සත්සර

කෙනෙකුගේ ජීවිතය වෙනත් පැත්තකට හැරෙන්නේ ඔහුටත් හොරාය. නොසිතූ විරූ මොහොතක එය සිදුවෙනු ඇති. එය සිදුවන්නේ හොඳට හෝ නරකටය. එක් රැයකින් ගායකයෙකු හෝ ගායිකාවක් වීමට සිතන සිහින කුමරු කුමරියෝ මේ රටේ කොතෙක් සිටිත්ද? වයලීන් වාදනයට අති දක්ෂයෙකු වූ හොඳ වාද්‍ය ශිල්පියෙකුට වසර ගණනක් ගොස් ගායනයට වරම් ලැබෙන්නේ නොසිතූ ලෙසය. ඔහුගේ ජීවිතයේ ඒ හැරවුම් ලක්ෂ්‍යය නිසා සිංහල සුභාවිත ගීතයේ අතිවිශිෂ්ටයෙකු එකතු වීමට වාසනාව ලැබිණ.   


සේනාධීරගේ අමරසිරි පීරිස් එකදහස් නවසිය හතළිස් හයේ ජූලි 21 වෙනිදා උපත ලැබීය.


ඇල්බට් පීරිස් පියා රිචඩ් පීරිස් සමාගමේ බෙදාහැරීමේ අංශයේ ලිපිකරුවකු ලෙස සේවය කළේය. බොරලැස්ගමුවේ උපත ලැබූ ඔහු විවාහ වූයේ මාතර මැද්දෙවත්තේ උපන් ඇම්.කේ. ඇසිලින් මහත්මිය සමගය. අමරසිරි පවුලේ වැඩිමලාය. ඔහුට අයිරින්, ශ්‍රියාලතා සහ සෝමලතා නමින් සොහොයුරියන් තිදෙනෙක් වූහ.   


මම පුංචි කාලේ සිහින මැව්වේ දුම්රිය රියැදුරෙකු වීමට. මම ඉගෙන ගත්තේ බොරලැස්ගමුවේ ආනන්ද සහ මහරගම බුවනෙකබා මහා විද්‍යාලවල. ඒ කාලේ සිටම කෝච්චිවල යනවා. මට එතකොට වයස පහක් විතර ඇති. දවසක් අම්මා මාවත් අරගෙන නුගේගොඩ දුම්රිය ස්ථානයට ගියා. මොකද මගේ මාමා (අම්මගේ මල්ලී) හමුවීමට. මාමා දුම්රිය රියැදුරෙක්. අපි මාමා එනකල් දුම්රිය විවේකාගාරයේ රැඳී හිටියා.   


ඔන්න පුතේ තව ටිකකින් මාමා එන කෝචිචිය මේ ඉස්ටේෂන් එකේ නවත්වාවි අම්මා මට කිව්වා.   


කිව්වත් වගේ කොළඹ සිට එන යකඩ යකා අඟුරු කකා වතුර බිබී එනවා හූ ශබ්දෙන්ම අපි අඳුන ගත්තා. මාමා ධාවනය කරන යකඩ යකා හති අරිමින් වේදිකාවේ නැවැත්තුවා. මට මාමාව පෙනුණේ වීරයෙක් විදිහට. මාමා උස මහත ලොකු කෙනෙක්. එයා අපි ඉන්න තැනට ඇවිත් මගේ අතින් අල්ලා ගත්තා. අපි යමු පුතේ කියලා අපිව ධාවන මැදිරිය පැත්තට එක්ක ගියා.   


අනේ මටත් කවදාහරි දුම්රිය ඩ්‍රයිවර් කෙනෙක් වෙන්න ඇත්නම් කියලා මම එදා හිතුව සිතිවිල්ල දිගටම තිබුණා. ඉස්කෝලෙ ගිය වයස අවුරුදු හතේ අටේදී යාළුවොත් එක්ක කිව්වේ එච්චර දිග කෝච්චිය එළවන්නේ එක්කෙනයි කියලා. අපේ මාමාත් එක්කෙනෙක්. එයා මට හරිම ආදරෙයි, ඔයාලවත් දවසක් මාමට කියල කෝච්චියේ ඩ්‍රයිවර් ඉන්න කාමරේට එක්ක යන්නම්.   


යාළුවොත් සතුටු වුණා කෝච්චියකින් දුර ගමනක් යන්න. මම අම්මටයි, තාත්තටයි කීවෙ මම කවද හරි දුම්රිය රියැදුරෙක් වෙනවා කියලා.   


තම මාමා පියසෝම නානායක්කාර එසේ වීරයා ලෙස අමරසිරි සලකන අතර දෙවැනි වීරයා වූයේ තාත්තාය. එසේ නම් අමරසිරි සංගීතය ප්‍රිය කිරීමට ඉගැනීම පෙලඹුණේ කෙසේද?   


පැහැදිලිවම සංගීතය පැත්තට යොමුවුණේ තාත්තාගේ ආභාසය නිසා. තාත්තා සංගීතඥ එච්.ඩබ්ලිව්. රූපසිංහ මාස්ටර්ගේ මුල්ම ගෝලයා කියලා මිත්‍රයන්ට කියනවා මම අහල තියෙනවා. ඒ කාලේ රූපසිංහ මාස්ටර් මාතර ඉඳල ඇවිත් අපේ ගෙදර නැවතිලා පසුදාට රේඩියෝ සිලෝන් එකට ගියාලු. ඒ 1954 විතර. තබ්ලා වාදනය මාස්ටර්ගෙන් ඉගෙන ගත් තාත්තා එකල ලංකාව පුරා සිටි ප්‍රභූන්ගේ නිවෙස්වලට ගිහින් සංගීත සාජ්ජවලදී රූපසිංහ සාදිරිස් එඩී යන එදා ප්‍රකටම සංගීත මාස්ටර්ලාට තබ්ලාවෙන් සහාය වී තිබෙනවා.   
ගුවන් විදුලියෙන් විකාශය වූ ශාස්ත්‍රීය වාදනවලට තබ්ලා වාදනයෙන් සහාය වූ තාත්තා ගායකයකු ලෙසද ප්‍රකටව ඉඳල තියෙනවා. රත්න ජංකර්තුමා ලංකාවට පැමිණ පැවැත්වූ පරීක්ෂණයෙන් තාත්තාට ලකුණු 78 ක් ද රූපසිංහ මාස්ටර්ට ලකුණු 80 කුත් ලැබුණලු.   


අමරසිරි පීරිස් ගෙදර තිබූ මර්ෆි රේඩියෝවෙන් ඒ කාලේ ප්‍රචාරය වූ දිල්ලිය, බොම්බාය, හයිද්‍රාබාද් සංගීතය අහන්න මොකක්දෝ ආසාවක් ඇති වී ඇත. ඒ ALL India Radio එකෙන් ප්‍රචාරයවූ ඒ සංගීතය රස විඳීමට යොමු කළේ තාත්තාය.   


පුතා ඔයාගේ පැත්තටම යාවි... අමරසිරි රේඩියෝවට කන්දීගෙන සිටියදී අම්මා තාත්තාට කීවාය.   


නෑ එයා ඕනැ තරම් සංගීත ඇහැව්වට මගේ පැත්තට එයාව ගන්න මම කැමති නෑ. මාමා වගේ රේල්ලුවේ හොඳ රක්ෂාවකට යන්න උනන්දු කරවමු. තාත්තා අම්මාට කීවේ ඇසෙන නෑසෙන හඬිනි.   


ගෙදර තිබූ ග්‍රැම​ෙෆා්නයෙන් අමරසිරි ශම්ෂාද් බෙගම්, නූර්ජහාන්, සයිගාල්, තලාද් ​ෙමහෙමුද් වැනි ගායක ගායිකාවන්ගේ ගීත රසවිඳි අතර අමරදේව, ආනන්ද සමරකෝන් ගීත ශ්‍රවණය කරන්නැයි බලකර සිටියේ තාත්තාය. එතැන් සිට ඔහුගේ ප්‍රියතම ගායකයා වී ඇත්තේ අමරදේවයන්ය.   


මම අමරදේව සර්ගේ ගීත ගෙදරදී පුන පුනා ගායන කරනවා. ඒත් මම අනාගතයේ ගායකයෙක් වෙනවා කියලා තුන්සිතකින්වත් හිතුවේ නෑ.   


අරලිය මල් සුවඳ දිදී වසන්තෙ   

මධුරහාර වේ සතර දිගන්තෙ   


අමරදේව සර්ගේ ඒ ගීතයට මම ඒ කාලේ කැමත්ත දැක්වූවා. මගේ ගීත අහල අම්මා මට අපේ ගෙදර තිබුණ පුට් බැලෝ (පයින් පාගන) සර්පිනාව ළඟට එක්ක ගිහින් පුටුවකට කොට්ටයක් තියලා ඉන්දලා වාදනය කරන්න කිව්වා. අම්මා කකුලෙන් පාගලා රුකුල් දුන්නා. තාත්තා සර්පිනා වාදනය කරනවා දැකල මට ස්වර මතක තිබුණා. ඒ සර්පිනාව කාර්ගිල්ස් සාප්පුවෙන් ගත්ත ඉස්තරම්ම එකක්.   


මගේ ප්‍රියතම හින්දි ගසල් ගායකයා හා චිත්‍රපට ගායකයා වුණෙ තලාත් මෙහෙමුද්. ක්‍රමයෙන් මම ත්‍යාගරාජා භගවතා, ගණ්ඩසාල ආදීන්ගේ කර්නාටික් සංගීතයට ප්‍රිය කළා. මගේ බාප්පා කෙනෙකු වූ වින්සන්ට් පීරිස් සංගීත ශිල්පියෙක්. ඔහු මගේ හැකියාවන් ගැන උනන්දුව ගැන පැහැදිලා එයාගේ දෙහිවල තියෙන සංගීත පන්තියට මාව බඳවා ගත්තා. ඒ කාලේ මා සමග ඒ දෙහිවල පන්තියට ආව අය අතර අතුල සෝමසිරි, රූපා ඉන්දුමතී, ලූෂන් බුලත්සිංහල, අනුලා කරුණාතිලක මට මතක් වන නම්.   


අමරසිරිගේ ප්‍රියතම වාද්‍ය භාණ්ඩය වයලීනයයි. මේ බව දැනගත් පියා ඉතාලියේ සාදන ලද අමාටි නම් ඉස්තරම් වයලීනය කාර්ගිල්ස් සාප්පුවෙන් ගෙනත් දුන්නා. බාප්පාගෙන් වයලීනය ඉගෙන ගත් ඔහු අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගයෙන් විශිෂ්ට සම්මානයක් ලබාගත්තේය.   


දුම්රිය රියැදුරෙකු වීමට තිබූ ඔහුගේ සිහිනය ටික ටික බොඳ වී ගියේය. දැන් ඔහුට අවශ්‍යව ඇත්තේ රජයේ සංගීත විද්‍යාලයට ඇතුළු වීමටය. 1962 වසරේ ඔහු එහි මූලික පරීක්ෂණයට පෙනී සිටි අතර එදා ඒ සඳහා විදුහල්පති ලයනල් එදිරිසිංහ, පී. ඩන්ස්ටන් ද සිල්වා මහතුන්ද ජානකී ගුණවර්ධන මහත්මියද ඉදිරියේ වයලින් වාදනයක් ඉදිරිපත් කළේය.   


හොඳයි දැන් ගායනයක් ඉදිරිපත් කරන්නැ යි ලයනල් එදිරිසිංහ විදුහල්පතිවරයා අමරසිරිට කීය.   


සර් මම වාදනය ඉගෙන ගන්න කැමතියි. ගායනයට මම කැමති නෑ.   


කමක් නැහැ. තමුන් දන්න ගීතයක් කියන්න.   


අමරසිරි නිරුත්තර විය.   


ලයනල් එදිරිසිංහ මහතාත් අමරසිරිගේ පියාත් මිත්‍රයන් බව අසා තිබුණත් මා ඒ ගැන කිසිවක් පරීක්ෂණයේදී කියා නැත.   


එහෙනං තාත්තා ගයපු ගීතයක්වත් කියන්න.   


ඔහුට එකවරම මතකයට ආවේ බාප්පාගේ තනුවකට තාත්තා ගැයූ ගීතයක කොටසකි. එය එකල ගුවන් විදුලියෙන් (1962) ප්‍රචාරය වූ විසිපස් වසරකට පෙර සංගීතය වැඩසටහනින් ගැයූ ගීතයක කොටසකි.   


අජපල් නුග මූලයෙහි තීරයේ අනෝමා   


අමරසිරි පරීක්ෂණයෙන් සමත් විය. ඔහුගේ පන්තියේ හිටිය වයලීනය ඉගෙන ගන්න ආව දෙන්නෙක් ලංකාවේ දක්ෂතම වයලීන් වාදකයෙක් මෙන්ම ජනප්‍රිය ගායකයන් වූහ. වික්ටර් රත්නායක හා මර්වින් පෙ​ෙර්රා ඒ දෙදෙනාය. ඔවුන්ගේ ගුරුවරයා වූයේ ගුණසේන ද සිල්වා මහතාය. දිනක් වයලින් පන්තියෙන් පසු අමරසිරිට ගුරුවරයා කතා කළේය.   


ඔයා කොහෙද යන්නේ   

මම ගෙදර යනවා සර්   


බෑ බෑ ගෙදර යන්න බෑ. දැන්ම යන්න ගායනා පන්තියට.   


අමරසිරි ගායනා පන්තියට ගියේය. අමරදේව මහතා එහි විය. එස්.ඩී.ඇස්. ජයසේකර, ප්‍රේමවංශ හපුවලාන, ශාන්ති ගීතදේව, අමරා රණතුංග සෙසු ගුරුවරු හා ගුරුවරි​ය වූහ.   
මම අමරදේව සර් ගායනය උගන්වනකොට සමාධියට සම වැදිලා වගේ බලන් හිටියා. මගේ ප්‍රියතම ගායකයා ඔහු. ඔහුගේ හඬත් වාද්‍ය භාණ්ඩයක් වගේ. මගේ ප්‍රියතම ගීතය වුණේ එතුමාගේ මහ බෝවන්නම. අනාගතේ ගායකයකු වන්නට එයම බලපාන්න ඇති. එදා මා සමග සංගීත විද්‍යාලයේ ඉගෙන ගත් පසුව දක්ෂතම වාද්‍ය ශිල්පීන් වූ කිහිපදෙනෙකුගේ නම් මට මතකයට එනවා.   


සේන වීරසේකර, වයි.එම්. සුමනසිරි, විජේරත්න රණතුංග, පුණ්‍යසිරි මහවත්ත, වින්සන්ට් ප්‍රේමසිරි. අපි ඒ කාලේ වැඩියෙන්ම ගැවසෙන්නේ ජයන්ත වීරසේකර මාවතේ සේන වීරසේකරගේ චමරියෙ. සේනගේ පියා වූ හෙළ හවුලේ මහ පඬිවරයකු වූ ජයන්ත වීරසේකර මහතා. එතුමගේ නමින් ඔහු සිටි පාර නම් කරලා තිබුණේ. ජයන්තත් ද්විභාෂා උගත් බොහෝ ඇසූපිරූ තැන් ඇති විද්වතෙක්.   


අමරසිරි 1967 දී ලංකා ගුවන් විදුලියේ වාදක මණ්ඩලයට එක්වූ අතර 1970 දසකයේ නිෂ්පාදිත චිත්‍රපට 100 කට වැඩි ප්‍රමාණයක පසුබිම් සංගීතයට හා ගීතවලට වයලීනයෙන් දායක වී ඇත. අමරදේව, ෂෙල්ටන් ප්‍රේමරත්න, ලයනල් අල්ගම, ප්‍රේමසිරි කේමදාස ආර්.ඒ. චන්ද්‍රසේන වැනි විශිෂ්ට සංගීත අධ්‍යක්ෂවරුන් යටතේ ඔහු වයලීන් වාදකයකු ලෙස දායක වී ඇත.   


එකල සංගීත විද්‍යාලයට ඉගෙනීමට පැමිණි බොහෝ ශිෂ්‍යයන්, තමන් සිත්ගත් සිසුවියන් පිළිබඳ සිත් ඇති කර ගත්හ. ඒවා කෙළවර වූයේ විවාහයකිනි. එස්රාජ් වාදනයට සංගීත විද්‍යාලයට පැමිණි නන්දා කෝරළගේ ශිෂ්‍යාව ගැන අමරසිරිට සිතක් පහළ විය. තම සිතැඟි අමරසිරි විජේරත්න රණතුංගට කීවේය. පාදුක්කේ සිට පැමිණෙන නන්දා හා අමරසිරි කැන්ටිමට ගෙන්වා තේ පැන් සංග්‍රහයක් කොට ඔවුන්ගේ සිත් එක් කිරීමට පසුබිම් වීරයා වූයේ විජේරත්නය.   


ප්‍රේමසිරි කේමදාස නම් මහා ගාන්ධර්වයා හා අමරසිරි පීරිස් නම් ප්‍රවීණ වයලීන් වාදකයා අතර ඇති අවියෝජනීය සබඳතාව සංගීත ක්ෂේත්‍රයට රහසක් නොවේ. අමරසිරි නැතිව කේමදාසයන්ට කිසිම සංගීත කටයුත්තක් කිරීමට බැරි විය. කැසට් ගීතය, පසුබිම් සංගීතය, සිනමානුරූපී ගීතය සහ සංගීතය, සංධ්වනි, කැන්ටාටා, ඔපෙරා යන කේමදාසයන්ගේ සංගීත බළකායේ දෙවැනි මුලාදෑනියා අමරසිරිය. කේමදාසයන් හා වැඩ කිරීම යුද්ධ කරනවාට වඩා අපහසු බව කවුරුත් දනිති. අමරසිරි කේමදාසයන් සමග වැඩ කිරීමකදී අමාරුවේ වැටුණ අවස්ථාවක් ඔහු මට මතක් කළේය.   


1964 දී පමණ මට මතකයි එක්තරා චිත්‍රපටයකට තේමා සංගීත පටිගත කරන අවස්ථාවකදී නිවැරදිව වයලීනයේ බෝ එක හැසිරවීමට බැරිව මා දැඩි අපහසුතාවකට පත්වූ අවස්ථාවක්. මා ඉදිරියේ සිටි ප්‍රවීණ බටහිර සංගීත ශිල්පීන් හමුවේ මම තරමක අපහසුතාවකට පත්වුණේ. ඊට ප්‍රථම විවිධ සංගීත අධ්‍යක්ෂවරුන්ගේ නිර්මාණවලට සහභාගි වී සිටි මට එම අවස්ථාව අමතක නොවන අත්දැකීමක්.   


ව්‍යවහාරික සංගීතය ඔස්සේ කරනු ලබන එවැනි නිර්මාණයක් සඳහා වයලීන පිළිබඳ රජයේ සංගීත විද්‍යාලයකින් මා ලත් දැනුම ප්‍රමාණවත් නොවන බව මට පසක් වුණා. ඉන්පසු ප්‍රේමසිරි කේමදාසයන්ගේ උපදෙස් මත ප්‍රවීණ සංගීතඥයකු වන ඩග්ලස් ෆර්ඩිනන්ස් මහතා යටතේ වයලීන් වාදනය පිළිබඳ තාක්ෂණික දැනුමක් ලැබ ගත්තා. ඒ අවස්ථාව පවා මට ලැබුණේ කේමදාසයන්ගේ ඇසුර නිසා.   


මගේ ප්‍රථම ගීතය ගැයීම තුළින් ගීත දහසක් ගයන ගායකයකු ලබන ශ්‍රාවක ප්‍රතිචාරයම මා ලද බව කිව යුතුයි. මා ප්‍රථම වරට ගීතයක් ගායනා කිරීමට ලැබීමත් අහම්බයක්. අසූව දසකයේ කේමදාස මාස්ටර් ගීත කිහිපයක් පටිගත කරමින් හිටියා. මාස්ටර් සින්දු කීපයක් පටිගත කර කලබලයෙන් එහාට මෙහාට ඇවිදිනවා. නීලා, අයිවෝ, ටී.එම්. ගේ ගීත පටිගත කරල ඉවරයි. එදා අනික් ගීත පටිගත කරලා වාදක මණ්ඩලය ගෙදර යන්න සූදානම් වුණා.   


අමරසිරි යන්න එපා. තව වැඩක් තියෙනවා.   


ඇයි මාස්ටර්   

සින්දුවක් කියන්න තියෙනවා.   


මම කේමදාස මාස්ටර්ගේ තනුවකට සින්දුවක් කියන්න ආසාවෙන් හිටියේ. මොකක්ද මේ සිද්ධ වෙන්නෙ? මෙය සැබෑවක්ද? මායාවක්ද? මට කලකට පෙර වූ සිද්ධියක් සිහිපත් වුණා.   


දවසක් ගීත රචක රන්බණ්ඩා සෙනෙවිරත්න ඔහු ලියපු පද රචනයක් අරගෙන ඇවිත් මටත් කේමදාස මාස්ටර්ටත් බැන්නා. මම ලිව්ව ලස්සන ගීතයක් මේ ඇයි මේක නොකරන්නේ කියලා. ඒ ගීතය තමයි මාස්ටර් මට කියලා කියවන්න ලෑස්ති වුණේ. මේ ගීතය මම ගායනා කළා.   


ළඳුනේ ළඳුනේ  
ඔබේ දෑස දැක ගත්තෙමි  සැඳෑ කලෙක ළඳුනේ   
දෙනෝ දහක් අත ගත්තද  සැමියෙකු නැති ළඳුනේ   
නෑයින් නෑකම් නොකියන  වීදි සරන ළඳුනේ   
තෙල් මල් ගෙන දෝත පුරා  බුදු කුටියට පිය මං වන   
ඔබේ දෑස දැක ගත්තෙමි සැඳෑ කලෙක ළඳුනේ   
බුදුන් දැක නිවන් දකිමැයි දෙව්රම යන පාර අහන   
ඔබද පටාචාරාවකි ඔබද කිසා ගෝතමියකි   
පිරිමින්ගේ පාප කඳට දෝස විඳින ළඳුනේ   
අඳුරේ පව් කරන දනා එළි​ෙය රවන ළඳුනේ   
ළැම පමණක් ලොවට පෙනෙන ළය නොපෙනෙන 
ළඳුනේ  කුහුඹුවෙකුට වරදක් නැති  වැරදිකාර ළඳුනේ 

 
මම ගීතය කියනවා බලාගෙන කීපදෙනෙක් හිටියා. මම චකිතයකින් මයික් එක ළඟට ගියා. රන්බණ්ඩා සෙනෙවිරත්න, අජන්තා රණසිංහ, ධර්මසිරි ගමගේ, ලතා බලන් ඉන්නවා. ශබ්ද පරිපාලක මර්වින් බෙන්ස්. රතු එළිය වැටුණා.   


ටේක්වන් ඕකේ ඒ බෙන්ස්ගේ හඬ.   


මම මාස්ටර් ගාවට ගියා. මාස්ටර්ගේ මුහුණේ සිනා දෝරේ ගිහින්.   


මාස්ටර් අපි තව එක පාරක් ගම්මුද?   


විකාර කතා කරන්න එපා මාස්ටර් සැරෙන් කිව්වා.   


අපි හිතුවට වඩා අමරේගේ හඬේ ලොකු බරක් තියෙනවා. අජන්තා රණසිංහ කීවා.   


ඒ එක්කම මහාචාර්ය ජේ.බී. දිසානායක මාස්ටර් හමුවෙන්න ආවා. මාස්ටර් කිව්වා. අපි අලුත් සින්දුවක් කළා. ඒකත් අහල බලමු කියලා. මහාචාර්යතුමා ගීතය සාවධානව අහල මිස්ටර් අමරදේව අලුත් සින්දුවක්ද? ඇසුවා. නැහැ මේ අපේ අමරසිරි කියපු පළමු වැනි ගීතය කියලා මාස්ටර් හිනාවුණා. අමරසිරි කීවේය.   


වරක් අජන්තා රණසිංහ අමරසිරි පීරිස් අලුත් ගායකයකු ලෙස අමරසිරි සේනාධීර නමින් පුවත්පතකින් හඳුන්වා දුන්නත් අමරසිරි ඒ නමට කැමති වී නැත. අමරසිරි ගැයූ මුල්ම චිත්‍රපට ගීතය සිරිමැදුර චිත්‍රපටයට ගැයූ මරණ තුනක් ඇති මිනිසෙක් බලා සිටී. ගීතයට හොඳම ගායකයා ලෙස සරසවිය සම්මානය හා ස්වර්ණ සංඛ සම්මානය දිනාගත්තේ ඒ ගීතයේ රචක ලූෂන් බුලත්සිංහල හා ගීතයේ සංගීත රචකයා වූ කේමදාස මාස්ටර් සමගය. ඉන්පසු දිගින් දිගට අමරසිරි චිත්‍රපටවලට හා ටෙලි නාට්‍ය, නාට්‍ය ගීත සඳහා සම්මාන ලැබීය.   


අමරසිරි පීරිස්ගේ පුතා මාධව ගායකයකු මෙන්ම දක්ෂ ගිටාර් වාදකයෙකි. ඔහු ඉතාලියේ වෙසෙයි. දුව ජානකී දේවි බාලිකා විද්‍යාලයේ සෞන්දර්ය උපදේශිකාවකි. අනුරාධා දියණිය නැටුම් ශිල්පිනියකි. ඇය ඕස්ට්‍රේලියාවේ පදිංචිව සිටින්නීය. නදීරා දුව ලංකා බැංකුවේ මිලාගිරිය ශාඛාවේ කළමනාකාරිනියයි. සුභාෂිණී මාපියන් සමග වෙසෙන්නීය. 

 

 

 

ඒ.ඩී. රන්ජිත් කුමාර