( ඔගස්ටින් ප්‍රනාන්දු)    
කොස්වත්ත පොලිස් වසම තුළ පසුගිය දිනවල ඇතිවු ගැටුම්කාරී සිද්ධීන් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි සැකකරුවන්  31 දා  අද  ( 29 ) මාරාවිල දිසා විනිසුරු හා  මහේස්ත්‍රාත්  මහේස්ත්‍රාත් සිරිමෙවන් මහේන්‍ද්‍රරාජ මහතා ඇප මත මුදා හරිමින් වැඩිදුර නඩු විභාගය අගෝස්තු 28 වන දිනට කල් දැමීය.

 
සැකකරුවන් පසුගිය දා ඇදිරි නිතිය පනවා තිබියදී කොස්වත්ත පොලිස් වසමේ මැද කෙට්ටරාමුල්ල ප්‍රදේශයේ හටගත් ගැටුම්වලට සම්බන්ධ බවට ලද තොරතුරු මත  අත්අඩංගුවට ගෙන තිබුණි.
 
සියලු සැකකරුවන් අධිකරණය හමුවට ඉදිරිපත් කර තිබු අතර ඔවුන් රුපියල් පනස්දහස බැගින් ශරීර ඇප මත මුදා හැරීමට විනිසුරුවරයා නියම කර තිබුණි.

මෙම ගැටුම්කාරී සිද්ධින්වලදි එක් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්වූ අතර තවත් අයෙකු තුවාල ලබා තිබුණි.

නිවාස හයකට ද හානි සිදුව තිබු බවත් පොලිසියට පැමිණිලි ලැබී තිබුණි.
 
සැකකරුවන් අතර සිසුන් කිහිප දෙනෙකු ද සිටින බවත් පොලිසිය කියයි.