IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


එදා මට හනිමුන් යන්න බෙන්ස් රථය දුන්නෙ ජෝතිපාල

ශ්‍රී ලංකාවෙන් බිහිවූ අග්‍රහණය පිතිකරුවකු වන රෝයි ඩයස්ගේ මතකය 

 

 

  • පෙට්‍රලුත් ගහලා දීලා ඩ්‍රැයිවර් එක්ක. ඒ වාහනය සතියක්ම තියා ගන්න කිව්වා   

 

 

ශ්‍රී ලංකාවෙන් මෙතෙක් බිහිවු පොතේ හැටියට, ක්‍රිකට් ක්‍රීඩා කළ ක්‍රීඩකයින් අතරින් ‘රෝයි ඩයස්’ යන නාමය, කිසිදින අමතක කළ හැකි චරිතයක් නොවෙයි. රෝයි ඩයස් යන නාමය ලෝක ක්‍රිකට් වංශ කතාවේ ලියැවී ඇත්තේ ශ්‍රී ලංකාවෙන් බිහිවූ විශිෂ්ටතම පිතිකරුවකු ලෙසය. ශ්‍රී ලංකාවට ටෙස්ට් තාක්ෂණය ලැබුණු පසු ශ්‍රී ලංකාව වෙනුවෙන් ප්‍රථම ටෙස්ට් ලකුණු දහස සම්පුර්ණ කළ පිතිකරුවා ලෙස වාර්තාව තබා ඇත්තේ මේ ‘රෝයි ඩයස්’ නමැති අසහාය ක්‍රිකට් තරුවය. එහෙව් වූ ‘රෝයි ඩයස්’ ප්‍රවීණයාගේ අද දවසේ ජීවිතය ගෙවී යන්නේ මොන විදියටද? කාලයකට පසුව ඔහුගේ ලස්සන කැදැල්ලේ සිට අපට හමුවූ මොහොතකි මේ.   


• කොහොමද වැඩකටයුතු මේ දිනවල?  


කොරෝනා වලින් පසුව තවම අපි හරියට වැඩ පටන් ගත්තෙ නැහැ. සතියකට දෙපාරක් විතර ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයට යනවා. ඉදිරි ක්‍රිකට් පුහුණු කටයුතු පිළිබඳව රැස්වීම් සාකච්ඡා එහිදී පැවැත් වෙනවා.   


• ඔබට පැවරිලා තියෙන්නෙ මොන වගේ රාජකාරියක්ද?   


ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මට පවරා තියෙන්නෙ. 15න්, 17න්, 19න් පහළ ක්‍රීඩක පුහුණුකරවීමේ කටයුතු බාරවයි. ඊට තවත් පුහුණුකරුවන් පස් දෙනකු ඇතුළත්.  


• පවුලේ විස්තර එහෙම කොහොමද?   


පුතයි, දුවයි, මමයි බිරිඳයි ඉන්නෙ. පුතා කොහොමටත් මෙහේ නෙවෙයි ඉන්නේ. එයා පදිංචිය ඇමෙරිකාවෙ. පුතා ඉංජිනේරුවරයෙක්. එයා විවාහ වෙලා දරුවෝ දෙදෙනෙක් ඉන්නවා. දුව නීතිඥවරියක්. දුව ඉන්නෙ අපි එක්ක.   


• ගෙවී ගිය කාලය ගැන හිතන්නෙ මොන විදියටද?   


ඇත්තම කිව්වොත් ලොක්ඩවුන් කරලා තිබුණු කාලය ගැන නම්, මම සතුටු වෙනවා. සෑහෙන කාලයකට පසුව අපට පවුලක් ලෙස එකට එක්වී වැඩිපුර කාලයක් ගත කරන්න ලැබුණා. අපි එකට ඉඳගෙන දවල් කෑම. රාත්‍රී කෑම වේලට එක්වුණා. උදේ ඉඳලා ​රෑ වෙනකල් ​බොහෝ දේ ගැන කතා කරන්න ලැබුණා. සාමාන්‍ය දිනයකදී එක එක්නෙකා වැඩ කරන්නෙ එක එක වෙලාවට නිසා ඒ වගේ අවස්ථා ලැබුණෙ හරි අඩුවෙන්. ගෙදරදි මට තියෙන්නෙ නිදහසේ ඉන්න විතරයි. මගේ බිරිඳ තරංගා තමයි ඔක්කොම කරන්නේ. මාකට් එකට යන්නෙ, සහ ගෙදර අනෙකුත් වැඩ ඔක්කොම කරන්නෙ එයා. මම කරන්නෙ ටී.වී. එක බලනවා. නැත්නම් නිව්ස් අහනවා. ව්‍යායාම් වෙනුවෙන් ටිකක් ඇවිදින්න යනවා. වැඩිපුරම මම ආස ගෙදර ඉන්නයි. පොත් කියවීම මගේ ප්‍රියතම විනෝදාංශයක්. ඒ වගේම ක්‍රිකට් ක්‍රීඩාව ගැන වූ බොහෝ දේ කියවීම නැරඹීමත් කරනවා.   


• අපි දශක කිහිපයකට එහා වූ අතීතයට යමු. මතකද එදා ඔබ මුලින්ම ශ්‍රී ලංකා කණ්ඩායමට එක්වූ දවස?   


මම ඉගෙන ගත්තේ බම්බලපිටිය ශාන්ත පීතර විද්‍යාලයෙන්. 1972 දී විතර පාසල් ජීවිතයට සමුදීමත් සමග මම ශ්‍රී ලංකා සංචිතයට තේරිලා තිබුණෙ. පාසල් සමයේදී තිබූ දක්ෂතා එක්ක තමයි ශ්‍රී ලංකා සංචිතයට ආවෙ. 1974 දී මුලින්ම මට අවස්ථාවක් ලැබුණෙ. බටහිර ඉන්දීය කොදෙව් සමග එක්දින තරගයක් වෙනුවෙන් තමයි මුල්වරට ක්‍රීඩා කළේ. එදා මට අහඹු ලෙස ආරම්භක පිතිකරුවාගේ භූමිකාව කරන්න සිද්ධ වුණා. කඩුළු රකිමින් සිටි රන්ජිත් ප්‍රනාන්දු ආබාධයකට ලක්වීම නිසයි ඒ අවස්ථාව ලැබුණෙ. තරගයකට පෙරදා රාත්‍රියේදී තමයි පණිවුඩය ලැබුණෙ. එදා අනෙක් ආරම්භක පිතිකරුවා වුණේ සුනිල් වෙත්තමුණි. 

 
• එදා හොඳට ක්‍රීඩා කළාදා?   


පළමු ඕවරයේදීම මම රනවුට් වුණා. විවියන් රිචඩ්ගෙ අතට ගිය පන්දුව එයා එක්වර කඩුල්ලට දමා ගැසුවාය.   


• එදා බටහිර ඉන්දීය කොදෙව්වන්ට මුළු ලෝකෙම ක්‍රීඩකයින් බියක් දැක්වූවා. ඔබට ඒ බිය තිබුණෙ නැද්ද?   


මොකද නැත්තෙ? මම පිටියට ගියේ පුදුම බියකින්. පාසලින් එක්වර එළියට ආපු මම ලෝකයේ ප්‍රබලතම වේග පන්දු බළ ඇණියට මුහුණ දෙන්නෙ කොහොමද කියන බය තිබුණෙ. එදා හෙල්මට් තිබුණෙත් නැහැ. ඒ තරගයේදී සුනිල් වෙත්තමුණිගෙ හිසට පන්දුව වැදිලා අනතුරකට ලක්වුණා. ඉන්පසුව මට ආයෙත් ශ්‍රී ලංකා පිල නියෝජනය කරන්න ලැබුණෙ 1974දීයි. එදා ඉන්දියාව එක්ක තරගාවලියකට අපි ඉන්දියාවට ගියා. කැප්ටන් අනුර තෙන්නකෝන්. එදා තරගාවලියේ මුල් තරග ක්‍රීඩා කරන්න ලැබුණෙ නැහැ. අන්තිම ටෙස්ට් තරගය (නිල නොලත්) ක්‍රීඩා කරන්න ලැබුණා. එහිදී ලකුණු 81ක් ලබා ගත්තා. හැබැයි එවර මට බැට් කරන්න ලැබුණෙ අංක 7 පිතිකරුවා ලෙසයි. ඉන්පසුව දිගටම ශ්‍රී ලංකා කණ්ඩායමට ක්‍රිඩා කිරීමේ අවස්ථාව ලැබුණා.   


• එදා මුලින්ම ශ්‍රී ලංකා කණ්ඩායමට ආවාම කොහොමද ජ්‍යෙෂ්ඨයන්ගෙන් තිබුණු පිළිගැනීම එහෙම?  


සුනිල් වෙත්තමුණි, ඩේවිඩ් හයින්, ටෝනි ඕපාත, මෙවන් පීරිස් සහ නායක තෙන්නකෝන් ඇතුළු හැමෝම මට උදව් කළා. වර්ණපුර සහ දුලිප් එහෙමත් එදා ඒ කණ්ඩායමේ හිටියා.   


• එදා හොඳම යාළුවා වුණේ කවුද?   


හැමෝම වගේ මගේ හොඳ යාළුවෝ වුණා. හැබැයි පසු කාලයකදී මගේ නෝනයි, දුලිප්ගේ නෝනයි හොඳ යාළුවෝ වෙච්ච නිසා දුලිප්ගෙ සහ අපේ පවුල අතර හොඳ මිත්‍රත්වයක් තිබුණෙ. හැබැයි මට ඒ ශ්‍රී ලංකා කණ්ඩායමේ ඔක්කෝමලා මගේ හොඳම යාළුවෝ වුණා. ආ මට තව දෙයක් අමතක වුණා.   


• ඒ මොකක්ද?   


එදා ශ්‍රී ලංකා කණ්ඩායම එක්ක ඉන්දියාවට යාමට පෙර, ශ්‍රී ලංකාවෙන් කණ්ඩායමක් වසරක් පාසා ඉන්දියාවට ගියේ ‘ගෝපාලන්’ කුසලානය වෙනුවෙන්. එදා අපට තිබුණු එකම තරගාවලිය එයයි. මුලින්ම මම නියෝජනය කළේ ගෝපාලන් කුසලානය සඳහා වූ තරගාවලියයි.   


• ටෙස්ට් තත්ත්වයට පෙර ක්‍රීඩා කළ කාලයේදී මුහුණ දුන් සොඳුරුතම මතකය අවදි කරමු?   


ඉන්දියාව එක්ක වූ තරග​යේදී ලකුණු 81ක් ලබා ගනිමින් එතැන් සිට කණ්ඩායමේ ස්ථාවර වෙන්න මට පුළුවන් වුණා.   

 


• ශ්‍රී ලංකාව ටෙස්ට් තත්ත්වය ලබාගැනීමෙන් පසුව මුහුණදුන් ප්‍රථම ටෙස්ට් තරගය ගැනත් මතක අවදි කරමු?   


එදා අපි කණ්ඩායමක් ලෙස ඔක්කෝමලා හරිම එකමුතුයි. කෑමකට පවා ගියේ ඔක්කෝමලා එකට. කතා කරන්න ඕනෑ වුණාම ඔක්කෝමලා එකිනෙකාගෙ කාමරයට ගිහින් තමයි කතා කළේ. ලොකු බැඳීමක් තිබුණෙ. එදා අපට හෝටල් තිබුණේ නැහැ. හොස්ටල් එකක නතර කළේ. බෝඩ් එකට ඒ කාලයේ එච්චර සල්ලි තිබුණෙත් නැහැනෙ. හැබැයි මුදල්වලට වඩා අපි ඒ තරගය ක්‍රීඩා කළේ හරිම සතුටින්. ඒ කාලයේ ප්‍රතිවාදි කණ්ඩායම එක්ක හරි එකතුයි. ඒ බැඳීම ඒ කාලයේ ඉතා හොඳින් තිබුණු දෙයක්.   


• එදා එංගලන්ත කණ්ඩායමේ සිටි ක්‍රීඩකයින් අතරින් ඔබ සමග වඩා මිත්‍රශීලි වුණේ කවුද?   


ඔක්කෝමලා හොඳයි. හැබැයි වඩා මිත්‍රශීලි වුණේ ඩේවිට් ගවර්. ජෝන් එම්බියුරින් මගේ හොඳ යාළුවෙක්. 

 
• ටෙස්ට් වරම් ලැබූ පසු ඔබ සහභාගි වූ සොඳුරුතම සංචාරය හැටියට නම් කරන්නේ?  


මට කවදාවත් අමතක කළ නොහැකි තරගාවලියක් ලෙස 1982 දී ඉන්දීය සංචාරය නම් කරන්න පුළුවනි. එක ටෙස්ට් තරගයක් සහ එක්දින තරග තුනක් එම සංචාරයට ඇතුළත් වුණා. චෙපොත් ක්‍රීඩාංගණයේදී ප්‍රථම ටෙස්ට් තරගය පැවැත්වුණේ. පළමු ඉනිමේ 60ක් සහ දෙවැනි ඉනිමේ 97ක් ගහලා අවුට් වුණා. දුලිප් ඉනිම දෙකේදිම ශතක ලබා වාර්තාවක් තැබුවේ එම තරගයේදීමයි. 97ට අවුට් වෙලා එද්දි මට එච්චර දුකක් තිබුණේ නැහැ. මොකද 50ක් ගහන එකත් ඒ දිනවල ලොකු දෙයක්. 97ට අවුට් වෙලා එනකොට තේ පානයට තරගය නතර කළා. මම ක්‍රීඩාගාරයේ ඩ්‍රෙසින් රූම් එකේ සිටියදී කෙනෙක් මට ඇවිත් කිව්වා අන්න සුනිල් ගවස්කාර් ඔයාට කතාකරනවා කියලා. එයා මගේ ළඟට ඇවිත් ‘දිස් ඉස් වන් ඔෆ් ද බෙස්ට් ඉනින්ග්ස් අයි හෑව් සීන් (මෙය මා දුටු හොඳම පිතිකරණ ඉනිමක්) කියා කිව්වා. ඇත්තම කිව්වොත් ඒ වෙලාවෙ මට ඇතිවූ සතුට අප්‍රමාණයි. ගවස්කාර් වගේ ලෝක පූජිත ක්‍රීඩකයෙක් එහෙම කිව්වම එය ශතකයට වඩා අනර්ඝ දෙයක් වුණා. ඉන් පසුව සුනිල් ගවස්කාර් එක්ක මම හරිම මිත්‍රශීලි වුණා. අපි හොඳ යාළුවෝ වුණාය කිව්වොත් හරි. එම තරගාවලියේ එක්දින තරගාවලදී 40 ගාණක්, දෙවැනි එකේ 109ක් සහ තුන්වැනි එකෙත් 123ක් ගැහුවා. ඒක බැංගලෝරයේ ඩින්නසාමි ක්‍රීඩාංගනයේ වසර විසි ගණනක් පුරා නොබිඳි වාර්තාවක්ව තිබුණා.   


• ඒ කාලයේ ශ්‍රී ලංකාව එක්ක වඩා මිත්‍රත්වයක් තිබුණෙ මොන රටේ ක්‍රීඩකයන් සමගද?   


මම හිතන විදියට ඉන්දියාව එක්කයි.   

 


• ඒ කාලයේදී තරග සංචාරවලට ගිහින් සිටියදී මුහුණ දුන් රසමුසු සිදුවීම් ගැන මතකය මොන වගේද?   


එහෙමටම කියලා ලොකු සිදුවීම් වෙලා නැහැ. මොන සංචාරය ගියත් අපි හිටියෙ කණ්ඩායම එකට විවේකයක් ලැබුණාමත් එහෙමයි. සිංදු කියන අය සිංදු කිව්වා. කණ්ඩායම අතර හොඳ එකමුතුකමක් තිබුණෙ. එක් වතාවක පාකිස්ථානයේ තරග සංචාරයක් තිබුණා. ජාවඩ් මියැන්ඩාඩ් තමයි පළමු ටෙස්ට් තරග දෙක මෙහෙයවූයේ. පළමු තරගයේදී මම ලකුණු 40ක් ලබා ගත්තා. දෙවැනි තගරයේදී 98ක් ලබා සිටියදී අම්පයර් දීපු හොර අවුට් එකකට දැවී ගියා. පසුව කණ්ඩායම් දෙක හවස කොක්ටේල් එකට එකතු වුණා. සලීම් මලික් මගේ ළඟට ඇවිත් ‘සොරී වී හැඩ් ටු ගෙට් යූ අවුට්’ (සමාවෙන්න අපට ඔබ දවා ගතයුතුම වුණා) කියලා කිව්වා. හැබැයි ඊට පසුව ලාහෝර්හි පැවැති තුන් වැනි තරගයේදී මම මගේ ප්‍රථම ටෙස්ට් ශතකය ලබා ගත්තා. ලාහෝරය කියන්නේ මට හිතුන විදියට ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවට සැමරුම් රැසක් එක්කළ සංධිස්ථානයක්.   


• ඉස්සර කාටද හොඳට ගීත ගයන්න පුළුවන් වුණේ?   


බන්ධුට තමයි. එයා තමයි මුලින්ම වැඩේ පටන් ගත්තෙ. ඊට පස්සේ හැමෝම පුළු පුළුවන් විදියට සිංදු කිව්වා. අජිත් ද සිල්වාටත් හොඳ හැකියාවක් තිබුණා. මම බොහෝම ආසා කළේ එච්.ආර්. ජෝතිපාලයන්ගේ ගීත අහන්නයි. ඒකටත් ලොකු හේතුවක් තිබුණා. 

 
• අපි ඒ ගැනත් කියමු?  


ශ්‍රී ලංකා ටීම් එකට මුලින්ම ආපු කාලයේ මම ක්‍රීඩා කළේ කොළඹ කෝල්ට්ස් ක්‍රීඩා සමාජයට. එච්. ආර්. ජෝතිපාලයන් කෝල්ට්ස් ක්ලබ් එකේ මෙම්බර් කෙනෙක්. ජෝති හැමදාම වගේ මැච් බලන්න ආවා. සෙනසුරාදා - ඉරිදා අනිවාර් යෙන්ම එයා ආවා. බොහෝ වෙලාවට අපට දවල් කෑම අරන් දුන්නෙත් එයා. මම විවාහ වෙන දවසේ එතුමාට ආරාධනා කරන්න ඕනෑ වණා. මගේ පුහුණුකරුට ආරාධනා පත්‍රය දෙන්න යනකොට ජෝතිපාලයන් එතැන හිටියා. ‘මම ඔබතුමාගේ කාඩ් එක මෙතැනට ගෙනාවේ නැහැ. ගෙදරට ගෙනැල්ලා දෙන්නම් කියලා මම ජෝතිට කිව්වා.   


නෑ. නෑ. කාඩ් ඕනෑ නෑ. මට දිනයයි වෙලාවයි කියන්න කියලා එවිට ජෝති කිව්වා. එහෙම කියලා ඔයා හනිමුන් යන්නෙ කොහොමද කියලා ඇහුවා?   
මම කිව්වා මම වැඩ කරන්නෙ ෆෲඩරන්බර්ග්වල. ඉතින් එයාලා මට රන්වැලි කියලා හෝටලය වෙන් කරලා තියෙනවා කියලා. 

 
කොහොමද යන්නේ? කියලා එවිට ජෝති ඇහුවා.


මට එතකොට කාර් එකක් තිබුණේ නැහැ. මෝටර් බයික් එකේ යන්නෙ කියා මම කිව්වා.   


නෑ. නෑ. ඕනැ නැහැ. ඔයාට මගේ කාර් එක එවන්නම් කියලා ජෝතිපාලයන් කිව්වා.   


හැබැයි මම සුමානයක් ඉන්නවා කියලා මම කිව්වාම ජෝති එයාගේ රියැදුරාට කතා කළා.   


ඔයා සතියක් මේ සර්වයි මැඩම්වයි එක්ක ඉන්න බලාගෙන ඇඳුම් ලැහැස්ති කර ගන්න කියලා. ජෝති එයාගෙ රියැදුරාට කිව්වා. මම හනිමුන් ගියේ ජෝතිගේ සුදුපාට බෙන්ස් රථයෙන්. බෙන්ස් එකට පෙට්ට්‍රල් ගහන්නවත් එයා මට ඉඩ තැබුවෙ නැහැ.   


ජෝතිපාලයන් කියන්නේ ඇත්තටම හරි පුදුම චරිතයක්.   


• ඒ කියන්නේ එයා ඔබගේ හොඳ මිතුරෙක් වුණා?  


එයා ක්‍රිකට්වලට ආදරය කළ කෙනෙක්. අපේ ක්ලබ් එකේ ෂන්මුගම් මහතාගේ යාළුවෙක්. මම හිතන්නෙ එවකට එයාගේ ප්‍රියතම ක්‍රිකට් ක්‍රීඩකයා වෙන්න ඇත්තෙ මම.  

 


• එතුමාගේ වියෝව ඔබට දැනුණේ කොහොමද?   


ඒක නම් මට අදටත් අදහා ගන්න බැරි තරම්. එදා මම තරංගා එක්ක වැඩට යමින් සිටියෙ. එතකොට අපට කාර් එකක් තිබුණා. අපි ගමන නවත්තලා කෙළින්ම ගියේ ජෝතිගෙ බත්තරමුල්ල කොස්වත්තෙ ගෙදරට. ජෝති හමුවුණාම වැඩිපුරම කතා කළේ ක්‍රිකට් ගැන තමයි. ජෝති අයියා ඇත්තටම මටත් තරංගාටත් හැමදාම සදාදරණීය චරිතයක්.   


• ජෝති විතරද එදා ඔබගේ ගායක මිතුරන් වුණේ?  


ඉස්සර මට මගේ යාළුවන් හමුවන්න බ්ලුම්ෆීල්ඩ් ක්ලබ් එකට යනවා. බන්ධු, අජිත් ද සිල්වා ඇතුළු බ්ලුම්ෆීල්ඩ් එකේ බොහෝ දෙනා මගේ යාළුවෝ. මිල්ටන් මල්ලවආරච්චි බ්ලුම්ෆීල්ඩ් එකට නිතර ආ ගිය චරිතයක්. ඉතින් මා එක්ක එයා බොහෝ දේ කතා කළා. ඉස්සර ක්ලබ් මැච් තිබියදී ජෝති අයියා ඇවිත් අපට ලන්ච් එකට හැමදාම වගේ බිරියානි අරන් දුන්නා. ඒ අතීතය හරිම සුන්දරයි.   


• අදටත් ඔබගෙ මිතුරන් වන එදා ක්‍රීඩා කළ ජාත්‍යන්තර ක්‍රීඩකයින් කවුද?   


එදා ඉන්දීය කණ්ඩායමේ හිටපු බොහෝ දෙනා මගේ මිතුරන්. ගවස්කාර්, රවි ශාන්ත්‍රි, කපිල් දේව්, ශ්‍රීකාන්ත් ඒ වගේ බොහෝ දෙනෙක් ඉන්නවා. අපි හමුවුණම ඉස්සර ක්‍රිකට් ගහපු හැටි ගැන කතා කරනවා.   


• එදා ශ්‍රී ලංකා කණ්ඩායමේ සිටි අය අදටත් එකතු වෙනවද?   


ඔව්. ඔව්. කොරෝනා නිසා එහෙම නොවුවත් බොහෝ වෙලාවට අපි එකතු වෙන අවස්ථා තියෙනවා. වෙඩින් එකකදී හමුවුණත් අපි ඔක්කෝමලා එකතැන එකට සිටීම පුරුද්දක්. හරියට එදා කණ්ඩායමේ සෙල්ලම් කරද්දී එකට සිටියා වගෙයි.   

 

රෝයි සහ තරංගා


• රෝයි ඩයස් කියන ක්‍රීඩකයා සමග පසුකාලීනව ශ්‍රී ලංකාව නියෝජනය කළ ක්‍රීඩකයින් හරි එකතුයි නේද? කොහොමද එහෙම වුණේ? අපි අහලා තියෙන විදියට අර්ජුන, අරවින්ද, ගුරා ඇතුළු බොහෝ දෙනා ඔබගෙ ඇසුරට ප්‍රිය කළා නේද? රෝයි ඩයස් වටා තරුණ පිරිස් එකතු වීමේ රහස මොකක්ද?   


කිසිම රහසක් නැහැ. එයාලා මට ආදරෙයි. මම අර්ජුනගෙන් පටන් ගන්නම්. දවසක් අජිත් ද සිල්වා කතා කරලා අලුත් බැට් එකක් තියෙනවද කියලා මගෙන් ඇහුවා. මොකටද කියා ඇහුවාම එයා කිව්වෙ ආනන්ද - නාලන්ද බිග් මැච් එකේ විකට් 5ක් ගන්න කෙනාට බැට් එකක් දෙනවා කියලා. හරි මම දෙන්නම් කියලා මම බැට් එකක් දුන්නා. ඊට අමතරව තවත් බැට් එකක් මා ළඟ තිබුණා. චරිත් සේනානායක සහ කමල් ධර්මසිරි, අජිත් ද සිල්වාගෙ බැට් එක ගෙනියන්න ආවාම අමතරව තිබුණු බැට් එක අර්ජුනට ගෙන්න කියලා මම චරිත්ට කිව්වා. අර්ජුන මගෙන් බැට් එකක් ඉල්ලලා තිබුණෙත් නැහැ.   


• එහෙව් එකේ ඇයි එයාට බැට් එකක් යැව්වේ?   


එතකොට මම SCC එකට ක්‍රීඩා කරමින් සිටියෙ. දවසක් පුහුණුවීම් කරමින් සිටියදී හරි හුරුබුහුටි චබී ළමයෙක් ඇවිත් හිටියා. අයියා මට මේ වගේ පෑඩ්ස් දෙකක් දෙන්න පුළුවන්ද කියා ඇහුවා. කවුද මට මේ අයියා කියන්නෙ කියා ඒ පාර මම පසුපස හැරිලා බැලුවා. මට කවුරුවත් ඒ විදියට ඊට කලින් කතා කරලා තිබුණෙත් නැහැ.   


‘හරි බය වෙන්න එපා මම දෙන්නම් කියලා කිව්වා’. එයා එස්.එස්.සී. එකට යද්දී වයස 16යි. එදා එයා චූටි නිසා අපි අර්ජුනට කිව්වේ ‘චූටි’ කියලයි. ආදරේට චූට්ස් කියලත් කිව්වා. පසුව එයා ශ්‍රී ලංකා කණ්ඩායමට ආවාමත් අපි එයාට කිව්වේ ‘චූටි’ කියලයි. ඇත්තටම අදටත් අපි එයාට කතා කරන්නෙ එහෙමයි. අරවින්ද, අර්ජුන, රොෂාන්, ගුරුසිංහ, හෂාන් මේ ​ඔක්කෝමලා එදා ඉඳලා මා එක්ක හරි එකතුයි. මේ ළමයි ටික අපේ ගෙදරට එන්න හරි ආසයි.   

 

ගාෆීල්ඩ් සෝබර්ස් සමග


• එදා අවුරුදු 18 යෞවනයකු ලෙස ශ්‍රී ලංකා කණ්ඩායමට ඇවිත් අර්ජුණ ඔබ එක්ක පිතිකරණයේ යෙදුණු විශේෂ තරගයක් ගැන මතකය තියෙනවද?   


ආසියානු කුසලාන තරගයකදී ප්‍රථම වරට අපි ඩුබායි ගියේ. එදා පාකිස්ථානය එක්ක තරගය අපට දිනන්න පුළුවන් වුණා. මගේ අතේ ආබාධයක් තිබියදී මම සෙල්ලම් කළේ. එදා ඉම්රාන්ලා, අබ්දුල් කදීර්ලා එහෙම පාකිස්ථානය නියෝජනය කලා. කදීර් අපේ කඩුලු එක පිට එක ගත්තා. කඩුළු පහක් විතර අඩු ලකුණු ගණනකට වැටිලා තිබුණෙ. අර්ජුන බැට් කරන්න ආවාම කදීර්ගෙ පන්දු හමුවේ දැවැන්ත හයේ පහර එල්ල කළා. පුල් ෂොට් එක අපූරුවට ගැහුවා. අර්ජුන කදීර්ට පිට පිට හයේ පහර හතරේ පහර ගසද්දී මට කදී​ර්ට මුහුණ දෙන්න අවස්ථාව අඩු වුණා. ඒ මැච් එකේ අපි දෙන්නම ලකුණු 60 බැගින් ලබා තරගය ජයග්‍රහණය කළා.   


ඉන්පසුව ඉන්දීය කණඩායමත් ලංකාවට ආවා. ලක්ෂ්මන් සිවරාම ක්‍රිෂ්ණන් පා දඟ පන්දු යවන්නෙකු ලෙස එවකට හරි ප්‍රබලයි. ඒ නිසා අපි හැමෝම කතා කළේ ලක්ෂ්මන්ට කොහොමද මුහුණ දෙන්නෙ කියලයි. එවරත් ක්‍රියාත්මක වුණේ අර්ජුන. කොච්චර නම් ප්‍රබල ප්‍රහාරයක්ද කිව්වොත් ලක්ෂ්මන්ව පන්දු යැවීමෙන් අයින් කළා. වමතින් පන්දු යවන හෝ පා දඟ පන්දු යවන ක්‍රීඩකයින් අර්ජුනට බෝල් කරන්න බය වුණා. අර්ජුන ඒ අයට ආයේ පන්දු යැවීම් නොකරන විදියට ප්‍රබල ප්‍රහාරයක් දියත් කළා.   


• ඔබගේ ක්‍රිකට් දිවියේ ඔබ දුටු විශිෂ්ට ක්‍රීඩකයින් කවුද?   


ජාත්‍යන්තරව කතා කළොත් සර් විවියන් රිචඩ්ස් මා දුටු විශිෂ්ට ක්‍රීඩකයෙක්. ඒ වගේම ගවස්කාර්, ඇලන් බෝඩර්, රිචඩ් හැඩ්ලි, ඉයන් බෝතම්, සහීර් අබ්බාස්, ඉම්රාන් ඛාන්, කපිල්දේව් ඇතුළු බොහෝ පිරිසක් සිටිනවා. 

 

 

සටහන - සඳුන් ගමගේ 



අදහස් (0)

එදා මට හනිමුන් යන්න බෙන්ස් රථය දුන්නෙ ජෝතිපාල

ඔබේ අදහස් එවන්න

රසවිත

අනේ පොඩි නැන්දා මට හුඟක් දවස් කාමරේ ඇතුළෙ ඉන්න වෙයිද?
2022 මාර්තු මස 26 10905 0

හීන් නෝනා දියණිය දෙස බැලු‍වේ කරදර දෑසිනි. දුරකථනය හරහා ආවේ සුබ පණිවිඩයක් නොවන බැව් ඇගේ මුහුණ කියා පෑවේය. “කවුද කතා කෙරුවේ..?” හීන් නෝනා විමසුවාය. “අයිය


යෙලෝ බීට්ස් කියන්නේ කවුද ?
2022 මාර්තු මස 26 6203 0

මෙවර U Tube ලෝකය තුළින් ඉරිදා ලංකාදීපයෙන් කතාබහ කරන්න හිතුවේ සමාජ මාද්‍ය ඔස්සේ අතිශය ජනප්‍රිය Girls Voice Band එකක් පිළිබඳව. ඒ Yellow Beats කණ්ඩායම කුෂිනි ප්‍රවින්ද්‍යා, දි


පුරාණ රජ කාලේ වීදුරු හැදූ ‘පබුලුගම’
2022 මාර්තු මස 26 5917 0

ශ්‍රී ලංකාවේ පබලු භාවිතය පිළිබඳ පුරාණතම සාධක අයත් ​ෙවන්නේ ප්‍රාග් ඓතිහාසික යුගයටය. ක්‍රි.පූ. (900-600) අතර මුල් යුගයේදී ජනතාව පබලු භාවිතය සුලබව සිදුකොට ඇති


වෘන්දා වනයේ පෙම්මල් විසිරේ...
2022 මාර්තු මස 26 5225 0

හින්දු පුරාණයට අනුව විෂ්ණු දෙවි යනු ලොව සුරකින්නාය. ලෝකයේ තිර පැවැත්ම පිණිසත්, ධර්මය රැකීමටත්, අදමිටුවන් විනාශ කිරීමටත් වරින්වර විෂ්ණු ලොව පහළවන බව මහ


බිම් බෝම්බය පිපිරෙද්දී ගෙදරට පණිවිඩයක් දුන් ව්‍යාපාරිකයා
2022 මාර්තු මස 26 3227 0

මසින් ලෙයින් නිර්මිත මසැසට භෞතික ලෝකයේ බොහෝ සංසිද්ධි දැක ගත හැකි වුවත් ඉන් එහා ඇති අවිඥාණික දේ පෙනෙන්නේ නැත. භූගත පෘෂ්ඨ වංශික ඇතැම් සතුන් හැරුණු විට සෙ


නූතන ශාසන ප්‍රබෝධයේ ශාස්ත්‍රවන්තයා සිටිනාමළුවේ මහ තෙරිඳු
2022 මාර්තු මස 26 1702 0

සිත්තම්ගල ගල් ලෙන බලන්නට මී ආතා “බරින්දු” එක්ක ගෙන ගියේ ගැල් කරත්තයෙන්ය. “අපේ ‍රැහේ උන් තමයි දරුවෝ මෙතන නැණපිල පටන් ගෙන සාහිත රස බෙදුවේ.” එදා මී ආතා කී ක


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 221 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1536 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1431 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site