(ඩයනා උදයංගනී)

පුත්තලම අරුවක්කාලු ප‍්‍රදේශයේ ඉදිකර ඇති සනීපාරක්‍ෂක කසළ රඳවනය හේතුවෙන් කිසිම පාරිසරික ගැටලුවක් ඇතිනොවන බවට තමා සහතික වන්නේ යැයි, එහි උපදේශකවරයෙක් ලෙස කටයුතු කරන මොරටුව විශ්ව විද්‍යාලයේ මහාචාර්ය මහේෂ් ජයවීර මහතා පැවසීය.

මෙය ජාත්‍යන්තර ප‍්‍රමිතීන් අනුව ඉදිකර ඇති බව කී මහාචාර්යවරයා එයින් අප ජලය හෝ විෂ වායු කිසිවක් පරිසරයට එක්නොවන බව ද සඳහන් කළේය.

දැනට දොම්පේ ප‍්‍රදේශයේ පවත්වාගෙන යන කසළ රඳවනයත් මෙවැන්නක් බව කී මහාචාර්යවරයා ඒ ගැන දැනගැනීමට අවශ්‍ය අයෙක් සිටීනම් දොම්පේ කසළ රඳවනය දෙස බලා තීරණයක් ගත හැකි බව ද කියා සිටියේය.

මොරටුව විශ්ව විද්‍යාලයේ මහාචාර්ය මහේෂ් ජයවීර මහතා මේ බව පැවසුවේ මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශයේදී අද  (19) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.