සලරුවක කතාව

‘‘1815, ඔක්​තෝබර් මාසය මුල දවසෙක සවස් කාලයේ සූර්යාස්ථයට පැයකට පමණ පෙර - පයින් ම ගමන් ගත් එක්තරා මිනිසෙක් ප්‍රංශයේ දා.......... නම් කුඩා නගරයට පිවිසියේය. ​ෙම් වේලාවේ ගෙදොර සිටි නුවරුන් ඔහු නැරඹුයේ තරමක් සැක සංකාවෙනි. අනන්තයට ම පින් පිරිහුණු දැකුම් ඇති මඟියා නූස් ය; නො මිටිය; කාය බලයෙන් ඔද වැඩුණු නි​රෝගී දේහයෙන් යුක්ත ය. ඔහුගේ වයස හවුුරුද සත සාළිසක් නොහොත් අට සාළිස් යයි කිව හැකි යි. හිරු රැසින් දැවී මැලවී ඩා දියෙන් තෙමී ගිය මුහුණ පැත්තක් වැසෙන සේ යම් කේතුවෙකින් යුක්ත ශිරස්කයක් හේ ලා සිටියේ ය. කසාවන් දළ පිළියෙන් පිළියෙළ කොට රිදී අංකරයෙකින් කර පියවා අඳින ලද ඉහිල් අංගරකාව අස්සෙන් ලොමින් ගැවැසි ඔහු ළ පැත්ත පෙනිණි. දෙපට කොට ඇඹරූ රැහැනක් සේ හගළ දෙපසින් රැඳ රෙදි පටියෙක දවටා ඇඳ සිටි සරුවාලය නිල් මෙට්ට රෙදි වර්ගයෙකින් මසන ලද්දෙකි ය. පැරැණිය; එක් දණ හිසෙකින් ඉරී වියැකී අනෙක් දණහිසෙන් සායම් දිය වී සුදට පෙනිණ, කමිසයට උඩින් ඇඳ සිටි කංචුකය ද අණ්ඩ ඇල්ලුණු වැරැහැල්ලෙකි. කට ගහ පිරි ලොකු අලුත් ඔලොඟුවක් පිටෙන් එල්ලා ගෙන සිටි ඔහු අතෙහි ගැට ​ෙමාට මහ මුඟුරෙක් ද පාද ජාලා සහිත දෙපයෙහි යකඩ ඇඩි ගැසුණු සපත්තු සඟලෙක් ද විය. ඔහු හිස මුඩුය; රැවුල මහත්ය. ඩා දිය, දාහය, දූලි, ගමන් විඩාව යන මේ ආදිය නිසා මගියාගේ දුගී පෙනුම වඩාත් අශෝභන වී ය.   


අයි.ඇම්.ආර්.ඒ. ඊරියගොල්ල විසින් 1953 වසරේ ලියා පළ කළ පෙරමුණ මුද්‍රණාලයයේ මුද්‍රිත ‘‘මනුතාපය’’ නම් කෘතියේ ප්‍රධාන චරිතය වූ ජනවර්ජන ගැන පළමු පරිච්ඡේදයෙන් හඳුන්වා දෙන්නේ ඒ ආකාරයටය. ප්‍රංශ මහා ලේඛක වික්ටර් හියුගෝ විසින් ලියන ලද ‘‘ද ලේ මිසරාබ්ල’’ (Les Miserables) නවකතාවේ සාංක්ෂිප්ත සිංහල පරිවර්තනයක් වූ ‘‘මනුතාපය’’ 1957-1960 ඉංග්‍රීසි සිංහල පොදු සහතික පත්‍ර විභාගයට නියමිත පාඨ ග්‍රන්ථයක් විය.   


Les Miserables ඇසු​ෙරන් ඉංග්‍රීසි භාෂාවෙන් නිපදවූ 1935 වසරේ Twentieth century Pictures සමාගම විසින් චිත්‍රපටයක් නිපදවා ඇත. එහි ප්‍රධාන චරිතය රඟපෑවේ Fredric March ය. සෙසු චරිත රඟපා ඇත්තේ Charless Laughton, cedric Hardwicke හා Rochelle Hudson ය. අධ්‍යක්‍ෂවරයා Richard Boleslawski ය. 1935 අප්‍රේල් 20 වෙනිදා ලෝකය පුරා රටවල මේ චිත්‍රපටය ප්‍රදර්ශනය වූ අතර එහි ධාවන කාලය විනාඩි 108 කි. මෙහි ප්‍රංශ භාෂාවෙහි නිපැයූ I Miserabili චිත්‍රපට 1958 මාර්තු 18 වෙනිදා තිරගත වී ඇත. අධ්‍යක්‍ෂණය Jean - Paul Le chanois ය. චිත්‍රපටයේ ධාවනය කාලය විනාඩි 217 කි. ප්‍රධාන චරිතය රඟපා ඇත්තේ Jean Gabin ය.   


මේ කතාව ඇසුරෙන් K. Ramnoth අධ්‍යක්‍ෂණය කළ Ezhai Padum Paady ‘‘එලෙයි පාඩම් පාඩු’’ ද්‍රවිඩ චිත්‍රපටය 1950 නොවැම්බර් 06 වෙනිදා තිරගත වී ඇති අතර එය ලාංකීය ජනතාවට නැරඹීමේ අවස්ථාව ලැබී ඇත. Chittor V. Nagaiah, M.N. Ranjam, Javar seetharaman ප්‍රධාන චරිත රඟපෑ මේ චිත්‍රපටයේ ධාවන කාලය විනාඩි 197 කි. මේ කතාව ඇසුරෙන් සොරාබ් මෝඩි (Sohrob Modi) නිපදවූ ‘‘කුණ්ඩාන්’’ (Kundan) චිත්‍රපටය 1955 තිරගත විය.   


1956 අගෝස්තු 10 වෙනිදා තිරගත වූ ‘‘දුප්පතාගේ දුක’’ චිත්‍රපටයට ඍජුව බලපෑවේ Ezhai Padum Paadu (එලෙයි පාඩුම් පාඩු) දෙමළ චිත්‍රපටයයි.   


1955 වෙන විට සිනමාස් සමාගම ‘‘සුජාතා’’ (1953) ‘‘වරද කාගේද’’, ‘‘රදළ පිළිරුව’’ (1954), ‘‘දොස්තර’’ (1956) චිත්‍රපට නිපදවා තිබුණී. මුල් වරට විදේශීය නව කතාවක් තම අලුත්ම චිත්‍රපටය සඳහා තෝරා ගැනීමට නිෂ්පාදක කේ. ගුණරරත්නම් සිතුවේය. ඒ සඳහා 1950 තිරගත වූ ‘‘එලෙයි පාඩුම් පාඩු’’ චිත්‍රපට කතාව​ තෝරා ගත්තේය. මේ චිත්‍රපටයේ මුල්ම නම ‘‘කාලකණ්ණියා’’ ය. සේලම් නුවර මොඩර්න් චිත්‍රාගාරයේ චිත්‍රපට අධ්‍යක්‍ෂවරයකුව සිටි ඒ. මිත්‍රදාසන් (ඇන්ටනි මිත්‍රදාස) අධ්‍යක්ෂවරයා විය. මේ චිත්‍රපටය රූප ගත කළේත් සිනමාස් සමාගම නිෂ්පාදනය කළ ‘‘රදළ පිළිරුව’’ මොඩර්න් චිත්‍රාගාරයේ රූගත කරන කාල​ෙය්දීමය. එහි අධ්‍යක්‍ෂවරයා වූයේ ටී.ආර්. සුන්දරම්ය. ‘‘රදළ පිළිරුව’’ ටී.බී. ඉලංගරත්න ද, ‘‘දුප්පතා​ගේ දුකට’’ සුදුසු අන්දමට සකස් කිරීමේ වගකීම පැවරී තිබුණේ හියුගෝ ප්‍රනාන්දුටය. එහි දෙබස් රචනා කිරීමටද එහි එන ‘‘පුර හඳ ලෙස මම බබලනවා’’ (ගායනය - ලතා), ‘‘ඉඟි බිඟි පාලා කුල්මත් වීලා’’ (ගායනය - ලතා හා දක්‍ෂිණමූර්ති), ‘‘සේතන් අයියාගෙ හෙ​ා්ටලෙ මේ’’ - (ගායනය - ඩොමී ජයවර්ධන හා ලතා) යන ගීත රචනා කිරීමටද ඔහුට භාර විය.   
‘‘දුප්පතාගේ දුක’’ චිත්‍රපටයේ සංගීත අධ්‍යක්ෂවරයා එස්. දර්ශන මූර්තිය. එහි හියුගෝ ලියූ ගීත මෙන්ම ඩී.ටී. ප්‍රනාන්දු රචනා කළ ‘‘චන්ද්‍රා කාන්ති සාගරේ’’ (ගායනය - ජී.එස්.බී. රාණි පෙරේරා), ‘‘තමන් සතු ​ෙද් දෙන්න අනුන් සතු දේ නොගන්න’’ (ගායනය - ​​​ෙමාහිදීන් බෙග්), ‘‘ශ්‍රී ලංකාවේ ජාතික ජීවේ’’ (ගායනය - ලතා සහ පිරිස), ‘‘දුක් වේදනා වින්දේ අ​හෝ’’ (ගායනය - ජී.එස්.බී. රානි පෙ​ෙර්රා), ‘‘ආයි ආයි ලොව පෙරළෙනවා’’ (ගායනය - ලතා), ආනන්ද සමරකෝන් රචනා කළ ‘‘වෙසතුරු මහ රජිඳා’’ (ගායනය - මොහිදීන් බෙග්) ගීත අතිශයින්ම ජනප්‍රිය වී ඇත.   


‘‘දුප්පතාගේ දුක’’ චිත්‍රපටයේ කතාව විකාශනය වී ඇත්තේ මෙසේය.  


බලදේව කරුණාබර හදවතක් ඇති පුද්ගලයෙකි. එහෙත් ඔහු දුප්පත්ය. දිළිඳුය. ඔහුට ආධාර උපකාර කිරීමට කිසිවකු සිටියේ නැත. ඔහුගේ නැඟනිය කණවැන්දුම් තැනැත්තියක් නිසා ඇයගේ සිඟිති දරුවන්ගේ නඩත්තුව සැළසීමට ද බලදේවට නොයෙක් දුක් ගැහැට විඳීමට සිදුවිය. දරුවන්ගේ කුස ගින්න නිවීමට ඇතැම්විට බැල මෙහෙවර කළේය. සොරකම් කළේය. වරෙක ඔහු පාන් ගෙඩියක් සොරකම් කළේ දරුවන්ගේ බඩගින්න බලා සිටිය නොහැකි නිසා ය. වරක් පාන් ගෙඩියක් සොරා ගනිද්දී ඔහු පොලීසියට හසු වී සිරගත වෙයි.   


මේ අතර කම්කටොළු මැද කණවැන්දුම් නැඟනිය හා ඇගේ දරුවන්ට භයානක ඉරණමකට මුහුණ දීමට සිදු වෙයි. දරුවන්ගෙන් ඉතුරුවූයේ පද්මා නම් දරුව පමණි. වැඩිවියට පත් පද්මා මන පිනවන රූමත් තැනැත්තියක් වූවාය. අවාසනාවට ඇය කාමුකයකුගේ වසඟයට පත්ව අනාථ වෙයි.   


බලදේව සිර ගෙදරින් නිදහස්ව ආ පසු ද අවුරුදු පහක් යන තෙක් පොලීසියේ පෙනී සිටිය යුතු විය. ඔහු කුසගින්නට ගෙයක් ගෙයක් ගානේ ගිය ද වතුර පොදක් දීමට ද කිසිවකු ඉදිරිපත් ​ෙනාවීය. වරක් ඔහුට නගරයේ පූජකතුමාගේ කරුණාව හිමි වී දේවස්ථානයේම නතරවීමට ඉඩ ප්‍රස්ථාව උදා විය. රාත්‍රියේ නින්දට ගිය ඔහු දිලිසෙන රිදී භාජන දැක ඒවා සොරා ගැනීමට ලොල් වෙයි. ඔහු එළිවීමට ප්‍රථම ඒ රිදී භාණ්ඩද රැගෙන යද්දී පොලීසියට හසු​ෙවයි. රිදී භාණ්ඩ ද බලදේව ද පොලිස් නිලධාරීහූ දේවස්ථානයට කැටුව යති. එහිදී පූජකතුමා ඔහු නිදහස් කර ගනී, තවත් රිදී බඳුන් ඔහුට දෙන පූජකතුමා ‘‘මේවා විකුණා මුදල් කොට වෙළඳ ව්‍යාපාරයක් අරඹා දියුණු වීමට’’ උපදෙස් දුන්නේය.  


දැන් බලදේව නගරයේ ඉහළ පෙළේ ව්‍යාපාරිකයා ය.   


ඔහු දුප්පතුන්ට උපකාර කළේය. ඒ වෙනවිට මියගිය පූජකතුමාගේ උපදෙස් ඔහු අකුරටම පිළිපැද්දේය. ඔහු නගරයේ නගරාධිපතිවරයා වෙයි. ජනතාව ඔහුට කැමැතිය. ඔහුගේ පරිත්‍යාගශීලී ගති ගුණ කවුරුත් අගයති.   
එහෙත් ඔහුට සතුරෙක් සිටියේ ය. ඒ ඉන්ස්පෙක්ටර් ජයසිංහ ය. ඔහු නීතිය අකුරටම ඉටුකරන අවංක එහෙත් හදවතේ තෙතමනයක් නැති පුද්ගලයෙකි. සිරගෙදර සිටම දැන සිටි ඔහුට නව නගරාධිපතිවරයා නීතියේ රැහැනට හසුකර ගත හැකි මං සෙවීය. ඒ හැම අවස්ථාවකම බලදේව හිතට අවංකව ඇත්ත කීවද අධිකරණය එය පිළි නොගනී. ඉන්ස්පෙක්ටර් ජයසිංහ ඒ හැම තැනකදීම පරාජයට පත්වෙයි. අවසානයේ ඔහු නීතියේ ගරුත්වය ගැන සිතා දිවි නසා ගනී, බලදේව යහපත් ජීවිතයකට පිවිස, නැති බැරි අයට උදව් කරයි.   


බලදේවගේ චරිතය රඟපෑ​ෙව් වේදිකාවේත්, සිනමාවේත් ජය කෙහෙළි නංවා සිටි ලැඩී රණසිංහ ය. ලැඩීගේ විශිෂ්ට රඟපෑම පොදු ප්‍රේක්‍ෂකයන්ගේ මෙන්ම විචාරකයන්ගේ ප්‍රසාදයට හේතු විය. ඉන්ස්පෙක්ටර් ජයසිංහ ලෙස රඟපෑවේ මාක් සමරනායක ලැඩීට නොදෙවෙනි ලෙස රඟපෑවේය. මාක්ගේ ද චිත්‍රපට ජීවිතයේ විශිෂ්ටතම රඟපෑම වූයේ මේ චරිතයය. 

 
ලැඩී හැමවිටම කීවේ මේ චිත්‍රපටයේ හොඳම නළුව තමා නොව මාක් කියාය. මාක් කීවේ තමා යම් සාර්ථක රඟපෑමක් ඉදිරිපත් කළ ද එයට බලපෑවේ ලැඩී කියාය. ‘‘කතා දෙකක් නෑ ලැඩී තමයි මිනිහා. හොඳම නළුවා ඔහු’’ මාක් කියා ඇත.  


ලැඩී පාන් ගෙඩියක් සොරා ගන්නා දර්ශනය ගැන මහජන ප්‍රදර්ශක මණ්ඩල මැසිවිලි නැඟූ බවක් අපට අසන්නට ලැබුණි. චිත්‍රපටය සමඟ තිරගත වූ ‘‘වෙස්සන්තර’’ ජාතකය ඇසුරෙන් නිපදවා තිබූ දර්ශනාවලියට මහජන ප්‍රදර්ශක මණ්ඩලයේ විරෝධය පළ වී ඇත. 1956 අගෝස්තු 17 වෙනදා ‘‘ජනතා’’ පත්‍රයේ ‘‘වෙස්සන්තර නැටුම කෝ?’’ ගැන මැයෙන් රාජා තිලකරත්න ප්‍රවෘත්තියක් පළ කොට තිබුණි. තම චිත්‍රපටයේ එන ‘‘වෙස්සන්තර ගීය’’ (මොහිදීන් බෙග් ගැයූ වෙසතුරු මහ රජිඳ’’ ගීත මහජන ප්‍රදර්ශන මණ්ඩලය මගින් කපා ඇතැයි නිෂ්පාදක කේ. ගුණරත්නම් තැපැල් ඇමති ඒ.සී.එස්. මරික්කාර් මහතාට පැමිණිලි කොට තිබුණි. පරීක්‍ෂක මණ්ඩලයේ සාමාජිකයන් වූ කොළඹ නගරාධිපති වී.ඒ. සුගතදාස රජයේ කලායතනයෙ​් අධිපති ජේ.ඩී.ඒ. පෙ​ෙර්රා, පොලිස්පති ඔස්මන්ඩ් ද සිල්වා යන මහතුන් ගුණරත්නම් ගේ ඉල්ලීමට පක්ෂපාතී වී ඇති බව ‘‘ජනතා’’ පත්‍රයේ පළ වී ඇත.   


මහජන ප්‍රදර්ශනයට සුදුසු නැතැයි මහජන ප්‍රදර්ශන මණ්ඩලය කපා දැමූ ‘‘වෙස්සන්තර ගීතය’’ ඇතුළත් ගීතය යළිත් ‘‘දුප්පතාගේ දුක’’ චිත්‍රපටය සමඟ පෙන්වීමට මහජන ප්‍රදර්ශන පාලක සභාවේ සභාපති සර් රාසීක් ෆරීඩ් අනුමැතිය දුන් බවත්, චිත්‍රපටයෙන් පරිබාහිරව ආරම්භයේදීම මෙය ප්‍රදර්ශනය කිරීමට අවසර දුන් බව 1956 අගෝස්තු 23 වෙනිදා ‘‘ජනතා’’ පත්‍රයේ පළ වී තිබුණි. ‘‘වෙස්සන්තර’’ ​ෙකටි චිත්‍රපටයේ වෙස්සන්තර රජු මෙන් ඇල්ප්‍රඩ් එදිරිමාන්න ද ක්‍රිෂ්ණජිනා ලෙස සෝමා විලියම් (පසුව ‘‘චණ්ඩාලි’’ චිත්‍රපටියේ සෝමා මහවලගේ) රඟපෑහ.   


‘‘දුප්පතාගේ දුක’’ චිත්‍රපටය ගැන විචාරයක් ලියූ කරුණාසේන ජයලත් (1956 අගෝස්තු 22 බදාදා - ලංකාදීප) බලදේවගේ හා ඉන්ස්පෙක්ටර් ජයසිංහගේ චරිත ගැන මෙසේ කියා තිබුණි.   


‘‘බලදේව ලෙස රඟ පෑ ලැඩී රණසිංහ මුල සිටම අග දක්වා චිත්‍රපටයේ බර කර පිටින් ගෙන යයි. ඔහුගේ හැම වචනයක්ම, ඉරියව්වකම බැල්මකම උසස් නළුවකු නිරූපණය වී සිටී. ‘‘දුප්පතාගේ දුක’’ චිත්‍රපටයේ ඊළඟ නළුවා මාක් සමරනායකය. කඩතොළු නැතිව ඔහු දක්‍ෂ ලෙස සිය චරිත නිරූපණය කරයි. දුෂ්කර වූ අවසාන කොටස ඔහු විශේෂ දක්‍ෂතාවයකින් ඉටු කරයි.’’  


ලැඩී රණසිංහ කියා තිබුණේ සිනමා ජීවිතයේ තමා රඟ පෑ අසීරුම චරිතය බලදේවගේ චරිතය බවයි. එක් දර්ශනයක දී තමා ස්ටැන්ලි පෙරේරා කරේ තබාගෙන විශාල පාලමක් යට වූ බෝක්කුවක් දිගේ වතුර පීරාගෙන යන අසීරු අවස්ථාව මට විස්තර කළේ මුහුණෙ ඉරියව් මවමින් ඔහුගේ ගැඹුරු හඬ අවදි කරමිනි.  


‘‘මේ දර්ශනය දින තුනක් කැමරා ගත කළා. වතුරේ සිටි නිසා සීතලය සෑදී ඇඟ කැසීම නිසා මා සේලම් රෝහලක දින තුනක් ගත කළා. මේ දර්ශනය ඔබ දකින විට ඒ සඳහා මම කොතරම් දුකක් වින්ඳා ද යනු ඔබට තේරුම් යනු අැති.’’  


ඉන්ස්​ෙපක්ටර් ජයසිංහ ලෙස රඟපෑ මාක් සමරනායක වැලිවේරියේ තම නිවසේ දී තමා රඟපෑ අවස්ථාවක් ගැන මට මෙසේ විස්තර කළේය.  


‘‘මේ චිත්‍රපටයේ බලදේවගෙ​් නැඟණිය ලෙස රඟපෑවේ මගේ බිරිඳ පර්ල්. ඒ වගේම බලදේවගේ කුඩා ලේලිය ලෙස ‘‘බඩගිනියි මා​ෙම්’’ කියා හඬන්නේ මගේ දියණිය ශිරානි. මගේ ජීවිතේට අමතක නොවන දර්ශනයක් තිබුණා. ලැඩී වරෙක ධර්මවර්ධන කියන නගරාධිපති ලෙස රඟපානවා. මම පොලිස් ඇඳුමින් සැරසී ඔහු අසළට ඇවිදගෙන එනවා. ඔහු මට ‘‘එන්න එපා ඉන්ස්​ෙපක්ටර් මා ගාවට’’ කියලා පුටුවකින් ගහන දර්ශනයක් තිබුණා. දර්ශනය ඉස්සර වෙලා මම ලැඩීට කිව්වා,  


‘‘මචං මට හෙමින් ගහපන්’’ මම ලැඩීට පින්සෙන්ඩු වුණා.   


ඒත් ලැඩී මට ඇත්තටම ගැහැව්වා. මගේ හිසේ තිබුණ ​ෙපාලිස් කැප් එක හිල් කරගෙන ගිහින් පුටුවේ තිබුණු ඇණයක් මගේ හිස පසාරු කරගෙන ගියා. ලැඩී මාව වැළඳගෙන ‘‘මචං මට සමාවෙයන්’’ කීවා. මම දන්නවා ලැඩී ඕනෑකමින් හිතල මතල කිසිවක් කරන්නේ නැති නළුවෙක්. හැබැයි මේ දර්ශනය අගේට කැමරා ගත වුණා. මගේ තුවාලයට බෙහෙත් දා ගන්න රෝහලට යන්න සිද්ධ වුණා.’’  


‘‘දුප්පතාගේ දුක’’ චිත්‍රපටයේ දර්ශන කිහිපයක් ලංකාවේ තිරගත වී ඇත. ඒ සඳහා අධ්‍යක්‍ෂ මිත්‍රදාසන් ඇතුළු පිරිස ලංකාවට පැමිණ ඇත. මේ චිත්‍රපයේ ඩොමී ජයවර්ධන, කාන්ති ගුණතුංග, ස්ටැන්ලි පෙරේරා, ගර්ලි ගුණවර්ධන, හියුගෝ ප්‍රනාන්දු, මිලී කහඳවල, උදුලා දාබරේ, ක්‍රිස්ටි ලෙනාඩ් පෙරේරා, බන්දු ගුණසේකර සෙසු චරිත රඟපෑහ. 

 
1956 වර්ෂයෙහි තිරගත වූ චිත්‍රපට සඳහා ලංකාදීප පත්‍රය සංවිධානය කළ 1957 අප්‍රේල් 07 වෙනිදා පැවැත්වූ දෙවැනි දීපශිඛා සම්මාන උළෙලේදී හොඳම නළුවා ලෙස සම්මානයට පාත්‍ර වූයේ ‘‘දුප්පතාගේ දුක’’ චිත්‍රපටයේ බලදේව ලෙස රඟපෑ ලැඩීය. නිළිය වූයේ ‘‘රේඛාවේ’’ රඟ පෑ අයිරාංගනී සේරසිංහ ය.  


1957 වසරේ ජනවාරි 25 වැනිදා තිරගත වූ ‘‘සිරකරුවා’’ චිත්‍රපටයට ද පාදක වූයේ මේ කතාවම ය. එහි ප්‍රධාන නළුවා ලෙස රඟපාමින් චිත්‍රපටය අධ්‍යක්‍ෂණය කළේ සිරිසේන විමලවීර විසිනි.   


‘‘මා වික්ටර් හියු​ගෝ නම් විශිෂ්ට ප්‍රංශ නවකතාකරුවා ගේ ‘‘ද මිසරාබ්ල’’ ඇසුරෙන් තැනූ දෙමළ චිත්‍රපටයේ රූපරාමු ඒ විදිහටම අනුකරණය කළේ නෑ. මට අවශ්‍ය වූයේ ඒ කතා තේමාව අරන් දේශීයත්වයක් මනුෂ්‍යත්වයත් මතු කිරීමට. ඒ නිසා ම​ගේ සිරකරුවා ඉංග්‍රීසි චිත්‍රපටය වත් දෙමළ චිත්‍රපටයේත් අනුකරණයක් නොවෙයි.’’ සිරිසේන විමලවීරයන් සිනමා සඟරාවකට කියා තිබුණි.   


‘‘සිරකරුවා’’ චිත්‍රපටයේ එක දර්ශනයකට ද මහජන ප්‍රදර්ශන මණ්ඩලයේ වාරණයට ලක්වී ඇත. එහි ප්‍රධාන සිරකරු ‘‘එක ආප්පයකට දහ අට අවුරුද්කට සිර බත් කන්න සිදුවුණා’’ යන දෙබසේ ‘‘එක අාප්පයක්’’ යන දෙබස් ඛණ්ඩය වාරණය කර ඇත. මේ චිත්‍රපටයේ සිරිසේන විමලවීර, එන්.ආර්. ඩයස්, එච්.එස්. ජෝතිපාල, ප්‍රේම කාන්ති, උපසේන විමලවීර රඟපෑහ.   


කෙ​ෙස් වුවද වික්ටර් හියුගෝ නම් ප්‍රංශ නවකතාකරුගේ ‘‘ද ලා මිසරාබ්ල’’ නවකතාව සිංහල සිනමාවටද බලපෑ බව මේ කරුණුවලින් පැහැදිලිවේ. ‘‘දුප්පතාගේ දුක’’ චිත්‍රපටය සිංහල සිනමා වංස කතාවේ සුවිශේෂී මං සළකුණකි. ඒ චිත්‍රපටයේ රඟපෑ හා වෙනත් අයුරින් සම්බන්ධ වූ නළු නිළියන් බොහෝ දෙනකු අද ජීවිතයෙන් සමුගෙනය. අපට යම් තොරතුරක් ගැනීමට හැකි වන්නේ කාන්ති ගුණතුංග හා උදුලා දාබරේ යන නිළියන් දෙදෙනාගේ හා බන්දු ගුණසේකර නළුවාගෙන් පමණි.  

 

 


ඒ.ඩී. රන්ජිත් කුමාර   


ඡායාරූප පිටපත් කිරීම - ලාල් සෙනරත්