IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


‘ඇනුම් බැණුම්-විවේචන මඩ ප්‍රහාරවලට මුහුණ දුන්නේ තරුණ පරපුරේ අනාගතය වෙනුවෙන්’

 

2019 යොවුන් පුරය නිමිත්තෙන් නිකුත් කෙරුණු සමරු මුද්දරය තැපැල්පති රංජිත් ආරියරත්න මහතා විසින් අගමැතිවරයාට පිළිගැන් වූ අවස්ථාව. (ඡායාරූප:- ඉෂාන් සංජීව)

 

(අංජුල මහික වීරරත්න සහ කතරගම - රුක්මන් රත්නායක)
ඇනුම් බැනුම් විවේචන මඩ ප්‍රහාර මෙන්ම පරාජයන්ට මුහුණ දුන්නේ තරුණ පරපුරේ අනාගතය ආරක්ෂා කිරීම වෙනුවෙන් යැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා යොවුන් පුරය සමාප්ති උළෙලේදී සෙනසුරාදා (30) පැවසීය.


තාරුණ්‍ය මෙන්ම රටේ අනාගතය ශක්තිමත් කිරීමේ ගමන බාධක මැඩ ජයගන්නා බව කී අග්‍රාමාත්‍යවරයා මින් පසු කිසිදු රටකට ශ්‍රී ලංකාව පසුකර යන්නට ඉඩ නොදෙනවා මෙන්ම ලංකාව කිසිදු රටක් පිටුපස යන්නට සූදානම් නැති බවට තීරණයකට එළඹිය යුතු බව ද අවධාරණය කළේය.


වීරවිල පශු සම්පත් සංවර්ධන භූමියේදී දින පහක් පුරා දසවන යොවුන් පුරය පැවැත්විණි. උතුරු නැගෙනහිර ඇතුළු දිවයිනේ සියලු දිස්ත්‍රික්ක නියෝජනය කරමින් තරුණ තරුණියන් 8000ක් පමණ ද විදේශීය තරුණ සංවිධාන නියෝජිතයෝ ද යොවුන් පුරයට සහභාගි වූහ.


ජාතික තරුණ සේවා සභාව සංවිධානය කළ යොවුන් පුරයේ සමාප්ති උළෙලේදී වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙසේද කීය.


තරුණ සේවා සභාවේ 50 වැනි වසර වෙනුවෙන් නිකුත් කළ නව මුද්දරයක් මුද්දර කවරයක් මට බාරදුන්නේ පළමු යොවුන් පුරයට සහභාගි වූ ගම්පහ යොවුන් සමිතියේ රංජිත් ආරියරත්න මහතායි. ඔහු දැන් තැපැල්පති ලෙස කටයුතු කරනවා.


දස වන යොවුන් පුරය අප වීරවිල පවත්වනවා. මෙම යොවුන් පුරයට තරුණ අදහස් තරුණ බලාපොරොත්තු තරුණ සිහින තරුණ ප්‍රශ්න සියල්ලම ගොනුවී තිබෙනවා. ඒ ගැන කතා කර තිබෙනවා. අනාගතය ගැන සිතන විට මෙම ප්‍රශ්න මතු වීම ගැටලුවක් නොවේ.


යොවුන් පුරය ඔබේ අනාගතය නිර්මාණය වන හම්බන්තොට පවත්වන්නට අප තීරණය කළා. ඔබට ජීවත් වීම සඳහා හොඳ අනාගතයක් අවශ්‍යයි.


අපගේ මව්පියන් තරුණ කාලේ මෙරටට නිදහස ලැබුණු යුගයේ ජපානය අප සමග එකට සිටියා. අප තරුණ කාලයේ එනම් ජේ.ආර්. ජයවර්ධන ජනාධිපති වූ සමයේ අපට ඉදිරියෙන් කොරියාව සිංගප්පූරුව සහ මැලේසියාව සිටියා. අප සිටි තැනින් ටිකක් පසුපසට ගොස් තිබුණා. ඉදිරියට යා යුතුයැයි අප එදා තීරණය කළා. ඒ අනුව ආර්ථිකය විවෘත කළා. යුද්ධවලට මුහුණ දුන්නා.


2001 වසරේ මා අගමැති වන විට බංගලාදේශය වියට්නාමය ඉන්දුනීසියාව අපට පිටුපසින් සිටියා. මෙවර මා අගමැති වන විට මෙම රටවල් සියල්ලම අප පසුකර ඉදිරියට ගොස් තිබෙනවා. එම රටවල්වල ධනය වැඩිවී තිබෙනවා. එරට ජනතාවට අනාගතය ගැන මීට වඩා විශ්වාසයක් තිබෙනවා. ජනතාව මීට වඩා සුරක්ෂිතභාවයක් තිබෙනවා.


එම නිසා 2015 වසරේ ආණ්ඩුව පිහිටුවා අප කීර්තියක් ගත්තා. මේ ලංකාවට තිබෙන අන්තිම අවස්ථාවයි. අප එකතුවී හෝ මේ වැඩ කටයුත්ත කළ යුතු බව අපගේ තීරණය වුණා. මේ අවස්ථාවේ රට ගොඩනගන්නේ නැතිනම් අප තවත් පසුපසට යනවා. ඒ ගැන සිතා රටේ විශාල පරිවර්තනයක් කිරීමට මේ වැඩසටහන් පටන් ගත්තා. අද මෙහි ඇති හම්බන්තොට වරාය 2017 වසරේදී අපගේ වරාය අධිකාරිය සහ චයිනා මර්න්ට් සමාගම යටතේ පවත්වාගෙන යන්නට කටයුතු කළා. එදා තිබුණේ ලංකාවට ගෙනෙන වාහන ඉදහිට මෙහි ගෙන ඒම පමණයි. අද මේ වරායට ගිය විට වාහන 500-600 ක් පමණ මා දුටුවා. එම වාහන චෙන්නායි සිට මෙහි ගෙනැවිත් ගොඩබෑවේ මැද පෙරදිග දකුණු ඇමරිකාවේ නැව් මෙහි පැමිණ මෙතැන් සිට ගෙන යනවා. මේ කාර්යය එතැනින් නතර වෙන්නේ නැහැ. ඒ අය කලාපීය වෙළෙඳ මධ්‍යස්ථානයක් ඇති කරනවා. එක එක වර්ගයේ වාහන මෙහි ගේනවා. දකුණු ආසියාවේ මියන්මාරය මැලේසියාවේ ඕනෑම කෙනකුට මෙහි පැමිණ තමා කැමැති වාහනය තෝරාගෙන යා හැකියි.

අවසන් උළෙලට සහභාගි වූ තරුණ තරුණියන්ගෙන් කොටසක්


ලාෆ්ස් ගෑස් සමාගමේ එල්.පී.ජී. ගබඩාව බලන්නත් මා ගියා. එය ඉන්දියන් සාගර කලාපයේ තිබෙන නවීනතම එල්.පී.ජී. ගබඩාවයි. ඉන්දියාවේවත් එවැනි ගබඩාවක් නැහැ. අප හම්බන්තොට තෙල් පිරිපහසුවේ වැඩ කටයුතු ආරම්භ කළා. මෙහි තිබුණේ 1967 වසරේ ඇරැඹූ තෙල් පිරිපහදුව පමණයි. ඉන් අවුරුදු 60ක් ගිය තැන මෙම තෙල් පිරිපහදුව ඉදිකරන්නේ අපනයනය සඳහායි. එමෙන්ම කලාපයේ විශාලතම සිමෙන්ති කර්මාන්ත ශාලාව ද අප හම්බන්තොට ආරම්භ කරනවා. එල්.එන්.ජී. විදුලි බලාගාරයක් මෙහි ස්ථාපිත කිරීමටත් එකඟ වී තිබෙනවා.


ලංකා ගුවන් සේවා අධිකාරියෙන් ඉන්දියාවත් එකතු වී වත්තල ගුවන් තොටුපොළ ක්‍රියාත්මක කරනවා. ඒ අනුව මෙහි විශාල පරිවර්තනයක් සිදුවීමට නියමිතයි.


දකුණු ආසියාවේ විශාලතම වෙළෙඳ කලාපය අප මේ ප්‍රදේශයේ ආරම්භ කරනවා. එහි ප්‍රමාණය අක්කර 5000යි. මොනරාගලත් අක්කර 5000 ක වෙළෙඳ කලාපයක් ඉදි කිරීමට යෝජනා වී තිබෙනවා.


අප බිංගිරියේ වෙළෙඳ කලාපයේ වැඩ කටයුතු ආරම්භ කළා. දැනටමත් එහි පළමු අදියර අවසන් වී තිබෙනවා. ස්මාර්ට් ෂර්ට් සමාගම ඩොලර් මිලියන 100 ක කර්මාන්ත ශාලාවක් එහි ස්ථාපිත කරනවා.


මහනුවර සිට කොළඹට නව මාර්ගයක් ඉදි කරනවා. එහි අවසානය හම්බන්තොටයි. කොළඹ සිට වරාය භූමියට නව මාර්ගයක් ඉදිකරනවා. කැලණි පාලම අසල සිට රාජගිරිය දක්වා කුලුනු මතින් දිවෙන මහා මාර්ගයක් ඉදි කෙරෙනවා. කොළඹ සැහැල්ලු දුම්රිය සේවයක් ආරම්භ කරනවා. 2021 පමණ වන විට නව මාර්ග පද්ධතියක් තිබෙනවා.


රටේ ආර්ථික පරිවර්තනය සෑම තැනකම සිදුවෙමින් තිබෙනවා. සංචාරක ව්‍යාපාරයේ ධනාත්මක අංශය දියුණු කරගෙන සංචාරක කලාප ආරම්භ කරනවා. තම නිවසේ පවා කාමර කුලියට දෙන ව්‍යාපාර ඇරැඹීමට අවස්ථාව තිබෙනවා. ඩිජිටල්කරණය ඉදිරියට ගෙන යෑමට කටයුතු කරනවා. පරිගණක තාක්ෂණය දෙගුණයක් තුන්ගුණයක් බවට පත් කිරීම සඳහා පුහුණු කිරීම් කරනවා. ධීවර අපනයන ප්‍රමාණය වර්ධනය වෙනවා.


මේ වේගය අප තව වසර පහක් හයක් ගෙනයනවා නම් මේ රටට ඉදිරියට ගොස් අනෙක් රටවල්වලටත් වඩා වේගයෙන් අනාගතයක් උදාකර ගැනීමට හැකියාව තිබෙනවා.


හම්බන්තොට පමණක් නොව කොළඹ වරාය විශාල කිරීම සඳහාත් කොළඹ දකුණ වරායට නව පර්යන්ත ඉදි කිරීම සඳහාත් කටයුතු  කරනවා. ඉන්පසුව උතුරු වරායක් ද ඉදිකිරීමට නියමිතයි. කන්කසන්තුරේ වරාය මෙන්ම පළාලි ගුවන් තොටුපොළත් දියුණු කරනවා.


මේ ඔබේ අනාගතයයි. අප මේ අනාගතය ආරක්ෂා කරගෙන ඉදිරියට ගියොත් ඔබේ බලාපොරොත්තු ඉටු වෙනවා. ආර්ථික වශයෙන් පමණක් නොව සමාජීය වශයෙන් ද ඉදිරියට යා යුතුයි. 


අද අධ්‍යාපන ක්‍රමය ගැන බලන්න. විශාල දියුණුවක් ඇති කර තිබෙනවා. වසර 13 ක අධ්‍යාපනය අනිවාර්ය කරනවා. වෘත්තිය අධ්‍යාපනය හඳුන්වා දෙනවා. මේ වසරේ පමණක් අධ්‍යාපන විද්‍යාපීඨවලින් පුහුණුව ලැබූ ගුරුවරුන් දස දහසක් පිටවෙනවා. තව වසර පහකින් නුපුහුණු ගුරුවරුන් අධ්‍යාපන ක්‍රමයේ නැහැ. පළාත් සභාවෙන් බඳවා ගැනීම් නතර කරනවා. පුහුණු විනයක් ඇති ගුරුවරුන් පත් කරනවා. විශ්වවිද්‍යාල නේවාසිකාගාර පිහිටුවා තිබෙනවා. අලුතින් වෛද්‍ය විද්‍යාපීඨ තුනක් පිහිටුවා තිබෙනවා. ඉංජිනේරු පීඨ දෙකක් පිහිටුවා තිබෙනවා. තාක්ෂණ විද්‍යාපීඨ පිහිටුවාගෙන යනවා.


අධ්‍යාපන විද්‍යාපීඨ දෙකක් හෝ තුනක් පිහිටුවන්නට සිදුවේවි. වෘත්තීය පුහුණුව නවීකරණය කරනවා. සෞඛ්‍ය සේවා රැසක් නවීකරණය කර තිබෙනවා. සමාජීය අංශය සංවර්ධනය කරනවා.
රටක් හැදෙන්න විනයක් අවශ්‍යයි. මත්කුඩු නැති කිරීමේ වැඩසටහන ආරම්භ කර තිබෙනවා. මෙහි තරුණයන් සමග කතා කරන විට ඔවුන් හමුදාවට පොලිසියට එකතු වන්නට කැමැත්තක් ඇති බව පැවැසුවා. එයත් අවශ්‍යයි. එක්සත් රාජධානිය පිහිටුවූයේ නීතියේ පරමාධිපත්‍ය ඇති කිරීමෙනුයි. ඊශ්‍රායලය, සිංගප්පූරුව වැනි රටවල් හැදුණේ හමුදා විනය නිසයි. ඒ විනය සෑම කෙනෙකුටම තිබුණා. මෙයින් අප ආදර්ශ ගත යුතුයි. සමස්ත ආර්ථිකය පැය 24 න් දියුණු කරන්න බැහැ. එහෙත් අප මේ ගමන තව වසර පහක් හයක් ගෙන යනවා නම් අපි ගොඩ එනවා. ඒ යුගයට එනවිට හම්බන්තොට හඳුනාගන්නත් නොහැකි වේවි.


2017 වසරේ වරාය ළඟ ගෙයක් මසකට රුපියල් 5000කට කුලියට ගත හැකියි. නමුත් අද රුපියල් 15000 ක් දුන්නත් එහි නිවසක් කුලියට ගන්න බැහැ. තව වසර දෙක තුනක් යන විට ඒ තත්ත්වය තවත් වැඩි වෙනවා.


ඔබේ බලාපොපොරොත්තු ඉටු කිරීම සඳහා අප ක්‍රියා කරනවා. අනාගත බලාපොරොත්තු ඉටු කිරීමට නම් ස්ථිර ආර්ථිකයක් තිබිය යුතුයි. අප ණය ගත්තා නම් ණය ගෙවන්නත් ශක්තිය තිබිය යුතුයි. ඒ තත්ත්වය ඇති කරන්න වසර හතරක් පමණ ගත වුණා. වැඩිපුරම ණය නැවත ගෙවන්නේ මේ වසරේදී. ඩොලර් මිලියන 5900 ක් ගෙවන්නට තිබෙනවා. ඉන්පසුව ණය බරෙන් කොටසකින් නිදහස් වෙනවා.


ඔවුන්ටත් ඒ මාර්ගයේ යන්න තිබුණා. ඇත්ත කියන්න තිබුණා. බැන්නත් පරාජයට මුහුණ දුන්නත් අපේ අරමුණින් අහක් වුණා නම් ඔබට අනාගතයක් නැති වෙනවා. ඒ අනාගතය පෙන්වන්න හැකි වුණේ ඉදිරියට ආවේ රටේ අනාගතය වෙනුවෙනුයි.


බැනුම් ඇසුවා. විවේචනය කළා. මඩ ගැසුවා. පරාජයටත් මුහුණ දුන්නා. ඔබට අනාගතයක් හදන්න නම් ඇත්ත කියා බය නැතිව හරි මාර්ගයේ යා යුතුයි. අපට දියුණුව ලබන්නට හැක්කේ එසේ කළොත් පමණයි.


අපට අවශ්‍ය ඔබේ අනාගතය ආරක්ෂා කරගෙන ඉදිරියට යාමයි. අනාගතය හදන්න නම් අපි සැවොම එකට එකතුවිය යුතුයි. අප සෑම එකට මේ ගමන යා යුතුයි. තරුණයින් සවිබල ගැන්විය යුතුයි.
තරුණයන් සවිබල ගැන්වීම සඳහා එන්ට්‍රප්‍රයිස් ශ්‍රී ලංකා වැඩසටහනේ කොටසක් තාරුණ්‍ය වෙනුවෙන් වෙන් කර තිබෙනවා. අප්‍රේල් පස් වැනිදා අය-වැය සම්මත කළ පසු ඔබට ඒ සහන ණය දෙන වැඩසටහන ආරම්භ කරනවා.


තරුණ සේවා සභාවෙන් යෞවන සමාජ තුළින් ඒ ණය ඉල්ලුම් කරන ආකාරය දැනුම් දෙන්නම්. එය ක්‍රියාත්මක කිරීමට මුදල් අමාත්‍යාංශය, එන්ට්‍රප්‍රයිස් ශ්‍රී ලංකා වැඩසටහන රජයේ බැංකු ස්වයං රැකියා ඒකකය එකතුවී ක්‍රියාත්මක කරන ඒ වැඩසටහන මැයි මාසයේ සිට භුක්ති විඳින්නට හැකියාව තිබෙනවා. ඔබ දක්ෂ නම් ඉදිරියට යාමට හැකි නම් දියුණු විය හැකියි.


තරුණ කඳවුරුවලට ගිය විට ඔබේ දක්ෂතාව මා දුටුවා. මේ සියලු වැඩසටහන් ඇත්තේ තරුණ පරපුර සවිබල ගන්වන්නයි. සජිත් ප්‍රේමදාස මහතා අද අලුත් යෝජනාවක් ඉදිරිපත් කළා. ඒ තරුණයන්ට ඉඩම් අයිතිය ලබා දීමයි. ඒ වැඩසටහනත් අනුමත කර අප ඉදිරියට ගෙන යනවා. තරුණයන් සඳහාත් තමාගේම ගොවි ජනපද ඇති කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමේ යෝජනාද ඉදිරිපත්වී තිබෙනවා.


අප මේ ගමන ඉදිරියට ගෙන යමු. වෙනත් රටකට නැවත අප පසුකර ඉදිරියට යන්නට ඉඩ දෙන්නේ නැතැයි අප තීරණය කළෙමු. එමෙන්ම වෙනත් රටක් පිටුපස්සේ යන්නටත් අප ලෑස්ති නැහැ. අප එය තීරණය කරමු. අපට හොඳ අනාගතයක් අවශ්‍යයි. තරුණයන්ට සුරක්ෂිත අනාගතයක් අවශ්‍යයි. හොඳ ජීවිතයක් ලබාදීමේ තරගයෙන් ඉදිරියට එන බවට අප ප්‍රාර්ථනා කරමු. ඒ වැඩසටහන ඉදිරියට ගෙන යාම තාරුණ්‍යයට බාරයි යැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවැසීය.


නිවාස ඉදිකිරීම් සහ සංස්කෘතික අමාත්‍ය එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා:
 ලංකාවේ දිස්ත්‍රික්ක 25 ම නියෝජනය කරමින් තරුණ තරුණියන් 8000 ක් මෙහි පැමිණ තිබෙනවා. ඔබ වැඩිහිටි වන විට මේ ලැබූ අත්දැකීම් ඉමහත් අගයක් එකතු වන බව අපගේ හැඟීමයි.
අගමැතිතුමන් යොවුන් පරපුරට දිය යුතු ශක්තිය අනුග්‍රහය ගැන විශාල අවධානයකින් කටයුතු කළ ජන නායකයෙක්. බොහෝ අය යෞවන ගැටලු මගහරින පසුබිම යටතේ යෞවනයන් සවිබල ගැන්වීමට එතුමා තාරුණ්‍යයට මුල්තැනක් දුන්නා. අද ක්‍රියාත්මක වන්නේ දසවන යොවුන් පුරයයි. අද වන විට යොවුන් පුරය අති සාර්ථක වැඩසටහනක් බවට පත්වී තිබෙනවා.


යොවුන් පුරයත් සමග අංග සම්පූර්ණ ක්‍රීඩා සංකීර්ණයක් මෙම ප්‍රදේශයට ලැබෙනවා. ලක්ෂ 3500 ක් වැය කර එම ක්‍රීඩා සංකීර්ණය ඉදි කරනවා. යොවුන් පුරය නාස්තියක් යැයි කිසිම පුද්ගලයකුට කියන්නට බැහැ.


එමෙන්ම මේ භූමියේ නවීන පන්නයේ යොවුන් නිකේතනයක් ඉදි කෙරෙනවා. රුපියල් ලක්ෂ 7500 ක් ඒ සඳහා වැය කෙරෙනවා. මේ වන විටත් ලක්ෂ 500 ක මුදලක් ඒ සඳහා වෙන් කර තිබෙනවා.


අවිවාහක තරුණයන් සඳහා ඉඩම් බෙදා දීමට කැබිනට් පත්‍රිකාවක් සඳහා යෝජනාවක් මා විසින් ඉදිරිපත් කළා. ඒ කැබිනට් පත්‍රිකාවට අනුමැතියක් ලැබී තිබෙනවා. එමෙන්ම තරුණ ගොවි සමුපකාර ගම්මාන වැඩසටහන මේ භූමිය කේන්ද්‍ර කර ගනිමු යැයි මා යෝජනා කරනවා.


තරුණ සම්පත අපේ වහලුන් කොටසක් බවට පත් කර ගැනීම අගමැතිතුමන්ගේ දර්ශනය නොවේ. තරුණ පරපුරට විවිධ පුද්ගලයන් පසුපස යන්නට සිදු වූ යුගයක් තිබුණා. අප වහල්භාවයෙන් තරුණ පරපුර මුදාගෙන නිදහසේ සිතන්නට තීන්දු තීරණ ගන්නට හැකි පසුබිමක් නිර්මාණය කළා.


යොවුන් පුරය තොරතුරු තාක්ෂණයේ රැකියා භූමියක් බවට පත් කළ යුතු බවට  ද මා මෙහිදී යෝජනාවක් ඉදිරිපත් කරන්නට කැමතියි.

 


වරාය නාවික කටයුතු සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතා:
 දින කිහිපයක් මමත් ඔබ සමග යොවුන් පුරයේ රැඳී සිටියා. දිනෙන් දින මේ තරුණ තරුණියන්ගේ උද්යෝගය වැඩිවෙනවා. සතර දිගින් පැමිණි ඔබ එක මවකගෙ දරුවන් ලෙස රැඳී සිටියා. ඔබ සංවර්ධන කටයුතු නිරීක්ෂණය කළා.


2018 හම්බන්තොට වරායට නැව් 287 ක් පැමිණියා. ඊට පෙර යුගයේ හම්බන්තොට වරායට මාසයකට ආවේ නැව් 2 ක් පමණයි. මහින්ද සමරසිංහ මහතා පාර්ලිමේන්තුවේ ඒ බව පිළිගත්තා. මේ වෙනස කුමක්ද?. අප ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කළා. නීතියේ ආධිපත්‍ය තහවුරු කළා. ස්වාධීන කොමිෂන් සභා ස්ථාපිත කළා.


සංහිඳියාව රට තුළ වපුරන්න කටයුතු කළා. අප පක්ෂ පාට නැති ආගම් ලෙස බේද බින්න කළේ නැහැ. හැමවිටම එකතු වෙන්න උත්සාහ කළා. ඒ නිසා රට ගැන ජාත්‍යන්තරයේ විශ්වාස ගොඩ නැගී තිබෙනවා. ජාත්‍යන්තරය අප සමග ගනු දෙනු කරන්නට පටන්ගෙන තිබෙනවා.


එකල හම්බන්තොට වරාය හැදුවත් නැව් ගෙනෙන්න වැඩපිළිවෙළක් සකස් කළේ නැහැ. හම්බන්තොට අක්කර 5000 ක කර්මාන්ත පුරයක් සමග වරාය තවදුරටත් දියුණු වීමට නියමිතයි.
නාවික ක්ෂේත්‍රයේ රැකියා රාශියක් ඉදිරියේදී බිහි වීමට නියමිතයි. තාරුණ්‍යය ශක්තිමත් කරන දර්ශනය ඇත්තේ රනිල් වික්‍රමසිංහ අගමැතිතුමන්ට පමණයි.

 


ජාතික තරුණ සේවා සභාවේ අධ්‍යක්ෂ ජනරාල් එරන්ද වැලිඅංග මහතා:
 ජීවිතය කියන්නේ කාලයට හා අත්දැකීම්වලටයි. ඔබ දින පහක් පුරා අත්දැකීම් ලැබුවා. ඒ අත්දැකීම්වලින් ශක්තිමත් වුණේ තාරුණ්‍යයේ ජීවිතයයි.


සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ගර් තරුණ තරුණියන් 8000ක් මෙහි ඉන්නවා. ඔවුන් එක හැළියේ උයාගන කනවා. ඔබ සහෝදරත්වය වෙනුවෙන් කැපවීම් කළා.


මේ යොවුන් පුරයේ හදවත් 8000ම සංහිඳියාවේ සලකුණක් බව කිව යුතුයි. ඔබ විශ්වාසයේ පරමාදර්ශයේ සංකේතයයි. අගමැතිතුමන් මියැදෙන තාරුණ්‍යයට ප්‍රාණවායුව ලබා දුන්නා.


තාරුණ්‍යයට හෙටක් හදන්න නම් දේශපාලන පක්ෂ පාට බේද අවසන් කළ යුතුයි. අගමැතිතුමන් මූලික වී පොදු ප්‍රතිපත්තියක් හදන්න ඒ වෙනුවෙන් කොන්දේසි විරහිතව තාරුණ්‍ය සිටිනවා.


මෙහි ඉන්නේ මුහුණු පොතේ වීරයන් නොවේ. මහ පොලොවේ අදහස් තුළ කළ හැකි වීරයන් බව කිව යුතුයි.


මේ මා සංවිධාන කරන අවසන් යොවුන් පුරයයි. ඉදිරි යොවුන් පුරවලදී ඔබේ සභාපති ලෙස ඉන්නට මට නොහැකි වේවි.

 


යොවුන් පුර පුරපති සසංක බදුගේ:
 1984 වසරේ මුලින්ම යොවුන් පුරය ඇරැඹුණා. ඒ රනිල් වික්‍රමසිංහ මහතාගේ සංකල්පයකට අනුවයි. 1989 වසරින් නතර වූ යොවුන් පුරය නැවත වසර හතරකට පෙර සීගිරියෙන් ආරම්භ කෙරුණා.


මීට පෙර අපේ තරුණයන්ට මෙවැනි අත්දැකීමක් ලබන්නට හැකි වුණේ නැහැ. සජිත් ප්‍රේමදාස මහතාගේ ඉල්ලීමක් පරිදි දස වන යොවුන් පුරය හම්බන්තොට දිස්ත්‍රික්කයේ පැවැත්වෙනවා.
යොවුන් පුරය මානව ආයෝජනයක් බව කිව යුතුයි.


මෙම උත්සවයට ප්‍රදේශයේ දේශපාලන නියෝජිතයෝ ද ආරක්ෂක අංශ ප්‍රධානීහු ඇතුළු විශාල පිරිසක් සහභාගි වූහ.



අදහස් (3)

‘ඇනුම් බැණුම්-විවේචන මඩ ප්‍රහාරවලට මුහුණ දුන්නේ තරුණ පරපුරේ අනාගතය වෙනුවෙන්’

Bandara Thursday, 04 April 2019 08:00 AM

තරුණ පරපුරේ අනාගතය වෙනුවෙන් ඔබතුම කරපු දේවල් අපිට හොඳට මතකයි.

:       0       50

suresh Thursday, 04 April 2019 02:21 PM

නැතුව නැතුව කියන්න බලන්න මොකක්ද ඔබතුමා ළඟ තිබෙන හෝ ඔබතුමාගේ ගෝලයෝ ළඟ තිබෙන ක්‍රමවේද හෝ සැලැස්ම තරුණ පරපුර වෙනුවෙන්? තරුණයෝ තරුණියෝ රට හැර යන්නේ ඔබතුමන්ලට මේ තරුණ පරපුරට දෙන්න විසඳුමක් නැති නිසයි කියලා තේරුම් ගන්න තව කොපමණ කල් යයිද ?

:       0       21

kalani withanage Friday, 12 April 2019 12:00 PM

ඇසුවෙමු. අසමු. අසන්නෙමු. තරුණ අරගල දෙකක් ණය කඳු, කුණු කඳු දකිමු.

:       0       22

ඔබේ අදහස් එවන්න

දේශපාලන

තරුණයින් පතන ලංකාව ඉක්මනින් හදනවා
2024 අප්‍රේල් මස 19 57 0

මෙරට තරුණ තරුණියන් අපේක්ෂා කරන ශ්‍රී ලංකාව නිර්මාණය කළ හැකි බවට දැඩි විශ්වාසයක් තමා තුළ පවතින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.


විවාදය අභියෝගය මුලින්ම කළේ අනුර කුමාර
2024 අප්‍රේල් මස 10 1159 10

සමඟි ජන බලවේගයේ නායක සහ විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට විවාදයකට සහභාගි වන ලෙස පළමුවෙන්ම අභියෝග කළේ ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා


පොහොට්ටුව හම්බන්තොටින් වැඩ අරඹයි
2024 මාර්තු මස 31 896 6

අරගලයත් එක්ක අලුත් ජනාධිපතිවරයකු, අලුත් ආණ්ඩුවක් හැදුනා. ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ හැටියට මේ රටේ ස්ථාවරත්වයක් ඇති කිරීමට අපි එයට සහයෝගය ලබා දුන්නා . එහ


‘‘රට හදන්න දේශපාලන වෙනසක් අවශ්‍යයි‘‘
2024 මාර්තු මස 31 2299 4

අපේ රට අතිශයින්ම තීරණාත්මක තැනකට ඇවිත් තිබෙනවා. අපේ අත්දැකීම් තුළින්, අපේ ගෙවල්වල, වැඩකරන තැන්වල, සමාජය තුළ අපි කරන අරගලවලින් මේ සමාජය කොච්චර කඩා වැටිල


කිසිම දවසක දේශපාලනඥයන්ට හොරු අල්ලන බෑ. ඒක මිත්‍යාවක්-සජබ පා.ම හර්ෂ ද සි්ල්වා
2024 මාර්තු මස 17 2150 15

ඉදිරියේදී පැවැත්වීමට නියමිත මැතිවරණ ඉලක්ක කරගෙන දේශපාලන පක්ෂ මේ දිනවල තමන් ජයග්‍රහණය කළහොත් රට සහ ආර්ථිකය ගොඩගන්නා ආකාරය පැහැදිලි කරමින් සිටියි. සමග


වන්නි හත්පත්තුවේ ගොවි සමුළුවට මහා ජනකායක් පොල්පිතිගමට
2024 පෙබරවාරි මස 11 3680 9

මෙරට ගොවි ජනතාව විපතට පත්වී ඇති මොහොතක සමගි ජන බලවේගය සතුව ගොවි ජනතාව නගා සිටුවීමට සුවිශේෂී වැඩපිළිවෙළක් තිබෙනවා. එම වැඩපිළිවෙළ හරහා වචනයේ පරිසමාප්ත


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 214 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1526 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1421 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site