(ආනන්ද ඉ. ජයකොඩි)

මහ රෑ ත‍්‍රිරෝද රථයකින් රුපියල් ලක්‍ෂ තිස්පහක මුදලක් රැගෙන ගිය බව කියන සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව වීරඟුල පොලීසිය පවසයි.

පොලිස් නිළධාරීන් පිරිසක් අද (19) අලුයම පමණ කොළඹ මහනුවර ප‍්‍රධාන මාර්ගයේ යක්කල වීදියවත්ත නගරයේදී සැකසහිත පුද්ගලයින් දෙදෙනෙකු ගමන් ගත් ත‍්‍රිරෝද රථයක් නවතා පරීක්‍ෂා කිරීමේදී එහි තිබූ රුපියල් ලක්‍ෂ තිස්පහක මුදලක් හමුවී ඇත.

මේ පිළිබඳව එහි රියදුරා හා අනෙක් පුද්ගලයාගෙන් ප‍්‍රශ්න කිරීමේදී මුදල් සම්බන්ධව දෙදෙනා පරස්පර ප‍්‍රකාශ කිරීම හේතුවෙන් ඔවුන් දෙදෙනාත් මුදල් හා ත‍්‍රිරෝද රථයක් අත් අඩංගුවට ගත් බව පොලිස් ස්ථානාධිපතිවරයා වැඩිදුරටත් කියා සිටියේය.

සැකකරුවන් දෙදෙනා තුල්හිරිය, නාන්ගල්ල ප‍්‍රදේශයේ පදිංචිකරුවන් බවට පරීක්‍ෂණවලදී හෙළි වී ඇත.

සැකකරුවන් දෙදෙනා කිසියම් අපරාධ කල්ලියකට අයත් පුද්ගලයින්ද යන්න සැකයක් පවතින හෙයින් වැඩිදුර පරීක්‍ෂණ පවත්වා ගෙන යන අතර මොවුන් දෙදෙනාත් ත‍්‍රිරෝද රථය හා මුදල් අත්තනගල්ල මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.

ගම්පහ ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී රොෂාන් විජේසිංහ හා ගම්පහ සහකාර පොලිස් අධිකාරී එස්. එම්.ආර්.ජේ. සමරනායක යන මහත්වරුන්ගේ උපදෙස් පරිදි වීරඟුල පොලිස් ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්‍ෂක ලලිත් සඳගිරි මහතාගේ මෙහෙයවීම යටතේ පොලිස් සැරයන් අජිත් (42055)  මහතා ප‍්‍රමුඛ පොලිස් නිළධාරීන් පිරිසක් වැටලීමට සහභාගී වූහ.