මහනුවර දිස්ත්‍රික්කයේ කුණ්ඩසාලේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ මැණික්හින්න කඩමණ්ඩියට යාව කුරගන්දෙණිය ගාඩි ගම්මානය පිහිටා ඇත. මහනුවර සිට එයට දුර සැතපුම් දහයක් පමණ වෙයි. මැණික්හින්න කඩමණ්ඩිය පිටුපස ඉතා සුළු බිමක මේ ජනාවාසය පැතිර ඇත. පවුල් 104 අයත් පුද්ගලයෝ 324 ක් ජීවත්වෙති.


අද ලංකාවේ ඉහළම වාණිජ කරණයට ලක් වූ ගාඩි ගම්මානය කුරගන්දෙණියයි. දිනපතා හා සති අන්ත පුවත්පත් දැන්වීම් අනුව ඉනා හා වශී ගුරුකම් කරන අය පනහකට වඩා ජීවත් වෙති. ඉන් සමහරු තම පැරණි පරපුරේ අයගේ නම ගෙන ඇත. මේ ගමේ ආරම්භය මහනුවර යුගයේ මුල්ම අවදියට වැටෙයි. එහෙත් ජනප්‍රවාද අනුව ගමේ ආරම්භය සිදු වූයේ කුණ්ඩසාලේ අගනුවර කරගෙන රජ කළ ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ රජුකලය. (ක්‍රි.ව 1707-1739)


නරේන්ද්‍රසිංහ රජු කුණ්ඩසාලේ අගනුවර කොට ගෙන රජ කළේ 1707 සිට 1715 දක්වා කෙටි කාලයකි. ඉන්පසු ඔහු කුණ්ඩසාලේ අතහැර දියතිලකපුර හෙවත් හඟුරන්කෙත අගනුවර කර ගත්තේය. අවසාන සිංහල රජු ඔහුය. ඔහුගෙන් පසු රජකමට පත් වූයේ නායක්කාර් රජවරුය. තරුණ වියේදීම රජකමට පත් නරේන්ද්‍රසිංහ කුමරු ස්ත්‍රිය - සුරාව - විනෝදය තදින් ප්‍රිය කළ අයෙකි. ජන කවිවල පවා ඔහු හඳුන්වනුයේ ‘‘සෙල්ලම් නිරිඳු’’ යනුවෙනි. රජු වයස 49 අකාලයේ මිය ගියේ වැරදි රාගික ජීවිතයෙන් වැලඳුණු ලෙඩ හා සුව කළ නොහැකි රෝග නිසාය.
ඒ නරේන්ද්‍රසිංහ රජු තරුණවියේදීම කුණ්ඩසාලේ රජ කරන කාලයයි. අද මැණික්හින්න ලෙස ප්‍රකට කඩමණ්ඩියේ වැඩි කොටසක් ශුන්‍ය හිස් කැලෑ බිම් හා පාළු වැලි තලාව විය. එය එහි යාව පිහිටි ගම්මානය හුරීකඩුව නම් විය. 1960 පමණ වනතුරු මෙහි තැපැල් කාර්යාලය පවා හඳුන්වන ලද්දේ හුරීකඩුව නමිනි. හුරීකඩුව පාරම්පරික ගැමි ගම්මානයකි.
හරීකඩු යාම එද‌ා පළිහගොඩැල්ල පිටියේ දේවාලය විය. රජු පිටියේ දෙවියන් ගැන දැඩි භක්තියක් විය. ඉඳහිට අසු පිට නැගී මෙම දේවාලයට එන තරුණ රජුට මෙම ගමේ එක් පවුලක නව යොවුන් රූබර තරුණියක් දක්නට ලැබුණි. ඇය දුටු රජු ඇගේ රූපයෙන් වශී විය. ඇය හා කළ කතාබහේදී ඇය යාබද නිවසක ගැමි තරුණියක බව හෙළිවිය.
කුණ්ඩසාලේ සිට අසු පිට නැගී සංචාරය කරන රජු අඳුරු වැටෙන විට තරුණියගේ නිවසට ඒමට පුරුදු විය. ඒ වන විට ගම මැද පිහිටි දැවැන්ත හුරී ගසක් දිරා ඉබේ හැදී තිබූ විශාල ගස් බෙනයක තම කඩුව හා හෙල්ල සඟවා ඒමට පුරුදුව සිටියේය.


දිනක් අසු පිටින් ආ රජු තම කඩුව හා හෙල්ල ගස් බෙණයේ සඟවා ඉවත්ව යනු දුටු ගමට ආගන්තුක කපන්නන් පිරිසක් බෙනයේ සඟවා තිබූ කඩුව හා හෙල්ල රැගෙන ගියහ. එ් සැඟවූයේ රජු බව ඔවුන් දැන සිටියේ නැත.


තරුණිය සමඟ කාලය ගත කර අසු පිට නැගී ආපසු එන රජු තමා හුරී ගසේ කුහරයේ සැඟවූ කඩුව හා හෙල්ල ගැනීමට යන විට එය අතුරුදන් වී තිබුණි. රජුගේ කෝපයේ සීමාව පැන ගියේය. අද ගාඩි ගම්මානය ඇති බිම එකල වන මැද පිහිටි ගහකොළ නැති වැලි පිරුණු තැනිතලා බිමකි. ඒ මැදින් අසු පිටින් යන විට අසුගේ පාද වැලිතලාවේ එරුණේය. රජු සිතේ දැඩි කෝපයෙන් සිත අන්දමන්දව යන විට අසුනේ පාද වැල්ලේ එරී යද්දී ‘‘කුර ගන්, කුර ගන්’’ යනුවෙන් කුර ඉහළට ඔසවෙන ලෙස අශ්වයාට පහර කීපයක් එල්ල කළේය. ඌ පාද වැල්ලෙන් ඇද ගෙන ගමන ඉක්මන් කළේය.


රජවාසලට ගිය රජු කඩුව හා හෙල්ල හොරකම් කළ ගම්මුන්ට අපූරු දඬුවමක් දීමට කටයුතු කළේය. හුරීකඩුව ගම එක කෙළවරක ගාඩි පවුල් කීපයක් පදිංචි කරවීය. රජවාසලට කඹ හා මදු සැපයීම ඔවුන්ට පැවරුණු රාජකාරිය විය. ගමේ අනිත් කෙළවර කින්නර පවුල් කීපයක් පදිංචි කළේය. නියඳවලින් දුම්බර රටා පැදුරු විවීම හා නියඳ සැරසිලි රටා විවීම ඔවුන්ට පැවරුණි.


අද මේ කින්නර පවුල් වාසය කරන ප්‍රදේශය හේනාවල නමින් ප්‍රකටය. රජු හුරීකඩුව ගමෙන් තමාට කළ වරදට ගම දෙපැත්​තේ‍ ගාඩි හා කින්නර පවුල් පදිංචි කොට ඉන්පසු මුළු ගමම පහත හෙළුවේය. රජුගේ වෛරය සංසිදුණේ ඉන්පසුවයි.

 

 


වත්තේගම හිටපු කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ 
එස්.කේ. ජයවර්ධන