IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


හින්දි චිත්‍රපටයකින් හැදූ ‘සුරතලී’ චිත්‍රපටය

සලරුවක කතාව

 

රවීන්ද්‍ර රූපසේන (සුදත්) හා ඇල්.ඇම්.පෙරේරා (පොඩියන්)   

 

ආනන්ද ජයරත්න (සුසිල්) එල්.එම්.පෙරේරා (පොඩියන්) හා සුදත් (රවීන්ද්‍ර රූපසේන)   

 

‘සුරතලී’ දර්ශනයක පෙර පුහුණුවක් (සිරිමතී, ආනන්ද, ලීනා, රවීන්ද්‍ර හා අධ්‍යක්ෂ අබේරත්න   

 

 

 

සුදත් හා සුසිල් ගජ මිතුරන් දෙදෙනෙකි. එහෙත් ඔවුන්ගේ ගති ගුණ අහසට පොළොව මෙන් දුරස්ථය. සුදත් සාමාන්‍ය පවුලක චාම්, සරල ජීවිතයක් ගත කරන අහිංසක ගති පැවතුම් ඇති තරුණයෙකි. සංගීතයට කැමති ඔහු මැන්ඩලීනය වාදනය කරමින් තනිවම සතුටක් ලබයි.   


ධනවත් තරුණයකු වූ සුසිල් විනෝදකාමියෙකි. සල්ලාල ගති ගුණ ඇත්තෙකි. දක්ෂ චිත්‍ර ශිල්පියෙකු වූ ඔහුගේ ඇතැම් ගති ගුණ සුදත් අනුමත නොකළ ද ඔවුන්ගේ මිතුදමට එයින් බාධාවක් නොවීය. 

 
නුවරඑළියේ සුසිල්ගේ වත්තක නිවාඩුවක් ගත කිරීම සඳහා සුදත්ට ඇරැයුම් ලැබෙයි. සුදත් නුවරඑළියට ගියේ සුසිල්ගේ මොරිස් මයිනර් කාර් එකෙනි. ඔවුහු අතරමඟදී දිය ඇල්ලක දිය නාමින් ගී ගයමින් සිටින තරුණියන් පිරිසක් දකිති.   


කෙළිලොල් ගති ඇති සුසිල් බිමට බැස්සේය. තරුණියන් අතර සිටි මානෙල් විසින් වෙනත් පැත්තකට වීසි කරන ලද මඩ පහරක් සුසිල්ට වැදීම නිසා මහත් අකරතැබ්බකට මුහුණ දුන්නේය. මේ තරුණිය පිළිබඳ අදහසක් ඇති වූ සුසිල් ඇය හා ආදර සබඳතාවක් ඇති කර ගැනීමට සිතා ඇය ලවාම තමාගේ ඇඟේ වූ මඩ පැල්ලම මකා දැමීමට මාර්ගයක් උදාකර ගත්තේය. තරුණිය එනම් - මානෙල් මේ සිද්ධිය නිසා සුසිල් කෙරෙහි ආදරයක් ඇති කර ගත්තාය.   


යළිත් ඉක්මනින් හමුවන පොරොන්දුව පිට සුසිල් මානෙල්ගෙන් සමුගත්තේය. සුදත් සමඟ තම වත්තට ගිය සුසිල්ගේ පරම අදිටන වූයේ මානෙල්ගේ පහස ලබා සතුටුවීමටය. මිතුරන් දෙදෙන බංගලාවට යන විට එහි මෙහෙකාර පොඩියන් සියලු පහසුකම් සලසා තිබුණි. තම මිතුරු සුසිල්ට වූ ඇබැද්දිය ගීතයට නැඟූ සුදත් මැන්ඩලීනය ගෙන එය වයමින් ගීතයක් ගැයුවේය.   


‘පිටිසරෙහි අගේ සිරි නරඹමි​ෙන්  
ගිය ගමනක විසිතුරු කියමි මෙසේ
 මම ගයමි මෙසේ   
දිය කෙළින ලෙසේ පිරිවැරුණ තොසේ  
කෙල්ලන් දැක ධනපති කොල්ලෙකුගේ
 සිතු උමතු වුණේ   
මරු විකල වූවෙකු ලෙස කෝපයෙනේ  
වැදි මුහුණ පුරා මඩ පහරයෙනේ  
මැත දොඩමින පැන ගිය නමුදු අනේ  
සිනහවට ඇගේ ඔහු වසඟ වුණේ   
නාදලු වැනි මේ තොල් රතට රතේ  
නිල්මිණි පරදයි නෙත් සඟළ ඇගේ  
සිහිනිඟ රිය සක වැනි උකුළ ළැමේ
රණ තිසරු ගෙනෙයි පෙම් ලොවක සැපේ   


(ගායනය - ධර්මදාස වල්පොල)   


සුදත් හා සුසිල් මේ දැකුම්කළු පරිසරයේ සතුටින් කාලය ගත කරති. සුසිල්ගේ වතුයායේ හුදෙකලාවේ සැරිසැරූ සුදත්ට දිනක් සේපාලිකා මල් නෙළමින් සිටින සුරූපී තරුණියක් හමුවෙයි. ඇයගේ නියම නමට වඩා ගම්මානයේ ප්‍රකටව සිටියේ “සුරතළි” නමිනි. සුසිල්ගේ බංගලාවේ උඩු මහලේ රාත්‍රියේ හුදකලාවේ සුදත් මැන්ඩලීනය වයමින් ගී ගයන විට ඒවා රසවිඳීමට සුරතලී සෑදී පැහැදී සිටියාය. මේ පරිසරය ඔස්සේ සුදත් හා සුරතලී අතර ප්‍රේමයක් ඇතිවිණ.   


සුදත්ගේ පරම පවිත්‍ර පැතුම වූයේ සුරතලිය විවාහ කර ගෙන සැපවත් ජිවිතයක් ගත කිරීමටය. නගරයේ තරුණියන් ඇසුරු කරන සුසිල්ගේ අදිටන වූයේ පිටිසරින් හමු වූ මානෙල්ගෙන් අයුතු ප්‍රයෝජන ලබා විනෝදවීමටය. තරුණ මිතුරන්ගේ මේ පෙම් හබ පෙම්වතියන්ගේ මාපියන්ට ආරංචි විය. සුසිල්ට මෙයින් යම් සහනයක් ලැබුණේ මානෙල්ගේ පියාට ඔහු රැකියාවක් ලබා දුන් නිසාය. එබැවින් ඔහුගෙන් සුසිල්ට බාධාවක් නොවීය.   


දිනක් රාත්‍රියේ සුසිල්ගේ අභිප්‍රාය ඉටු කරමින් මානෙල් ඔහු අතින් අනාථ වූවාය. මෙය වැළක්වීමට සුදත් ගත් උත්සාහයෙන් පළක් නොවීය. මේ නිසා සුදත් තම මිතුරා පිළිකුල් කළේය.   


එක්තරා පුන් පොහොදාක මහ රෑ සිය නවාතැනින් උඩුමහලට වී බුදුගුණ ගීතයක් සුදත් ගයනු සුරතලී අසා සිටියාය.   


සාධූ ශ්‍රී මේ ලෝ හී පතුරා  
මේ පූර්ණ පොහොදා රාජනීය අහසේ නැගෙනා   
සාධු ශ්‍රී   
ශ්‍රද්ධාලෝකය හැම තැන විහිදා සාධු ජනා පුබුදා  
තිලෝගුරු ස්වාමිගෙ ත්‍රෛ මංගල ශ්‍රී  
ලෝ සතහට දුන් දිනය සිහි වේ නෑර අදා”   
(පසුබිම් ගායනය - ධර්මදාස වල්පොළ)   


බුදුගුණ ගීතයක් ගයන සුදත් හදිසියේම දුටුවේ සිය පෙම්වතිය (සුරතලී) මහ රෑ කෙසෙල් ගසක් යටට වී තමා විසින් ගයන බුදුගුණ ගීතය අසා සිටින බවය. සුදත් හනික කළේ තම පෙම්වතිය හැකි ඉක්මනින් ගෙදර බලා යැවීමය. එතැනට පැමිණි සුරතලීගේ පියා සමඟ ඒදණ්ඩ උඩ දී කළ සටනක ප්‍රතිඵලය වූයේ සුදත්ට සති කිහිපයක් කොළඹ රෝහල් ගතවීමය.   


සිය පෙම්වතා නැතිව ළතැවී සිටි සුරතලී ඔහු සොයා මහ මඟට බැස්සාය. කොළඹ පැමිණි ඇය ගණිකා මඩමක නවාතැන් ගන්නේ තම පෙම්වතා සොයා දෙන පොරොන්දුවක් දුන් ස්ත්‍රියකගේ මුසාබසට හසුවීමෙනි. සුරතලී මේ කිසිවක් නොදැන සිටියාය. මේ ගණිකා මඩමට නිතර යන එන සුසිල් තම මිතුරු සුදත්ගේ පෙම්වතිය බව දැන දැනම ඇයට අතවර කිරීමට සූදානම් වන විට සුරතලීගේ පහරකින් ලේ සහිතව ඔහු බිම ඇද වැටෙයි.   


සුදත් නැඟී සිටීමට පෙර එතැනින් පැන යන සුරතලීට ශබ්ද විකාශන යන්ත්‍රයකින් තම පෙම්වතා වූ සුදත් ගීතයක් ගයනවා ඇසෙයි. ඇය ඔහු සොයා දුෂ්කර ගමනක් යයි. සුදත් හමු වී සියලු පුවත් පවසන්නීය.   


ස්ථානෝචිත ප්‍රඥාවෙන් කටයුතු කරන සුදත් සුසිල් සොයා ගොස් කරුණු පහදාදෙයි. ඉන් පසු සුසිල් සමග මානෙල් සොයා ගොස් ඔවුන් විවාහ කර දීමට කටයුතු කරති. සුදත් හා සුරතලිය විවාහ වන්නේ ඉන් පසුවය. හතර දෙනාම සුසිල්ගේ මොරිස් මයිනර් රථයෙන් ගීතයක් ගයමින් සතුටින් ගමන් ගනිති.   


‘පුදුමයකි ලෝකෙ මැවුණා වූ ප්‍රේමේ
ගයමු අමා පෙම් ගීතා විනෝදේ   
ස්ථිර ආලේ පෑ මා හදේ   
සිරියාවි මා ඔබේ සැමදා වෙමි ප්‍රියේ   
සැප සදනා ප්‍රේමේ ඔබ වේය මාගේ  
දෙව් ලෝ සැපා නැතේ පෙම් ලෝ විනා මෙසේ”   


(පසුබිම් ගායනය - ධර්මදාස වල්පොල, ජී.එස්.බී. රාණි, ස්වර්ණා අබේරත්න, එච්.ආර්.ජෝතිපාල)   


1956 සැප්තැම්බර් 19 වැනිදා තිරයට පැමිණි 36 වෙනි සිංහල චිත්‍රපටය වූ “සුරතලී” චිත්‍රපටයේ කතාව විකාශය වන්නේ ඒ ආකාරයටය. මේ චිත්‍රපටය සිලෝන් එන්ටර්ටේන්මන්ට් සමාගම වෙනුවෙන් නිෂ්පාදනය කළේ ජබීර් ඒ. කාදර්ය. 1949 වසරේ ප්‍රදර්ශනය කළ රාජ් කපූර් අධ්‍යක්ෂණය කළ BARSAAT චිත්‍රපටයේ කතාව ඇසුරෙන් සුරතලී කතාව සකස් කර ගෙන ඇති බව පැවසේ.   


“බර්සාත්” ප්‍රධාන චරිතය රඟපෑවේ රාජ් කපූර්, නර්ගීස්, ප්‍රේම්නාත් හා නිම්මිය. Barsaat යනු “වැස්ස” (Rainy Season) යන තේරුමයි. මෙහි ප්‍රධාන චරිත හතර ප්‍රාන් (රාජ් කපූර්) රෙෂ්මා (නර්ගීස්), ගෝපාල් (ප්‍රේම්නාත්) හා නීලා (නිම්මි) ය. මෙහි කතාව රාමනන්ද් සාගර් ගෙනි.   


“සුරතලී” චිත්‍රපටයේ කතා පිටපත සිරිල් පී. අබේරත්න විසින් සකස් කර ඇත. සිරිල් මේ චිත්‍රපටයේ සම අධ්‍යක්ෂවරයාද විය. අනෙක් සම අධ්‍යක්ෂවරයා ඉන්දීය ජාතික කේ. වෙම්බුය. සිරිල් චිත්‍ර ශිල්පියකු, නාට්‍ය රචකයකු, ගීත රචකයකු ද විය.   


කැලණියේ උපත ලබා කෑගල්ලේ ශාන්ත මරියා හා ගාල්ලේ සාන්ත ඇලෝසියස් විද්‍ය​ාලවල ඉගෙනීම ලැබූ ඔහු, කලාගුරු ජේ.ඩී.ඒ. පෙරේරාගෙන් චිත්‍ර කලාව ඉගෙන ඉංග්‍රීසි ගුරුවරයකු ලෙස ශාන්ත ඇලෝසියස් විද්‍යාලයේම කලක් සේවය කොට ඇත. “සැකය”, “සිහිනය”, “අවිවාහක හිත”, “අවසාන හසුන” ඔහු රචනා කොට නිෂ්පාදනය කළ වේදිකා නාට්‍යය ය. එඩී ජයමාන්නගේ ඉතා ප්‍රකට “අච්චාරු භාෂාව” විකට ජවනිකාව ද ඔහුගේ රචනයකි. “සුජාතා” චිත්‍රපටයේ ද කතා පිටපත සකස් කළ ඔහු සුරංගනී චිත්‍රපටයේ ද අධ්‍යක්ෂවරයා ය.   


“බර්සාත්” චිත්‍රපටයේ කතාව එහෙම පිටින්ම කොපි නොගෙන සුළු සුළු වෙනස්කම් ඇතුව “සුරතලී” කතාව දෙබස් හා ජවනිකා ලියූ සිරිල් පී. අබේරත්න ඊළඟට කළේ ඊට සුදුසු නළු නිළියන් සෙවීමය. ඔහුගේ සිතට නැඟුණේ “අහංකාර ස්ත්‍රී” චිත්‍රපටයේ රඟපෑ රවීන්ද්‍ර රූපසේන වෙතය. ඔහු සුදත්ගේ චරිතයට තෝරා ගත් පසු සුරතලීගේ චරිතයට සුදුසු නිළියක් සෙවීය. විසඳුම ගෙනාවේ රවීන්ද්‍ර රූපසේනය.   


“මිස්ටර් අබේරත්න මේ චරිතයට හොඳ ළමයෙන් ඉන්නවා. “අහංකාර ස්ත්‍රී” චිත්‍රපටයේ “ලංකා මාතාව” හැටිය රඟ පෑ පුංචි කෙල්ලක්. නම ලීනා ද සිල්වාය. ඇය ඉන්නේ මරදානේ ආනන්ද බාලිකාව ගාව පන්සල පාරේ. මගේ නංගිලා එක්ක ලීනා ආනන්ද බාලිකාවේ ඉගෙන ගන්නේ.” රවීන්ද්‍ර කීවේය.   


දිනක් සිරිල් පී. අබේරත්න, ගීත රචක විල්ප්‍රඩ් ද සිල්වා හා රවීන්ද්‍ර සමග මරදානේ ටෙම්පල් පාරේ ලීනාගේ ගෙදරට ගියේය. මේ අතර ගුවන් විදුලියේ ආරියදාස පීරිස් ද ලීනාගේ ඡායාරූපයක් තමාට දී තිබූ බව අබේරත්නට මතක් විය. ලීනා දුටු අබේරත්න ඇය ගැන දෙවතාවක් නොසිතා සුරතලීගේ චරිතයට තෝරා ගත්තේය.   


චිත්‍රපටයේ එන මානෙල් නම් අහිංසක චරිතයට “පුදුම ලේලි” හා “දොස්තර“ චිත්‍රපටවල රඟ පෑ සිරිමතී රසාදරීව තෝරා ගත් අධ්‍යක්ෂවරයා සුසිල් නම් දඟකාර, විනෝදකාමී තරුණයාගේ චරිතය සඳහා අලුත් චරිතයක් හඳුන්වා දීමට සිතුවේය. එදා සිනමාවේ දුෂ්ට චරිත රඟ පෑ ඩොමී ජයවර්ධන, මාක් සමරනායක මේ චරිතයට උචිත නොවේ යයි මුල සිටම ඔහු සිතා තිබුණි.   


දිනක් සිරිල් පී. අබේරත්න මරදානේ සිට බොරැල්ල දෙසට ට්‍රොලි බස් රියක ගමන් කරමින් සිටියේය. ෆුට්බෝල් ක්‍රීඩා කරන විට අඳින ජර්සියක් ඇඳගෙන බූට් දෙක කරේ දාගත් දහඩියෙන් මුහුණ පිසදමමින් කඩවසම් තරුණයෙක් ට්‍රොලි බසයට නැග්ගේය. අබේරත්නගේ උකුසු ඇස් දෙකට මේ තරුණයා හසුවිය. මේ තරුණයාගේ නම ආනන්ද ජයරත්නය. ආනන්ද 1972 මට “සරසවිය” පත්‍රයේ සේවය කරන කාලේ තමා “සුරතලී” චිත්‍රපටයට තෝරා ගත් සැටි කියා තිබුණි.   


ඒ කාලයේ මම ඉංග්‍රීසි ගුරුවරයෙක් ලෙස මා උපන් බණ්ඩාරවෙල උගන්වමින් සිටියේ. මම එදා (1955) කොළඹට ආවේ ලංකා පාපන්දු කණ්ඩායමේ තරග පුහුණුවකටය. මා සමග ලංකා කණ්ඩායමට පීටර් රණසිංහ, හෂීම් ඩීන්, ටී.ඇම්. ඔසන් වගේ “ෆුට්බෝල් ස්ටාස්ලා” සෙල්ලම් කළේ. මටත් ඕනෑ වුණේ “පාපන්දු තරුවක්” වීමටය. මා ළඟ හිටිය මහත්තයෙක් මගෙන් මෙහෙම ඇසුවා.   

 

 


“මිස්ට කැමති නැද්ද චිත්‍රපටයක රඟපාන්න? ඔබට ඒ සඳහා අවශ්‍ය හැඩ රුව තියෙනවා.   


“කවුද ඒ වගේ අවස්ථාවක් ලැබුණොත් අකමැති” මම කිව්වා.   


“මගේ නම සිරිල් පී. අබේරත්න. “සුරංගනී” චිත්‍රපටයේ අධ්‍යක්ෂ. මේ දවස්වල මම “සුරතලී” කියලා චිත්‍රපටයක් සැලසුම් කරනවා. එකේ තියෙන සෙල්ලක්කාර, විනෝදකාමී චරිතයට ඔබ හොඳට ගැළපෙනවා. ඔබ සිගරට්ටුව බොන විදිහ මම නිරීක්ෂණය කළා. මගේ චිත්‍රපටයේ ඒ විනෝදකාමී චරිතයට ඒක හොඳට ගැළපෙනවා.   


ආනන්ද ජයරත්න “සුරතලී” හි සුසිල් වූයේ මේ අයුරිනි.   


ආනන්දට මුලින්ම රඟපෑමට අවස්ථාව ලැබී ඇත්තේ ගීතමය ජවනිකාවකි. තමාට අයත් වතුයායේ ගීතයක් ගයමින් අවට සොබා සිරිය නරඹමින් ගයන මේ ගීතය ආනන්දට සරිලන ලෙස ගැයීමට සුදුසු ගායකයකු අධ්‍යක්ෂවරයා සෙවීය. ඒ අනුව එච්.ආර්. ජෝතිපාල නම් ජනප්‍රිය ගුවන් විදුලි ගායකයා ‘සැඩසුළං’ චිත්‍රපටයේ රඟපෑ ‘සුරතලී’ චිත්‍රපටයේත් රඟපෑමට තෝරාගෙන සිටි ඇම්.පී. ගැමුණු විසින් සිරිල් පී.අබේරත්නට හඳුන්වා දෙනු ලැබීය. ජෝතිපාල හඬට සතුට පත් වූ ඔහු නිෂ්පාදක ජබීර් ඒ. කාදර්ට හඳුන්වා දෙනු ලැබීය. විල්ප්‍රඩ් සිල්වා රචනා කළ ඉන්දීය ජාතික චිත්‍රපට සංගීත අධ්‍යක්ෂ ටී.ආර්. පාපාගේ සංගීත සංයෝජනයට ජෝතිපාල ගැයූ මේ ගීතය ආනන්ද ජයරත්නට ජාඩියට මූඩිය මෙන් ගැළපුණේය. එය එදා අතිශයින්ම ජනප්‍රිය වූ ගීතයක් විය.   


‘සිරියා මේ සාරා නැගෙවි හද මෝරා   
දී ප්‍රේමේ අමධාරා, හෝ ප්‍රේමේ අම ධාරා   
ප්‍රේමේ නුරා ගීත රාවේ ඇසෙන්නා   
මේ පෙම් මල් පිපීලා මා හර්දේ පිරෙන්නා   
හෝ.... හෝ....   


ප්‍රධාන චරිතවලට රවීන්ද්‍ර, ලීනා, ආනන්ද හා සිරිමතී තෝරා ගත් අධ්‍යක්ෂ අබේරත්න ඔවුන් ජබීර් ඒ. කාදර්ට අයිති මරදානේ ක්‍රවුන් සිනමා හලේ උඩුමහලේ කාමරයක් වෙන්කර ඔවුන්ට දෙබස් කටපාඩම් කිරීමට දී නාට්‍යානුසරයෙන් එම දර්ශන පුහුණු කර ඇත. මාස ගණනක පුහුණුවකින් පසුවය නළු නිළි පිරිස හා අධ්‍යක්ෂකවරයා මදුරාසියේ වාහිනී චිත්‍රාගාරයට ගොස් ඇත්තේ.   


‘සුරතලී’ චිත්‍රපටයේ රඟපෑමට ගොස් සිදු වූ ඇඟ කිළි පොළා යන සිද්ධීන් කිහිපයක් ඇත. එක් දර්ශනයක් රූගත වී ඇත්තේ බණ්ඩාරවෙලදීය. බණ්ඩාරවෙල ආනන්ද ජයරත්නගේ උපන් ගමය. එක් දර්ශනයක හැටියට සිරිමතී රසාදරී ජලාශයට පැන්න පසු ඇය බේරා ගැනීමට තිබුණේ ආනන්දට ලු. නියමිත වේලාවට සිරිමතී ජලාශයට පැන්නාය. ගත වූයේ සුළු මොහොතකි. ඇය ජලාශයේ ගැඹුරු තැනකට ඇදී ගිය බව අවට සිටි අය දැක නැත. හැම කාර්මික ශිල්පියකුම කාර්මික අංශයේ වැඩ කටයුතුවල යෙදී ඇත. කිහිප වතාවක් වතුර පෙවී ගිලුණු සිරිමතී නැවත වරක් උඩ එන විට ආධාර ඉල්ලා අත වනනු දුටු ආනන්ද තත්ත්වය තේරුම්ගෙන එක් වරම ඇඳුම් පිටින්ම දියට පැන සිරිමතීව ගොඩ ගත්තේය.   
ආනන්ද ගොඩට එන විට අධ්‍යක්ෂ කෝපයෙන් පුපුරා පුපුරා දුව ගෙන විත් ‘වැඩේ කෑවා වැඩේ කෑවා ඇයි මම ‘ඇක්ෂන්’ කියන්න ඉස්සෙල්ලා වතුර පැන්නේ’ යයි ආනන්දගෙන් විමසුවේ සිදු වූ දෙය කිසිවක් නොදැනයි. පසුව ආනන්ද සිදු වූ ඇත්තම සිද්ධිය කී පසු හැමෝම භීතියට පත් වී ඇත. එදා ආනන්ද මේ සිද්ධිය නුදුටුවා නම් සිරිමතී කෙනෙකු ඉන්පසු ප්‍රේක්ෂකයින්ට දකින්ට නොලැබෙනු ඇත. මේ සත්‍ය සිද්ධිය ප්‍රේමකීර්ති ජයසේන නම් ලේඛකයා විසින් ‘කලා’ සිනමා සඟරාවට ලියා තිබුණි   


‘සුරතලී’ චිත්‍රපටයේ සුරතලී වූ ලීනාද සිල්වා තමා ලැබූ අත්දැකීමක් මට මෙසේ විස්තර කළාය.   


චිත්‍රපටයේ රඟපෑමට ගොස් දින දෙකක් පිට පිටම රාත්‍රියේ සිට පාන්දර පහ දක්වා වතුර බාල්දි ගණනාවක් නහවද්දී සීතලේ වෙවුල වෙවුලා කැමරාවට මුහුණ දුන්නා. මේ අවස්ථාවේ රවීන්ද්‍ර රූපසේන ගීත ගායනා කරනවා. මම සිටියේ කුඩා ලෑලි පාලමක් උඩ. එම ඒදණ්ඩ කඩා වැටිලා මාව වතුරට වැටෙන කොට රවීන්ද්‍රට තිබුණේ මාව බේරගන්න. මේ දර්ශනය රූප ගත කරන්න මට මුළු රැයම වතුරේ ඉන්න සිදුවීම නිසා සති කිහිපයක් රෝහල් ගත වීමට සිදු වුණා.   


‘සුරතලී’ චිත්‍රපටයෙන් තවත් අලුත් විකට නළුවකු සිනමාවට එක්විය. ඇල්.ඇම්. පෙරේරා නම් ඔහු ජබීර් ඒ. කාදර්ගේ සිනමාහලක කළමනාකරුවකු ලෙස සේවය කරමින් සිටියේය.   
ඇල්.ඇම්. රඟපෑවේ සුසිල්ගේ වතුයායේ බංගලාවේ පොඩියන් නම් ද්‍රවිඩ සේවකයා ලෙසය. රක්වානේ උපත ලැබූ ඇල්.ඇම්. ට වතු දෙමළ මිනිසුන්ගේ භාෂාව හොඳින් දැන සිටිය නිසා ඔහු ගී ගයමින් රඟන විලාසය දුටු නරඹන්නන් සිනා සයුරේ ගිලී ඇති බව වාර්තා වී තිබුණි.   


මේ චිත්‍රපටයේ සෙසු චරිත රඟ පා ඇත්තේ මේ නළු නිළි පිරිසය. රෝහිණී ජයකොඩි (නෙළුම්), නිමලා අතපත්තු (කුසුමා), ප්‍රමිලා කුරප්පු (ක්ලැරිස්) ලිලියන් එදිරිසිංහ (ඇසිලින් නෝනා), ඇම්.පී ගැමුණු (කට්ටඩියා). මේ හැර සැම්සන් දිසානායක, ඇලෝයි විජේරත්න, ලෙනී ප්‍රනාන්දු, ආරියසිංහ කාරියවසම්, විල්ප්‍රඩ් සිල්වා රඟපා ඇත.   


මහාචාර්ය සුනිල් ආරියරත්නගේ ‘සිංහල චිත්‍රපට ගීතාවලිය 1947-1956’ කෘතියේ සඳහන් කර ඇත්තේ ‘සුරතලී’ චිත්‍රපටයේ සියලු ගී තනු හින්දි හා දෙමළ චිත්‍රපවලින් උපුටාගෙන ඇති බවය. ‘සිරියා මේ සාරා’ ‘සංගීතේ රසේ වෙලී’ ‘සීත ජලේ’ ‘ප්‍රේමේ මෝරන කාලේ’ ‘සාධු ශ්‍රී’ ‘අාලෝකේ දේය’ ‘පිටිස​ෙරහි අගේ’ ‘ගීත දේවි’ යන ගීත ජනප්‍රිය වූ බවය. ධර්මදාස, ජෝතිපාල, රාණි හැර ස්වර්ණා අබේරත්න (සිරිල් පී.අබේරත්නගේ දියණිය) මේ චිත්‍රපටයේ ගීත ගයා ඇත.   


බුදුන් වහන්සේ කෙලෙසුන් මැඩ ජයගත් පසුව උන් වහන්සේගේ ජයග්‍රහණය බිඳලීම පිණිස උන්වහන්සේ ඉදිරියෙහි රැගුම් දැක් වූ මරඟනන් පිළිබඳ නැටුමක් ‘සුරතලී’ චිත්‍රපටයට ඇතුළත් කරන බවත් මෙම චිත්‍රපටයේ රඟපෑමට එක් මරඟනක් සඳහා ඉන්දියානු චිත්‍රපට ලෝකයේ සුප්‍රකට ට්රැන්කෝර් සොහොයුරියන්ගෙන් කෙනෙකු වන රාගිනී නළඟන තෝරාගත් බව ඒ දිනවල පුවත්පත්වල පළ වී තිබුණි. ඒ පුවත දුටු ලංකා බෞද්ධ මණ්ඩලය සිනමාව මගින් මෙවැනි දේ පෙන්වීමට නුසුදුසු යයි කියා තිබූ නිසා ‘සුරතලී’ නිෂ්පාදක එම මරඟන රැඟුම වෙනුවට ‘ලියතඹරා’ කෙටි චිත්‍රපටයක් නිෂ්පාදනය කළ බව ආතර් යූ. අමරසේන ලියූ ‘සිංහලේ මහා සිනමා වංශය’ කෘතියේ සඳහන් වෙයි.   


‘ලියතඹරා’ කෙටි චිත්‍රපටයේ නැටුම් අධ්‍යක්ෂණය කළේ ශේෂා පළිහක්කාර විසිනි. මේ මුද්‍රා නාට්‍යය. ට්‍රැවන්කෝර් නළඟන වූ රාගනිද ශේෂාගේ සරඳපානි කලායතනයේ නර්තන ශිල්පීන් වූ චන්ද්‍රා විජේතිලක, මානෙල් ඉලංගකෝන් සහ චාන්දනී නානායක්කාර ආදින් සහය වූ බව ද එම ග්‍රන්ථයේ සඳහන් වෙයි. මේ ලිපියේ එන ඇල්.ඇම්.පෙරේරා, ආනන්ද ජයරත්න හා රවීන්ද්‍ර රූපසේන පෙනී සිටින ඡායාරූප දෙක එම ග්‍රන්ථයෙන් සපයා ගත් බව කෘතඥතා පූර්වකව සඳහන් කරමි.   


1956 ජුනි 19 වෙනිදා මහජන දර්ශනය ආරම්බ වුවද අග්‍රාමාත්‍ය එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක මහතා හා මැතිනියගේ ප්‍රධානත්වයෙන් ජුනි 12 වෙනිදා කොල්ලුපිටියේ ලිබර්ටි සිනමාහලේ දී විශේෂ දර්ශනයක් පවත්වා ඇත. එයට සියලුම නළු නිළියන්ද සහභාගි වී ඇත. මරදානේ සෙන්ට්‍රල් සිනමාහලේ මාස 2 යි දින 15 ක් තිරගත වී ඇත.   

 


ඒ.ඩී. රන්ජිත් කුමාර   
ඡායාරූප පිටපත් කිරීම - ලාල් සෙනරත්   



අදහස් (0)

හින්දි චිත්‍රපටයකින් හැදූ ‘සුරතලී’ චිත්‍රපටය

ඔබේ අදහස් එවන්න

රසවිත

අනේ පොඩි නැන්දා මට හුඟක් දවස් කාමරේ ඇතුළෙ ඉන්න වෙයිද?
2022 මාර්තු මස 26 10904 0

හීන් නෝනා දියණිය දෙස බැලු‍වේ කරදර දෑසිනි. දුරකථනය හරහා ආවේ සුබ පණිවිඩයක් නොවන බැව් ඇගේ මුහුණ කියා පෑවේය. “කවුද කතා කෙරුවේ..?” හීන් නෝනා විමසුවාය. “අයිය


යෙලෝ බීට්ස් කියන්නේ කවුද ?
2022 මාර්තු මස 26 6202 0

මෙවර U Tube ලෝකය තුළින් ඉරිදා ලංකාදීපයෙන් කතාබහ කරන්න හිතුවේ සමාජ මාද්‍ය ඔස්සේ අතිශය ජනප්‍රිය Girls Voice Band එකක් පිළිබඳව. ඒ Yellow Beats කණ්ඩායම කුෂිනි ප්‍රවින්ද්‍යා, දි


පුරාණ රජ කාලේ වීදුරු හැදූ ‘පබුලුගම’
2022 මාර්තු මස 26 5914 0

ශ්‍රී ලංකාවේ පබලු භාවිතය පිළිබඳ පුරාණතම සාධක අයත් ​ෙවන්නේ ප්‍රාග් ඓතිහාසික යුගයටය. ක්‍රි.පූ. (900-600) අතර මුල් යුගයේදී ජනතාව පබලු භාවිතය සුලබව සිදුකොට ඇති


වෘන්දා වනයේ පෙම්මල් විසිරේ...
2022 මාර්තු මස 26 5217 0

හින්දු පුරාණයට අනුව විෂ්ණු දෙවි යනු ලොව සුරකින්නාය. ලෝකයේ තිර පැවැත්ම පිණිසත්, ධර්මය රැකීමටත්, අදමිටුවන් විනාශ කිරීමටත් වරින්වර විෂ්ණු ලොව පහළවන බව මහ


බිම් බෝම්බය පිපිරෙද්දී ගෙදරට පණිවිඩයක් දුන් ව්‍යාපාරිකයා
2022 මාර්තු මස 26 3227 0

මසින් ලෙයින් නිර්මිත මසැසට භෞතික ලෝකයේ බොහෝ සංසිද්ධි දැක ගත හැකි වුවත් ඉන් එහා ඇති අවිඥාණික දේ පෙනෙන්නේ නැත. භූගත පෘෂ්ඨ වංශික ඇතැම් සතුන් හැරුණු විට සෙ


නූතන ශාසන ප්‍රබෝධයේ ශාස්ත්‍රවන්තයා සිටිනාමළුවේ මහ තෙරිඳු
2022 මාර්තු මස 26 1701 0

සිත්තම්ගල ගල් ලෙන බලන්නට මී ආතා “බරින්දු” එක්ක ගෙන ගියේ ගැල් කරත්තයෙන්ය. “අපේ ‍රැහේ උන් තමයි දරුවෝ මෙතන නැණපිල පටන් ගෙන සාහිත රස බෙදුවේ.” එදා මී ආතා කී ක


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 206 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1505 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1407 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site