ගාල්ල දොඩන්දුව වරාය

 

 

ජාඩි හොද්දක රසය සොයා ගිය සුන්දර රස ගමනකි මේ. දකුණු පළාත වෙනමම ආහාර සංස්කෘතියක් බිහි කළ පළාතකි. මී කිරි සමග බත්, මාළු ඇඹුල් තියල්, ජාඩි වගේ දකුණටම ආවේණික වෙච්ච ලංකාව පුරා හැමෝම බොහොම ආසාවෙන් රස බලන කෑම වර්ග බොහොමකි. දකුණෙන් රට පුරාම විසිරුණු මේ වගේ කෑම වර්ග අතරේ රසවත් මෙන්ම අගනා ජාඩි රටටම දෙන්නේ ගාල්ල, මාතර, හම්බන්තොට වෙරළත ගම්මන කිහිපයකි.   


ජාඩි කියන්නේ දකුණෙ මූදූබඩ පළාත්වල ජනප්‍රියම කෑමකි. කුම්බලා මාළු, බල මාළු වගේ ලොකු මාළු වර්ග වගේම හුරුල්ලො වගේ පොඩි මාළුවලින් මේ ජාඩි ආහාරය සකස් කරයි. මෙම රසවත් ආහාරය දෙස් විදෙස් සුපිරි කෑමකි. ජාඩි හොද්ද ද මේ අතර වැදගත්ය. මේවාට අනාදිමත් ඉතිහාසයක් ඇත. මෙම ආහාරය ලෝකයේම සකස් කරන්නේ දකුණු පළාතේ ගාල්ලේය. මෙය පරම්පරාවෙන් උරුම වූ ආහාර සංස්කෘතියකි.   


ජාඩි යනු මාළු කල් තියාගන්න ක්‍රමයකි. අලුත් මාළු ඔළු සහ බඩවැල් ඉවත් කරල ඇල් වතුර පොඩ්ඩක්වත් ගාවන්නෙ නැතුව තනිකර ලු‍ණු වතුරෙන්ම සෝද‌ා පිරිසිදු කර ලු‍ණු කැට සහ ගොරකා සමග අතුරල මාසයක් විතර හොඳින් වසා තැබීමෙන් ජාඩි සාදා ගත හැකිය. මේවා ආහාරයට ගන්නා වූ සුද්දෝ තව තවත් ඉල්ලන්නේ මෙහි ඇති අමුතුම රසය නිසාය. මේ නිසා වියැකෙමින් පවතින සංචාරක හෝටල්වල මේ ජාඩි මාළු කෑම අතිශය ජනප්‍රිය වූවකි. ජාඩි පීරිසියක් රුපියල් 500 සිට ඉහළ අගයක් ගනී.   
මෙය පාරම්පරික සිංහල අපටම ආවේණික වූ මාළු කල් තියා ගන්න සරල ක්‍රමයකි. මුහුදු වැල්ලකරේ ගම්වල මාළු අතිරික්තයක් තියෙන කාලෙට ලු‍ණුත් ගොරකත් දමා මාළු කල් තියාගත් නිසා අවාරෙට එහෙම නැත්නම් අහේනි කාලෙට කෑමට ගත හැකිය. ජාඩි කන්නත්, ජාඩි හදන්නත් නම් දරාපු උදවිය ජීවත්වන්නේ බළපිටිය, දොඩන්දූව, රත්ගම, ගිංතොට, කොග්ගල, අහංගම වාගෙ ගාල්ල, මාතර වැනි ගම්වලය. ජාඩි හදන්නෙ මාළුවලින්. නමුත් මාළු ජාඩි සාම්ප්‍රදායික විදිහට හදන අය ඉන්නේ බොහෝ අඩුවෙනි.   
ගාල්ලේ සේනක ද සිල්වා මහතා එය අපට විස්තර කළේ මෙසේය.   

ඡාඩි ඇතිලියක්

 

 


පැසක මුට්ටියක හදලා දමුපු මාළු මාසයක් විතර ගියහම මාළු ටික ගාණට පදම් වෙලා තියෙනවා. ලු‍ණුවල තියෙන ලවණ ගතියට මාළුවගේ ඇඟේ තියෙන වතුර ලු‍ණු උරාගන්නවා. විද්‍යාත්මකව මේකට කියන්නෙ ආසෘතිය කියලා. ගොරකත් මේ වැඩේට උදව් වෙනවා. ඒ නිසා මාළු නරක් නොවී තියෙනවා. මේ මාළු මාසයක් විතර යනකොට කෑමට ගන්න පුළුවන්. අවශ්‍ය තරම් මාළු මුට්ටියෙන් අරගෙන හෝදලා පෙති කපලා මැටි හට්ටියකට ද‌ාලා, ඊට සෑහෙන්න රතුලූනු, හොඳ සැරට මිරිස් කුඩු, පමණට ලු‍ණු හායි හූයි කියන්න සැරට කොච්චි කරල් කීපයක් දෙකට පලලා, පමණට දිය කිරි දාල තැම්බීගෙන එනකොට මිටි කිරි එකතුකරලා හැඳි ගාල ළිපෙන් බාගන්න ඕනෙ.   


ජාඩි හොද්ද ගැන කියන චමිල ප්‍රියංකර මහතා (35)   


ජාඩි හොද්දට කන කෑමක් නිසා හොදි හිඳෙන්න දෙන්න එපා. ජාඩි වල නියම රහ එන්නෙ කොච්චි දැම්මහම. මේ ජාඩි හොද්ද එක්ක රතු බත් කන්න පුළුවනි ඔනෙ තරමක්. පොල් සම්බලකුත් එකතු වුණහම හරි රසයි. ජාඩි බත් අදින කෑමක්. ඒවගේම තමයි පොල් දාලා තැම්බුව කොස්, දෙල් තම්බලා පොල් එක්ක කන්නත් ජාඩි හරි නියමයි. රතු බත් එක්ක දෙල් කහ පොල් දාලා මලවලා, ජාඩි හොද්දක් හදාගත්තම හරි ජාති. දවල්ට බත් කන්න හැකියි.   


ජාඩි හදන්න අති ප්‍රසිද්ධ අපේ ගම කොග්ගල, දොඩන්දුවෙ, බළපිටියෙ පැරැන්නො සුලු‍ප්පු යාත්‍රාවල නැගිල ලු‍ණු ගොරක එහෙමත් අරගෙන ඉන්දියාවෙ තූත්තුකුඩි වරායට ගිහින් එහෙන් මාළු අල්ලන් ජාඩි කරලා ඒව පීප්පවල ද‌ාගෙන ඇවිත් ලංකාවෙ විකුණුවා කියලා දොඩන්දූවෙ ධීවර වරාය ඉතිහාසයේ කියවෙනවා. මේ කියන්නෙ දහ නවවෙනි ශතවර්ෂය මුල් කාලයේ ය.   


ඒ එක්කම ජාඩි නිසා අපිට තව අතුරු පලයක් ලැබෙනවා. ඒවට කියන්නෙ “ලු‍ණිජ්ජ” කියලා. අහල තියෙනවද මේ ගැන. ලු‍ණිජ්ජ කියන්නෙ මාළු, ලු‍ණු, ගොරක එක්ක පදම් වෙනකොට හට්ටියේ එකතුවෙන දියරෙටයි. ලු‍ණිජ්ජත් සමහර කෑම උයනකොට රස කාරකයක් හැටියට කදිමයි. කිසිදු රසායනික ද්‍රව්‍යයක් නොවන පෝෂණීය ද්‍රව්‍යයකි. පොළොස් ගැට, කෙසෙල් මුව උයද්දි ලු‍ණිජ්ජ ටිකක් එක්කලහම වෑංජනේ පංකාදු පහයි. පොල්සම්බල් හදලා, දෙහි දානකොට ලු‍ණිජ්ජ ටිකක් එක්කලහම හරි රසයි. ජාඩි කන්න ආස කෙනෙක් ඉන්නවනම් ඉතින් හදාගන්න වෙනවා.   


ජී.ඩබ්ලිව්. රෝහණ ප්‍රියන්ත මහතා (45)   


මීට වසර සිය ගණනකට ප්‍රථම අපේ ගාල්ලේ දොඩන්දූව බළපිටිය පැත්තේ අය ඉන්දියාවේ තූත්තුකඩි ආදී දකුණු ඉන්දීය වරායන්වලට ගොස් ඒවායෙන් මිලදී ගත් මාළු භාවිත කර ජාඩි හැදුවා. ඔවුහු ජාඩි තනන්නේ අපි මේ ගෙදර ජෑම් බෝතලවල ජාඩි තනනවාක් මෙන් කුඩාවට නොවේ. සත්තකින්ම අප දන්නා පරිදි ජිම් පප්පා, සූරපප්පා කාටුන් කතාවේ තිබූ වැනි විශාල ජාඩි පීප්ප තැනීමට වඩුවෝද රැගෙන අපේ ගාල්ල දොඩන්දූව දකුණේ මිනිස්සු මිනිස්සු 20-30 ඇතුළත් රුවල් නැව්වලින් දකුණු ඉන්දියාව කරා ගොස් තිබෙනවා.   
එහි ගොස් වාඩි ලාගෙන එහි දී මාළු මිලට ගෙන සුද්ද කර මහා පරිමාණයෙන් ජාඩි දමනු ලැබුවා. ලු‍ණු දමති. ඔවුහු රට ගොරකා අහුරු ගණන් දමනවා. ඒවා ටැංකිවල එක්රැස් කරනවා. ටැංකිවල මසක් පමණ තිබූ ලු‍ණු ගොරකා මිශ්‍ර මාළු නැවතත් පීප්පවලට අසුරනවා. අයෙක් පීප්පයට බැස මාළු ටික හොඳට තළනවා. තවත් අය පීප්පවලට දැමීම පිණිස මාළුවල ලු‍ණු ගොරකා තවරනවා. මෙවැනි ක්‍රියාදාමයකින් පසුව පීප්ප 50-60 පටවාගත් රුවල් නැව් ලංකාවට සේන්දු වෙනවා.   


අද කාලයේ මෙන් ඉක්මන් ප්‍රවාහනය නොතිබුණු 1900 මුල් කාලයේ මෙම පීප්ප කරත්තවල සෙමෙන් සෙමෙන් ගොස් ලංකාවේ හතරදිග් බාගයේ වෙ​ෙළඳපොළ ආසන්නයේ අලෙවි වුණ. කොළඹ දිහාවේ නම් මෙලෙස ජාඩි යහමින් අළෙවි වූ තැනකි අපේ අගනුවර කොළඹ තොටළඟ වෙ​ෙළඳපොළ. වර්තමානයේද තොටළඟ කරවල කඩ කිහිපයක් තිබෙන්නේ ඒ එදා ජාඩි වෙ​ෙළඳසල්වල ආභාෂය නිසා විය යුතුය. එය අදටද දැකිය හැකියි.   


ජාඩි ගැන කතාකරන විට ජාඩියට මූඩිය ගැනද කතා ‍කළ යුතුය. එය ජාඩි මෙන් රසවත් වූ කතාවක් නිසාය.   


සත්තකින්ම ජාඩි පීප්පයේ කටෙහි වූ පියන වැසීම වැදගත් කාර්යයකි. ජාඩි කුමන ක්‍රමයකට තැනුවත් මූඩිය ගැසුවේ නැතිනම් මාළු කල් තබන වැඩේ හරියට සිද්ධ වන්නේ නැත. පසුකාලීනව ලංකාවේ ඇතැම් තැනක ජාඩි තැනීමේදී ඒවා පණුවන් ගැසී නරක් වීමට මෙම මූඩි හරියට නොගසා ජාඩි තැනීමට යෑම හේතු විය.  


ඒ ගැන ගැමියෝ මෙසේ කියති. 


ඉස්සර ජාඩි කඩවල්වල විකුණන්න තිබුණලු. ඒව තිබිල තියෙන්නෙ පීප්පවල දාලා. ජාඩි මුදලාලිලත් ඉඳල තියෙනවා. ඒකනෙ ගීතයක් තියෙන්නෙ ඇරපිය ලු‍සිය දොර ජාඩි කඩේ ජෙමා මම කියලා.   


ඉස්සර මේ ජාඩී ලොකු පීප්පවල තමයි මහ පරිමාණයෙන් අතුරන්නේ. පීප්පෙ මූඩියනං වාත්තු කොළා වගේ සකස් කළ යුතුයි. නැතිනම් ජාඩිය නරක් වේවි. ඕං ඕකයි ඒ ඇත්තෝ කීවේ ජාඩියනං මූඩිය පෑහෙන්න ඕනේ කියලා. ඔන්න ඔය හරුපෙ වහරට ආවා ජාඩියට මූඩිය වගේ කියලා. තකට තක වගේ පෑහෙනකොට කීවා ජාඩියට මූඩිය වගේ. එක වගේ දෙදෙනකු එකට එක්‌වූ විට නොඑසේ නම් එකට පෑහුණු විට අපේ පැරැන්නෝ කීවේත් ජාඩියට මූඩියට වගේ කියාය.   


අද දකුණු වෙරළබඩ තීරයේ ජාඩි කර්මාන්තය දකින්නට ලැබේ. ක්‍රමවේදයක් ලෙස සම්පූර්ණයෙන් ක්ෂුද්‍ර ජීවීන් මුසු නොවන ආකාරයට සිදුකරන පූර්ණ කල්තබා ගැනීමේ ක්‍රමවේදයක් ලෙස ජාඩි සකස් කරයි. අප සිංහලයෝ වෙනමම රසයක් වෙනමම ආහාර රටාවක් සමගින් වූ මෙම මසුන් පදම් කොට කල්තබා ගැනීමේ ක්‍රමවේදය දශක ගණනාවක් තුළ අපේ රටේ ජනයාගේ දොරින් දොරට මුහුදු මාළු සැපයීමට මහඟු‍ කාර්යයක් සිදුකරන ලදී. පසුකලෙක බදු එකතුවීම, යුද්ධ කලකෝලාහල ආදිය නිසා ඉන්දියාවට ගොස් ජාඩි තැනීම සම්පූර්ණයෙන් නතර විය. නමුත්, මේ වන විටත් තවමත් ගාල්ල, කොග්ගල, දොඩන්දූවේ, බලපිටියේ, මොරටුවේ තැන් තැන්වල තැනූ ජාඩි මිලදී ගැනීමට හැකියාව දැකිය හැකිය.   


අප පෙර කී ආකාරයට ජාඩියට මූඩිය වගේ යැයි අපේ ජනවහරේ එන කියමනකි. එක වගේ දෙදෙනකු එකට එක්‌වූ විට නොඑසේ නම් එකට පෑහුණු විට අපේ පැරැන්නෝ කීවේ ජාඩියට මූඩියට වගේ කියාය. සැබැවින්ම ජාඩි රස නහර පිනා යන කෑම විශේෂයකි. අදටත් ජාඩි කෑල්ලක රස විඳීම සඳහා ගම්බද මෙන්ම නගරබද ජනතාව ද පැමිණෙන්නේ වැල්ලකරයටය. මේ වන විට දකුණු පළාතේ මුහුදුකරයේ විවිධ ස්ථාන රැසක ජාඩි සමඟ පත් කඩ ඇත. ඒ කර්මාන්තයේ යෙදුනු පරපුරේ පරම්පරා හත අටක ඇත්තෝ අදටද ගාල්ල, කොග්ගල, දොඩන්දුව ආදී ගම්වල ජීවත් වෙති.   


ඉතිහාසයේ සඳහන් පරිදි පොත පතේ සඳහන් වන්නේ දොඩන්දූව වරායට ගෙන එනු ලැබූ ජාඩි පීප්ප නගරවලට හා ගම්මානවලට බෙදාහැරියේ බර කරත්ත මගිනි. ජාඩි කර්මාන්තය සමඟ දිවයිනේ විවිධ ප්‍රදේශවල ජාඩි කඩ ද ඇතිවිය. මේ ආකාරයට රට මැද ප්‍රදේශවල ජනතාව මාළු රසය දැනගත්තේ ජාඩි මාළුව නිසාය. ජාඩි කර්මාන්තයේ නිරත වීම සඳහා එකල ඉන්දියාවට ගියේ දොඩන්දූවේ මුදලාලිලාය. ඔවුන්ට කීවේ ජාඩි මුදලාලි කියාය. ජාඩි පීප්ප සෑදීමට වඩු කාර්මිකයන් රැගෙන ගියේ ද දොඩන්දූවෙනි.   

 

ඡාඩි මසුන්

 


නිව්ටන් ජී. පුංචිහේවා 45 මහතා මෙසේ කීය.   


ඒ කාලයේ ගාල්ල, දොඩන්දූවෙන් ගිය මුදලාලිලා ඉන්දියාවේ ධීවරයන්ගෙන් මාළු මිලදී ගෙන ජාඩි කර්මාන්තයේ නිරත වුණා. ජාඩි දැමීමට මාළු ගෙනවිත් දෙන්නේ කොමිස්‌කාරයෝයි. කුම්බලාවන්, තෝරු, බලයා වගේ මාළු තමයි ජාඩි දමන්න ගන්නේ. ඇතැම් දැල්වලට ලක්‍ෂ පහ හය කුම්බලාවෝ අහුවෙනවා. මාළු අරගෙන ටැංකිවලට දමා ලු‍ණු ගොරකා දමා පදම් කරනවා. සති දෙකකට පමණ පසු එම මාළු පීප්පවල දමා රුවල් නැව් මගින් දොඩන්දූවටය. සාමාන්‍යයෙන් ජාඩි පීප්පයක උස අඩි තුනකි. පීප්පයක හොණ්ඩර හතරක පමණ ජාඩි දැමිය හැක. ජාඩි පීප්ප සෑදීමට ගන්නේ හල්මිල්ල, සූරිය, තේක්‌ක යන දැව වර්ගයන්ය.   


පීප්පවල දමා මෙරටට ගෙන එනු ලැබූ ඉන්දියන් ජාඩි අද නම් දොඩන්දූවේ දකින්න නැහැ. අඩුම තරමින් ජාඩි පීප්පයක්‌වත් සොයා ගැනීමට නොහැකියි. එක්‌දහස්‌ නමසිය හැත්තෑව වසරෙන් පසු ඉන්දියන් ජාඩි නැත්තටම නැතිවී ගිහින්. එදා මහා පරිමාණයෙන් පැවැති දොඩන්දූවේ ජාඩි කර්මාන්තය අද ගෘහ කර්මාන්තයක්‌ බවට පත්වෙලා.   


මනුජිත් ළමාහේවා මහතා (45)   


ජාඩි වැඩිපුරම දමන්නේ හරාව කාලයටයි. ධීවරයන් වැඩිපුරම මුහුදු යන්නේ හරාව කාලයට නිසායි. හරාව කාලයට මුහුදේ සැර අඩුයි. වාරකං කාලයට ධීවරයන් මුහුදු යන්නේ නැහැ. මේ නිසා වාරකං කාලයට ජාඩි විකිණීමෙන් ලැබෙන ආදායම සුළු පරිමාණ ධීවර කාර්මිකයන්ගේ පවුල්වලට ආදායම් මාර්ගයක්.   


ගාල්ල, දොඩන්දුවේ ජනතාව පවසන්නේ ජාඩි දැමීම හැමෝටම කරන්න නොහැකි බවය. ඒ සඳහා අත් ගුණයත් තිබිය යුතුයි.   


වතුර හැරවුණොත් ජාඩිවලට පණුවොත් දානවා. ජාඩි දානකොට ලු‍ණු ගොරකා හොඳට දාන්න ඕන. මාළු කූරියන් තිහකට විතර එක ලු‍ණු පැකට්‌ එකක්‌ දමනව. කුම්බලාවෝ තමයි වැඩිපුරම ජාඩි දමන්න ගන්නේ. මාළු අරගෙන කරමල් හා බඩවැල් ඉවත් කරලා කරිජ්ජ වතුරෙන් හෝදලා මාළු පෙති ගහලා ලු‍ණු ගොරකා දමලා භාජනයක දමා වහල තියනවා. ජාඩි කිලෝවක්‌ රුපියල් 500-700 ක්‌ පමණ වෙනවා. නමුත් ගැටලු‍ව තියෙන්නේ ජාඩි විකුණගන්න බැහැ. වෙ​ෙළඳපොළක්‌ නැහැ.   


මුහුදු වැල්ලකරයේ ධීවර වරායන් ආශ්‍රිත ඇතැම් කාන්තාවන් ජාඩි දැමීම සඳහා මාළු මිලදී ගන්නේ බෝට්‌ටුකරුවන්ගෙනි. මුදලක්‌ යොදා මාළු මිලදී ගෙන ජාඩි දැමුවද ඒවා විකුණා ගැනීමට නොහැකි වීම නිසා මෙම කාන්තාවන් දැඩි අසරණ තත්ත්වයට පත්ව ඇත. මේ නිසා වැල්ලකරයේ කාන්තාවන් දිනෙන් දින ජාඩි කර්මාන්තයෙන් ජීවත් වේ.   
නාමල් ප්‍රසංග අබේසේකර (27)   


ජාඩි හොද්දට කන කෑමක් නිසා හොදි හිඳෙන්න දෙන්න එපා. ජාඩිවල නියම රහ එන්නෙ කොච්චි දැම්මහම. මේ ජාඩි හොද්ද එක්ක රතු බත් කන්න පුළු‍වනි ඔනෙ තරමක්. පොල් සම්බලකුත් එකතු වුණහම හරි රසයි. ජාඩි බත් අදින කෑමක්. ඒවගේම තමයි පොල් දාල තැම්බුව කොස්, දෙල් තම්බලා පොල් එක්ක කන්නත් ජාඩි හරි නියමයි. රතු බත් එක්ක, දෙල් කහ පොල් දාලා මළවලා, ජාඩි හොද්දක් හදාගත්තම හරි ජාති. දවල්ට බත් කන්න හැකියි.   


මේ අනුව ජාඩි එක්ක හොද්දක් බතක් සකස් කරලා තිබ්බම පත් පිඟන් දෙක තුනක් වග කියන්න දකුණේ ඇත්තන්ට හැකියි. මෙහි රසය රටටම ලොවටම දෙන දකුණු පළාතේ ගම ගාල්ලේ ජනතාව සත්තකින්ම ආගන්තුක සත්කාර හොඳින් අගයන ජනතාවකි.   


ගාල්ල පැත්තේ ආවොත් ඕං ජාඩිත් එක්ක බත් කන්න කඩවල් තියනවා. සොයා ගන්න අමාරුයි. රස දන්න අයට නම් ඒක ප්‍රශ්නයක් වන්නේ නෑ. ගමේ කඩේ විතරක් නෙවෙයි කොළඹ හතෙත් දැන් ජාඩි මාළු ගන්න හැකියි. ටිංකර් බෝතල්වල තියනවා කාලම බලල රසද කියලා කියනකෝ.   

 


සටහන හා ඡායාරූප
හබරාදුව නිමල් අල්ගෙවත්ත