‍රමයෙන් පණ නැතිවී භූත ලෑල්ල සමග අත ඒ මේ ගමන් කරන්නට ගන්නා බව ලලිතාට කපු මහතා පවසයි. ඒ කියූ පරිදිම ලලිතාගේ දකුණු අත පණ නැති වී භූත ලෑල්ල සමග එහා මෙහා වීමට පටන් ගත්තේය. එසේ වන්නේ මළගිය ආත්මය අතට පැමිණි නිසා බව කපු මහතා පැවසීය. 


“කවුද ඔය අතට ඇවිත් ඉන්නේ... එයාගේ නම ලියන්න” කපු මහතා කීය. ඒ එක්කම ලලිතාගේ අත සමග භූත ලෑල්ල එහා මෙහා ගමන් කර අකුරක් ලිවීය. මෙලෙස අකුරු කීපයක් ලියැවී තිබුණි. එහි ලියවී තිබුණේ ‘ඇසිලින්’ යනුවෙනි. ඇසිලින් යනු ලලිතාගේ මවගේ නමයි. 


“දැන් ඔබ ලියන්න මොකටද ආවේ” කපුවා ඇසීය. “පිං” භූත ලෑල්ලේ ලියැවිණි. “ඈ මේ ඇවිත් තියෙන්නේ පිං ගන්නනේ” මේ අතර අතට පැමිණි ආත්මයෙන් බොහෝ දේ දැනගන්නට ලැබුණි. “යන්න නම් මොනවාද අවශ්‍ය කරන්නේ.. මොකක්ද කළ යුතු පින.. ඒ දේවල්වලින් ඇත්තටම යනවද” යනුවෙන් ප්‍රශ්න කෙරිණි. බොහෝ දේ මියගිය ආත්මයෙන් දැනගැනුණි. 


එම පිං කිරීමෙන් අනතුරුව මියගිය ආත්ම දෙක සම්පූර්ණයෙන්ම පලවා හැරීමට හැකි විය. භූත බලපෑම් සියල්ල අවසන්ය. මියගිය අම්මාත් තාත්තාත් ලලිතාට වද දෙන්නට යළිත් ආවේ නැත. සියලු දෙනාම සැනසුම් සුසුම් හෙළුවෝය. 


මෙලෙස සති කීපයක්ම ගත විය. ලලිතාගේ පුතාට ආච්චිගේ අවතාරය පෙනෙන්නට විය. පුතාව රැගෙන පියදාසත් ලලිතාත් ගියේ භූත ලෑල්ලෙන් මියගිය ආත්ම ගෙන්වන කපු මහතා ළඟටමය. ලලිතාගේ අත තබා භූත ලෑල්ලට මියගිය ආත්මය ගෙන්වූවද පුතාගේ අතට මියගිය ආත්මයක් ආවේ නැත. ඒනිසා කපු මහතා තමාගේම අත භූත ලෑල්ලට තබා මියගිය ආත්මය ගෙන්වා ගත්තේය. එම ආත්මයෙන් ප්‍රශ්න අහන්න යැයි කපු මහතා ලලිතාටත් පියදාසටත් පැවසීය. 


ඔවුන් “ඔබ කවුද... මොකටද ආවේ?” යනුවෙන් භූත ලෑල්ලට ළං වී ඇසීය. ඒවාට පිළිතුරු ලියවිණි. පැමිණ ඇත්තේ පෙර සේම ලලිතාගේ මව ඇසිලින්ය. 


මෙලෙස එක් අයෙකුගෙන් යවන විට තවත් අයෙකුට එම ආත්මය පැමිණේ. ලලිතාගේ සහෝදරියන්ට ද එක් එක්කෙනාගෙන් යවන විට අවතාරය පැමිණ කරදර කළේය. බිය කළේය. එකිනෙකාට පැමිණ මෙසේ හීනෙන් කරදර කරන ඇසිලින්ගේ ආත්මය සදහටම එළවා දැමීමට හැකි කවුරුන් හට ද යනුවෙන් මොවුන් කල්පනා කරන්නට විය. එන්න එන්නම පවුලේ ආර්ථික තත්ත්වය ද පිරිහීමට පටන් ගැනුණි. කළ යුතු යමක් තවදුරටත් නොවීය. මේ ගැන අසල්වාසීන් ද දැනුම්වත් විණි. 


ඒ අතරතුර ලලිතාගේ අසල්වාසියෙකු හමුවීමට කොළඹ සිට පැමිණි මිතුරෙකුගේ මාර්ගයෙන් මනෝ චිකිත්සක, වෛද්‍ය පී.එන්. විද්‍යාකුලපති මහතා පිළිබඳව දැනගැනීමට ලැබුණි. ඒ අනුව අසල්වැසියන් ලලිතාගේ පවුලේ අයව වෛද්‍යවරයා සම්බන්ධයෙන් දැනුවත් කෙරිණි. ඔවුන්ව වෛද්‍යවරයා වෙත යොමු කෙරිණි. 


එහිදී සියලු විස්තර සලකා බැලූ වෛද්‍යවරයා මොවුන්ට ප්‍රතිකාර ලබාදී මොවුන් සියලුදෙනාම සුවපත් කළේය. ගැටලුව නිරාකරණය විණි. මේ සඳහා කිසිදු ඖෂධීය ප්‍රතිකාරයක් ලබා නොදුන් බවත් මනෝ චිකිත්සීය ප්‍රතිකාර පමණක් ලබාදුන් බවත් වෛද්‍යවරයා පැවසීය. 


වෛද්‍යවරයා පවසන පරිදි, කිසිදු අමනුෂ්‍යයෙක් තවත් කෙනෙකුට ආරූඪ වන්නේ නැත. ආරූඪ වූ බව පැවසෙන්නේ තමන්ට සමීපව සිට මියගිය පුද්ගලයෙකු ගැන පමණි. ජීවත්ව සිටින තෙක් තමන්ට හතුරුකම් කළ අයෙකු මියගිය පසු තවත් අයෙකුට ආරූඪ වූ බවක් අප කෙදිනක හෝ අසා නැත. එමෙන්ම නිවසක ආදරයෙන් ඇති දැඩි කළ බල්ලෙකු පූසෙකු වැනි සත්ත්වයෙකු මියගිය පසු, ඒ නිවැසියන්ට ආරූඪ වූවා යැයි අප අසා නැත. ඊට හේතුව වන්නේ අපට එවැන්නක් ගැන ආකල්පයක් නොමැති වීමය. මෙලෙස ආරූඪ වීමක් ගැන කතා කරන්නේ, කුඩා කාලයේ සිටම එම ආකල්ප අප සිත තුළට ඇතුළු කර ඇති බැවිනි. ඒ නිසාම ඒවා ගැනම කල්පනා කරමින් සිටින පුද්ගලයෙකු ඒ මානසික තත්ත්වය නිසාම විවිධ රෝගාබාධවලට ලක් විය හැකියි.


 එමෙන්ම එවන් අවස්ථාවක තම මියගිය ඥාතියෙකු තමන්ට ආරූඪ වී ඇති බවක් රෝගියා මෙන්ම නිවසේ අන් අය ද අවස්ථාවන්ද තියනවා. මිනිසා තුළ තිබෙන මෙම මානසික දුර්වල බවින් ප්‍රයෝජන ගන්නා පුද්ගලයෝ මෙය අද මුදල් සොයන ජාවාරමක් බවට පත් කරගෙන සිටිති. ඔවුන් කරන්නේ, ශරීරයට ආරූඪ වී සිටින අමනුෂ්‍යයා ඉවත් කරන්න යැයි කියමින් විවිධ යාතුකර්ම කර, මුදල් ගරා ගැනීමක් පමණි. 


භූත ලෑල්ල මගින් සිදුකරන්නේ ද මෙවැනි මිථ්‍යාවකි. එවන් අවස්ථාවක රෝගී පුද්ගලයාගේ ඇඟට ආරූඪ වූ පුද්ගලයා පැමිණෙන බවත්, ඒ අවස්ථාවේ රෝගියා කතා කරන්නේ ආරූඪ වූ පුද්ගලයා ලෙසින්ම යැයි ද පැවසේ. එහෙත් එහි ඇත්තේ මනෝ විකාරී තත්ත්වයක් මිස සැබෑවක් නොවේ. තම ශරීරයට තම ඥාතියා ආරූඪ වී ඇතැයි සිතන පුද්ගලයා තුළ පවතින දුර්වල මානසික තත්ත්වය නිසා, ඔහු විසින්ම එලෙස කතා කරනවා මිස ආරූඪ වීමක් සිදුවන්නේ නැති බව පැහැදිලිවම ප්‍රකාශ කළ හැකිය. 


මේ ආකාරයට, මිථ්‍යාවක් කරා අපි ගමන් කරමින් සිටින්නේ. මළවුන් ගෙන්වාගෙන ඔවුන් සමග කතා කරනවා යන්න ද තවත් එක් මිථ්‍යා කාරණාවක් පමණි. මියගිය සැණින් ප්‍රතිසන්ධිය ලබන පුද්ගලයෙකු එලෙස යළි ගෙන්වන්නේ කෙසේද? මිනිසුන් සැම විටකම පාහේ ජීවත් වන්නේ බියෙන් සහ සැකයෙනි. එම ආකල්ප සැමවිටම මිනිසුන් තුළ පවතී. පුද්ගලයෙකු මියගිය පසු අපේ සිත්වලට බියක් සැකයක් දැනෙන්නේ අප තුළ තිබෙන ආකල්ප නිසයි. 


මායා රෝගය (Hysteria) යනු මැඩ පැවැත්විය නොහැති චිත්තවේගී ප්‍රතිචාරයක් ලෙස සාම්ප්‍රදායිකව හඳුන්වයි. මෙහිදී රෝගියා තමාට විවිධ ආබාධ ඇති බව පවසතත් ඒහා බැඳුන කිසිදු ශාරීරක හේතුවන් සායනිකව නොපෙන්වයි. මෙම රෝගය සම්පූර්ණයෙන්ම මනෝ මූලික හේතූන් මත හටගන්නා රෝගයකි. 


ඉංග්‍රීසි බසින් මායා රෝගය හඳුන්වන හිස්ටීරියා (hysteria) යන වචනය ග්‍රීක බසින් ගර්භාෂය හැඳින්වීමට භාවිත කරන hystera යන වචනයෙන් බිඳී ආවකි. මෙහි රෝග ලක්ෂණ ලෙස කාංසාව, හුස්ම ගැනීමේ අපහසුතා, ක්ලාන්තය, නින්ද නොයාම, සැක කිරීම ආදී විවිධ ආබාධ පෙන්වයි. මෙම රෝග ලක්ෂණ ඇතිවීම කෙරේ බලපාන කිසිදු කායික විද්‍යාත්මක හේතුවක් වෛද්‍යවරුන්ට සොයාගත නොහැක. විසිවන සියවස දක්වා මායා රෝගය මානසික හා කායික ආබාධවල එකතුවක් ලෙස පිළිගත්ත ද පසුව එය සම්පූර්ණයෙන්ම මනෝමූලික ආබාධයක් බව පෙන්වාදිය හැකිය. 


මෙතන දී කිසිදු ප්‍රේතයෙකුගේ හෝ අමනුෂ්‍යයෙකුගේ බලපෑමක් තිබුණේ නැහැ. මේක මුළුමනින්ම මායා රෝගී තත්ත්වයක් පමණයි. මොවුන්ගේ සිත් තුළ විඥානගතව තිබූ දේ මොවුනට මැවී පෙනෙන්නට වුණා. එය හීනෙන් පෙනෙන්නට වුණා. එම තත්ත්වය මනෝ විද්‍යාත්මක ප්‍රතිකාරවලින් සම්පූර්ණයෙන්ම සුවවුණා. 


ඉන්පසුව භූත ලෑල්ලේ විස්තරය පී.එන්. විද්‍යාකුලපති වෛද්‍යතුමා පැහැදිලි කළේය. භූත ලෑල්ලට අත තැබූ සැනින් එහි රෝද ඇති නිසා ඒ මේ අත ගමන් කරයි. භූත ලෑල්ලේ අත තබාගෙන සිටින පුද්ගලයාගේ අතට භූතයා ගෙන්වන බව මතුරමින් කියන විට අත තබාගෙන සිටින පුද්ගලයා ස්වයං මෝහනයකට පත්වෙනවා. ඉන්පසු අසන ප්‍රශ්නවල දී භූත ලෑල්ල ඒ මේ අත ගමන් කරන නිසා එම පුද්ගලයාගේ අත ඒ මේ ගමන් කර තමන්ගේ හිතේ තිබෙන විස්තර පෑන මගින් ලියැවෙනවා. ඒක සරල ක්‍රියාදාමයක් පමණයි. එය කිසිසේත්ම භූතයෙකු පැමිණ කරන දෙයක් නෙමෙයි. තමන්ගේ හිතේ තැන්පත් වී ඇති දේ පමණයි ලියවෙන්නේ. ඔබ සියලු දෙනාටම පැහැදිලි වන්න ඇති මා කිසිදු මැජික් එකක් කළේ නැහැ මනෝ චිකිත්සීය ප්‍රතිකාර ලබාදුන්නා පමණයි. එමනිසා මෙවැනි දේවලට මුලාවී තමන්ගේ ජීවිතය විනාශ කර නොගන්නා ලෙස විද්‍යාකුලපති මහතා තවදුරටත් සඳහන් කළේය. 


අද වනවිට මෙම සිදුවීම වී වසර කීපයක් ගතවී ඇතත් යළිත් මියගිය ආච්චි හෝ සීයා හෝ වෙනත් මළගිය ආත්මයක් ජීවත්ව ඉන්න වුන් සොයාගෙන කරදර කිරීමට ආවේ නැත. 

 


(මෙහිදී නම් ගම් පමණක් රෝගියාගේ ආරක්ෂාව හා පෞද්ගලිකත්වය වෙනුවෙන් වෙනස් කර ඇති අතර, සත්‍ය සිදුවීමකි.) 

 

 


සටහන ඡායාරූප - 
හබරාදුව නිමල් අල්ගෙවත්ත