(සිරංගිකා ලොකුකරවිට)

 

ගාල්ල නගරයේ දුම්රිය ස්ථානය අසළ පාලමේ ඉදිකිරීම් කටයුතු හදිසියේම නතර කර දැමීම හේතුවෙන් නගරයට පැමිණෙන ජනතාව දැඩි අසීරුතාවකට මුහුණ පා සිටිති. මෙය ඕලන්ද යුගයේ ඉදිකළ පාලමක් සේම පුරාවිද්‍යා ස්මාරකයක් ද වේ. මේ වනවිට එහි ඉදිකිරීම් නවතා ඇතත් ඒ වෙනුවෙන් සැකසූ ආවරණ සවි කර ඇත්තේ මාර්ගයේ කොටසක් වැසෙන පරිද්දෙන් වන නිසා දෛනිකව මෙම ස්ථානයේ විශාල වාහන තදබදයක් පවතී.

 

ගාල්ල නගරයේ රථ වාහන තදබදයට පිළියමක් ලෙස ගාල්ල-කොළඹ ප්‍රධාන මාර්ගය මංතීරු හයක් දක්වා පුළුල් කිරීමේ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කෙරිණි. ඒ අනුව  2011 වර්ෂයේ දී මේ පාලමට එක් පසෙකින් අමතර මං‍තීරුවක් එක් කරන ලදී. එම ඉදිකිරීමට කිසිවකු විරුද්ධ වූයේ නැත.

 

මෙය පුරාවිද්‍යා ස්මාරකයක් යැයි කියමින් ඇතැම් පුද්ගලයන් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට පැමිණිලි කිරීම හේතුවෙන් පාලම ඉදිකිරීම් කටයුතු අතරමග නතර කිරීමට සිදුවූ බව මාර්ග සංවර්ධන අධිකාරිය පැවසීය.

 

2011 වර්ෂයේ දී මුහුද දෙසට ඇති පාලමේ කොටස පළල් කෙරිණි. අනෙක් කොටසේ තිබූ දුරකථන සම්ප්‍රේෂණ රැහැන් ඉවත් කිරීම සඳහා ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය රුපියල් ලක්ෂ 420ක මුදලක් ඉල්ලූ බැවින් එවර ඉදිකිරීම සිදුවූයේ නැත. මාර්ග සංවර්ධන අධිකාරිය පැවසූයේ සාකච්ඡා වට කිහිපයකින් පසු ටෙලිකොම් සමාගම රුපියල් ලක්ෂ 90ක මුදලකට දුරකථන සම්ප්‍රේෂණ රැහැන් ඉවත්කිරීමට එකඟ වූ බවයි.

 

දුරකථන රැහැන් ඉවත්කිරීමත් සමග එතෙක් එම රැහැන් රැඳවූ කොන්ක්‍රීට් කණුවට වැසී තිබූ ශෛලමය පුවරුවක් මතුව තිබේ. ආරුක්කු දෙකකින් සමන්විත පාලමේ මැද සවිකර තිබූ මෙම පුවරුවේ 1768 යනුවෙන් සඳහන්ව ඇත. මේ අනුව ඇතැම් පුද්ගලයන් පවසන්නේ මෙම පාලම ඉදිකර ඇත්තේ ඕලන්ද යුගයේ දී බැවින් එය පුරාවිද්‍යා ස්මාරකයක් බවයි. මාධ්‍ය මගින් මෙම පුවත ප්‍රචාරය වීමත් සමග උසස් අධ්‍යාපන හා සංස්කෘතික අමාත්‍යාංශය පාලමේ ඉදිකිරීම් තාවකාලිකව නතර කිරීමට නියෝග කර තිබිණි.

 

ශ්‍රී ලංකාවේ පුරාවිද්‍යාත්මක ස්මාරක ලෙස හඳුන්වන්නේ 1815 ට පෙර කරන ලද ඉදිකිරීම්ය. යම් ඉදිකිරීමක් පුරාවිද්‍යාත්මක ස්මාරකයක් ලෙස හැඳින්වීමට නම් එය වසර 100කට වඩා පැරණි විය යුතුබවත් එසේම එහි වාස්තු විද්‍යාත්මක, ආගමික, සාමාජික හෝ සංස්කෘතික වටිනාකම් පිළිබඳ විශ්ලේෂණය කිරීමෙන් අනතුරුව ගැසට් පත්‍රයක් මගින් පුරාවිද්‍යා ස්මාරකයක් ලෙස නම් කළ යුතු බවත් එනිසා මෙම පාලම ඉදිකර ඇත්තේ 1768 වර්ෂයේ ද යන්න විමසා බැලිය  යුතු බවත් ඔවුහු පැවසූහ.

 

ඕලන්ද යුගයේ දී කරන ලද්දේ ගඩොල් ආරුක්කු සහිත පාලම්ය. නමුත් මෙම පාලම යටට ගොස් බැලූ විට දක්නට ලැබෙන්නේ එය කොන්ක්‍රීට් යොදා සාදන ලද්දක් බවයි. එසේම ඕලන්ද හා ඉංග්‍රීසි ජාතිකයන් යම් ගොඩනැගිල්ලක් හෝ වෙනත් ඉදිකිරීමක් කළ විට ඉදිකළ වර්ෂය දැක්වෙන ගල් පුවරුව සවිකරනු ලබන්නේ ආරුක්කු හැඩැති නිර්මාණයේ ඉහළ කොටසේ විනා වෙනත් ස්ථානයක නොවන බව පුරාවිද්‍යා නිලධාරීහු කියති. මෙම පාලමේ ආරුක්කු දෙකක් තිබේ. ඉන් එක් ආරුක්කුවක ඉහළ කොටසේ  1858 ලෙසින් වර්ෂය සටහන්ව ඇත. රජයේ ඒජන්තවරයාගේ ලේඛන අනුව පැහැදිලි වන්නේ 1858 දී ලංකාවේ ප්‍රසිද්ධ වැඩ දෙපාර්තමේන්තුව විසින් මේ පාලම ඉදිකර ඇති බවයි. ඒ අනුව 1768 වර්ෂය පාලමේ සටහන්ව ඇත්තේ කෙසේදැයි ඇතැම් පිරිස් ප්‍රශ්න කරති.

 

ඉංග්‍රීසි ජාතිකයෝ යමක් ඉදිකිරීමේදී ඊට පෙර එම ස්ථානයේ සවිකර තිබූ වර්ෂ සටහන් ඵලක ඉවත් නොකරති. මේ අනුව සිතිය හැක්කේ 1768 වර්ෂයේ දී ගාල්ල සමනල පාලම අසළින් ගලා බස්නා ස්වභාවික ඇළ මාර්ගයට ඉහළින් වර්තමාන දුම්රිය ස්ථානය අසළ  ඕලන්ද ජාතිකයන් විසින් පාලමක් ඉදිකර තිබෙන්නට ඇති බවයි. ගාල්ල කොටුවේ පිහිටි ඕලන්ද නගරයට ප්‍රවේශවන මේ ස්ථානයේ ඕලන්ද ජාතිකයන් ඉදිකළ පාලම වෙනුවට 1858 දී වඩාත් විශාල ලෙස ඉංග්‍රීසි ජාතිකයන් විසින් මෙම පාලම බඳවන්නට ඇති බවයි. එහි ඇති ආරුක්කු හා ඒ දෙපස කර ඇති කළුගල් නිර්මාණ බ්‍රිතාන්‍ය වාස්තු විද්‍යාත්මක ලක්ෂණ පෙන්වන්නේ එබැවින් යැයි නිලධාරීහු පැවසූහ.

 

මේ පිළිබඳ පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය පී. බී. මණ්ඩාවල මහතාගෙන් විමසූ විට ඒ මහතා මෙසේ කීවේය.

"මේ පාලම ඉදිකරන්න ගත්තේ මාර්ග සංවර්ධන අධිකාරියෙන්. පාලමේ ඉදිකිරීම් පටන්ගැනීමට පෙර පුරාවිද්‍යා තක්සේරුවක් සිදුකර නැහැ. නමුත් ඉදිකිරීම් ආරම්භයේදීම ඕලන්ද යුගයේ සවිකළ වර්ෂ සටහන් කළ ගල් පුවරුවක් හමුවී තිබෙනවා. ඒ අනුව මෙය ඕලන්ද යුගයේ නිර්මාණයක්ද කියලා අපට සැකයක් මතුවුණා. මේ නිසා අපි පුරාවිද්‍යා ආඥා පනත අනුව ඉදිකිරීම් තාවකාලිකව නතර කළා. පුරාවිද්‍යා නිලධාරීන් කිහිපදෙනකු එම ස්ථානයට ගිහින් මූලික ගවේෂණයක් ද සිදුකළා. මේ පාලම ඉදිකළේ 1768 දී  කියා තහවුරු වුණොත් එය පුරාවිද්‍යා ස්මාරකයක් වෙනවා. මේ ගැන අවසන් තීරණය ගැනීමේ බලය තිබෙන්නේ විෂය භාර අමාත්‍යවරයාට. ඒ නිසා අමාත්‍යවරයා පුද්ගලිකව ම මේ ස්ථානයට ගොස් නිරීක්ෂණය කරලා විශේෂඥයන්ගේ ද අදහස් අනුව අවසන් තීරණය දෙන තුරු පාලමේ ඉදිකිරීම් කටයුතු තාවකාලිකව නවතා දමා තිබෙනවා. මෙයට පෙර පාලමේ අනෙක් පැත්තේ ඉදිකිරීම් කරද්දී මෙවැනි ගැටලුවක් මතුවුණේ නැහැ. "

 

පාලමේ වැඩ අතරමග නවතා තිබීමෙන් අපහසුතාවයට පත්වන ජනතාව නොයෙක් මැසිවිලි නගමින් පවසන්නේ මේ අවහිරතාව හේතුවෙන් මාර්ග අනතුරු සිදුවීමට ද ඉඩ ඇති බවයි. එසේම පුරාවිද්‍යාත්මක දත්ත හා ලේඛන පරීක්ෂා කර කඩිනමින් මේ පිළිබඳ තීන්දුවක් ගැනීමට හැකියාව තිබියදී සංවර්ධන කටයුත්තක් අතරමග නවතා දමා කල් මැරීම ජාතික ධනය විනාශ කිරීමක් බවයි.