මිනිසාගේ ආදිතමයා වඳුරා. සමාජයේ වැඩි දෙනෙක් පිළිගෙන තියෙන්නෙ එහෙමයි. ජිම්පන්සියා, ගිබන්, ඔරන්උටන්, ගොරිල්ලා වඳුරාගේම පරිණාමයන්. මේ එක සතෙක්වත් මාංශභක්ෂකයන් නොවෙයි. ඒ සතුන් ආහාරයට ගත්තේ පලතුරු සහ කොළ වර්ග, උන්ගෙ දත් පිහිටල තියෙන්නෙත් හක්ක පිහිටල තියෙන්නෙත් ගෙඩි වර්ග කෑමට මිසක් මස් කෑමට සුදුසු විදිහට නොවෙයි. දැනට හමු වී ඇති පැරණිතම මානව හක්ක ලැබිල තියෙන්නෙ ජර්මනියේ හීඩල්බර්ග් නුවරින්. ඒ වායේ තිබුණෙ සාමාන්‍ය මිනිසුන්ට තියෙන විදිහේ දත් මිසක් මස් කෑමට සුදුසු පරිදි සකස් වූ දත් නොවෙයි. මස් ඉරාගෙන කන්න පුළුවන් විදිහේ දත් උණ්ට තිබුණෙ නැහැ. සතෙක් අල්ලපු ගමන් හිල්වෙන්න තරම් තියුණු දත් උන්ට තිබුණෙ නැහැ. සතෙක් ගිලගන්නට තරම් දිග හොම්බක් සහිත පළල් මුඛයක් තිබුණෙත් නැහැ.   
 
දැනට කරන ලද අධ්‍යයනවලින් සොයාගෙන තිබෙනවා ඒ සතුන් ගත්ත ආහාර වර්ග 317 ක්. ඉන් සියයට 65.9 ක් පලතුරු. ඉතිරිවා ගස්වල දලු, කොළ, පොතු. උන්ට අවශ්‍ය සම්පූර්ණ කැලරි ප්‍රමාණය ඉන් ලබා ගන්නට පුළුවන් වුණා.   
 
ශ්‍රී ලංකාවෙත් ඉන්දියාවෙත් අවුරුද්දේ හැම කාලෙට ම සරිලන විදිහෙ ශාක ආහාර තිබුණ. ජනවාරි මාසෙ ඉඳල අප්‍රේල් වෙනකම් අල බතල තිබුණා. වැල් අල වර්ග තිබුණා. මාර්තු මාසෙ ඉඳල මැයි වෙනකම් කොස් තිබුණා. මැයි ජූලි මාසවල දෙල් තිබුණා. අපි රටදෙල් කියල කිව්වත් පෙරදිග රටවල දෙල් තිබුණ බව ජාතක පාලියේ සඳහන් වෙනවා. අගෝස්තු - දෙසැම්බර් මාසවල වට්ටක්කා වගේ එළවළු තිබුණා. ශාක ආහාර නැති කාලයක් අපට තිබුණෙම නැහැ.   
 
මස් නොකන හැම සතෙකුටම තියෙන්නෙ ඇඹරුම් දත්. දිග උල් නිය තියෙන්නෙ මස් කන සතුන්ට. බල්ලා බළලාත් දඩයම් සත්තු. උන් දැන් බත් කෑමට පුරුදු වෙලා. ඒත් සතෙක් දැක්ක ගමන් උගේ ඡන්ම ගතිය මතුවෙනවා. පසුගිය දිනවල බල්ලෙක් සත් දිනක් වූ දරුවෙකු කා දැමූ පුවතක් ඔබත් සවන් දෙන්නට ඇති.   
 
ඩයිනෝසිරස් කියන්නෙ ආදිතම සතෙක්. උන්ගෙ පොසිල පරීක්ෂා කරන විට පේනවා උන්ට තිබුණෙ මිනිස් දත්වලට සමාන ශාක ආහාර ගැනීමට යෝග්‍ය දත්, උන් ආහාරයට ගත්තෙ ශාක, විශාල ආහාර ප්‍රමාණයක් උන්ට අවශ්‍ය වුණ නිසා වනාන්තර ඉක්මනින් විනාශ වුණා. ඩයිනෝසිරස් මස් කන සතෙක් වුණා නම් එක දවසට මුළු වනාන්තරයෙම ඉන්න සතුන් විනාශ වෙන්නට ඉඩ තිබුණා. මුළු පෘථිවියම සත්ත්වයන්ගෙන් තොර එකක් වන්නටත් තිබුණා.   
 
සර්පයින් සතුන් දඩයම් කරන්නෙ උන්ගෙ විෂ දළවලින් විදල අකර්මණ්‍ය කරල. වානර ගෝත්‍රයේ සතුන්ට එහෙම පුළුවන්කමක් නැහැ.   
 
මිනිසා වඳුරාගෙන් පැවතෙන බව මුලින්ම ප්‍රකාශ කළේ චාල්ස් ඩාවින් නමැති ඉංග්‍රීසි ජාතිකයා. රුසියන් ජාතික කවලැස්කි ඒ අදහස තව ඉදිරියට ගෙන ගියා. මිනිසාත් වඳුරාත් අතර වූ අතරමැදි සත්ත්වයාගේ ස්වරූපය දැනගන්න කිසිදු සාධකයක් මෙතෙක් හමු වී නැහැ. ඒ නිසා ඒ කාලය තුළ උන්ගෙ ආහාර රටාවෙ වෙනසක් වූ බව සිතාගත නොහැකියි. පලතුරු ආහාරයට ගන්නට සකස් ව තිබූ දත් මස් කෑමට සරිලන විදිහට සකස් වෙන්න එකවරටම බැරිනිසා.   
 
වසර මිලියන ගණනක් ශාක භක්ෂකයකු වූ වඳුරා එක වරටම මාංශ ශක්ෂකයකු වුණේ කොහොමද? ඒක උත්තරයක් නැති ප්‍රශ්නයක්. ලැව්ගිනි ආදි ස්වභාවික හේතු නිසා වනාන්තර විනාශ වූ බව ඇතැම් මානව විද්‍යාඥයන් කියනවා. ලැව්ගිනිවලට ශාක විනාශ වී ගියා නම් සත්ත්වයින් විනාශ නොවුණේ ඇයි. ගසක් වසර ගණනාවක් යනතුරු පල දරනවා. ඒ පල එකවර ම අවසන් වෙන්නෙ නැහැ. ඒත් එක් සතෙක් ආහාරයට ගන්න පුළුවන් එක දවසයි. ශාක බෝවෙන තරම් ඉක්මනින් සත්ත්වයින් බෝවෙන්නෙත් නැහැ. එහෙනම් ආහාර හිඟවීම නිසා සත්වයා මස් කන්න හුරු වුණා යැයි කීම මුසාවක්.   
 
ආහාර සඳහා දලු, කොළ, ගෙඩි සහ අල වර්ග සොයා ගැනීම පහසුයි. ඒත් බයිසන් ගවයා මැමත් වැනි සතකු තබා හාවෙකුවත් මරා ගැනීම එතරම් ලේසි නැහැ. කිලෝ සිය ගණනක් බර මස් එකවර කන්නට තරම් විශාල ජන සංඛ්‍යාවක් එක තැන හිටියෙත් නැහැ. අපේ ධාන්‍ය වර්ග අවුරුදු ගණනක් වුනක් කිසිම වෙහෙසක් නැතුව තියා ගන්න පුළුවන්. එහෙනම් ආදිකාලීන මානවයා දඩයක්කරුවෙක් කියන කතාව පිළිගන්න තරමක් අමාරු දෙයක්.   
 
ආදිකාලීන මිනිසා සතුන් මරාගෙන කෑ බවට මානව විද්‍යාඥයන් පෙන්වන එක සාධකයක් තමයි පැලියොලිතික යුගයට අයත් රුසියාවෙන් හමු වූ ගල් ආයුධ. පාහියන්ගල ගුහාවෙන් හමුවුන රවුම් කරන ලද ගල් සතුන් මරන්නට ම යොදාගත් ඒවා යැයි කියන්නට තියෙන සාධකය මොකද්ද? ඒ ගල්වලින් ගහල නම් හාවෙක්වත් මරාගන්න බැරි තරම්. ගසක ඉහළ අත්තක තියෙන ගෙඩියක් කඩා ගන්නට යොදා ගත් එකක් වන්නට බැරිද? අපි පුංචි කාලෙ ගල් ගහල කොච්චර අඹ කැඩුවද? උල් ආයුද පොළොව යට තියෙන අලයක් හාරගන්න පාවිච්චි කරපු එකක් වෙන්නත් පුළුවන්.   
 
ගල් ගුහාවල තිබුණ ඇට කටු මිනිසා විසින් ම කාපු සතුන්ගෙ කියල කියන්නෙ කොහොමද? ඇයි සිංහ, ව්‍යාඝ්‍ර ආදී සතුන් කාපු ඒව වෙන්නත් බැරිද? ඒ සතුනුත් වැඩිය හිටියෙ ගල් ගුහා ආශ්‍රිතවයි.   
 
අමාරුවෙන් සෙතක් මරා ගන්නවට වැඩිය ආසියානු රටවල කැලේ වැවුණු කොස්, දෙල්, අල බතල සපයා ගන්න එක ඒ මිනිසුන්ට බොහොම පහසුයි. එදා ජීවත් වූ මිනිසා සිටි වැලිගෙපොළ ගල්ගුහාවලින් හමුවෙලා තියෙන්නෙ සතුන්ගෙ ඇට කෑලි නොවෙයි වී, තල, වට්ටක්කා, කැකිරි ආදියේ ඇට, මේ අනුව ආදිකාලීන මිනිස්සු මස්ම කන්න තරම් සැහැසි වුණැයි කියල හිතන්න බැහැ.   
 
ස්පාඤ්ඤයේ ලැස්කෝ ඇල්ටාමීරා ගුහාවල සතුන්ගේ රූප සිත්තම් කොට තිබෙනවා. රුමේනියාවෙන් සොයා ගත් සිත්තමක තියෙන්නෙ ගවයකු දක්කාගෙන යන මිනිහෙක්. ඒකෙන් කොහොමද කියන්නෙ මේ මිනිස්සු සතුන් දඩයම් කරපු අයයි කියල. මේ ගුහා සිත්තම් අතර කෙක්කකින් ගහක ගෙඩියක් කඩා ගන්නා සිත්තමුත් තිබෙනවා.   
මේවයින් අපට හිතාගන්න පුළුවන් වෙන්නෙ ආදිකාලීන මිනිසා මස් කාපු අය නොවෙයි ගස්වල ගෙඩි ජාති කාපු අයයි කියල. සමහර විට ගහක් කොළයක් නැති ශීත හා උෂ්ණ කාන්තාරවල සිටින මිනිසුනුත් වී, කුරක්කන්. කඩල, මුං ඇට වැනි ධාන්‍ය වර්ග නැති රටවල මිනිසුනුත් මස් කන්නට ඇති. ඒක සැලකිල්ලට ගෙන සියලුම මිනිසුන් මස් කෑ අයයි නිගමනය කිරීම සාධාරණ නැහැ.   
 
මානවයාගේ ආරම්භය වෙනත් ග්‍රහලෝකයකින් පැමිණි මානවයන්ගෙන් ආරම්භ වුණා කියලත් සමහරු කියනව. දීඝ නිකායේ අග්ගඤ්ඤ සූත්‍රය ඊට සමාන කතාවක්. ඒත් ඒ සත්වයෝ ආහාර වශයෙන් ගත්තේ බදාලතා වැල්, ස්වයංජාත හැල් වී. සම්පූර්ණයෙන් ප්‍රාණඝාතයෙන් වැලකුණු අය.   
 
අපේ පැරණි බණ පොත්වල තියෙනවා අවුරුදු ගණන් කැලයේ ජීවත්වූ තාපසවරුන් ගැන. ඒ අය කෑමට ගත්තෙ පලතුරු. අද අපිට අහන්න දකින්න නොලැබෙන ගෙඩි වර්ග, අල වර්ග රාශියක් ත්‍රිපිටකයට අයත් ථේරාපදානයේත් ජාතක පාළියේ වෙස්සන්තර ජාතකයේත් සඳහන් වෙනවා. ඒවා බුද්ධ කාලයේත් තිබුණු ඒවා බව නිසැකයි. කොස්, දෙල් සාමාන්‍ය මිනිසෙකුට අවශ්‍ය ප්‍රමාණයට කැලරි ලබා දෙන ආහාර.   
 
ලෙඩ රෝග නිසා ශරීරය දුර්වල වුණු අයට වෛද්‍යවරුන් කියනවා මස් පීකුදු කන්න කියල. එහෙම කියන්නෙ මහාචාර්යවරු එහෙම උගන්වපු නිසා. ඒ අය ඉගෙන ගත්ත වෛද්‍ය විද්‍යා පොත්වල තිබුණ නිසා. ඒ පොත් ලිව්වෙ යුරෝපීය රටවල අය, එහෙට හරියන විදිහට. එහෙම නැතුව කොළ කැඳ බොන්න කියල අසුවල් චූර්ණය ගන්න කියල ඒ අයට කිව්වට වැඩක් නැහැ. ඒ නිසයි මස් කන්න කිව්වෙ. අපේ ආහාරවල මොන විදිහෙ පෝෂණ ගුණ තියෙනව ද කියල මෑතක් වනතුරු කිසිදු පර්​ෙ‌ය්ෂකයෙක් හොයල බැලුවෙ නැහැ. ඒත් අපේ දේශීය වෛද්‍යවරු ඒවා ගැන හොඳට දැනගෙන හිටියා. දුර්වල ශරීර ඇති අයට චූර්ණ හදල දීල ඉන් මුදවාගත්තා.   
 
යුරෝපයේ නොවැවෙන බොහෝ ආහාර වර්ග පිළිබඳ ව පර්​ෙ‌ය්ෂණ පවත්වා ඒවායේ ප්‍රෝටීන් හා වෙනත් පෝෂක ගුණයන් ඉතා ඉහළ අගයක පවතින බව දැන් සොයාගෙන තියෙනවා. පහත දැක්වෙන වගුව ඒ බව මැනවින් පැහැදිලි කරන්නක්.   
 
ආහාරය ප්‍රෝටීන්   
ගවමස් 17.97%   
කුකුළු මස් 18.68%   
සෝයා 37.00%   
පරිප්පු 25.00%   
මුං ඇට 21.85%   
නිවුඩු හාල් 7.40%   
 
(බොස්ටන්හි මර්ෆම් විශ්වවිද්‍යාලයේ කෘෂිකර්මය හා මානව පෝෂණ පර්​ෙ‌ය්ෂණ මධ්‍යස්ථානයේ වාර්තාව)   
 
එළවළු, පලතුරු හා ධාන්‍ය වර්ග පරිභෝජනයෙන් නිදන්ගත ආසාදනයන් වන හෘදය රෝග, ස්නායු ආබාධ, දියවැඩියාව, අධික තරබාරුව හා පිළිකා ආසාදන මැඩ පැවැත්වෙන බව නවතම පර්​ෙ‌ය්ෂණවලින් හෙළි වී තිබෙනවා. එළවළු හා පලතුරු අනුභවයෙන් මොළයේ ක්‍රියාකාරිත්වය කාර්යක්ෂමවීම, කොලොස්ටරෝල් මර්දනය, මේද අම්ල අඩුවීම, සෞඛ්‍ය සම්පන්තවීම හා මරණ අනුපාතය අඩුවීම සිදුවන බව හෙළි වී තිබෙනවා.   
 
(වෛද්‍ය ඩී.පී. අතුකෝරාල, සිළුමිණ, 2004.10.03)   
 
ශරීරයට අවශ්‍ය කරන ඇමයිනෝ අම්ල සත්ව ප්‍රෝටීන්වල මිසක් ශාක ප්‍රෝටීන්වල නැතැයි සමහරුන් කියනවා. ඇමයිනෝ අම්ල ශරීරයට අත්‍යවශ්‍යයැයි කියන මතය දැන් බොරුවක් වෙලා විතරක් නොවෙයි එයින් ශරීරයට බරපතළ හානි ඇති කරන බවත් දැන් තහවුරු වෙලා. ඇමයිනෝ අම්ල නිසා ශෛල විනාහ වන බවත් වෛරස් ආසාදන වැඩිවන බවත් පිළිකා හට ගන්නට හේතු වන බවත් දැන් සොයාගෙන තියෙනවා.   
 
(විද්‍යා සඟරාව, 18/9)   
 
ප්‍රමාණයට වඩා සත්ව ප්‍රෝටීන් ශරීර ගත වන විට ඒවා බැහැර කරන්නට සිදු වෙනවා. ඒ කාර්ය කරන්නේ වකුගඩුවලින්. වකුගඩුවලට ඒ අනවශ්‍ය බරක්. ඒත් ශාක ප්‍රෝටීන් කොතෙක් ශරීර ගත වුවත් එහෙම වෙන්නෙ නැහැ. ඒවා ජලයේ දිය වී ශරීරයෙන් බැහැර වෙනවා. ඒ හැර සත්ව ප්‍රෝටීන් මගින් ශරීරයට ඇමෝනියා යූරියා හා මේදය එක් වෙනවා.   
සතෙක් මරණ කොට ඌ බයෙන් තැති ගන්නවා. එයින් උගේ ඇගේ ලේ විෂ වෙනවා. විෂම වූ ලේ සහිත මස් කෑම නිසා ඒ විෂ අපේ ශරීරය පුරා පැතිරෙනවා. මස් කන අයට දද කුෂ්ට වැඩියෙන් හැදෙන්නෙ ඒ නිසයි. මස් කන අය අනෙක් අයට වඩා කුරිරු ඒ නිසා යැයි පර්​ෙ‌ය්ෂණවලින් හෙළි වී තිබෙනවා.   
 
අද තියෙන්නෙ සත්ත්ව ගොවිපළවල්, ඒ සතුන් ඉක්මනින් මහත් වී බර වැඩිවන්නට ටෙරප්තලික් අම්ලය දෙනවා. මස් සමග ඒවාත් මිනිස් ශරීරයට ඇතුළුවීම නිසා හෘදයාබාධ, මහ බඩවැලේ හා පුරස්ථි ග්‍රන්ථියේ පිළිකා, ස්ථුලතාව, වකුගඩු ආබාධ, අක්මා ආබාධ හා ඔස්ටියෝ පොරොසාවට ගොදුරු වෙනවා (විද්‍යා 18/10)   
 
ශ්‍රී ලංකාවේ පවතින ප්‍රධාන පෝෂණ ප්‍රශ්නය ප්‍රෝටීන් ඌනතාව නොවෙයි. යකඩ, කැල්සියම් හා විටමින් ඌනතාවයි. ශ්‍රී ලංකාවේ පෙර පාසල් ළමුන්ගෙන් සියයට 56 ක්ම යකඩ, කැල්සියම් හා විටමින් ඌනතාවෙන් පෙළෙනවා. ඒත් ප්‍රෝටීන් ඌනතාව 38.9 යි මේ වාර්තාව 1976 එකක් වුවත් අද තත්ත්වයත් ඒකමයි. එහෙම නම් යකඩවත් කැල්සියම්වත් නැති මස් කෑම එයට පිළියමක් වෙන්නෙ කොහොමද? අප බහුලව ගන්නා ආහාර වර්ග කීපයක ඇති කැල්සියම් සහ යකඩ ප්‍රමාණය මේ වගුවෙන් පේනවා.   
 
ආහාරය      කැල්සියම්      යකඩ   
මස්                 10         0.8   
පලාවර්ග          510        16.7   
 
තණකොළ කන හරකට හොඳට බර අදින්න පුළුවන්. අශ්වයාට දුවන්න පුළුවන්. මුවාටත් හාවාටත් එහෙම දුවන්න පුළුවන්. ඉබ්බාගේ ආයුෂ හුඟක් වැඩියි. කොළ කන අලියා තමයි ගොඩබිම ඉන්න ලොකුම සතා.   
 
කොටියා, සිංහයා, ව්‍යාඝ්‍රයා මස් කන සතුන්, උන් ඉක්මනින් ලොකු මහත් වෙනවා. අවුරුදු 10 ක් යනකොට හැදිලා වැඩිලා මැරිලත් ඉවරයි. උන්ගෙ ආයුස ඒ තරම් කෙටියි. 
 
ඇමෙරිකාවේ කෝටි දෙකක ජනතාව නිරන්තරයෙන් සාගින්නෙන් පෙළෙන බව හාවඞ් විශ්ව විද්‍යාලයේ කරන ලද පරීක්ෂණයකින් හෙළි වී තිබෙනවා. (කල්පනා 1982/2) ඒත් ඇමෙරිකාව නිපදවන ධාන්‍යවලින් සියයට 50 ක් යොදාගන්නේ සත්ත්ව ආහාර වශයෙන්. ඒ තියෙන මිනිස්සුන්ට කන්න මස් ප්‍රඹාණය වැඩිකරගන්න.   
 
ගවමස් කිලෝ එකක් නිපදවන්න ධාන්‍ය කිලෝ 10 ක් ඕනෑ කරනවා. ඌරු මස් කිලෝවක් නිපදවන්න ධාන්‍ය කිලෝ 5 ක් ඕනෑ කරනවා. එය ලෝක ආහාර ප්‍රශ්නයට විතරක් නොවෙයි ඇමෙරිකාවේ සාගින්නටද හේතුවක් වෙන බව මහාචාර්ය නේවින් ස්ක්‍රිම් පවසනවා.   
 
ලංකාවෙ මිනිසුන් මස් පිණිස ගවයන් ඇති කරන්නෙ නැහැ. මස් පිණිස එළුවන්, ගවයන් ඇති කිරීම විශාල ඉඩම් නාස්තියක්. ශ්‍රී ලංකාවෙ එහෙම වැඩිපුර ඉඩම් නැහැ. එක් අක්කරයකින් ලබාගත් හැකි ප්‍රෝටීන් ප්‍රමාණයන් මේ ආකාරයෙන් දක්වන්නට පුළුවන්.   
 
මස් 58, සෝයා 508, මාෂබෝග 293, ඉරිඟු 323,   තිරිඟු 180   
 
යුරෝපයේ තිරිඟු අක්කරයකින් ප්‍රෝටීන් 180 ක් ලබා ගන්නා විට ලංකාවේ ඉරිඟුවලින් 323 ක් ලබා ගන්න පුළුවන්. මේ අනුව මස් පිණිස සතුන් ඇති කරනවා වෙනුවට ධාන්‍ය වගා කරන්නේ නම් ලෝක ආහාර ප්‍රශ්නයට සුළුවෙන් හෝ විසඳුමක් වෙන්නට පුළුවන්.   
 
කෘෂිකර්මයෙන් අපට කවදාවත් ගොඩ එන්න බැහැයි මිථ්‍යාවක් තියෙනවා. අනෙකුත් ආදායම් සමග සසඳන විට කෘෂි ආදායම් දර්ශකය.   
 
නෙදර්ලන්තයේ 200   
ඩෙන්මාර්කයේ 175   
ප්‍රංශයේ 160   
ඇමෙරිකා එක්සත් ජනපදයේ 110   
ජපානයේ 110   
 
මේ සියලුම රටවල් ආර්ථික වශයෙන් පොහොසත් රටවල්, අවුරුද්ද පුරාම වර්ෂාව පවතින සශ්‍රීක පොළොවක් ඇති අපට එහෙම බැරි ඇයි. කෘෂි අංශයෙන් වැඩි ලාභ ලබන්නට පුළුවන් වන්නේ නිසි වාර්මාර්ග ක්‍රම, පොහොර හා උසස් ගොවිතැන් ක්‍රම උපයෝගි කර ගැනීමෙන් ශ්‍රී ලංකාවේ පැරණි වාරිමාර්ග පද්ධතිය මොනතරම් ක්‍රමවත්ව තිබිණිද යන්න පුරා විද්‍යා සමීක්ෂණවලින් හෙළි වී තිබෙනවා.   
 
කොතෙක් නීති තිබුණත් මස් සඳහා මේ රටේ වන සතුන් කොපමණ ප්‍රමාණයක් මරනවාද යන්න පිළිබඳව සංඛයා ලේඛනයක් ඉදිරිපත් කරන්නට පුළුවන් කමක් නැහැ. ඒ බොහෝ සතුන් ගෝනුන් මුවන් වැනි ශාක ආහාර ගන්නා සතුන්.   
 
එකවර ම ඔබ සියලු ආකාරයෙන්ම මාංශ පරිභෝජනයෙන් වැලකිය යුතු යැයි මින් අදහස් කරන්නේ නැහැ. මාංශයට ම ගිජු වී එයට ම ඇලීම නතර කර ඔබේ ආශාව තරමක් හෝ ලිහිල් කරගන්න. එවිට ඔබට සැනසුමක් ලැබේවි.   
 
 
 
 
මිල්ටන් මද්දුමාගේ