(රවින්ද්‍ර විරාජ් අබයසිරි )
 
මාතලේ අඹගහමුල බස් නැවතුම්පළේ බස් රථ රියදුරුවරු සහ කොන්දොස්තරවරු බස් රථ ධාවනය නවත්වා අද(19) විරෝධතාවක් පැවැත්වූහ.
 
අඹගමුව බස්නැවතුම්පළ වෙත පැමිණෙන අතිරේක  බස් රථ ගාල් කිරීමට නොහැකිවන අන්දමින් කාණුවක් ඉදි කිරීමට මාතලේ මහ නගර සභාව සූදානම්වීමට විරෝධය දැක්වීම මෙහි අරමුණ විය.

පෙර දැනුම්දීමකින් තොරව  නගරාධිපතිවරයාගේ අභිමතය අනුව කාණුවක් කැපීම නිසා බස් රථ ගාල් කිරීමේ හැකියාවක් නොමැති  බව පැවසූ විරෝධතාකරුවෝ කාණුව කැපීමට ගෙන ආ නගර සභාවේ බැකෝ යන්ත්‍රයට පිටවීමට ඉඩ නොදෙමින් මඟ හරස්කරමින් උද්ඝෝෂණයේ නිරතවූහ.
 
පැය දෙකක පමණ කාලයක් මෙම විරෝධතාව පැවතිණි.
 
මාතලේ මූලස්ථාන පොලිසියේ මැදිහත්වී මෙම කාණු කැපීම තාවකාලිකව නතර කිරීමට කටයුතු කිරීමෙන් අනතුරුව ජනතාව විසිර ගියහ.