ඉන්දියාවේ අභිරහස්   

 

අවට ඇති අනෙකුත් සියලු ගොඩනැගිලි කුරුමිට්ටන් බවට පත් කරමින් අම්රිත්සාරයේ ශුද්ධ වූ නදිය මධ්‍යයේ පිහිටා ඇති රන් දෙවොල ආසන්නයේ පිහිටා තිබූ සුවිශාල මාලිගයක් මේ වන විට ඉතිහාසයෙන් හා මතකයෙන් මැකී ගොස් තිබේ.  

 

 
1849 දී සික් අධිරාජ්‍යය බිඳ වැටී පන්ජාබය බ්‍රිතාන්‍යය යටතට පත්වීමෙන් පසු බොහෝ යුරෝපීය චිත්‍ර ශිල්පීන් හා ඡායාරූප ශිල්පීහු පන්ජාබයේ අම්රිත්සාර්හි පිහිටි රන් දෙවොල නරඹන්නට පන්ජාබයට ඇදී එන්නට වූහ. රන් දෙවොලේ ප්‍රථම ඡායාරූපය 1850දී ෆෙලිස් බියෙටෝ විසින් ගන්නා ලද අතර විලියම් කාපෙන්ටර් විසින් එය සිතුවමට නැගීය. එම ඡායාරූප, සිතුවම් හා සංචාරක ලේඛනවලින් රන් දෙවොල ආසන්නයේ පිහිටි තවත් අපූරු මාලිගයක් පිළිබඳ තොරතුරු අනාවරණ කෙරිණි. මේ වන විට සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති මෙම මාලිගය ඉදිකරන ලද්දේ කවුරුන් විසින්ද, එහි හිමිකරුවා කවුරුන්ද යන්න ඉතිහාසඥයන්ගේ අවධානයට යොමු වූ අතර ඒ පිළිබඳ පැහැදිලි නිගමනයකට එළැඹෙන්නට හැකි වූයේ නැත.   


විනාශ වූ එම මාලිගය සික් ඉතිහාසයේ වැදගත් ස්ථානයක් ගනී. දර්බාර් සහිබ් සංකීර්ණය නමින් හැඳින්වෙන ක්‍රි.ව. 1836 දී නිර්මාණය කරන ලද පැරණි ලී කැටයමක් රන් දෙවොල භූමියෙන් හමු වී තිබිණි. එම ලී කැටයමේ දැනට අතුරුදන්ව ඇති මාලිගය දැකිය නොහැකිය. ක්‍රි.ව. 1830 පමණ වන තෙක් මෙම මාලිගය ඉදිකෙරී නොතිබූ බවට එය සාක්ෂියකි. මෙම මාලිගය ක්‍රි.ව.1830න් පසුව හා ක්‍රි.ව.1841 පෙර කාලයක ඉදි කරන්නට ඇතැයි අනුමාන කළ හැකි බැව් ඉතිහාසඥයන්ගේ මතය වී තිබේ.   

 

 


ක්‍රි.ව. 1841 දී ඕගස්ට් ෂොයෙෆ් නමැති චිත්‍ර ශිල්පියකු විසින් පන්ජාබයේ රන්ජිත් සිං නමැති මහරාජාගේ රුවක් රන් දෙවොල පසුබිම් වන සේ සිතුවමට නගා තිබේ. ඒ අනුව ශුද්ධ වූ නදියේ ඉදි කර ඇති විශාලතම මාලිගයේ හිමිකරු මහරාජා රන්ජිත් සිං යැයි ඔවුහු අනුමාන කරති. මහරාජා රන්ජිත් සිං හට ඉන්දියාවේ විවිධ ප්‍රදේශයන්හි මාලිග රැසක් තිබූ අතර ඔහු ඒවායේ කලින් කලට වාසය කරන ලදැයි පැවසේ. සික් අධිරාජ්‍යයේ අවසන් පාලකයා වූයේ මහරාජා රන්ජිත් සිංය. අවසාන කාලයේ රන් දෙවොල අසල මාලිගයේ වාසය කර ඇත්තේ රන්ජිත් සිංගේ පුත්‍රයා වු ෂේර් සිංය. මහරාජා රන්ජිත් සිංගේ මාලිගය ඉතා අලංකාර මාලිගයක් සේ සැලකෙයි. එහි සිට රන් දෙවොල හා ශුද්ධ වූ නදිය මනාව දිස් වූ අතර මහරාජා රන්ජිත් සිං මාලිගයේ සිට රන් දෙවොලේ පූජකවරුන් ගායනා කළ ආගමික ස්තෝත්‍ර ශ්‍රවණය කිරීමට පෙළඹී සිටි බවද පැවසේ.   


රන් දෙවොල ඉදිවී ඇති ශුද්ධ වූ නදියේ ඉවුර වටා තවත් කුඩා මාලිග 84ක් ඉදිකර තිබූ බැව් පැවසේ. ඒවායින් ඇතැම් මාලිග, ධර්මය ඉගැන්වීමේ මධ්‍යස්ථාන වශයෙන් භාවිත කර තිබේ. අනෙක් මාලිග පන්ජාබයේ ඉතා බලවත් පුද්ගලයන්ගේ නිවහන් විය. කල් ගත වන විට මේ මාලිග එකිනෙක අභාවයට ගියේය. එවා කඩා බිඳ වෙනත් ගොඩනැගිලි ඉදි කෙරිණි. එම මාලිග අතරින් වර්තමානයට ඉතිරිව ඇත්තේ අකාල් බුංගා ලෙසින් හැඳින්වුණු මාලිගය සහ රාම්ඝාරියා බුංගාව ලෙසින් හැඳින්වුණු මාලිගයත් පමණකි. මෙම මාලිග කඩා බිඳ දමා ඇත්තේ බ්‍රිතාන්‍යයන් විසිනි.   


ඉංග්‍රීසි පාලන සමයේ මහරාජා රන්ජිත් සිංගේ මාලිගයේ ක්‍රිස්තියානි මිෂනාරිවරුන්ගේ අම්රිත්සාර් මිෂනරි පාසල නමින් පාසලක් පවත්වා ඇති අතර කලින් කලට එය බන්ධනාගාරයක්, අධිකරණයක් හා පොලිසියක්ද බවට පත් විය. බ්‍රිතාන්‍යයන් විසින් මාලිගය කඩා බිඳ දමා, ගොතික් ශෛලියේ විශාල ඔරලෝසු කණුවක් ඉදිකරවා එම භූමිය අතිවිශාල සක්මන් මළුවක් බවට පත් කර තිබේ. බ්‍රිතාන්‍යයන්ට සික් දහම පිළිබඳ ගරුත්වයක් නොවූ හෙයින් එම දහමට සම්බන්ධ විශ්වාස ක්‍රිස්තියානි දහමට පරිවර්තනය කිරීමට ක්‍රියා කළ බැව් පැවසේ.

 

 

 

 

 

අන්තර්ජාලයෙනි   
ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා