(දයාරත්න ඇඹෝගම)

හොරොව්පතාන ලේවාසසිරිවැව ශ්‍රී බෝධිරාජරාමය විහාරස්ථානයේ සංඝාවාසයට ඇතුළු වී එහි තිබූ රුපියල් දෙලක්ෂ හැත්තෑදහසක මුදලක් සහ රුපියල් හත්දහසක් වටිනා ජංගම දුරකතනයක් සොරාගත් පුත්‍රයෙකු සහ ඒවා සන්තකයේ තබාගත් මවක අද (16) අත්අඩංගුවට ගත්බව හොරොව්පොතාන පොලිසිය කියයි.
 
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ කහටගස්දිගිලිය, දිගන්හල්මිල්ලෑව ලිපිනයේ පදිංචි 19 හැවිරිදි පුත්‍රයෙකු සහ 44 හැවිරිදි ඔහුගේ මවයි.

සංඝාවාසයේ උළු කැට හතරක් ඉවත් කර  පන්සලට  ඔහු ඇතුළු වී තිබිණි. 

විහාරස්ථානයේ ඝන්ඨාර කුළුණ ඉදිකිරීම සදහා සංඝවාසයේ අල්මාරියක තබා තිබූ රුපියල් දෙලක්ෂ හැත්තෑදහසක මුදල් සහ රුපියල් හත්දහසක් වටිනා ජංගම දුරකතනය සොරා ගෙන ඇති බවට විහාරස්ථානයේ විහාරාධිපති  කල්ලංචියේ සුගතරතන හිමියන් විසින් සිදුකල පැමිණිල්ල මත මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබුණි.

මෙහිදි පුත්‍රයාගෙන් පොලිසිය ප්‍රශ්න කිරීමේදි සොරාගත් මුදල් හා ජංගම දුරකතනය සිය මව භාරයේ තිබෙන බවට කළ ප්‍රකාශය මත මවද පොලිස් අත්අඩංගුවට පත්විය. සොරා ගන්නා ලද මුදලින් රුපියල් හැට හයදහසක මුදලක් සහ ජංගම දුරකතනය නිවසේ සඟවා තිබියදී පොලිසිය සොයා ගෙන තිබේ.

සැකකාර පුත්‍රයා සහ මව අද 16)  අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.