(දියතලාව - ඩී.කේ.රත්න)

වැලිමඩ නගරයේ වෙළඳසැලක් පිටුපස කාණුවක තිබී විදේශීය රටක නිෂ්පාදිත රිවෝල්වරයක් අද (15) හවස අත්අඩංගුවට ගෙන ඇතැයි වැලිමඩ පොලීසිය පවසයි.

නගරවාසී පුද්ගලයෙකු විසින් ලබාදුන් තොරතුරකට අනුව සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී මෙම රිවෝල්වරය පොලිස් අත්අඩංගුවට ගෙන ඇත.

මේ පිළිබදව මෙතෙක් කිසිවකුත් අත්අඩංගුවට ගෙන නොමැත. කිසියම් පුද්ගලයෙකු විසින් මෙම රිවෝල්වරය සන්තකයේ තබාගෙන සිට මෙම කාණුවට විසිකරන්නට ඇතැයි පොලීසිය කියයි.

බණ්ඩාරවෙල කොට්ඨාශභාර පොලිස් අධිකාරි සුදත් මාසිංහ මහතාගේ උපදෙස් පරිදි වැලිමඩ පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක එච්.එම්.ඩබ්.හේරත් මහතාගේ අධීක්ෂණය යටතේ වැලිමඩ පොලිස් නිලධාරීහු මේ පිළිබදව පරීක්ෂණ සිදු කරති.