පොලිස් නිල සුනඛයන්ගේ වික්‍රම
ටෝබි කේබල් දෙකක් උඩ ගමන් කරන අයුරු
“අපරාධයක් සිදු වී ඇත්නම් සාක්ෂි විනාශ වීමට ඉඩ නොදී හැකි ඉක්මනින් නිල සුනඛයෙකුගේ සහාය ලබා ගන්න... මේ පොලිසියෙන් කෙරෙණ කාරුණික නිවේදනයයි...” මෙවන් මතක් කිරීම් සාමාන්‍ය ජීවිතයේදී මහජනතාවට අසන්නට නොලැබුණත්, සැබවින්ම සිදුවිය යුත්තේ කිසියම් අපරාධයක්, සිද්ධියක් ඇති වූ පසු හැකි ඉක්මණින් නිල සුනඛයෙකුගේ සේවය ලබා ගැනීමය. මෙරට ඒ ආකාරයෙන් සිදු නොවුණත් විදේශීය බොහෝ රටවල එවන් අවස්ථා සුලභව දැකගත හැකිය.
බොහෝ අපරාධකරුවෝ මෙන්ම මත්ද්රව්යකරුවෝ ද විවිධ වූ උපක්‍රම භාවිත කරමින් තමන් සිදු කළ අපරාධය, වරද වසා ගැනීමට උත්සාහ කරති. ඒ සඳහා මිරිස් කුඩු, සබන් වැනි ද්‍රව්‍ය යොදා ගනිති. කිසියම් අපරාධයක් සිදු කර ඒ අවට මිරිස් කුඩු වැනි සැරක් යෙදුවහොත් සුනඛයාට ඉව ඇල්ලිය නොහැකි යැයි ඔවුහු සිතති. එහි යම්කිසි සත්‍යතාවයක් නැතුවාම නොවේ. සුනඛයාගේ නාසයට මිරිස් සැර ගියොත් ඌ අපහසුතාවට පත් වේ. එහෙත් මිරිස් කුඩු දැමූ පමණින් ඉව, ඉවත්ව යන්නේ නැත. ඒවා පිස දමා පිරිසිදු කොට ඉව ඇල්ලීමට දුන් විට සුනඛයා ඒ ඔස්සේ ගොස් අපරාධකරුවා අල්ලා දීමට සමත් වනු ඇත.
තවත් අපූර්ව සිද්ධියකට, නෙදර්ලන්තයේ ඉපිද මෙරටට පැමිණි ජර්මන් ෂෙපර්ඩ් වර්ගයට අයත් ටෝබී මුහුණ දුන්නේය. ඒ කොළඹ මැගසින් බන්ධනාගාරයේදී මීට මාස කිහිපයකට පෙරය. මිනිස් මොළය සහ සුනඛ ඉව අතර තරගයක් යැයි සිතෙන තරමට මෙවන් සිද්ධීන් සංකීර්ණය. සිරකරුවෝ සිටින කාමරවල මොන තරම් රහස් තිබෙනවා දැයි යන්න සනාථ කරන මෙම සිද්ධිය නිල සුනඛයෙකුට හැර වෙනත් කිසිවකුට දැන ගැනීමට හැකියාවක් ලැබෙන්නේ නැත.
ටෝබී මැගසින් බන්ධනාගාරයේ සිරකරුවකුගේ කුටියේ බිත්තියේ අත්දෙක ඉහළට තබා ගෙන කකුල් දෙකෙන් සිටගෙන සිටින්නේ මිනිසෙකු මෙනි. ඌ පහුරු ගාන්නේ බිත්තියයි. අනිල් ට මෙය අරුමයක් නොවේ. ටෝබී කියන්නේ බිත්තියේ කිසියම් සැක කටයුතු දෙයක් ඇති බවකි. අනිල් ඒ දෙස ඕනෑකමින් බලා සිටිය ද බිත්තියේ වෙනසක් පෙනෙන්නේ නැත. බන්ධනාගාර නිලධාරියකුගෙන් ඉල්ලාගත් යකඩ බටයකින් ටෝබී පහුරු ගෑ බිත්තියට තට්ටු කළේ ඉන් බොල් හඬක් නැගේවි යැයි අදහසිනි.
ඔහු සිතුවා නිවැරදිය. එක තැනක වෙනස් හඬක් නැඟිණි. එතැන බිත්තිය පලුදු කළ ද එතැනින් කඩා වැටුණේ බදාම නොවේ. කිසියම් ඇලෙනසුලු ද්‍රව්‍යයකි. තවදුරටත් පරීක්ෂා කර බැලීමේදී එය සබන් කැටයක් භාවිතා කර බිත්තියේ සාදා ඇති සිදුරක් වසා ඇති ආකාරය බව පැහැදිලි විය. පසුව එය ඉවත්කර බිත්තිය තවදුරටත් පළුදු කිරීමේදී ඉන් මතු වූයේ පාර්සලයකි. “බ්‍රවුන් ෂුගර්” වර්ගයට අයත් හෙරෝයින් ග්‍රෑම් දහයක පැකට්ටුවකි. මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වුණු රැඳවියකගේ දින කිහිපයක අවශ්‍යතාව තවත් දින ගණනකට නවතා දැමීමට ඉන් හැකියාව ලැබුණි.
තවත් දවසක වත්තේගම පොලිසියේ දූෂණ මර්දන පොලිසියේ ස්ථානාධිපතිගේ ඉල්ලීමකට අනුව අලවතුගොඩ ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය පරීක්ෂණ රාජකාරියකට ගියා. අනිල් තවත් රහස් පරීක්ෂක කතාවකට මුල පුරයි. අලවතුගොඩ සිට කිලෝ මීටර් එකහමාරක දුරක් ගියේ වළවල් සහිත තාර පාරකය. පාර ඉතාමත් අසීරුය. එතැන් සිට තවත් කිලෝ මීටර් එකක පමණ අඩි පාරක ගොස් කුඹුරක් අසල නිවෙසක් ළඟ නැවතුණා. ටෝබි මේ වගේ ගමන් සඳහා කැමැත්තක් දක්වනවා... ඒ ඌට නිදහසේ ගමන් කළ හැකි නිසා විය යුතුයි. නිවසේ දොර ඇරලා තිබුණත් එළියේ කිසිවෙක් සිටියේ නැති නිසා දොරට තට්ටු කළා. නිවෙස ඇතුළේ සිටි කාන්තාවක් එළියට ආවා..
“අපි ආවේ ඔයාගේ ස්වාමිපුරුෂයා හමුවෙන්න. මත්ද්‍රව්‍ය තියෙනවා කියලා ආරංචියක් ආවා...” වත්තේගම පොලිස් ස්ථානාධිපති පැවසුවේය.
“අපි දියුණු වෙලා ඉන්නවාට අකමැති මිනිසුන් පෙත්සම් ගහනවා මහත්තයෝ. ඒ වගේ දේවල් මෙහෙ නැහැ.” බිරිඳ පැවසුවාය.
“කෝ මහත්තයා...”
“කුඹුරට ගියා..”
අනිල් සහ ටෝබි
පොලිස් නිලධාරියෙක් ගොස් ඔහු කැඳවා ගෙන පැමිණියේය. ස්වාමිපුරුෂයාගේ දකුණු අතේ ඇඟිලි පහම නැත.. පසුව පොලිස් නිලධාරීන් ඔහුගේ නිවෙස පරීක්ෂා කළේය. සැක හිතෙන සැම තැනක්ම පරීක්ෂා කළ ද මත්ද්‍රව්‍ය හමු වුණේ නැත...
“ඒකනේ මහත්තයෝ අපි කීවේ...” නිවසේ අයිතිකරු කීය.
පසුව පොලිස් ස්ථානාධිපතිගේ නියෝගයට අනුව මා ටෝබී සමඟ නිවෙස පරීක්ෂා කිරීම ආරම්භ කළා. ඇතුළේ කාමරයක රෙදි අල්මාරිය අසල නැවතුණ ටෝබී එහි යට පහුරු ගාන්න පටන් ගත්තා.. අල්මාරිය යට පරීක්ෂා කිරීමේදී කේරළ ගංජා පැකට් විස්සක් තිබී හමුවුණා. ඊළඟ කාමරය ද පරීක්ෂා කිරීමේදී එහි තිබූ අල්මාරියේ ගංජා පැකට් කිරීමට ගන්නා උපකරණ සමඟ කේරළ ගංජා හමුවුණා. නිවසේ අයිතිකරු අත්අඩංගුවට ගෙන උසාවිය ඉදිරිපත් කළා. ඔහු එම ප්‍රදේශයේ සෑහෙන කාලයක් මත්ද්‍රව්‍ය අලෙවි කළත් සාක්ෂි නොමැති නිසා අත්අඩංගුවට ගැනීමට නොහැකිව සිටි පුද්ගලයෙක්.
පූජාපිටිය ප්‍රදේශයේ පිහිටි දේවාලයක කසිප්පු ජාවාරම ජයටම කර ගෙන යන බවට පොලිසියට ඔත්තුවක් ලැබී තිබුණා. පොලිස් නිලධාරීන් ගොස් පරීක්ෂා කළත් කිසිවක් හමු වෙන්නේ නැහැ. අනිල්, ටෝබිගේ තවත් වික්‍රමයක් ගැන විස්තර කිරීමට පටන් ගත්තේ එලෙසිනි. එදා කාලගුණය එතරම් හොඳ නැහැ. චිරි චිරි වැස්ස නිසා පරිසරයම අන්ධකාරයෙන් වෙළිලයි තිබුණේ. දේවාලයට අපි යන විට බැතිමතුන් කිහිප දෙනෙක් පැමිණ සිටියා. ඔවුන් පොලිස් නිල ඇඳුමෙන් සිටි අප දිහා බලාගෙන සිටියේ පුදුමයෙන් වගේ. ඊට අමතරව නිල සුනඛයෙක් ද සිටිනවා. ආවතේව කරන ගෝලයා අප ඉදිරියට පැමිණියා.
“අපි ආවේ දේවාලය පරීක්ෂා කරන්න. ඒකට ඉඩ දෙන්න.” අනිල් ටෝබී සමඟ දේවාලයට ඇතුළ් වෙද්දී, ඊට පිටුපසින් පොලිස් නිලධාරීන් කිහිප දෙනෙක් ද දේවාලයේ ගෝලයා ද පැමිණියහ. දේවාලයට ඇතුළු වන ප්‍රදේශයේ පරීක්ෂා කළත් කිසිවක් හමු වුණේ නැහැ. දේව රූපය එල්ලා ඇති ඇතුළේ කාමරයට ගියා. ටෝබි ඉව කරමින් දේව රූපය පිටුපස සඟවා තිබී කසිප්පු බෝතල් කිහිපයක් සොයා ගත්තා. ඒ ආකාරයෙන් පරීක්ෂා කර අප කණ්ඩායම එළියට එන විට භාරහාර වෙන්න ඇවිත් සිටිය කිහිප දෙනා දකින්න සිටියේ නැහැ.
විශේෂයෙන්ම ඇසළ පෙරහර කාලයට විවිධ ආකාරයෙන් මත්ද්‍රව්‍ය මහනුවරට පැමිණෙනවා. ඒ නිසා, ඒවා පරීක්ෂා කිරීමට වෙනම කණ්ඩායමක් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිතුමා පත් කරනවා. පසුගිය වසරේ රන්දෝලි පෙරහර පටන් ගත් දවසේ මහනුවර නගරයේදී ගංජා සහ හොරොයින් මත්කුඩු පැකට් කිහිපයක් සමග අවුරුදු විසි හතක තරුණයෙක් අත්අඩංගුවට ගත්තා. සුදුහුම්පොළ ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. ඔහු අත්අඩංගුවට ගත්තේ යතුරුපැදියක ගමන් කරමින් සිටියදීයි.
එදා මම හදිසි කැඳවීමක් සඳහා මූලස්ථානයේ සූදානමින් සිටියා. ඒ නිසා එම කණ්ඩායමට ඇතුළත් වී සිටියේ නැහැ. ටෝබී ට ද නිවාඩු දවසක්. පසුව මට ඒ බව දැන්වූ පසු මහනුවර පොලිස් ස්ථානයට ගොස් යතුරුපැදිය පරීක්ෂා කර බැලුවා. කිසිවක් සොයා ගැනීමට බැරි වුණා. දෙවනුව ටෝබි යතුරුපැදිය පරීක්ෂාව සඳහා මුදා හැරියා. ඌ සීට් එක පහුරු ගාමින් හපන්න පටන් ගත්තා.. ඒ කියන්නේ කුමක් හෝ දෙයක් මෙහි තිබෙන බවට කරන සංඥාවකි. යතුරුපැදි හිමිකරු සහ නිලධාරීන් ඉදිරිපිට දී සීට් එක ගලවා බලද්දී ඉතා සූක්ෂම අයුරින් කුෂන් එක ඇතුළේ හෙරොයින් ග්‍රෑම් තුනක පැකට් එකක් තිබී හමුවුණා.
ටෝබි මල් කලබක් රැගෙන යන අයුරු
ඒ මැදමහනුවර නගරය ජනාකීර්ණ ප්රදේශයකි. එහි වෙළෙඳසල් බොහොමයක්ම තිබේ. ඒ අතරේ ජංගම දුරකතන අලුත්වැඩියා කරන එක් ස්ථානයක මත්ද්‍රව්‍ය තිබෙන බවට ලැබුණු ඔත්තුවකට අනුව, පොලිස් නිලධාරීන් කිහිප දෙනෙකු ගොස් පරීක්ෂා කළ ද කිසිවක් සොයා ගැනීමට බැරි විය. අනිල් ද ඒ අතර වූහ. එහි අයිතිකරු අවුරුදු විසි එකක තරම් වයසක පසු වූ තරුණයෙකි..
“මල්ලී අපට බොරු කරන්න එපා. ඔයා ළඟ මත්ද්‍රව්‍ය තියෙන බව අපි දන්නවා. මේක ගොඩින් බේර ගන්න. අපට ඇත්ත කියන්න.” වැටලීම සිදු කළ පොලිස් කණ්ඩායමේ සිටි නිලධාරියෙක් කීවේය.
“අනේ මහත්තයෝ අපි ඒ වගේ වැරදි කරන්නේ නැහැ...”
“එහෙම නම් අපට සිදු වෙනවා නිල සුනඛයෝ දමල සොයන්න.” අනිල් එසේ පැවසුවේ ඔහුගේ ඉරියව් ගැන සැක සිතී, කුමක් හෝ හොරයක් තිබෙන බව වැටහුණ නිසාය.
තම අතෙහි වූ රැහැනින් මුදාහළ ටෝබී සමඟම නැවත එම වෙෙළඳසල ඇතුළට ගිය අනිල් ඉව අල්ලමින් පරීක්ෂා කරන ටෝබි දෙස බලා සිටියේය. එහි පරිගණකය තිබූ මේසය අසල නැවතුන නිල සුනඛයා කුණු කූඩයට ඉව අල්ලා එය බිමට පෙරළා දැම්මේය. එහි කිසිවක් ඇතැයි සැක සිතූ අනිල් රොඩු බිමට හැළුවේය. පසුව අඩියෙහි හිර වී තිබූ ගංජා දඬු කැබලි කිහිපයක් අතට ගත්තේය...
“මේ තියෙන්නේ නැහැ කියපුවා. තවදුරටත් බොරු කරන්න එපා.. තවත් තියෙනවා නේද...?” අනිල් විමසුවේය. වෙෙළඳසල් අයිතිකරුගේ පිළිතුර වූයේ “නැත” යන්නය. ඒ නිසා තවදුරටත් වෙෙළඳසල පරීක්ෂා කරන ලෙස ටෝබිට අණ කළේය. ඒ අනුව ඌ මේස ලාච්චුවට ඉව කරමින් සංඥාවක් ලබා දුන්නේ, එය පරීක්ෂා කරන්න යැයි කියන්නාක් මෙනි. මේ බව තේරුම් ගත් අනිල් මේස ලාච්චුවේ තිබූ පොත් එකින් එක පරීක්ෂා කළේය. එක පොතක පිටු අතරේ ගංජා කොළ කිහිපයක් කුඩාවට කපා දමා තිබුණි.
ජංගම දුරකතන අලුත්වැඩියා කරන ස්ථානය ආසන්නයේ පලතුරු සහ එළවළු වෙෙළඳසලක මේසයේ හොර ලාච්චුවක නැතිනම් රහස් ලාච්චුවක කේරල ගංජා පැකට් තුනක් තිබී ටෝබි සොයා ගත්තේය. එම වෙළෙඳසලේ අයිතිකරු අවුරුදු හතළිස් අටක පුද්ගලයෙකි.
සංදර්ශන සඳහා පොලිස් නිල සුනඛයන් පුහුණු කරන අයුරු
මත්ද්‍රව්‍ය ඇල්ලීමට පමණක් නොව සංදර්ශන සඳහා ද ටෝබි ඉදිරිපත් වේ. උත්සවයක ආරාධිත අමුත්තාට මල් කලබක් ලබා දී පිළිගැනීමට ද ඌ නිතරම සූදානමින් සිටී. මෙම නිල සුනඛ ටෝබිගේ විශේෂ කුසලතාවක් ද තිබේ. ඒ අඩි නවය හමාරක් උස අඩි විස්සක් දිග කේබල් දෙකක් මත කිසිම ආධාරකයක් නොමැතිව ගමන් කර ආපසු පැමිණීමයි. ඒ අනුව සම්පූර්ණ දුර අඩි හතළිහක් කේබලයේ උඩ ගමන් කරයි. ඒ ආකාරයේ සංදර්ශන හයසීයක් (600) පමණ මේ වනවිට ඉදිරිපත් කර තිබේ. මෙවන් හපන්කමක් සිදු කරන ලංකාවේ සිටින එකම සුනඛයා ටෝබිය. මෙවන් දක්ෂතා පෙන්වන සුනඛයන් දෙතුන් දෙනෙක් පමණක් ලෝකයේ සිටින අතර, දකුණු ආසියා රටවලින් සොයා ගත හැක්කේ ටෝබි පමණක් බව අනිල් පවසයි.
ටෝබී මේ ආකාරයේ අවදානම් සහගත ක්‍රියාවකට යොමු වූයේ දෙදහස් පහළොව වසරේදීය. ඒ එම ඒකකයේ හිටපු අධ්යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි සිසිර වීරකෝන්ගේ යෝජනාවකට අනුව සැරයන් (32497) කේ.ඩබ්ලිව්.සී. ජයරත්නගේ මඟපෙන්වීම යටතේය. එදා සිට මේ දක්වා ටෝබීගේ භාරකරු අනිල් ය. සැරයන් ජයරත්න ටෝබි තෝරා ගැනීමට හේතු වූයේ උගේ කලබල නැති ගතිය, සියලුම කාර්යයන් හිතාමතා සෙමින් සීරුවේ සිදු කරන උපශාන්ත පෙනුමත් නිසාය.
පළමුව බ්ලොක් ගල් දෙකක් උඩකින් තැබූ වානේ පටි දෙකක් උඩින් ආරම්භ කළ අතුරේ යාම අවසානයේ කේබල් දෙකක් උඩින් යාමට තරම් වර්ධනය විය. මේ ආකාරයෙන් මාස හයකට වඩා වැඩි කාලයක් කේබල් දෙක උඩ යාමට පුරුදු වූ ටෝබී සිය දක්ෂතා මුල් වරට එළි දැක්වූයේ පොලිස් නිල සුනඛ ඒකකයේ අධ්යක්ෂව සිටි සිසිර වීරකෝන් මහතා විශ්‍රාම ගිය දිනයේ ය. ටෝබීගේ මෙම අවදානම් සහගත ගමන ගැන අනිල් පැවසුවේ මෙවන් අදහසකි.
“ටෝබී කවදාකවත් කේබල් එකෙන් වැටිලා හෝ වැටෙන්න ගිහිල්ලා නැහැ. අතරමඟදි හැරෙන්න හදන්නෙත් නැහැ. මේ වනවිට මෙවන් සංදර්ශන හයසීයකට සහභාගී වෙලා තියෙනවා. තවත් විශේෂ කරුණක් හෙළි කළ යුතුයි. ඒ ටෝබී ගිනස් වාර්තා පොතට ඇතුළත් කිරීමේ බලාපොරොත්තුවක් තිබෙන බවය. දැනට සුනඛයෙකු ගිනස් වාර්තාවක් පිහිටුවා තියෙන්නේ අඩි දහතුනක් උස, අඩි පහළොවක් දිග කේබල් එකක ගිහින්. ටෝබී දැනට අඩි නවයක් උඩින් ගියාට එහි යාමට සහ ඒමට අඩි හතළිහක් දුර ඇවිදිනවා. ටෝබිට තව අඩි තුනක් උඩින් යන්න පුරුදු කරමින් අපි ඉන්නේ. ඌ එම ගිනස් වාර්තාව පිහිටුවන බවට අපට විශ්වාසයක් තියෙනවා...” යැයි අනිල් අවසන් වශයෙන් පැවසුවේය.
නිල සුනඛයෙකු දිනපතාම පුහුණු කළ යුතුය. මෙහිදී නිල සුනඛයා යනුවෙන් හැඳින්වුවද, මේ යටතට සුනඛයා සහ සුනඛ ධේනුව යන දෙදෙනාම අයත් වේ. ටෝබි ද සුනඛ ධේනුවකි. සංදර්ශන පවත්වයි. තවද නිතරම මිනිස් සුවඳ, මත්ද්‍රව්‍ය, පුපුරන ද්‍රව්‍ය ආග්‍රහණය කරන නිසා විවිධ ලෙඩ රෝගවලට ගොදුරුවීමේ අවදානමක් ද පවතී. මෙවන් තත්ත්වයන් නිසා උන් ඉතා ඉක්මණින් වෙහෙසට පත් වේ. එම නිසා උන්ගෙ පොලිස් සේවය වසර 8කට සීමා වේ. ඉන්පසු වෛද්‍ය වාර්තාවක් ලබාගෙන සේවයෙන් විශ්‍රාම යවා, රජයේ දේපලක් විදියට ටෙන්ඩර් මඟින් අලෙවි කෙරේ. සේවයේ යෙදී සිටින කාලයේ මිය ගියොත් ගරු බුහුමන් දක්වා පොලිස් නිල සුනඛ සුසාන භූමියේදී මිහිදන් කරනු ඇත.
ලබන සතියේ දී, මිනීමරුවන් පසුපස යන සුනඛයෙකුගේ වික්‍රම ගැන දැන ගනිමු...
ස්තුතිය:- මහනුවර අස්ගිරිය, පොලිස් නිල සුනඛ කොට්ඨාසයේ අධ්යක්ෂ පොලිස් අධිකාරි ලාල් සෙනෙවිරත්න, පොලිස් නිල සුනඛ මූලස්ථානය භාර ප්‍රධාන පොලිස් පරීක්ෂක ප්‍රියන්ත කුලසේකර, පොලිස් පරීක්ෂක කීර්ති වෙල්ලංගිරිය, උපදේශක පොලිස් සැරයන් (32497) කේ.ඩබ්ලිව්.සී. ජයරත්න, පො.කො (71028) එච්.එම්.ඒ.අයි. බණ්ඩාර, පො.කො. (71031) ජයවර්ධන යන මහත්වරුන්ට.
සටහන සහ ඡායාරූප
සිසිර කුමාර බණ්ඩාර
හීන් නෝනා දියණිය දෙස බැලුවේ කරදර දෑසිනි. දුරකථනය හරහා ආවේ සුබ පණිවිඩයක් නොවන බැව් ඇගේ මුහුණ කියා පෑවේය. “කවුද කතා කෙරුවේ..?” හීන් නෝනා විමසුවාය. “අයිය
මෙවර U Tube ලෝකය තුළින් ඉරිදා ලංකාදීපයෙන් කතාබහ කරන්න හිතුවේ සමාජ මාද්‍ය ඔස්සේ අතිශය ජනප්‍රිය Girls Voice Band එකක් පිළිබඳව. ඒ Yellow Beats කණ්ඩායම කුෂිනි ප්‍රවින්ද්‍යා, දි
ශ්‍රී ලංකාවේ පබලු භාවිතය පිළිබඳ පුරාණතම සාධක අයත් ෙවන්නේ ප්රාග් ඓතිහාසික යුගයටය. ක්‍රි.පූ. (900-600) අතර මුල් යුගයේදී ජනතාව පබලු භාවිතය සුලබව සිදුකොට ඇති
හින්දු පුරාණයට අනුව විෂ්ණු දෙවි යනු ලොව සුරකින්නාය. ලෝකයේ තිර පැවැත්ම පිණිසත්, ධර්මය රැකීමටත්, අදමිටුවන් විනාශ කිරීමටත් වරින්වර විෂ්ණු ලොව පහළවන බව මහ
මසින් ලෙයින් නිර්මිත මසැසට භෞතික ලෝකයේ බොහෝ සංසිද්ධි දැක ගත හැකි වුවත් ඉන් එහා ඇති අවිඥාණික දේ පෙනෙන්නේ නැත. භූගත පෘෂ්ඨ වංශික ඇතැම් සතුන් හැරුණු විට සෙ
සිත්තම්ගල ගල් ලෙන බලන්නට මී ආතා “බරින්දු” එක්ක ගෙන ගියේ ගැල් කරත්තයෙන්ය. “අපේ රැහේ උන් තමයි දරුවෝ මෙතන නැණපිල පටන් ගෙන සාහිත රස බෙදුවේ.” එදා මී ආතා කී ක
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
මත්කුඩු අල්ලන ශූරයා -ටෝබි