(ක.ග කරුණාරත්න)
ත්‍රස්තවාදයට, අන්තවාදයට විරුද්ධව පොළොන්නරුව දිස්ත්‍රික් කාන්තාවන්ගේ විරෝධතාවය යන මැයෙන් උද්ඝෝෂණයක් හා පාගමනක් අද (15) පොළොන්නරුව නගරයේ දී පැවැත්විණි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පොළොන්නරුව දිස්ත්‍රික් කාන්තා බල මණ්ඩලය මෙය සංවිධානය කර තිබුණි.
පොළොන්නරුව නගරයේ ඔරලෝසු කණුව ඉදිරිපිට දී පැවැති උද්ඝෝෂණයෙන් අනතුරුව කාන්තාවෝ පොළොන්නරුව රෝහල හන්දිය දක්වා ප්‍රධාන මාර්ගයේ විරෝධතා පාගමනේ යෙදුණහ.

"අසාත් සාලි, හිස්බුල්ලා නීතිය හමුවට කැඳවනු" "වෛද්‍ය වෘත්තියට නිගා කළ ෂාෆිට නීතිය ක්‍රියාත්මක කරනු"  "එක රටකට එක නීතියක්' "ගර්භාෂ යුද්ධය නවතනු" යනුවෙන් සඳහන් විරෝධතා පුවරු රැගෙන සටන් පාඨ කියමින් ඔවුහු පෙළපාළියේ ගමන් ගත්හ.