IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


යහපාලන රජයේ වසර දෙකක ප‍්‍රගතියෙන් ජී.එස්.පී. ප්ලස් සහනය යළි ගත්තා

(අංජුල මහික වීරරත්න)

‘‘යහ පාලන ජාතික රජයේ වසර දෙකක ප‍්‍රගතිය තුළින් යළි ජී.එස්.පී. ප්ලස් සහනය හරහා ශ්‍රී ලංකාව අපනයන ආර්ථිකය සහිත රට බවට පත්කිරීමේ ගමන වහාම ආරම්භ කරන බව’’ අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂ මැයි රැලිය අමතා කොළඹ දී ප‍්‍රකාශ කළේය.

‘‘ආයෝජන රට තුළට ගෙන්වා රාජපක්ෂ ණය සියල්ලක්ම ජනතාවට කිසිදු බරක් නොදී ගෙවා දමන බව පැවසූ අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා, රජයේ ඉදිරි ගමන නතර කරන්න හදන  ඕනෑම බලවේගයක් හමුවේ නිකං බලා සිටින්න එක්සත් ජාතික පෙරමුණ සූදානම් නැතැයිද’’ කීවේය.

‘‘අපටත් හොඳට සටන් පුරුදු බව රජයේ ගමනට බාධා කරන කල්ලි මතක තබාගත යුතු බවද අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා වැඩිදුරටත් ප‍්‍රකාශ කළේය.

‘‘ජී.එස්.පී. ප්ලස් සහනය ලැබී රට පුරා කර්මාන්තශාලා ආරම්භ වෙද්දි එහි ප‍්‍රතිලාභ අනිවාර්යයෙන්ම ගමේ තරුණ තරුණියන්ට හිමිවන්නේ යැයිද’’ අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා පෙන්වා දුන්නේය.

අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා මේ අදහස් පළ කළේ බොරැල්ල කැම්බල් පිටියේ පැවැති එක්සත් ජාතික පක්ෂ ජාතික මැයි රැලිය අමතමිනි.

ලක්ෂ සංඛ්‍යාත ජනතාවකගේ සහභාගිත්වයෙන් පැවැති ජාතික මැයි රැලිය අමතා අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා මෙසේද කීය.

‘‘එක්සත් ජාතික පෙරමුණේ මැයි රැලිය සඳහා පසුගිය වසරටත් වඩා අති විශාල ජන ගඟක් සහභාගි වී සිටිනවා. ඒ වගේම පක්ෂ විශාල ප‍්‍රමාණයක් අප සමග මේ මැයි දිනයේදී අත්වැල් බැඳගෙන සිටිනවා.

මෙහි පැමිණි විට සංදර්ශන රථ කිහිපයක්ම මා දුටුවා. මරදානේදී සවස 3 ට පමණ දුටු ඒ සංදර්ශන රථවලට මේ පිටියට ළඟාවීමට පැය දෙක හමාරක පමණ කාලයක් ගතවී තිබෙනවා. අපගේ රැලියට එක්රොක් වූ ජනකායේ ප‍්‍රමාණය එයින්ම අවබෝධ කරගත හැකියි. පක්ෂ ගණනාවක නායකයන් අප සමග එක්වුණා.

මේ සෙනඟ දුටු විට අප  ඕනෑම මැතිවරණයකට, අභියෝගයකට  ඕනෑම මොහොතක සූදානම් බව කිව යුතුයි. රාජපක්ෂ පාලනය පරදා වරම ගැනීමට 2015 වසරේදී අප තීරණය කළා. ඒ සඳහා අප සමග පක්ෂ ගණනාවක් අත්වැල් බැඳගත්තා.

පොදු අපේක්ෂක ලෙස ඉදිරිපත්වූ මෛත‍්‍රීපාල සිරිසේන මහතා ජයග‍්‍රහණය කරවීම සඳහා අප අත්වැල් බැඳගත්තා. ඒ අනුව අප විශාල ජයග‍්‍රහණයක් ලබාගත්තා. අනතුරුව ජනතාවගේ අනාගතය සුරක්ෂිත කරලීම සඳහා ජාතික ආණ්ඩුව පිහිටුවූවා. ඒ ජාතික ආණ්ඩුවට වසර දෙකක් ගතවී තිබෙනවා.

2016 වසරේ මැයි රැලියේදී දේශපාලන පළිගැනීම්වලට සහනදීම, රැකියා ආදියට වසරක කාලයක් දෙන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටියා. මුලින්ම ආර්ථික ස්ථාවරත්වය ඇති කිරීමේ අවශ්‍යතාව තිබුණා. රාජපක්ෂ එදා ඡුන්දය පැවැත්වූයේ ඔහුට ආර්ථිකය ගොඩ නැගීමට නොහැකි වූ නිසයි. ඡුන්දය පවත්වා ඉන් ජයග‍්‍රහණය කර මෙරට තවත් මර්දනයක් ඇති කිරීම රාජපක්ෂ රෙජීමයේ අරමුණ වුණා.

කඩා වැටුණු ආර්ථිකය වසරක් ඇතුළත ස්ථාවර කිරීමට අපට හැකිවුණා. ඒ වැඩ කටයුත්ත කරන්න නොහැකි වේවි යයි රාජපක්ෂ කල්පනා කළා. එවිට නැවත බලයට පැමිණීම ඔවුන්ගේ සිහිනය වුණා. රාජපක්ෂ බලාපොරොත්තු වන වෙසක් පොහොය ශත වර්ෂ දෙකක් ගත වුණත් උදා නොවන බව දැන් හොඳින්ම පෙනෙන්න තිබෙනවා.

වසර ගණනාවක් විපක්ෂයේ සිට බලයට පැමිණි පසුව අපේ පාක්ෂිකයන් ක්ෂණික විසඳුම් බලාපොරොත්තු වුණා. ආර්ථික ස්ථාවරත්වය ඇති කළේ නැති නම් ඊළඟ වසර හතරේදී ඔවුන්ගේ ප‍්‍රශ්න විසඳීමට හැකියාව ලැබෙන්නේ නැහැ.

මේ වසරේදී මා ජනතාවගෙන් තවත් ඉල්ලීමක් කරනවා. දැන් සංවර්ධනය ආරම්භ කරලා. ඊට ඔබේ සහයෝගය දෙන්න. අප මුදල් උපයා ණය ගෙවිය යුතුයි. රැකියා උත්පාදනය කළ යුතුයි. ජනතාවගේ ආදායම් වැඩි කළ යුතුයි. ජනතාවගෙන් අප වරමක් ඉල්ලා සිටියේ ඒ සඳහායි.

මට පෙර කතා කළ පක්ෂ නායකවරුන් රටේ දේශපාලන තත්ත්වය පිළිබඳව හොඳින් පැහැදිලි කළා. මහින්ද රාජපක්ෂට රට සංවර්ධනය කිරීම සඳහා යුද්ධයෙන් පසුව වසර 5 ක කාලයක් තිබුණා. යුද්ධය වෙනුවෙන් දුක් විඳි තරුණ තරුණියන්ට අනාගතය දිය යුතුව තිබුණා. නමුත් එය කළේ නැහැ. ඒ වෙනුවට ආර්ථිකය විනාශ කළා. රටේ නිදහස අහිමි කළා. අප රට බාර ගත්තේ ඒ වැඩ කටයුත්ත සඳහායි.

රට දියුණු වූ විට අපනයන ආදායම වර්ධනය කරගත හැකියි. 1977 වසරේදී ජේ.ආර්. ජයවර්ධන මහතා විවෘත ආර්ථිකය හඳුන්වා දුන්නේ ජනතාව අතට මුදල් දීමටයි. අපනයන ආදායම වැඩි කිරීමටයි. ජනතාව ශක්තිමත් කිරීම සඳහායි. නමුත් යුද්ධය නිසා අපට පසු බැසීමට සිදුවුණා.

යුද්ධයෙන් පසුව ඉදිරියට යන ගමනේදී අප අපනයන වෙළෙඳපොළ සොයා ගත යුතුයි. 2003 වසරේ මා අග‍්‍රමාත්‍යවරයා ලෙස කටයුතු කරද්දී යුරෝපා වෙළෙඳපොළ සමග සාකච්ඡා කළා. ආණ්ඩුව මාරු වුණත් චන්ද්‍රිකා කුමාරතුංග ජනාධිපතිනිය ඒ වැඩ කටයුතු ඉදිරියට ගෙන ගියා. ඒ අනුව අපට ජී.එස්.පී. ප්ලස් තීරු බදු සහනය හිමිවුණා. මහින්ද රාජපක්ෂ පාලනය ජී.එස්.පී. ප්ලස් සහනයත් නැති කරගත්තා. රටට ලැබෙන ආදායම නැති කරගත්තා. අපනයන වෙළෙඳපොළ නැති කළා. කර්මාන්ත ශාලා වසා දැමුවා.

යහපාලන රජය යටතේ මීට සතියකට පෙර ජී.එස්.පී. ප්ලස් තීරු බදු සහනය නැවත ගැනීමට හැකියාව ලැබුණා. නැවත කර්මාන්ත ශාලා ආරම්භ කරන්න හැකි පසුබිම නිර්මාණය වී තිබෙන බව ආඩම්බරයෙන් කිව හැකියි. ඒ සඳහා අපට ජාත්‍යන්තර සහයෝගය ලැබුණා.

අප දැන් ශ්‍රී ලාංකික සහජීවනය ඇති කර තිබෙනවා. ජී.එස්.පී. ප්ලස් තීරු බදු සහනය ලැබීමෙන් පසු භාණ්ඩ 6600 ක් යුරෝපයට අපනයනය කිරීමට හැකියාව ලැබෙනවා. ඇඟලූම් කර්මාන්ත ශාලාවල නිෂ්පාදනය වැඩි කිරීම පමණක් නොව, නව කර්මාන්ත ශාලා ආරම්භ කිරීමටද හැකියාව ලැබෙනවා.

අපනයන ආදායම දෙගුණයක් බවට පත් කිරීම අපේ අරමුණයි. රාජපක්ෂ රෙජීමය අපට බාර දුන් අභියෝගය ගැන අමුතුවෙන් කිව යුතු නැහැ.

2018 වසරේ අපට ගෙවීමට ඇති රුපියල් ණය ප‍්‍රමාණය කොතෙක්දැයි ඔබ දන්නවාද? 2018 දී රුපියල් කෝටි 96,000 ක් ණය ගෙවන්න තිබෙනවා. 2020 වසර වන විට විදේශ ණය ඩොලර් කෝටි 1500 ක් ගෙවිය යුතුයි. ජනතාවට බරක් නොවන පරිදි ණය ගෙවා දැමීම අපේ අරමුණයි.

ණය ගෙවන අතරතුර අලූත් කර්මාන්ත ශාලා ඇති කළ යුතුයි. අලූත් හෝටල් ඇති කළ යුතුයි. තරුණ තරුණියන්ට රැකියා දිය යුතුයි. ජී.එස්.පී. ප්ලස් තීරු බදු සහනය ගැනීමත් සමග රටේ අපනයන ආදායම තවදුරටත් වර්ධනය කර ගැනීමට හැකියාව ලැබෙනවා.

වර්තමානයේ දී අපේ තරුණ තරුණියන් කොරියාව, ජපානය ආදී රටවල රැකියාවලට යනවා. ඒ රටවල පවතින්නේ අපනයන ආර්ථිකයයි. ශ්‍රී ලංකාවටත් ආයෝජකයන් ගෙන ඒමට අපට හැකියාව තිබිය යුතුයි. දේශීය මෙන්ම විදේශීය ආයෝජකයින් ගෙන්වා ගෙන කර්මාන්තශාලා, හෝටල් ආරම්භ කළ යුතුයි.

අප මීට වඩා තරගකාරී විය යුතුයි. නිෂ්පාදනය වැඩි කළ යුතුයි. ලාභය වැඩි වූ විට එහි ලාභය හාම්පුතුන්ට පමණක් සීමා කළ නොහැකියි. ලාභයෙන් කොටසක් වැඩ කරන ජනතාවටත් දිය යුතුමයි. අපේ ඉලක්කයක් තිබෙනවා. ඒ වැඩ කරන ජනතාවගේ ආදායම වැඩි කිරීමයි. ඒ සඳහා අපනයන ආදායම වර්ධනය කිරීම අපේ ඉලක්කයයි.

ශ්‍රී ලංකාව ඉන්දියන් සාගරයේ නාවුක සහ ආර්ථික කේන්ද්‍රස්ථානය බවට පත් කිරීම අපේ අරමුණයි. එවිට මෙරට ව්‍යාපාරික කේන්ද්‍රස්ථානය බවට පත්වෙනවා. වරාය මෙන්ම ගුවන් තොටුපොළ කේන්ද්‍රස්ථානය බවට පත්වෙනවා. පණිවුඩ හුවමාරු ක්ෂේත‍්‍රයේ කේන්ද්‍රස්ථානය බවට පත්වෙනවා. අප මේ වැඩ කටයුත්ත ආරම්භ කරන්නේ විශාල දියුණුව ඉදිරියට ගෙන යාම සඳහායි.

කුලියාපිටියේ වොක්ස්වැගන් කර්මාන්තශාලාව ආරම්භ කළා. පන්නල මාස් ඇඟලූම් කර්මාන්ත ශාලාව ඇරැඹුවා. කොග්ගල ඇඟලූම් කර්මාන්ත ශාලා ඇරැඹුවා. අද වන විට කර්මාන්ත ශාලා සහ හෝටල් ගණනාවක් ආරම්භ කර තිබෙනවා. එමෙන්ම ජී.එස්.පී. ප්ලස් තීරු බදු සහනය ලැබීම නිසා අලූතෙන් රට පුරා කර්මාන්ත ශාලා බිහි කිරීමට අවස්ථාව ලැබෙනවා.

අප ජපානය සමග ව්‍යාපෘති රැසක් ආරම්භ කිරීමට එකඟවී තිබෙනවා. කොළඹ වරාය දියුණු කිරීම, කොළඹ වර්තමානයේ පවතින වරායට උතුරින් තවත් අලූත් වරායක් ඇරැඹීම, බස්නාහිර මහ නගර වැඩසටහන සඳහා සහාය දැක්වීම ආදියට ජපානය අප සමග එකඟයි.

මහනුවර නගරය දියුණු කිරීම, සංචාරක මධ්‍යස්ථානය බවට පත් කිරීම, නවීන කෘෂි ආර්ථිකය හඳුන්වා දීම සඳහාත් ජපානය එකඟ වී සිටිනවා. ත‍්‍රිකුණාමලය වරාය දියුණු කිරීමට මෙන්ම අලූත් ව්‍යාපෘති සඳහාද, රූපවාහිනී සේවා ඩිජිටල්කරණය සඳහා ද ජපානයේ සහාය ලැබෙනවා.

කෙරවලපිටියේ එල්.එන්.ජී. විදුලි බලාගාරය මේ වසරේදී ආරම්භ කිරීමට ඉන්දියාව එකඟයි. මසක් ඇතුළත ඉන්දියාව සහ ජපානය එක්ව එල්.එන්.ජී. විදුලි බලාගාර දෙකක් ඇරැඹීමට නියමිතයි.

ඉන්දියාව අපත් එක්ක එකට එකතුව ත‍්‍රිකුණාමලය වරාය දියුණු කරන්නත්, ඒවායේ ආයෝජනය කරන්නත් උදවු කරන බව ප‍්‍රකාශ කළා. ඔවුන් ඒ ආයෝජකයන්ට ත‍්‍රිකුණාමලයට එන්න කියනවා. අප සිංගප්පූරුව එක්ක සැලැස්ම හදලා කර්මාන්ත, සංචාරක ව්‍යාපාරය ඇති කරන්න ඒ එක්කම කෘෂි කර්මාන්තය දියුණු කරන්න කටයුතු කරනවා. ඒ වගේම ත‍්‍රිකුණාමලයේ ඉන්දියාවට අවශ්‍ය වන ඉන්ධන ගබඩා කරන්න අවශ්‍ය පහසුකම් දෙනවා.

ඊළඟ අවුරුදු පනහේදී ඉන්දියාව දියුණු වෙන්න, දියුණු වෙන්න ඔවුන්ට විශාල වශයෙන් ඛනිජ තෙල් ඉල්ලූම ඇතිවෙනවා. තෙල් ගබඩා කරන්න අවශ්‍ය පහසුකම් ඔවුන්ට නැහැ. ලංකාවේ ගබඩා කර ඉන්දියාවට දුන්නාම අපට ගබඩා ගාස්තු හම්බවෙනවා වගේම ඒ වෙනුවෙන් මූල්‍ය ලාභයක් ද හිමිවෙනවා.

මෙය තෙල් සංස්ථාව හා ඉන්දියානු සමාගමයි එකට එකතුව කරන වැඩක් වනවා. මේ ක‍්‍රියාවලිය හේතුවෙන් තෙල් සංස්ථාව නැති කරන්න අවශ්‍ය නැහැ. පළමු වතාවට තෙල් සංස්ථාවට ඉන්දියානු වෙළෙඳපොළට ඇතුළුවීමේ මාර්ගය මෙමගින් ඇති කරනවා. මේකට විරුද්ධ වෙන්නේ කවුද? අප බලන්නේ තෙල් ටැංකි ටික ගෙන ත‍්‍රිකුණාමලයේ දියුණුව මගින් එහි වෙසෙන තරුණ තරුණියන්ට රැකියා දෙන්නයි.

සාම්පූර්වල තාප විදුලි බලාගාරය ඉදිකර බලශක්ති මධ්‍යස්ථානයක් බවට පත් කරන්න අපේක්ෂා කරනවා. උතුරේත්, ඒ වගේම උඩරටත් නිවාස ඉදිකරනවා.

ත‍්‍රිකුණාමලය වෙළෙඳ කලාපය ආරම්භ කරන්නත් දකුණේ තව වෙළෙඳ කලාපයක් ආරම්භ කරන්නත් ඉන්දියන් ආයෝජකයන් හොයලා දෙනවා කියා අපට ඉන්දියන් ආණ්ඩුව පොරොන්දුවූවා. ඉන්දියානු සංචාරකයන් ලංකාවට එවලා ලංකාවේ සංචාරක ව්‍යාපාරය දියුණු කරන්නත් ඉන්දියාවේ ආයෝජකයන් ලංකාවේ හෝටල් ඉදිකර එන සංචාරකයන්ට අවශ්‍ය පහසුකම් සපයන්නත් එකඟ වෙලා තිබෙනවා.

යාපනය, මන්නාරම, වව්නියාව, ත‍්‍රිකුණාමලය, දඹුල්ල එකතු කරන මහා අධිවේගී මාර්ගය ඇති කරන්නත් ඒ අය එකඟ වෙලා. දුම්රිය සේවය නවීකරණය කර කන්ටේනර් අංගනවල ආයෝජනය කිරීමට මෙන්ම කෘෂිකර්ම හා සත්ව නිෂ්පාදනය, ජල කළමනාකරණය ආදී ක්ෂේත‍්‍ර ගණනාවක් සංවර්ධනය කරන්නත් ඉන්දියාවේ සහාය අපට ලැබෙනවා. අප මේ මාසය තුළ කළ දේවලින් බිඳක් පමණයි.

ජී.එස්.පී. ප්ලස් වගේම ජපානය - ඉන්දියාවෙන් ලැබෙන ආයෝජන ගැන මා කිව්වේ නිල වශයෙන් තිබෙන ඒවා ගැන පමණයි. තව සාකච්ඡා කරන කරුණු රාශියක් තිබෙනවා. ඒ ගැන මා දැන්ම කියන්න යන්නේ නැහැ. ඒවා මොනවාද, කොහොමද කරන්නේ කියන කාරණය මා ලබන වසරේදී කියන්නම්.

හම්බන්තොට වරාය චීනයත් සමග එකට එකතුව දියුණු කරනවා. වරායේ ඉඩම් අයිතිය තිබෙන්නේ අපටයි. චීන සමාගමයි, වරාය අධිකාරියයි එකට එක්ව හම්බන්තොට වරාය දියුණු කරනවා.

මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා යටතේ ගත්තු ණය ඔහු ගෙව්වේ නැහැ. හම්බන්තොට සංවර්ධන කලාප දියුණු වීමත් සමග අපට ණය සියල්ල ගෙවා අවසන් කිරීමේ හැකියාව ලැබෙනවා. ඩොලර් කෝටි 100 ක් ලැබුණහම අපේ ණය අඩු වෙනවා. මේ ආයෝජනයන් බාර ගන්නවාද?, නැතිනම් ගෙවන්න තිබෙන ණය ප‍්‍රමාණය වැඩි කරගන්නවාද කියා තීරණයක් ගත යුතුයි.

වරාය දියුණු වුණාම වරාය ආශ‍්‍රිතව ආයෝජන කලාප ඇති වෙනවා. චීන ආයෝජකයන් එහි එනවා. සිංගප්පූරු ආයෝජකයන් එනවා. හම්බන්තොට ප‍්‍රදේශය කර්මාන්තපුරය වෙනවා.

 සිංගප්පූරුව වයඹ වෙළෙඳ කලාපය ඇති කරන්න අපත් සමග සාකච්ඡුා කරමින් සිටිනවා. අප තායි සමාගම සමග සාකච්ඡා කර කඳුකරයේද වෙළෙඳ කලාපය ඇති කරනවා. අප ගාලූ දිස්ත‍්‍රික්කයේ අක්කර 1000ක සංචාරක කලාපය හදන්නත් සැලසුම් කර තිබෙනවා.

මාතර වෘත්තීය පුහුණු මධ්‍යස්ථාන ආරම්භ කරන අතර මහනුවරත් විශාල දියුණුවකට ගෙන යනවා. මේ සියල්ල මාස හයක් තුළ කළ දේ පමණයි. මෙවැනි කාර්යයන් රැසක් කළ වෙන කෙනෙකු ඉන්නවාද කියා මට කියන්න.

ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිවරයාගේ කාලයේ අප වෙළෙඳ කලාප ඇති කළා. ඉන් පසුව විශාල දියුණුව ඇති වුණේ මෛත‍්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාගේ ආණ්ඩුව යටතේ බව මා කියන්න කැමැතියි.

බස්නාහිර මහ නගර සංවර්ධනය යටතේ ව්‍යාපෘති ගණනාවක් ක‍්‍රියාත්මක වෙනවා. උතුරේ ආර්ථිකය දියුණු කරන්නත් ව්‍යාපෘති රැසක් ගෙනැවිත් තිබෙනවා. මීට අමතරව රත්නපුර වැනි ප‍්‍රදේශ දියුණු කරන්නත් සැලසුම් තිබෙනවා.

මේ සංවර්ධන වැඩපිළිවෙළවල් ක‍්‍රියාත්මක වීම මගින් රටේ ණය බර අඩුකර රට සංවර්ධනය කරා ගෙන යා හැකියි. මේ ආණ්ඩුවේ වෙනස ආයෝජකයන් ගෙනල්ලා රට දියුණු කිරීමයි. මේවා කරන්න බැරි වෙයි කියා කියපු අය දැන් ඒවා කරන්න යනවිට බයවෙලා වෙන දේවල් කියන්න පටන් ගෙන තිබෙනවා.

එදා රොෂේන් චානකට වෙඩි තියපු අය, වැලිවේරියේ වෙඩි තියපු අය අද වෘත්තීය සමිති ජනතාවගේ අයිතිවාසිකම් ගැන කතා කරනවා. මේ ඔක්කොම කරන්නේ රටේ ඉදිරි ගමන නවත්වන්නයි. ඔබට රැකියා දෙන එක නවත්වන්නයි. ඒ වගේම ආදායම් වැඩි කරන එක නවත්වන්න වගේම රටේ සංවර්ධනය කඩාකප්පල් කරන්නයි.

ඒකට අප ඉඩ දෙන්නේ නැති බව මා මෙතනදී ප‍්‍රකාශ කරනවා. කවුරු හරි කියනවා නම් අප සාකච්ඡා කරන්න ලැහැස්තියි. කවුරු හරි රටේ ඉදිරි ගමන නවත්වන්න හදනවා නම් හිතන්න එපා අපි නිකම්ම වාඩිවෙලා ඉඳීවි කියලා.

එක්සත් ජාතික පෙරමුණ ලැහැස්තියි ඉදිරියට ඇවිත් රට ආරක්ෂා කරන්න. රටේ දියුණුව ගැන කතා කරනවා. බය වෙන්න එපා අපි සටන ඉදිරියට ගෙන යමු.

ජනතාවට කියමු, අද ඉඳන් අප ඉදිරියට යනවා. ආපසු පස්සට යන්නේ නැහැ. රට සංවර්ධනය කර ඔබේ අනාගතය සුරක්ෂිත කර බලගතු ශ්‍රී ලංකාව බිහි කරනවා. ඒ අනුව 2020 වසරේදීත් අපට ප‍්‍රබල ජනවරම ලැබෙන බව අමුතුවෙන් කිව යුතු නැතැයිද’’ රනිල් වික‍්‍රමසිංහ මහතා වැඩිදුරටත් කීවේය.

එක්සත් ජාතික පක්ෂ මහලේකම්, ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය කබීර් හෂීම්, එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක, නිවාස හා ඉදිකිරීම් ඇමැති සජිත් පේ‍්‍රමදාස, එක්සත් ජාතික පක්ෂ උප නායක, මුදල් අමාත්‍ය රවි කරුණානායක, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග‍්‍රසයේ නායක, ජල සම්පාදන හා නාගරික සංවර්ධන අමාත්‍ය රාවුෆ් හකීම්, ජාතික හෙළ උරුමයේ මහලේකම්, මහ නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක, සෞඛ්‍ය හා පෝෂණ අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න, ප‍්‍රාදේශීය සංවර්ධන අමාත්‍ය ෆීල්ඞ්මාෂල් සරත් ෆොන්සේකා මහතා:

එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය මහලේකම්, ජාතික සේවක සංගමයේ සභාපති, අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම්, රාජ්‍ය පරිපාලන අමාත්‍ය එක්සත් ජාතික පක්ෂ ජ්‍යෙෂ්ඨ උප සභාපති රංජිත් මද්දුමබණ්ඩාර,  ජාතික වතු කම්කරු සංගමයේ ලේකම් සහ බදුල්ල දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී වඩිවෙල් සුරේෂ්, විදුලි බල හා පුනර්ජනනීය බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය, ජාතික අධ්‍යාපන සේවක සංගමයේ සභාපති අජිත් පී. පෙරේරා යන මහත්වරුද මෙහිදී අදහස් දැක්වූහ.

විශාල ජන ගංගාවක් එක්සත් ජාතික පක්ෂ ජාතික මැයි රැලියට සහභාගිවී සිටියහ.



අදහස් (2)

යහපාලන රජයේ වසර දෙකක ප‍්‍රගතියෙන් ජී.එස්.පී. ප්ලස් සහනය යළි ගත්තා

shgan saudi Sunday, 07 May 2017 01:00 PM

වත්මන් ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවේ 9 වන වගන්තියෙන් බුද්ධාගමට ලබාදී ඇති ප්‍රමුඛස්‌ථානය වෙනස්‌ කිරීම සඳහා ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථා සම්පාදක මණ්‌ඩලයේ මෙහෙයුම් කමිටුවේ අතුරු වාර්තාව මඟින් විකල්ප 7 ක්‌ යෝජනා කර ඇති බව ජනාධිපති නීතිඥ මනෝහර ද සිල්වා මහතා පවසා තිබේ. මෙම විකල්ප 7 මඟින් සෙසු ආගම් ද බුද්ධාගමට සමාන කිරීමක්‌ සිදුවන බැවින් බුද්ධාගමට මෙතෙක්‌ හිමිවූ ප්‍රමුඛස්‌ථානය ලබාදීම අහෝසි වන බව පවසන ඒ මහතා ඒ පිළිබඳව තවදුරටත් අදහස්‌ දක්‌වමින් ප්‍රකාශ කර සිටියේ ලාල් විඡේනායක මහතාගේ නායකත්වයෙන් යුතු ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථා ප්‍රතිසංස්‌කරණ පිළිබඳ මහජන අදහස්‌ විමසීමේ කමිටු වාර්තාව එළි දැක්‌වීමෙන් පසුව එයට එරෙහිව මතුවූ විරෝධය සමනය කර ගැනීම සඳහා මහානායක හිමිවරුන්ට බුද්ධාගමට හිමි ප්‍රමුඛස්‌ථානය ආරක්‍ෂා කරන බවට ලබාදුන් ප්‍රතිඥව මෙම අතුරු වාර්තාවේ සඳහන් විකල්ප 7 මඟින් කඩකර ඇති බවයි. මනෝහර ද සිල්වා මහතා ඒ පිළිබඳව තවදුරටත් අදහස්‌ දක්‌වමින් ප්‍රකාශ කර සිටියේ එංගලන්තය, ඉතාලිය, ග්‍රීසිය, නෝර්වේ යන රටවල ව්‍යවස්‌ථාවල පවා එම රටවල ප්‍රධාන ආගමට ප්‍රමුඛස්‌ථානයක්‌ දී ඇති බවත්ය. ඔබතුමා බෞද්ධ ජනතාවට කොකා පෙන්වීමට උත්සාහ නොකරන ලෙසද දන්වමි...

:       55       39

de silva berlin Saturday, 20 May 2017 10:39 PM

ඔය බංකොලොත් සංගමයෙන් ඕක ගන්න වසර දෙකක්ම ගියාද? නමුත් බලේට එන්න ඉස්සෙල්ල කීවේ සංගමේ ලොක්කෝ ඔක්කොම මම අඳුනනවා , මම බලේට අාපු ගමන් ඔක්කොම නිකම්ම හම්බ වෙනවා කියල? අන්න එංගලන්තෙත් ඔය සංගමෙන් ඉවත්වෙලා?

:       0       0

ඔබේ අදහස් එවන්න

දේශපාලන

තරුණයින් පතන ලංකාව ඉක්මනින් හදනවා
2024 අප්‍රේල් මස 19 61 0

මෙරට තරුණ තරුණියන් අපේක්ෂා කරන ශ්‍රී ලංකාව නිර්මාණය කළ හැකි බවට දැඩි විශ්වාසයක් තමා තුළ පවතින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.


විවාදය අභියෝගය මුලින්ම කළේ අනුර කුමාර
2024 අප්‍රේල් මස 10 1160 10

සමඟි ජන බලවේගයේ නායක සහ විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට විවාදයකට සහභාගි වන ලෙස පළමුවෙන්ම අභියෝග කළේ ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා


පොහොට්ටුව හම්බන්තොටින් වැඩ අරඹයි
2024 මාර්තු මස 31 900 6

අරගලයත් එක්ක අලුත් ජනාධිපතිවරයකු, අලුත් ආණ්ඩුවක් හැදුනා. ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ හැටියට මේ රටේ ස්ථාවරත්වයක් ඇති කිරීමට අපි එයට සහයෝගය ලබා දුන්නා . එහ


‘‘රට හදන්න දේශපාලන වෙනසක් අවශ්‍යයි‘‘
2024 මාර්තු මස 31 2300 4

අපේ රට අතිශයින්ම තීරණාත්මක තැනකට ඇවිත් තිබෙනවා. අපේ අත්දැකීම් තුළින්, අපේ ගෙවල්වල, වැඩකරන තැන්වල, සමාජය තුළ අපි කරන අරගලවලින් මේ සමාජය කොච්චර කඩා වැටිල


කිසිම දවසක දේශපාලනඥයන්ට හොරු අල්ලන බෑ. ඒක මිත්‍යාවක්-සජබ පා.ම හර්ෂ ද සි්ල්වා
2024 මාර්තු මස 17 2151 15

ඉදිරියේදී පැවැත්වීමට නියමිත මැතිවරණ ඉලක්ක කරගෙන දේශපාලන පක්ෂ මේ දිනවල තමන් ජයග්‍රහණය කළහොත් රට සහ ආර්ථිකය ගොඩගන්නා ආකාරය පැහැදිලි කරමින් සිටියි. සමග


වන්නි හත්පත්තුවේ ගොවි සමුළුවට මහා ජනකායක් පොල්පිතිගමට
2024 පෙබරවාරි මස 11 3681 9

මෙරට ගොවි ජනතාව විපතට පත්වී ඇති මොහොතක සමගි ජන බලවේගය සතුව ගොවි ජනතාව නගා සිටුවීමට සුවිශේෂී වැඩපිළිවෙළක් තිබෙනවා. එම වැඩපිළිවෙළ හරහා වචනයේ පරිසමාප්ත


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 219 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1535 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1431 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site