කුඩාගම නගරයේ වූ සිදුවීමකි. වයස දහතුනේදී වැඩිවියට පත්වූ සුරණි සාමාන්‍ය පවුලක ඉපදී හැදී වැඩෙන ගැහැනු ළමයෙකි. නව යොවුන් වියේ පසුවෙන සුරණි මල්වර වූ දා නැකැත් බලා කළු කුමාර බැල්මට හසු නොවන සේ කිසිම වේලාවක තනි නොකර සිටීමට දෙමාපියෝ වගබලා ගත්තහ. පාසලට ගියේ ආවේද තම මව සමඟය. රාත්‍රී නින්දට ගියේද මව සමඟින්මය. පාසල් අධ්‍යාපන කටයුතු නිම කළ ද සුරණි රැකියාවකට යාමට එතරම් කැමැත්තක් දැක්වූයේ නැත. නිවසටම වී කාලය ගත කිරීම ඇයගේ පුරුද්දක් විය. 

කාලය කෙමෙන් කෙමෙන් ගෙවී සුරණි විවාහපත් වෙන වයස ද එළඹුණු නිසා ඇය විවාහ කරදීමට මව්පියෝ සිතූහ. ඒ අනුව දෙපැත්තේම දෙමාපිය ආශිර්වාදය ඇතිව සුරණි වසන්තගේ අත ගත්තාය. විවාහයෙන් අනතුරුව මව් දෙමව්පියන් ළඟ ජීවත් වෙනවාට වඩා ඔවුන් වෙනමම ජීවත්වී අවබෝධයෙන් යුතුව ජීවත් වීම දැකීම සුරණිගේ දෙමාපියන්ගේ කැමැත්ත විය. කුඩාගම නගරයෙන් නිවසක් කුලියට ගත් සුරණිගේ දෙමාපියෝ එහි සුරණිටත් වසන්තටත් පදිංචි වී ඔවුන්ගේ විවාහ ජීවිතය යහපත්ව ගතකරමින් අනාගතයේදී තමන්ටම කියා නිවසක් සාදා ගන්නා තෙක් ගැටලුවකින් තොරව සාමකාමීව සතුටින් ජීවත්වෙන ලෙස අවවාද කළහ. සුරණිත් වසන්තත් එහි පදිංචියට ආහ. නිවසේ සිටම ඇඳුම් මසා විකිණීමට සුරණි අදහස් කළේ තම ආර්ථිකය ශක්තිමත් කිරීම උදෙසාය. ඒ නිසා ඇඳුම් මැසීමට පුහුණුවීම සඳහා මැහුම් පන්තියකට ගිය සුරණි ඉක්මනින්ම ඇඳුම් මැසීමට උගත්තාය. ගෙවීමේ ක්‍රමයට මැෂිමක් ගත් සුරණි නිවසේ සිටම ඇඳුම් මසන්නට ගත්තාය. වසන්ත උදෙන්ම රැකියාවට පිටත් වූ පසු තිබෙන දෙයකින් බඩ පුරවා ගත් සුරණි කළේ වසන්ත එනතුරුම මැෂිමට වී ඇඳුම් මැසීමය. ඇයගේ උත්සාහය වූයේ වසන්තට අත්වැලක් වී තම ආර්ථිකය ගොඩනැගීමය. 


මේ අතර අසල නිවසක පුද්ගලයෙක් බෙල්ලේ වැල දමාගෙන මියගොස් ඇති බවට කන වැකුණු ආරංචියෙන් සුරණිගේ සියොලඟම වෙව්ලා ගියේය. විවාහයට පෙර කිසිදු දිනෙක තම මව තමන් තනි නොකළ බැව් සිහිපත් වූ ඇය අසල්වැසියාගේ මරණය කන වැකුණු මොහොතේ සිටම ගත කළේ කල්පනා භරිතවය. රාත්‍රි නිවසට පැමිණි සැමියාටද එම ආරංචිය පැවසූ සුරණි පසුදින අසල්වැසියාගේ දේහය බැලීමට යාමට කතිකා කර ගත්තාය. 
පසුදින මළගෙදර ගිය සුරණිට අසන්නට ලැබුණේ මියගිය පුද්ගලයාත් බිරිඳත් අතර ඇති වූ ආරවුලක් මත ඔහු බෙල්ලේ වැල දාගෙන මියගිය බවයි. නිතරම බිරිඳත් සමඟ රණ්ඩු දබර කරගත් ඔහු මිය ගියේ බිරිඳ කෙරෙහි වෛරයෙන් යුතුව බැව් ගම පුරා පැතිරෙන්නට විය. මෙම මරණයෙන් පසුව සුරණි සැමවිටම සිටියේ බියෙන් යුතුවය. තනිවම සිටීමට මැළිකමක් දැක්වූ ඇය වසන්තට පැවසුවේ රැකියාව නිම වී රෑ බෝ වෙන්නට පෙර නිවසට එන ලෙසයි. එතරම්ම එකී මරණය ඇයගේ සිත බිය වැද්දීය. 


මේ අතර සුරණිගේ නිවසට යාබද නිවසේ ජීවත්වෙන උපුල් පෙරදින රාත්‍රියේ වැඩ නිමවී යතුරු පැදියෙන් එන අතරතුරදී දෙවැට මායිමේදී “බුදු අම්මෝ” යනුවෙන් විලාප දෙමින් යතුරු පැදියද සමඟින් බිම ඇද වැටී ඇති බව වසන්ත රාත්‍රී ආහාර ගන්නා වේලාවේදී සුරණිට පැවසුවේය. එදින රාත්‍රී එකොළහට පමණ ඇති බවත් බෙල්ලේ වැල දමාගෙන මියගිය විජේපාල තම යතුරුපැදිය ඉදිරියට පැමිණි බවත් උපුල් ගමේ අයට පවසා ඇති බවත් වසන්ත සුරණිට පැවසුවේය. 


මෙම සිදුවීමෙන් පසු ගෙලවැල දමාගෙන මියගිය විජේපාල භූතයකු, ප්‍රේතයකු වී ගමේ සැරිසරන බවට සියලුදෙනාම විශ්වාස කරන්නට විය. සුරණිට මෙය මහත් බියගෙන දෙන්නක් විය. තමන් නිවසේ තනියම සිටින මොහොතක ප්‍රේතයා නිවසට ඒ දෝයි යන බියෙන් යුතුව ඇය වසන්ත එන තුරු සිටින්නේ පපුව ගැහෙමින්ය. කිසිදු මොහොතක නිවසේ දොර විවෘතව නොතබන ඇය වසන්තගේ හඬට පමණක් දොර විවෘත කිරීමට වගබලා ගත්තාය. නිවසින් එළියට බැසීමටවත් උනන්දුවක් ඇති නොවූ ඇයගේ ඇඳුම් මැසීමද ක්‍රම ක්‍රමයෙන් නැවතිණි. මියගිය විජේපාල දත් විරිස්සාගෙන ලොඹු ගෙඩි දෙකක් සේ ඉදිරියට නෙරා ආ ඇස් ඇති ප්‍රේතයෙකු බවත් ගම පුරා හොල්මන් කරමින් ඇවිදින බවත් උපුල්ගෙන් හැඩරුව අසා දැනගත් අය සිතින් මවා ගනිමින් බියෙන් යුතුව ජීවත් වූවාය. 


සැමදාම රාත්‍රියට බත් උයන සුරණිට එදින රොටී සෑදීමට සිත් විය. ඇය රොටී හැදීමට ගත්තාය. රාත්‍රී අටට ආසන්නය. වසන්ත සාලයට වී රූපවාහිනිය නරඹමින් සිටියේය. කුස්සියේ ජනේලය ඇත්තේ ළිප අසලමය. ජනෙල් පියන කෙමෙන් කෙමෙන් ඇරෙන්නට විය. සුළඟට එසේ වන්නේ යැයි සිතූ සුරණී එය එතරම් ගණනකට නොගත්තාය. ළිප මත ඇති රොටී තැටියේ රොටියක් පිච්චෙයි. සුරණි තවත් පිටි ගුළියක් ගෙන රොටියක් සාදයි. එක්වරම ජනේලයෙන් ලොකු කළු අතක් ළිප මත තිබූ රොටිය වෙත පාත් විය. “බුදු අම්මෝ” කියමින් සුරණි කුස්සියේම ඇදවැටුණාය. ඇගේ හඬට කුස්සිය වෙත දිව ආ වසන්තට දැක ගැනීමට ලැබුණේ සුරණි බිම වැටී සිටින අයුරුය. “සුරණි සුරණි මොකද උණේ... සුරණි සුරණි” වසන්ත ඇයට සිහිගැන්වීමට උත්සාහ දැරුවේය. “යකෙක්... යකෙක් ජනේලෙන් අත දැම්මා” ඇය වෙව්ලමින් උත්තර දුන්නාය. වසන්ත විපරම් කර බැලුවත් කිසිවකු අහල පහළක නොවීය. රොටි තැටිය ද බිමට වැටී රොටියද බිම තිබෙනු දැක වසන්ත සිතුවේ සුරණි බියපත්වීම නිසා එසේ වෙන්නට ඇති බවයි. 


සුරණිගේ බිය නැති කිරීමට කොතෙක් උත්සාහ ගත්තද ප්‍රතිඵලයක් නොවීය. සමහර දිනවලදී වසන්තට මේ හේතුව නිසාම බඩගින්නේම නිදාගන්නට සිදුවිය. එහෙත් බිරිඳට වචනයකින්වත් කිසිවක් නොකියූ වසන්ත පසුදින රාත්‍රියේ නිවසට පැමිණියේ රෑ කෑමට ද යමක් රැගෙනය. කලින් දා රෑ වූ සිදුවීමෙන් පසු සුරණිට හොඳටම උණ ගැනී තිබුණි. පැරසිටමෝල් දුන්නද එයින් සුවයක් නොලැබූ සුරණි පෙරදින සිදුවූ සිදුවීම උමතුවෙන් මෙන් කියවයි. අහල පහළ වැඩිහිටියන්ට සියල්ල පැවසූ වසන්ත හැමෝගේම කැමැත්ත මත යකැදුරෙකු ගෙන්වා සුරණිට නූලක් මතුරා බෙල්ලට දැමුවේය. සුරණිගේ බිය ක්‍රමයෙන් අඩු වී ගියේය. උණ ද අඩු විය. මෙයින් පසු බයක් ඇති වන්නේ නැති බව යකැදුරා පැවසීය. 


ලංකාවේ පවත්නා අභිචාරාත්මක ප්‍රතිකාර ක්‍රම අතර සූනියම් දෙවියන්ට අයිති එතුමාගේ ඇල්ම බැල්ම වැටෙන ගුරුකම් ශාන්තිකර්ම බොහෝ වේ. මේවා වෙස් මුහුණු භාවිත කරමින් නර්තනයේ යෙදෙමින් කරන, කිසියම් පුද්ගලයකුගේ කායික මානසික සුබසිද්ධිය අරමුණු කොට පවත්වන්නකි. දෙවියන් හෝ වෙනත් අදෘශ්‍යමාන බලවේග උදෙසා කරනු ලබන මෙම ශාන්තිකර්ම කෙනකුට අපල උපද්‍රව කිරීම සඳහා ද යොදා ගැනෙන බව මිනිසුන්ගේ අදහසයි. 


අප දන්නා පරිදි, භූත විද්‍යාව අනුව යකුන් සප්‍රාණික ජීව කොට්ඨාසයක් මෙන්ම අපවිත්‍ර අදෘශ්‍යමාන කොටසක් ලෙස සැලකේ. සෙසු කොටස් ලෙස සලකන්නේ, නාග, කුම්භාණ්ඩ, ප්‍රේත, පිසාච, භූත ආදී බලවේග වේ. මෙම බලවේග කොටස් කිහිපයකට බෙදේ. බාලිකාම, බිලිකාම, පුලුටු කාම, හන්තු කාම, රති කාම, ආදී වශයෙන් දැක්විය හැකිය. 

සුරණිගේ නිවසට යාබද නිවසේ ජීවත්වෙන උපුල් පෙරදින රාත්‍රියේ වැඩ නිම වී යතුරු පැදියෙන් එන අතරතුරදී දෙවැට මායිමේදී “බුදු අම්මෝ” යනුවෙන් විලාප දෙමින් යතුරු පැදියද සමඟින් බිම ඇද වැටී ඇති බව වසන්ත රාත්‍රී ආහාර ගන්නා වේලාවේදී සුරණිට පැවසුවේය. එදින රාත්‍රී එකොළහට පමණ ඇති බවත් බෙල්ලේ වැල දමාගෙන මියගිය විජේපාල තම යතුරුපැදිය ඉදිරියට පැමිණි බවත් උපුල් ගමේ අයට පවසා ඇති බවත් වසන්ත සුරණිට පැවසුවේය. 

 


යක්ෂයන්ගෙන් උපද්‍රවයක් ඇතිවූ විට පුලුටු කාමවලදී යක්ෂයන්ට පුලුටු වර්ග දීමත්, අභිචාරාත්මක ප්‍රතිකාර ක්‍රම පවත්වන භූත විද්‍යා ඇදුරන්ගේ පිළිවෙත් වෙයි. 


කෙනකු විසින් තවත් කෙනකු කෙරෙහි පවත්නා නොමනාපය, වෛරය, ක්‍රෝධය, හේතුවෙන් එල්ල කරන ගුප්ත බලවේගයන් ලෙස අණවින හදි හූනියම් හැඳින්විය හැකිය. කිකිළි බිජුවක්, රත්මල් පොකුරක්, සොහොන් අළු, මිනී ඇටයක් ආදී ද්‍රව්‍ය ගෙන නරයෙකුගේ ජීවිතයට කිසියම් හානියක් සිදුවෙන පරිද්දෙන් කරනු ලබන්නකි. 


ඒ මල් පහන් සුවඳ පුලුටු වලින් ගැවසීගත් ප්‍රේත තටුවල දැකිය හැකි, දෙහි, අන්නාසි, හොඬල, තොලබෝ, හීරැස්ස, හත්අඩි, වැල්වලලු, සහ පුහුල් දේ මගින් තීන්දු කැපීම සිදුකරන යක් ඇදුරාගේ ක්‍රියාත්විතය බිය ගෙන දෙන්නට විය. මේ ආකාරයෙන්, සූනියමෙන් වන විණ දොස් ඉවත් කිරීම සඳහා සූනියම් යාගය නමින් ශාන්තිකර්මයක් යක් ඇදුරා විසින් පවත්වයි. 


සූනියම් යාගයේ එන සූනියම් යකා ඔඩ්ඩිස රාජ නමින් යකුන්ගේ අධිපතිත්වය ලබා ඇති යක්ෂයා වශයෙන් ශාන්තිකර්මවල දී හඳුන්වන අතර විවිධ රෝග දුරු කිරීමේත් වින රෝග ඇති කරලීමටත් ඒවා නැති කරලීමටත් බලපාන ප්‍රබල දෙවියකු වශයෙන්ද සලකනු ලැබේ. 


අජාකූට ගිරි ශිඛරයේ වෙසෙන බව කියන මොහුගේ පිරිවර වශයෙන් අයිලක්කණ්ඩි, මයිලක්කණ්ඩි, වට්ටක්කණ්ඩි, කොට්ටක්කණ්ඩි, ඉරුගල්කණ්ඩි, නානා රැජින, ලෝක දෙවි යන කණ්ඩිලයන් 8 දෙනාද තකරි, මකරි, යමී, යමදූති, කාල රාක්ෂ, අසේනි, විසේනි යන යක්ෂයන් හත් දෙනාද සූනියම් දේවතාවාගේ පිරිවර බව සඳහන් වේ. මේ සියලුම යක්ෂ යක්ෂණියන්ට මන්ත්‍ර ගායනා කරමින් ඇසෙන නොඇසෙන ආකාරයට මන්ත්‍ර ජප කරමින් ඒ යකැදුරු උන්නාන්සේ තොයිලය තිස්තුන් පැයකින් හමාර කළේය. 


මේ අනුව, සුරණිගේ බිය දුරු වී ගියේය. වෙනදා මෙන් සැහැල්ලුවෙන් ඇය දිවි ගෙවුවාය. 


නමුත්, සිදුවීම වෙනත් අතකට පෙරළිණි. මියගිය විජේපාල බිරිඳ සමඟ ගැටුම් ඇති කරගෙන වෛරයෙන් මියගිය බැවින් ඔහුගේ අවතාරය විවාහක කාන්තාවන් බිය වද්දන බවට ගම පුරා පැතිර ගියේය. 


මෙලෙස සති කිහිපයක් ගත විය. සියල්ලන්ටම සිදුවීම අමතක වී ගොස්ය. ප්‍රේතයා කෙරෙහි මතකය සිත්වලින් තුරන් වී ඇත. කිසිවකුත් ඒ ගැන කිසිදු කතාවක් නොකරයි. තම තමන්ගේ වැඩවල යෙදෙමින් ගෙවුණු එක්තරා දිනෙක චතුරාණිගේ නිවසේ සියල්ලෝ සාලයට වී රූපවාහිනිය නරඹමින් සිටින විට සවස හතට පමණ චතුරාණි කුස්සියේ හාල්මැස්සන් තෙල් දාමින් සිටියාය. එක් වරම චතුරාණිට තමන්ගේ ඇඟේ සීතල යමක් ගෑවෙනවා දැනිණ. 


කලබල වී පසෙකට පැන්න ඇයට දැකගත හැකි වූයේ හාල්මැස්සන් බැදෙන තාච්චියට කළුම කළු මිනිහෙක් අත දමන අයුරුය. “හොල්මනක් හොල්මනක්” චතුරාණි බෙරිහන් දුන්නාය. 


නිවැසියෝ කුස්සියට දුවගෙන ආහ. චතුරාණිට සිහිනැතිව බිම වැටී සිටිනු දුටු සියල්ලෝ ඇය ඔසවා පසෙකින් තබා මුහුණට වතුර ඉස ඇය සිහිගැන් වූහ. රාත්‍රී ආහාරය පිසිමින් සිටි ඇයට කුමක්ද සිදුවූදැයි විමසූ නිවැසියෝ “මොකද වුණේ” අසමින් පවන් සලන්නට වූහ. හාල්මැස්සන් තෙලේ බැදෙමින් තිබූ බවත් තමන්ගේ ඇඟේ සීතලට යමක් ගෑවෙන නිසා අහකට පැන්න බවත් එකෙණෙහිම කළු මිනිහෙක් හාල් මැස්සන් බැදුමට අත දැමූ බව චතුරාණි සියල්ලන්ටම පැවසුවාය. 


සිදුවීමෙන් පසු සුරණිට මෙන්ම චතුරාණිට ද උණ ගත්තාය. යකැදුරා ගෙන්වා නූලක් මතුරා ඇගේ කරට ද දැමිණ. 


මෙය නම් නවතින පාටක් නැත. විජේපාලගේ ප්‍රේත ආත්මය හොල්මන් කරන බවට ගම පුරා යළිත් පැතිරෙන්නට විය. තිබුණු සන්සුන්කම පළා ගියේය. නැවත ගමම භීතියෙන් ඇලුණි. කාන්තාවන් තනියම කුස්සියේ ආහාර පිසීමට කැමැත්තක් නොදැක්වූහ. තනියට අයෙකු රඳවා ගනිමින් ආහාර පිළියෙළ කිරීම සැමගේ පුරුද්දක් බවට පත්විය. නමුත් සුරණිට මෙන් චතුරාණිට සුව වූයේ නැත යකැදුරාගේ නූලෙන් පලක් නොවීය. ගමටම ශාන්තිකර්මයක් කරවීමට කටයුතු කෙරුණි. ශාන්තිකර්මයෙන් අනතුරුව චතුරාණිට නැවත නූලක් දැමීය. එයින්ද පලක් නොවීය. ඇගේ කියවීම නතර නොවුණි. සහලෝල උණ, උමතුවෙන් කියවීම, බිය වී ඇද වැටීම නතර නොවුණි. තත්ත්වය එන්න එන්නම උත්සන්න විය. 


කෙසේ හෝ ගමේ අයෙකුට වෛද්‍ය පී.එන්. විද්‍යාකුලපති මහතා පිළිබඳව දැනගැනීමට ලැබුණි. 


හොල්මන්, ප්‍රේත, භූත, යකුන් පලවා හරින බවත් ඉන්පසු කිසිදු ආකාරයකින් කිසිදු යකෙක්, ප්‍රේතයෙක්, භූතයෙක් නොඑන බවටත් ලැබුණු ආරංචිය මත චතුරාණි මනෝ චිකිත්සක, වෛද්‍ය පී.එන්. විද්‍යාකුලපති මහතා වෙත රැගෙන ආහ. 


සියලු විස්තර සලකා බැලූ වෛද්‍යවරයා මුලින්ම කළේ චතුරාණිගේ බිය ඇගේ සිතින් තුරන් කර ඇය සුවපත් කිරීමයි. ඉන්පසු විජේපාලගේ අවතාරය දැක බියපත් වූ අයව ගෙන්වා වෙන වෙනම ඔවුන්ගෙන් කරුණු විමසුවේය. ඇතැමුන් මෝහන නිද්‍රාවට පත් කෙරුණි. සියලු කරුණු වෙත වෛද්‍ය පී.එන්. විද්‍යාකුලපති මහතාගේ අවධානය යොමුවිය. ඉන්පසු සියල්ලන්ටම සත්‍ය පැහැදිලි කළේය. 


මුලින්ම බියට පත්වුණු සුරණිගේ සිතෙහි විජේපාලගේ මරණය ඇසීමෙන්ම බියක් හටගත්තා. ඉන්පසු මරණය සිදුවූ ආකාරය දැනගත් සුරණිට බෙල්ලේ වැල දාගෙන මියගිය පුද්ගලයා කෙරෙහි බියක් හටගත්තා. අපි අසා තිබෙන විධියට පුලුටු සුවඳට හොල්මන් අවතාර ළං වෙන බව ඇතැමුන් විශ්වාස කරනවා. එම හැඟීම මැයගේ යටි සිතෙහිද තැන්පත් වී තිබුණා. ඒ අනුව සුරණිගේ සිතෙහි අර පුද්ගලයාගේ මරණය සමඟ ඇති වූ බිය නිසා යටි සිතේ තැන්පත් වී තිබුණු එම හැඟීම අවදි වුණා. ඇය රොටී පුච්චන විට කළු අතක් ජනේලයෙන් ඇතුල් වී රොටිය ගන්නා සෙයක් මැවී පෙනුණා. ඇයගේ විස්තර දැනගත් ගම්මු විශ්වාස කරන්න ගත්තා මැරුණු විජේපාල අවතාරයක් වී මෙලෙස පැමිණ ඇති බව. එලෙසම චතුරාණිටත් ඒ දේම සිදුවුණා. මෝහන නිද්‍රාවේදී එවන් කෙනෙකු නොදුටු බවට සිදුවීම්වලට ලක්වූ අයගෙන් අනාවරණය වූ බව ඔබ සියලු දෙනාටම ඇසුණා. එසේ නම් මේවා මිනිසුන්ගේ යටි සිතේ තැන්පත් වී ඇති මිත්‍යා විශ්වාස පමණක් බව ඔබ සියලු දෙනාටම වැටහෙන්න ඇති. 


කිසිදු ප්‍රේතයෙකු, භූතයෙකු, යකෙකු මෙම සිදුවීම්වලට සම්බන්ධ නැහැ. සිතේ ඇති වූ විශ්වාසයන්වල ප්‍රතිඵලයක් හැටියටයි මේවා සිදුවන්නේ. එම නිසා කිසිදු බියක් ඇති කරගත යුතු නැති බවට වෛද්‍ය පී.එන්. විද්‍යාකුලපති මහතා සියල්ලන් දැනුම්වත් කළේය. වසර කීපයක් ගත වුණද ඉන්පසු කිසිදු අවතාරයක්, ප්‍රේතයෙක්, යකෙක් කිසිවකු දැක්කේ ද නැත. බියට පත්වූයේ ද නැත. 


(මෙහිදී නම් ගම් පමණක් රෝගියාගේ ආරක්ෂාව හා පෞද්ගලිකත්වය වෙනුවෙන් වෙනස් කර ඇති අතර, සත්‍ය සිදුවීමකි.) 

 

 


සටහන: 
හබරාදුව නිමල් අල්ගෙවත්ත